රාවය

සිරිසේන – රනිල්: මෙතැනින් කෙතැනටද?

සිරිසේන – රනිල්: මෙතැනින් කෙතැනටද?

සමාජයම දේශපාලන වශයෙන් චලනය වන දෙදරා යෑම් මැදය. ජනයා ඉක්මනින් වසර ගණනාවක නොලද දේශපාලන අවබෝධයක් ලබති. එවැනි තත්ත්වයකදී ලබන අත්දැකීම්, අසන දකින තොරතුරු හරහා එම ජනයාගේ අදහස් උදහස් කැපී කෙටී නව හැඩයන් ලබා ගනී.

පෙබරවාරි 10 දා පැවැති පළාත් පාලන මැතිවරණය සමයේදීටත් වඩා අප සමාජය දේශපාලනිකව තීව්ර වූයේ ඉන් පසුවය. රාජපක්ෂ අගමැතිවනු ඇත්ද? සිරිසේන රනිල් අගමැතිකමෙන් පන්නයිද? සිරිසේන රාජපක්ෂගේ සහායෙන් ආණ්ඩුවක් හදයිද? කී දෙනෙක් පනියිද? රනිල් දැන්වත් ස්වෙච්ජාවෙන් යයිද? සජිත්ට තැනක් දෙයිද? යනාදී කී නොකී තොරතුරු සහ ඕපාදූප විසින් සමාජය කම්පනයකට ලක් කළ සමය එයයි.

එසමය අවසන් වූයේ හීන් කෙඳිරිල්ලකිනි. සිරිසේනගේ මහා වෙනස රනිල් වික‍්‍රමසිංහ පුස් වෙඩිල්ලකට වඩා දෙයක් නොවීය. කන්දක් විලි ලා එළියට දැම්මේ චූටි මී පැටියෙකි. හාස්‍යෝත්පාදක කඩුවෙන් කිසිවකු නොකැපුණි.

ඉන් කියැවෙන්නේ දෙසතිය තුළ සමාජයෙහි ඇතිවූ දේශපාලන පිබිදීමට සාධනීය ලෙස ප‍්‍රතිචාර දැක්වීමට රනිල් සහ සිරිසේන සහමුලින්ම අසමත් වූ බවයි. ඒ වෙනුවට සිදුවූයේ ආණ්ඩුව ගැන ඇති කළකිරීම දෙගුණ තෙගුණ කරන කල්මැරීම් සහ කුලල් කා ගැනීම්ය. අප කැමැති වුවත් නැතත් තවමත් වර්ධනය වෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ සොහොන් ළකුණු පමණකි.

පෙර කළ විවිධ පෙළපාළිවල අප කී සටන් පාඨයක් විය. එනම් ‘කොමිටු බොමිටු අපට එපා – පොරොන්දු වූ දේ කරපන්’ යනුය. මන්ද යත් කමිටු දැමීම යනු කල් ගැනීමේ කෛරාටික කූටෝපාය වන බැවිනි. දැන් වික‍්‍රමසිංහ කමිටුම තුනක් පත් කර තිබේ. මෙවැනි පන්ගෝට් වලට කියන්නේ ‘මඟ හොදට තිබේ නම්, යන්ට දෑසක් තිබේනම් කිම බැදිවල යන්නේ’ කියාය.

එක කමිටුවක් දූෂිතයන්ට ඉක්මණින් දඩුවම් කරන හැටි සොයන්නටය. මෙවැනි තීරණාත්මක කරුණක් සම්බන්ධයෙන්වත් හරි අදහසක් නැති වික‍්‍රමසිංහ පහුගිය අවුරුදු තුනම කළේ පොල් ගෑමද? ලැජ්ජා නැතිකම මහ මුදලිකමට වඩා ලොකුය.

වික‍්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය පරාජය වූවා පමණක් නොවේ. ඔහුට දැන් සිය පක්ෂයේ පාලනය ද නැති වේගෙන යයි. ඔහුගේ බොරුකාර ඇමැති සංශෝධනය විහිළුවක් ලෙස පරිහාසයට ලක් කළ සිය පක්ෂයේ මංත‍්‍රීවරයාට හෝ අගැමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ යුතු බව කියන මංත‍්‍රීවරයාට හෝ විරුද්ධව වික‍්‍රමසිංහට කළ හැකි දෙයක් නැත.

සිරිසේන ඊට හපන්ය. පෙනෙන විදිට ඔහු තවමත් තමා ඊළඟ ජනාධිපතිවීමේ මනෝ ලෝකයේ සැරිසරයි. සිරිසේන ඊළඟ 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහුගේ පක්ෂ ලේකම්වන දුමින්ද දිසානායක කියා තිබුණි. ජයග‍්‍රහණයේ ලේ රස ඉව කරමින් සිටින රාජපක්ෂවරු දැන් කල් බලන්නේ සිරිසේන සමඟ හවුල් වී ඔහු ජනාධිපති කරන්නට නොව ඔහු අඩි හයක් යටට යැවීමටය. එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් යළි සිරිසේනට කතිරයක් ලබා ගැනීම ඉබ්බන්ගෙන් ලොම් ගැනීමක් හා සමාන වනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ ඔහු ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට කල්පනා කරන්නේ කාගේ ඡුන්දයෙන් බලයට ඒමටදැයි දන්නේ මින්නේරියේ දෙවියෝ පමණක් විය හැක.

දුර දිග නොබලා, කේවට්ටයින්ට රැුවටී, තමා ලද ඵෙතිහාසීය දේශපාලන මෙහොත විනාශ කරගත් දේශපාලනඥයා ලෙස ඔහු ඉතිහාස ගතවීම හැර වෙනත් විකල්පයක් දැන් ඔහු හමුවේ ඇතැයි සිතීම ඉතා දුෂ්කරය. ඉක්මනින්ම ඔහුගේ නැවෙන් මීයෝ එළියට පනින්නට පටන් ගනු ඇති අතර වඩාම භයානක වනු ඇත්තේ රාජපක්ෂට ගතු කියන දෙපත් නයින් ඔහුගේ සෙවැනැල්ල යටින් බිහිවීමයි.

රාජපක්ෂලාගේ සැළසුම් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ විසින් පළ කරන ලද ප‍්‍රකාශයකින් එළියට පැන්නේය. දැන් ගෝඨාභය කියන්නේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ජෙනරල් සරත් පොන්සේකාගෙන් ප‍්‍රශ්න කළ යුතු බවයි. එමෙන්ම එම ඝාතනයට වග කිවයුත්තේ සරත් පොන්සේකා සහ ඔහුට හිතවත්, එකල කොළඹ මෙහෙයුම් බාරව සිටි බි‍්‍රගේඩියර් කැප්පිටිවලාන බවයි. කැප්පිටිවලාන යටතේ සිටි ප‍්‍රහාරක කණ්ඩායමෙන් ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

රාජපක්ෂවරු බලයට පැමිණියහොත් ඉතාම කෙටි කලකදී සරත් පොන්සේකා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර ද`ඩුවම් ලැබීමට මේ අනුව ඉඩ තිබේ. කිලී මහාරාජාට අතයටින් රූපවාහිනී සංඛ්‍යාත ලබා දීම හේතුවක් කොට සිරිසේන දඩුවම් නොකරනු ඇතියි සහතික විය හැක්කේ කාටද? එමෙන්ම සමහරවිට මොහාන් පීරිස් කෙනෙක්ම යළි අගවිනිසුරු නොකෙරනු ඇතැයි කිව හැක්කේ කාටද? නැත්නම් රාජපක්ෂ විසින් ගෙදරට කැඳවා ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීම දුන් මහත්මිය එම තනතුරට පත්වීමටත් ඉඩ තිබේ. රාජපක්ෂවරු, සිරිසේන සහ රනිල් මෙන් කෙකර ගාගා ඉන්නේ නැත. පට පට ගා නඩු ඇසෙනු ඇති. අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩරනායක දොට්ට දැමූ ඉක්මන මතකද?

රාජපක්ෂවරු බලයේ සිටින විට ශ්‍රේෂ්ඨාධිකරණය අත් අඩංගුවට ගැනීම් වළක්වමින් නියෝග දෙන්නේවත් නීතිඥ සංගමය චූදිතයින් බේරා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේවත් පොලිස්පතිවරු භාවනා කර කර ඉන්නේවත් නැත. අගවිනිසොරා වූ මොහාන් පීරිස්ට විරුද්ධ නඩු නොඅසනසේත් ගෝඨාභය අත් අඩංගුවට නොගන්නාසේත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක්ම තිබේ.

සිරිසේන විසින් කළ යුතුව තිබුණේ රාජපක්ෂවාදී පිරිස් අතහැර ඍජුව කටයුතු කරමින් එජාපය සමග වූ එකඟතාව වර්ධනය කරගැනීමයි. එලෙස 2020 තෙක් එක්ව ගමන් කරමින් 2015දී ලද ජනවරම පෙරට ගෙන ගියේ නම් අඩුම වශයෙන් සැළකියයුතු ප‍්‍රගතියක් හෝ අත්කරගත හැකිව තිබුණි. ඒ වෙනුවට ඔහු පළාත් පාලන ජන්ද ව්‍යාපාරය බාර දුන්නේ රාජපක්ෂ බලයට ගෙන ඒමට කැසකවන සුසිල් පේ‍්‍රමජයන්තටය. ඔහු නියමටම වැඬේ දුන්නේය.

අනෙක් අතට යහපාලන ආණ්ඩුව කුරුවල්වීම ගැන සිරිසේනට පමණක් දොස් කීමෙන් පළක් නැත. විවෘත දේශපාලනය වෙනුවට යටිකූට්ටුකම් සහ කෛරාටිකම් සිය භාවිතය කරගත් වික‍්‍රමසිංහ බැලූවේ සිරිසේනගේ බලය යටින් බිඳ 2020 ජනාධිපතිකම තමන් අතට ගැනීමටය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැති දෙවන අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ අතර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ඇතිවූ විරසකය පවා විසඳා ගැනීමට බැරිවිය. ඊට හේතුව වූයේ මුහුණ දීමට ඇති අභියෝගයට වඩා වික‍්‍රමසිංහගේ අහංකාරය ලොකුවීමයි.
පළාත් පාලන මැතිවරණ පරාජය දැන් සිරිසේනට මෙන්ම වික‍්‍රමසිංහටද දාම ප‍්‍රතික‍්‍රියාවක්, කම්පන තරංඟයක් බවට පත් වෙමින් තිබේ. පෙනෙන විදිහට දෙදෙනාම පළාත් පාලන මැතිවරණයෙන් ඉගෙන ගෙන නැත. තම නායකත්වය යටතෙහි ඇති පක්ෂ එකලස් කර ගැනීමට අසමත්ව සිටින නායකයින්ට 2015 ජනවරම පෙරට ගෙන යෑම ඊටත් වඩා දුෂ්කරවනු ඇත.

සිරිසේන – වික‍්‍රමසිංහ ආණ්ඩුව, බොහෝ විට සිදුවීමට ඉඩ ඇති පරිදි, කැපී පෙනෙන ජවයකින් යුතුව පෙරට නොයන්නේ නම් රාජපක්ෂ තෙරපුම යටතේ පොලිසිය පමණක් නොව අනෙක් රාජ්‍ය ආයතනද නැවෙන්නට ඇති ඉඩ වැඩිය. එමගින් තිරිංග වැටෙනු ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයට පමණක් නොව සංහි`දියා ක‍්‍රියාදාමයටත්ය. ඒ විසින් ඇති කරනු ලබන විපාක මෙරටට යහපතක් නොගෙනෙනු ඇත.

ඉදිරි සති කිහිපය තුළ කැපී පෙනෙන වෙනසක් සහ ජවයකින් යුතුව ඉතිරි දෙවසර සඳහා කඩිනම් වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට අසමත් වන්නේ නම් සම්මුති ආණ්ඩුවට අබ සරණය. අඩුම වශයෙන් රාජපක්ෂ පාලනයක් යටතේ තමන්ට විය හැකි අභාග්‍ය ගැන හෝ සළකා අලූත් ගමනක් යන්නට බැරි නම් අපට කීමට සිදු වනු ඇත්තේ ‘කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි යටින් ගියත්’ එකයි කියා ය.