රාවය

ජල හිඟයේ බියකරු මුහුණුවර

ජල හිඟයේ බියකරු මුහුණුවර

1990දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉපැදුණු ඇරින් බේකර්, වත්මනෙහි ජාත්‍යන්තර ටයිම් සඟරාවෙහි අප‍්‍රිකානු බියුරෝවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. පුවත්පත් කලාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ඇය දිනාගත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා සරසවියෙනි. ඇය විවාහ වී සිටින්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයෙහි ව්‍යවසායකයකු හා ඇෆ්ඝන් – ඇමරිකානු ජාතිකයෙකු වන ටමිම් සැමී සමගය. මේ දෙපළ, අද ඔවුන්ගේ පාසල් යන වියේ පසුවන දියණිය සමග වාසය කරන්නේ දකුණු අප‍්‍රිකාවේ අගනුවර වන කේප්ටවුන්හිය. වර්ග කිලෝමීටර් 400කින් සහ මිලියන 3.7ක ජනගහනයකින් සමන්විත කේප්ටවුන්, දකුණු අප‍්‍රිකාවේ දළ ජාතික නිපැයුමට 9.9%ක දායකත්වයක් සපයන ලොව ප‍්‍රධාන පෙළේ නගරයකි. ඩොලර් මිලියන ගණන් වටිනා වෙරළාසන්න දේපළ, ගෝලීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ කලාගාර මෙන්ම ලොව විශිෂ්ටතම හෝටල් පනහේ ලැයිස්තුවට අයත් සංචාරක නිකේතන දෙකක්ද මෙහි පිහිටා ඇත. එහෙත් අද මේ සුපිරි නගරය, එහි ජල මූලාශ‍්‍ර සිඳීයෑම හේතුවෙන් උග‍්‍ර ජල හිඟයකට මුහුණ දී සිටී. මිනිසා සොබාදහම සංරක්ෂණය කිරීමට හා ස්වභාවික සම්පත් අරපරෙස්සමින් භාවිත කිරීමට කටයුතු නොකළ හෙයින්, අද කේප්ටවුන් අත්දකින අර්බුදය හෙට දින ලෝකයේ අනෙකුත් නගර වෙතද හෙමි හෙමින් ළඟාවෙනු ඇත. මේ ගැන කේප්ටවුන් වැසියෙකු වන ඇරින් බේකර් පවසන්නේ කුමක්දැයි යන්න දැනගනු පිණිස අපි මෙතැන් සිට ඇගේ හඬට සවන් යොමු කරමු.

වතුර කප්පාදුව

‘එක් නගර වැසියකු වෙනුවෙන් දෛනිකව සැපයෙන වතුර ප‍්‍රමාණය ගැලූම් 13ක් දක්වා සීමා කරන බවට කේප්ටවුන් නගරාධිපති කාර්යාලය ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළේ 2018 පෙබරවාරි පළමුවැනිදායි. මේ තහංචිය නිසා හැම තත්පර 90කටත්, වතුර බීම ගැලූම් භාගයකටත් සීමා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි, රෙදි හෝ පිඟන් සේදීම සඳහා සින්ක් එක පිරෙන ප‍්‍රමාණයට ජලය පුරවා, එය භාවිත කළ හැක්කේ දවසට එකවරක් පමණයි. දවසටම පිසිය හැක්කේ එක කෑම වේලක් වන අතර අත් සෝදා ගැනීම දෙපාරකට සීමා කළ යුතු වෙනවා. ශරීර කෘත්‍යය සිදු කොට කොමොඞ් එක පිරිසිදු කළ හැක්කේද :කේිය* එකම එක වතාවකි. දිනකට දෙවරක් දත් මැදීම වුව දැන් කල්පනාවෙන් කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් නිවසක ජල පරිභෝජනයෙන් 30%ක්ම වැයවන්නේ වැසිකිළි භාවිතය සඳහායි. ‘ෆ්ලෂ්’ වැසිකිළියක් වෙනුවට කොම්පෝස්ට් එකක් භාවිත කළහොත් නිවසක එක් සාමාජිකයෙකුට පමණක් වුව වාර්ෂිකව වතුර ගැලූම් 6600ක් පමණ ඉතිරි කරගත හැකි බව මා සොයාගත්තේ අන්තර්ජාලය ඔස්සේයි. මේ නිසා ඇමරිකන් ඩොලර් 1000ක් වැය කොට කොම්පෝස්ට් වැසිකිළියක් නුදුරේදීම මිලට ගතයුතු යැයි මා තීරණය කළා. මෙහිදී මිනිස් බල කුටීර 04ක් හරහා කොම්පෝස්ට් පොහොර බවට පත්වෙනවා. වතුර වෙනුවට මිනිස් මළ මත කාබන් අඩංගු ලී කුඩු, වියැලූණු ශාක පත‍්‍ර හෝ වියළි පිදුරු හෙළීමෙන් එම කාබන්, මුත‍්‍රාවල ඇති නයිට‍්‍රජන් සමග සංයෝජනය වී කිසිදු දුඟදක් නොමැති වියළි කොම්පෝස්ට් බවට හැරෙනවා. මෙම පොහොර තමන්ගේ ගෙවත්තේ පැළ සඳහා යොදාගත හැකියි. වැඩිදුර සොයා බැලීමේදී, අතිරේක කොම්පෝස්ට් කේප්ටවුන් නගර සභාව විසින් භාරගෙන ඒවා ඔවුන්ගේ උද්‍යාන සඳහා පාවිච්චි කරන වග මාහට දැනගන්නට ලැබුණා.

අර්බුදයේ ඇරඹුම

කෝප්ටවුන්හි ජල අර්බුදය උග‍්‍රවූයේ වසර 03ක් තිස්සේ දිගටම පැවති නියඟය නිසා බව කවුරුත් දන්නවා. එහෙත් දුර්වල නගර සැලසුම්කරණය සහ පිළිවෙළක් නැති ආපදා කළමනාකරණයද මීට හේතුපාදක වුණා. වැඩිවන නාගරික ජනගහනයත් සමග කේප්ටවුන්හි ජල සැපයුම හා සම්බන්ධ යටිතල පහසුකම් නව තාක්ෂණය යොදවා විප්ලවීය වෙනසකට බඳුන් කරනු වෙනුවට නගර සභාව කළේ ‘‘ අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න” යන පණිවුඩය ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා මිලියන ගණන් මුදල් වියදම් කිරීම පමණයි. එම මුදල්, කොම්පෝස්ට් වැසිකිළි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් යෙදවීමට බලධාරීන් ක‍්‍රියා කළේ නම් වතුර තවත් ඉතිරි කරගන්නට ඉඩකඩ තිබුණා. කේප්ටවුන් වැසියෙකුගේ ඒක පුද්ගල ජල පරිභෝජනය දෛනිකව ගැටලූම් 23කට සීමා කිරීමට නගර සභාව තීරණය කළේ 2016 සැප්තැම්බර් මාසයේදීයි. ඒ වනවිට නගරයේ ජල මූලාශ‍්‍රවල රැුඳී තිබුණු වතුර ප‍්‍රමාණය 33%ට පහත වැටී තිබුණා. මෙම සීමාව (ගැලූම් 23) ඉක්මවන අයට ඩොලර් 24.8ක දඩ මුදලක් ගෙවීමට සිදුවුණත් කේප්ටවුන්හි සුපිරි ධනවතුන් එය අපහසුවෙන් තොරව ගෙවා දමා හිතේ හැටියට ටැප් වතුර පාවිච්චි කළා. නියඟය ආරම්භවීමට පෙර ලීටර් පන්දාහේ වැහි වතුර රැස් කළ හැකි ටැංකියක් නිවසේ සවිකර ගැනීමට මා සැලසුම් කළත්, කේප්ටවුන් නගරාධිපතිනිය එකල නිරතුරුවම පැවසුවේ තමා නගරවැසියන්ට අඛණ්ඩව ටැප් වතුර සැපයීම කෙසේ හෝ සිදු කරන බවයි. ඇගේ කතාව විශ්වාස කළ බහුතරය, වැහි වතුර, එක් රැුස් කිරීම අමතක කර දැමුවා. අනෙක් නගර සභිකයන්, නගරාධිපතිනි පැටි‍්‍රෂියා ඞී ලිලීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කොට ජල කළමනාකරණ කමිටුවෙන් ඇයව නෙරපා දැමුවේ එම නිසයි. 1990 අපේ‍්‍රල් 26 දින, නගරයේ වැඩිපුරම අලෙවි වන පුවත්පත වන ‘කේප් ටයිම්ස්’ තම ප‍්‍රධාන වැකියෙන් අවධාරණය කර සිටියේ කේප්ටවුන් නගරය, තව වසර 17ක් ඉක්ම යාමට මත්තෙන් උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙන බවයි. එහෙයින් දකුණු අප‍්‍රිකානු පාර්ලිමේන්තුවේ ජල පර්යේෂණ කමිටුව නිර්දේශය කොට ඇති පරිදි නගරයේ අප ජලය ප‍්‍රතිචක‍්‍රීයකරණය කළහැකි දැවැන්ත බලාගාරයක් නොපමාව ඉදිකළ යුතුයැයි පුවත්පත වැඩිදුරටත් කියා තිබුණා. එහෙත් බලධාරීන්ට මෙන්ම නගරවැසියන්ටද එම අනතුරු ඇඟවීම ගැන වගේ වගක් එදා තිබුණේ නැහැ. වතුර නැතිව නන්නත්තාර වනතුරුම කිසිවෙකුගේ ඇස් ඇරුණේ නැහැ.

දෙවියන් යැදීම

වත්මනෙහි කේප්ටවුන් හා ඒ අවට පිහිටි පල්ලි හා වෙනත් ආගමික ස්ථානවලට පැමිණෙන බැතිමතුන් දිගින් දිගටම දෙවියන්ට යාඥා කරමින් කියන්නේ වහ වහා වැසි ලබාදෙන ලෙසයි. දැන් එක් නගරවැසියෙකුට දෛනිකව සැපයෙන වතුර ගැලූම් 13, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පුද්ගලයෙකු සඳහා නිර්දේශ කෙරෙන අවම ජල සීමාවටත් පහළින් තිබීම කනගාටුවට කරුණක්. එහෙත් තවදුරටත් වැසි නොලැබුණහොත්, ටැප් වතුර සම්පූර්ණයෙන්ම නවත්වා, ප‍්‍රජා ජල සැපයුම් ස්ථානයන්හි පෝලිමේ රැුඳී සිට දෛනිකව ජල ගැලූම් 6.6ක් පමණක් එක් අයෙකුට නිකුත් කිරීමට සිදුවන බව නගර සභාව විසින් නිවේදනය කොට තිබෙනවා. පෝලිම්වල හටගනු ඇතැයි සිතන ආරාවුල් මැඬලීමට ආයුධ සන්නද්ධ හමුදා සෙබළුන් යෙදවීමට නගර සභාව අපේක්ෂා කරනවා. 2018 මැයි 11 සිට මේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සිදුවන වග බලධාරීන් පවසනවා.

ආනයනය කෙරෙනු ලබන වතුර කෑන් හා විශාල බෝතල් පවා සුපිිරි වෙළෙඳ සැල්වලට පැමිණි සැණින් අහවර වෙන්නේ පෝලිම් ගැසී ඒවා මිලට ගන්නා ජන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසයි. නගර උද්‍යාන හා ගොල්ෆ් පිට්ටනි අද දුඹුරු පැහැයට හැරී ඇත්තේ ඒවායේ ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙන බැවිනුයි. පිඟන් හා කෝප්ප සේදීම වෙනුවෙන් වැයවන ජලය සුරැුකීම පිණිස කේප්ටවුන්හි සියලූ හෝටල් සහ ආපනශාලා අද කඩදාසිවලින් තැනූ පිඟන්, කෝප්ප භාවිත කිරීමට පෙළැඹී තිබෙනවා. දකුණු අප‍්‍රිකානු ආර්ථික විශ්ලේෂකයන්ට අනුව, ජල හිඟය හේතුවෙන් රටේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ රැුකියා ලක්ෂ 03ක් අහිමිවී යාමට නියමිතයි. ආහාර නිපැයුම්, හෝටල් හා අනෙකුත් සේවා ක්ෂේත‍්‍රයන්හි රැුකියා ලක්ෂයක් පමණ නුදුරු අනාගතයේදී නැතිවී යන වග ස්ථිරයි. රැුකියා ස්ථානවලින් බැහැර වී වතුර ලබාගැනීම සඳහා පැය ගණන් පෝලිම්වල ලැගීමට කේප්ටවුන් වැසියන්ට සිදුවුවහොත් එමගින් ආර්ථිකයට සිදුවන පාඩුව විශාල වීම නොවැළැක්විය හැකියි. වෙනදාට වඩා පැය භාගයකට කලින්, දුවව පාසල වෙත ඇරලවීම සඳහා මගේ සැමියා නිවසින් බැහැර වෙන්නේ, සුපිරි වෙළෙඳ සැලේ වතුර බෝතල් මිලට ගැනීමේ පෝලිමට නොපමාව එක්විය යුතු නිසයි. නිව්ලන්ඞ්ස්හි බියර් නිපදවන කම්හල අසල පාන්දර 05 සිට කේප්ටවුන් නගරවාසීන් පෝලිම් ගැසී සිටින්නේ ඔවුන්ට අයත් ස්වාභාවික උල්පතෙන් එන ජලය, මිලක් ගෙවා තම භාජනවලට පුරවා ගැනීමටයි. වතුර බූලිවලට හා කෑන්වලට තිබෙන ඉල්ලූම අද කෙතරම් ඉහළ ගොස් ඇත්ද යත් ඒවා වෙළෙඳපොළේ මිල මෙන් දෙගුණයක් පමණ වෙනවා.”

ජල හිඟයේ ව්‍යාප්තිය

මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ නගරය වත්මනෙහි එහි නිවැසියන්ට ජලය සපයන්නේ දැඩි සීමාවන්ට යටත්වය. වියළි කාලගුණය දිගින් දිගටම පැවතුණහොත් මෙල්බර්න් නගරයේ සියලූ ජල මූලාශ‍්‍ර තව අවුරුදු 10කින් පමණ සිඳී යනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානු රජය අනතුරු අඟවයි. බ‍්‍රසීලයේ වැඩිම ජනගහනයක් සහිත නගරය වන සා ඕ පෝලෝ, 2015 නියං කාලයේදී රැුස් කරගෙන සිටියේ දින 20කට පමණක් සෑහෙන ජල ප‍්‍රමාණයකි. වාසනාවකටදෝ, අර්බුදයක් හටගැනීමට මත්තෙන් වැසි වසින්නට විය. අද අපි ජල සම්පත් සුරැුකීමට පරෙස්සම් නොවුණහොත් 2025 වන විට ලෝවාසීන් බිලියන 3.5ක් උග‍්‍ර ජල හිඟයකට බඳුන් වනු ඇත. අද දකුණු අප‍්‍රිකාවේ රූපවාහිනී හා ගුවන්විදුලි චැනල් සියල්ලම පාහේ ජලය සුරැුකීමේ විධික‍්‍රම ගැන පහදා දෙන විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි. පිට්සා අනුභව කරන්නේ නම් කාඞ්බෝඞ් පෙට්ටියේ තබාගෙනම කන්න. ප්ලාස්ටික් බේසමක් ස්නානය සඳහා යොදාගෙන, එකතුවුණු වතුරෙන් රෙදි සෝදන්න. රෙදි සේදූ වතුර වැසිකිළි ෆ්ලෂ් කිරීම පිණිස යොදා ගන්න. කේප්ටවුන්හි පහළ මධ්‍යම පාන්තිකයෝ මෙම උපදෙස් දැන් දැන් නොවරදවා පිළිපදිති. එහෙත් එහි සුපිරි ධනවත්තු ලක ලැහැස්ති වන්නේ ජල හිඟයක් නැති ධනවත් රටවල තාවකාලික පදිංචිය සඳහා යෑමටය. 2018 පෙබරවාරි 09 දින කේප්ටවුන් වෙත මිලිමීටර් 08ක පමණ වර්ෂාවක් ඇද හැලූණද, ජලය සුරැුකීම දිගටම සිදුකළ යුතුය යන පාඩම අද ඔවුන් අත්දැකීමෙන්ම උගෙන සිටිති. වත්මනෙහි ලංකාවේ පවතින නියඟය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 06ක පුද්ගලයන් ලක්ෂ 03ක් පමණ පීඩා විඳිති. එහෙයින් ජල සංරක්ෂණ ජාතික සැලැස්මකට යෑමට අප තවදුරටත් පමාවිය යුතු නොවේ.