රාවය

රැඩිකල් විසදුමකට ආණ්ඩුවට ශක්තියක් නැහැ. මහාචාර්ය සුමනසිරි ලියනගේ

රැඩිකල් විසදුමකට ආණ්ඩුවට ශක්තියක් නැහැ. මහාචාර්ය සුමනසිරි ලියනගේ

පැවති පළාත්පාලන මැතිවරණය ග‍්‍රාමීය සීමාවෙන් ඔබ්බට ගොස් ජාතික මුහුණුවරක් ගත්තා. මේ තත්ත්වයට හේතුව හැටියට ඔබ දකින්නේ මොකද්ද?

මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ මැතිවරණ ප‍්‍රචාරණයේදී කිව්ව ප‍්‍රධාන කරුණක් තමයි, මේක ආණ්ඩුවට එරෙහි ජනමත විචාරණයක් කරගමු කියන එක. ඒ වගේම මේක අගමැතිවරයා ඉවත් කරන මැතිවරණයක් බවට පත් කරගමු කියන එකත් සාකච්ඡුා වුණා. විපක්ෂයේ මේ තේමාවන් නිසා එක්සත් ජාතික පක්ෂයට සහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයට විශාල අභියෝගයක් වුණා. මේ මැතිවරණය සාමාන්‍ය පළාත් පාලන මැතිවරණයකට වඩා එහා ගියේ ඒකයි.

ඒ වගේම ඒ සාධකය තවදුරටත් වර්ධනය වෙන්න බලපාපු තවත් ප‍්‍රධාන කාරණයක් වුණේ මේ ඡන්දය පවත්වපු විදිහ. මොකද මේක පැවැත්තුවේ එකම දවසක. මේ විදිහේ පුංචි මැතිවරණයක් එකම දවසක පැවැත්වීම කියන කාරණය රටේ ජනතාව මෙය ජාතික මැතිවරණයක් හැටියට ගන්න මූලික හේතුවක් වුණා.

මැතිවරණ එකවර නොපවත්වා තමන් නියෝජනය කරන පක්ෂයට උපරිම අනුග‍්‍රහය ලබා දෙමින් මැතිවරණ කොටස් වශයෙන් පැවැත්වීමට ආණ්ඩු කටයුතු කිරීම කියන කාරණය අපි ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලක්ෂණයක් හැටියට?

පළාත් පාලන මැතිවරණයක් එක දවසේ තියන එකේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමක් නෑ කියලයි මං හිතන්නේ. මට මතකයි ඉස්සරත් පුංචි මැතිවරණ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් තිබ්බේ. අපේ ගමේ මැතිවරණය තිබුණේ ගමේ අයගේ සහභාගීත්වයෙන්. ඒකට බාහිරින් ලොකු බලපෑම් ආවේ නෑ.

මම කල්පනා කරන විදිහට ගමේ ප‍්‍රශ්නවලට මුල් තැන දෙමින් පුංචි ඡුන්ද පවත්වන එක තමයි වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී. මේ විදිහට හැමෝම ඡුන්ද සටනේ ඉන්නකොට ගමට ආවේනික කුඩා ප‍්‍රශ්න මත නෙමෙයි සටන ගෙනියන්ඩ වෙන්නේ ලොකු ප‍්‍රශ්න මත.

ඒ නිසා ඉදිරි පළාත් සභා මැතිවරණයත් මේ විදිහට එක වර තිබ්බොත් අපිට පැහැදිලිව බලාගන්න පුළුවන් වෙයි ඒක මහ මැතිවරණයක ස්වභාවයක් ගන්න හැටි. ඉතිං පළාත් පාලන මැතිවරණ ඒ ඒ ප‍්‍රාදේශීය සභාවල ඒ ඒ නගරසභාවල කාලය ඉවරවෙද්දිම ඒ ඒ තැන්වල පවත්වන එක තමයි හොඳ ම ක‍්‍රමය.

ඔබ පැවසූ ආකාරයටම, මේක ජනමත විචාරණයක් කරගමු කියන ප‍්‍රවාදය අරන් ගියේ විපක්ෂය. ඒ වගේම ඒ හේතුකොට ජාතික දේශපාලනයේ වෙනස්කම් සිදු කළ යුතුය කියන එකත් ඒ අය ම ගෙනියන මතයක්. සමස්ත ප‍්‍රතිඵලය දිහා බලද්දි ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ වගේ පක්ෂවලත් යම් පසුබෑමක් පෙන්වනවානේද?

අද ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ ප‍්‍රධාන පක්ෂ තුනක් බිහිවෙලා තියෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ වගේ තවත් තරගකාරී කුඩා පක්ෂත් තියෙනවා. ජනතාව මේ ව්‍යුහයන් ඇතුළේ ඉඳලා ඡුන්දය ලබා දෙනකොට සිදුවෙන කාරණයක් තමයි, මේ කිසිම පක්ෂයකට සියයට පණහ ඉක්මවා ඡන්දය ලබාගන්න අමාරු වෙන එක. මේ තියෙන මේ පසුබිමේදී විතරක් නෙමෙයි අනූ හතරේදී පවා ඔය දේ පැහැදිලිව පේන්න තිබ්බා. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේදී දිනාගත් ආසන සංඛ්‍යාව තනි බලයක් ගොඩනගාගන්න ප‍්‍රමාණවත් වුණේ නෑ. ඒත් ඇයව ජනාධිපතිවරණයේදී සියයට හැටක විතර විශාල ඡන්දයක් ලබාගන්න පුළුවන්කම තිබුණා. ඉතිං මේ ව්‍යුහය ඇතුළේ තමයි අපිට පේන්නේ ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ප‍්‍රමාණය සියයට හතළිස් පහක වගේ ප‍්‍රමාණයක තිබීම. ඉතිං ඒ දේ පදනම් කරගෙන කවුරුහරි ඇස්තමේන්තු කරනවානම් ජනාධිපතිවරණයක් වගේ අපේක්ෂකයින් දෙන්නෙක් පමණ ඉදිරිපත්වන තැනකදීත් එහෙම වෙයි කියලා ඒක අර්ථාන්විත නෑ.

ඊළග කාරණේ, මේ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලබාගත්ත ඡන්ද ගාණ දෙදහස් පහළව ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂට ලැබුණු ඡුන්ද ප‍්‍රමාණයට වඩා අඩු බව ඇත්ත. ඒත් ඒක දෙදහස් පහළොවේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ලැබූ ඡන්දවලට වඩා වැඩියි.

එළඹීමට නියමිත පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය වෙනුවට මුළින් ම මහ මැතිවරණයක් පවත්වන්න කියන එක ඒකාබද්ධ විපක්ෂයේ අනික් ප‍්‍රවාදයේ හැඟවුම, ඉදිරි ජනාධිපතිවරණයේදී නායකත්වය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාට එන අභියෝගය පාර්ලිමේන්තුවක් පිහිටුවාගෙන ව්‍යවස්ථා සංශෝධනයකින් අයින් කරගැනීම කියලා ඇතැම් උගතුන් අදහස් කරනවා?

ඒක ඒ අයගේ ඉල්ලීමක් විතරයි. පාර්ලිමේන්තු ඡන්දයකින් පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තොත් දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති විය හැකි ව්‍යවස්ථාමය තත්ත්වයක් ඇතිකැරගැනීමට හැකියි කියන, ඔබ කියූ කල්පනාව වුණත් ඒ අයට තියෙන්න පුළුවන් තමයි.

කොයි දේ වුණත් මේ පළාත් පාලන මැතිවරණය ඉතාම පැහැදිලිව දෙන සඥාව තමයි පසුගිය අවුරුදු තුනක කාලය තුළ යහපාලන ආණ්ඩුව විසින් ගෙනගිය ප‍්‍රතිපත්ති මාලාව සහ ක‍්‍රියාමාර්ග මේ රටේ ග‍්‍රාමීය ජනතාව ප‍්‍රමුඛ සාමාන්‍ය ජනතාව සහමුලින්ම ප‍්‍රතික්ෂේප කරනවා කියන එක.
මේ පළාත් පාලන ප‍්‍රතිඵලය යහපාලන ආණ්ඩුවේ සුජාතභාවය නැති කළා. ඒ නිසා අගමැතිවරයා ඉවත්වෙන්න කියලා ඉල්ලන එකෙත්, සියල්ලට කළින් පාර්ලිමේන්තු ඡුන්දයක් තියලා තමන්ට සුජාතභාවයක් තියෙනවාද කියලා තහවුරු කරගන්න කියලා විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලන එකෙත් එක පැත්තකින් බලද්දි අසාධාරණයක් නෑ.

අපි දන්නවා පහුගියදා එංගලන්තයේ අගමැතිවරයා ඉවත් වුණේ අගමැති පිළිබඳ ඡන්දයකින් නෙමෙයි. වෙනත් සිදුවීමක් පාදක කරගෙන මිනිස්සුන් පාවිච්චි කළ ඡන්දවල ප‍්‍රතිඵලය එතුමා ගත්තෙ තමන්ගේ වැඩපිළිවෙළටත් විරුද්ධව ජනතාව දෙනලද තීන්දුවක් කියලා. ඒ වගේම ඡන්දය පාවිච්චි කළ ජනතාව ඒක පාවිච්චි කළෙත් හුදු එක සිදුවීමක් පිළිබඳ ඡන්දයක් විදිහට නෙමෙයි අගමැතිවරයාගේ ප‍්‍රතිපත්තිවලට ද විරුද්ධ සංඥාවක් හැටියට. කොහොම වුණත් මේක පිළිගත්ත කැමරන් අගමැති තුමා ඉතාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදිහට ඉල්ලා අස්වුණා.

සිදුකරමින් ඇති අමාත්‍ය මණ්ඩල සංශෝධන ආණ්ඩුව මේ ප‍්‍රතිඵලය දිහා යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෝණයකින් බැලීමක් කියලා කියන්න බැරිද?

මට එහෙම හිතෙන්නෙ නෑ. මේ ප‍්‍රාදේශිය සභා මැතිවරණයෙන් පස්සෙ පවතින මධ්‍යම ආණ්ඩුව කොයිතරම් අස්ථාවරත්වයට පත්වුණාද කියලා බලද්දි පැහැදිලිව පේනවා මේ මැතිවරණය ඇත්තටම ප‍්‍රාදේශීය සභා මැතිවරණයක් නෙමෙයි කියලා. දහවැනිදා ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පස්සෙ ඇතිවුණ දේශපාලන අස්ථාවරත්වයටත් ඒ අස්ථාවරත්වය පාදකකරගෙන රටේ ඇතිවුණ ආර්ථික අස්ථාවරත්වයත් දැන් සුමාන කිහිපයක් ගිහිල්ලත් තවමත් තියෙනවා. වසන්ත සේනානායක මහතාගේ සිදුවීමේ ඉඳලා රංගේ බණ්ඩාර මන්ත‍්‍රිවරයාගේ සිදුවීමේ ඉඳලා තවමත් පේන්නේ ඒ දේ තමයි.
අපිට මතකයි එදා ජනාධිපතිවරයා කිව්වා සතියකින් විශේෂ ප‍්‍රකාශනයක් කරනවා කියලා. ඒත් තවමත් ජනාධිපතිවරයා කිසිම විධිමත් ප‍්‍රකාශනයක් කරලා නෑ.

ලෙනින් වෙලාවක කිව්වානෙ යම් රටක පූර්ව විප්ලවවාදී තත්ත්වයක් කියන්නේ සමාජයේ ඉහළ තට්ටුවට තමන් එතෙක් කල් පාලනය කළ ආකාරයට තවදුරටත් පාලනය කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවීම කියලා. ඒ තට්ටුව විතරක් තිබුණා කියලා විප්ලවයක් වෙන්නෙ නෑ තමයි. ඒත් ඒක විප්ලවයන එක තට්ටුවක්.

කොහොම වුණත් මේ ප‍්‍රතිඵලවලින් පේන්නේ ලංකාවේ දේශපාලනයත් ඒ තට්ටුවට උරුමකම් කියමින් ඉන්නවා කියලා. මොකද අද ලංකාවේ ඉහළ තට්ටවුවට තමං කලින් පාලනය කළ කලාවට රට පාලනය කරන්න බැරිවෙලා තියෙනවා. මං මතු කළ ඒ තට්ටවුවට මේ ආණ්ඩුව විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමත් අයත් වෙනවා. රටක් ඒවගේ තත්ත්වයකට පත්වුණාම අවශ්‍ය වන්නේ රැුඩිකල් විසඳ‍්‍රමක් කරා යෑම. ඒත් එවැනි විසඳුමකට යෑමට තරම්වත් ශක්තියක් මේ ආණ්ඩුවට නෑ. කැබිනට් සංශෝධනය කියන එක ඒ විදිහේ වැදගත්කමක් ගන්න එකක් නෙමෙයි.
පහුගිය කාලය තුළ කිසිම අව්‍යාජ සංශෝධනයක් සිදුවුණේ නෑ. කළින් ජනාධිපති කිව්වා ආර්ථිකය තමන් අතට ගන්නවා කියලා. ඒත් එහෙම කළේ නෑ. රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පොඩිම හරි උදව්වක් වෙනවනම් වෙන්නෙ ආචාර්ය හර්ෂද සිල්වා මහතාට ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යධුරය ලබාදීම තුළ විතරයි.

රටේ උද්ගතව ඇති මේ අතීරණාත්මක අර්බුදය සෙසු බාහිර සාධකවලට අමතරව ව්‍යවස්ථාමය වශයෙන් මතු වූ අර්බුදයත් බලපෑවා නේද?

ඔව්. ඔබ කිව්වා වගේ මේ අර්බුදයට ප‍්‍රධාන වශයෙන් බලපාලා තියෙන කාරණයක් තමයි දහනමවැනි ව්‍යවස්ථා සංශෝධනය. ඒ සංශෝධනය කියවද්දි පැහැදිලිව පේනවා මේක ලියපු අය ඒ සඳහා සුදුස්සන් නෙමෙයි කියලා. මොකද ඒ තරමට අප‍්‍රවේශම්කාරී විදිහටයි මේක ලියවිලා තියෙන්නේ.
උදාහරණයක් විදිහට ගත්තොත් පූර්ව ව්‍යවස්ථා ප‍්‍රතිපාදනයන්හි තියෙන අගමැතිවරයා ඉවත්කිරීමට ජනාධිපතිවරයාට හැකිය කියන කෑල්ල දහනමයෙදිඅයින් කරලා තියෙනවා. ඒ වගේම ඒ වගන්තිය යටතේ ජනාධිපතිවරයා ඉවත්කිරීම කියන වචනය එන්නෙ නෑ. ඒත් හතලිස් හත හතලිස් අට හතලිස් නවය වගේ වගන්තිවල දිගින් දිගටම යෙදෙනවා අගමැතිවරයා ඉවත් කළොත් – ඉවත් කළොත් කිය කිය. මේකෙන් පේනවා මේ ව්‍යවස්ථාව ලියපු අය මුල් ව්‍යවස්ථාවේ එක තැනක් සංශෝධනය කරලා අඩුම තරමේ ඒ සංශෝධනයට ගැලපෙන විදිහට අනික් වගන්ති වෙනස් කරන්න තරම්වත් ප‍්‍රවේශම් වෙලා නෑ කියලා.

කොහොම වුණත් මේ මතු වුණ අර්බුදය ඇතුළේ ඉතාම සූක්ෂම විදිහට හැසිරුණු නායකයා රනිල් වික‍්‍රමසිංහ විතරයි. ඔහු දහ නමවැනි ව්‍යවස්ථාවේ තියෙන මේ දුර්වලතා සූක්ෂමව පාවිච්චි කළා තමං ව්‍යවස්ථාවට අනුව වැඩ කරනවා කියලා ජනාධිපතිවරයාට තර්ජනයකුත් කරමින්. ඒ විතරක් නෙමෙයි ඒක හරහාම ඔහුට පුළුවන් වෙලා තියෙනවා තමාගේ පක්ෂය තුළ තියෙන අර්බුදයත් සමනය කරගන්න. අද රංගේබණ්ඩාර මන්ත‍්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් අගමැතිවරයා ඉවත් කරන්න විශ්වාසභංග යෝජනා ගේනවා කියලා කිව්වත් මේ තියෙන තත්ත්වය ඇතුළේ ඒක පහසුවෙයි කියලා මම හිතන්නෙ නෑ. පවතින පක්ෂ ව්‍යුහය හා නායකත්වයට තියෙන ශක්තියත්, ඒ නායකත්වය එක්ක තනතුරු තියෙන වෙනත් අය ගැටගැහිලා ඉන්න විදිහත් දිහා බලද්දි ඒක ඉතාම අසීරු වෙයි කියලා තමයි හිතන්න වෙන්නෙ. පහුගිය කාලයේ ඉදන්ම අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර පැවති නිරවි යුද්ධය අගමැතිතුමාගේ ජයග‍්‍රහණය මතින් අවසන් වුණා කියලා තමයි මේ වෙලාවේ කියන්න පුලූවන්.

කොහොම වුණත් මේ තියෙන තත්ත්වය හැටියට කල්පනා කරද්දි හිතන්න පුළුවන් දෙයක් තමයි, දෙදහස් විස්සේ ජනාධිපතිවරණය තුළත් පැවති පළාත්පාලන මැතිවරණයේදී වගේම තුන්කොන් තරගයක් සිදුවෙයි කියන එක. එහෙම වුණොත් ඒ ජනාධිපති මැතිවරණයෙන් කිසිවෙකු ජයග‍්‍රහණය නොකරන්න පුළුවන්. ඒ විදිහේ අර්බුදයක් සිදු වුණොත් රටේ දේශපාලනය තවත් අස්ථාවර තත්ත්වයකට පත්වේවි.

ඒ වගේම යාපනය අර්ධද්වීපය තුළ දෙමළ ජාතික සංවිධානයට ඇතිවෙලා තියෙන තත්ත්වයත් මේ අර්බුදය ඇතිකරන්න මුල් වෙයි. මොකද ඒ පළාතේ දෙමළ ජාතික සන්ධානයට තිබුණු ඒකාධිකාරය මේ මැතිවරණයෙන් බිඳවැටුණා. ඒ අයට ලබාගන්න පුළුවන් වුණේ සීයට තිස් පහට අඩු ඡන්ද ප‍්‍රමාණයක්. ඒ වගේම මේ ඡන්දයේදී ටීඑන්ඒ එකට විරුද්ධ ගජන් පොන්නම්බලම්, ඩග්ලස් දේවානන්ද වගේ අයගේ දේශපාලන පක්ෂ විශාල ජනප‍්‍රියත්වයක් ලබාගත්තා. මේ නිසා දෙදෙහස් විස්සේ ජනාධිපතිවරණය වඩාත් ව්‍යාකූල එකක් වේවි.

මේ අර්බුදය හුදෙක් දේශපාලන අර්බුදයක් නෙමෙයි. මේක දෙදහස් පහළොවේ විතර ඉඳන් දිගහැරෙන නව ලිබරල් වාදයේ අර්බුදයක්. මේ රටේ මිනිස්සු රුපියල් සීයකට පොල් ගෙඩියක් ගන්නත් රුපියල් සීයකට හාල් කිලෝ එකක් ගන්නත් තවදුරටත් සූදානම් නෑ. මේ ප‍්‍රතිඵලය කියන්නේ යහපාලන ආණ්ඩුව විතරක් නෙමෙයි, නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තිය ම පරාජය කළ යුතුයි කියන එක. ඒනිසා වෙනස් ආර්ථික මූලෝපාංග නැතිව ඉදිරියට යන එක අපේ රටේ දේශපාලනඥයින්ට තවදුරටත් ගැටලූවක් වෙයි.