රාවය

තිරියායි සෝලයේ නොවනවතින දුෂ්කර කි‍්‍රයාව

තිරියායි සෝලයේ නොවනවතින දුෂ්කර කි‍්‍රයාව

තම වාසභූමි සොයා නැවත ඒමට ඔවුන්ට අවස්ථාවක් ලැබී තිබුණ ද තවත් වසර නවයක් ගතවන තුරුත් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් නොවීම ඔවුන්ගේම වරදක් නොවේ. ඔවුන්ට එදා උන්හිටි අතැර දමා හිස් ලූ ලූ අත යාමට සිදුවූයේද ඔවුන්ගේ වරදක් හේතුවෙන් නොවේ. තිස් වසරක යුද්ධයෙන් මෙරට උතුරේ ද දකුණේ ද අහිංසක මිනිසුන් බැට කෑහ. හිඟන්නාගේ තුවාලය බවට පත් කර ගත් යුද්ධය කෙසේ හෝ නිමාවකට පත් වුව ද ඉන් බැට කෑ මිනිසුන්ගේ අරගලය නම් තවමත් නිමාවක් දැක නැත. මේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ කුච්චවේලි ප‍්‍රාදේශීය සභාවට අයත් තිරියායි ග‍්‍රාමනිලධාරී වසමට අයත් සෝලයේ මිනිසුන්ගේ කතාවයි.

‘‘ යුද්ධය නිසා සමහරු මේ ගම අත්හැරලා වෙනත් පළාත්වලට ගියා. සමහරු ඉන්දියාවට ගියා. අපිත් ඒ කාලේ මේ ගම අත්හැරලා ජීවිතේ බේර ගන්න මුලතිව්වලට ගියා. සාම ගිවිසුම කාලේ අපි ආපහු ගමට එද්දී මේ ඔක්කෝම කැලේ වෙලා තිබුණා. අපි කැලේ හෙළිපෙහෙළි කරගෙන පුංචියට ගෙවල් හදාගෙන පදිංචි වුණා. ඒත් ආයේ යුද්ධය පටන් ගත්තාම අපි ආයෙමත් අවතැන් වුණා. කඳවුරුවල ඉඳලා නැවත අපි ගමට ආවේ 2009 අවුරුද්දේ යුද්ධ අවසන් වුණාමයි. මේ ඉන්න ගේ අපිට සේවා ලංකා එකෙන් හදලා දුන්නා. ඒත් තවමත් අපිට ආදායම් මාර්ග නැහැ. වතුර ප‍්‍රශ්නය නිසා වගා කරන්නත් විධියක් නැහැ. ඒ නිසා කුලී වැඩක් ලැබුණොත් ඒවාට යනවා, මිරිස් කඩන්න යනවා. ඒවාත් හැමදාම නැහැ. ඒ නිසා දවසටම කෑම ටිකක් කන්නේ ? වේලට විතරයි. වැඩකට ගියොත් ඒ යන තැනින් තේ නම් දෙනවා, ඒත් කෑමක් ලැබෙන්නේ නෑ. දරුවන්ටවත් තුන්වේලක් කන්න දෙන්න අපිට පුළුවන්කමක් නෑ” තේවරාණි කීවේ කඳුළු රැඳි දෙනෙතිනි.

යාබද නිවසක සිටි සෙල්ලතම්බි රාසමනී ද පැවසුවේ මෙවන් කතාවකි.‘‘ යුද්ධය නිසා 1990 අවුරුද්දේ අපිට මේ ගම අත්හැරලා මුලතිව්වලට යන්න සිද්ධ වුණා. පස්සේ අපිට අවතැන්වෙලා කඳවුරුවල ඉන්න සිද්ධ වුණා. යුද්ධය ඉවර වුණාම අපි ආයේ ගමට ආවා. රජයෙන් අපිට රු. 25000ක් ලැබුණා. ඒකට තව සල්ලි දාලා ටික ටික මේ ඉන්න ගේ හදා ගත්තා. ඒත් අපිට තවම කිසිම ආදායම් මාර්ගයක් නැහැ. මිරිස් කඩන්න ගියොත් දවසට රු. 600ක් ලැබෙනවා. ඒත් වැඩ තියෙන්නේ සතියට දවස් දෙකක් හෝ තුනක් විතරයි. දරුවන්ගේ දේවල් ගැන බලන්නවත් හරියකට කන්න තරමටවත් අපිට ආදායමක් නැහැ.”

අවු කාෂ්ඨයට මැදිවූ ඔවුන්ගේ කුඩා නිවෙස් වටා ඔවුහු යම් යම් භෝග වගා කිරීමට ද අසාර්ථක ප‍්‍රයත්නයක යෙදී තිබුණි. එහෙත් ඒ වගාවන්ට යෙදීමට ජලය සපයා ගැනීම පවා ඔවුන්ට ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබුණි. බීමට පවා ඔවුන්ට ජලය සපයා ගැනීම පහසු කටයුත්තක් වී තිබුණේ නැත. ඒ සියලූ කරදර මධ්‍යයේ ඔවුන්ට ජීවත්වීමට හරියාකාර ආදායම් මාර්ග ද සැලසී නොතිබිණ. ‘‘ රුවෝ සාමාන්‍ය පෙළ වෙනකම් ඉගෙන ගත්තා. වැඩිදුර අධ්‍යාපනේකට යවන්න තියා කන්න බොන්න ටික හරියකට දෙන්නවත් අපිට පුළුවන්කමක් නෑ.” සෙල්ලතම්බි කීවේය.

තරුණ වියේ පසුවන කමලදාස් නිදර්ශන් විවාහ වී වසරකි. ඔහු එක් දරු පියෙකි. ‘‘ ඉන්දියාවේ ඉඳලා ආව අයටත් ගෙවල් ලැබුණා. ඒත් අපිට ගෙවල් ලැබුණේත් නැහැ. මගේ අයියාත් වන්නියේ ඉන්න කාලේ යුද්ධයට මැදිවෙලා මැරුණා. අපි 2009 දී ගමට ඇවිත් පදිංචි වුණත් කරන්න කිසිම රස්සාවක් තවම නැහැ. ඒ නිසා සමහර දවසට කුලී වැඩ හොයන් යනවා. කොහොම හරි වගාවක් කරන්න ඕනෑ කියලා හිතලා මම වගා කරන්න පටන් ගත්තා. ඒත් ඒවාට වතුර ටිකක් දාන්නවත් ක‍්‍රමයක් නැහැ. අවශ්‍ය උපකරණ කිසිවක් ගන්න තරම්වත් අපිට සල්ලි නැහැ. ඒ නිසා මම පුංචි භාජනයකින් වතුර වාර ගණනාවක් පුළුවන් විධියට ටික ටික ගෙනිහින් දානවා.” ඔහු ඔහුගේ වියළී ගිය සරු සාර නොවූ වගා බිම පෙන්වූයේ කනගාටුව රැුඳි මුහුණෙනි. ”පොදු වැඩපොළ කියලා එකක් රජයේ මැදිහත්වීමෙන් දාලා තියනවා. එතැන වැඩට යන අය සතියේ දවස් පහක් වැඩ කළාම රු. 2500ක් වටිනා සීනි, පිටි වගේ ගෙදරට අවශ්‍ය බඩු දෙනවා. ඒත් එතැන වැඩ ලැබෙන්නේත් හිතවත්කම් මතයි. වෙනත් අයට එතැන වැඩ ලැබෙන්නේ නැහැ. ඒ වැඩ ගැන බලන්නේ ග‍්‍රාමනිලධාරීයි.” ඔහු පැවසූයේ චෝදනා මුවෙනි.

එස්. වසන්තා සිය කතාවට මුලපිරුවේ කඳුළු වගුරුවමිනි. ඇගේ පස් හැවිරිදි හා දොළොස් හැවිරිදි දරුවන් දෙදෙනාම හෘදය රෝගීන් බව ඇය පැවසුවාය. ‘‘ දරුවෝ දෙන්නා ක්ලිනික් නම් ගෙනියනවා. ඔපරේෂන් කරන්න කියලා කීවත් මහත්තයා කියන්නේත් දරුවෝ දෙවියෝ බලා ගනීවි කියලායි. ඔපරේෂන් කරන්න නම් ලක්ෂයක්වත් වියදම් යාවි. කුලී වැඩකටවත් ගියොත් විතරයි කන්න දෙන්නවත් පුළුවන්. එහෙම තත්ත්වයක ඉඳන් ඒ වගේ දේ අපිට කරන්න පුළුවන්කමක් නැහැ. යුද්ධය නිසා අපි වන්නියට ගියා. යුද්ධයෙන් පස්සේ ආවත් කිසිම සහනයක් තවම නැහැ. අපි ඉන්න මේ කොටස වෙන් කරලා වගෙයි. රජයේ හෝ රජයේ නොවන කිසිවෙකුගේ උදව්වක් අපට නැහැ.”

නොනවත්වා හඬමින් සිටි සිය කුඩා දරුවා වඩාගෙන කුමුදිනී ඇගේ කුඩා නිවස අසල මිදුලේ සක්මන් කළාය. ඇගේ කතාව ද තිරියායි සෝලයේ අනෙක් මිනිසුන්ගේ කතාවට වැඩි වෙනස් නොවූයේය. ‘‘ මහත්තයා පුල්මුඬේ කුලී වැඩකට යනවා. ඒ ලැබෙන මුදලෙන් ගේ හදා ගන්නවත් මුදලක් ඉතිරිකර ගන්න බැහැ. අපි සතියෙන් සතිය ගෙවන ලෝන් එහෙමත් අරන් තමයි ජීවත් වෙන්නේ. හැම පැත්තෙන්ම ප‍්‍රශ්නවල ඉවරයක් නැහැ. යුද්ධය ඉවර වුණත් ජීවත්වෙන්න තාමත් හරියකට පහසුකමක් නැහැ.” ඇය කියන්නීය.

මේ සෝලයි ගම්මානයේ ගැටලූ සම්බන්ධව තිරියායි ග‍්‍රාම නිලධාරීවරයා වන චන්ද්‍රමෝහන් මහතාගෙන් දුරකථනයෙන් අප කළ විමසීමේ දී ඔහු ප‍්‍රකාශ කළේ තිරියායි, සෝලයි ග‍්‍රාමනිලධාරී වසම්වල සිටින සියලූ පවුල් යුද්ධයෙන් අවතැන්ව සිට නැවත පදිංචිවූවන් වන අතර ඇතැම් පවුල් සඳහා තවමත් නිවාස නොමැති ගැටලූව පවතින බවයි. පසුගිය වසරේ කුච්චවේලි ප‍්‍රාදේශීය සභාවටම නිවාස 40ක් රජයෙන් ලබා දුන් බවත් ඒ නිවාස ග‍්‍රාමනිලධාරී වසම් 27ක් තුළ බෙදී ගිය බවත් ඔහු සඳහන් කළේය. ඒවා ලකුණු පටිපාටියකට අනුව බෙදා දීම සිදුවන බව ද ග‍්‍රාමනිලධාරීවරයා තවදුරටත් පැවසුවේය. එමෙන්ම සෝලයේ ජලය සපයා ගැනීමේ ගැටලූව ද පවතින බවත් ඔහු ප‍්‍රකාශ කළේය. පොදු වැඩපොළ නමින් ශ‍්‍රමදානයක් මේ වන විට වාර හතරක් පවත්වා ඊට බඩු මල්ලක් ලබාදීමේ ක‍්‍රියාවලිය සිදුකළ නමුත් එය පැවැත්වූ ආකාරය, අවස්ථා ලබා දුන් ආකාරය ආදී තොරතුරු පිළිබද තමාට දුරකථනයෙන් පැවසිය නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තිරියායි ග‍්‍රාම නිලධාරී වසමට අයත් සෝලයේ පවුල් තිස්පහක් වුවත් ඒ පවුල් සියල්ල සිටිනුයේ දරිද්‍රතාවයේ පතුලේය. ඇතැම් අවස්ථාවල පිටස්තර පිරිස් පැමිණ ඔවුන්ට කන්න වේලක් සපයා යන දුලභ අවස්ථා ද තිබුණද ඔවුන්ගේ දරිද්‍රතාවට විධිමත් පිළියම් යොදන්නට තවමත් කිසිවෙකු සමත්ව නොමැත. යාන්තමින් ඉදිකර දී තිබූ හෝ ඉදිකරගත් නිවාස වැඩි දියුණු කර ගැනීමට හෝ ඔවුන්ට තවමත් හැකියාවක් ද ලැබී නැත. සියල්ලටම වඩා යාන්තමින් කුසගින්න නිවා ගැනීමටවත් හරියාකාර මගක් ඔවුන්ට පෙනෙන මානයේවත් තවම නැත. යුද්ධයේ මරණ බිය අද ඔවුන් වෙත නැතත් ජීවන අරගලය ඒ ජීවිතවලට නොනවත්වාම තවමත් බැටදෙමින් සිටියි.