අනන්‍යතාව සොයන සහ සගවන වෙරළබඩවාසී වැද්දෝ….

කැලෑ රොදවල්, කුඩා නිවෙස්, වැව් පසු කරමින් අපි වේලායුදන් සොයා ගියෙමු. ඔහුගේ වාසස්ථානය වූයේ වාකරේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මධුරන්කුලම්හි පිහිටි කුංජන්කුලම් ගම්මානයයි. බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍ය චාල්ස් ගේබි‍්‍රයෙල් සෙලිග්මාන් සහ ඔහුගේ බිරිද වූ බ්‍රෙන්ඩා සෙලිග්මාන් ද වේලායුදන්ලාගේ ආදි පරපුර සොයා ගියේ විසිවන සියවසේ මුල් කාලවකවානුවේය. අද එදාට වඩා බොහෝ දේ වෙනස්ව තිබිය යුතුය. ඔවුහු එදා මෙරට සිදු කළ ගැඹුරු ක්ෂේත‍්‍ර අධ්‍යයනයෙන් The Veddas නම් කෘතිය අද වන විට ඒ සම්බන්ධ මානව විද්‍යාත්මක අධ්‍යයයන කෘතියක් ලෙස ලොව පුරා සම්මානයට පාත‍්‍ර විය. මෙරට ආදි වාසී පරපුර ගැන ඔවුහු ගැඹුරින් විමර්ශනය කර තිබුණි. බොහෝ විට ආදිවාසීන් ලෙස රට අභ්‍යන්තරයේ ජීවත් වූ වැද්දන් පිළිබද කථිකා ඇතත් වෙරළබඩ ආදිවාසීන් පිළිබද කථිකාව සාපේක්ෂව අඩුය. එහෙත් සෙලිග්මාන් සිය කෘතියෙන් වෙරළබඩ ආදිවාසීන් පිළිබද ද බොහෝ කරුණු අනාවරණය කරයි. මුහුදු වැද්දන් සොයා ගිය මේ ගමන, සෙලිග්මාන් හෙළි කළ බොහෝ තොරතුරු අපට නැවත සිහිපත් කළේය. ඇතැම් දේ අද වන විට එදා මෙන්ම ද ඇතැම් දේ බොහෝ වෙනස්කම්වලට ද බදුන්ව තිබුණි.

නිවස ඉදිරිපිට මිදුලේ බිම හිද සිටි කාන්තාව පුවක් ගෙඩි කීපයක ලෙලි ඉවත්කරමින් සිටියාය. කුඩා මුණුබුරා හා මිණිබිරිය ඇය වටා දුව ඇවිද්දෝය. මග කියූවන් සැපයූ තොරතුරුවලට අනුව නම් අප සෙවූ නිවස මෙය විය යුතුය. කාන්තාවගේ විමසුම් බැල්මට ප‍්‍රතිචාර ලෙස වේලායුදන්ගේ නිවස මෙය දැයි අපි ඇසුවෙමු. එහෙත් වේලායුදන් අසල නිවසකට ගොස් සිටි අතර ඇය ඔහු කැදවීමට කටයුතු කළාය. සිනාමුසු මුහුණින් ඔහු අප වෙත පැමිණියේ පා පැදියෙනි. එක් උරයක රදවාගත් රත් පැහැ රෙදිකඩත්, අනෙක් උරයේ රැදුණු පොරොවත්, පසුපසට ගැට ගැසුණු කොණ්ඩයත් ආදී ස්වරූපයන් සිහිපත් කළේ රට අභ්‍යන්තරයේ සිටින ආදිවාසීන්ය. මේ වෙරළබඩවාසී වැදි නායක වැදි නායක නල්ලතම්බි වේලායුදන්ය.

‘‘ අපිට මුහුදු වැද්දෝ කියලා තමයි කියන්නේ. මුහුදු වැද්දන්ටත් වරිග කීපයක් තියෙනවා. අපි අයත් වෙන්නේ අම්බල වරියටයි. මම උපන්නේ මාංකර්ණිවලයි. අපේ පරම්පරාවේ අය කැලේ ජීවත්වෙද්දී ඉංග‍්‍රීසීන් අපිව මාංකර්ණිවලට ගෙනත් පදිංචි කරවලා තියෙනවා. පස්සේ අපේ අයට එහේ ජීවත්වීම පුරුදු නැති නිසා ආයේමත් කැළේට ගිහින් තියෙනවා. ඒ කාලේ අපේ අය බඩ ඉරිගු, කුරක්කං වගේ හේන් ගොවිතැන් කර තිබුණා. ඒ විතරක් නෙමෙයි සතුන් දඩයම් කළා, මාළු ඇල්ලූවා. පස්සේ කාලෙක ආණ්ඩු මාරු වෙද්දී කැළේ කැපීම තහනම් කළාම නැවතත් අපිව ආණ්ඩුවෙන් මේ ගමේ පදිංචි කළා. ඒ 1966 දීයි. අපි මෙතැන ඉලූක්වලින් පැල් අටවාගෙන ජීවත් වුණා. යුද්ධය ආවාම අපි සැරින් සැරේ මෙහෙන් ඉවත් වුණා. ආයේ ඇවිත් බලද්දී පැල්පත් ඔක්කෝම අලි විනාශ කරලා දාලා. ඉතින් අපි ආයේ පැල්පත් හදා ගන්නවා. එහෙම ඉන්නකොට තමයි යුද්ධයෙන් පස්සේ අපිට රජයෙන් ගෙවල් හදලා දුන්නේ. දැන් මේ ගමේ කලවම් නැති ආදිවාසී පවුල් 64ක් ඉන්නවා. මේ ආසන්නයේ තියෙන කිරිමිච්චේ කියන ගම්මානයේත් කලවම් නැති ආදිවාසී පවුල් 95ක් ඉන්නවා. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ වැදි ජනතාව ජීවත්වන ගම්මාන 22ක් පමණ තියෙනවා.’’ වැදි නායකයා පැවසුවේය.

කෙසේවෙතත් රට අභ්‍යන්තරයේ වෙසෙන ආදිවාසී ජනගහනයට වඩා විශාල ජනගහනයක් වෙරළබඩවාසී ආදිවාසීන් සිටින බව සෙලිග්මාන් ද සදහන් කරයි. ඊට ප‍්‍රධාන හේතුව ලෙස ඔහු සදහන් කරන්නේ දමිළ ප‍්‍රජාව සමග මිශ‍්‍රවීමෙන් එම ප‍්‍රජාව විශාලව ඇති බවයි. ” දැන් අලූත් පරම්පරාවල අය ආදිවාසී නොවන අයත් සමග මිශ‍්‍ර වීම වෙනවා. ඒ සමහර අය මේ ගම්වලින් ඉවත්වෙලා ගිහිල්ලා තියෙනවා. සමහර ගම්මානවල ආදිවාසී පවුල් අතරේත් ඒ අය ජීවත් වෙනවා.’’ ඒ වැදි නායක වේලායුදන්ගේ අදහසයි.

වෙරළබඩ වැද්දන් රට අභ්‍යන්තරයේ සිට නැගෙනහිර වෙරළ තීරයට සංක‍්‍රමණය වූ බව ද ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය වුවත් ඒ පිළිබ`ද නිශ්චිතව අනාවරණය කරගත නොහැක. ඔවුන්ගේ ප‍්‍රධාන භාෂාව මේ වන විට දමිළ භාෂාව වුව ද වේලායුදන්ට සිංහල භාෂාව ද හැසිරවීමේ හැකියාව තිබුණි. තම මුල් භාෂාව සිංහල භාෂාවට සමාන වූ බව වැදි නායකයා පවසයි. එමෙන්ම මුහුදු වැද්දන්ගේ භාෂාව සිංහල භාෂාවට ඉතා සමාන වූ බවට පොතපතෙහි ද ස`දහන්වේ. ”දැන් අපි කතා කරන්නේ දමිළ භාෂාවයි. වැදි භාෂාව සිංහල භාෂාවට ගොඩක් සමානයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි තිබුණේ. ආගම විධියට දැන් ගොඩක් අය අදහන්නේ හින්දු ආගමයි. ඉංග‍්‍රීසීන්ගේ කාලයේ ක‍්‍රිස්තියානි පල්ලි හදලා අපේ අය ඒ ආගමටත් යොමු කරලා තිබුණා. ඒ කාලයේ ඉපදුණු ළමයින්ට ඒ ආගමේ නම් තියලාත් තිබුණා. ඒ කාලයේ වැදි දෙවියන් ඇදහීම නොකළ නිසා වැදි දෙවියෝ මිනිස්සුන්ට ලෙඩ රෝග ඇති කරලා තිබුණා. බෙහෙත් කළත් සනීප කරන්න බැරි වෙලා තියෙනවා. පස්සේ අපේ පරණ අය වැදි දෙවියන්ට භාර වෙලා තියෙනවා. එතකොට තමයි ඒ ලෙඩ සනීප වුණා කියන්නේ. ඔයගොල්ලන්ගේ ආගමික වැඩ ඔයගොල්ලාම කරගන්න කියලා ඉන්පස්සේ ඉංග‍්‍රීසීන් අපේ අයට කියලා තියෙනවා. අද වෙද්දී ගොඩක් දෙනෙක් හින්දු ආගම ඇදහුවත් තවමත් හැම අවුරුද්දේම හත්වැනි මාසයේ අපි වැදි දෙවියන්ට පුදපූජා කරනවා. නැටුම් පවත්වලා, ස්ත්‍රෝත‍්‍ර කියලා පූජා කරනවා. ඔවුන්ගේ එම ඇදහිලි පැවැත්වෙන කුඩා කෝවිලක් ද ඒ ගම්මානයේම පිහිටා තිබුණි. එය මුල් කාලයේ ඉලූක්වලින් සාදන ලද්දක් බවත් යුද්ධයෙන් පසු එය රජයේ ද ආධාර සහිතව සාදන ලද බව ඔහු පවසයි.

කුංජන්කුලම්හි වාසය කළ මුහුදු වැදි පරපුරට අයත් ඔවුහු මේ වන විට ද කැලයට ගොස් මී කැපීම, වැවෙන් මාළු බෑම ආදී දේත් ගොවිතැන් කිරීමෙනුත් දිවි ගෙවූහ. වැසි ඇති කාලයට බඩඉරිගු ආදී වගාවන් කළ ද වතුර නොමැති පායන කාලයට ඒවා මැරී යන බව ඔවුහු කියති.

වේලායුදන්ලා කිසි දිනෙක පාසල් නොගිය ද ඔවුන්ගේ මුණුබුරු මිණිබිරියෝ අද වන විට පාසල් යති. ගුරුවරු නම් අඩුයි. මධුරංකුලම් රජයේ මිශ‍්‍ර පාසලේ 11වසර දක්වා පංති පැවතුනත් ගුරුවරු සිටින්නේ 7ක් පමණක් බව ද ඔවුහු පවසති. ඊට හේතු ලෙස මඩකලපුවේ සිට පැමිණිය යුතු දුෂ්කර ගමන බව ඔවුහු කියති. කෙසේ වෙතත් 11 වසර විභාගය එම ගම්මානයේ කිසිදු ළමයෙකු සමත් නොවූ බව වැදි නායකයා පවසයි. ‘‘ පාසල් ගමනින් පස්සේ ඒ ළමයි කුළී වැඩට හරි ගාමන්ට්වලට හරි යනවා. ළමයි එක්ක යන්න කොළඹ ගාමන්ට්වලිනුත් සමහර වෙලාවට එනවා. වේලායුදන් පවසයි. මාසකට වරක් මඩකලපුවේ සිට වෛද්‍යවරයෙක් කුංජන්කුලම් ගමට පැමිණේ. එසේ නොමැති නම් රෝහලක් වෙත යාමට වාකරේ හෝ වාලච්චේනයට යාමට ඔවුන්ට සිදුවේ. දිනකට එක් බස් වාරයක් ද ගමට තිබුණි. උදෑසන ගමෙන් පිටත් වන එය වාලච්චේනයට ගොස් නැවත දහවල් ගම්මානය වෙත පැමිණේ.
‘‘ මේ පළාතේ ඉන්න සමහර ආදිවාසී අය දැන් ටිකක් දියුණු වෙද්දී තමන් ආදිවාසීන් බව කියන්න කැමති නෑ. ඒ නිසා ඒ අය දෙමළ කියලා කියනවා. දැන් අපේ උප්පැන්න සහතිකවල ලියන්නේත් ශ‍්‍රී ලාංකික දමිළ කියලායි. ඉස්සර හිටිය අයගේ උප්පැන්න සහතිකවල ලියුවේ ශ‍්‍රී ලංකික වර්ඩර් කියලායි. අපි මේ ගැන කොළඹට ඇවිත් රජයේ අය හමුවෙලා කතා කරලාත් තියනවා.’’ වේලායුදන් පවසයි.

වේලායුදන්ට වැදි නායක තනතුර ලැබෙන්නේ 2011 වසරේය. ඊට ප‍්‍රථම ඒ තනතුර හොබවන්නේ ඔහුගේ මමා කෙනෙකු වන කන්නමුත්තු සෙල්ලතම්බිය. දැන් බොහෝ වයස්ගතව ඇවිදීමේ අපහසුවෙන් සිටින ඔහු හමුවීමට අප යද්දී ඔහු නිවස ඉදිරිපිට බිම වැතිර නින්දක පසුවූයේය.
”මගේ වයස හරියටම කියන්න මම දන්නේ නැහැ. අපි මාංකර්ණි ඉන්න කාලේ මා දැල් අදින්න ගියා, හේන් ගොවිතැන් කළා. දැන් මට ඇවිදින්න බෑ. ඒ නිසා මම නායක තනතුර බෑණාට භාර දුන්නා. දැන් ඉන්න අය එදාට වඩා දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඒ කාලේ හිටිය පරම්පරාව දැන් නැතිවීගෙන යනවා. තලගොයි, ඉත්තෑවා, ගෝනා, මුවා වගේ සතුන්ගේ මස් ඒ කාලේ තිබුණා. මම වරක් කොළඹ ජනාධිපති මන්දිරයේ දී හිටපු ජනාධිපතිවරයා හමුවුණා.’’ ඒ හිටපු වැදි නායකයාය. ඔහුට ඔවුන්ට ආවේණික වැදි ගී ගැයීමේ හැකියාව තිබුණි. ඔහු අපට නොතේරෙන භාෂාවකින් වැදි ගීයක් කීවේය. ඒ අසල වූ ඔහු පත්තන් චෙල්ලයා ද ඔහුය සහාය දක්වමින් තවත් වැදි ගීයක් ගැයුවේය.

සෙලිග්මාන් සදහන් කළ වැදි ජනාවාසවලින් එකක් වූ කණ්ඩලඩි සොයා අපි ගමන් ඇරඹීමු. වාකරේ ඩිපෝව ඉදිරිපිට වූ ඔවුන්ගේ ජනාවාසය සොයා යාම අපහසු ගමනක් නොවීය. මෙතෙක් අපට හමු වූ මුහුදු වැද්දන්ට වඩා එම ප‍්‍රජාව තවමත් සිටින්නේ නොදියුණු මට්ටමක බව බැලූ බැල්මටම පෙනුණකි. ඔවුන්ගේ බාහිර ස්වරූපය ද බොහෝ සේ මුල් යුගයේ ජීවත් වූ ආදිවාසීන්ට සමානය. එමෙන්ම ඒ අවට වූ සමාජය සමග ඔවුහු අනුගතව නොසිටියහ. බාහිර සමාජයට ඔවුහු සබකෝල බවක් දැක්වූහ. ඔවුහු ‘‘ කදිරවේලියේ හමු වූ පුංචි සෝමාලියාව” නම් මීට පෙර වරක් අප පළ කරන ලද ලිපියේ ස`දහන් වුණු වාකරේ කදිරවේලිහි දී හමු වූ ආදිවාසී පිරිස සිහි ගැන්වීය.

කුඩා දරුවන් වැලි පොළොවේ එහෙ මෙහෙ දුව පැන නැටූහ. කාන්තාවෝ ද බිම තැන තැන හිද සිටියහ. ඔවුන්ගේ මුහුණු, දේහ ලක්ෂණ, හිස කෙස් මෙන්ම දසන් පවා ආදිවාසීන්ගේ ස්වරූපය සිහිගැන්වීය. ඒ සියල්ල අද බොහෝ විට ආදිවාසී අනන්‍යතාව රදවා ගැනීමට කළ ව්‍යාජ උත්සාහයක යෙදීමක් නම් නොවීය. අප එනු දුටු විට ඇතැම් කාන්තාවන්,තරුණියන්,දරුවන් සැගවීමට ද උත්සාහයක යෙදුණි. කුඩා දරුවන් කිහිපදෙනෙකු ද වට කර ගෙන බිම හි`ද සිටින වයස්ගත පුද්ගලයෙකි. ඔහු නමින් කන්දයියා තම්බිමුත්තුය. ‘‘ අපි පරම්පරා ගණනක ඉදලා පදිංචිවෙලා හිටියේ තාඹරකුලම්වලයි. එහේ ඉන්න කාලේ මම මාළු ඇල්ලූවා. දැන් මට වයස 70කට වැඩියි. දරුවෝ හත්දෙනෙක් හිටියා. තුන්දෙනෙක් සුනාමියට අහුවුණා. සුනාමි ආවාට පස්සේ තාඹරකුලම් ඉදලා ඇවිත් මෙතැන පදිංචි වුණා. අපි පවුල් 216ක් විතර ආවා. පස්සේ අපට ඉන්න ගෙවල් ලැබුණා. ”

ඇගේ මිණිබිරියක් ඒ අසල ගසකට මුවා වෙමින් සිනාසුණාය. ඇය පහ වසර දක්වා පාසල් ගොස් ඇතත් එතැනින් පාසල් ගමන අත්හැර තිබුණි. ඇය තම සීයා බලා ගැනීම ස`දහා පාසල් ගමන අත්හල බව කීවාය. පාසල් යන්නට කැමැත්තක් නැති බව ද ඇය කීවාය. අනෙක් දරුවන් පාසල් යන බව වැඩිහිටියන් පැවසුව ද එය කෙසේ සිදුවේද යන්න පිළිබද හැගීමක් හෝ ඇති කර ගත හැකි වටපිටාවක් එහි නොතිබුණේය. කුඩා නිවසකට එබුණු විට එහි බිම එක් තැනෙක බත් හිස් වූ මුට්ටිය පෙර දින රැුයේ බත් පිස තිබූ බවකට සාක්ෂි සැපයීය.

චින්නතංගච්චි ජීවත් වූයේ පැල්පතකය. ඇගේ නිවස දියණියට ලබා දී ඇය පැලක් සාදාගෙන සිටියාය. ‘‘ අපි කැලෙන් හාතවාරිය අල උගුලාගෙන ඇවිත් විකුණනවා. මුස්ලිම් අය ඇවිත් කිලෝ එක රුපියල් 150ට ගන්නවා. කුඹුරුවල ගොයම් කපන කාලයට ඉතිරිවෙන ඒවා එකතු කරන් එනවා. පොල් අතු වියනවා. ඉස්සර ඉස්සෝ ඇල්ලූවා. එක එක කාලයට එක එක වැඩ හම්බවෙනවා. කුලී වැඩ කරනවා. සමහර කාලෙට වැඩ නැහැ. දවසට එක වේලක් වගේ මොනවා හෝ කෑමක් ගන්නවා.‘‘ඒ චින්නතංගච්චිය. ”ඡුන්දය දෙන්න කියලා කට්ටිය ඇවිත් කියනවා. එක එක දේ දෙනවා කියනවා. ඒත් ඒ කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.’’ ඇය චෝදනා කළාය. ඔවුහු ගම්මානයේ පදිංචි කළ ද නිසි ලෙස තවමත් සමාජගතව නොසිටියහ. ඒ සමාජයෙහි ඔවුහු අතරමං වූවන් ලෙස තවමත් ජීවත් වූහ. සමාජය කෙරෙහි සැකයෙන් භියෙන් ද පසුවූහ.

කල්කුඩා අසල පිහිටි පට්ටියඩිච්චේන වෙරළබඩ ආදිවාසී ප‍්‍රජාව සිටි ස්ථානයක් වූ බව සදහන් වූයෙන් අපි එම ජනාවාසය සොයා ගියෙමු. කළු පැහැ ඡුවි වර්ණයෙන් යුතු වයස්ගත පුද්ගලයෙක් ගෙමිදුලේ වැලිතලාවේ හි`ද සිටියේය. වයස්ගත ඔහුගේ දේහ ලක්ෂණ ද ආදි පරපුරක් සිහිපත් කළේය. ඔහු ත්‍යාගරාජාය.

‘‘ දන්න කාලයේ ඉදලා අපේ පරම්පරාවේ අය කල්කුඩා පටිටියච්චේනාවල තමයි හිටියේ. ඒ කාලයේ ඉදලාම අපි මා දැල් කර්මාන්තය තමයි කළේ. මේ හරියේ වැඩිපුර ඉන්නේ අපේ පරම්පරාවේ අයයි. අපේ පවුල්වල කවුරුවත් ඉගෙනගෙන නෑ. හැමෝම කරන්නේ මාදැල් රස්සාවයි. මෙහේ මුහුදු වැද්දන්ට අයත් පවුල් 40ක් පමණ ඉන්නවා. වෙනත් අයත් මේ ගමේ ජීවත් වෙනවා. අපි ආදිවාසී අය කියලා කියන්න කැමතියි. සමහර අය හිතන්නේ වැද්දෝ කියන්නේ කැලේ ඉන්න අය විතරයි කියලායි. අපි මුහුදු වැද්දෝයි. ’’ඒ ත්‍යාගරාජාය.

ඔහු අපට තවත් පුද්ගලයෙකු හදුන්වා දුන්නේය. ඔහු නාහන් වේලූපිල්ලයිය.‘‘ අපි දන්න කාලයේ ඉදලා සිංහල අයත් මා දැල් අදින්න එනවා. ඉස්සර ඉදලා අපි එකට තමයි වැඩ කළේ. ඒ අය අපේ ගම්වලට ආවා. යුද්ධය නිසා තමයි ඒ දේවල් වෙනස් වුණේ. සිංහල අය ඒ අයගේ ගම්වලට ගියා, අපි කැලේට ගියා. යුද්දෙන් පස්සේ නැවත ගමට ආවා. දැන් ආයෙමත් ඒ වගේ ඒ හිතවත්කම් ඇති වී තියෙනවා. මගේ දුව බැන්දේත් සිංහල කෙනෙක්. හැබැයි දෙමළ කියන්නේ දෙමළම තමයි, සිංහල කියන්නේ සිංහල, වැද්දෝ කියන්නේ වැද්දෝම තමයි. ඒ නිසා අපි වැද්දෝම තමයි. ඒ වුණත් දැන් ඒ අය මිශ‍්‍ර වෙනවා. ඉස්සර අපිට තිබුණේ පොල් අතු පැල්පත්. පස්සේ රජයෙන් ගෙවල් 17ක් හදලා දුන්නා. එකක් හැර අනෙක් ඔක්කෝම සුනාමියට කැඩුණා. ආයෙමත් රජයෙන් ලක්ෂ 2ක් දුන්නා. ඒකට අපි තව සල්ලි දාලා ගෙවල් හදා ගත්තා. අපේ දරුවන්ගේ දරුවෝ දැන් ඉගෙන ගන්නවා. හැබැයි තාම අපේ පවුල්වල කවුරුවත් රජයේ රැුකියා කරන්නේ නැහැ.”නාහන් පැවසුවේය.

ත්‍යාගරාජාගේ පුතෙකු වූ නේමිනාදන් විවාහ වී සිටියේ කුංජන්කුලම්වල ආදිවාසී පරපුරට අයත් තරුණියක් සමගය. ඇය ආදිවාසී නායකයාට නෑකම් කීවාය.”අපේ පරම්පරාව නැති වෙන්න දෙන්න බැහැ. අපේ පරම්පරාව දිගටම තියෙන්න ඕනෑ. අපි පොඩි කාලයේ ඒ ගැන තේරුමක් තිබුණේ නෑ. ඒත් දැන් ඒ ගැන හිතනවා. අපිට වර්ඩර් කියනවාට අපි කැමතියි. වෙනත් ජාතීන් සමග විවාහ වෙලා මිශ‍්‍ර වන අය ඉන්නවා. අපෙන් පස්සේ අපේ දරුවෝ කවදා හරි වෙනත් ජාතීන් සමග මිශ‍්‍ර වෙයි ද කියන්න දන්නේ නැහැ. හැබැයි අපේ පරම්පරාව ආරක්ෂා කරගන්න ඕනෑ කියලා අපි ඒ අයට කියනවා. මේ ගමේ වෙනත් ජාතීන්ට අයත් අය ඉන්නවා. හැබැයි ඒ අය අපට වෙනස් විධියට සලකන්නේ නැහැ. මරණයට, මගුලකට හැමෝම සහභාගි වෙනවා. අපිත් හින්දු දේවාලයට යනවා. වැදි දෙවියන්ගේ පූජාවත් අවුරුද්දකට වරක් අපි පවත්වනවා. ඒ සංස්කෘතීන් දෙකම අපි ආරක්ෂා කරනවා. මා දැල් අදින්න යනවා. රජයේ රස්සා කරන තරුණයෝ නැහැ. ඉගෙනගත් අයත් ඉන්නවා, හැබැයි ඒ අයට රස්සා නැහැ. රස්සාවල් ගන්න නම් දේශපාලනඥයින් පස්සේ යන්න වෙනවා. ඒ නිසා අපි පරම්පරාවේ රස්සාවම කරනවා.‘‘ ඒ මුහුදුබඩ වැද්දන්ගේ වත්මන් තරුණ පරපුර නියෝජනය කරන නේමිනාදන්ගේ අදහසයි.

කෙසේ වෙතත් නැගෙනහිර වාසය කරන මුහුදු වැද්දන් සියල්ලෝම එකට එකතුවෙන අවස්ථා නොමැති බව ඒ අය පැවසූහ. නායකයා පත් කිරීමේ දී ද එසේ එකතු නොවූ බවත් පත් කළ පසු දැනුම් දීම සිදුවන බවත් ඔවුහු පවසති. කෙසේ වෙතත් මුහුදු වැද්දන් ලෙස සැලකිය හැකි ප‍්‍රජාව අතුරින් අද වන විට ඇතැම් අය දමිළ සමාජය සමග මිශ‍්‍රව පවතින අතර ඇතැමුන් අදටත් ගම්මානවලට ගෙනවිත් සමාජගත කර තිබුණ ද ඔවුන් තවමත් එම සමාජයට අනුගතව නොමැති බව පෙනේ.