සුනෙත්කාන්තගේ ශෝකාන්තය – සුදර්ශනගේ සුඛාරම්භයක් ලෙස

සුමිත් නාලක පෙර්රා.

කෙටිකතාවකට ඒකට හොඳින්ම ගැලපෙන රිද්මය මතු කරගන්නව කියලා කියන්නෙම ඒ කතාවට ආත්මයක් දෙනව කියන එකට කියන තවත් නමක් වෙන්න පුලූවන්. සුනෙත් කාන්තගේ ශෝකාන්තය නූතන කෙටිකතා පොත් අතර ස්වාධීනත්වයක් හිමිකරගනිමින් මෙන්ම ඒ අනන්‍යතා මාවතේ කරනම් ගසමින්ද සැරිසරන පොතක් කියලා මට හිතෙන්න මූලිකම කාරණාවත් ඒකමයි. එකිනෙක වෙනස් තේමාවලින් යුතු කතා හයක් ඇතුළත් මේ කෙටිකතා පොතේ ඒ ඒ කතාවල අන්තර්ගතය හා බැඳුනු අනන්‍යකාරන භාෂාවක් නිපදවන අතරේම සමස්ථ එකතුව ගෙන බලද්දී සියුම්ව පෑහෙන මොකක්දෝ සමීප සම්බන්ධතාවක් ගොඩනැගෙන තරමේ ඒකාබද්ධතාවකින්ද යුක්ත බව පේනවා.

සමියගේ සෙල්ලම

මේ හැම කෙටිකතාවක් සඳහාම රචකයා භාවිත කරන භාෂාව පාඨකයාව පුදුමයට පත්කරවන තරම් මනස්කාන්තයි. හැම ෙඡ්දෙකටම වගේම හැමවචනයක් ගානෙම ඒ නැවුම්බව තවරන්න තරම් දක්ෂයි. මේ කතා සමස්තයෙන් මගේ සිත ගත්ත කතා අතර නීඕ ෆෝ ස්පීඕ ගේමක් ගහන සමියගේ ගේම පෙරමුණේ තබන්න පුලූවන්. කතාව ආරම්භයේ ඉඳන්ම ඒ භාෂාව සැහැල්ලූ සෙල්ලක්කාර විදියකට ගළපන්නත්, ඒ වගේම සෑම සියුම් සිද්ධියක් අස්සෙන්ම රිංගමින් සජීවි විලාසය ගේන්නත් ඒ ඇතුළේ තියෙන සමාජ දේශපාලන සංකීර්ණතා ඒ ඔස්සේම නියම අනුපානෙට ගළපන්නත් රචකයා සමත්වෙලා තියෙනවා. කතාවට නියමෙටම ගැලපෙන රිද්මය ආවට පස්සේ මේ තරම් අපූර්ව අවසානයක් කරා ශක්තිමත් ගමනකින් වගේම සහජ ඉවකින් ඒ ඇතුළේ සෙල්ලම් දාන්න පුලූවන් ජවයක් ඇතිවෙනවා වෙන්න ඇති කියලයි මෙතනදි මට හිතෙන්නෙ. මේ තනි කෙටිකතාව, කියලා නිමකරන්න බැරි තරම් – ඇතැම් විට නවකතාවකටත් වඩා -අපූර්ව වූ චමත්කාරයක් ඇතිකරවන්න ඒ කතා තේමාව තුළ අඩංගු කුතුහලය, හාස්‍ය, අවංකකම වගේම සිහිනමය ස්වභාවයත් බලපානවා ඇති. මේ ඒ කෙටිකතාවේ තැනින් තැන තියෙන මගේ සිත ගත්තු සෙල්ලක්කාරමය උපුටන කිහිපයක්.

තාම හාත්පස පරිසරය ඒ දවස්සොල විදිහට එහෙම්මම. කිසිම දෙයක් කිසිම වෙනසක් වෙලා නෑ. ඒ කඳු. ඒ පල්ලං. ඒ බිල්ඩිං. ඒ තාර බකල් පාරවල්. කළු ගැහිච්චි ඇකිලිච්චි මූණු. කෙට්ටු ශරීර. ඇද පැද ලතාවට කතා. ඇද ඇද ඇවිදිලි……

මට එයා ගැන කවදාකවත් නැතුව හදවතේ කම්පා රේඛාවක් සිරීරිං ගාලා ඇඳිලා මැකුණා. මං ෆෝන්නෙක කට්කරනකොටම මොණරාගල-බදුල්ලක් බඩගගා ආවා. මං ගොඩ වුණා..

මං මොකවත්ම දන්නැති අභාෂිතයෙක් වුණා……….

ඒ පාර පබා හේබා ගියා…….

නීඕ ෆෝ ස්පීඕ ගේමේ, ගේ මට රේස් දිව්වට සමියා ෆුට්සයිකලයක්වත් පැදලා නෑ. බස්සෙකක, වෑන්නෙක ඇර වෙන වාහනේක ඉඳගෙනවත් නැතුව ඇති. හැබැයි මිනිහා ගේමේ. ගේමට කාර් එලවන විදිය නම් පට්ට…….

මේ පබසරා කියන පිස්සි – ඔල්මාදේ හැදිච්ච පිස්සු බැල්ලි මොනවද කියවන්නෙ කියලා හිතාගන්න බැරුව මට ඉස විකාරෙ හැදුණා…..

වයසක ලොක්කෙක් සුම්බරයක් බැන්දා වගේ මීදුම බාපු දෙමෝදර කඳුකාර ඉස්ටේසම පහුකරනකොටත් සෙනුරියි මමයි පබසරයි ඔෆිස්සෙකයි මායාවක් වගේ නීඕ ෆෝ ස්පීඕගේ මේවගේ අධිවේගෙන් කැරකුණා මගෙ ඔළුව ඇතුලේ මාරක ළිඳේ. හපුතලේ හරියට යනකොට ආපහු මගේ හීත හීල් වෙන්න ගත්තා. ඉදල් ගස්හින්නෙදි හිතයි ගතයි දෙකම හීත වුණා.

(සමියගෙ ගේම)

මේ කෙටිකතාවල අර්ථ, අන්තර්ගත එකින් එක අරගෙන විග‍්‍රහ කරනවටත් වඩා වැදගත් හා රසවත් වෙන්නේ ඒවා එකින් එක වදනින් වදන කියවමින්, හිනාවෙමින්, පුදුමවෙමින් ගත කරන චාරිකාව කියලයි මම හිතන්නේ.

මේ හැම කෙටිකතාවකටම ඒ ඒ පරිසරයට අනන්‍යවූ ජීවනසොබාවයක් කැටිකරන්න රචකයා සමත්වෙලා තියෙනවා. එක කතාවක් අනිකට නොදෙවනි ලෙස ඒ ආත්මය ඇතුලේ ජීවමාන වෙනවා. හැම චරිතක්ම භාෂාව හා දෙබස් ඔස්සේත්, එතැනින් එහාට ඔහුගේ/ඇයගේ ක‍්‍රියාකලාපයන් ඇසුරිනුත් සිනමාවකටත් වඩා සජීවීවෙන්න ගන්නවා.

දෘශ්ටිකෝන සෙල්ලම

මේ බොහොමයක් කෙටිකතා විකාශනය වෙන දෘෂ්ටි කෝනයක් ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඇතැම් කෙටිකතා උත්තමපුරුෂයකින් ආරම්භ වුණත් කතාව මැද්දෙදි උත්තම පුරුෂ මම විතැන් වෙලා කතුවර මූලික විලාසයකට පත් වෙනවා. තවත් කෙටිකතාවක ප‍්‍රධන චරිත කිහිපයක් වටේම ගමන් කරන කතන්දරකාර ස්වභාවයකට පැමිනෙනවා. මේ හැම එකකින්ම මතු වෙන්නෙ රචකයා අපූරු කතන්දර කියන්නෙක් ගෝ ගොතන්නෙක් කියන එකයි. මේ බොහෝ කතාවල වියලි කලාපීය හෝ ඈත ගම්මානවල ඇති ඒවාටම අනන්‍ය බස් වහරවල්, සිදුවීම් හා ස්වභාවයන් කැටි ගැහිලා සජීවිභාවය තීව‍්‍ර කරනවා. ඒවාගේ නැවුම්භාවය දෙගුණ තෙගුණ කරනවා. ඒ නිසාම මේ කෙටිකතාපොත විශිෂ්ට වෙන්නෙ එකම එක හේතුවක් නිසා නෙමෙයි මේ හැම ගුනා කාරයක්ම කවලම් කරගත් තමාටම අනන්‍ය කතාවි ලාසයක් අත්පත් කරගත්ත නිසා කියල මටහිතෙනවා.

ඒකහරියටමේකතාගොන්නෙම තියෙන නාසිගුරිනි, දඩමස් එක්ක වයින් බොන මනුස්සය ගලපන ඒ හිතාගන්නවත් බැරි වෙනස් රසයන් ගා ගැලපීම් වගේ වෙනස්ම ප‍්‍රනීත රසයක් ඇති කරවන්නක් වගේ.

තේමාත්මකව ගත්තත් කතා සියල්ලෝම මහාලොකු දේශපාලන සමාජ විචාරවාදවලින් දූෂිත වෙලා නෑ. ව්‍යාජ මතුපිට දේශපාලනය වෙනුවට කතාවටම ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇති සමාජ සංකීර්ණතා ස්පර්ශ කරමින්ම ඒක හැඩ වැඩට ඔපමට්ටම් වෙනවා. කෙටිකතාවලට බලෙන් ඔබ්බන සමාජ විග‍්‍රහාත්මක පණිවිඩයක්වත්, සිල්ලර දේශපාලන අරුතක්වත් නැතුව තත්කාලීන සමාජ දේශපාලන විලාසයේ පැතිකඩක් හැමකතාවකම තැවරි තැවරී කතාරසයටම මුසුවෙවී ගලා බසිනවා. ඒ ඒ සමාජ සංස්කෘතික පරිසරවල මිනිසුන්ගේ සිතුම් පැතුම් වගේම සිහින එක්ක රචකයාට හරිහරියට ගනුදෙනුකරන්න පුලූවන් විදියේ සමාජ විඤ්ඤානයක් ඇති බවත් මෙතනදී තහවුරුවෙනවා.

ඉන්ද්‍රජාලික සෙල්ලම

පොදුවේ ගත්තම හැම කතාවක්ම ස්වභාවික යථාර්ථයෙන් ආරම්භවෙලා ඒ ඔස්සේම විස්වසනීය ගමනක නිරතවෙලා හැටිහැටියේම ඉන්ද්‍රජාලික ඉසව්වකට පීලිමාරුකරනවා. වැදගත්ම වෙන්නෙ ඒ කිසියම්ම වෙලාවකවත් ඒක අභව්‍ය විදියට පාඨකයාට නොපෙනීමයි. ඒ හැම මායාත්මක තේමාවක්ම ඇත්ත විදියට භාරගන්න තැනට ඔහු/ ඇයව සූදානම් කරන්න අවශ්‍ය තරමට ගෙත්තම සුමට කරන්න කතාකරුවා සවිඥානික වෙලා.
සිර ගෙදරක් ඇතුලත සිදුවන දෛනික සිදුවීම්වල ඇත්ත ස්වරූපය කතුවරයා දක්වන්නෙ කතාරසයට කිසිමහානියක් නොවන පරිද්දෙන්. බන්ධනාගාර ඇතුළතක පවතින සමාජස්වරූපය ගෙනහැර පාද්දි රූපකාත්මක යථාර්ථයක් මතුකරන්න උත්සාහ ගන්නවද කියලත් වෙලාවකට හිතෙනවා. බන්ධනාගාරයක් ඇතුලත මිනිසුන්ගේ සිතුම් පැතුම්, චරිත ස්වභාවයන් වගේම නීතියේ ග‍්‍රහනයට නතුව සිටින පිරිසකගේ අවනීතික වැඩපිළිවෙළක පවතින විකාරරූපී හැලහැප්පීම් මතුකිරීමේදීත් කතුවරයා යළියළි අපව පුදුමයට පත් කරවනවා. එක චරිතයක් කේන්ද්‍රීයවුණත් අවශේශ හැම චරිතයකම ස්වභාවය පුංචි කෙටිකතාවත් ඇතුළේ අපූරුවට සිත්තම් කරනව කියන එකත්වෙනම වැඩක්. මේ එවැනි ඉන්ද්‍රජාලික අවස්ථා දෙක තුනක්.
මේ කුමන අපබ‍්‍රංසයක් කඩන්වැටුනිදැයි සුපර්නකට සිහි එලවාගන්න බැරිවුණා. මේ අක්අරු ලලනීගේම අත්අකුරු බවට දෙකක්නෑ. ඒ වුණත්මෙතැන අලවා ඇතිමේ ලියුම – පසුබිමේ විසිරුනු ලලනීමය මතක – නීල කලේබරය, මෙතෙක් තමා හිරගෙදරදී ලැබූ අත්දැකීම් පවා සිහිනමය මායාවක ගිල්වණු ලැබුවා.

(මායාවී)
කවදාකවත් නැතුව උකුසුරාජයා දැකපු දෙයින් බියපත්ව පපුව ගිඩිදිඩි ගාන්ඩ ගන්නකොටම අහසේ රිදී ඉරක් ඇඳී මැකී ගියා විදුලියක් කොටාගෙන. තකහනියක්, වලාකුළු තක්කුමුක්කු වෙලා- වහවහා අහස් ගැබේ එකතු පාදා වුණා.

අහස මොර සූරන්ඩ කිට්ටු වෙද්දිම, අහස් කුස පියඹා ආ පොලොං පෙම්බරා විජයන්ති ගේනිතඹේ එතුනා.
(පොලොං පෙම්බර අහස්සවාරිය මැද්දේ)

මේ හැමකෙටිකතාවක් ගැනම ලියමින්, කියමින් ඉන්නවට වඩා නැවත නැවතත් ඒ කතා කියවමින් විඳිමින් ඒ අස්සෙ නන්නත්තාරවෙන එකම රසය අවුලූවනවා. මං කියවපු හොඳම කෙටිකතා පොත විදියට මේක මගේ පොත් ගොන්න අතරේ නැවත නැවත කියවන්න උවමනා කරන කවි-කෙටිකතා- සිඟිති විචාර පොත් සෙට් එක අතරේ තැනක තියන්න මට හිතෙනවා. මේ තරම්ම නැවුම් භාෂා සෙල්ලමක්, චරිත සිදුවීම් එක්ක විග‍්‍රහාත්මක ලියවිල්ලක් දැකලා නැති තරමට මාව හොල්මන් වුණා. ඒක හරියටම මේ කෙටිකතා ගොන්නෙම ජීවත් වෙන සමියගේ ගේම කතාවේ භාෂිතට වුණා වගේ අභාෂිත වීමක්.