ඇඳිරි නීතිය බොරුවක් වූ තෙල්දෙණිය ඛේදවාචකය

තෙල්දෙණිය, දිගන ප‍්‍රදේශවල පත්තු කළ ජාතිවාදී ගින්න මේ වනවිට මහනුවර ප‍්‍රදේශයේ මුස්ලිම්වරු පදිංචි ගම් සොයමින්, වෙළෙඳ සැල් පීරමින් ළැව්ගින්නක් සේ පැතිරෙන්නේ එහි ගිනි පුපුරු මහනුවරින් පිටතට ද විසිකරමිනි. මෙහි රස්නයවත් භුක්ති නොවිඳින රටේ හතර දිග් භාගයේ වෙසෙන ජනයා දන්නේ මහනුවර බල ප‍්‍රදේශයට ඇඳිරි නීතිය දැමීමත්, එය ඉවත් කිරීමත් පමණි. ඇඳිරි නීතිය ඇතුළේ සිදුවන බොහෝ අඳුරුසහගත සිද්ධි එළියට නොයන තරම්ය. එන්නේ නම් එයද විශ්වසනීයත්වයෙන් තොර හුදු කටකතා මාත‍්‍රයෙන්මය. කටකතා අත්තටු ලබා ඉගිළෙන කල ඒවා දැඩිව ග‍්‍රහණය කරගන්නා සිංහල අන්තවාදීහු ඒවායෙන් දමා ගසනුයේ නැවත මුස්ලිම්වරුන්ටම වීම ඛේදවාචකයකි.

මේ ගින්නේ හේතු සොයා අප තෙල්දෙණියට ගියෙමු. ඒ ගින්න කොතරම් රස්නේදැයි දැනෙනුයේ එවිටය. එය කොළඹදී අත්විඳින රස්නයට වඩා බෙහෙවින්ම පිච්චෙනසුලූය. අවුළුවාලනසුලූය. වහා දවාලනසුලූය. එහෙත් ඊට එරෙහිව හුළං පිඹිනවා හැරුණු කොට පෙනෙන විකල්ප කිසිවක් නැති තරම්ය.

මේ ගින්න අළු කොට දැමුවේ මුස්ලිම් කඩසාප්පු, නිවාස, පල්ලි පමණක් නොව මුස්ලිම් හදවත්ය. ඒවා නිවීම ලේසි පහසු නැත. එහෙත් අමාරුවෙන් වුව කළයුතුවද ඇත. එහෙත් මේ ගින්න නිවන්නට ගන්නා උත්සාහය ජල ප‍්‍රහාරයකින් පහසුවෙන් කළහැකි නොවේ. ඊට කලින් කළයුත්තේ තවදුරටත් පැතිරෙන ගින්න නවතාලීමය. එයටත් මේ ආණ්ඩුව අවංකව උත්සාහ කරනු නොපෙනේ. ඇත්ත ගින්න එයය.

කුමාරසිංහගේ කතාවේ නොකී පැත්ත

මේ සිද්ධියේ ආරම්භය සොයා අපි තෙල්දෙණියට ගියෙමු. කුමාරසිංහගේ කතාවෙන්ම පටන් ගමු. හතළිස් එක් හැවිරිදි එම්.ජී. කුමාරසිංහගේ මරණය ගැන දැනට පළවූ ප‍්‍රධාන කතාව මෙබඳුය.

ලොරි රථ රියදුරකු වූ කුමාරසිංහ ත‍්‍රිරෝද රථයකට ඉස්සර කරන්නට නොදීම නිසා කුපිත වූ ත‍්‍රිරෝද රථයේ පැමිණි තරුණයන් හතරදෙනෙකු කුමාරසිංහ පස්සේ පන්නාවිත් කුමාරසිංහ තෙල් ගසන්නට තෙල්දෙණිය ‘ෂෙඞ්’ එකේ නතර කළ පසු පහර දුන් බවය. එය සීසීටීවී කැමරාවලද සටහන්ය. ඔහු මියයන්නේ ඒ පහරදීම හේතුවෙනි. ඒ දින ගණනාවකට පසු දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමෙනි. ජාතිවාදී ගින්න ඇවිළෙනුයේ කුමාරසිංහගේ මරණින් පසුවය. මන්ද එදා ඔහුට පහර දී තිබුණේ මුස්ලිම් ජාතිකයන් හතරදෙනෙක් වන බැවිනි. මේ අය සිංහලයන් වුණා නම් මේ ගින්න නොඇවිළෙනමුත් එවැනි ආදේශ ගැනීමත් එක් අතකින් වැඩකට නැති වැඩකි. එහෙත් කිවයුත්තේ දැන් මතුව ඇති සිංහලකම් ඒ මොහොතේ ඇතිනොවුණේ මන්ද යන්නය.

‘ෂෙඞ්’ එකේ සිංහලයෝ කෝ?

ඉහත කතාවේ බොහෝ දේ ඇත්තය. එහෙත් නොකියන කතාව නම් කුමාරසිංහ මේ දුවන ලොරිය තෙල්දෙණිය සිංහ මුදලාලිගේ බවය. වසර ගණනාවක් විදේශගතව සිටි කුමාරසිංහ සිංහ මුදලාලි ළඟට වැඩට එනුයේ මීට වසරකට පමණ පෙරය. එදා ත‍්‍රීවීලර් රථයේ චණ්ඩි එනුයේ තමන්ට නෙළන්නට බව වටහා ගත් කුමාරසිංහ ආරක්ෂාව පතා ගියේ තෙල්දෙණිය ‘ෂෙඞ්’ එකටය. ඒ ‘ෂෙඞ්’ එකද සිංහ මුදලාලිගේම වන අතර මේ ‘ෂෙඞ්’ එකේ වැඩ කරන අය කුමාරසිංහගේද මිතුරන් වන බැවිනි. එදිනද ‘ෂෙඞ්’ එකේ නවදෙනෙක් රාජකාරී කර ඇත. තමන්ට පහරදෙන විට කුමාරසිංහ මේ අයගෙන් බේරාගන්නා ලෙස කොතරම් උදව් ඉල්ලා ඇද්ද? එවිට මේ අය බියගුල්ලන් සේ තම මිතුරාට පහරදෙන හැටි බලා සිටියේ ඇයි? නවදෙනෙක් කුමාරසිංහට ගහන හතරදෙනා නොවැළැක්වූයේ ඇයි? අවශ්‍ය මොහොතේදී මැදිහත් නොවන බියගුළු සිංහලකම පස්සේදී මතුවන්නේ ඇයි? මේවා බරපතළ ප‍්‍රශ්න නොවේද? කුමාරසිංහ ආවේ තමන්ගේ තැනටය. එහෙත් මරණින් පසු ඉන්න තමන්ගේ එකෙක්වත් එදා හිටියේ නැත. එහෙත් ඒ ‘ෂෙඞ්’ එකේ තාප්පයේ එල්ලෙන කුමාරසිංහගේ බැනරයට ‘සුළු ජාතීන් විසින් පහරදී මරා දැමූ’ යන සිංහල වාක්‍යය නම් ගාම්භීරව යොදා තිබුණි. මේ තුප්පහි සිංහලකම කුමක්ද?

කුමාරසිංහගේ නිවස

මියගිය කුමාරසිංහගේ නිවස පිහිටා ඇත්තේ තෙල්දෙණියේ සිට සෑහෙන අහුමුල්ලකය. එය දුෂ්කර ගමනාන්තයකි. එහෙත් මේ සිද්ධියෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමිද මේ දුෂ්කර ගමන ගොස් තිබුණි. ඒ ඇයි? ඔහු ගිය මග හැමදාම අත්විඳිනුයේ මේ ගැහැටමය. එහෙත් මට්ටු කිරීමක් නොමැතිය. ඒ සිවුර නිසාද? අලූත්ගම දර්ගා නගරයේ ගින්නට අවැසි මෝඩ ශරීර ටික කුපිත කළේ ඥානසාර හිමිය. මෙතරම් දුෂ්කර ගමනක් ගෙවා කුමාරසිංහගේ ඉළව් ගෙදරට ඥානසාර හිමි යන්නේද අලූත්ගම වැඬේ තෙල්දෙණියේත් කරන්නටය. එදා දර්ගා නගරයේදී ඔහුට තිබුණේ ආරක්ෂක ලේකම්ගේ හයිය නම්, අද මේ භික්ෂුවට ඇත්තේ කාගේ හයියද? මේ ආණ්ඩු දෙකටම ඥානසාර වැනි භික්ෂූන් වැදගත් ඇයි?

අප කුමාරසිංහගේ නිවසට යනවිට එම නිවැසියන් බණට සූදානම්ය. ඒ හත්දවසටය. එහෙත් මහනුවර ඔහු නිමිති කරගෙන ඇවිලූණු ගින්න තවත් බිලි හොයමින් පැතිරෙනමුත් එය නැවැත්වීමට බණක් කියන්නට කෙනෙක් නැතිය. මේ උදේ හවා බණ අහන බණ කියන රටක හැටිය.
කුමාරසිංහ යනු අහිංසකයෙකි. ඔහුට කළ දේ කිසි ලෙසටවත් අනුමත කළ නොහැකිය. අද ඔහු නොමැතිව බිරිඳ, දරු දෙදෙනා තනිව ඇත. මොන ජාතියක අයකු නැතිවුවද ඒ පවුල්වලට ඒ අඩුව පිරවිය නොහැකිය. එහෙත් ඒ මළමිනී කරතබාගෙන තව අයගේ මරණ සහතික ලිවීම කෙසේ නම් අනුමත කරමුද? එයට බොහෝ අය උරදෙන්නේ ……..

කුමාරසිංහගේ අය

කුමාරසිංහගේ ගෙදර අය විවිධ අදහස් දරති. ප‍්‍රියන්ත සංජීව වන ඥාති සහෝදරයා කියනුයේ මේ සිද්ධිය දඩමීමා කරගෙන ගැටුම් ඇතිකර නොගත යුතු බවය. එහෙත් නන්දාවතී නම් කුමාරසිංහගේ පුංචිඅම්මා කියනුයේ තම ගමේ සහ පවුලේ අය නිහඬ වූවාට මේ රටේ සිංහල ලේ තියෙන නියම සිංහලයෝ මේවා අනුමත නොකරන බවය. මේ කුපිතවීම් දෙවියන්ගේ උසිගැන්වීම් බවය. ඥාති සොහොයුරා නීතියෙන් තම සොහොයුරාට සහනයක් වනු ඇතැයි විශ්වාස කරනමුත් ගේ ඇතුළෙම අනෙක් කතා වෙනම ආරකය. ඒ අය දැන් විශ්වාස කරන උමතුව නම් තමාගේ මියගිය කුමාරසිංහ වෙනුවෙන් රටේම සිංහලයන් එකාවන්ව පෙළ ගැසී ඇති බවය. මේ උමතුව නිවසින් එපිටට නොව ගමෙන් එපිටට නොයන්නට ඉඩදුන්නේ ගමේ පන්සලය. එය නොකියාම බැරිය.

නියම භික්ෂූන්

කුමාරසිංහ ගමේ පන්සල සමග ලොකු හාමුදුරුවන් සමග ඉතාම කිට්ටුවෙන් ඇසුරු කළ අයෙකි. ඔහු නිවාඩු දවස් වැඩිපුර ගෙවා ඇත්තේ පන්සලේය. කුමාරසිංහ විසූ පෙරකැටිය පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ක‍්‍රියාකලාපය ඉතාම ගරු කටයුතුය. උන්වහන්සේ නොවන්න මේ දේහය තෙල්දෙණිය ටවුමේ කරක්ගහනවා නොඅනුමානය. එය නැවතීම පමණක් නොව පෙරකැටිය ගමේම ඇති මුස්ලිම් පවුල් රැුකගැනීම පවා සිදුව ඇත්තේ මේ නායක හාමුදුරුවන් නිසාය. ඒ බුදු දහමත්, ඥානසාර හිමි වැනි අය අදහන බුදුදහමත් කොතරම් පරස්පරද? කුමාරසිංහගේ හොඳම මිතුරාද මුස්ලිම් ජාතිකයෙකි. එහෙත් කුමාරසිංහගේ මරණින් පසු මුස්ලිම් සියල්ලෝ සිංහලයන්ගේ සතුරන් බවට පත්කර ඇත.

නියපොත්තෙන් කැඩිය හැකි දේ

කුමාරසිංහගේ මරණින් පසු දේහය නිවසේ තිබියදීම එනම් මාර්තු 4 වැනිදා මධ්‍යම රාත‍්‍රියේදී තෙල්දෙණිය මොරගහමුල මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් හාඞ්වෙයාර් එකකට ගිනි තබන්නේය. මේ පළමු ගින්නය. එයට සැකපිට හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
එදාම උඩිස්පත්තුව පුස්ඇල්ලගොල්ල මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් වෙළෙඳ සැලක්ද ගිනිබත් කරනමුත් එයට විරුද්ධව කිසිවකු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවේ.

ආදාහනයදා

කුමාරසිංහගේ ආදාහනය සිද්ධ කරනු ලැබුවේ මාර්තු 5 වැනිදාය. එදින 2.00ට පමණ සංවිධානාත්මකව පන්සියයකට වැඩි පිරිසක් තෙල්දෙණියේ සිට කිලෝමීටර් 7ක් පමණ පෙළපාළියෙන් පැමිණෙනුයේ ප‍්‍රධාන ඉල්ලීමක් මුල්කරගෙනය. එනම් 4 වැනිදා රාත‍්‍රී මුස්ලිම් කඩය ගිනි තැබීමට අත්අඩංගුවට ගත් හතරදෙනා වහා නිදහස් කරන ලෙස ඉල්ලාය. මෙම පෙළපාළියට මග දෙපසින් විශාල පිරිස් එකතු වී ඇත. එලෙස එකතු වූ දෙදහසක පමණ පිරිසට තෙල්දෙණිය ඩිපෝව ළඟදී තරුණ භික්ෂුවක් කතාවක් පවත්වන්නේය. මේ එදා අලූත්ගමදී ඥානසාර හිමි කළ කතාවය. මේ ඥානසාර හිමි අඩිපාරේ යන ගෝල හිමිනම කවුද? මේ පෙළපාළිය පොලිසිය ඉදිරිපිට හතරදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා කෑමොර දෙන අතර අවසානයේ දිගන නගරය, දිගන විලේජ්, කෙන්ගල්ල හා බලගොල්ල ප‍්‍රදේශවල තිබූ මුස්ලිම් පල්ලි ගිනිබත් කරන්නට පටන් ගනුයේ මුස්ලිම්වරුන්ගේ මරමස්ථානයටම පහරදෙමිනි. ඉන් ඇරඹෙන ජාතිආලය මුස්ලිම් අයගේ කඩ, සාප්පු, තී‍්‍රවීලර්, වෑන්, නිවාස විශාල වශයෙන් ගිනි තබා විනාශ කර ඇත. ඒ අලාභය කෝටි ගණන් බව සහතිකය. ඒ ගින්න කොතරම් දරුණුවීදයත් සමහර කඩ පහුවැනිදා එනම් මාර්තු හයවැනිදාත් ගිනි ගනිමින් තිබී ඇත.

මුස්ලිම් මරණය

දතට දත න්‍යායට යමින් මුස්ලිම් තරුණයකු මියැදෙන්නේ එදා මේ ගින්නට හසුවය. 28 හැවිරිදි අබ්දුල් බසිත් යම් අසනීප තත්ත්වයක පසුවූවෙක් බව ආරංචිය. එහෙත් ඔහු මියයන්නේ මේ ගින්නට හසුවී කඩය තුළ සිරවීමෙනි. එය කාටවත් ඝාතනයක් නොවේද?

කුමාරසිංගේ ඝාතකයන් අද අත්අඩංගුවේය. එහෙත් අබ්දුල් බසිත්ගේ ඝාතකයෝ නිදැල්ලේ තවත් ඝාතනවලට ඉඩ අල්ලමින් සිටිති.
සිංහල එකට මුස්ලිම් කෙනෙක් ගත් බවට සතුටු වන ළාමක ජාතිවාදියෝ එසේ නම් එය එතැනින් හෝ නතර නොකරන්නේ ඇයි?

පිට සහ ගමේ දායකත්වය

මේ සිදුවන සිද්ධි තෙල්දෙණිය, දිගනින් අවසන් නොවී අවට ගම් පුරා පැතිරුණේ ඉතාම සංවිධානාත්මකවය. මේ පිටුපස මහනුවරට පිටතින් ආ පිරිස්ද එකතු වූ මුත් මීට වැඩි දායකත්වය සපයා තිබුණේ ගමේම ඇතැම් කොටස්ය. එසේ නොවන්න එක පෙළට ඇති මුස්ලිම් කඩ අතර ඇති සිංහල කඩ බේරා මුස්ලිම් කඩම පමණක් ගිනිබත් කරනුයේ කෙසේද? මුස්ලිම් ගම්මාන තෝරා ගෙනම පහරදෙනුයේ කෙසේද? පිටින් එන සැවොම මේවා නිවැරදිව නොදනී. අප වුව දන්නැති ස්ථානවලට යනුයේ ඒ පැත්තේ අයගේ ආධාරයෙනි. දිගන ටවුමේ එක පේළියට ගිනි තබා ඇති මුස්ලිම් කඩවල දැවී අළුවුණු සුන්බුන් අප යනවිට මුස්ලිම් අය ඉවතට අදිනු දැකිය හැකිවිය. ඊට මුහුණලා පාර ඉදිරිපිට ඇති සිංහල කඩ පේළිය ගජරාමේට ව්‍යාපාර කටයුතුවල නියැලෙනු දැකිය හැකිවිය. මේ ගිනි යට ව්‍යාපාර ඊර්ෂ්‍යාවද ඇති බව සහතිකය. මේ පහරදීම්, ගිනිතැබීම්වලට අත්අඩංගුවට ගත් බොහෝ අය පිටස්තරයන් නොව අවට ගම්වල අයමය. අවුරුදු ගණනාවක් එකාවන්ව වුන් මේ අය ජාතිය තුළ විරසකවීම් සහ ඒ සැණින් උදේ හවා දුටු අයගේ දේ විනාශ කිරීම කොතරම් පහත්ද? මේ ගිනිගත් කඩ බොහොමයක් තොග කඩය. මේවායින් ගනුදෙනු කළේ මුස්ලිම් අය පමණක් නොව බහුතර සිංහලයන්ද මේවායින් ගනුදෙනු කළේය. හෙට මේ අය එකට පෑහෙන්නේ කෙසේද? දේශපාලකයන්ට හරි සරලව මේවාට කතා කිව හැකිය. එහෙත් දැන් තුවාලය හොඳටම පෑරී හමාරය.

පොලිසිය සහ එස්ටීඑෆ්

මෙම හැම සිද්ධියක් දෙසම විපරමින් බලන කල සිංහලයන්ට මේ විනාශයන් කරන්නට පොලිසිය මෙන්ම එස්ටීඑෆ් එකද උදව් කර ඇති බව පැහැදිලිය. ඊට අදාළ වීඩියෝවන්ද මුස්ලිම් අය අතර ඇත. එයට ඇති නිදසුන නම් මාර්තු 5 සහ 6 කුඹුක්පඳුර ප‍්‍රදේශයේ මුස්ලිම් ගම්මානයට රාත‍්‍රී කාලයේ පැමිණ ඇති එස්ටීඑෆ් සෙබළු පහර දී ඇත. ඒ නිල ඇඳුම පිටින්මය. පල්ලියේ සිටි අයටද පහරදී ඇත.

එමෙන්ම මැණික්හින්න පල්ලියට පහරදෙන අවස්ථාවේ පොලිසිය සහ එස්ටීඑෆ් සෙබළුන් ප‍්‍රහාරයට අනුබල දී ඇති අතර එය මැඬපවත්වා ඇත්තේ හදිසියේ එතනට පැමිණි හමුදාවේ මැදිහත්වීමෙනි. එහිදී උඩට වෙඩි තැබීම් කර ඇති අතර එම වෙඩි තැබීම්වලදී එක් අයකුට වෙඩි වැදී ඇත. තත්ත්වය පාලනය වී ඇත්තේ ඉන්පසුවය. එලෙස වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ ලූණුකැටිය මඩිත්ත පදිංචි එරංග නමැති තරුණයෙකි. මෙම ප‍්‍රහාරයට පනහකට වැඩි පිරිසක් පැමිණ ඇති අතර ඒ බොහෝ අය අවට ගම්වලම පදිංචිකරුවන්ය. එදින අත්අඩංගුවට ගත් හත්දෙනාගෙන් ඒ බව තවත් තහවුරුය.

ව්‍යාජ ඇඳිරි නීතිය

මේ සියල්ල සිද්ධවන්නේ ඇඳිරි නීතිය පනවා තිබියදී රාත‍්‍රී කාලයේදීය. පොලිසිය, හමුදාව සිටියදීය. මාර්තු 06 වැනිදා රාත‍්‍රී 8ට පමණ මහනුවර තැන්නේකුඹුර ප‍්‍රදේශයේ මුස්ලිම් හයකට පහරදී ත‍්‍රීවීලර් එකක්, යතුරුපැදි 4ක් ගිනිබත් කර ඇත.

එදිනම රාත‍්‍රී 11.30ට බස් රථයකින් පැමිණි පිරිස් වත්තේගම මුස්ලිම් පල්ලියට ප‍්‍රහාරයක් කර ඇත. මේවා පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඇත. එහෙත් ඒවා නොදැක්ක ගාණට සිටිනුයේ මේ සියල්ල සිදුවන්නේ පොලිසිය සහ හමුදාව සිටියදීමය. ඇඳිරි නීතියද පනවා ඇති පසුබිමක වන බැවිනි. මැණික්හින්න නගර මධ්‍යයේ ඇති පල්ලියට පහර දෙන්නේද රාත‍්‍රී 7ට පමණය.

මාර්තු 07 වැනිදා උදෑසන සිටම කටුගස්තොට, අඹතැන්න, අකුරණ, පූජාපිටිය, වෙලේකඬේ, අල්දෙණිය වැනි ප‍්‍රදේශවල ගැටුම් ඇතිවිය. ඒවා ඇහැට දකින්නට හැකිවිය. මේ පොලිිසිය, හමුදාව සිටියදීය. අඹතැන්න තරුණයකු මියයන්නේ එම ගැටුම අතරතුරය. එය පල්ලියට ප‍්‍රහාර එල්ල කරන්න යනවිට පල්ලිය ඇතුළෙන් ආ බෝම්බ ප‍්‍රහාරයකින් මියගිය බව එක් කතාවකි. තවත් කතාවක් වන්නේ පහරදීමට යනවිට අත්වැරැද්දකින් බෝම්බය පිපිරී මියගිය බවය. නිවැරදි කුමක් වුවත් මේ ගැටුමේ ප‍්‍රතිඵලමය.

එදින අකුරණ ප‍්‍රියදර්ශනාරාමයේ රැුස්ව සිටි විශාල පිරිසක් සහ පොලූ මුගුරු අත්අඩංගුවට ගත්හ. මේ සියලූ ප‍්‍රහාරයන් සංවිධානය වූයේ මෙම පන්සල් භූමියේය. පන්සල්වලින් පල්ලි කඩන්නට මිනිස්සු පොළඹවන්නේ කෙසේද? ඒ බව එතරම් අපහසු නැති බව අපූරුවට දැකගත හැකිවිය.

සිංහල අය
මේ අතර නියම සිංහල මිනිසුන්ද සිටින බව කිව යුතුය. බොහෝ මුස්ලිම් අයට ආරක්ෂාව සපයන සිංහල මිනිසුන් මෙන්ම භික්ෂූන් වහන්සේලාද සිටිති. ඒ බව කිව යුතුමය. අලදෙණිය නගරයේ කඩයක් පෙට‍්‍රල් දමා ගිනි තබන්නට යද්දී එය වළක්වා බේරාගෙන ඇත්තේද ඒ ගමේම සිංහලයෝය. මෙවැනි යහපත් අය සිටියද? පොලිසිය, එස්ටීඑෆ් එක දෙන අනුබලය ජාතිවාදී දඩ බල්ලන්ට අයාලේ යන්න වරමක් වී ඇත.

මේ තත්ත්වයන්ට පොලිසිය එස්ටීඑෆ් එක මෙන්ම පොහොට්ටු දේශපාලකයන්ද, ආණ්ඩුවද වගකිව යුතුය. මැණික්හින්න මොනවත්තලාගේ පාලනයකට යටත්ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අය මේ වැඬේ යහමින් ගෙන ගිය බවද ප‍්‍රසිද්ධ රහසකි.

මාර්තු 7 ඇඳිරි නීතිය දැමීමෙන් පසු හාරිස්පත්තුව, කුරුඳුගොල්ල ගමේ මුස්ලිම් ගෙවල් දහයකට සහ පල්ලියකට අලාභ හානි කර ඇත. එසේ නම් ජනපති නුවර ගොස් කළ විශේෂ සාකච්ඡාවල ප‍්‍රතිඵලය කුමක්ද?

නොනැවතීම

මේ සියලූ සිදුවීම් එක බැරියර් එකක් මගින් නවතාලන්නට ඕනෑතරම් ඉඩ තිබුණි. එහෙත් එය එසේ නොවීය. එදා එනම් මාර්තු 05 වැනිදා තෙල්දෙණිය සිට දිගනට එන පෙළපාළිය ඔරුතොට පාලම ළඟින් නොඑන්නට ක‍්‍රියා කළා නම් තත්ත්වය වෙනස් වන්නට තිබුණි. ඒ වෙනුවට පොලිසිය කළේ බලා සිටීමය. වෙන්නට ඉඩහැරීමය. ඔවුන් එලෙස සිටියේ ඉහළින් නියෝග නැති නිසා. බුද්ධි අංශ මේ තත්ත්වයන් පෙන්වා දී තිබියදීත් ඒ ගැන ක‍්‍රියා නොකළ බව පොලිසියේ ඇතැම් අයගේ අදහසය. අවසානයේ මේ සියල්ලෙන් අසමත්ව ඇත්තේ ආණ්ඩුවයි. අලූත්ගම සිද්ධිය පහුගිය ආණ්ඩුව ඇති කරපු දෙයකි. එහෙත් තෙල්දෙණිය සිද්ධිය මේ ආණ්ඩු වෙන්න ඉඩහැර බලා සිටිය දෙයකි. ඒ අතින් ආණ්ඩු දෙකම එක සමානය. එකම විදිහය.

දිගන සිංහල, මුස්ලිම්, දෙමළ යන පිරිස් තුනම කවලමේ දිවි ගෙවන ගමකි. මේ ටවුමේ බාර් එක අයිති දෙමළ ජාතිකයකුටය. දෙමළ ජාතිකයාගෙන් අරක්කු බෝතලය මිලදී ගෙන එයට අවශ්‍ය මිශ‍්‍රණයට සෝඩා ගත්තේ සිංහල කඩයෙන් වුවද බයිට් ගත්තේ මුස්ලිම් කඩයෙන් බව නොරහසකි.
එහෙව් මිනිසුන් අවසානයේ ගිනිබත් කරනුයේ මේ සාමූහිකව විසූ මනුෂ්‍යකමම නොවේද?

අසූ තුනේ ජූලි කලබල බලන්නට නොහැකි වූ අපි වැනි පරම්පරාවල අයට ඒ තත්ත්වය නැවත උදාකරදෙමින් සිටී. ඇස්පනා පිටම කඩගිනි තියනු දුටුවෙමු. මුස්ලිම් ගෙවල්වලට පහර දෙනු දුටිමු. මේ අතර දිගන ටවුමේ කඩ කොල්ල කෑ පුවත් අසන්නට ලැබුණි. ජුවලරි සාප්පුවලට පහරදී ගිනිබත් කොට ඇත්තේ ජුවලරි ටික ගැනීමෙන් පසුවය. ෆෝන්කඩවලට ඒ දේ කර ඇත්තේද ෆෝන් සියල්ල ගැනීමෙන් පසුවය. මේ තත්ත්වය සිදුවන්නට ඉඩදී පොලිසියට එස්ටීඑෆ් එකට බලා සිටිය හැකිද? පොලිසිය සහ එස්ටීඑෆ් එකත් සිංහල වූ කල විනාශය සුළුපටුද?

මහනුවර තත්ත්වය පාලනය කර නොගතහොත් රට පුරාම මෙය රෝගයක් සේ පැතිරීමට වැඩි දිනක් නොවනු ඇත. මේ ඒ පෙර නිමිතිය. යුද්ධයෙන් පසු අපට අඩුවකට තිබුණේ මෙපමණකි. දැන් ඒ අඩුවද සපිරිමෙන් තිබේ. යහපාලන ආණ්ඩුවක් මීට අනුබල දෙන බව කිව යුතුමය. ආණ්ඩුවක් ගිනි ගෙන ඇති කල අනෙක් ගිනි නිවනුයේ කෙසේද?

විසඳුමක් දෙන්න
මොහොමඞ් රස්මිඞ්
මව්ලවි
දිගන නගරය

අපි කියන්නේ දැන්වත් ආණ්ඩුව මැදිහත් වෙලා මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න කියලයි. මේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙනවා. මුස්ලිම් ජනයාට කිසිම රැකවරණයක් නෑ. අපේ අයගේ කඩවල් බොහොමයක් විනාශ කරලා. මුස්ලිම් අය හතරදෙනෙක් පහරදීලා කෙනෙක් මැරුණා. අපිත් ඒක අනුමත කරන්නේ නැහැ. එහෙම කියලා මුස්ලිම් අයගෙන් පළිගන්න එක වැරදියි. අපි සෑහෙන එකමුතුව හිටපු ගම් මේවා. අද මේ හැමදේම විනාශ වෙලා. ආණ්ඩුව මැදිහත්වෙලා මේ ප‍්‍රශ්නය විසඳන්න ඕනෑ. අපිට රැුකවරණය දෙන්න ඕනෑ. මේ විදිහට ගියොත් අපේ ජාතියට කිසිම රැුකවරණයක් නැති වෙනවා.