නීති විරෝධී වාහන මුදාහැරීමට නිලධාරි මාෆියාවේ අලූත් සෙල්ලමක්

අප වසර ගණනාවක් තිස්සේ වාර්තා කරමින් සිටින දූෂිත දේශපාලනඥයන්ගේ හා දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ අනුග‍්‍රහයන් නිසා තිත තැබීමට තවමත් නොමැති වී ඇති ජාවාරමක් පිළිබඳව යළිත් සටහන් කරන්නට සිදුවී තිබේ.

ඒ භාවිත කරන ලද අමතර කොටස් ගෙන්වා වාහන එකලස් කරනවා යැයි ප‍්‍රකාශ කරන ‘වෙහිකල් ලංකා’ සමාගමේ වාහන සම්බන්ධයෙන්ය.
මේ වාහන ගැන අධිකරණයේ තිබූ හා තිබෙන නඩු අනන්ත අප‍්‍රමාණය. එම වාහන මිලදී ගත්තවුන්ට වසර ගණනාවක් තිස්සේ ඒවා ධාවනයට නොයොදා සිය ගරාජවල තබා ගැනීමට සිදුවී තිබේ. ඒ එම වාහන සඳහා ලියාපදිංචියක් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන්ය. අවසාන වරට මීට වසරකට පමණ පෙර මිලදී ගත් වාහනවලට ලියාපදිංචිය ලබාදීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටි ගැනුම්කරුවන්ට ‘වෙහිකල් ලංකා’ හිමිකරුගෙන් ලැබුණේ වෙඩි උණ්ඩ ප‍්‍රතිචාරයකි. මීට පෙර එම සමාගම විසින් විකුණූ වාහන යම් ප‍්‍රමාණයක් ලියාපදිංචි කරනු ලැබුවේ නම් එම කටයුතු සිදුවූයේද අධිකරණයේදී දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් නීති විරෝධී එකඟතාවන්ට පැමිණීම හේතුවෙන්ය.

අනෙක් පැත්තෙන් මේ වාහනවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරවන්නට උත්සාහ කළ අවංක රාජ්‍ය නිලධාරීන්ට සිදුවූයේ දූෂිත දේශපාලනඥ හා නිලධාරි පැලැන්තියේ සාමූහික කුමන්ත‍්‍රණවල ප‍්‍රතිඵලයක් ලෙස අභූත චෝදනාවලට ලක්වන්නට හා වැඩ තහනම්වලට ලක්වන්නටය. ඊට දැක්විය හැකි හොඳම උදාහරණ දෙක වන්නේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් රන්ජන් කනකසබේට එරෙහිව ‘වෙහිකල් ලංකා’ හිමිකරුගෙන් එල්ල වූ අල්ලස් චෝදනාවය. එම කුප‍්‍රකට අල්ලස් චෝදනාව එල්ල වන සමයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ජගත් බාලපටබැඳිය. ඔහු ඒ වනවිටත් භාවිත කළේ ‘වෙහිකල් ලංකා’ සමාගමේ නීති විරෝධී වාහනයක්ය. ඒ පිළිබඳව එදා ජනතා විමුක්ති පෙරමුණ විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලට සිදුවූයේ කුමක්ද යන්න අදටත් අභිරහසකි. ශ‍්‍රී ලංකා රේගුව තුළ මහත් පිළිගැනීමකට ලක්වූ රන්ජන් කනකසබේ මහතා අද රැකියා විරහිතයෙකු වී උසාවි ගානේ රස්තියාදුවෙමින් සිටී. ඒ එදා අල්ලස් කොමිසම රේගුවේ ඔහුට පමණක් එල්ල කළ වත්කම් බැරකම් නොදීමේ චෝදනාවලටද මුහුණදෙමින්ය.

අනෙක් තැනැත්තා අවසානවරට ‘වෙහිකල් ලංකා’ වාහන අත්අඩංගුවට ගත් විජේකෝන් නමැති නිලධාරියාය. හිටපු රේගු, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු දූෂිත නිලධාරි පැලැන්තිය ඔහුගෙන් පළිගත්තේ ඔහු වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් (ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය) මේ වාහන ජාවාරමට අදාළ දූෂණ වංචා පිළිබඳව ඉහළ බලධාරීන්ට පැමිණිලි කිරීම නීති විරෝධී බව කියමින් ඔහුගේ වැඩ තහනම් කිරීම මගින්ය. ඊට එරෙහිව ඔහුට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්නට සිදුවූ අතර මේ වනවිට ඔහු රැුකියාවේ පිහිටුවා ඇතත්, එම අයිතිවාසිකම් නඩුව අවසන්ව නැත.
ලිපිය ආරම්භ කරමින් කීවාක් මෙන් යළි අපට මේ ‘වෙහිකල් ලංකා’ වාහන ගැන කතා කරන්නට සිදුවී ඇත්තේ ශ‍්‍රී ලංකා රේගුවේ විමර්ශනයට යටත් වී ඇති එම වාහන තොගයක් විමර්ශනයකින් තොරව මුදාහරින්නට යන බවට ආරංචි පැතිරී යෑමත් සමගය.

එම ආරංචිවලට මගපාදා තිබුණේ වත්මන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් 2017.12.11 දින සහිතව ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයාගෙන් ප‍්‍රශ්නගත මෙම ‘වෙහිකල් ලංකා’ වාහන ගැන කර තිබූ විමසීමත්ය. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එහිදී අසා තිබුණේ ‘වෙහිකල් ලංකා’ සමාගමට නිකුත් කර තිබූ ආනයන බලපත‍්‍ර තුනක් තවමත් වලංගුද යන්නය. දැනට රේගුව භාරයේ තිබෙන වාහන 54ක් හා වාහන කොටස් අඩංගු කන්ටේනර් 8ක් මේ ආනයන බලපත‍්‍ර යටතේ ගෙන්වූ වාහන බවට හඳුනාගෙන තිබීම ඊට හේතුවය.

මේ ලිපියේදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයාගෙන් අදාළ ආනයන බලපත‍්‍ර වලංගුද යන්න අසන්නේ විස්තරාත්මකවය. ඒ හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් කැබිනට් මණ්ඩල තීන්දුවක් අනුව මෙම වාහන අමතර කොටස් මුදාහැරීම වහාම නවතන ලෙස කරන ලද දැනුම්දීම, එම දැනුම්දීමට අනුව ‘වෙහිකල් ලංකා’ හිමිකරු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීම, එම රිට් පෙත්සමේදී අභියාචනාධිකරණය විසින් ‘වෙහිකල් ලංකා’ සමාගමට වාහන 2250කට අදාළ අමතර කොටස් ගෙන්වීමට බලයක් නැති බව තීන්දු කිරීම, වාහන 2250ක් ගෙන්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය SCFR 304/2011 නඩුවේ සමතය අනුව හැකියාවක් නැති බව ප‍්‍රකාශ කිරීම හා එම ශ්‍රේෂ්ඨාධිකරණ සමතය වැරදි ලෙස අර්ථගන්වා ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයාට ව්‍යාජ තොරතුරු සපයා, ‘වෙහිකල් ලංකා’ සමාගම අදාළ බලපත‍්‍ර ලබාගෙන ඇති බවට තීන්දු කිරීම ආදිය එම ලිපියට අයත්ය. ඊට අදාළ ලිපි හා නඩු වාර්තාද රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයාට යවා ඇත.

එහෙත් පුදුමය වන්නේ එම ලිපියට පිළිතුරු වශයෙන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට 2017.12.13 දින සහිතව වැඩබලන ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරිය වශයෙන් ටීවීඞී දමයන්ති එස්. කරුණාරත්න දැනුම් දෙන්නේ අදාළ ආනයන බලපත‍්‍ර තුන එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඒවා බවත්, ඒවා නිකුත් කරන ලද දිනයන් හා කාලය ඉකුත් වන දිනයන් පහත පරිදි වන බවත් දැනුම්දීම පමණය.

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සඳහන් කර තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ හා කැබිනට් මණ්ඩල තීන්දු කිසිවක් එහිදී වැඩබලන ආනයන අපනයන පාලක ජෙනරාල්වරිය සිය පිළිතුරේදී සලකා බලා තිබුණේ නැත. ඒ නිසාම රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය නැවත 2018.01.05 දින ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා අමතා නැවත අසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ තීන්දු හා නිරීක්ෂණ අනුව එම බලපත‍්‍ර වලංගුද නැද්ද යන්නය. එහෙත් වැඩබලන ආනයන අපනයන පාලක ජෙනරාල්වරිය ඊට 2018.01.24 දින නැවත පිළිතුරු දෙමින් සඳහන් කරන්නේ අදාළ ආනයන බලපත‍්‍ර තුන ඒවා නිකුත් කළ 2012.10.25 දින සිට 2013.10.24 දින දක්වා වලංගු බව දැන්වීමය.

මේ පිළිතුරු දීම නම් හතරබීරි කතාවකි. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැහැදිලිවම අදාළ නඩු වාර්තා ද යොමු කරමින් අසන්නේ ප‍්‍රශ්නගත ආනයන බලපත‍්‍ර තවදුරටත් වලංගුද යන්නය. ඇත්ත වශයෙන්ම ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයාට ඒ සඳහා ඍජු පිළිතුරක් දිය නොහැකිය. ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා කළයුත්තේ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ හා කැබිනට් මණ්ඩල තීන්දු තීරණ නීතිපතිවරයාට යොමුකර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා, නීතිපතිවරයාගේ මත දැක්වීම අනුව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පිළිතුරු සැපයීමය. එහෙත් එය එසේ සිදුවී නැත. එය එසේ සිදුනොවන්නට හේතු ගණනාවක් තිබිය හැකිය. එකක් විය හැක්කේ එල්ලවන දේශපාලන බලපෑම් විය හැකිය. අනෙක දූෂිත නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් විය හැකිය. මන්ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා හොඳක් දිනාගත් ආයතනයක් නොවන බැවින්ය. සප්තා ගිවිසුම යටතේ බද්දෙන් තොරව කරුංකා ඉන්දියාවට යැවීමට තිබූ අවස්ථාව අප නැතිකර ගත්තේ නිසි ක‍්‍රමවේදයකින් තොරව කරුංකා සඳහා ජාවාරම්කරුවන්ට ආනයන හා අපනයන බලපත‍්‍ර නිකුත් කිරීම නිසාය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එම ගිවිසුම යටතේ ඉන්දියාවට යවමින් තිබූ අපගේ කුළුබඩු සඳහාද ප‍්‍රශ්න ඇතිවිය.

කෙසේ වෙතත් මේ ආකාරයට ‘වෙහිකල් ලංකා’ වාහන සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයාගෙන් විමසීමක් කිරීමට හේතුව කුමක්දැයි අප කළ විමසීමේදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පවසන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට වාර්තාවක් සකසා යැවීම සඳහා එම තොරතුරු ඉල්ලූ බවය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඇයට එවැනි ඉල්ලීමක් ලැබුණේදැයි කළ විමසීමේදී පැවසුවේ එවැනි ඉල්ලීමක් නොලැබුණු බවය. තවදුරටත් ප‍්‍රශ්න කිරීමේදී ඇය කීවේ ‘වෙහිකල් ලංකා’ හිමිකරු දිනපතාම පාහේ පැමිණ එම වාහන පිළිබඳව විමසීම් කරන හෙයින් එසේ ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා ඇමතූ බවය. මේ සඳහා ‘වෙහිකල් ලංකා’ සමාගමට සම්බන්ධතාවක් ඇති රේගුවේ ඉහළ නිලධාරියෙක්ගෙන් බලපෑමක් නැද්දැයි කළ විමසීමේදී ඇය පැවසුවේ එවැන්නක් නොමැති බවය. එවැනි සම්බන්ධකමක් ඇති ඉහළ රේගු නිලධාරියෙකු සිටිනා බව ඇයගේ පැහැදිලි කිරීමෙන් තහවුරු විය.

අපට වාර්තා වන ආකාරයට වෙනත් පරිපාලන වගකීම් දැරූ වත්මන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය රේගුවේ මේ කටයුතුවලට තවමත් අත්දැකීම් මඳ බවකින් පෙළේ. ඇයට උපදෙස් දෙනු ලබන්නේ ඒ ඒ අංශයන් භාර අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ය. ඒ අය අතර එක් අයකු ‘වෙහිකල් ලංකා’ සමාගමේ ඉහළ නිලධාරියෙකුගේ මස්සිනා කෙනෙකුය. ඒ බලපෑම එන්නේ ඒ හරහාය.

ක‍්‍රමවේදයට අනුව නම් සිදුවිය යුත්තේ ප‍්‍රශ්නගත මේ වාහන හෝ කන්ටේනර් වෙනත් හේතුවක් ඉදිරිපත් කර පරීක්ෂණයකින් තොරව මුදාහැරීමට උත්සාහ කිරීම නොව, ඒවා පිළිබඳ නිසි රේගු පරීක්ෂණ සිදුකර තීන්දුවක් ලබාදීමය. ඒ අනුව එම ප‍්‍රශ්නගත භාණ්ඩ නිදහස්වීම හෝ නොවීම තීරණය විය හැකිය. නව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඒ අනුව කළයුත්තේ මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයෑම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදීමය. මෙතෙක් ඒ සඳහා ක‍්‍රියා නොකළ අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ට එරෙහිව කටයුතු කිරීමය. ‘වෙහිකල් ලංකා’ සමාගම සිය වාහන වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් මිලියන 700කට වඩා වැඩි බදු අයකර ගැනීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමය.