රාවය

තිරස්චීන ක‍්‍රියාමාර්ග නිසා රට ආපස්සට යනවා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී – වෛද්‍ය නලින්ද ජයතිස්ස

තිරස්චීන ක‍්‍රියාමාර්ග නිසා රට ආපස්සට යනවා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී – වෛද්‍ය නලින්ද ජයතිස්ස

මුස්ලිම් ජනයාට එරෙහිව අපරාධ සිදුකරන වාතාවරණයක් රට තුළ දියත්වෙමින් තිබෙනවා. මේ සිදුවීම් දාමයේ අලූත්ම සිද්ධිය මහනුවර දිගනදි සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ නිරීක්ෂණ මොනවාද?

මේ රටේ පවත්නා ජාතිවාදී දේශපාලනයක් තිබෙනවා. ඒක වළක්වන්න නෙමෙයි ඒ සඳහා උඩගෙඩි දෙන ප‍්‍රධාන පක්ෂයකුත් තියෙනවා. ඊට අමතරව ආණ්ඩුවත් මේ ජාතිවාදී දේශපාලනය පැරදවීම සඳහා බරපතළ ක‍්‍රියාමාර්ග ගන්නේ නැහැ. ඒ වගේම මේ අය කවුරු කවුරුත් උත්සාහ කරනවා, එකිනෙකාට වඩා ජාතිවාදීවෙමින් තමන්ගේ ඡුන්ද ගොඩ වැඩිකර ගන්න. ඒ රටේ සිදුවෙන සාමාන්‍ය සිදුවීමක් වුණත් ජාතිවාදී කෝණයෙන් විග‍්‍රහ කරගෙන ජාතිවාදී ගැටුමක් ඇති කරන්න අවස්ථාවක් පරිසරයක් රටේ නිර්මාණය වී තිබෙනවා. මීට කලින් ගිංතොට සිදුවීමත් අම්පාර සිද්ධියත් කියන සිදුවීම් ගත්තොත් මේවායේ ආරම්භය රටේ එදිනෙදා සිදුවෙන සාමාන්‍ය සිදුවීම්. සමහරවිට රිය අනතුරක් එහෙම නැත්නම් ආපනශාලාවක සිදුවෙන බහින් බස්වීමක්. සමහරවිට කාන්තාවන්ට හිරිහැරයක් හා ඕනෑම රටක ඕනෑම කලෙක සාමාන්‍ය ජනතාව අතර සිද්ධවෙන්න පුළුවන් දේවල්.

එහෙත් මේ සාමාන්‍ය සිදුවීමක් සිද්ධ වුණේ ජාතීන් දෙකකට අයිති පුද්ගලයන් දෙන්නෙක් අතර නම්, එය මහා ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනයවීමට පදනමක් දැන් ගොඩනැගිලා තියෙනවා. දැන් එක පැත්තකින් මේ වන සිදුවීම් ඕනෑම එකක් ගත්තත් ජාතිය ආගම තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන අතරම මේ රටේ ඔඩුදුවමින් පවතින ජාතිවාදය පරාජය කරන්නට ඕනේ. එක පැත්තකින් සිංහල ජාතිවාදීන් මෙන්ම අනෙක් පැත්තෙන් මුස්ලිම් ජාතිවාදීනූත් ක‍්‍රියාත්මක වෙනවා. දෙමළ අන්තවාදය තාවකාලිකව යුද්ධය නිසා යටපත් වෙලා තිබෙනවා. මේ අන්තවාදී කණ්ඩායම් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධව ක‍්‍රියාත්මකවීමට තමන්ගේ අවස්ථාව එනතුරු බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ කොයි අන්තවාදයත් පරාජය කරන්න ඕනෑ.

ජාතිවාදී උන්මාදය පිටු දැකීම අරභයා ඔබේ පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විදියට මොකද කරන්නේ? ඇයි මේ සඳහා ඍජු මැදිහත්වීමක් නොවන්නේ?

ජනතා විමුක්ති පෙරමුණ ඍජුව මැදිහත් නොවෙනවා නෙමෙයි. එහෙත් මේ සමාජයක් වෙලාගෙන තිබෙන මේ අන්තවාදී දේශපාලනය ජාතිවාදී දේශපාලනය පැරදවීම ජනතා විමුක්ති පෙරමුණට පමණක් කළහැකි කාර්යභාරයක් නොවෙයි. ඔබ දකින්න ඇති පසුගිය කාලසීමාව පුරාම මතවාදීමය වශයෙන් මේ අන්තවාදය ජාතිවාදය ගෝත‍්‍රවාදය පිටුදැකීම සඳහා අපි ලොකු සටනක් කළා. ඒ වගේම උත්සාහ කරමින් ඉන්නවා. සමහරවිට ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයන් මාධ්‍ය සාකච්ඡුා වගේම ගැටුම් ඇතිවුණු ප‍්‍රදේශවල ජනතාව එකතු කරගෙන සංහිඳියාව ඇති කිරීමේ ක‍්‍රියාදාමයත් වාගේ දේවල් තියන්න පුළුවන්. බේරුවල දර්ගා නගරයේ ගැටුම ඇතිවෙච්ච වෙලාවේ විශාල වැඩපිළිවෙළක් දියත් කළා. ඒ වගේම ගැටුම් අතර කාලෙදීත් සංහිඳියාව ජාතීන් අතර සමඟිය වර්ධනය කරගැනීම සඳහා විශේෂයෙන් අපේ රටේ දරුවන් සහ තරුණයන් අතර සමඟිය ඇති කිරීමට ආකල්ප ගොඩනැගීමටත් කටයුතු කරමින් යනවා. අපේ තරුණ සංගමය විශේෂයෙන් මේ ජාතික සමඟිය වෙනුවෙන් තරුණයන් අතර වැඩසටහන් දියත් කර තිබෙනවා. ක‍්‍රීඩා වැඩසටහන් කලා වැඩසටහන් දේශපාලනික සංවාද තරුණ කඳවුර මේ ආදී දේවල්.

එහෙත් අපි හිතනවා එක පැත්තකින් මීට අවුරුදු තුනකට කලින් කාලය දක්වා මේ ජාතිවාදය රාජ්‍ය අනුග‍්‍රහයෙන් තමයි පැතිරුණේ. 2015 ජනවාරි මාසේදී අපි පරාජයට පත් කළේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් ජාතිවාදය ක‍්‍රියාත්මක කිරීම මිසක් ජාතිවාදය නොවෙයි. තවමත් ඒ ජාතිවාදී ආකල්පයන් මතවාදයන් තිබෙනවා. ඒකට තිබෙන රාජ්‍ය අනුග‍්‍රහය තමයි යම් පමණකට අඩුවෙලා තිබෙන්නේ. මම කියන්නේ නෑ මුළුමනින්ම අඩුවෙලා තිබෙනවා කියලා. ඒ නිසා එක පැත්තකින් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ඉතිහාසයක් පුරා වර්ධනය වෙලා ආපු ජාතිවාදී අන්තවාදී ප‍්‍රවණතාවන් මෑත කාලයේදී වැඩි වර්ධන වේගයක් ගත්තට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට පමණක් මේ නවත්වන්න පුළුවන් එකක් නොවෙයි. මුළු මහත් සමාජයක් මේ අභියෝගය භාරගත යුතුයි. මොකද මෙහි ඊළඟ පියවර තමයි ජාතීන් අතර ඇතිවන සටන් යුද්ධ ඒවට මුහුණදෙන්න වෙන්නේ ඒවයේ ගොදුරු බවට පත්වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට.

දැන් පවතින උග‍්‍ර ජාතිවාදී ප‍්‍රචාරණ උපක‍්‍රමයක්වන්නේ මුස්ලිම් ආපනශාලාවල ආහාරවලට වඳපෙති මිශ‍්‍රකර තිබෙන බව, ඔබ වෛද්‍යවරයෙක් විදියට මේ ගැන දක්වන්නේ කුමන අදහසක්ද?

අපි අවුරුදු 70ට වඩා නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින රටක්. හැම ගමකටම ගියොත් රජයේ පාසලක් තියෙනවා. රජයේ රෝහලක් තිබෙනවා. අපේ සාක්ෂරතාව 90%කට වඩා වැඩියි. එහෙත් කොතරම් ප‍්‍රජා සෞඛ්‍ය සේවාවන් සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කළත් මෙවැනි මිථ්‍යාවලට මුළු මහත් සමාජයක් වෙවුලූම් කවන්න පුළුවන්. වඳපෙති හෝ වඳ ස්පේ‍්‍ර හෝ වඳ දුමාරයන් ලෝකෙ කොහේවත් හොයගෙන නෑ. වන්ධ්‍යාකරණය කරන්න පුළුවන් එකම ක‍්‍රමවේදයයි තියෙන්නේ. ඒ තමයි සැත්කම් මගින්. එහෙම නැත්නම් තාවකාලිකව උපත් පාලන ක‍්‍රමවේදයක් තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත්. එහෙත් මේ තිබෙන්නේ වඳ පෙත්ත පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි. වන්ධ්‍යකරණය හෝ උපත් පාලනය පිළිබඳ දැනුම හෝ නොදැනුවත්කම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ යටින් දිවෙන්නේ ජාතිවාදය. ඒ නිසා මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා කොතරම් වඳ බෙහෙත් ගැන ප‍්‍රචාරය කළත් පළක් නෑ. මේ රෝග නිධානයට පිළියම් කරන්නේ නැතිව.

ජාතිවාදය වැපිරීමේදී යම් යම් පුද්ගලයන්ගේ යටි අරමුණු තිබෙන බවක් පෙනෙනවා. ඒ ගැන ඔබේ කියවීම කෙබඳුද?

රටේ බරපතළ ආර්ථික ප‍්‍රශ්නයක් තිබෙනවා. ඒ ආර්ථික ප‍්‍රශ්නය සියලූම කණ්ඩායම් පීඩාවට පත්වෙන්නක්. හැබැයි මේ ආර්ථික අර්බුදයේ මූලය තිබෙන්නේ කොහෙද කියලා හිතන්නැතිව ඒකට තමන් ළඟම ඉන්න කෙනා චූදිතයා කරගන්න විසඳුම් සොයනවා. දැන් අපි දන්නවා රටේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ බරපතළ අර්බුදයක් තියෙනවා. ව්‍යාපාර කඩාගෙන වැටෙනවා. ව්‍යාපාර ලාබ උපයන්න බැහැ. ඒවායේ ඉන්න සේවකයන්ට පඩි නඩි ගෙවා ගන්න බැහැ. එතකොට මෙවැනි ආර්ථික අර්බුදයකදී ඒකට ගොදුරු වන පිරිස් මුලින්ම චූදිතයා විදියට අල්ල ගත්තා. ඒ ආර්ථික අර්බුදය නිර්මාණය කරපු පිරිස නෙවෙයි තමන්ට වඩා ළඟින් ඉන්න වෙනත් පාර්ශ්ව තමයි. මේක අපේ රටේ පමණක් නොවෙයි යුරෝපය පුරාත් දැන් පවතින ප‍්‍රවණතාවක්.

දැන් යුරෝපයේ ගිහිල්ලා වැඩ කරන අපේ ශ‍්‍රමිකයන් තමයි මේ ආර්ථික අර්බුදයේ ඉස්සරලම ගොදුරු බවට පත්වෙන්නේ. මොකද ඒ රටවල ජනතාව තමන්ට රැුකියා අහිමි වෙන කොට ඔවුන්ට රැුකියා අහිමිවීමේ හේතු විදියට ගන්නේ විදෙස් ශ‍්‍රමිකයන්. ඒ නිසා අපේ අයට ගහනවා. මෙහේදිත් ඒ වගේ තමන්ගේ ව්‍යාපාර කඩන් වැටෙන කොට ඒකට හේතුවක් විදියට අල්ල ගන්නෙ තමන්ගේ නොවන අනික් ව්‍යාපාරිකයන්. සිංහල ව්‍යාපාරිකයන්ට මුස්ලිම් ව්‍යාපාරිකයන්. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට සිංහල ව්‍යාපාරිකයන්.

ඊළඟට දැන් මේ රටේ දේශපාලනය ඡන්ද ගොඩ වැඩිකර ගැනීමෙහිදී ඉතාම පහසු සහ ලාභදායී උපාය මාර්ගය තමයි ජාතිවාදය වැපිරීම. මුස්ලිම් පල්ලිවලට ගහනවා. මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් නෑ කියලා මුස්ලිම් පක්ෂ තමන්ගේ ඡුන්ද ගොඩ වැඩිකර ගන්නවා. හැබැයි ඔවුන් ඒ ඡුන්ද ටිකෙන් ඇවිල්ල ඒ ආකාරයටම සිංහල ජාතිවාදය වපුරපු නායකයොත් එක්ක කැබිනට් එකේ ඉඳගන්නවා. උතුරේ දෙමළ ජනතාවට අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. තවමත් ඔවුන් පීඩාවට පත්කරමින් ඉන්නවය කියන මතය වපුරවමින් වෙනම රටක් නැත්නම් උත්තරයක් නෑ කියන මතය ඉදිරිපත් කරමින් තමයි සමහර කණ්ඩායම් තමන්ගේ ඡුන්ද ගොඩ වැඩිකර ගන්නේ. දකුණෙත් එහෙමයි. අරහෙ මුස්ලිම් අන්තවාදය වැඩිවෙනවා. අරෙහෙ දෙමළ අන්තවාදය වැඩිවෙනවා. රට බෙදනවා කියලා අතිශය බොරු විකෘති මත පතුරවමින්, ඒ වගේම සිංහල ජනතාව අබිබවා යමින් වෙනත් ජාතීන් තව වසර පහළොවක් විස්සක් ඇතුළත රටේ බහුතරය බවට පත්වෙයි කියන මිථ්‍යාවක් ඇතිකරමින් සිංහල අන්තවාදීන් ඝෝෂාවක් කරගෙන යනවා. දැන් මේ කොයි කවුරුත් දැනුවත්ව තමයි මේ ක‍්‍රියාවේ නිරතවෙන්නේ. මේ අය කවුරුත් දන්නවා ජාතිවාදය වැපිරීමෙන් තමයි ඒගොල්ලන්ගේ ඡුන්ද ගොඩ වැඩිකර ගන්න පුළුවන් වෙන බව. ඒක තමයි ඔවුන් තෝරාගෙන තිබෙන පහසුම ලාබදායක මාර්ගය. ඔවුන් හිතන්නේ නෑ රටට අත්වෙන ඉරණම මොකද්ද කියලා.

කෙටිකාලීනව බලය ගොඩනගා ගන්න ආණ්ඩුව ගත්ත පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න ඇමතිකම් ගන්න කරන මේ ඉතාම තිරශ්චීන ක‍්‍රියාමාර්ගය විසින් රටක් හැටියටයි ආපස්සට ගමන් කරන්නේ. අපි තරම් පාඩම් ඉගෙන ගන්න රටක් ලෝකෙ කොහේවත් නැතිව ඇති. අපි තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. ඒ අවුරුදු තිහේදී මැරුණේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඇතුළු විවිධ ජන කොටස්වල ඉතාම පහළ දුප්පත් තරුණ කණ්ඩායම්. එය හමුදාවට බැඳිලා මියයන සොල්දාදුවන් වගේම එල්ටීටීඊ එකට බැඳිලා මියයන සටන්කාමීන් වෙන්න පුළුවන්. ඒ වගේම බෝම්බෙට අහුවෙලා මියයන මුස්ලිම් ව්‍යාපාරිකයා වෙන්න පුළුවන්. පහළ සමාජය තමයි මේකෙන් පීඩාවට පත්වුණේ. ඒවයේ නායකයෝ කවදත් වරප‍්‍රසාද භුක්ති විඳිනවා. ආණ්ඩුවට එකතුවෙලා නැත්නම් ජාත්‍යන්තර සංවිධානවලින් මුදල් අරන්. මේ තත්ත්වයන් තේරුම් ගන්නේ නැතිනම් මේ රටේ ආන්තික කණ්ඩායම්වලට නැවත ආයුධ ගැනීම සඳහා ඉඩකඩක් නිර්මාණය වෙනවා.

සමහර දේශපාලනඥයන්ගේ පැවැත්මට හැමවිටෙකම සතුරෙකු අවශ්‍ය වී තිබෙනවා. දෙමළ සතුරාගෙන් ඉනික්බිතිව ඔවුන් තෝරා ගන්නේ මුස්ලිම් සතුරායි. මේ ගැන මොකද කියන්නේ?

සිංහල දේශපාලනඥයන් අතර පමණක් නොවෙයි. මේක මුස්ලිම් දේශපාලනඥයන් අතරත් තිබෙනවා, දෙමළ දේශපාලනඥයන් අතරත් තිබෙනවා. දැන් උතුරේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය ගත්තට පස්සේ ජාතිවාදී අන්තවාදී කණ්ඩායම් තමන්ගේ ඡුන්ද පදනම වැඩිකර ගනිමින් සිටිනවා. ඒ වගේම මේ වෙනකොට මුස්ලිම් දේශපාලන පක්ෂ අතර වඩා ජාතිවාදීවීමේ තරගයක් ඇතිවෙමින් තිබෙනවා. ඒ නිසා මේ කවුරු කවුරුත් දැනුවත්ව කටයුතු සිද්ධ වෙනවා. හැබැයි මෙය ඔවුන්ගේ ජීවිතය නොවෙයි. හොඳම උදාහරණ උතුරේ මහ ඇමති විග්නේ්ෂ්වරන්. ඔහුගේ ප‍්‍රකාශ නිකුත්වන්නේ ජාතික සමඟිය දිහාවට හෝ පළාත් සභාවේ බලය පාවිච්චි කරලා පළාත දියුණු කරන දිසාවට නොවෙයි. තවදුරටත් දෙමළ ජනතාව අතර ජාතිවාදී හැඟීම් උත්සන්න කරන්නයි. දැන් ඔහුගේ ජීවිතය ගත්තොත් ඔහු තමන්ගේ දරුවො දෙන්නා විවාහ කරලා දීලා තියෙන්නේ අපේ රටේ ප‍්‍රභූ සිංහල පවුල් දෙකකට. බැසිල් රාජපක්ෂගේ එහෙමයි. නිරූපමා රාජපක්ෂගේ එහෙමයි. ඉතින් මේ රටේ ප‍්‍රභූ දේශපාලනඥයන් තමන්ගේ ජීවිතය ඇතුළේ ඔවුන් ජාතිය කුලය ආගම සැලකුවේ නැතිවට තමන්ගේ ඡන්ද පදනම වැඩිකර ගැනීමේදී මේ ජාතිවාදය පාවිච්චිය කර තියෙනවා. මම හිතන්නේ මේ දේශපාලනඥයන්ට නොවැටහෙනවා නොවෙයි. රටේ ජනතාවයි මේ අනතුර තේරුම් ගත යුතුවන්නේ. මේ කවුරුත් ගිනි ඇවිලූවට පස්සේ ඒ ගින්නට හසුවෙන්නේ රටේ ජනතාවයි. ජනතාව දැනුවත්වීමකින් තොරව මේ ජාතිවාදී දේශපාලනය පරදවන්න බෑ.