රාවය

රට හම්බයන්ගෙන් බේරා ගැනීම

රට හම්බයන්ගෙන් බේරා ගැනීම

මෙම ලිපිය ලියන්නේ මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහලයක් මහනුවරින් ආරම්භ වී තිබෙන අවස්ථාවකය. මේ ලිපියෙන් කතා කිරීමට අපේක්ෂා කරන්නේ මහනුවර වෙමින් තිබෙන අවලස්සණ දේවල් ගැන නොව මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි පිළිකුළක් හා වෛරයක් ඇති කිරීමට හේතුවන සමාජ දේශපාලන වටපිටාවක් නිර්මාණය කෙරුණු ආකාරය ගැනය.

ලංකාවේ අන් හැම දෙයක් සේ ම ජනවර්ග තිබෙන්නේද නැවත ජනවර්ග අතර අන්තර් සබඳතා තිබෙන්නේද හොඳටම කුණුවූ තත්ත්වයකය. නිදහසින් පසු සිංහල දකුණේ ප‍්‍රචණ්ඩ කැරලි දෙකක් සිදුවූ අතර දෙමළ උතුරේද ප‍්‍රමාණයෙන් දකුණේ සිදුවූ කැරලි දෙක එකට ගත් විට ඊටත් වඩා විශාල දිග්ගැස්සුණු ප‍්‍රචණ්ඩ කැරැුල්ලක් සිදුවිය. ලංකාව නිදහස ලබාගෙන ගතකර තිබෙන කාලයෙන් අඩක් තරම් වන කාලයක් ජීවත් වී තිබෙන්නේ බිහිසුණු ප‍්‍රචණ්ඩ ගැටුම් මැදය. ඇතිවූ ප‍්‍රචණ්ඩ කැරලි තුනම පරාජය කරන්නට සමත් වුවත් එම කැරලි හා කැරලි මර්දන ව්‍යාපාර සමාජය හා රාජ්‍ය කෙරෙහි ඇති කර තිබෙන විනාශය අතිවිශාලය. මේ කැරලි තුනම සැලකිය හැක්කේ රටේ දේශපාලන අපරිණතභාවය නිසා ඇතිවූ කැරලි වශයෙන් මිස ඓතිහාසික අර්ථයෙන් ඇතිවීම නොවැළැක්විය හැකි කැරලි වශයෙන් නොවේ. එය ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීමේ ඵලයක් ලෙස සැලකිය හැකිය. සමාජයේ පැවති වර්ග, කුල ආගම් භේදවලට තිබෙන පිළිගැනීම නැති කොට සමාජය ඒකාග‍්‍ර කිරීමට අසමත්වීම නිසා සිදුවූ දෙයක් ලෙස සැලකිය හැකිය. අපට ලැබී තිබුණු ජාතික රාජ්‍යයේ යහපැවැත්ම සඳහා නූතන ජාතිය ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් බව තේරුම් ගැනීමට අපේ දේශපාලන නායකයන් සේ ම උගතුන්ද අසමත්විය. ඒ නිසා සමාජය නූතනවීමක් සිදු නොවීය. ගැටුම් ඇති කිරීමට හේතුවන සාධක නිෂ්ක‍්‍රිය කිරීමක් සිදු නොවීය.

රටේ අවුල

සිංහල දකුණෙත්, දෙමළ උතුරෙත් ඇතිවූ බිහිසුණු ප‍්‍රචණ්ඩ කැරලි කෙරෙහි බලපෑ විවිධ සාධක අතර වර්ගය, කුලය, ආගම යන සාධකද වැදගත් සාධක තුනක් ලෙස එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලපෑවේය. ඉන් පෙන්නුම් කරන්නේ ජාතීන් අතර සේ ම ජාතීන් තුළද ප‍්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට හේතුවන බෙදීම් තිබුණු බවය. ජේවීපී දෙවැනි කැරැුල්ල පරාජය කිරීමෙන් පසු රට ගැඹුරු ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමේ හැකියාවක් රටට නොතිබුණි. ඒ ජේවීපී කැරැුල්ල අවසන් වී තිබුණද එල්ටීටීඊ කැරැුල්ල අවසන් නොවී තිබීම නිසාය. රට ගැඹුරු ප‍්‍රතිසංවිධානයකට යායුතුව තිබුණේ එල්ටීටීඊ කැරැුල්ල පරාජය කිරීමෙන් පසුවය. එහෙත් ඒ සඳහා වන දැක්මක් එම කැරැල්ල පරාජය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නොතිබුණි. ඒ වනවිට සමාජය හා රාජ්‍ය තිබුණේ ඉතා අවුල්සහගත විකෘති වූ හා කුණුවූ තත්ත්වයකය. රට ගැඹුරු ප‍්‍රතිසංවිධානයකට යොමු කළ යුතුව තිබුණේ ඒ අවස්ථාවේදීය. එහෙත් ඒ යථාර්ථය තේරුම් ගැනීමට අවශ්‍ය කරන දේශපාලන ප‍්‍රඥාව අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට නොතිබුණේය. 2015 පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වී යහපාලන ආණ්ඩුවක් බලයට ආවේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

එහෙත් යහපාලන ආණ්ඩුවටද මහින්ද පරාජය කිරීමේ සරල අරමුණින් ඔබ්බට ගිය ඉදිරි දැක්මක් නොවීය. රටේ තිබුණ සැබෑ අර්බුදය ප‍්‍රධාන තේමාව කරගන්නට නායකයන් දෙදෙනා තුළම කැමැත්තක් නොතිබුණා සේ ම යහපාලන ආණ්ඩුවට ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රය හදා දුන් ව්‍යාපාරය සේ ම එහි න්‍යායවාදීන්ද එම ප‍්‍රශ්නය වැදගත් තේමාවක් බවට පත්කර ගැනීමට කැමති නොවීය. ඒ නිසා රට මුහුණදී තිබුණු ප‍්‍රධාන ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකි වර්ග, කුල, ආගම් භේද මුල්කරගත් ජාතික ප‍්‍රශ්නය වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණය ප‍්‍රධාන තේමාව බවට පත්කර ගත්තේය.දූෂණය විග‍්‍රහ කෙරුණේද රාජපක්ෂ පාලන කාලයේ ඇතිවී වර්ධනය වූ දෙයක් ලෙසය. දූෂණය හා වස්තු කොල්ලය හැත්තෑව දශකයේ අවසානයේ සිට රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබූ බව ඒ සියලූදෙනා අමතක කළෝය. ඒ මගින් මහින්දගේ පූර්වගාමී පාලකයෝ අනියම් ලෙස හෝ පිරිසිදු පාලකයන් බවට අභිෂේක කිරීමක්ද සිදුවූහ.

සිංහල – දෙමළ යුද්ධය

ඇත්තටම අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට සමාජය සේ ම රාජ්‍යයද තිබුණේ හොඳටම බෙලහීන වී විකෘති වී කුණුවූ තත්ත්වයකය. ආරක්ෂක හමුදාවන් හා එල්ටීටීඊ හමුදාව අතර සිදුවූ යුද්ධය සිංහල ජනතාව සේ ම දෙමළ ජනතාවද දැක්කේ සිංහල දෙමළ යුද්ධයක් ලෙසය. එම යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය කොට ආරක්ෂක හමුදා ජයගත් විට සිංහල ජනයා එම ජයග‍්‍රහණය දැක්කේද දෙමළ සතුරා අවසාන වශයෙන් පරාජයට පත් කළ යුද්ධයක් ලෙසය. දෙමළ ජනයා එය දැක්කේද සිංහල වර්ගයා දෙමළ වර්ගයා පරාජය කළ යුද්ධයක් ලෙසය. එම යුද්ධය දෙමළ ජනතාවට ඔවුන්ට තිබූ ආත්ම ගෞරවය සමග ඔවුන්ට ද්‍රව්‍යමය වශයෙන් තිබූ බොහෝ දේ නැති භංග කළේය. ඉන් දෙමළ ජනතාවට සිදුවූ විනාශය අතිවිශාල විය. විශාල ජීවිත විනාශයක් සිදුවී තිබුණා සේ ම විශාල දේපළ විනාශයක්ද සිදුවී තිබුණි. මාපියන් විශාල පිරිසකට ඔවුන්ගේ දූ දරුවන්ද, දූ දරුවන් විශාල පිරිසකට ඔවුන්ගේ පියා හෝ මවද අඹු සැමියන් විශාල පිරිසකට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාවද අහිමි කර තිබුණි. සදාකාලික අබ්බගාතයන්ගේ තත්ත්වයට පත්වූ අයගේ සංඛ්‍යාවද විශාලය. සමස්ත දෙමළ සමාජයම හොඳටම හදවත් තුවාල වූ සමාජයක් බවට පත් කිරීමට හේතුවී තිබුණි.

සිංහල ජනවර්ගය සිටියේ හිමිකරගත් ජයග‍්‍රහණය ගැන මහත් උද්දාමයෙන් වුවද යුද්ධය එම සමාජයද අබල දුබල හා බෙලහීන බවට පත්කර තිබුණි. ඔවුන්ට ජය ලැබී තිබුණද ඒ වෙනුවෙන් ඔවුන්ද ලොකු මිලක් ගෙවා තිබුණි. ඒ නිසා මරණයට පත් සෙබළුන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වුණා සේ ම අංගවිකල භාවයට පත් අයගේ සංඛ්‍යාව ඊටත් වඩා විශාල විය. බාහිර පෙනුමෙන් සිටියේ ජයග‍්‍රාහී තත්ත්වයක වුවද අභ්‍යන්තරික වශයෙන් සිටියේ රෝගී හා බෙලහීන බවට පත් තත්ත්වයකය. ජයග‍්‍රහණයේ උද්දාමය නිසා තමන් සිටින යථා තත්ත්වය ඔවුන්ට නොපෙනුණේ යැයිද කිව හැකිය.

සතුරා වෙනස් කිරීම

යුද්ධය හා ඉන් ලැබූ ජයග‍්‍රහණය සිංහල ජන වර්ගය තුළ වර්ගවාදී ආකල්ප පෝෂණ කොට වර්ධනය කිරීමට හේතුවී යැයි කිව හැකිය. එල්ටීටීඊ යුද්ධය තිබෙන තාක් සිංහල මුස්ලිම් මිත‍්‍රත්වයක්ද තිබුණි. මෙම දෙවර්ගයා අතර අන්තර් සබඳතා ඉතා යහපත් තත්ත්වයක තිබුණි. එල්ටීටීඊය සටනට බට මුල්ම කාලයේ එම ව්‍යාපාරය තුළ කිසියම් ප‍්‍රමාණයක මුස්ලිම් නියෝජනයක් පෙනෙන්නට තිබුණද මොන මොන හේතු නිසා හෝ ඔවුන් අතර පැවති එම සහජීවනය බිඳ වැටුණි. ඉන්පසු එල්ටීටීඊය මුස්ලිම්වරුන්ට පහර දෙන්නට වූ අතර එල්ටීටීඊය පාලනය කළ බල ප‍්‍රදේශවල ජීවත් වූ මුස්ලිම් ජනයා ඒ ප‍්‍රදේශවලින් තොග ගණනින් පලවා හැරීමක්ද සිදුවිය. ඒ හේතුව නිසා මුස්ලිම් ජනවර්ගයද එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධයේදී සිංහල අපේක්ෂාවන්ට පක්ෂපාතව බලවත් ලෙස ක‍්‍රියා කළ ජනවර්ගයක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. ඒ නිසාම සිංහල වර්ගයාද එම නිශ්චිත මොහොතේදී මුස්ලිම් ජනයා සලකන ලද්දේ සිංහලයන්ට ඉතා හිතවත් සහෝදර ජනවර්ගයක් ලෙසිනි. සිංහලයන්ට යුද්ධ වීරයන්ගේ ලැයිස්තුවක් තිබුණු අතර යුද්ධයේදී සටන් කොට මියගිය මුස්ලිම් සෙබළුන්ටද එම ලැයිස්තුවේ වැදගත් හා ගෞරවාන්විත තැනක් ලබාදී තිබුණි.

එහෙත් සියල්ල කණපිට හැරුණේ සිංහල වර්ගයාට සිටි ප‍්‍රධාන වාර්ගික සතුරා ලෙස සැලකිය හැකි දෙමළ සතුරා යුද්ධයෙන් පරාජය කොට විනාශ කළ පසු සිංහල වර්ගවාදී ව්‍යාප්තියේ පැවැත්මට අලූත් වාර්ගික සතුරකු අවශ්‍ය වීම නිසා මුස්ලිම් ජනවර්ගය ඔවුන්ගේ ප‍්‍රධාන වාර්ගික සතුරා ලෙස අභිෂේක කරන්නට වීමත් සමගය. ඕනෑම වර්ගවාදී ව්‍යාපෘතියක පැවැත්මට වාර්ගික අර්ථයෙන් වන සතුරකු සිටීම අවශ්‍යය. ඇත්ත සතුරකු නැත්නම් බොරු සතුරකු හෝ ඇති කරගත යුතුය. වර්ගවාදී ව්‍යාපෘතියකට සිය වර්ගයා ගැට ගසාගෙන සිටිය හැක්කේ ඔවුන් භීතියට පත්කිරීමට හේතුවන සතුරකු සිටී නම් පමණය. දෙමළ සතුරා අවසාන වශයෙන් පරාජය කොට විනාශ කිරීමෙන් පසුව සිංහල වර්ගවාදී ව්‍යාපෘතිය පවත්වාගෙන යෑම සඳහා අලූත් සතුරකු කරළියට ගැනීම අවශ්‍ය වූ අතර ඔවුන් ඒ සඳහා තෝරා ගත්තේ මුස්ලිම්වරුන්ය.

ප‍්‍රතිරූපය සකස් කිරීම

මෙවැනි වර්ගවාදී ව්‍යාපෘතියකදී සතුරකු තෝරා ගැනීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැත. සිය වර්ගයා තුළ සතුරා කෙරෙහි භීතියක්, වෛරයක්, කෝපයක් හා පිළිකුලක් ඇති කිරීමට හේතුවන ලෙස සතුරාගේ ප‍්‍රතිරූපය සකස් කිරීමක්ද කළ යුතුය. නූතන සිංහල බෞද්ධ චින්තනයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි අනගාරික ධර්මපාලතුමා මුස්ලිම්වරුන් කෙරෙහි ක්‍රෝධයක්, වෛරයක් හා පිළිකුලක් ඇති කිරීමට හේතුවන බොහෝ දේ කියා තිබුණ අතර සතුරාගේ ප‍්‍රතිරූපය ගොඩනැගීමේ ව්‍යාපෘතිය සඳහා ඒ ඉගැන්වීමද ප‍්‍රයෝජනවත් වන්නට ඇත. ධර්මපාලතුමා මුස්ලිම්වරුන් හැඳින්වූයේ හම්බයන් ලෙසය. හරක් මස් කන මිනිසුන් (ඔහු හරක් මස් හැඳින්වූයේ ගෙරි මස් ලෙසය.) එතුමා හැඳින්වූයේ වසලයන් ලෙසය. එසේම ධර්මපාලතුමා මුස්ලිම් ජනවර්ගය විග‍්‍රහ කළේ සිංහල බෞද්ධයන් ගසා කන පරදේසක්කාර පිරිසක් ලෙසය. ඒ නිසා සිංහල අන්තවාදී න්‍යායවාදීන්ට මුස්ලිම් වර්ගයාට ප‍්‍රබල සතුරු ප‍්‍රතිරූපයක් ලබාදීම සඳහා අලූතෙන් එකතු කරන්නට අවශ්‍ය වන්නට ඇත්තේ කාරණා කිහිපයක් පමණය.

මුස්ලිම් ජනගහනය වේගයෙන් ව්‍යාප්තවෙමින් සිංහල බෞද්ධයන් සුළු ජාතියක් බවටත් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවටත් පත්වෙමින් තිබේය කියන අදහස ඔවුන් ඊට අලූතෙන් එකතු කරන ප‍්‍රධාන තර්කයක් වී යැයි කිව හැකිය. එම තර්කය පුපුරනසුලූ තර්කයක් කිරීම පිණිස සිංහල ජනගහනය මර්දනය කිරීම සඳහා මුස්ලිම්වරුන් සිංහලයන්ට විකුණන ඇඳුම්වලට හා ආහාරවලට වඳ බෙහෙත් දමා දෙන්නේයැ’යි කියන කතාවද මට එකතු කරන්නට ඇත. සිංහල බෞද්ධයන් තුළ මුස්ලිම් ජනයා කෙරෙහි භීතියක්, වෛරයක් හා පිළිකුලක් ඒ මගින් ඇති කරනවාට අතිරේකව මුස්ලිම් වෙළෙඳාම බිඳ දැමීමට වැදගත් අරමුණක් කරගන්නට ඇත.

සිංහල ජනගහන වර්ධනයේ වේගවත් බිඳ වැටීමක් ඇතිවී සිංහලයන්ට සංඛ්‍යා බලයෙන් ලැබී තිබෙන විශාලත්වය නැති කොට මුස්ලිම්වරුන් සංඛ්‍යාවෙන් විශාලතම ජනවර්ගය බවට පත්කිරීමට හේතුවන ආකාරයට මුස්ලිම් ජනගහනයේ අතිවිශාල වර්ධනයක් ඇතිවී තිබෙන්නේ යැයි කියන කතාව කිසිම සත්‍ය පදනමක් නැති කතාවකි. මේ ගැන වන විශ්ලේෂණයක් මීට වසර හතරකට පමණ ඉහතදී චානුක වත්තේගම විසින් රාවයටද ලියා තිබුණි.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත අනුව 2017 වසර සඳහා ලංකාවේ ජනගහනය 22409381කි. වර්ධන අනුපාතිකය 0.913%කි. ජනගහනයේ වාර්ගික අනුපාතිකයන් මෙසේය. සිංහල 74.9%කි. දෙමළ 11.2%කි. මුස්ලිම් 9.2%ක්ද, උඩරට දෙමළ 4.2%ක්ද වේ. ජනවර්ග අනුව ජනගහනයේ ඓතිහාසික විකාශනයට අදාළ දත්ත මෙසේය.

ජනගහනය වර්ග අනුව

එම සංඛ්‍යා ලේඛන අනුව බලන විට ජනගහනයේ සිංහල පංගුවේද වර්ධනයක් මිස අඩුවීමක් සිදුවී නැත. 1911දී ජනගහනයේ සිංහල පංගුව 66.13%ක් වනවිට 2012 වන විට එය 78.88%ක් දක්වා වර්ධනය වී තිබේ. මුස්ලිම් ජනගහනයේද සාමාන්‍ය තරමේ වර්ධනයක් මිස ලොකු වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත. 1911දී 5.70%ක ප‍්‍රමාණයක තිබූ ජනගහනයේ මුස්ලිම් පංගුව 9.23% දක්වා වර්ධනය වී ඇතත්, එයද සිදුවී තිබෙන්නේ ජනගහනයේ වර්ධනයක් නිසා නොව දෙමළ ජන කණ්ඩායම් දෙක එකට ගත්විට ඔවුන්ගෙන් සැලකිය යුතු කොටසක් ලංකාව අතහැර යෑම නිසා ඔවුන්ගේ ජනගහන පංගුවල ඇතිවී තිබෙන හැකිළීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

වඳ බෙහෙත් නාටකය

ඉන් පෙනෙන්නේ ලංකාවේ සිංහලයන්ට තිබෙන බහුතර බලය නැතිවී මුස්ලිම්වරුන් ලංකාවේ බහුතරය බවට පත්වන තත්ත්වයක් ඇතැයි කියන කතාවේ කිසිම සත්‍ය පදනමක් නැති බවය. ඊටම එකතු කර තිබෙන වඳ බෙහෙත් කතාව එම වර්ගවාදී වැඩසටහනට ඇතුළත් පුපුරනසුලූ අංශය ලෙස සැලකිය හැකිය. කෑමට දැමීම මගින් හෝ ඇඳුම්වලට දැමීම මගින් මිනිසුන් වඳභාවයට පත් කළ හැකි පෙති වර්ග හෝ රසායන ද්‍රව්‍ය නැත. එය විද්‍යාඥයන්ගේද පිළිගත් පොදු මතයයි.

වඳ බෙහෙත් කතාව අද ඊයේ සමාජගත කරන ලද අලූත් කතාවක් නොව දැන් අවුරුදු හය හතක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සංවිධානාත්මක ආකාරයකින් පතුරුවා හරිමින් තිබුණු කතාවකි. ඒ අනුව මුස්ලිම් ඇඳුම් සාප්පුවල විකුණන කාන්තා යට ඇඳුම්වලට සිංහල කාන්තාවන් වඳ කිරීමට හේතුවන රසායන ද්‍රව්‍යයක් දමා තිබේ. මුස්ලිම් ආහාර වෙළෙඳ සැල්වලින් සිංහලයන්ට දෙනු ලබන ආහාරවලටද වඳ බෙහෙත් දමා තිබේ. එයින් අරමුණු කරන්නේ සිංහල ජාතිය වඳ ජාතියක් බවට පත්කිරීමය.

මෙය කිසිම සත්‍ය පදනමක් නැති සිංහලයන් තුළ මුස්ලිම්වරුන් කෙරෙහි වෛරයක් හා පිළිකුලක් ඇති කිරීමේ දුෂ්ට අරමුණින් නිර්මාණය කළ බොරුවක් වුවත් එය සිංහල ජන මනස කෙරෙහි ඇති කර තිබෙන බලපෑම විශාලය. මා පසුගිය මාසයේ අවසන් සතියේ පුනරුදය වැඩසටහන් කිහිපයක් සඳහා අනුරාධපුරයට ගියෙමි. මා ගමන් කළ මෝටර් රථය පදවන ලද්දේ ගාල්ලේ ලබුදූව ප‍්‍රදේශයේ ත‍්‍රීවීලර්කරුවෙකි. වයස අවුරුදු තිස් දෙකක් පමණ වන ඉතාමක් ප‍්‍රියජනක අවිවාහක තරුණයෙකි. අනුරාධපුරයේ පැවති දිස්ත‍්‍රික් කමිටු සාකච්ඡාවෙන් පසු දහවල් ආහාරය සඳහා බත් පැකට් ගෙනවිත් තිබුණේ මුස්ලිම් කඩයකිනි. ඉහත කී රියදුරු තරුණයා බත් කමින් තිබුණේ කැමැත්තකින් නොව ඕනෑවට එපාවට බව පෙනෙන්නට තිබුණි. ආහාර ගෙන වෙනත් තැනක පැවැත්වුණු පුනරුද සාකච්ඡා සභාවක් සඳහා වාහනයෙන් යමින් සිටියදී දහවල් ආහාරය ගැන මම ඔහුගෙන් ප‍්‍රශ්න කළෙමි. වඳ බෙහෙත් ගැන ඔහු තමන් තුළ ඇති කරගෙන තිබෙන බිය මට නොවලහා ප‍්‍රකාශ කළේය. මම ඔහුට කරුණු පැහැදිලි කර දුන් විට තමන්ගේ මෝඩකම ගැන ඔහු අවංකව කනගාටු වූවා පමණක් නොව ඔහු ආපසු එනවිට අනුරාධපුරේ සිටින අපේ මුස්ලිම් නායකයාට කතා කොට තම කනගාටුවද පළ කළේය.

මා එම රියදුරාගේ සිද්ධිය නිදර්ශනයට ගත්තේ දෙමළ සතුරා පරාජය කිරීමෙන් පසු තමන්ගේ පළමු සතුරා බවට පත්කර ගන්නා මුස්ලිම් ජනවර්ගයට එරෙහිව කරළියට ගෙන තිබෙන මුස්ලිම් විරෝධී ප‍්‍රචාරක වැඩසටහන සිංහල වර්ගයාගේ ඇට ලේ මස්වලට කොතරම් විශාල ප‍්‍රමාණයකට කාවැදී තිබේද යන්න පෙන්නුම් කිරීම සඳහාය. ඇත්ත වශයෙන්ම දැන් ලංකාව තිබෙන්නේ ඕනෑම මොහොතක 83 කළු ජූලිය වැනි සමහරවිට ඊටත් වඩා විශාල මුස්ලිම් විරෝධී කෝලාහලයක් ඇතිවිය හැකි තත්ත්වයකය. මහනුවර දිගන ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිදාමය සැලකිය හැක්කේ මහා විනාශයකට පෙර සිදුවූ දෙයක් ලෙසය. එම ඓතිහාසික අනතුරු ඇඟවීම තේරුම් ගැනීමට අවශ්‍ය තරමේ ප‍්‍රඥාවක් ලංකාවට තිබේද?

රටේ බංකොළොත්කම

වඳ බෙහෙත් කතාව ආශ‍්‍රයෙන් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තවත් වැදගත් පැතිකඩක් අපට හඳුනාගත හැකිය. මෙම වඳ බෙහෙත් කතාව ඉතා මෑතකදී පතුරුවා හරින ලද කතාවක් නොව දැන් අවුරුදු පහ හයක් තිස්සේ එක දිගට සමාජගත කෙරෙමින් තිබූ බොරු කතාන්දරයකි.

මුස්ලිම් ජනයා එය දැන සිටියත් ඔවුහු ඊට ප‍්‍රතිචාර දක්වන තැනකට යන්නට බියවූහ. මුස්ලිම් නායකයෝද නිශ්ශබ්දව අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහ.

රටේ ප‍්‍රධාන ආගමික නායකයන්ද මෙම මුස්ලිම් විරෝධී ප‍්‍රචාරක වැඩසටහන නොදැන සිටියා විය නොහැකිය. ඔවුන්ද ඒ වරද නිවැරදි කළේ නැත.
වඳ බෙහෙත් කතාවේ හා ජනගහන කතාවේ කිසිම සත්‍ය පදනමක් නැති බව රටේ උගතුන් දැන සිටියත් ඒ වරද නිවැරදි කරන්නට ඔවුන්ද මැදිහත් වූයේ නැත. ජනගහනයට අදාළ විශේෂඥයන් එම කතාවේ ඇති පදනම් විරහිතභාවය ජනතාවට පෙන්වා දිය යුතුව තිබුණු අතර වෛද්‍ය හා රසායන විද්‍යාඥයන්ද වඳ බෙහෙත් කතාවේ යථාර්ථය මහජනයාට කියා දිය යුතුව තිබුණි. එහෙත් ඒ අයද තමන්ගේ වෘත්තීය වගකීම් හා යුතුකම් ඉටු කළේ නැත.
”ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනද එම මුස්ලිම් විරෝධී උමතු වැඩසටහන ගැන දැන සිටියේය. ඒ සියලූදෙනා එම වැඩසටහනට අනියම් ලෙස උදව් කළා හෝ නිශ්ශබ්දව බලා සිටියා මිස මහජනයාට ඇත්ත කියාදෙන තැනකට ගියේ නැත.

යහපාලන ආණ්ඩුව හා එහි නායකයෝද එම විනාශකාරී වැඩසටහන ගැන දැන සිටියෝය. රටක ජීවත් වන කිසියම් ජන කොටසකට එරෙහිව ඔවුන් කෙරෙහි ද්වේෂය, වෛරය හා පිළිකුලක් ඇති කරන ප‍්‍රචාරක වැඩසටහන් පවත්වාගෙන යෑමට ඉඩ නොදීම ඕනෑම ආණ්ඩුවකට තිබෙන ප‍්‍රධාන වගකීමකි. එහෙත් යහපාලන ආණ්ඩුවද එම උමතු වැඩසටහන සමාජගත වන්නට ඉඩදී බකං නිලාගෙන බලා සිටියා මිස එම වැඩසටහන ව්‍යාර්ථ කරන තැනකට ගියේ නැත.

රටේ සමස්ත ක‍්‍රමය අවුල් වී හා බිඳ වැටී තිබෙන තරම ඉන් තේරුම් ගත හැකිය. නුවරින් කරළියට ආවේ පෙරහැර නොව පෙරහැරේ කසකාරයන් පමණය.

ඇතිවෙමින් තිබෙන මෙම විනාශකාරී හා අශෝභන තත්ත්වය අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුත් ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම හා ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමට අසමත්වීම නිසා ඇතිවී තිබෙන අවලස්සන භයංකර හා විනාශකාරී ප‍්‍රතිඵල ලෙස සැලකිය හැකිය. රට ගමන් කරමින් තිබෙන්නේ ලොකු අරාජකත්වයකටය. රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇතිකර ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීම ඒ තත්ත්වය වර්ධනය වීම වැළැකීම සඳහා යොදා ගත හැකි එක් පිළියමකි. එහෙත් එය තේරුම් ගැනීමට අවශ්‍ය කරන ප‍්‍රඥාව අපේ නායකයන්ට තිබෙන්නේද?