අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු කළ යුතුය

මහනුවර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයක ඇවිළයමින් තිබෙන ගින්න මුළුමනින් පාලනය කිරීමට ආරක්ෂක අංශ අසමත්ව තිබේ. 07 වැනිදා වනවිටත් ස්ථාන කිහිපයකින් බරපතළ සිදුවීම් පිළිබඳ තොරතුරු ලැබෙමින් පවතින්නේ එනිසාය. නිල නොවන වශයෙන් ලැබෙන ඇතැම් තොරතුරු තහවුරු කරගැනීමට මඟක් නැති නිසා ඒවා වාර්තා කළ නොහැකි තත්ත්වයක්ද උදාවී ඇත. එහෙත් අදාළ ප‍්‍රදේශවලින් ලැබෙන ඡුායාරූප මගින් දිස්වන්නේ තෙල්දෙණිය, දිගන, අඹතැන්න, තැන්නේකුඹුර ආදී ප‍්‍රදේශවල, එම ප‍්‍රදේශවල නොවන නාඳුනන පිරිස් සැරිසරන බවත් ඔවුන් පුද්ගලයන්ට හා දේපළවලට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට කල්බලන බවත්ය. ඡුායාරූපවල දැක්වෙන පරිදි ඇතැම්හු පොලූ මුගුරු රැුගෙන වියරුවෙන් මෙන් පාරේ ඇවිදිති. ඒ බොහෝ අය මුහුණු ආවරණය කරගෙන සිටි අතර පොලිසියට, හමුදාවට හෝ විශේෂ කාර්ය බලකායට ඔවුන් මෙල්ල වී ඇති බවක් නොපෙනෙයි.

ප‍්‍රදේශයේ මුස්ලිම් ජනයාට දිගින් දිගටම හිරිහැර සිදුවන තත්ත්වයක් උදාවුවහොත් මේ ප‍්‍රශ්නය ලෙහෙසියෙන් නිමා නොවනු ඇත. මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී මාර්තු 06 වැනිදා පැවති ආරක්ෂක කමිටු රැුස්වීමෙන් අනතුරුව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යයට මෙසේ කීවේය. මහනුවර සහ තෙල්දෙණිය ප‍්‍රදේශවල සිදුවීම්වලට සම්බන්ධ එම ප‍්‍රදේශවලට පිටින් පැමිණි පිරිස් පිළිබඳව පොලිසිය දැන සිටියත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක‍්‍රියා නොකළ නිසා ව්‍යසනය දරුණු වූ බව හෙතෙම කීවේය. දැන්වත් පොලිසිය පිටින් පැමිණි මේ කියන පිරිස් ගැන සොයා බැලීමක් කරනවාද? මූලික සිද්ධියේදී පුද්ගලයකු මරණයට පත්විය. එම සිද්ධියේ වරදකරුවන් දඬුවම් ලැබිය යුතුව තිබුණි. ඒ නීති ප‍්‍රකාරවය. ප‍්‍රමාදය හේතුවක් කරගෙන ජනතාව නීතිය අතට ගෙන ප‍්‍රචණ්ඩකාරීව හැසිරීම කිසිසේත්ම පිළිගත නොහැකි ක‍්‍රියාවකි. සාමාන්‍යයෙන් එකට වාසය කළ ජනතාවක් එක් පාර්ශ්වයකගෙන් තමාට ලොකු වරදක් සිදුවුවත් ඔවුන්ට එරෙහිව මේ සා ප‍්‍රචණ්ඩ ලෙස හැසිරිය හැකිද යන සැකය මෙහිදී මතුවනු නොවැළැක්විය හැකිය.

එවැනි ප‍්‍රචණ්ඩකාරීන් සියයට දහයක් සිටිය හැකිය. අනූවක්ම එසේ නොවේ. එසේ නම් මේ සියයට දහයට තවත් බාහිර පිරිසක් එකතු වී සිටින බවක් පෙනේ. මේ කියන පිරිසට තිබෙනු ඇත්තේ හුදු ප‍්‍රචණ්ඩකාරීත්වය පිළිබඳ මඬනා ලද ආශාවක් විය නොහැකිය. එහි තිබෙනු ඇත්තේ පටු හා පසුගාමී දේශපාලන වුවමනාවකි. මේ ඇවිළ යන ආරාවුලේ බරපතළකම ඇත්තේ එතැනය. වහාම පාලනය කළයුත්තේද එම අගතියයි. දේශපාලන අන්තවාදයයි.

මාර්තු 06 වැනිදා ඉතා දරුණු ලෙසම මුස්ලිම් විරෝධී ෆේස්බුක් ව්‍යාපාරයක් සිදුකැරුණේය. ‘උදලූ ගාපියව්’, ‘වල් කොටාපියව්’ වැනි ප‍්‍රචණ්ඩ අරුත් දනවන වර්ගවාදී ප‍්‍රචාරක ව්‍යාපාරයක් එහි දක්නට ලැබුණු අතර එම ෆේස්බුක් ජාතිවාදය වහා නතර කිරීමට පියවර ගත යුතුව තිබුණි. ඒ අනුව මාර්තු 07 වැනිදා වනවිට ෆේස්බුක් හා සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම සීමා කැරිණි. එමගින් තොරතුරු ලබාගැනීමට ලොකු වැටක් බැඳුණත් අනෙක් පැත්තෙන් ජාතිවාදී ප‍්‍රචාරයන් නතර කිරීමට අවස්ථාව සැලසිණි. මුහුණු පොත තුළ පළවන දේවල්වල නොදැමුණු බව නිසාම ජාතීන් අතර භේදභින්නකම තව තවත් වර්ධනය විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. රටට අවශ්‍ය ඇවිළෙන ගින්නට පිදුරු දමන සමාජ මාධ්‍යයක් නොව, ගින්න නිවීමට වැඩ කොටසක් කරන සමාජ මාධ්‍යයකි.

ජාතිවාදී ගැටුම් ඇති කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා කීවේය. මඩුවලිගයෙන් තැලීමේ සිට කඩුවෙන් කැපීම දක්වා ජනාධිපතිවරයා කියන ඒ ප‍්‍රවර්ගයේ දැඩි කතා දැන් දැන් වැඩිදෙනෙකු බරපතළ ලෙස නොසලකන බව ජනපතිවරයාට කනගාටුවෙන් නමුත් කීමට සිදුවෙයි. දැඩි තීරණ එකක්වත් නොගෙන දැඩි තීරණ ගන්නා බව දිගින් දිගටම කීමෙන් ජනාධිපතිවරයාට මේ තත්ත්වය උදාවිය. එහෙත් එම අඩුවත් සමනය කරගෙන මහනුවර සිදුවීම්වලටත් පිළියමක් සෙවීමට ජනපතිට හැකිය. ඒ, මෙම සමස්ත සිදුවීම ගැන කරුණු ගවේෂණයට, අගතියට පත් පාර්ශ්වවලට සාධාරණය සැලසීමට හා විශේෂයෙන්ම යළි මෙවන් විපත්තිදායක තත්ත්වයක් ඇති නොවී ජාතීන් අතර අසමානත්වය දුරු කොට සාධාරණ ක‍්‍රමයකට ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමත් පත්කිරීමෙනි. එවිට එම නිර්දේශ ඉක්මනින් ක‍්‍රියාත්මක කර අඩුම තරමින් අගතියට පත් පාර්ශ්වයට සහනයක් ළඟාකර දීමේ අවස්ථාව සැලසේ.

එහෙත් එමගින් සමස්තයක් ලෙස ජාතිවාදය, පිටුදැකීමට අවස්ථාව නොසැලසේ. ඒ සඳහා සමාජය මෙහෙයවා ගැනීම ජාතිවාදය පිටුදකින දේශපාලන නායකයන්ගේ වගකීමකි. ඔවුන් අඩුම තරමින් ඒ සඳහාවත් මෙතැන් සිට පෙරමුණ ගත යුතුව ඇත.