රාවය

මිතුරනේ ගිනි හුල නිවා දමන්න

මිතුරනේ ගිනි හුල නිවා දමන්න

ලංකාව යනු අනාගතයක් නැති රටක් බව යළි යළිත් ප‍්‍රත්‍යක්ෂ කැරෙමින් තිබේ. එකපිට එක එන නොවැදගත් ආරාවුල් නිසා රටට අනාගතයක් ගැන සිතන්නට ඉස්පාසුවක් නැති තත්ත්වයක් උදාවී තිබේ. එක් අතකින් ලංකාවේ දේශපාලකයන් දූරදර්ශීව සිතා බලා අනාගතය වෙනුවෙන් පිළිවෙළකට වැඩ කරන පිරිසක් නොවන නිසා එක පිට එක එක අර්බුද තුළින් ඔවුන්ට වෙන මොනවා නැතත්, පැවැත්ම තහවුරු කරගත හැකි පසුබිමක් ඇතිවී තිබේ. ජාතීන් භේදවීම රටේ දියුණුවට බාධාවකි. එහෙත් එම භින්නවීම එකිනෙකා වෙන්කොට පාලනය කිරීමටත් පුරවැසි බලය දුර්වල කොට තබා ගැනීමටත් ලැබෙන අවස්ථාවකි. ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ලංකාවේ ජාතීන් අතර ආරාවුල්, මුළුමනින්ම නොවැදගත් එමෙන්ම නොසලකා හැරිය යුතු සිදුවීම් පාදක කරගෙන උද්ගතවීමය. දර්ගා නගරයේ කළු ජූනියට හේතුව පාරේ තී‍්‍රවිලරයක් නවත්වා යෑමෙන් එම මාර්ගය තව පිරිසකට අවහිර වී තිබීම නිසා ඇතිවූ ආරාවුලකි. කළු මාර්තුුවක් නිර්මාණය කරමින් තිබෙන මහනුවර දිගන සිද්ධියට හේතුවත් ලොරි රථයකින් ගිය පුද්ගලයකු හා තී‍්‍රවිලරයකින් ගිය බීමත් කිහිපදෙනෙකු අතර මහමග ඇතිවූ විරසකයකි. අම්පාරේ සිද්ධියට හේතුවූයේ කොත්තු රොටියකි. මේවා ලාංකීය ඉතිහාසයේ කළු ළප බවට පරිවර්තනය විය යුතු දේවල් නොවේ.

තෙල්දෙණියේ ප‍්‍රශ්නය

මාධ්‍ය වාර්තාවලට අනුව ඉකුත් පෙබරවාරි 22දා තෙල්දෙණියේදී ලොරි රථයක ගමන් කළ පුද්ගලයකු හා ත‍්‍රීවීලරයක ගමන් කළ කිහිපදෙනා අතර මහමගදී ඇතිවූයේ දෙකේ පන්තියේ ළමයින් අතර ඇතිවන ‘‘ඇයි? හුයි කෝපි ගහේ නයි” ජාතියේ අන්තිම ප‍්‍රාථමික ගණයේ ප‍්‍රශ්නයකි. එහෙත් ත‍්‍රීවීලරයේ ගමන් කළ පිරිස පසුව ලොරි රථයේ ගිය පුද්ගලයාට මාරාන්තික ලෙස පහරදීම හා දින කිහිපයකට පසු එම පුද්ගලයා මියයෑම නිසා එම සිද්ධිය ජාතීන් දෙකක් අතර ඇසට ඇසක් ඉල්ලන ගැටුමක් දක්වා වර්ධනය වූයේය. මෙම ප‍්‍රදේශවල සිංහල මුස්ලිම් දෙපිරිස ඇන කොටාගෙන ජීවත් නොවෙති. එහෙත් ඉතා සුළු සිදුවීමකින් වුව දෙපිරිස එකිනෙකා කෙරෙහි ක‍්‍රෑර ලෙස පිළිමල්ව සිටගැනීම ඛේදජනකය. අනතුරුව නිවාස හා වෙළෙඳ සැල් ගිනි තබාගෙන එකිනෙකා මරා ගන්නා තත්ත්වයට පත්වීම මෙහිදීත් දැකිය හැකි විය. ඉන් පෙනීයන්නේ එකට සිටියත් මේ සෑම කෙනෙකුම තම තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙහි ඕනෑම මොහොතක අවුළුවා ගත හැකි ගිනි හුලක් තබාගෙන සිටින බව නොවේද? මිනිසුන් අධ්‍යාපනයෙන්, සමාජ සංවාදයෙන් සංස්කෘතික සත්වයන් බවට පත්වන්නේ මේ කියන ගිනිහුල නිවාගැනීමට නොවේද? එහෙත් එසේ නොකර විසකුරු සර්ප සෙයියාවෙන් එකම බිමක ජීවත්වීම බරපතළ කාරණයකි. ඕනෑම මොහොතක බිම් පෙතට ඇවිළ යාහැකි බැවින් එකිනෙකාගේ සර්පයා භංග කළ යුතුමය.

සර්පයා භංග නොකිරීම

සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් තුනෙහිම අන්තවාදීහු සිටිති. අන්තවාදයට හිස එසවීමට ඉඩ නොතබා සහජීවනයට යන මග හැදීම රටේ පාලකයන්ගේ වගකීමකි. මේ රටේ ජනයා මුහුණ පා සිටින ප‍්‍රධාන ප‍්‍රශ්නයක්වන්නේ ජාතියේ හා ආගමේ නාමයෙන් දේශපාලන පක්ෂවලට බෙදී සිටීමය. ජාතීන් තුනටම අදාළ මෙම කාරණය සලකා බැලූවහොත් තමා පෙනී සිටින්නේ තම වර්ගයේ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව ඔවුහු කියති. රටෙහි ප‍්‍රධාන පක්ෂවලට සම්බන්ධ වී සිටින දෙමළ, මුස්ලිම් හා සිංහල නායකයන් තමා පෙනී සිටින්නේ සියලූම ජාතීන්ට අයත් රටවැසියන් වෙනුවෙන් බව කියති. මුළුමනින් සත්‍ය නොවුණත් දෙවැනි එක වඩා ප‍්‍රගතිශීලීය. එක් ජාතියකට පමණක් අයත් පක්ෂවලට හුදු ජාතිකත්වය පිළිබඳ තේමාව නිසාම පුළුල් දේශපාලන දර්ශනයකින් සමන්විත දුර ගමනක් යෑම කළ හැකිද යන්න ප‍්‍රශ්නයකි. මෙරට ජාතිකත්වය හා ආගමිකත්වය පදනම් කරගත් පක්ෂ තනිකරම ජාතිවාදයට හා ආගම්වාදයට නොගියත් එම පක්ෂ මගින් තම ජනයාට ලබාදෙන සංඥාව එක්තරා ආකාරයකින් වර්ගවාදී සහ ආගම්වාදී සීමාව තුළ රැුඳුණකි. පුළුල් සංඥාවක් ජනයාට ලබාදිය හැකිවන්නේ ඉන් මෙපිට මහජන අවකාශයකදීය. මේ තත්ත්වය හඳුනාගෙන දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය වැනි පක්ෂ සැලකිය යුතු කාලයක සිට ජාතික දේශපාලන ධාරාවේ වැඩසටහන්වලට ඇතුළුවෙමින් සිටිති. සම්බන්දන්ට විපක්ෂ නායකත්වය හිමිවීම බැලූ බැල්මට යම් අතාර්කික බවක් ඉසිලූවන් ඔවුන් ඒ සඳහා සිංහල සමාජයේ කිසියම් ධාරාවක හෝ අනුමැතිය දිනාගෙන තිබීම වර්ග දේශපාලනය ඉක්මවීමට දැරූ තැතක ප‍්‍රතිඵලයකි. එහෙත් ජාතීන් තුනටම අයත් අන්තවාදී කණ්ඩායම් ජාතීන් භේද කිරීමට ගෙන යන කුමන්ත‍්‍රණකාරී වැඩසටහන් තුළින් ඇතිවන්නේ ඉහත පක්ෂවලටත් ජාතික දේශපාලනයෙන් සුවපත් කළ නොහැකි සමාජ ආසාධන තත්ත්වයකි. සිංහල බෞද්ධ අන්තවාදීන් වෙතින් දර්ගා නගරයේදී සිදුවූයේ එවැනි ක‍්‍රියාවකි. අම්පාරේදී හා තෙල්දෙණියේ සිදුවීම්වලින් පසු තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී ඒවා යට ක‍්‍රියාත්මක වී සිටින්නේ අන්තවාදී සංවිධාන බව පෙනෙයි. දර්ගා නගරයේ සිද්ධියට බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයන්ගේ උසිගැන්වීම හේතුවිය. එක්තරා හිමිනමක් විසින් බුදුසරණයි වෙනුවට අබසරණයි යන්න සමාජ ගතකළේ දර්ගාවේ මුස්ලිම් ජනයාට එරෙහිවය. අදත් තෙල්දෙණිය හා දිගන උසිගැන්වීම් යට ඒ උන්නාන්සේලා සිටින්නට පුළුවන. මුහුණු ආවරණය කරගත් පුද්ගලයෝ එගම්වල සැරිසරති. ප‍්‍රචණ්ඩකාරීව හැසිරෙති. ප‍්‍රශ්නය වන්නේ ඒ ඕනෑම අන්තවාදියෙකුට අවුල් කර දැමිය හැකි ජනමනසක් අද වනවිට සිංහල හා මුස්ලිම් දෙපාර්ශ්වයම ශේෂ කරගෙන සිටීමය. රටට අවශ්‍යවන්නේ සිංහල අන්තවාදයත්, මුස්ලිම් අන්තවාදයත් පිටු දකින සාමකාමී ලාංකික ජන මනසකි.

තම වරද හා මෙරමා වරද

තම වරද නොදැක අනුන්ගේ වරද පමණක් දැකීමට සිංහල, දෙමළ කිසිවකුට හෝ අයිතියක් නැත. වාර්තා වන පරිදි මුස්ලිම් ජාතිකයන් සිව්දෙනකු තෙල්දෙණියේ පටන් ගත් නිරර්ථක ආරාවුල අරඹමින් සිංහල ජාතික ලොරි රථ රියදුරුට අන්තිම සරල සිදුවීමක් නිසා මාරාන්තික තුවාල සිදුවන ලෙස පහරදී තිබීම බරපතළ කාරණයකි. කුමාරසිංහ නම් වූ එම රියදුරාගේ මරණයෙන් ඉක්බිතිව ඉකුත් 05 වැනිදා දිගන ප‍්‍රදේශයේ සිදුවූ වෙළෙඳ සැල් ගිනි තැබීම් හා නිවාස කිහිපයකට සිදු කළ අලාභ හානිවලදී පහරකෑමට ලක්වූ මුස්ලිම් ජාතික තරුණයකු පිළිස්සීමටද බඳුන්ව මියගොස් ඇති බව 06 වැනිදා උදෑසන දැනගන්නට ලැබිණි. හෙතෙම අබ්දුල් බසීත් නමැති 28 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ ෆේස්බුක් ගිනුමෙහි විස්තර අනතුරුව ප‍්‍රචාරය වූ අතර .ධබැ එැ්පල දබැ බ්එසදබ. යන වැකිය එහි සඳහන්ව තිබුණි. තරුණයාගේ රුව එහි දිස්වුණේ ජාතික ධජය පසුබිමෙහිය. තරුණ අබ්දුල් කිසිදු අන්තවාදයකට නැති ලාංකිකත්වය පිළිබඳ කිසියම් අදහසක් තිබුණු තරුණයකු බවද ඉන් පෙනී යයි. එසේ නොවන මතයක් දැරීමට වුවත් ඔහුට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තිබිය යුතුය. මේ කිසිවක් පහර කෑමට හෝ අනතුරුව පිළිස්සී මියයෑමට හේතුවක් නොවිය යුතුය. කල්ලි කණ්ඩායම්වලට නොවැටුණු එක් රටක් පිළිබඳ අදහසක් ඇති තරුණයකු ගැන සිංහල සමාජයේ මෙන්ම මුස්ලිම් ජන සමාජයේ විශේෂ සැලකිල්ල යොමුවිය යුතුය. මන්ද කවර මතවාද තිබුණත් අනාගතවාදී වන්නේ පටු වර්ගවාදී ඌනනයවීම් නොවන බව ප‍්‍රත්‍යක්ෂ කොට ගත යුතු නිසාය.

මහනුවර යනු සිංහල මුස්ලිම් දෙපිරිස සමඟියෙන් ජීවත් වුණු ප‍්‍රදේශයකි. එහෙත් මෙබඳු ආරාවුලක් ඇවිළී ගිය අවස්ථාවේ දැනට වැඩි අනතුරක් අත්කර ගනිමින් සිටින මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් ලබාදීමට සිංහල මැදහත් පිරිසට නොහැකි විය. එය මුස්ලිම් ජනයාගේ සිතෙහි වේදනාවක් ජනිත කරන්නකි. එමෙන්ම සාමකාමී සිංහල ජනයාගේ හදවත් කොණක රිදුමක් ජනිත කරන්නකි. මේ තත්ත්වය වෙනස් කළ හැක්කේද එසේ මධ්‍ය රේඛාවක වසන එකිනෙකා කෙරෙහි හද රිදවාගන්නා සිංහල මුස්ලිම් ප‍්‍රජාවකටය.

නීතිය හා සාමය

ඇවිළ ගිය සිදුවීම් ඉක්මනින් පාලනය කිරීමට පොලිසිය අසමත්වීම පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයාට බරපතළ චෝදනාවන් එල්ල වෙයි. අම්පාරේ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ හෝටලයට එල්ල වුණු ප‍්‍රහාරයෙන් පසුව පොලිසිය එහි පැමිණ තිබෙන්නේ අසාමාන්‍ය කාලයක් ගතවීමෙන් පසුවය. තෙල්දෙණියට, දිගනට පොලිසිය එන්නේත් එහෙමය. දර්ගා නගරයේදීත්, වසර 35කට පෙර කළු ජූලියේදීත් සිදුවූයේ එහෙමය. ඉහත ආසන්න සිදුවීම් දෙකේදීම නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ප‍්‍රමාදවීම ගැන නීතිය හා සාමය විෂය බාර අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍යවරයා එම මැදිහත්වීම මීට වඩා කඩිනම් කළ යුතුව තිබුණි. මාර්තු 06දා අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් එන්නට නියමිතව තිබුණි. ඇත්තටම විශ්වාසභංගය කල්ගිය අතර ඊට මෙම ගැටුම්කාරී වාතාවරණය බලපෑවේය. ලංකාවේ නායකයන් පැවැත්ම සඳහා රටේ ඛේදනීය ප‍්‍රශ්න පාවිච්චි කරන බවට වේලාසන කීවෙමි.

අගමැතිවරයා අරමුණුසහගතව එසේ කළ බව කීමට සාක්ෂ්‍ය නැතත්, ඊට ආසන්න සිද්ධියක් මෙහිදීත් සිදුව ඇතැයි සිතිය හැකිය. අනෙක් අතට මෙහි තවත් පැත්තක් තිබේ. ඒ මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී ස්ථාවරය දිගන වැනි සිදුවීම් තව තවත් අපේක්ෂා කිරීමයි. මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටියත් ඔහුට අවශ්‍ය වැඬේ කරදෙන ආණ්ඩුවක් ලංකාවේ තිබීම එක්තරා ආකාරයෙන් හාස්‍යජනක තත්ත්වයකි. හදිසි නීතිය ක‍්‍රියාත්මක තත්ත්වයක් යටතේත් 06 වැනිදා රාත‍්‍රියේ වාර්තා වූයේ මැණික්හින්න ප‍්‍රදේශයේ හාරසියයක පමණ පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන බවය. බෝම්බ ප‍්‍රහාරයකින් 07 වැනිදා උදෑසන අඹතැන්නේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මුහුණු ආවරණය කරගත් ප‍්‍රචණ්ඩකාරීහු එම ප‍්‍රදේශවල සැරිසරති. ආණ්ඩුව මේ තත්ත්වය පාලනය කරගත යුතුමය. නැතහොත් එක් පැත්තකින් ඛේදවාචකයක් අත්විඳින්නට සිදුවන අතර අනෙක් පැත්තෙන් බොරදියේ මාළු බාන පිරිසකගේ පැතුම් ඉටුවනු ඇත. පටන් ගැන්මේදීම පාලනය නොකළ නිසා තෙල්දෙණියේ ගැටුම් ව්‍යසනයක් දක්වා ගිය බව එජාප මහ ලේකම් කබීර් හෂීම් නිවේදනයකින් කියා තිබුණි.

සංහිඳියාවට මග

ලංකාවේ දේශපාලන නායකයන්, ආගමික නායකයන් ඇතුළු බොහෝ දෙනෙක් සංහිඳියාව වහරති. එහෙත් ඔවුන් වහරන සංහිඳියාව යථාර්ථයක් නොවන්නේ එය හුදෙක් මතුපිටවාදී අරුතකින් රට තුළ ක‍්‍රියාත්මක වන නිසාය. සංහිඳියාව අභ්‍යාස විය යුත්තේ පළල් හා අභ්‍යන්තර අරුතකිනි. මේ තත්ත්වය තුළ ඕනෑම මොහොතක ජාතිය හා ආගම පදනම් කරගෙන ගැටුම් ඇතිවිය හැකිය. ඇත්තටම නම් ලංකාවේ ඇතිවන්නේ ජාතිය හා ආගම මූලික කරගත් ගැටුම් නොවේ. රිය අනතුරු, කොත්තු රොටි හෝ මධුපානය හේතු පාදක ගැටුම්ය. ඒවාට වර්ගවාදී අර්ථයක් ලබාදෙන අන්තවාදී කණ්ඩායම්, විශේෂයෙන්ම සිංහල අන්තවාදී කණ්ඩායම් වැඩි නිසා නොවැදගත් මූලයන් මහා ඛේදවාචක දක්වා විස්ථාපනය වෙයි. ඉන් ප‍්‍රතිඵල සොයන සිංහලෝත්තමවාදී හා වර්ගවාදී දේශපාලනයක් රටෙහි තවදුරටත් නොනැසී පවතියි. පුරවැසියන් අවබෝධ කොට ගත යුත්තේ එම යථාවය.