යහපාලන සභාගය නොගිය ගමන්

යහපාලන ආණ්ඩුව දැනට පත්වී ඇති ගොඩඒමට නොහැකි ව්‍යාකූලත්වය සහ අර්බුදය තේරුම් ගැනීමට ඇති එක් ප‍්‍රයෝජනවත් දෘෂ්ටි පථයක් වන්නේ ‘සභාග ආණ්ඩු දේශපාලනයයි.’ මෙම යහපාලන සභාගයේ ගැටලූ ගැන මීට පෙර ලිපියකදී මම කෙටි සාකච්ඡාවක් කළෙමි. මේ ලිපියේ අරමුණ එම තේමාව තවදුරටත් විමර්ශනයට ලක් කිරීමයි.

යහපාලන ආණ්ඩුව මූලික වශයෙන්ම සභාග ආණ්ඩුවකි. එහි දැනට ඇතිවී තිබෙන අර්බුදය එම සභාගය ආරම්භවීම තුළම ගොඩ නැගුණු, ආරම්භය වෙතටම මුල් දිවෙන, ඒවා බව පෙනේ. ස්වභාවය අතින් බලනවිට යහපාලන සභාගය අසාමාන්‍ය සභාගයකි. ඒ අසාමාන්‍යත්වය, සභාගය මුහුණ දෙන ගැටලූවේ ප‍්‍රධාන මූල්‍ය බවද පෙනේ. එබැවින් මෙම සභාගයේ ගතිස්වභාවය පළමුව තේරුම් ගනිමු.

මෙම සභාගය අවධි දෙකක් තුළ නිර්මාණය වූවකි. පළමුවැන්න පූර්ව – මැතිවරණ අවධියයි. දෙවැන්න පශ්චාත් මැතිවරණ අවධියයි. පූර්ව – මැතිවරණ අවධියේදී ගොඩනැගෙමින් තිබුණ සභාගයේ ප‍්‍රධාන හවුල්කාරයන් වූයේ එජාපය, ජාතික හෙළ උරුමය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ සිවිල් සමාජ ව්‍යාපාර කිහිපයකි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රීලනිපයේ කිහිපදෙනෙකු එම සන්ධානයට පසුව එකතු වූහ. ඔවුන්ගේ එම එකතුවීම, ජනාධිපති මැතිවරණ ජයග‍්‍රහණය ගැන ඒතරම් අපේක්ෂාවක් නොතිබුණු එම විපක්ෂ සන්ධානය දේශපාලන වශයෙන් ශක්තිමත් වීමටත්, එහි මැතිවරණ ජයග‍්‍රහණයට මගපෑදීමටත් තුඩු දුන්නේය. එය පූර්ව – මැතිවරණ දේශපාලන සභාගයක පරිවර්තනය පිළිබඳවද අසාමාන්‍ය උදාහරණයකි.

දෙවැනි පශ්චාත්-මැතිවරණ අදියරේදී සිදුවූයේ, සාමාන්‍යයෙන් සභාග දේශපාලනයේ සිදු නොවන, විස්මයජනක දෙයකි. එය නම් 2015 ජනවාරි මාසයේදී එකිනෙකාට පසමිතුරුව තරග කළ ප‍්‍රධාන බලවේග දෙකවූ එජාපය හා ශ‍්‍රීලනිපය ආණ්ඩුව නිර්මාණය කිරීමට එකතුවීමයි. එය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මැතිවරණයෙන් දිනීම නිසා එතුමා ශ‍්‍රීලනිපයේ නායකයා වශයෙන් පත්වීමේ ප‍්‍රතිඵලයකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ජනාධිපති සිරිසේන මහතා සමග එකතු වී, නව සභාග ආණ්ඩුවේ ඇමති තනතුරුද ලබා ගත්හ. එසේ ඇමතිවරුන් වූ බොහෝ දෙනා ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා පරාජය කිරීමට මහත් වෙහෙස ගෙන කටයුතු කළ අයවීම, මෙම සභාග රජයේ තිබෙන අසාමාන්‍ය ගතිලක්ෂණවලින් තවත් එකකි.
එහි ප‍්‍රධානතම අසාමාන්‍ය ගතිලක්ෂණය වන්නේ ලංකාවේ මැතිවරණ දේශපාලනය තුළ එකිනෙකාට පසමිතුරුව විකාශනය වූ, එකිනෙකා සතුරන් ලෙස සැලකීම මැතිවරණ දේශපාලන උපායේ ප‍්‍රධාන අංගයක් බවට පත් කරගෙන තිබුණු, ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක, තමන් ගොඩ නගන ‘ජාතික සමඟි ආණ්ඩුවේ’ ප‍්‍රතිපත්ති ගැන පොදු එකඟතාවක් ගැන බැ?රුම් සාකච්ඡුාවක යෙදෙන්නේ නැතිව, මතුපිට එකඟතා මත පමණක් සභාග රජයක් පිහිටුවා ගැනීමයි. සභාග ආණ්ඩු දේශපාලනයේ න්‍යාය පැත්තෙන් බලන විට මෙම ‘ජාතික සමඟි ආණ්ඩු’ සභාගය වනාහී ප‍්‍රයෝජ්‍යතාවාදී නැතහොත් අවස්ථාවාදී සභාගයක් ලෙස විස්තර කළ හැක්කේද එබැවිනි. ප‍්‍රයෝජ්‍යතාවාදී සභාග බිහිවන්නේ ප‍්‍රතිපත්ති පිළිබඳ සම්මුතියකට එළැඹීමෙන් නොව, පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගැනීම යන ක්ෂණිකව ඇතිවූ ප‍්‍රායෝගික අවශ්‍යතාවකට ප‍්‍රතිචාර වශයෙනි. 2015දී යහපාලන සභාගය රජයේ දේශපාලන පදනම් පුළුල් කරගැනීම එම එජාප ශ‍්‍රීලනිප සන්ධානයේ ක්ෂණික අරමුණ විය. එය වීසා ලබා ගැනීමට සිදුකරන විවාහයකට සමාන කළ හැක්කකි.

මැතිවරණ දේශපාලනයේදී සාම්ප‍්‍රදායිකව සිටි ප‍්‍රධානතම සතුරු පක්ෂ දෙක ප‍්‍රයෝජ්‍යතා සභාගයක් තුළ එකතු වුවද, ශ‍්‍රීලනිපය තුළ ඒ සඳහා එකඟතාවක් තිබුණේ නැත. ඒ වෙනුවට ශ‍්‍රීලනිපය තුළ සිදුවූයේ තියුණු ධ‍්‍රැවීකරණයක් සිදුවීමයි. මේ අතර ජනාධිපතිතුමා වෙතට පැමිණ සභාග රජයට බැඳුණ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යධුර ලැබුණද ඔවුන් සිටියේ සභාග ආණ්ඩුවේ හවුල්කරුවන් ලෙස නොව, එය බිඳ වැටෙන්නේ කොයි මොහොතේදැයි බලා සිටින ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ලෙසය. ආණ්ඩුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ අයවැය යෝජනා මෙන්ම වෙනත් නීතිත් සම්මත කර ගැනීමට ඡුන්දය දෙන ගමන්ම, ඔවුහු එජාපය සමග ඇති සාම්ප‍්‍රදායික පසමිතුරුබවද දිගින් දිගටම මතු කළහ.

විශේෂයෙන්ම ඔවුන්ගේ ප‍්‍රහාරවල ඉලක්කය වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහය. යහපාලන සභාග ආණ්ඩුව දෙපැත්තකට ගමන් කරන බවත්, එහි ප‍්‍රධාන පාර්ශ්ව දෙක අතර සහයෝගාත්මක දේශපාලනයක් නැති බවත්, ආණ්ඩුවේ පළමු වසර අවසන් වන්නටත් පෙර පැහැදිලිව පෙනිණ. ආණ්ඩුව ගමන් කළේ දෙපැත්තට අදින කරත්තයක් පරිදිය.

මෙම අවුල්සහගතභාවය සභාග ආණ්ඩුව ආරම්භයේදීම සිදුවීම එහි තිබි විශේෂත්වය විය. ලංකාවේ සභාග ආණ්ඩුවල අත්දැකීම දෙස බලන විට, සභාග හවුල්කරුවන් අතර අසමගිය සාමාන්‍යයෙන් ඇතිවන්නේ දෙවන ආණ්ඩු කාලයේ අර්ධයේදීය. පළමු වසරේදීම අභ්‍යන්තර අසමගිය ප‍්‍රදර්ශනය වූ සභාග ආණ්ඩුවක් පිළිබඳ අනෙක් උදාහරණය 1956 මහජන එක්සත් පෙරමුණු සභාගයයි. එම සභාග රජය අවුරුදු තුන හමාරකින් බිඳ වැටුණේ ප‍්‍රචණ්ඩ ලෙසය. ඒ අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වීමෙනි. සභාගයක අභ්‍යන්තරයේ විසඳිය නොහැකි සතුරු ප‍්‍රතිවිරෝධතා ඇතිවීමේ නරකම නිදසුන එයයි.

යහපාලන සභාගයේ පළමු වසරේදීම ආරම්භ වූ මෙම සභාගය අභ්‍යන්තරයෙන්ම දුර්වලවීමේ ක‍්‍රියාවලිය නැවැත්විය නොහැකි වූවක්ද? ඇත්තටම එය නැවැත්වීමට ප‍්‍රයත්න ගත හැකිව සහ වැළැක්විය හැකිව තිබුණු තත්ත්වයකි. එහෙත් සිරිසේන – වික‍්‍රමසිංහ යන දෙපළ ඒ සඳහා ප‍්‍රමාණවත් උත්සාහයක් ගත් බවට, ආණ්ඩුවෙන් එළියේ සිටින අයට නම් නොපෙනේ.

එජාපය හා ශ‍්‍රීලනිපය අතර වූ සන්ධානය ශක්තිමත් කිරීමට ගත යුතුව තිබුණු අත්‍යවශ්‍ය පළමු පියවරක් වූයේ දෙපාර්ශ්වයම ප‍්‍රතිපත්තිමය අතරමග සමාදානයකට පැමිණීමයි. එයට හේතුව නම් මූලික ප‍්‍රතිපත්තිමය කරුණු අතින් බලනවිට දෙපාර්ශ්වයේ ප‍්‍රවේශ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ ඒවා වීමයි. එජාපය සහ අගමැතිවරයා ක‍්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබුණේ සම්පූර්ණයෙන්ම නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියකි. එය ජනාධිපතිවරයා නායකත්වය දුන් ශ‍්‍රීලනිපය මූලික වශයෙන් විරුද්ධ වූ ප‍්‍රතිපත්තියකි. ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සම්බන්ධවද දෙපාර්ශ්වය දරා සිටියේ නොපෑහෙන අදහස්ය. 19 වැනි සංශෝධනයෙන් තවත් ඉදිරියට යෑමට ජනාධිපතිවරයා සහ ශ‍්‍රීලනිපය සූදානම්ව සිිටියේ නැත. දූෂණ විරෝධී සහ සංහිඳියාව පිළිබඳ ක‍්‍රියාමාර්ගවලදීද වැඩියෙන්ම පෙනුණේ දෙපාර්ශ්වය අතර එකඟතාවලට වඩා වෙනස්කම්ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ තිබුණු ඇල්මැරුණු ගමන සහ මඳ ප‍්‍රගතිය, ආණ්ඩුවේ ඇතුළේ තිබුණු අසමගිය සහ පොදු ඉදිරි දර්ශනයක් නැති බව හොඳින්ම ප‍්‍රදර්ශනය කළ තේමාවකි. 19 වැනි සංශෝධනයේ කෙතරම් අඩුපාඩු තිබුණත්, එය සම්මත කරගැනීමට හැකිවීම සුළුපටු ජයග‍්‍රහණයක් නොවේ. ආණ්ඩුව ඇතුළේ ඒ ගැන මුලදී තිබුණේ එකිනෙකට පටහැනි ස්ථාවර දෙකකි. ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම එජාපයේ ස්ථාවරය විය. ජනාධිපති සිරිසේන මුලදී දරුවේ එම ස්ථාවරය වුවත්, ශ‍්‍රීලනිපයේ සහ හෙළ උරුමයේ බලපෑම මත එතුමා එය වෙනස් කළේය. ඒ වෙනුවට, ජනාධිපති ධුරය වෙනස්කම්වලට භාජනය කර තබා ගැනීම එතුමාගේ අලූත් ස්ථාවරය විය. එජාපයත්, ශ‍්‍රීලනිපයත්, අනෙක් පක්ෂත් ඇති කරගත් අතරමග සමාදානය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි සංකේතවත් විය.

එහෙත් ඉන්පසුව ව්‍යවස්ථාව ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ දෙපාර්ශ්වය අතර හටගත්තේ අලූත් මතභේදයකි. ඒ සඳහා ප‍්‍රතිපත්තිමය නොපෑහෙනකම්වලට අමතරව, සිරිසේන සහ වික‍්‍රමසිංහ යන දෙදෙනා අතර තමන්ගේ පුද්ගලික දේශපාලන ඉලක්ක පිළිබඳ ගැටුමක්ද මතුවිය. රනිල් වික‍්‍රමසිංහ මහතාට අවශ්‍ය වූයේ, ජනාධිපතිධුරය නාමමාත‍්‍ර ජනාධිපති ධුරයක් බවට පත්කර, අගමැති ධුරය ශක්තිමත් කරන ව්‍යවස්ථාව ප‍්‍රතිසංස්කරණ පදනම් කරගෙන ඊළඟ ආණ්ඩුවේ අගමැතිවීමටය. සිරිසේන මහතාට අවශ්‍ය බව පෙනුණේ 19 වැනි සංශෝධනය යටතේ ඇති ජනාධිපති ධුරය එලෙසම තබාගෙන, 2020දී ජනාධිපති තරගයට ඉදිරිපත් වීම බව පෙනේ. මෙහි ප‍්‍රතිඵලය වූයේ සභාග ආණ්ඩුවේ සම නායකයන් දෙදෙනා අතර සීතල යුද්ධයක් හටගැනීමයි. එම සීතල යුද්ධය විකාශනය වී, මහ බැංකු බැඳුම්කර වංචා පරීක්ෂණයෙන් පසු විවෘත සටනක් බවට පත්වූ සැටිද, පුරවැසියන් ලෙස අපි බලාගෙන සිටියෙමු.

මේ අතරතුර සභාග ආණ්ඩු නායකත්වය කෙළේ තමන්ට ලැබුණු ජනවරමට අනුව කළයුතු දේවල් නොකර සිටීමයි. එයින් බොහෝ දේවල් ඔවුන් නොකළේ ඒවා කළා නම්, අනාගත මැතිවරණවලදී තමන්ට අවාසි වෙතැයි තක්සේරු කළ නිසාය. එහෙත් පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලවලින් අනාවරණය වූ පරිදි, ඇත්තටම සිදුවූයේ තමන් කළහොත් ඡුන්දයෙන් පරදී යයි සිතූ දේවල් නොකළ නිසාම ඡුන්දයෙන් පැරදීමයි. ඇත්ත වශයෙන් ඒවා කර තිබුණේ නම්, අඩු ගණනේ පරාජයෙන් පසු සතුටු වන්නටවත් මේ නායකයන්ට ඉඩ තිබිණ. ඒ වෙනුවට දැන් ඔවුන් දෙදෙනා කරන්නේ මොනවාද?
කළ යුතුව තිබුණු එහෙත් නොකළ තවත් ප‍්‍රධාන දෙයක් නම්, 2015දී ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ අවසන් වූවාට පසු සභාගය ශක්තිමත් කිරීමට සාධනීය පියවර ගැනීමයි. රනිල් වික‍්‍රමසිංහ මහතා කෙළේ තමන්ගේ එජාපය ශක්තිමත් කිරීමයි. සිරිසේන මහතා කළේ තමන්ට ඡුන්දය දුන් පුරවැසි පිරිස නොව, තමන්ට විරුද්ධ වූ සහ විරුද්ධව ඡුන්දය දුන් පිරිස අතර පදනමක් දමා ගැනීමටත් ඔවුන්ගෙන් පමණක් පිහිට පැතීමටත් අසාර්ථක උත්සාහයක යෙදීමයි. වෙන එකක් තබා එතුමා ළඟ රැුකියා කිරීමට බඳවා ගත් ජනාධිපති ලේකම්ගේ සිට පුවත්පත්වලට කොලම් ලියන්නන් දක්වා බොහෝ දෙනා, ජනාධිපතිවරණයේදී එතුමාට විරුද්ධව, රාජපක්ෂ මහතාට මහත් භක්තියෙන් සේවය කළ අයයි. එහි ප‍්‍රතිඵලය වූයේ එතුමාට විශේෂ වූ ඡුන්ද පදනමක් හෝ ජන පදනමක් හෝ පක්ෂපාත සේවක පදනමක් හෝ ගොඩනගා ගැනීමට නොහැකිවීමයි. මේ අතර ශ‍්‍රීලනිපය දෙකඩවීමෙන් ආත්මාර්ථකාමීව ප‍්‍රායෝජන ගැනීමට කපටි ලෙස සිතූ අගමැතිවරයාට සිදුවූයේ, ජනාධිපතිවරයාගේ සහයෝගය නොලැබීම පමණක් නොව, එතුමා සමග දේශපාලන සහ පුද්ගලික සම්බන්ධතාද සපුරා බිඳ වැටෙන ඉරණමකට පත්වීමයි. සභාග රජයේ සම නායකයන් දෙදෙනා රයිගමයා – ගම්පළයා මාදිලියේ ඔවුනොවුන් රවටන දේශපාලනයක නිරත වූහ. එම දෙදෙනාම අද සිටින්නේ අතිශයින්ම දුර්වල තත්ත්වයට ඇදවැටීමේ ඉරණම අතැතිවය. වළට වැටීමෙන් පසුවත් ඔවුන් දෙදෙනාගේ මොළයට ලාභයක් වී ඇති බවට ලකුණු නැත. දෙදෙනාම දැන් ගමන් කරන බව පෙනෙන්නේ අන්‍යොන්‍ය දේශපාලන විනාශය කරා බව පෙනේ.

මේ පසුබිම තුළ පසුගිය අවුරුදු තුන තුළ සිරිසේන – වික‍්‍රමසිංහ යන දෙපළ මෙරට ජනතාවට දී තිබෙන්නේ සභාග දේශපාලනය පිළිබඳ අතිශයින් නිශේධනීය අත්දැකීමකි. තමන් බලයට පත්කරමින් මහජනතාව දුන් වරම ඔවුහු නොසලකා හැරියහ. සභාගයට අවශ්‍යම ඒකාබද්ධ නායකත්වය සමඟියෙන් ක‍්‍රියාකිරීමට අසමත් වූහ. සම්මුතිවාදී හා ලිච්ඡුවිවාදී ආදර්ශය ගැන අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී දේශන පැවැත්වුවත්, සභාගයක පැවැත්මට අත්‍යවශ්‍ය ‘සාකච්ඡුාමය ආණ්ඩුකරණය’ ගැන නායකයන් දෙදෙනාම දැක්වූයේ පුදුමාකාර නොසැලකිල්ලකි. තමන් ලබාගත් ජනවරමේ මූලික පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය සහ අවංකකම දෙදෙනාටම නොතිබිණ. දෙදෙනාම පසුගිය කාලයේත් දැනුත් ඔප්පු කරන්නේ තමන් අසාර්ථක දේශපාලන නායකයන් බවයි.

ප.ලි. බලයේ සිටින ආණ්ඩුවක ජනාධිපති සහ අගමැති ගැන මෙවැනි නිර්දය විවේචන පවා ලියන්නට කෙනෙකුට බියසැක නැති වාතාවරණයක් තිබීම, යහපාලන සභාගයේ සියලූ දුර්වලතා මැද වුවද තිබෙන අප අගය කළයුතු යහගුණයකි. එය අපට නැතිවීමේ අනතුරද තිබේ.