පළාත් පාලන ආයතනල බලය පිහිටුවීම

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වී මසක් ගත ව තිබුණ ද තවමත් සභා පිහිටු වීමට නොහැකි වී තිබෙන තත්ත්වය මත විවිධ පාර්ශවයන්ගෙන් මෙම මැතිවරණ ක‍්‍රමය පිළිබද චෝදනා අදහස් ඉදිරිපත් වෙමින් පවතී. මෙවර සිදුවූ පළාත් පාලන පනතේ සංශෝධනය පිළිබද ද පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කර සම්මතයන්ට පැමිණ තිබුණ ද එම සංශෝධන පිළිබද ද අද වන විට තිබෙන්නේ එකගතාවයක් නොවන බව පෙනේ. මන්ත‍්‍රී සංඛ්‍යාව ද දෙගුණයක් බවට පත් වීමෙන් ඒ බර ද ජනතාව මත පැටවෙන බවට චෝදනා තිබිය දී පසුගිය දා ජනාධිපතිවරයා පොළොන්නරුවේ දී පවසන්නේ පොළොන්නරුවේ එක් ආසනයකට ලක්ෂ පනහ බැගින් මූලිකව ලබා දීමට කටයුතු කරන බවත් සිදු වන ප‍්‍රගතිය අනුව එය ලක්ෂ 100 දක්වා වැඩි කරන බවත්ය. කෙසේ වෙතත් පළාත් පාලන ඡුන්දය පවත්වා මාසයක් ද ගතව තිබුණ ද තවමත් මෙවර සභා පිහිටුවීමට නොහැකිව තිබෙයි. මේ මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබද ක්ෂේත‍්‍රයේ කිහිපදෙනෙකු දැක්වූ අදහස්ය.

පළාත් සභාවලටත් මේ අර්බුදය එනවා
අමාත්‍ය මනෝ ගනේෂන්

මේ අලූත් කොට්ඨාස ඡුන්ද ක‍්‍රමය අපට අනිවාර්යෙන්ම ඕනෑ කියලා ඇවටිලි කර ඉල්ලා ගත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ වගේම මේ තුළ කාන්තා නියෝජනය 25%ක මන්ත‍්‍රී ධූර අත්‍යවශ්‍යයි කියලා ඇවටිලි කරලා ඉල්ලා ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. මේ දැන් ඇති වී තිබෙන අර්බුදයට වග කිව යුත්තේ මේ පක්ෂ දෙකයි. අපි සුළු පක්ෂ පරණ ක‍්‍රමයම ක‍්‍රියාත්මක කරමු කියලා ඉල්ලා සිටියා. ඒ නමුත් ඒ අනෙක් පක්ෂ අපට දිගින් දිගටම පැහැදිලි කරමින් ඒ නව ක‍්‍රමය ගෙන ආ යුතු බව කියා සිටියා. ඒත් මෙහෙම ගියොත් ප‍්‍රශ්න ඇති වන බව අපි ඒ අයට පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒත් අපි කියූ දේට කිසිසේත් එක්සත් ජාතික පක්ෂයේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඇහුම්කම් දුන්නේ නෑ. ඉන් පසු අපි ඒ අය යෝජනා කළ ක‍්‍රමය පුළුවන් තරම් සංශෝධනය කර හදා ගන්න උත්සාහ කළා. අද ටිකක් හෝ එහි පැවැත්මක් ඇති වී තිබෙන්නේ එහෙම කළ නිසායි. කොට්ඨාස ක‍්‍රමය එපා කියලා මම කියන්නේ නෑ. කොට්ඨාස ක‍්‍රමය අවශ්‍යයි. කොට්ඨාසයකට මන්ත‍්‍රීවරයෙක් අවශ්‍යයි. කොට්ඨාසය කියන්නේ භූමිය සම්බන්ධ දෙයක්. ඒ නිසා සීමා නිර්ණය හරියාකාරව සිදු විය යුතු වුණත් එය හරියාකාරව සිදු වී නැහැ. ඒ නිසා සමහර ස්ථානවල ඡන්දදායකයින් දෙදාහකට මන්ත‍්‍රීවරයෙක් ලැබී තිබෙනවා. සමහර ස්ථානවල ඡන්දදායකයින් පන්දාහකට මන්ත‍්‍රීවරයෙක් ලැබී තිබෙනවා. එවැනි අසමාන තත්ත්වයක් තිබීම කිසිසේත් නිවැරදි නැහැ.
ඊළගට මේ කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම 25%ක් ඕනෑ කියන තීරණය තදින්ම ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. මගේ පෞද්ගලික මතය අනුව කාන්තාවන් 25% වෙනුවට කාන්තාවන් 50% කිරීම සාධාරණයි. ඒ නමුත් එය සිදු කළ යුතු වෙන්නේ අදියරින් අදියර බව අපි පැහැදිලි කළා. 10%ක් අනිවාර්ය මන්ත‍්‍රීධූරත් 15%ක් කාන්තා අපේක්ෂකයින් ලෙසත් මේ පළමු අදියරේ දී ක‍්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටියා. ඒත් ඒ අය අනිවාර්යෙන්ම 25%ක් ඉල්ලා සිටීම නිසා දැන් ලොකු අර්බුදයක් ඇති වී තිබෙනවා. ඒ නිසා සභා පිහිටුවීමට නොහැකි වී තිබෙනවා. කොළඹ මහ නගර සභාවට මන්ත‍්‍රීධූර 119ක් තිබුණා. එයින් එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රහණය කළත් එය ලොකු ජයග‍්‍රහණයක් නෙමෙයි. ඒ අයගේ මන්ත‍්‍රීධූර සංඛ්‍යාව 60යි.

විපක්ෂයට 59ක් තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. අනෙක් දේ පළාත් සභා ඡුන්දයටත් මේ ඡන්ද ක‍්‍රමයම ගේන්න මුලින් තීරණය කර තිබුණත් දැන් හැමෝම ඒක නවත්තගෙන ඉන්නවා. අපි කියන්නේ පළාත් සභා ඡුන්දය කොට්ඨාස ක‍්‍රමය නැතිව පරණ ක‍්‍රමයටම පවත්වමු කියලායි. ඒ ගැන දැන් සාකච්ඡා පවත්වනවා. නැත්නම් රටේ පළාත් සභාත් මේ විධියටම පිහිටුවා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. කාන්තාවන් මේ 25% ඉල්ලූවා කියලා දැන් එක්සත් ජාතික පක්ෂය කියනවා. මම දන්නා හැටියට කාන්තාවන් කිසිවෙක් එහෙම ඉල්ලූවේ නැහැ. මේ ගැන කෑ ගහලා ඉල්ලා සිටියේ සමහර සිවිල් සමාජයේ අය, රාජ්‍ය නොවන ආයතනවල අයයි.

 

පළාත් පාලන ඉතිහාසයේ ඛේදවාචකයක්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම

අගෝස්තු මාසයේ 23 සහ 24 වන දා තමන්ගේ ඉතාම පටු දේශපාලන වුවමනාවන් පිළිබඳ පමණක් හිතලා මේ පනත සම්මත කර ගැනීමේ කාරක සභා අවස්ථාවේ ආණ්ඩුව ගෙන ආ යම් යම් සංශෝධන නිසා සමස්ත පළාත් පාලන ක්ෂේත‍්‍රයම ලොකු අර්බුදයකට ගිහින් තිබෙනවා. පනත ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේ ගෙනා සංශෝධන අතරේ තමයි 5% අවම සීමාව ඉවත් කළේ. ඊළගට එතෙක් පළාත් පාලන ක්ෂේත‍්‍රයේ තිබූ දිනන පක්ෂයට ලබා දෙන බෝනස් අයින් කළා. ඒවා තිබුණේ පළාත් පාලන ආයතන ස්ථාවර කිරීමටයි. කාරක සභා අවස්ථාවේ දී ඊළගට 35%ක තරුණ නියෝජනය ඉවත් කරලා කාන්තා නියෝජන ඇතුළත් කළා. දැන් මේ සියල්ලම අති විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. එක් කණ්ඩායමක් තෘප්තිමක් කරන්න පනත සම්මත කරන අන්තිම මොහොතේ කාරක සභා අවස්ථාවේ ගෙන ආ සංශෝධනයක්. ඒ නිසා මගේ විග‍්‍රහයේ හැටියට මේකට මැතිවරණ කොමිසම වගකිව යුතු නැහැ. මෙයට වගකිව යුත්තේ සමස්ථ පාර්ලිමේන්තුවයි. කතානායකවරයා, නීතිපතිවරයා ඇතුලූ පළාත් පාලන අමාත්‍යාංශය ප‍්‍රමුඛ සමස්ථ පාර්ලිමේන්තුවම මේකේ වගකීම භාර ගත යුතුයි. මේ සම්පූර්ණ අවුල හැදුවේ පාර්ලිමේන්තු කාරක සභාවේ ගෙන ආ සංශෝධනවලිනුයි. කාරක සභා අවස්ථාවේ මේ සංශෝධන ගෙන එන විට කළ යුතු මග පෙන්වීම නීතිපතිවරයා කර නැහැ. ඔහු ඔහුගේ යුතුකම පැහැර හැර තියෙනවා. කතානායකවරයා කාරක සභා අවස්ථාවේ පනතේ කෝප් එකට ගැලපෙන්නේ නැති සංශෝධන ගෙන එන්න ඉඩ දුන්නා. පනතේ තියනවා 35%ක තරුණ නියෝජනය තියෙන්න ඕනෑ බව. ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා කාන්තා නියෝජනයක් ගෙනෙනවා. ඒවාට නීතිපතිවරයා, කතානායකවරයා ඉඩ දෙනවා. මේක දේශපාලන ව්‍යසනයක්. ලංකාවේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ඡුන්දය පවත්වා මාසයක් ගත වෙනකම් සභා පිහිටුවන්න බැරි වෙලා තියෙනවා. මේක අපේ ජීවිත කාලයේ පළාත් පාලන ඉතිහාසයේ සිදු වුණු දේශපාලන ඛේදවාචකයක්.

ඊට අමතරව ගණනය කිරීමේ දී එය සිදු කර තිබෙන්නේ පනතේ මූලික සිද්ධාන්තවලට අනුකූලව නෙමෙයි. මේ ආණ්ඩුව වගේම තීරණ ගන්න බැරි හැමදාම එකිනෙකාට ඇගිල්ල දික් කරන ප‍්‍රාදේශීය සභා, නගර සභා 165ක් මේ රටේ බිහි වෙනවා. එය පළාත් පාලන ක්ෂේත‍්‍රයේ විශාල ඛේදවාචකයක්. කාරක සභා අවස්ථාවේ ගෙන ආ සංශෝධන නිසා තමයි ඒ සියල්ල සිදු වී තිබෙන්නේ. ගණනය කිරීම වරදවා තිබෙනවා. අපි එයට එරෙහිව අධිකරණයට යනවා.

කාන්තා නියෝජනය 25%ක් අනිවාර්ය කිරීම පට්ටපල් බොරුවක් බවට පත්වෙලා තියෙනවා. එකම කාන්තාවක් නැති සභා තියෙනවා. පනතට අනුව කිසිම පක්ෂයකට කාන්තා නියෝජිතයන් නම් කරන්න බල කිරීමක් නැහැ. කොට්ඨාසවල තරග කරන සියලූ අපේකෂිකාවන් පරදිනවා, දිනන කිසිම පක්ෂයක් තුනකට වඩා මන්ත‍්‍රීවරු ගන්නේ නෑ. ඒ නිසා කිසිම කෙනෙක්ට ලැයිස්තුවෙන් කාන්තාවක් පත් කරන්න නෛතිකව බලපෑමක් වෙන්නේ නෑ. ඒ නිසා එහෙම සභාවල කිසිම කාන්තා නියෝජනයක් නැති වෙනවා. ඒක තනිකරම මේ මැතිවරණය විහිළුවක් බවට පත් වුණා. එහි වගකීම කතානායකවරයි, නීතිපතිවරයා, පළාත් පාලන ඇමතිවරයා ගත යුතුයි. මේ දේශපාලන විගඩමේ වගකීම ඒ අය මුළුමනින්ම භාර ගත යුතුයි.

මැතිවරණයෙන් පසුව සභාව පිහිටුවා මාස තුනක් යද්දී මේ රටේ සියලූම දේශපාලන පක්ෂ ඇවිත් නැවත මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන ලෙස පාර්ලිමේන්තුවේ දී යෝජනා කරාවි කියලා මම පාර්ලිමේන්තුවේ දී කීවා. එය ඒ ලෙසම සිදු වෙනවා.

ගම්සභා ක‍්‍රමයෙදිත් සභිකයන් 9000ක් හිටියා
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය

පසුගිය පළාත් පාලන මැදිවරණයේ දී මැතිවරණ කොමිෂන් සභාව සිදු කර තිබෙන ගණනය කිරීම් නිවැරදි බව මැතිවරණ කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. පනතේ සමහර කරුණු මේ මේ විධියට වෙන්න ඕනෑ කියලා සමහර අයට අර්ථ දක්වන්න පුළුවන්. අපේ කොමිෂන් සභාවේත් ජනාධිපති නීතිඥවරයෙක් ඉන්නවා. අපි නැවතත් ඒවා නීතිවේදීන්ගෙනුත් විමසා තිබෙනවා. ඒ නිසා ඒ ගණනය කිරීම් නිවැරදියි කියලා අපි හිතනවා. ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ දී ලැයිස්තු දෙකෙන් ඕනෑ කෙනෙකු පත් කරන්න පුළුවන් බව පනතේ තියනවා. ඡුන්ද දෙකෙන් පරාජය වුණු අය ඉන්නවා, සමාන ඡුන්ද සංඛ්‍යාව ලබාගෙන කුසපත් ඇදීමෙන් පරාජය වුණු අය ඉන්නවා, ඒ අය තරග කර ලබා ගන්න ඡුන්ද ප‍්‍රමාණය මතයි අනෙක් අයට අවස්ථාව ලැබෙන්නේ.
සභික සංඛ්‍යවේ වැඩි වීම සිදු වන්නේ පාර්ලිමේන්තුව තීරණය කර තිබෙන මේ ඡුන්ද ක‍්‍රමය නිසායි. 2012 ක‍්‍රමයට ගත්තත් ලංකාවේ පළාත් පාලන ගම් සභා ක‍්‍රමය තියෙද්දී මන්ත‍්‍රීවරු 9000කට ආසන්න ගණනක් ඉ`දලා තියෙනවා. එය මේ පත් වූ සංඛ්‍යාවට වඩා වැඩියි. ඉන් පසු ප‍්‍රාදේශීය සභා ඇති කරලා තියෙන්නේ සභා තුන හතර එකට එකතු කරලායි. ඒ නිසා, පත් වී තිබෙන සභිකයින් ගණන එකතු කර බැලූවා නම් සභිකයින් ගණන මීට වඩා වැඩියි. හැමෝම කියන්නේ හාරදාස් ගණන අටදාස් ගණන වුණු බවයි. 2012 පනතේ දී තමයි එය වැඩි වී තිබුණේ. ඒ ගැන කවුරුවත් කියන්නේ නෑ. 2017 පනතෙන් සුළු අඩුවීමකුයි වෙලා තියෙන්නේ. හැබැයි ඒ සභිකයින්ට ඒ කාලයේ මෙහෙම වැටුපක් ගෙවුවේ නැති වෙන්න පුළුවන්.