රාවය

නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා

නූගත් පාඩම් තුනක්: සිරිසේන, දිගන සහ ජිනීවා

පළමුවෙන්ම විධායක ජනපති සිරිසේන අපට උගන්වමින් සිටින අලූත් පාඩමක් නොවන පාඩම දෙස බලමු. මේ වනාහී 1978 සිටම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් දැන සිටි පාඩමකි. ඒ අන් කිසිවක් නොව ජේ.අර්. ජයවර්ධන විසින් හ`දුන්වා දුන් විධායක ජනාධිපති ධූරය කොතරම් අත්තනෝමතිකද යන්නයි.

සිරිසේන ජනාධිපති ධූරයට පත් වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සිවිල් දේශපාලන ව්‍යාපාරයේ නියෝජිතයා ලෙසය. ඊට සහමුලින්ම ප‍්‍රතිවිරුද්ධව දැන් ඔහුගේ භාවිතය වී ඇත්තේ එම ධුරය අනිසි ලෙස පාවිච්චි කිරීමය.

19වන සංශෝධනය විසින් විධායක ජනාධිපති ධූරයේ බලය කප්පාදු නොකරන ලද්දේ නම් අද සිරිසේන කවර ආකාරයක ජවුසමක් නටනු ඇත්දැයි සිතා ගැනීමටවත් අමාරුය. සිය කැමැත්තෙන් බලතල අත්හල එකම ජනාධිපතිවරයා තමායැයි ඔහු පුරාජේරු ගසයි. එසේ නමුත් ඔහු අමතක කරන්නේ ජනාධිපති ධූරය ගැන හීනෙන්වත් සිතන්නට ඉඩක් නොතිබූ තමා ධූරයට ඔසවා තබන ලද්දේ අන් කිසිවකට නොව ප‍්‍රධාන වශයෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය සහමුලින්ම අහෝසි කිරීමට බවයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඔහු විසින් ඇතිකළ අනවශ්‍ය අස්ථාවරත්වය ද පසුගිය දින කිහිපය තුළ ඇවිල ගිය වාර්ගික ප‍්‍රචණ්ඩත්වයන් ගින්නක් සේ පැතිර යාමට හේතු වූ බවට සැක නැත. නීතිය සහ සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස අගමැති විසින් නම් කරන ලද සරත් පොන්සේකා පත් නොකිරීමට සිරිසේනට සදාචාරමය හෝ නීතිමය අයිතියක් නොතිබුණි. ඒත් ඔහු රාජපක්ෂ සමඟ ජෝඩු දමා ගැනීමේ අපේක්ෂාවෙන් පොන්සේකාට එම ධුරය ලබා දීම ප‍්‍රතික්ෂේප කළේය.

තවත් උදාහරණයක් නම් පාර්ලිමේන්තුවෙහි බහුතර බලය ඇති අගමැතිවරයාට පිටින් දැන් ඔහු උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් පත් කරන බවට ප‍්‍රකාශ කර තිබීමයි. තමාට කැමැති කැමැති දේ කිරීමට විධායක ජනාධිපතිධූරය විසින් බලය ලබා දී තිබේයැයි ඔහු කල්පනා කරන බව පෙනේ.

වික‍්‍රමසිංහගේ දේශපාලනය සමඟ අප එකඟවන්නේ ද නැත්ද යන්න වෙනම ප‍්‍රශ්නයකි. ඒත් ඔහු බහුතර බලය ඇති අගමැතිවරයාය. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට පොරොන්දු වී (බහුතර එජාප පාක්ෂිතයින්ගේ ඡන්දයෙන්) බලයට පැමිණි සිරිසේන විසින් අපට පෙන්වා දෙන පාඩම නම් විධායක ජනාධිපති ක‍්‍රමයේ පුළුටක්වත් ඉතිරි නොකර අහෝසි කළ යුතු බවයි.

රාජපක්ෂට ජනාධිපතිවරයා වීමට නීතිමය අවකාශයක් නැත. සිරිසේනට නැවත ජනාධිපතිවීමට දේශපාලන අවකාශයක් ඇත්තේම නැති අතර සදාචාරමය අයිතියක් ද නැත. වික‍්‍රමසිංහ ගැන කියා වැඩක් නැත. එබැවින් දැන් අවස්ථාව ඇත්තේ මේ සියලූ බලවේග එක් කර ගනිමින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමටය.

ඒ සඳහා යක්ෂයා සමග එක්වීමට සිදු වුවත් ඉදිරි දෙවසර තුළ සිදු නොකළහොත් යළි ඊට අවස්ථාවක් ලෙහෙසියෙන් නොලැබෙනු ඇත.
දෙවන පාඩම රට ගිනි තැබූ සිංහල අන්තවාදීන් පාලනය කිරීමට දින ගණනාවක් යන තුරුම රනිල්- වික‍්‍රමසිංහ ආණ්ඩුවට නොහැකි වූයේ මන්ද යන්නයි. දුර බැහැර ගමක් වූ දිගන ඇතිවූ පුද්ගලික ආරවුලක් සමස්ත ශ‍්‍රී ලංකාවම අස්ථාවරත්වයට සහ භීතියට පත් කරන තරමේ වාර්ගික කෝලාහලයක් බවට පත්වීම අප තේරුම් ගන්නේ කෙසේද?

ඒ වනාහි අප රටක් සහ සමාජයන් වශයෙන් ඉගෙන ගැනීමට සූදානම් නැති පාඩමයි. එනම් රටක් වශයෙන් ඉදිරියට යෑමට නම් මෙරට සෑම ජන කොටසකටම සමාන ආර්ථික දේශපාලන සහ සංස්කෘතික අයිතින් තිබිය යුතු බවයි. රටක දේශපාලන නායකයින්ගේ වගකීම වන්නේ එම අයිතීන් ලබා දීම පමණක් නොව එම අයිතීන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමයි. විශේෂයෙන්ම රටක බහුතර සහ සුළුතර ජනවර්ගයන් ජිවත්වන විට සුළුතර ප‍්‍රජාවන්හි අයිතීන් තහවුරු කිරීමත් බහුවාර්ගික සමාජයක තිබිය යුතු අන්‍යොන්‍ය ගරුත්වය සහ පිළිගැනීමත් සමාජය තුළට කා වැද්දවීමත් සමාජ දේශපාලන නායකත්වයේ වගකීමය.

පසුගිය කාලය පුරා සිරිසේන හෝ වික‍්‍රමසිංහ හෝ ඔවුන් යටතේ ඇති දැවැන්ත මාධ්‍ය ජාලා හෝ ඔවුනගේ පක්ෂ සංවිධාන හෝ මෙරට සුළුතර ප‍්‍රජාවන්ට ඇති සමාන අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේ හෝ ඒ අරභයා මතවාදී ප‍්‍රචාරයන් ගෙන ගියේ හෝ නැත. (එය වැඩබැරි චන්ද්‍රිකා කුමාරතුංගට බාර දී ඇත්තේ හරියට කොන්ත‍්‍රාත්තුවකට මෙන්ය.)

පාර්ලිමේන්තු මංත‍්‍රී මුජිබර් රහමන් වේදනාබර හඬින් කියා සිටින පරිදි මෙරට මුස්ලිම් ජනයා මෙම ආණ්ඩුව පිහිටුවා ගත්තේ හුදෙක් හොරු ඇල්ලීමට පමණක් නොවේ. තමන්ට නිදහසේ සමානයින් ලෙස ජීවත්වීමේ අයිතිය ලබා ගැනීමටය. ඔහුම කියන පරිදි ජනපතිත් අගමැතිත් එහිලා අසමත් වී තිබේ.
එනයින් තමන් බලයට පත් කළ ජනයාගේ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීමට ඉක්මන් පියවර නොගත් සිරිසේනත් වික‍්‍රමසිංහත් දේශපාලන දුර්ජනයින් ලෙස හැදින්වීමේ වරදක් නැත.

මෙරට මුස්ලිම් ජනයාට එරෙහිව රාජපක්ෂ සමය පුරාම ප‍්‍රචණ්ඩත්වයන් එල්ල වුණි. රාජපක්ෂවරු එම සැහැසි ක‍්‍රියාවන්ට අනුබල දුන්නා විනා කිසිම අපරාධකරුවකුට දඩුවම් කළේ නැත. රනිල් – සිරිසේන ද ගත්තේ ඒ මඟමය. එපමණක් නොව අලූත්ගම ගිනිතැබූ ඥානසාර අවසානයේදී ජනපති උපදේශකයකුගේ රැකවරණ පවා ලබා ගත්තේය.

සිංහල අන්තවාදීන්ගේ මුස්ලිම් විරෝධී සැහැසි මතවාදය සහ ක‍්‍රියාකාරිත්වය පරාජය කරනු වෙනුවට ආණ්ඩුව කළේ අහක බලා ගැනීමයි. ගීංතොටදීත් අම්පාරේදීත් සිදුවූයේ එයයි. දුර දැක්මක් ඇති දේශපාලනඥයකුට නම් දිගනින් පටන්ගෙන පැතිර ගිය ජාතිවාදී ගින්න පෙර දැකිය හැකිව තිබුණි.
ඒත් සිරිසේන, රනිල් පළවා හැරීමේ දොළදුකෙන් අන්ධ වී සිටි අතර රනිල්, අගමැති මෝහයෙන් අන්ධවී සිටියේය.

දැන් පෙනෙන විදිහට යුද්දයෙන් පසු අලූත් සතරෙකු සොයන සිංහල දෙමළ සමාජ දෙකම ඉස්ලාමීය භීතිය ඒ සඳහා ආදේශ කරගෙන තිබේ. එහි ප‍්‍රකාශනයක් ලෙස වර්ධනය වන මුසලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රතිචාරයක් ලෙස අන්තර් ජාතික ඉස්ලාමීය අන්තවාදය මෙරට හිස එසවුවහොත් තවත් පරම්පරාවකටම ජීවත්වන්නට සිදුවණු ඇත්තේ යුද බියෙන් සහ යුද මර්දනය මැදය.

අප ඉගෙන නොගන්නා පාඩම එයයි.

මෙරට ප‍්‍රචණ්ඩ ඉතිහාසයට අදාළ තවත් වැදගත් පාඩමක් පසුගිය දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැුස්වීමකදී අසන්නට ලැබුණි. එහි අදහස් දැක්වූයේ මෙරට අතුරුදන්වූවන්ගේ ඥාතීන් සහ සංක‍්‍රාන්ති යුක්තිය පිළිබද එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ දි ග‍්‍රිප්ය. එය සංවිධානය කරන ලද්දේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයගේ කාර්යාලය සහ ජර්මානු තානාපති කාර්යාලය විසිනි.

උතුරින් පැමිණ සිටි මව්වරු සිය වේදනා පිට කිරීමෙන් අනතුරව දැන් මෙරට පිහිවා ඇති අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, ආණ්ඩුව සිය යෝජනා නොපිළිගත් බැවින් වැඩකට නැති එකක් බවට පත්ව ඇතැයි ද තමන් එය විශ්වාස නොකරන්නේ යැයිද කීහ.

තවද බි‍්‍රතාන්‍ය තානාපති නිලධාරියකුගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔවුන් කියා සිටියේ දකුණෙහි (එනම් සිංහල) අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ තමන්ට කිසිදු සහයෝගයක් අවශ්‍ය නැති බවයි. ‘අපේ දරුවන් අතුරුදන් වුණේ දෙමළ නිසා. දකුණේ එහෙම නොවෙයි. යූඇන්පිය ආවහම ශ‍්‍රී ලංකා පාක්ෂිකයෝ අතුරුදන් වුණා. ශ‍්‍රී ලංකා පක්ෂය ආවහම යූඇන්පී අය අතුරුදන් වුණා. ඒ නිසා අපට ඒ අය සමග ගනුදෙනුවක් නැහැ.’ යැයි ඔව්හු කීහ. දකුණෙහිදී ජවිපෙ දේශපාලනය නිසා දස දහස් ගණනක් අතුරුදන්වූ බව ඔවුන් දන්නේ නැත. නැත්නම් පිළිගැනීමට මැළිවෙයි. එමෙන්ම උතුරෙහි දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින් කළ පැහැර ගැනීම්ද අමතක කරයි.

සිය දරුවන් අතුරුදන්වීමෙන් මව්වරුන්ට ඇති වේදනාවට ජාතියක් ජන්මයක් හරස් විය යුතු නැත. කෙසේ වෙතත් මෙම මව්වරුන්ගේ සාධාරණ කෝපය දැන් ඔව්හු හුදෙකලා අරගලයකට යොමු කරවීමට තරම් අතාර්කික බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි. එක්වීම වෙනුවට බෙදීම තමන් දුර්වල කරන බව ඉගෙන ගත යුතු පාඩමක් නොවේද?

එහිලා කියැවුණු වැදගත් පාඩම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට එල්ල වන විවේචන සම්බන්ධයෙනි. එම විෂය පිළිබද ලෝක මට්ටමේ විශේෂඥයකු වන පැබ්ලෝද ග‍්‍රිප් මෙසේ කිවේය. ‘ආජන්ටීනාවේදීත් චිලියේදීත් සත්‍ය සෙවීමේ කොමිසන් ආරම්භ කළ විට බොහෝ විරුද්ධත්වයන් ඇතිවුණා වින්දිත ප‍්‍රජාවෙන්, වැඩක් නැතැයි කියන තරමට. එහෙත් එම කොමිසන් දෙකම අතිශය සාර්ථකලෙස සිය කාර්යය ඉටු කළා.’

‘මෙවැනි කොමිසන් පිහිටුවන අවස්ථාවන්හිදී මා දෙපාර්ශයට එකිනෙකට වෙනස් පණිවිඩ දෙකක් දෙනවා. කොමිසමට මා කියන්නේ මෙය ඔබට ලැබෙන අවසාන අවස්ථාව ලෙස සළකා උපරිම සාර්ථකත්වය ඉලක්ක කරන ලෙසයි. වින්දිත ප‍්‍රජාවට මා කියන්නේ මෙය තවත් එක් අවස්ථාවක් ලෙස සළකා ඊට සහභාගිවන ලෙසයි.’

එහෙත් පැබ්ලෝද දි ග‍්‍රිප් ගේ අත්දැකීම පාඩමක් ලෙස පිළිගැනීමට එන්න එන්නම ධ‍්‍රැවීකරණය වෙමින් පවතින දේශපාලන ආන්තික කණ්ඩායම් සූදානමක් පෙන්වන බවක් දකින්නට තිබුණේ නැත.

පාඩම් ඉගෙන නොගන්නා සමාජයකට ඉදිරියට යා හැකිද?