තෝරු, මෝරු රිංගා යන නීතියේ දැල

‘‘ ඔබ ධනවත් අයෙක් නම්, නීතිය අබියස අහිංසකයෙකි. දුප්පත් නම් අනිවාර්යයෙන්ම වරදකරුය.” මෙම කියමන, දකුණු කොරියානු ජන සමාජය තුළ බෙහෙවින් ජනප‍්‍රිය ආප්තෝපදේශයෙකි. මෙය යළිත් එරට සමාජය මාධ්‍ය ඔස්සේ සුලබව දැකගන්නට ලැබුණේ 2018 පෙබරවාරි 05 වැනිදාය. ඊට හේතුව, සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමේ උප සභාපතිවරයා වන 49 හැවිරිදි ලී – ජේ- යොන්ග් එදින හිරෙන් නිදහස්වීමයි. හිටපු දකුණු කොරියානු ජනපතිනි පාක්යූන් හයිට සහ ඇගේ හිතවතියක වන චොයි සුන් සිල්ට ඇමරිකන් ඩොලර් මිලියන 38ක් අත යටින් පිරිනැමීම ලී – ජේ – යොන්ග්හට එල්ල වුණු ප‍්‍රධාන චෝදනාව විය. උසාවිය ඔහු වරදකරු ලෙස තීරණය කළ නිසා 2017 අගෝස්තු 25 දින ලීහට වසර 05ක සිරදඬුවමක් නියම කෙරිණි. එහෙත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ලී විසින් ඉදිරිපත් කළ පසුව, 2018 පෙබරවාරි 05 වැනි දින, අභියාචනාධිකරණය එය අත්හිටවූ දඬුවමක් බවට පත් කොට ඔහු සිපිරිගෙයින් නිදහස් කිරීමට ක‍්‍රියා කළේය. 2009දී පස් අවුරුදු සිරදඬුවමක් ලද ලීගේ පියාණන් වූ ලී කුන් හීද මේ අයුරින්ම අභියාචනාධිකරණය හරහා අතරමගදී නිදහස ලැබීය. එවකට සැම්සුන්හි සභාපතිවරයා වූ ඔහුට එල්ල වුණු චෝදනාව වූයේ රජයට බදු ගෙවීම පැහැර හැරීමයි. 2010 සිට 2014 දක්වා වන කාලය අතරතුර පමණක්, ඉහළ පෙළේ දේශපාලනඥයන්ට පගාව දී වරදකරුවන් වූ දකුණු කොරියානු ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් 77%ක්ම, අභියාචනා මගින් හිරෙන් නිදහස් වී යැයි, කොරියානු රාජ්‍ය මූල්‍ය ආයතනයේ විශේෂඥ චොයි හැන් සූ පවසයි. ලී – ජේ – යොන්ග් හිරෙන් නිදහස් කිරීමේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් සූදානම් කිරීමට දකුණු කොරියානු පුරවැසියන් කණ්ඩායමක් පෙරට ආ අතර මේ වනවිට එයට අත්සන් 212,000ක් ලැබී තිබේ. එහෙත් දේශපාලන විචාරකයන් පවසන්නේ ධන කුවේර ව්‍යාපාරිකයන් හා දකුණු කොරියානු දේශපාලනඥයන් අතර සිදුවන අතයට ගනුදෙනු හේතුවෙන් මෙවැනි පෙත්සම් දහසක් යැව්වද ඒවායින් ඵලක් නොවන වගයි.

ඇමරිකානු ව්‍යාපාර

ඔබ ඇමරිකාවේ පුද්ගලික සමාගමක වැඩ කරන සේවකයෙක් යැයි මොහොතකට සිතන්න. ඉහළ කළමනාකාරීත්වයෙන් ඔබට යම් හිංසනයක් (ලිංගික හෝ වාර්ගික) සිදුවෙයි නම් ඔබ, ඔබේ හාම්පුතාට එරෙහිව උසාවියක නඩු පැවරීමට කල්පනා කරයි. එහෙත් එරට බහුතරයක් පුද්ගලික සමාගම්, ඔවුන් සේවකයා වෙත පිරිනමන පත්වීම් ලිපියෙහි (ඉතා සූක්ෂ්ම ලෙස) ආයතනයට නඩු පැවරිය නොහැකි යැයි යන වගන්තියක් ඇතුළත් කොට ඇත. සේවකයාට යම් අසාධාරණයක් සිදුවී යැයි ඔහු/ඇය සිතන්නේ නම් එම ගැටලූව ඉදිරිපත් කළයුත්තේ හාම්පුතා විසින් නම් කරන බේරුම්කාර මණ්ඩලයක් වෙතය. රස්සාවට ඇති ආසාව නිසා පත්වීම් ලිපියෙහි ඇති සියලූම වගන්තිවලට තමා එකඟ යැයි අත්සන් කරන සේවකයා, අසාධාරණයකදී තමාට සාමාන්‍ය නීතියේ පිහිට පැතීම හාම්පුතා විසින් අහිමි කර ඇතැයි දැනගන්නේ බොහෝ කලකට පසුවය. ඇමරිකාවේ ෆොක්ස් නිව්ස් චැනලයේ නිවේදිකාවක වූ ග්‍රෙනේ කල්යන්නට එහි ප‍්‍රධානියා වූ රොජර් එයිල්ස්, ලිංගික අඩන්තේට්ටම් සිදුකළ අවස්ථාවේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීම ඇගේ පත්වීම් ලිපිය හරහා අවහිර කොට තිබුණි. එහෙත් ග්‍රෙෂෙන්, සමාජ මාධ්‍ය හරහා ඇයට සිදුවූ අසාධාරණය වෙනුවෙන් දැවැන්ත සමාජ මතයක් ෆොක්ස් නිව්ස් හාම්පුතුන්ට එරෙහිව ගොඩ නැගූ හෙයින් ග්‍රෙෂෙන්හට ඇමරිකන් ඩොලර් මිලියන 20ක වන්දියක් ගෙවා සමථයකට එළැඹීමට ඔවුහු කටයුතු කළහ.

අත යට ගනුදෙනු

මගී හා මිලිටරි ගුවන් යානා නිපදවන යුරෝපීය සමාගමක් වන එයාර් බස්හි කොටස් අයිතියෙන් 11%ක් ප‍්‍රංශ රජයටත්, 11%ක් ජර්මානු ආණ්ඩුවටත් අයත්ය. 2014 වසරේදී සිදු කළ විමර්ශනයකට අනුව, එයාබස් තම නිපැයුම් විවිධ රටවලට අලෙවි කිරීමේදී ඊට හවුල් වූ අතරමැදියන්ට හා රජයේ නිලධාරීන්ට අත යටින් පගාව පිරිනමා තිබෙන වග හෙළිදරව් විය. 2003දී ඔස්ටි‍්‍රයාවට හා ජර්මනියට ඇමරිකන් ඩොලර් බිලියන 2.1ක් වටිනා මිලිටරි ගුවන්යානා අලෙවි කළ අවස්ථාවේදී, විවිධ නිලධාරීන්ට හා අතරමැදියන්ට එයාබස් සමාගම විසින් ලබාදී ඇති සන්තෝෂම් පිළිබඳව සැබෑ තොරතුරු එළියට ආවේ 2017 අවසානයේදීය. බි‍්‍රතාන්‍යයේ බරපතළ මූල්‍ය වංචා විමර්ශන කාර්යාලය මගින් සිදු කළ සාර්ථක පරීක්ෂණය නිසා, විවිධ පුද්ගලයන්ට පගාව දීමේ වැරැද්ද වෙනුවෙන් ලෝ පතල රෝල්ස් රොයිස් සමාගමට පවුම් මිලියන 671ක දඩයක් ගෙවීමට සිදුවිය. පෙන්ටගනයෙන් මිලිටරි කොන්ත‍්‍රාත්තු තමන්ට වාසි වෙන අයුරින් ලබාගැනීම උදෙසා එහි බලවතුන්ට අත යටින් සන්තෝෂම් පිරිනැමීමේ වරද වෙනුවෙන් 2006 වසරේදී බොයින්ග් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 615ක දඩයක් නියම කෙරිණි. මෙකී ගෝලීය මට්ටමේ සන්තෝෂම් ජාවාරමට තිත තැබීම හිතන තරම් ලෙහෙසි නොවන බැව් වටහා ගත් ඇමරිකාවේ හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ඇලන් ග‍්‍රීන්ස්පෑන් වරෙක මෙසේ පැවසීය. ‘‘ දූෂණය, මුදල් වංචා කිරීම හා යටිමඩි ගැසීම ලොව හැමතැනකම දක්නට තිබෙන පොදු ලක්ෂණයක්. අපි කැමති වුවත්, අකමැති වුවත් මනුෂ්‍යයා ස්වභාවයෙන්ම පගාවට හා සන්තෝෂම්වලට දැඩි ගිජුකමක් දක්වනවා.”

ගෝලීය දූෂණය

ලෝක බැංකුවේ දත්තවලට අනුව, ලොව විවිධ ස්ථානයන්හිදී වාර්ෂිකව ඒ මේ අත ගලා යන සන්තෝෂම් හා පගාවන්හි මුළු වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 1000 ඉක්මවයි. පිලිපීනයේ ෆර්ඩිනන්ඩි මාකෝස්, සයරේ රාජ්‍යයේ මොබුටු සෙසේ සෙකෝ සහ නයිජීරියාවේ සැනි අබාචා වෙන් වෙන් වශයෙන් තම රටවලින් හොරකම් කරගත් මුදල් ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 05 ඉක්මන අතර ඉන්දුනීසියාවේ හිටපු ජනපති සුහර්තෝ එරට භාණ්ඩාගාරයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 35ක් මාටියා ගැසීය. 2010 වසරේදී, එංගලන්තයේ ඔගස්ටා වෙස්ට්ලන්ඞ් සමාගමෙන් හෙලිකොප්ටර් 12ක් මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය එම ආයතනය සමග ගිවිසුමකට එළැඹියේය. 2016 දෙසැම්බර් 09 දින ඉන්දියාවේ හිටපු ගුවන් හමුදාපතිවරයා වන එස්.පී. ත්‍යාගි, ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ යුරෝ මිලියන 556ක් වටිනා මෙකී ගනුදෙනුවෙන් 10%ක අල්ලසක් හෙතෙම උකහා ගත් වග හෙළිදරව් වූ නිසාය. එම සන්තෝෂම හෙතෙම රජයේ නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් සමග බෙදා හදාගෙන තිබුණි. තෙල් අපනයන ආදායමෙන් භාණ්ඩාගාරය වෙත ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියන 20ක්, 2014දී හොරකම් කළේ වෙනින් කවුරුත් නිසා නොව නයිජීරියානු මහ බැංකුවේ අධිපති ලැමිඩෝ සැනුසිය. සංවර්ධනය වෙමින් පවතින රටක නීතිය හා සාමය නියමානුකූලව ස්ථාපිත කොට, වංචාව හා දූෂණය සහමුලින්ම වළකාලීමට යම් ආණ්ඩුවක් සමත් වෙතොත් එම දේශයේ වැසියන්ගේ වාර්ෂික ඒක පුද්ගල ආදායම දිගුකාලීනව හතර ගුණයකින් ඉහළ නැංවිය හැකි යැයි ලෝක බැංකුව පවසයි. සිංගප්පූරුව අධිරාජ්‍යවාදී සිවිල් සේවාව යටතේ පාලනය වුණු අවධියේදී එරට දූෂණය හා වංචාව ඉහළ මට්ටමක පැවතුණි. එහෙත් ලී ක්වාන් යූගේ දරදඬු පාලනය ආරම්භවීමත් සමග එවැනි යටිමඩි ගැසීම් එරටින් දූරිම්භූත වී ගියේය.

රොබට් මුගාබේ

වසර 37ක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් ගේබි‍්‍රයල් මුගාබේ, 2017 නොවැම්බර් 31 දින තම ඉල්ලා අස්වීමේ ලිපිය එරට කතානායකවරයාට භාර දුන්නේ යුද හමුදාව ඔහුට ගෙදර යන්නැයි දුන් පණිවුඩය අකමැත්තෙන් පිළිගනිමිනි. උප ජනාධිපති ඉමර්සන් නැන්ගැන්වා එම තනතුරින් ඉවත් කොට තමන්ට වඩා වසර 40ක් බාල, සිය දෙවැනි බිරිඳ ගේ‍්‍රස් මුගාබේ රටේ නායකත්වයට ගෙන ඒම රොබට් මුගාබේගේ සැලසුම විය. තමාව සිම්බාබ්වේ ජනපති ධුරයෙන් නෙරපා දැමිය හැක්කේ දෙවියන් වහන්සේට පමණක් බැව් කියමින් වරෙක හෙතෙම උදම් ඇනීය. සිය නිල හා නිල නොවන හමුදා කාණ්ඩ යොදවා විපක්ෂයේ හා සිවිල් සමාජයේ ක‍්‍රියාකාරීන්ව තොග වශයෙන් ඝාතනය කළ රොබට් මුගාබේට අවසානයේ ගෙදර යෑම සඳහා පාර කැපුවේද ඔහු වටා සිටි හමුදා නායකයන්මය. මුගාබේට ජනපති පදවිය අහිමිවීමට මාසයකට පමණ පෙර ඔහුගේ 25 හැවිරිදි පුත් බෙලර්මයින් චතුන්ගා, ජොහැන්නස්බර්ග් නගරයේ රාත‍්‍රී සමාජ ශාලාවක් තුළදී පවුම් 200ක් වටිනා ෂැම්පේන් බෝතලයක් සහ පවුම් 45000ක් වටිනා තම අත්ඔරලෝසුව පෙන්වමින් මෙවැනි වදන් පෙළක් සිය මුහුණුපොතේ ලියා තිබුණි. ”රටේම ලොක්කා මගේ පියතුමාය!” එහෙත් ඉල්ලා අස්වීමට ප‍්‍රථම රොබට් මුගාබේ නව ජනපති ඉමර්සන් නැන්ගන්වා සමග අපූරු එකඟතාවකට එළැඹ තිබුණි. වසර 37ක් වූ සිය පාලන කාලය තුළ තමන් සිදු කළ මිනිස් ඝාතන, දූෂණ හා වංචා කිසිවකට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගත යුතුය. තමාගේ හෝ තම පවුලේ අයගේ කිසිදු දේපළකට අත නොතැබිය යුතුය. ඔහු පදිංචි වී සිටින හරාරේහි ‘බ්ලූ රූෆ්’ නමැති මන්දිරයට අයත් සේවක සේවිකාවන් හා ඊට ආරක්ෂාව සපයන හමුදා සෙබළුන් සංඛ්‍යාව පෙර සේම ආණ්ඩුවේ මුදලින් නඩත්තු කළ යුතුය. ධුරය අතහැරීමේ පැකේජය ලෙස බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 7.5ක් රොබට් මුගාබේ වෙත නව ජනපතිවරයා තිළිණ කළේය. ඊට අමතරව බි‍්‍රතාන්‍ය පවුම් 112,500ක මාසික වැටුපක්ද, හිටපු රාජ්‍ය ප‍්‍රධානියෙකුට හිමිවන පූර්ණ ආරක්ෂාවද මුගාබේට ලැබෙයි. මුගාබේ මියගියහොත් එම වැටුපෙන් අඩක් මාස්පතා ඔහුගේ බිරිඳට ලැබෙනු ඇත.

රට කොල්ලකෑම

2009 වසරේදී සොයාගනු ලැබූ මරන්ගා දියමන්ති ආකරය, හමුදාව යොදවා පාලනය කරමින් ඉන් ඩොලර් බිලියන ගණන් හොරාකෑමට රොබට් මුගාබේ ක‍්‍රියා කළේය. දියමන්ති අලෙවි කොට ලැබූ මුදල්වලින් තඹ දොයිතුවක් හෝ රටේ භාණ්ඩාගාරය වෙත නොයැවිණි. සිම්බාබ්වේහි විරැුකියා අනුපාතය 80%ටත්, උද්ධමනය සියයට බිලියන 500 දක්වාත් ඉහළ ගියේ මුගාබේගේ පාලනය යටතේය. අද මෙම ‘නීල හොරා’ හිටියාටත් වඩා හොඳින් තම ‘බ්ලූ රූෆ්’ මන්දිරයේ සුවසේ වෙසෙනු දැකිය හැකිය. 2015 ජනවාරි 08 දින, හොරුන්ගෙන් තොර ශ‍්‍රී ලංකාවක් පතමින් යහපාලන ආණ්ඩුවට ඡුන්දය දුන් ජනතාව මේ වනවිට නන්නත්තාර වී සිටීයැයි පැවසීය අතිශයෝක්තියක් නොවේ. 2014දී ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු දැරූ බදු බර රුපියල් 50,000කි. 2017 වනවිට මෙය රුපියල් 81,000ක් දක්වා ඉහළ ගොස් ඇත. 2015දී රටේ ඒක පුද්ගල වැයබර රුපියල් 373,462ක් විය. 2016 අවසානය වන විට මෙය රුපියල් 417,913 දක්වා ඉහළ ගියේය. පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමෙන් පසු ඒවාට පත්වුණු සභිකයන්ගේ සංඛ්‍යාව දෙගුණයක් බවට පත්විය. ඉතින් හොර-මැරකම් අතින් මුගාබේ පවා පරදවන මේ අය නඩත්තු කිරීම පිණිස තව තවත් බදු ගෙවීමට දැන් අපි සූදානම් විය යුතුය.