රාවය

ආර්ථිකය දෙදරා යෑම සහ ප‍්‍රතිකර්මය

ආර්ථිකය දෙදරා යෑම සහ ප‍්‍රතිකර්මය

විපුල කරුණාතිලක

ඕනෑම ආණ්ඩු වෙනසක් සිදුවන්නේ ප‍්‍රතිවාදී පාර්ශ්වය පවතින ආණ්ඩුවේ දුර්වලතා විවේචනය කරමින් ගොඩනගන අදහස් පද්ධතිය (දෘෂ්ටිවාදය) මගිනි. රාජපක්ෂ පාලනයට එරෙහිව මෛත‍්‍රී රනිල් පාර්ශ්වය ඉදිරිපත් කළ අදහස් පද්ධතියේ සාරය වූයේ පැවති දූෂිත පාලනය වෙනුවට දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානව අයිතිය ගරු කරන යහපාලන සාරධර්ම මත පාලනය වන සමාජ සාධාරණය සුරක්ෂිත කරන පාලනයක් වෙනුවෙන් පෙනී සිටින බවය. රාජපක්ෂ රෙජීමය එයට ප‍්‍රතිපක්ෂව ඉදිරිපත් කළ අදහස් පද්ධතිය වූයේ දෙමළ ඩයස්පෝරාවෙන් එන තර්ජනයත් යුරෝපය පුරා සිටින එල්ටීටීඊ සාමාජිකයන්ගේ තර්ජනයන් රට බෙදීයෑමේ අවදානමක් පදනම් කරගත් භීතියයි. 2015 මැතිවරණයේ රාජපක්ෂ රෙජීමය පරාජය වී මෛත‍්‍රී රනිල් කණ්ඩායමේ අදහස් පද්ධතිය ජයග‍්‍රහණය කළේය. 2018 පළාත් පාලන මැතිවරණයේදී නැවත වරක් මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ අදහස් පද්ධතිය ජයග‍්‍රහණය කළේය. මෙයට බලපෑ හේතුව කුමක්ද? සරලම පිළිතුර ජයග‍්‍රහණය සඳහා යොදා ගන්නා අදහස් පද්ධතිය (දෘෂ්ටිවාදය) හා ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් අතර ඇතිවන නොගැළපීම ඡන්දදායකයන් අවබෝධ කරගන්නා ප‍්‍රමාණයයි. මෙම නොගැළපීම දෘශ්‍යමාන නොවන තෙක් ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් ඇති නොවේ. ආණ්ඩුවේ පැවැත්ම අභියෝගයට ලක් කළ ආණ්ඩුවේ දෘෂ්ටිවාදය හා ක‍්‍රියාකාරකම් කීපයක් සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කළ ප‍්‍රධාන චෝදනාවක් වූයේ සාර්ව ආර්ථිකය අස්ථාවර කිරීම හා දේශපාලන බලය රැුකගැනීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය යොදාගත් බවයි. මෙය ස්ථාවර කිරීම ආණ්ඩුවේ අභිප‍්‍රාය බව මුල්ම අයවැය කතාවේද සඳහන් කර තිබුණි. එහිදී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනය සාපේක්ෂව වැඩි කිරීම වෙනුවෙන් බදු ප‍්‍රතිපත්තිය සකස් කිරීම, අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 3.5% මට්ටමකට පවත්වා ගැනීම, රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදනයට සාපේක්සව 5% පවත්වා ගැනීම අරමුණු කළේය. ඒ එසේ වුවද ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ පවතින අනවබෝධය නිසාම අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය. අගමැතිතුමා මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් යම් යම් යෝජනා ගෙන එනවිට යම් මහජන විරෝධයක් මතුවීම සඳහන් කොට ජනාධිපතිතුමා විසින් හකුළා දැමීමක් සිදුවිය. අවුරුදු 18කට ආසන්න කාලයක් රටේ මූල්‍ය පාලනය කර තිබුණණේ ආචාර්ය පී.බී. ජයසුන්දර විසිනි. 1995 වර්ෂයේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක් වූ අතර 2014 වන විට එය 12% දක්වා අඩු කිරීමට ලක්ව තිබුණි. එම අවදානම ආණ්ඩුව හඳුනාගෙන තිබුණත් ජනාධිපති හා අගමැති දෙපැත්තට අදින ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා එය පිළිතුරු සෙවීම කල් ගියේය. මේ නිසාම ලංකාවට ආයෝජනය කිරීමට එන පිරිසද බෙහෙවින් අඩුවිය. එක් අවුරුද්දක අපේක්ෂා කළ ඩොලර් බිලියන 05 වාර්ෂික ආයෝජනය පසුගිය අවුරුදු 03 තුළ සපුරා ගැනීමට නොහැකි විය. අපේක්ෂා කළ මට්ටමට රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට නොහැකිවීම නිසා රාජ්‍ය ආයෝජන හැකියාව වසරින් වසර අඩුවිය. උදාහරණයක් ලෙස අධ්‍යාපනය සඳහා අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදනය 2%ක්වත් වෙන් කිරීමට නොහැකි වී ඇත. මැතිවරණ අවස්ථාවේ ප‍්‍රකාශ වූයේ එය 6% මට්ටමට ගෙන එන බවය.

ග‍්‍රාමීය ප‍්‍රදේශවල ආණ්ඩුවේ පරාජයට බලපෑ ප‍්‍රධාන හේතුව වූයේ කෘෂිකාර්මික පවුලක උපන් දරුවකු වූ ජනාධිපතිතුමාට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ඇතිවූ අර්බුදය විසඳීමට නොහැකිවීමය. තවමත් ලංකාවේ ශ‍්‍රම බලකායේ 30% ආසන්න ප‍්‍රමාණයක් යෙදී සිටින්නේ කෘෂිකර්මය ආශ‍්‍රිත රැකියාවලය. දැනටමත් රටේ අවම ආදායමක් ලබන පිරිස නියෝජනය කරන්නේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේය. ඒ පිරිසට අවශ්‍ය කෘෂි ව්‍යාප්ත සේවා පවත්වාගෙන යෑමට ආණ්ඩුව අපොහොසත් විය. පොහොර සහනාධාරය කෙසේ වුවද අවශ්‍ය වේලාවට වැඩි මිලට හෝ පොහොර සැපයීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැත. පසු අස්වනු කළමනාකරණය හා අස්වැන්න සඳහා රජයේ සහතික මිලක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ නැත. ගොවීන්ට සිදුවූයේ අස්වැන්න අඩු මිලට විකිණීමටය. මේ තත්ත්වය වී ගොවියාට මෙන්ම අල ගොවියාටද බලපෑවේය. ඊට අමතරව කෘෂි රක්ෂණ හා ගොවි විශ‍්‍රාම වැටුප් ක‍්‍රම තුළද යම් සාධනීය වෙනසක් කිරීමට ආණ්ඩුව අපොහොසත් විය.

රැකියා ලක්ෂ 10ක් බිහිකිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වූයේය. අපේක්ෂා කළ මට්ටමට ආණ්ඩුව රැුකියා බිහි කළ නොහැකිවීම යථාර්ථයක් වුවත්, දැනටමත් අවිධිමත් රැුකියාවල යෙදී සිටින අයවලූන්ගේ සේවා කොන්ත‍්‍රාත් විධිමත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබුණි. දැනට ශ‍්‍රම බලකායෙන් 50%ක් පමණ ප‍්‍රමාණයකට කිසිදු සමාජ ආරක්ෂණයක් නොමැත. බහුතර පිරිසකට සේවා කොන්ත‍්‍රාත්තුවක් පවා නොමැත. ඉහත සඳහන් කළ පිරිස සේවක භාරකාර අරමුදලින් ආවරණය ලබන්නේ නැත. මෑන් පවර් සේවකයන් ලෙස හඳුන්වන මේ පිරිස බොහෝවිට ඉතාම අවම වැටුපකට කිසිදු කම්කරු අයිතිවාසිකමක් නොලබා පැය 18-24 වැඩමුරවල යෙදී සිටින බව දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයකි. ඊට අමතරව රටේ ශ‍්‍රම බලකායේ ලක්ෂ 17කට ආසන්න ප‍්‍රමාණයක් විගාමික ශ‍්‍රමිකයන් ලෙස සේවය කරයි. මෙයින් 80%ක පමණ ප‍්‍රමාණයක් ඉතාම අඩු වැටුපකට මැදපෙරදිග සේවය කරයි. අඩු වැටුපකට සේවය කළත් මේ පිරිස රටේ දළ දේශීය නිෂ්පාදනයට 10%ට ආසන්න දායකත්වයක් සපයයි. රටේ විදේශ සංචිත තර කිරීමේ ප‍්‍රධාන කර්මාන්තය වී ඇත්තේ මෙයයි. මේ පිරිස වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක‍්‍රමයක් ගොඩනැගීමට ආණ්ඩුව අපොහොසත්වීම නිසා ආණ්ඩුව හා විශ‍්‍රාමික ශ‍්‍රමිකයන් අතර ඇත්තේ දුරස්ථ බවකි.

සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුවේ යම් කැපකිරීමක් පෙන්නුම් කළත් එය ජාත්‍යන්තර මැදිහත්වීම මත පමණක් සිදුවන බව නිරීක්ෂණය කළ හැකිය. සංහිඳියාව සඳහා අවශ්‍ය ප‍්‍රධාන සාධකය වනුයේ උතුරේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමයි. ඒ වෙනුවෙන් කළයුතු ප‍්‍රධානම කාර්යය වනුයේ දැනටමත් ආණ්ඩුව විසින් රඳවාගෙන සිටින උතුරේ වැසියන්ගේ ඉඩකඩම් ලබාදීම හා නඩු නොමැතිව රඳවාගෙන සිටින ද්‍රවිඩ රැුඳවියන් නිදහස් කිරීමය. ආණ්ඩුව විසින් ලබාදෙන සේවා තවමත් උතුරේ විධිමත්ව සිදුවන්නේ නැත. සහනාධාර බෙදීම සම්බන්ධ තවමත් ඇත්තේ ගැටලූකාරී තත්ත්වයක්ය. තවද උතුරේ ජනතාව වෙලාගෙන ඇති ක්ෂුද්‍ර ණය අර්බුදය විසඳීමට ආණ්ඩුව සමත් වී නැත. උතුරේ සාමාන්‍ය ජනතාවට කර්මාන්ත හා කෘෂිකාර්මික කටයුතු සඳහා ණය පහසුකම් ලබාදී ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුව සමත් වී නැත.

දූෂණ වංචාව අවම කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටියත් ආණ්ඩුවේ පාර්ශ්වයන් වෙතට දූෂණ චෝදනා එල්ල විය. අගමැති ප‍්‍රමුඛ නායකයන්ට යම් යම් ගනුදෙනු සම්බන්ධ චෝදනා එල් විය. රාජපක්ෂ පාලනයට එරෙහි ප‍්‍රධාන දූෂණ විරෝධී ප‍්‍රකාශනය වූ චම්පික රණවකගේ ලේකම්ට පැනමා පත‍්‍රිකා හරහා චෝදනා එල්ල විය. අවසානයේ ආණ්ඩුවේ දූෂණ විරෝධය ආණ්ඩුවේ විරුද්ධවාදීන් මෙල්ල කිරීමේ ආයුධයක්පමණක් බව සාමාන්‍ය ජනතාවගේ පිළිගැනීම විය. දූෂණ වංචා හුදු පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරකම් ලෙස ආණ්ඩුවට හැඳින්වූවා මිස දූෂණ වංචා ඇති කරන ක‍්‍රමය වෙනස් කිරීමේ විධිමත් ක‍්‍රමවේදයක් වෙනුවෙන් පෙනී නොසිටියේය.

අධ්‍යාපනය සම්බන්ධ රටේ තිබෙන ගැටලූව වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා තමන් පුම්බා ගන්නා ක‍්‍රියාවලියකට ගියේය. සිසු රක්ෂණ ක‍්‍රම ඩිජිටල් පන්ති කාමර ශිෂ්‍යයන්ට පරිගණක ලබාදීම අධ්‍යාපන ගැටලූවට විසඳුමක් නොවේය. අද වනවිට අධ්‍යාපනයේ ප‍්‍රධාන ගැටලූව වී ඇත්තේ සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවෙන් 50%කට වැඩි ප‍්‍රමාණයක් ගණිතය හා භාෂාව අසමත්වීමය. ප‍්‍රාථමික අධ්‍යාපනය ඇත්තේ අසමාන තත්ත්වයකය. මුලතිව් දිස්ත‍්‍රික්කයේ හෝ මොනරාගල දිස්ත‍්‍රික්කයේ පළමු වසරට ඇතුළු වන ශිෂ්‍යයන් හා කොළඹ දිස්ත‍්‍රික්කයේ පළමු වසරට ඇතුළු වන ශිෂ්‍යයන් සිටින්නේ අසමාන තත්ත්වයකය. පෝෂණ තත්ත්වයෙන් ගත්තද පහසුකම් අතින් ගත්තත් මේ දෙපිරිස සිටින්නේ අසමාන තැනකය. මේ අසමානකම් සම්පූර්ණයෙන්ම නැති කළ හැකි නොවූවත් මේ වෙනුවෙන් යම් යම් පියවර ගැනීමේ ඉඩක් තිබුණි. මෑතක ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව කළ පර්යේෂණයක සඳහන් වූයේ ලංකාවේ ගණිත හා භාෂාව හැකියාවන් සම්බන්ධ අධ්‍යාපනඥයන්ගේ හිඟය නිසා භාෂාව හා ගණිතය ඉගැන්වීම පුහුණු කිරීමේ අපහසුතාවක් පවතින බවය. සිසු රක්ෂණ ක‍්‍රමය හුදු ඇමතිවරයාට ප‍්‍රචාරක වාසියක් පමණි. ඕනෑම සමාජයක රෝග වැලඳීමේ අවම අවදානම ඇත්තේ දරුවන් හා තරුණ පිරිසටයි. අදාළ රක්ෂණ ක‍්‍රමයෙන් අවම වශයෙන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 0.5%ක්වත් රක්ෂණ වන්දි ලබාගෙන නොමැති බව මේ ලියුම්කරුගේ අදහසයි. රක්ෂණ ක‍්‍රමයකින් ආවරණය විය යුත්තේ වැඩි අවදානම් සහිත අඩු වේතන ලබන රැුකියාවල නියුතු අයවලූන්ය.
ආණ්ඩුව පත්කිරීමට උදව් කළ සිවිල් සමාජ සාමාජිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවේ වරප‍්‍රසාද ලබන පිරිසක් බවට පත්වූහ. සමහර අයෙකුට දූෂණ චෝදනාද එල්ල විය. සමහර සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ඍජුව නොමැති වුවත් තම ඥාතීන් හරහා ව්‍යාපාර ආරම්භ කළහ. සමහර අය ටෙලිනාට්‍යය විකිණීම ආණ්ඩුවේ සංදර්ශන සංවිධානය කිරීම ආදිය සමග ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් කරන ව්‍යාපාරිකයන් පිරිසක් බවට පත්විය. මේ අනුව බොහෝ සිවිල් ක‍්‍රියාකාරිකයන් තමන් සමාජ ආශාව ඇති පිරිසක් නොව ව්‍යාපාරික අභිලාෂයන් ඇති පිරිසක් ලෙස සමාජයට පෙනී ගියේය.

පසුගිය ආණ්ඩුවට එල්ල කළ තවත් ප‍්‍රධාන චෝදනාවක් වූයේ දූෂිත පවුල් පාලනය, රාජපක්ෂ පවුලේ දරුවන්ගේ නොමනා හැසිරීම හා දරුවන්ගේ අසමාන කුසලතාවයි. මේ තත්ත්වය විවේචනය කළ සිරිසේන මහතාද තමන්ගේ පත්වීමත් සමග ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස තම සොයුරු පත් කළේය. ටෙලිකොම් සමාගමේ බොහෝ වෙළෙඳ දැන්වීම් දියණියට අයිති ආයතනයකින් සිදුකරන බවට චෝදනා එල්ල විය. හදිසියේම ජනාධිපති දියණිය දක්ෂ ග‍්‍රන්ථ කතුවරියක් බවට පත්වූවාය. ජනාධිපති පුතණුවන්ද සමාජ ශාලාවට කඩා වැදී කලබල කරන්නෙකු ලෙසද චෝදනා එල්ල විය. සාමාන්‍ය ජනතාවට රාජපක්ෂ පාලනය හා රනිල් මෛත‍්‍රී පාලනයේ පැහැදිලි වෙනසක් ලකුණු කිරීමට නොහැකි විය.

ඇමතිවරුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාවද රාජපක්ෂ යුගයට පමණක් දෙවැනි විය. දැවැන්ත මූල්‍ය අර්බුදයක් පවතිද්දී ඇමතිවරුන් සියලූදෙනාම පාහේ අතිසුඛෝපභෝගී වාහන තම අමාත්‍යාංශය වෙනුවෙන් ගෙන්වා ගත්තේය. මීතොටමුල්ල කුණු කන්ද නායයන අවස්ථාවේ ජනාධිපතිට අයත් අමාත්‍යාංශයන් වෙත බීඑම්ඩබ්ලිව් 7 Series වාහන දෙකක් මිලදී ගෙන තිබුණි. බොහෝ ඇමතිවරුන් පාවිච්චි කරන වාහන යොදා ගත්තේ යුරෝපයේ හෝ ඇමරිකාවේ කාල කලාප 02ක් පමණ දුර ගමන් කිරීම සඳහාය. ඇමතිවරු තමන්ගේ සුඛවිහරණය කොතරම් සිතුවේද යන්නට හොඳම උදාහරණය වන්නේ හදිසි වෛද්‍ය පරීක්ෂාවකට රාජිත සේනාරත්න ජනාධිපති අරමුදලින් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන නතර වූයේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝලේය. රාජපක්ෂ යුගය කෙහෙළිය රඹුක්වැල්ල වැනි ඇමතිවරු ජනාධිපති අරමුදලින් මුදල් ගෙන ජාත්‍යන්තර රෝහල්වල ප‍්‍රතිකාර ගැනීම එකල විවේචනයට ලක්විය.

ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් සම්බන්ධ යම් හරස්කඩක් ඉහත අදහස් තුළ දැක්වුවත් ජනතාවට යම් බලාපොරොත්තුවක් ඇති කිරීමට ආණ්ඩුවට තවමත් කාලය ඉතිරි වී ඇත. ඒ සඳහා අවශ්‍ය නිහතමානීකම හා කැපකිරීම ආණ්ුව විසින් පෙන්නුම් කළ යුතුය. රාජපක්ෂ කණ්ඩායම විසින් පෙන්වන රට බෙදීයෑමේ හා යුරෝපයේ එල්ටීටීඊ සංවිධානය සම්බන්ධ ඇති කරන භීතිකාව පරාජය කළ හැකිවන්නේ විධිමත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ මත පදනම් වන සමාජ ක‍්‍රමයක් පිළිබඳ අදහස සමාජයට සන්නිවේදනය කිරීම තුළින් පමණි.