රාවය

වද කහ සුදියෙන් ‘වඳ බෙහෙත්’ භීතිකාවටථ අපේ විචාර බුද්ධිය කොයිබටද?

වද කහ සුදියෙන් ‘වඳ බෙහෙත්’ භීතිකාවටථ  අපේ විචාර බුද්ධිය කොයිබටද?

‘‘වඳ බව ඇති කිරීමට බෙහෙතක් තවම සොයා ගෙන නෑ වගේම මෝඩකම නැති කිරීමටත් බෙහෙත් නෑ!’’

සමාජ මාධ්‍යවල මා ඉහත ප‍්‍රකාශය කළේ අම්පාරේ කලබලකාරී සිදුවීම්වලින් පැය 48ක් ඇතුළතයි.

මුස්ලිම් හිමිකාරිත්වය ඇති හෝටලයක අලෙවි කරන කෑමවලට හොර රහසේ වඳභාවය ඇති කළ හැකි යම් රසායනයක් එකතු කරනවා යයි බොරු භීතිකාවක් පැතිර යාම එම ප‍්‍රචණ්ඩත්වයට මුල් වූ බව මාධ්‍ය වාර්තා කළා.

මීට පෙරද කිහිප අවස්ථාවක ‘‘වඳ බෙහෙත්’’ ඇඳුම්වලට තැවරීම, රස කැවිලිවලට මුසු කිරීම ආදී කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ නොයෙක් ව්‍යාපාරික ආයතන සම්බන්ධයෙන් පැතිර ගියා.

මේවා ගොතා පතුරුවන්නේ ව්‍යාපාරික තරගකරුවන් හෝ අන්තවාදී ජාතිවාදීන් විය හැකියි. කවුරුන් කුමක් කීවත් සිහි බුද්ධියෙන් විමසා බලා ග‍්‍රහනය කර ගැනීමේ හැකියාව අපේ බොහෝ දෙනකුට නැති බව මේ ප‍්‍රලාපයන් පැතිර යන වේගයෙන් අපට සිතා ගත හැකියි.

සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසින්හ නිල ප‍්‍රකාශයකින් මෙසේද කියා සිටියා: ‘‘ මනුෂ්‍යයන් සම්බන්ධව සළකන විට වෛද්‍ය විද්‍යාත්මකව වන්ධ්‍යාකරණය ලෙස සැළකෙන්නේ ප‍්‍රජනන හැකියාව සදාකාලිකව අහිමි කිරීමයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යාකරණය සඳහා ඇති එකම ක‍්‍රමය ශල්‍යකර්මයකි. කාන්තාවන් සඳහා LRT සැත්කමද පුරුෂයන් සඳහා වාසෙක්තමි සැත්කමද වේ. වන්ධ්‍යාකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධමය ක‍්‍රමයක් නොමැත.”

එහෙත් මේ විද්වත් හෝ නිල ප‍්‍රකාශ පිළිගන්නවා වෙනුවට අවිද්‍යාත්මක කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ ඇදහීමට රිසි පිරිසක් මෙරට සිටිනවා.

රටේ ජනගහනයෙන් තුනෙන් එකක් ඉන්ටර්නෙට් භාවිත කරන නිසා දැන් මේ බොරු බේගල් සමාජ මාධ්‍ය හරහාද ඉක්මනින් පැතිර යනවා. එය සමාජ මාධ්‍යවල වරදක් නොව එම වේදිකා භාවිත කරන සමහරුන්ගේ අවිචාරශීලී කි‍්‍රයාකාරිත්වයයි.

වඳබව පිළිබදව දුර්මත හා බේගල් සමාජ මාධ්‍ය හරහා කඩිනමින් ගලා ගියාට සමාන්තරව ඒවායේ ඇත්ත නැත්ත හෙළි කරන විග‍්‍රහයන්ද එම මාධ්‍ය හරහාම සංසරණය වුණා.

සමාජ මාධ්‍ය සමාජ යහපතට භාවිත කිරීම සම්බන්ධයෙන් පෙරමුණේ සිටින ලාංකික වෘත්තිකයකු වන විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ.ගමගේ මේ අතර කැපී පෙනුණා. වෛද්‍ය ගමගේ වඳ බෙහෙත් කියා දෙයක් නැති බව විද්‍යාත්මකව විස්තර කරන අතරේ, වඳ බෙහෙත් කථාවලට රැවටුණු අය හාස්‍යයට ලක් කරන, ඔවුන්ගේ අවිචාරශීලී මෝඩ බව හුවා දක්වන රූපමය වෙබ් මීම් (web memes) ගණනාවක්ද ෆේස්බුක් හා අනෙක් සමාජ මාධ්‍ය හරහා පුළුල්ව බෙදා ගැනුණා. එහෙත් අසත්‍යයට, අර්ධ සත්‍යයට, කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධවලට අපේ ඇත්තන්ගේ නැඹුරුව වැඩියි. ඒ නිසා වැඩිපුර ඉක්මනින් හා ජවයකින් පැතිර යන්නේ බොරුව හා ප‍්‍රබන්ධ මිස සත්‍ය හා විචාරශීලී විග‍්‍රහයන් නොවෙයි.

මෙය කණගාටුදායක වුවත් අද ලක් සමාජයේ ගති සොබාවයි. උගත්කම කොතරම් තිබුණත් සමහර වෘත්තිකයන් පවා මේ ප‍්‍රබන්ධ සැබෑ ලෙසින් අදහමින් පතුරුවා යවන සැටි ෆේස්බුක්හි හොඳට දැකිය හැකියි.

වඳ බව හෙවත් දරුවන් බිහි කිරීමේ ප‍්‍රජනන හැකියාව නැති වී යාම පිළිබද බිය අපේ මහජාතියේ පමණක් නොව ලොව වෙනත් ජන සමාජවලටද හමු වන්නක්.උත්ප‍්‍රාසයට හේතුවක් නම් මුස්ලිම් ජනයා අති බහුතරයක් සිටින පාකිස්ථානය වැනි රටවලද මෙම භීතිය පැවතීමයිෟ 2013 පෙබරවාරි 10 දා කොලමින් මා මේ ගැන විග‍්‍රහයක් කළා.

මුළු ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමේ දැවැන්ත ප‍්‍රයත්නයක අවසන් අදියරට පිවිස සිටින මේ අවස්ථාවේ පෝලියෝ හමු වන රටවල් තුනක් ඉතිරිව තිබෙනවා. එනම් නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය. 2017දී අලූත් පෝලියෝ රෝගීන් 8 දෙනකු පාකිස්ථානයෙන් සොයා ගනු ලැබුවා. මේ මට්ටමට පෝලියෝ පාලනය කර ගත්තේ දශක ගණනාවක සිට පාකිස්ථානු රාජ්‍ය සෞඛ්‍ය සේවය හා ස්වේච්ඡු සංවිධාන විසින් කරගෙන ආ ප‍්‍රතිශක්තීකරණය නිසා. එහෙත් සමහර දෙමවුපියන් තම දරුවන්ට පෝලියෝ එන්නත දීම ප‍්‍රතිකේෂ්ප කරනවා. එයට හේතුව පෝලියෝ එන්නත ‘‘ඉස්ලාම් ජාතිය වඳ බවට පත් කරන්නට බටහිර රටවලින් ක්‍‍්‍රියාත්මක කුමන්ත‍්‍රණයක්” යැයි රාවයක් පැතිරීම!

කිසිදු විද්‍යාත්මක සත්‍යතාවක් නැති මේ කටකථාව මත එල්බ ගෙන තම දරුවන් භයානක පෝලියෝවට ගොදුරු වන්නට ඉඩ දෙන තරමට සමහර දෙමවුපියන් එය අදහනවා! යහපත් සෞඛ්‍යයට අවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක් වන අයඞීන් ලූණුවලට මිශ‍්‍ර කොට බෙදා හැරීම ලොව පුරා කි‍්‍රයාත්මක වන මහජන සෞඛ්‍ය උපක‍්‍රමයක්. එහෙත් පාකිස්ථානයේ ග‍්‍රාමීය මෙන්ම නාගරික පවුල් ලක්‍ෂ ගණනක් මෙම අයඞීන් මිශ‍්‍රිත ලූණු භාවිත කිරීම ප‍්‍රතික්‍ෂේප කරනවා. හේතුව? මෙය තමන් වඳ බවට පත් කිරීමට අමෙරිකානු කුමන්ත‍්‍රණයක් බවට පැතිර ගිය අමූලික බොරුවක් ඔවුන් විශ්වාස කිරීමයි!

මුස්ලිම් කුමන්ත‍්‍රණයක් තමන් වඳ බවට පත් කරන්නට බෙහෙත් කවන බව සමහර මෝඩ ලාංකිකයෝ විශ්වාස කරනවා. ඒ අතර පාකිස්ථානයේ ලක්‍ෂ ගණනක් මුස්ලිම් භක්තිකයෝ එම භීතියම හිසට ගෙන, එයට වගකිව යුත්තේ අමෙරිකානුවන් යයි චෝදනා කරනවා.

මුග්ධ භාවයට දේශ සීමා නැහැ. රට ලෝකය ගැන හරිහැටි නොදත් අමෙරිකානුවන්ද එමට සිටිනවා. තමන්ට නොයෙක් ආකාරයේ වින කරන්නට මුස්ලිම්වරුන්, චීනුන් හා වෙනත් පිටස්තරයන් කැසකවන බව අදහමින් කලබලයට පත් වන අමෙරිකානුවන් ලෙහෙසියෙන් සොයා ගත හැකියි.

ශී‍්‍ර ලංකාව, පාකිස්ථානය, අමෙරිකාව එකිනෙකට බෙහෙවින් වෙනස් රටවල් තුනක්.මේ සමාජ තුනෙහිම බොරු භීතිකා පැතිර යන විට එයින් අවස්ථාවාදීව ප‍්‍රයෝජන ලබන පිරිස් සිටිනවා.

වෘත්තීය දේශපාලකයන් එයින් එක් කොටසක්. බිල්ලෙක් මවා පා, අවිචාරශීලී ජනයා බියට පත් කොට ඉනික්බිති එම බිල්ලාගෙන් ජනයා ‘‘මුදා ගන්නට’’ පොරොන්දු වන ‘ගැලවුම්කාරයන්’ ලෙස තම ප‍්‍රතිරූපය තර කර ගන්නා දේශපාලකයෝ එමට සිටිනවා.

එයට අමතරව මේ බිල්ලන්ගෙන් ජනයා රැක ගැනීමට ඡුන්දයෙන් පත් වන රජයන්ට නොහැකි යයි ද ඒ නිසා රාජ්‍ය බලය තමන්ට දෙන්නට යයි ද කියන අරාජික අන්තවාදී පිරිස් ද විශේෂයෙන් පාකිස්ථානයේ සිටිනවා.

මානව දේහයේ කි‍්‍රයාකාරිත්වය ගැන හෝ රසායන විද්‍යාව ගැන හෝ කිසිවක් නොදන්නා අය වඳ භීතිකා හරහා කලබලයට පත් කළ හැකියි.

අභව්‍ය දේ අවිචාරශීලීව පිළිගෙන සාමූහිකව ලක් සමාජය අයාලේ ගියේ අද ඊයේ පමණක් නොවෙයි.

1955 පූර්ණ සූර්යග‍්‍රහනයක් ලංකාවට දිස් වූ අවස්ථාවේ ලස්සන වන්නට නම් වද කහ මිශ‍්‍රිත පානයක් බීම නිර්දේශ කළ ජ්‍යොතිෂවේදියෝ මෙන්ම එය හොදහැටි ප‍්‍රචාරණය කළ මාධ්‍යද සිටියා. සූර්යග‍්‍රහණය දවසේ වද කහ බී, රෝගාතුරව ආ අයගෙන් රෝහල් පිරී ගිය බව වාර්තා ගතයි.

වසර 60කට වැඩි කලක් ගත වී ඇතත්, අධ්‍යාපන මට්ටම් ඉහළ ගොස් තොරතුරු ප‍්‍රභවයන් ප‍්‍රචලිතව තිබෙන අද පවා සෞඛ්‍යය පිළිබද පට්ටපල් බෙරුවකින් මුලාවන, කැළඹෙන ලක් ජන සංඛ්‍යාව තවමත් ඉහළ ප‍්‍රතිශතයක් ගන්නවා.

මෙය ‘වඳ බෙහෙත්’වලට පමණක් සීමා වී නැහැ. ඝර්ම කලාපීය වැසියන් වන අපේ සමෙහි සොබාවික දුඹුරු හෝ කාල වර්ණය වඩාත් පැහැපත් කර ගන්නට, නැතහොත් සුදු වන්නට උදවු වනවාය කියන කී‍්‍රම් වර්ග වෙළෙදපොළේ හොදට අලෙවි වනවා. මේ කිසිවකින් උපන් වර්ණය වෙනස් කළ නොහැකි බවත්, ඒවා දිගුකාලීන භාවිතය සෞඛ්‍යයට අහිතකර බවත් බොහෝ දෙනා වටහා ගන්නේ නැහැ.

ඖෂධවේදීන්ගේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණයට නතු නොවී අලෙවි කැරෙන නොයෙක් ප‍්‍රතිකර්මවලට (quick fixes)  විශාල ඉල්ලූමක් තිබෙනවා. ඖෂධවලට අමතරව ඉනා බෙහෙත්, වශීකම්, ගුරුකම් ඇතුලූ ගුප්ත සේවාවලට ලාංකිකයෝ වාර්ෂිකව රුපියල් බිලියන ගණනක් පෞද්ගලික ධනය වියදම් කරනවා.

මේ විශ්ව ශක්ති, ගුප්ත සේවාවලින් කුඩා කොටසක්වත් සැබෑ නම් මහජන සෞඛ්‍ය සේවා සදහා වාර්ෂිකව අයවැයෙන් වෙන් කරන අතිමහත් මහජන බදු මුදල් කන්දරාව අඩු කර ගත හැකියි නේද? හාස්කම්වලින් ලෙඩ සුව කරනවා යයි කියන අයට රෝහලක් බාර දී අභියෝගයක් කළ නොහැකිද?

මෙවැනි තර්කවලින් විචාරශීලී අපට තාවකාලික හාස්‍ය රසයක් ලැබුණත් මෙහි බරපතළ ඛේදවාචකයක් තිබෙනවා. මෝඩකමට එරෙහිව ඇති එකම ප‍්‍රතිකාරය වන විචාරශීලී චින්තනය අපේ සමාජයේ දුර්ලභ වීමයි.

දේශපාලන වංචනිකයන්, ගුප්ත ශාස්ත‍්‍ර හරහා බඩවඩා ගන්නා ව්‍යාපාරිකයන් මෙන්ම තාවකාලික ප‍්‍රමෝදයක් සඳහා ජනයා කලබල කිරීමට කටකථා පතුරුවන්නන්ද ඕනෑම සමාජයක සිටිය හැකියි. මෙකී නොකී අයගෙන් බේරී සිටීමට ඕනෑම දෙයක් විචාරශීලීව සිතා බැලීමේ හැකියාව සමාජයක බහුතරයක් දෙනාට ලබා දීමයි වැදගත්.

විධිමත් අධ්‍යාපනයෙන් හෝ ජනමාධ්‍යවලින් හෝ තර්කානුකූලව සිතන්නට, වංචනිකයන්ට හසු නොවී ජීවත්වන්නට අත්වැලක් නොලැබීමයි. විද්‍යාව පොතෙන් උගන්නා අයද විෂය කරුණු කටපාඩම් කොට විභාග සමත් වනවා මිස ඒ ක‍්‍රමවේදය ජීවිතයට අදාල කර ගන්නේ යන්තමින්.
‘වඳ බෙහෙත්’ හා වෙනත් ප‍්‍රබන්ධ කථා ගැන අදහන්නෝ බිහි වන්නේ මේ අසාර්ථක අධ්‍යාපන ක‍්‍රමය හා වගකීම් විරහිත මාධ්‍යකරණය හරහායි.

එක් පිරිසක් ‘වඳ බෙහෙත්’ ගැන බොරු පතුරුවන අතර තවත් පිරිසක් බැලූ බැල්මට වඩාත් බුද්ධිමත් යයි පෙනෙන ආකාරයට සූක්‍ෂම ආකාරයේ වෙනත් ප‍්‍රබන්ධයන් පතුරුවනවා.

තවත් වසර 100කින් මෙරට ජනගහනයේ මහ ජාතිය හෙවත් සිංහල බහුතරය සුළුතරයක් වේය යන්න මෙසේ සමාජගත වී ඇති බොරුවක්. එය පතුරුවන්නෝ ජන සංගණන සංඛ්‍යා ලේඛන සූක්‍ෂම ලෙස විකෘති කරනවා. නැතහොත් වර්තමාන සත්‍ය දත්ත මත පදනම් වී අභව්‍ය ලෙස හා සටකපට ලෙස ඒවා අනාගතයට වැරදියට ප‍්‍රක්‍ෂේපනය කරනවා.

2012 ජන සංගණනයෙන් පසු මෙවැනි විකෘති කිරීම් ගණනාවක් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලද පළ කරනු ලැබුවා. සිංහල ජාතියේ මුර දෙවියන් ලෙස පෙනී සිටින සමහර දේශපාලකයන් මේ විපරීත විග‍්‍රහයන් ජනනය කිරීමේ පෙරමුණේ සිටියා.

මේ සංඛ්‍යා ලේඛන අපහරණය හෙළිදරවු කරමින් මා මිත‍්‍ර ඉංජිනේරු හා ලේඛක චානුක වත්තේගම 2014 සැප්තැම්බරයේ හොඳ විග‍්‍රහයක් කළා. මේ එයින් උපුටාගත් කොටසක් :

”හුදෙක් දේශපාලන වාසි පිණිසම වර්තමානයෙහි වැපිරෙන මිථ්‍යාවෝ නැතකි. ඉන් මුල් තැන ගන්නක් නම් සිංහලයා (හෝ සිංහල බෞද්ධයා) වඳ වෙමින් පවතින ජනවර්ගයක්ය අනාගතයේ සිංහලයා මේ රටේ සුළුතරයක් වන්නේය යන කැත බොරුවයි. ස්වාභිවෘද්ධිය පිණිස දත්ත හා සංඛ්‍යාන විකෘති කරන්ට තමුන්ට ලයිසමයක් ඇත්තාක් සේ හැසිරෙන එක්තරා වර්ගවාදී දේශපාලන නායකයකුට අනුව මේ සිංහලයා අපේ රටේ බහුතරයක් වන අවසාන සියවසලූ!

‘‘ මේ බොරුව කැත වන්නේ ඇයි? මේ බොරුව වපුරන සිංහල වර්ගවාදී දේශපාලන පක්ෂ හා සංවිධාන වල එකම අරමුණ එමඟින් ස්වාභාවයෙන්ම භාවාත්මක හා පැරනුවා සිංහල බෞද්ධ මනස අවුස්සා බියපත් කොට ඒ බිය ස්වකීය දේශපාලන ගමනෙහි ආයෝජනයක් කර ගැනුම නිසාය. මේ බොරුව බිඳිය යුත්තේ එබැවිනි.”

සිවිල් යුද්ධය නිසා රට පුරා ජනයා ගණන් කිරීමට ලක් වූ ජනසන්ගණනයක් 1981න් පසුව පැවත්විය හැකි වූයේ 2011/2012දීයි. මේ නිසා 2011 ජන සංගණනයේ දත්ත සන්සන්දනය කරන්ට වන්නේ 1981 දත්ත සමඟ බවත්, වසර තිහක ජනානුපාත වෙනස සමහර ජන කොටස් බිය ගන්වන සුළු බවත් චානුක කියනවා.

දත්ත විග‍්‍රහ කරමින් ඔහු අසන්නේ මෙයයි: ‘‘ මේ වසර තිහ තුළදී මුස්ලිම් ජනහගණයේ ප‍්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහණයේ ප‍්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප‍්‍රසාරණයක් ඇති ජනවර්ගයක්, ලක්ෂ අටක ප‍්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැයි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන් කමක් වේද?”

සියවසක ජනගහන දත්ත විමර්ශනය කරමින් චානුක මෙසේද කියනවා: ‘‘ පසුගිය වසර සියයක පමණ දත්ත උපයෝගී කර ගෙන විශ්ලේෂණය කිරීමේදී පැහැදිළිව පෙනී යන කරුණු දෙකක් වේ. පළමුවැන්න මේ වසර සියයක කාලය තුළ ප‍්‍රධාන ජනවර්ග තුන අතුරින් කිසිම ජනවර්ගයක ප‍්‍රතිශතය දරුණු ලෙස වෙනස් වීමකට භාජනය වී නැති බවයි. දෙවැන්න ඒ වර්ධන වේගයන් එසේම පවතින්නේ නම් සිංහලයා මෙරට සුළු ජාතියක් වීමේ අවදානම අතිශය සීමිත බවයි. වී ඇත්තේ හා වන්ට ඉඩ ඇත්තේ එහි අනෙක් පැත්තය. එනම් සමහර කුඩා ජනවර්ග වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ දී සිටීමයි.”

1911දී ජනගහනයෙන් 66%ක් වූ සිංහල ජන අනුපාතය, 2011 වන විට ජනගහනයෙන් 75%ක් වී තිබෙනවා. විග‍්‍රහය අවසන් කරමින් චානුක අවධාරනය කරන්නේ මෙයයි:

‘‘ සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයින්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිළිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි. මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී.”
චානුකගේ සම්පූර්ණ විග‍්‍රහය මෙතැනින් කියවන්න: https://www.lankaevoice.com/archives/1553