චන්දිමාල් ස්ථිර වෙයිද?

රජිදු කායශප

2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය තෙක් එක් නායකයෙකු යටතේ කණ්ඩායම තරග කළ යුතු බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවැසුවේ තම තනතුර බාර ගත් අවදියේ ම ය. ඒ වන විට කණ්ඩායම වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ඒමට හතුරුසිංහ කියන ඕනෑ ම දෙයක් කිරීමට කොන්දේසි විරහිතව එකග වීම හැර වෙනත් විකල්පයක් නොමැති වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලකයෝ එම ප‍්‍රකාශයට හිස මුදුනින් පිළිගත් හ.
ඒ වෙද්දී පිට පිට ම ලත් පරාජයන් හේතුවෙන් මැතිව්ස් කණ්ඩායම් නායකත්වයෙන් ඉල්ලා අස් ව තිබුණි. ඒ පසුගිය ජුනි මාසයේ දී ය. එතැන් සිට තිසර පෙරේරා ද නව නායකත්වයේ කටයුතු කෙරුණි. එහෙත් ඔහුගේ ගමන ද එතරම් දීර්ඝ නොවුණි. දිනේෂ් චන්දිමාල් සීමිත පන්දුවාර තරගවල ආසාර්ථක වී කණ්ඩායමට පැමිණීමේ සටනක නියැලී තිබුණි.

මේ අනුව මැතිව්ස්ගේ ඉල්ලා අස්වීම නායකත්ව අර්බුදයක් ද නිර්මාණය කිරීමට සමත් වෙන්නේ ය. හතුරුසිංහගේ පැමිණීමත් සමග ඔහුගේ අදහස් ද සමග ක‍්‍රිකට් පාලකයන් තීරණය කරන්නේ නැවත මැතිව්ස් කණ්ඩායම් නායකත්වයට ගෙන ඒමට ය.

දිගින් දිගට ම ආබාධ තත්ත්වයන් හේතුවෙන් පීඩා වි`දි මැතිව්ස් වෙත මේ තනතුර පිරිනැමීම ඒ වෙද්දී යම් ප‍්‍රශ්නකාරී තත්ත්වයක් වන්නට ඇති. එබැවින් ඔවුන් සිදු කළේ මේ වෙනුවෙන් ම මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට ලක් කිරීම ය.

හාස්කමකින් මෙන් මැතිව්ස්ගේ ආබාධිත තත්ත්වයන් ඒ වෙද්දී සුව ව පවතින්නේ ය. ඒ අනුව මැතිව්ස්, 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය තෙක් එක්දින සහ විස්සයි/20 නායකත්වයට පත් කෙරෙන්නේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් සේ ම ක‍්‍රිකට් ඉහළ නිලධාරීන් ද මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සුව වී ඇති බවට සියයට සියයක් ම විශ්වාස තබා කටයුතු කළා පමණක් නොවේ, මාධ්‍ය ඉදිරියේ ද සඵත වූ හ. හතුරුසිංහ ද මැතිව්ස්ගේ නායකත්වය පිළිගන්නේ ය. නායකත්වය භාර ගැනීම ගැන එවකට මැතිව්ස් පැවැසුවේ හතුරුසිංහගේ ඉල්ලීම අනුව මෙම තනතුර බාර ගැනීම ගැන සලකා බැලූ බවයි.

මනා ශාරීරික යෝග්‍යතාවකින් හෙබි යැයි පැවැසූ මැතිව්ස් නැවත වතාවක් ආබාධිත තත්ත්වයට පත් වෙන්නේ නැවත නායකත්වයට පත් කළ පසු තමන් සහභාගී වූ පළමු තරගාවලිය හෝ අවසන් කිරීමට නොහැකිව ය. මාධ්‍ය හමු පවත්වමින් නැවත නායකත්වයේ භෞතීස්ම කළ මැතිව්ස්ට එසේ වෙන්නේ ඇයි?

පාලකයන් හතුරුසිංහගේ ඉල්ලීමට අනුගත වෙමින් මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ලෝකයට පෙනෙන්නට කර ඇත්ත තත්ත්වය යට ගැසූ බවක් නොවේ ද මින් ගම්‍ය වන්නේ? මේ තත්ත්වය වඩාත් විමර්ශනය ලක් කළ යුතු වන්නේ බංග්ලාදේශ සංචාරයේ දී නැවත ආබාධිත තත්ත්වයට පත් වූ මැතිව්ස් මේ වනවිට නිදහස් කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට ද නොහැකි තත්ත්වයේ පසු වීම නිසා ය.

තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් ලෙසින් ක‍්‍රිකට් පිටියට පිවිසි මැතිව්ස් ක‍්‍රිකට් පිටියේ වඩාත් ම කාර්යශූර ක‍්‍රීඩකයෙක් ලෙසිනි කලක් හැදින් වූයේ. පන්දු යවන්නෙක් ලෙසත්, පිතිකරුවෙක් ලෙසත් ඔහු කෙරෙහි තැබී විශ්වාසය අදටත් ශ‍්‍රී ලාංකීය ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන් තුළ නැත්තේ නොවේ. එහෙත් අවාසනාවන්ත ආබාධිත තත්ත්වය මැතිව්ස්ගේ වර්ථමානය සහමුලින් ම පාලනය කරන තත්ත්වයකට පත් කර ඇති බවකි අපට නම් හැගෙන්නේ.
මේ පාලනය කිරීම කෙසේ ද යත්, 2016 වසරේ සිට මේ දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහභාගී වූ ටෙස්ට් තරග 18න් 8ක් ම මැතිව්ස්ට අහිමි වී ඇත. එක්දින ජාත්‍යන්තර තරගවල දී තරග 40ක දී තරග 24ක් ද සහ ජාත්‍යන්තර විස්සයි/20 තරගවල දී තරග 19ක දී තරග 14ක් ද ඔහුට අහිමි වී ඇත. මේ අහිමිවීම් ඔහුගේ දක්ෂතා නොමැති වීම හේතුවෙන් වූවක් නොව මේ ඔහු වෙළාගෙන ඇති ආබාධිත තත්ත්වයෙන් අහිමි වූවන් ය.

මැතිව්ස්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සහ නායකත්වයේ නිපුණතා සම්බන්ධයෙන් අපට කිසිදු විවේචනයක් නොමැත. දිගින් දිගට ම ආබාධිත තත්ත්වයේ පසුවෙන මැතිව්ස් වෙත වගකීම් පැවැරීමය අප ප‍්‍රශ්න කරනුයේ.

මේ වන විට මැතිව්ස්ගේ ආබාධිත තත්ත්වය හේතුවෙන් නිදහස් කුසලාන තරගාවලියෙන් ඔහු සහමුලින් ම ඉවත් කෙරෙන්නේ ය. ඔහුත් සමග ආබාධිත තත්ත්වයේ සිටින ෂෙහාන් මධුශංක සහ අසේල ගුණරත්න ද නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ.

මේ වනවිට ක‍්‍රියාත්මක අන්තර් ක‍්‍රීඩා සමාජ විස්සයි/20 තරගාවලියේ දක්ෂතා අතරට පැමිණ සිටින මාලිංග තව දුරටත් විමර්ශන කෙරෙන්නේ ය. විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් ශූරතාව මෙරට ට දිනා දීමේ නායකත්වයේ කටයුතු කරනුයේ මාලිංග ය. ඒ නායකත්වය ද අතරමග දී ලැබූව කි.
කෙසේ වෙතත් නැවත නායකත්වයට පත් කෙරෙන්නේ දිනේෂ් චන්දිමාල් ය. එකදින කණ්ඩායමේ හෝ විස්සයි/20 කණ්ඩායමේ ස්ථානයක් පවා නොමැති ව සිටි චන්දිමාල් ය මේ. නිමා වූ බංග්ලාදේශ සංචාරයේ ටෙස්ට් නායකත්වයේ පමණක් සිටි චන්දිමාල් එකී තරග සංචාරයේ එක්දින සහ විස්සයි/20 නායකත්වයට පත් කෙරෙන්නේ මැතිව්ස්ගේ ආබාධිත තත්ත්වයන් හේතුවෙනි. එම තරගාවලි ද්විත්වය ඉතා සාර්ථකව නිමා කරන්නට චන්දිමාල් සමත් වෙන්නේ ය. මැතිව්ස්ගෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක උපුල් තරංගගේ නායකත්වය සේ ම තිසර පෙරේරාගේ නායකත්වය ද අභිබවා යන අයුරින් චන්දිමාල්ගේ නායකත්වය කැපී පෙනෙන්නේ ය. කණ්ඩායමේ වෙනසක් ද දකින්නේ ය. පරාජිත කණ්ඩායමක් දිනන තත්ත්වයට පත් වෙන්නේ ය.

මේ කිසිදු තැනක දී චන්දිමාල්ගේ පිතිකරු දක්ෂතා කරලිගත වෙන්නේ නැත. එබැවින් විය යුතුය, නිදහස් කුසලානයට පෙර පැවැති මාධ්‍ය හමුවේ දී තමන් දක්ෂතා අතරට පැමිණීමට උත්සාහ කරන බැව් පවසන්නේ. එහෙත් නිදහස් කුසලානයේ පැවැති පළමු තරගයේ දී ද චන්දිමාල් පිතිකරුවෙක් ලෙසින් අසාර්ථක වෙන්නේ ය. එපමණක් නොවේ කඩුලූ රකින්නෙක් ලෙසින් ද ඔහුගේ දක්ෂතා පැවැතියේ අවම මට්ටමේ ය.
එසේ වූවත් තරගය ජයග‍්‍රහණය කරන්නේ ය. නායකයෙක් ලෙසින් එහි ගෞරවය චන්දිමාල්ට හිමි වන්නේ ය. මැතිව්ස්ට බැරි වුණ දේ කිරීමට දැන් චන්දිමාල් අත ගසා තිබේ. එබැවින් ඊට පිළිගැනීමක් තිබිය යුතුය.
පුහුුුණුකරු චන්දික හතුරුසිංහගේ අදහස 2019 දක්වා එක් නායකයෙක් යටතේ කණ්ඩායම මෙහෙයවීම නම්, මේ තත්ත්වය යටතේ කළ යුතු වන්නේ එම කාලය තෙක් ක‍්‍රීඩා කළ හැකි ඉතා සුදුස්සෙක් වෙත කණ්ඩායම බාර දීම ය.
ආබාධිත තත්ත්වය හේතුවෙන් කණ්ඩායම් සංචිතයේවත් නොමැති මැතිව්ස් වෙත නායකත්වය තබා ගනිමින් ක‍්‍රිකට් පාලකයන් සිදු කරනුයේ නැවත නැවතත් තම තමන් ම රවටා ගනිමින් මාධ්‍ය ද රැුවටීම ය. ඒ හරහා ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයෝ ද රැුවටීම ය. මැතිව්ස්ට සුව වෙන්නට ඉඩ දී පාලකයන් දැන් කළ යුත්තේ පුහුණුකරු හතුරුසිංහගේ ද අදහස අනුව 2019 ලෝක කුසලානයට සුදුසු ස්ථිර නායකයෙක් නම් කිරීම ය.

දැන් දැන් පෙනෙන තත්ත්වය අනුව නම් විස්සයි/20 ලෝක ශූරතාව දිනා දුන් නායක මාලිංගට නැවත කණ්ඩායමට කැදවීමක් නැත. විස්සයි/20 උප නායකත්වය පත් කළ පසු පැවැති පළමු තරගයේ දී ම සුරංග ලක්මාල්ට හිමි වෙන්නේ බංකුව ය. එබැවින් ඔහුට ද එකී වගකීමේ තැනක් ලැබෙතැයි විශ්වාස කළ නොහැකි ය. උපුල් තරංග සේ ම තිසර පෙරේරා කෙරෙහි ද නැවත නායකත්වයේ සලකා බැලීමක් සිදු කෙරෙතැයි විශ්වාසයක් නැත. ඒ අනුව දැනට කණ්ඩායමේ සිටින ක‍්‍රීඩකයන් අතුරින් ස්ථිර නායකත්වයට සලකා බැලීමේ නාමාවලියේ සිටින එක ම තැනැත්තා වන්නේ දිනේෂ් චන්දිමාල් ය.