යුද්ධ කාලේ ඉන්දියාවට ගිහින් සාම කාලේ ලංකාවට ආවා

අව පැහැ කේඬෑරී සිරුරින් යුතු කුඩා දරුවෙක් ඒ මග දිගේ ඇවිද ආවේ කහ පැහැ පලූ පිරුණු අතු කැබැල්ලක් එක් අතක රඳවාගෙනය. ඔහු යාන්තමින් දසන් දක්වා සිනාසුණේය. තම අක්කා ද කැටුව ඔහු නැවතත් වන වදුල දෙසට පියවර එසවූයේය. ගෙදර බත තුන්වේල නොඉදුණ ද ඔවුන්ට ඒ ගැන එතරම් තැකීමක් නොවූයේ මේ පලූ වාරය බැවිනි. බැලූ බැල්මට ඇතැම් තැන් රක්ෂිතයක් ලෙසම දිස්වන මේ ගම්මානයේ වූ බොහොමයක් පලූ ගස් දැන් කහ පැහැයෙන් වැසිලාය. ඒ ගස් මත නැගී පලූ කඩන ගම්වැසියන්, ගස් යට අල්ලාප සල්ලාපයේ යෙදෙමින් පලූ එකතු කරන ගැහැනුන්, පිරිමින්, දරුවන් ද සුලබ දසුනක් වීය. එහෙත් වන රොදවල් මැදින් වැටුණු මාවත දිගේ මේ ගම්මානය තුළට යද්දී ඇතැම් නිවෙස් තිබූ ස්ථාන තවමත් තිබුණේ කැලෑ රොදෙන්ම වැසිලාය. දැන් වෙඩි හඬ නොඇසෙන, එහිවූ නිස්කලංක පරිසරය මිනිසුන්ට යළි එහි එන්නට කරන ආරාධනය ද නොතකමින් ඇතැමුන් යළි එහි නොපැමිණි බවට දිරා ගොස් තිබූ ඒ බොහෝ නිවෙස් සාක්ෂි දැරුවේය. මේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ කුච්චවේලි ප‍්‍රාදේශීය සභාවට අයත් කල්ලම්පත්තෛ නම් ගම්මානයට පියවර තැබීමකි.

‘‘ 1977 අවුරුද්දේ තමයි අපි මේ ගම්මානෙට ඇවිත් පදිංචි වුණේ. කලබල කාලයේ දකුණේ අය මෙහේ ගෙනත් පදිංචි කළා. ඒ කාලයේ පවුල් සියයක් විතර මේ ගමේ පදිංචි කළා. මම ආවේ අකුරැුස්සේ ඉඳලායි. නුවර, මාතර වගේ දකුණේ අය තමයි ගොඩක් ආවේ. එතකොට අපිට මෙහේ ගෙවල් තිබුණේ නෑ. අපි පැල් අටවාගෙන හිටියා. ගොවිතැන් කරලා ජීවත් වුණා. ඒ කාලයේ වැස්ස තිබුණා. එහෙම ඉන්නකොට යුද්ධය පටන් ගත්තාම ආයේ අපට මෙහේත් ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා. ඉතින් අපි 1990 අවුරුද්දේ හැමෝම ඉන්දියාවට ගියා. මේ ගමේ හැමෝම වාගේ ගියා. අපි මන්නාරමට ගිහින් බෝට්ටුවෙන් තමයි ඉන්දියාවට ගියේ. අවුරුදු 3ක් එහේ කඳවුරුවල ඉඳලා ආපහු ආණ්ඩු මාරු කළාම අපි ලංකාවට ආවා. ඒ 1993දීයි. ඒත් සමහර අය ආවේ නෑ. ඒ ඇවිත් අපිට ආයේ මේ ගමට එන්න විධියක් තිබුණේ නෑ. මොකද ඒ කාලේ හමුදාවේ අය මේ හරියේ හිටියා. හමුදා කඳවුරු නිසා අපට එන්න දුන්නේ නෑ. පස්සේ අපි ත‍්‍රිකුණාමල ඇලස්වත්ත කඳවුරේ හිටියා. එහෙම ඉන්න අතරේ සාම ගිවිසුම් කාලයේ අපි නැවත මේ ගමට ඇවිත් පැල්පත් හදාගෙන ගොවිතැන් කරන්න පටන් ගත්තා. ඒත් ආයේ යුද්ධය ඇති වෙද්දී කඳවුරුවලට යන්න සිදු වුණා.” කල්ලම්පත්තෛ ගම්මානයේ ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති තිරුමෙලෙ සෙල්වරාජා ඔවුන්ගේ ජීවන ගමනේ තොරතුරු එලෙස අප වෙත ඉදිරිපත් කරන්නට මුල පිරුවේය.

ඔවුන් නැවතත් 2006 දී ගම්මානයේ පදිංචියට පැමිණි කාලයේ රාජ්‍ය නොවන ආයතනයකින් නිවාස සාදා දී තිබුණත් වැඩි කලක් ගම්මානයේ රැුඳෙන්නට ඔවුන්ට හිත්පිත් නැති යුද්ධය විසින් ඉඩ ලබාදී තිබුණේ නැත. ඔවුන්ට සිදුවී තිබුණේ නැවතත් කඳවුරුගත වන්නටය. තම නිවෙස් සොයා පැමිණෙන්නට ඔවුන්ට නැවතත් අවස්ථාව හිමිවන්නේ 2009 වසරේ යුද්ධය අවසානයක් දුටු සමයේය. 1977 සිට ඒ දක්වා ඔවුන්ගේ ජීවිතවලට සහනයක් නැවතීමක් තිබුණේ නැත. මරබියෙන් තැන තැන පලා ගොස් සැඟවී සිටිනවා හැරෙන්නට ඔවුන්ට කළ හැකි අන් යමක් ඉතිරිව තිබුණේ නැත.

2009න් පසු කල්ලම්පත්තෛ ගම්මානයට පැමිණි ඔවුන්ට බොහෝ දේ නැවත ගොඩනගා ගැනීමට සිදුව තිබුණි. ගම්මානය නැවත ජීවත්වීමට සුදුසු තැනක් බවට පත්කර ගැනීමට ඔවුන්ට බොහෝ වෙහෙස මහන්සි වෙන්නට සිදුව තිබුණි. නැවතත් ඒ වෙනුවෙන් රජයේ ආයතනවලට යමින් වගකිවයුත්තන්ට ලිපි ලේඛන සකසමින් යවමින් හමුවෙමින් ඔවුන් තවත් සටනක් ගෙනයමින් සිටියහ. ඒ සටනට මුහුණ දිය නොහැකි ඇතැම් පිරිස් නැවත එහි නොආහ. කැලෑ රොදින් වැසී යන ඒ නිවෙස් කල්ලම්පත්තෛ ගම්මානයේ තැන තැන සුලභ දසුනකි. ඒ අතර ජීවත් වෙන්නට තම ගම්මානය ගොඩනගා ගන්නට දිනපතා සටන් කරන මිනිසුන් පිරිසක් ද එහි වෙති.
‘‘ ප‍්‍රශ්න ගොඩකට මැදිවෙලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මිනිස්සු ගමට එන්නත් කැමති නෑ. අපිට ලොකුවටම තියන ප‍්‍රශ්නය තමයි වතුර ප‍්‍රශ්නය. ගමටම පොදු නළ ළිං දහහතරක් තිබුණත් ඒවායින් වැඩ කරන්නේ හයක් විතරයි. හැමෝම බොන්නත් වතුර ගේන්නේ ඒවායින්. වගාවන්ට වතුර දාන්න ක‍්‍රමයක් නැති නිසා මොනවාහරි වගාකරන්නවත් විධියක් නෑ. වගා කළ ඒවා මැරිලා යනවා.” සෙල්වරාජා තම ගෙවත්තේ වගා කිරීමට උත්සාහයක යෙදුණත් මේ වන විට ජල හිඟයෙන් වේලී ගිය තම වගාව පෙන්වූයේය.

‘‘ මගේ ළමයි උසස් පෙළ සමත් වුණා. ඒත් දැන් රස්සා නැතිව ඉන්නවා. පුතාලා කුලී වැඩවලට යනවා. මම යවන්න කැමති නැහැ. ඒත් වෙන මොනවා කරන්නද. ජීවත්වෙන්න මොනවාහරි කරන්න වෙනවානේ. දුව කප්පල්තුරෙයි තියෙන ගාමන්ට් එකකට යනවා. ඒකේ බස් එකක් ඇවිත් එක්ක යනවා. පඩි අඩුයි, වැඩ අමාරුයි. දුකයි තමයි. උදේ පාන්දර ගියාම එන්නේ ?.” ඔහු කියාගෙන ගියේ කනගාටුව රැුඳුණු මුවෙනි. ”ගමේ සමහරු තිරියායේ කුඹුරු වැඩවලට යනවා. සමහරු කුලී වැඩවලට යනවා. ඒ ලැබෙන දේ කන්නවත් ප‍්‍රමාණවත් නෑ. අපි කන්නේත් අඩුවෙන්. මේ ගමේ මිනිස්සුන්ට රස්සා නෑ. වතුරවලට උදව්වක් කරනවා නම්, රස්සා ප‍්‍රශ්නයට විසඳුමක් දෙනවා නම්, ප‍්‍රවාහන ගැටලූවට විසඳුම් දෙනවා නම් අපිට වෙන මොනවත් ඕනෑ නෑ. අපිට ආදායම් මාර්ගයක් තිබුණා නම් අපි රජයෙන් මොනවත් ඉල්ලන්නේ නෑ. ඡුන්දය කාලයට නම් ගොඩක් අය ආවා. ඇවිත් බදා ගන්නවා. ගමට කරන වැඩ ගැන ඒ අය පොරොන්දු දීලා යනවා. ඒත් ඊට පස්සේ ඇහින් දකින්නවත් නැහැ.”

කෙසේ වෙතත් මේ ගම්මානයට හරියාකාර ප‍්‍රවාහන පහසුකමක්වත් නොතිබුණි. උදෑසන තිරියායට පැමිණෙන බස් රියක් පමණක් කල්ලම්පත්තෛ ගම්මානය දක්වා පැමිණියත් වෙනත් කිසිම අවස්ථාවක කිසිදු බස් රථ පහසුවක් තමන්ට නොමැති බව ගම්වැසියෝ පවසති. ඔවුහු තිරියාය දක්වා කිලෝමීටර තුනක් පමණ මග ගෙවා යායුතු විය. පාසල් දරුවන් තිරියාය දක්වා එම මග කෙසේ හෝ ගෙවා යා යුතු විය. හදිසි අසනීප අවස්ථාවක වුව එය එසේම විය. කුලී වැඩට හෝ යන්නන්ට ඒ ගමන දිනපතා මහත් දුෂ්කරත්වයක් බවට පත්ව තිබුණි. ? බෝ වන විට ගම්මානයට පිවිසෙන එම ඇතැම් මාර්ගයන්හි ගමන් කිරීම ද අනතුරුදායකය. පෙර දින ද වන අලින් මගට පැමිණි බවට සලකුණු ඇතැම් මාර්ගවල දැකිය හැකි විය. මේ වන විට ගම්මානයේ පවුල් 45ක් පමණ පදිංචිව සිටියත් ඉන් නිවාස 15ක පමණ පදිංචිව සිටින්නේ ගම්මානයේ එදා නොසිටි අලූත් පිරිස්ය. ඒ නිවෙස්වල සිටියවුන් නැවත එහි පැමිණ තිබුණේ නැත. ඉන්දියාවේ කඳවුරුවල තවමත් රැුඳී සිටින තම හිත මිතුරන් පැමිණීමට නියමිතව තිබෙන බව ද ගම්වැසියෝ පවසති.

‘‘ අපි යුද්ධය කාලයේ ඉන්දියාවට ගිහින් සාම කාලයේ ආපහු ලංකාවට ආවා. 2006 දී අපිට මේ ගෙවල් හදලා දුන්නා. ඒත් ආයේ යුද්ධය පටන් ගත්ත නිසා ඥාති ගෙදරක නැවතිලා හිටියා. අපි මේ ගමට ආපහු ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා. මෙහේ ජීවත් වෙන්න පහසුකම් නැති නිසා කලියෙන් අපි ත‍්‍රිකුණාමලේ ගෙයක් කුලියට අරන් හිටියා. ඒත් දිගටම කුලී ගෙවාගන්න අමාරු නිසා මෙහේ ආවා. මගේ අයියාගේ ඇස් පේන්නේ නෑ. අපි එයාත් බලාගෙන ඉන්නවා. මහත්තයා කුලියට දර කපන්න යනවා. සතියට දෙපාරක් වගේ යනවා. උදේ පහට විතර දර කපන්න කැලේට ගිහින් ඒවා හවස ත‍්‍රිකුණාමලයට ගෙනියනවා. ඒ වැඩ නැති දවස්වලට වෙන කුලී වැඩ හොයන් යනවා. ත‍්‍රිකුණාමලයට මොනවාහරි වැඩක් හොයාගෙන යන්නත් බස් නෑ. අලි ප‍්‍රශ්නයත් තියනවා. ගම ඇතුළට නම් අලි එන්නේ නෑ. එළියේ පාරවල්වලට එනවා.” තම අත වූ කුඩා බිළිඳා ද නළවමින් එසේ කීවේ සුවේන්ද්‍රා දේවි ය.

ඇගේ වැඩිමල් දියණිය තිරියාය මහා විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන බවත් ඇය දන්නා හඳුනන අයෙකුගේ ත‍්‍රිරෝද රියෙන් පාසල වෙත පිටත්කර යවන බවත් ඇය පවසන්නීය. ඇගේ තවත් දරුවෙකු ළදරු පාසල්වියෙහි පසු වූයේය. ‘‘ බොන්නත් වතුර දුරින් ගේන්න ඕනෑ. මූලික පහසුකම් ටිකවත් නැති නිසා මෙහේ ගෙවල් තිබුණත් මිනිස්සු එන්නේ නෑ.” ඇය කියන්නීය. දෑස් නොපෙනෙන ඇගේ සොයුරා නිවස ඉදිරිපිට පුටුවක හිඳ නිසොල්මන්ව සිටියේය. සුවේන්ද්‍ර දේවිගේ වැඩිමල් දරුවන් දෙදෙන ගඩා ගෙඩි සොයමින් ගම්මානයේ එහෙ මෙහෙ ඇවිද ගියෝය.

තැන තැන තිබූ ඇතැම් නිවෙස් කැලෑවෙන් වැසී තිබුණෙන් මිනිසුන් ජීවත් වන නිවෙස් ගම්මානය තුළ තිබුණේ ළං ළංව ම නොවේ. එය එහි ජීවත්වන්නන්ට එක් අතකට සැනසිලිදායක පරිසරයක් නම් ගොඩනගා තිබුණි. වන රොද සිප හමා එන පවිත‍්‍ර සුළං රැුලි යම් සහනදායී සිතිවිලි රැගෙනවිත් ඔවුන්ගේ සිත් තුළ තවරා යනු ඇතැයි සිතේ. ඉන් සවි ලැබ මෙන් ඔවුහු මේ ජීවන අරගලය දිගින් දිගටම අත් නොහැර සිටිති.

මේනකා සිටි නිවස දකින්නෙකුට නම් ඇතිවන සිතිවිල්ල එය කොයි මොහොතේ හෝ කඩා වැටේ ද යන්නකි. එහි වහල තැන තැන කැඞී ලී දිරා මැදින් ගේ තුළට නෙරා ගොස් තිබුණි. එහෙත් ඒ නිවස තුළම කිසිත් නොදන්නා ලෙස ඇගේ පුතු සුව නින්දක සිටියේය. ”අපි ගමට ඇවිත් මාස හතරයි. මේ මගේ මහත්තයාගේ ගේ. මහත්තයායි මහත්තයාගේ තාත්තායි 2006 දී මෙහේ හිටියා. පස්සේ අපි බැන්ද කාලයේ කුලියට කොළඹ හිටියා. මහත්තයා රට යද්දී අපි ආපහු මෙහේ පදිංචියට ආවා. ගේ හැමතැනම දිරලා. වහල කඩාගෙන වැටෙයි ද කියලා බයයි. ඒත් දැනට මේක හදා ගන්න විධියක් නැහැ. මහත්තයා සල්ලි එව්වාම මේ ගේ හදාගන්නයි ඉන්නේ. වතුර ප‍්‍රශ්නය නම් අපිට තියනවා. මාමා තමයි බයිසිකලයෙන් ගිහින් වතුර ගේන්නේ. වගා කරන්න තරම් වතුර නෑ. ඒ නිසා මම පොල් පැළ කීපයක් විතරක් හිටෙව්වා. දිගටම මෙහේ ජීවත් වෙන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒත් මූලික පහසුකම් නම් නැහැ.” මේනකා කියන්නීය.

ඇගේ සොයුරිය වන සුසිලා ද ඒ පෙනෙන මානයේ නිවසක පදිංචියට පැමිණ තිබුණේ මෑතකදීය. එහෙත් ඔවුහු ඒ ගමේ මීට පෙර පදිංචිවූවන් නොවූහ.‘‘ අපි කලින් හිටියේ කොළඹ. ඒත් එහේ වියදමත් එක්ක කුලී ගෙවාගෙන දිගටම ජීවත් වෙන්න අමාරුයි. නංගි මෙහේ ආව නිසා අපිත් මෙහේ ආවා. දැන් මෙහේ ස්ථිර පදිංචිය ලබා ගත්තා. අපේම ගෙයක් නම් තාම නෑ. මේ ගේ ගමට ආපහු ආවේ නැති කෙනෙක්ගේ එකක්.” සුසිලා කියන්නීය. ඇගේ වැඩිමල් දියණියන් දෙදෙන සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන අතර ඒ වන විට ඔවුන් තිරියාය පාසලට ඇතුළත් කර තිබුණි. සැමියා කොළඹ නගරයේ රැුකියාවක නියුතු බවත් නිවාඩු දිනයන් හි කල්ලම්පත්තෛ වෙත පැමිණෙන බවත් ඇය කීවාය. ‘‘ පහසුකම් නම් තියෙන්නේ කොළඹ තමයි. හැබැයි එහේ හිරවෙලා ඉන්න ඕනෑ. මෙහේ එහෙම නෑ. හරිම නිස්කලංක පරිසරයක්.” සුසිලා කීවේ සිනාසෙමිනි.

කල්ලම්පත්තෛ ගම්මානයේ සිටි ඇතැම් අය නැවත ගම්මානයට පැමිණ නොසිටියත් මේ වන විට එහි මුල් පදිංචිකරුවන් නොවූ ඇතැම් අය ද එහි අලූතෙන් පදිංචියට පැමිණ සිටියහ. නාගරික පෙදෙස්වල සිට පැමිණෙන්නන්ට එහි පරිසරයේ නිදහස් සුවයේ වටිනාකම හොඳින් දැනුණ ද ජීවත් වීමට අවැසි මූලික පහසුකම් ද නොමැති වීමෙන් මේ සියල්ලෝම පීඩනයට පත්ව සිටිති. තිස් වසරක යුද ගිනි ඇවිලූණු රටක ඉන් පීඩනයට පත් මිනිසුන්ගේ ගිනි තවමත් නිවී නැත. එබැවින් ඉන් පාඩම් උගෙන අනාගත පරපුර තවත් ඛේදවාචකයකට බිලි නොදෙන්නට කටයුතු කළ යුතුව ඇතත් අදත් සමාජයේ පෙනෙන්නට තිබෙන්නේ එවැනිම ඛේදවාචකයකට අත වනන්නට මග බලන නොමිනිසුන්ගේ ඡායාවන්ය.