රාවය

ප‍්‍රවීණ විචාරකයෝ මගේ කෘති විචාරය කිරීමෙන් වැලකිලා අනුරසිරි හෙට්ටිගේ

ප‍්‍රවීණ විචාරකයෝ මගේ කෘති විචාරය කිරීමෙන් වැලකිලා අනුරසිරි හෙට්ටිගේ

‘Fairway’ සම්මානයට පාත‍්‍රවූ ඔබගේ නවතම කෘතිය ‘‘පණ්ඩක පුත‍්‍ර වස්තුව’’ ලෙස නම් කළේ ඇයි?

නව කතාවක නමක් කියන්නේ ඒ ප‍්‍රබන්ධයේ සමස්තය හකුලා දක්වනු ලබන්නක්. ඒ අනුව මගේ කෘතියක ග‍්‍රන්ථ නාමය පිළිබ`ද මම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මේ කෘතිය මා මීට පෙර රචනා කරන ලද නවකතාවලට වඩා වෙනස්ම වූ ප‍්‍රස්තුතයක් මත බිහිවෙන්නක්. එහි තේමාව වෙන්නේ අර්ධනාරි අර්ධ පුරුෂ මානවයෙක් සම්බන්ධව නිසා එයට නමක් යෙදීම එතරම් පහසු කටයුත්තක් වුණේ නැහැ. ඇත්තටම එය මට අභියෝගයක් වුණා. ඒ පිළිබ`ද හිත හිතා හිටි මොහොතක මට එකතැනකදී හමුවුණා බුදුරාජණන් වහන්සේ විසින් තම ස`ග පරපුරට තහංචි පනවනකොට පණ්ඩකයන් සමග ඇසුර තහනම් කියලා තහංචියක් පනවලා තියෙනවග. එතැන මට අවශ්‍ය දේ තිබුණා. ඒ ඔස්සේ හිතාගෙන ගිහිල්ලා අද සමාජයේ නපුංසකයා කියලා තහවුරුවෙලා තියෙන අදහස සම්බන්ධව වෙනස් සිතුවිලි පරම්පරාවක් ඇති කරන්න ඕන කියලා හිතාගෙන මම මේ නම තෝරාගත්තා. ඒ වගේම මේ කෘතිය සම්බන්ධව පාඨකයාගේ වෙනස් අවධානයක් යොමුවෙයි කියන සිතුවිල්ලක් මා තුළ තිබුණ නිසා. ‘‘පණ්ඩක පුත‍්‍ර වස්තුව’’ යන නම මම යොදා ගත්තා. ඒ කෘතිය සම්බන්ධව මම අදහස් හුවමාරු කර ගනිද්දි මේ නාමය කෘතියට දැමීම සදහා සුදුසු යැයි තහවුරු කළේ එස්.ජී පුංචිහේවා මහත්තයයි.

මේ කෘතිය රචනා කිරීමේදී ඔබ අනුගමනය කරන ලද විශේෂ ක‍්‍රමවේදයක් තියෙනවද?

මම නවකතා හා කෙටි කතා සංග‍්‍රහ කිහිපයක් රචනා කළාට පස්සේ තමයි මේ නවකතාව පටන් ගත්තේ. ඔබ අදහස් කළ පරිදි මෙහිදි මම ඇත්තටම විශේෂ ක‍්‍රමවේදයක් පාවිච්චි කළා. නවකතාකරුවෙක් හැටියට මගේ නිර්මාණ ක‍්‍රමවේදයේ ලොකු වෙනසක් ඇති කළ කෘතියක් තමයි මේ කෘතිය. සාමාන්‍යයෙන් මම නව කතාවක් රචනා කරනකොට පොඩි සැකිල්ලක් සකස් කර ගන්නවා. විශේෂයෙන්ම අවසානය මේ වගේ තැනකට යා යුතුයි කියලා. හැබැයි මේ කෘතියේදී මම එහෙම කළේ නැහැ. මේ නව කතාව මම ලියුවේ පරි‍ච්ඡේදයෙන් පරිච්ෙඡ්දයට. මගේ පරිකල්පනය මම විහිදෙව්වේ එක් වතාවකදි එක පරි‍ච්ඡේදයකට පමණයි. ඒ පරි‍ච්ඡේදය අවසාන වෙද්දි පමණයි ඊළග පරි‍ච්ඡේදය ගැන හිතුවේ. මෙහි සියයට හැත්තෑ පහක් පමණ තියෙන්නේ පරිකල්පනය. සියයට විසි පහක් පමණ තමයි භූමියේ අත්දැකිම් සමග කතාව විග‍්‍රහ වෙන්නේ. ඒ නිසා මේ කෘතිය පරි‍ච්ඡේදමය නව කතාවක්. එය සිංහල නවකතාවේ වෙනස්ම ආකෘතියක් වෙන්නත් පුළුවන්. එක කොටසක් ලියලා මාසයකින් දෙකකින් වගේ පස්සේ තමයි අනිත් කොටස ලියුවේ.

ඔබ නව කතාව තුළ චරිත බොහෝ ගණනක් සමග ගනුදෙනු කරන කෙනෙක්. ඒ ලක්‍ෂණය මේ කෘතිය තුළද කැපී පෙනෙනවා.

ඔබ නවකතාව තුළ චරිත බොහෝ ගණනක් සමග ගනුදෙනු කරන කෙනෙක්. ඒ ලක්‍ෂණය මේ කෘතිය තුළද කැපී පෙනෙනවා.
මම කුටුම්භයක් ඇතුළේ හෝ කාමරයක් ඇතුළේ හුදකලාවෙලා ඉන්න පුද්ගලයෙක් නෙමෙයි. මම මගේ ජීවිතය පවත්වාගෙන යන්නේ මහා සමාජයක් ඇතුළේ. මගේ සමාජ ජීවිතය වටා ඇති විශාල චරිත රාශියක් ගෙනුවෙලා තියෙනවා. ඒ අනුව මගේ වස්තු බීජයන් මට නිරතුරුවම බලපෑම් කරනවා චරිත ගොඩක් සමග ගනුදෙනු කරන්න. එහෙම චරිත සමග ගනුදෙනු කරන්න මම බය නැහැ. මගේ අපේක්‍ෂාව පිළිබද මට විශ්වාසයක් තියෙනවා. මම වඩාත් අවධාරණයෙන් හිතන දෙයක් තමයි තනි මිනිහෙකුට කුමන දේ තුළවත් අවස්ථාවක් නැහැ කියන එක. ඒ අනුව මගේ අතින් හුදකලා වෙච්ච චරිත බිහිවෙන්නේ නැහැ. මම හැම තිස්සේම සමාජයේ විවිධ ස්ථරවල සිටින අති විශාල චරිත රාශියක් සමග ගැටෙමින් තමයි ප‍්‍රබන්ධයක් නිර්මාණය කරන්නේ. එය එතරම් පහසු කටයුත්තක් නොවුණත් මගේ සමාජ ජීවිතය සමග ඒ හැම එකකම බැදී ඇති නිසා මම ඒ හැම චරිතයකටම බය නැතුව මුහුණ දෙනවා. මගේ ‘‘කළුවරයි පුරහඳ’’ කෘතියේ චරිත 150ක් විතර ඉන්නවා. ‘‘බැඳමාරිය’’ කෘතියේ චරිත 60 -70 ක් ඉන්නවා. මේ කෘතියෙත් චරිත විශාල ප‍්‍රමාණයක් ඉන්නවා.

‘‘පණ්ඩක පුත‍්‍ර වස්තුව’’ නවකතාවේ ප‍්‍රධාන චරිතයේ චරිත ලක්‍ෂණ ඒ ආකාරයෙන්ම නොවුණත් ඔබගේ සෑම කාතියකම පාහේ ඒ ලක්‍ෂණ ඉගි කරනවා.

නවකතා කරුවෙක් හැටියට මිනිසා මුල් කරගෙන තමයි මගේ සියලූම සාහිත්‍ය කටයුතු නිර්මාණය වෙන්නේ. වෙනත් අයුරකින් කියනවානම් මම සෑම චරිතයක්ම ස්ථානගත කරන්නේ මිනිසා මුල් කරගෙනයි. එතකොට ඒ සමාජයේ ස්තී‍්‍ර හා පුරුෂ කියන බෙදුමට අමතරව තව මිනිස් රූපයක් ඉන්න බව මම දන්නවා. ඒ අනුව එවැනි චරිත මගේ කෘතිවල ඇතුළත් වෙනවා. ‘‘කළුවරයි පුරහඳ’’ වගේම ‘බැඳමාරිය’’ කෘතියට පාදක වුණු පරිසර පද්ධති දෙකේම මෙවැනි පුද්ගලයෝ ඉන්නවා. එහෙත් ඒ සමාජ පද්ධති දෙක එකිනෙකට සපුරා වෙනස්. මිනිසා ජීවත්වන හැම පරිසරයකම මෙවැනි චරිත ජීවිත්වෙනවා. ඔවුන්ව බැහැර කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඒ නිසා මම මගේ නිර්මාණ තුළ ඔවුන් යොදා ගන්නවා. සමාජය ඔවුන් වෙත හෙළන තහවුරු වී ඇති සම්ප‍්‍රදායික සිතුවිලි මාලාවන් එතැනින් ඉක්මවා ගොස් වෙනස් තලයක රඳවනවා. මගේ නවකතා තුළ එවැනි ලක්‍ෂණ ඉගි කළත් අර්ධනාරි අර්ධ පුරුෂ මානවකයෙක් පිළිබද පූර්ණ වශයෙන් සාකච්ඡා කළේ මේ කෘතියේදී තමයි. කෙසේ වුවත් මේ කෘතිය සම්බන්ධව මා බලාපොරොත්තු වුණු සංවාදය ඇතිවුණේ නැහැ. ඒ ගැන මට පොඩි කළ කිරීමක් තියෙනවා. එහෙත් එය මගේ කෘතියට පමණක් සිදුවුණු දෙයක් නෙමෙයි.

මගේ කෘති සම්බන්ධයෙන් කිසිම පුළුල් කතිකාවක් ඇතිවෙලා නැහැ. ප‍්‍රවීණ විචාරකයෝ මගේ කෘති විචාරය කිරීමෙන් වැලකිලා ඉන්නවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ අනුව ‘පණ්ඩක පුත‍්‍ර වස්තුව’ පොතට ඒ අභාග්‍යයට මුහුණ දීමට සිදුවුණා. ඒ අනුව ඒ පොතට ලැබුණු ප‍්‍රතිචාරය ගැන මම තෘප්තිමත් නැහැ. ඒ කෘතිය සම්මාන උළෙලවල් කිහිපයකදීම විසිවෙලා තිබුණා. එහෙත් ඒ සම්බන්ධව මම හිත හිතා ඉන්නේ නැහැ. මගේ වැඩ ටික ඉදිරියටම කරගෙන යනවා.

එවැනි පසුබිමක ‘Fairway ’ සම්මානය ඔබට ලබා දුන් උත්තේජනය කුමක්ද?

ඒ සම්මානය තමයි නවකතාවක් සම්බන්ධව මට ලැබිලා තියෙන ඉහළම සම්මානය. මම මේ වන විට නවකතා පොත් 7ක් ලියලා තියෙනවා. එයින් දෙකක් ස්වර්ණ පුස්තක අවසාන වටය නියෝජනය කළා. එතැනින් එහාට නවකතාවකට සම්මානයක් ලැබිලා නැහැ. රාජ්‍ය සාහිත්‍ය සම්මානයට කිසිම දවසක මගේ නවකතාවක් නිර්දේශවෙලා නැහැ. ගොඩගේ සම්මානයට කිහිප විටක්ම නිර්දේශ වුණා. ඉන් එහාට කිසිම නවකතාවක් නොගිය මොහොතක මේ සම්මානය ලැබීම මට ඉතා වැදගත්. මේක මට වටිනවා. මොකද උසස් කියවීමක් සහිත පුද්ගලයන් පිරිසක විසින් ඇගයීමක් ලැබුනා කියන තෘප්තිය මට තියෙනවා. එය මගේ ඊළ`ග නිර්මාණය සදහා දැඩි බලපෑමක් කරයි.

නවකතාවකට සම්මානයක් ලැබීම උත්තේජනයක් වගේම අභියෝගයක්. මේක නඩත්තු කිරීම බොහොම මැදිහත් සිතකින් කරන්න ඕන. මේ සම්මානය සමගින් නවකතාකරුවෙක් වශයෙන් මගේ තහවුරු වීම තවදුරටත් වර්ධනය වුණා කියලා මට දැනෙනවා. ඒ වගේම සමකාලින සමාජ යථාර්ථය විනිවිද දකින නිර්මාණකරුවන් හට මේ සම්මානය මට වගේම උත්තේජනයක් සපයනවා.
ඒකියන්නේ?

සමාජයට සාපේක්‍ෂව තමයි කලාවන් බිහිවන්නේ. අපේ සමාජය සියයට 60 -70ක් පමණ ලෞකික සමාජයෙන් එහා පොඩි අධ්‍යාත්මික සමාජයක් ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. තැනින් තැන බුදු පිළිම හැම තැනම සුරුවම්, පල්ලි තියෙන පූර්ණ ආගමික රාජ්‍යයකට අවශ්‍ය කරන සෑම සුදුසුකමක්ම සපුරා ඇති පරිසරයක තමයි අපි ජීවත්වෙන්නේ. එහෙත් අපිට තේරෙනවා ඒ සංකේත හා ඒ ආගමික ශාස්තෘවරුන්ගේ දේශනා අතරේ කිිසිම ගැලපීමක් නැහැ කියලා. හරියට වතුරයි තෙලූයි වගේ. දෙපැත්තක තියෙන්නේ. මගේ සමාජ කියවීම වෙන්නේ මෙන්න මේ ඇස් මානයේ දේවල් ඇතුළේ කාරනාවන්. එතැනදී තමයි මට පණ්ඩ කල මුණ ගැහෙන්නේ. එතැනදී තමයි මට පාතාලයේ සොල්ලාදාදුවෝ මුණ ගැහෙන්නේ, වීදී ගණිකාවෝ මුණ ගැහෙන්නේ. මම හිතනවා ලේඛකයෙක් හැටියට මගේ කාර්යයන්ගෙන් එකක් කියලා එවැනි අව වරප‍්‍රසාදිත අව පීඩිත චරිත පිළිබද පුළුල් ලෙස පාඨක අවධානය යොමු කිරීම. ඒක තමයි තමයි ‘‘පණ්ඩක පුත‍්‍ර වස්තුව’’ තුළ කෙරුවේ. එයට සම්මානයක් ලැබීම මගේ ඒ ව්‍යායාමය තහවුරු කිරීමක් වගේම අනිකුත් ලේඛකයන්ටත් එක් මාර්ගයක් පැහැදිලිව විවර කරදීමත්.

ආගමික පසුතලය ඇතුළේ ඉන්න ව්‍යාජ මිනිහෙක් ඉන්නවා. මෙන්න මේ ව්‍යාජ මිනිහා තමයි අපි හෙළිකළ යුත්තේ. හැම කටයුත්තක් ඇතුළේම තියෙන්නේ ව්‍යාජයක් මෙය මම නවකතාව, කෙටි කතාව, කවිය ඇතුළේ සාකච්ඡා කරනවා. අද්‍යතන සමාජ ප‍්‍රශ්නවලට අප අවධානය යොමු කළ යුතුයි. මගේ විශ්වාසය තියෙන්නේ අපි මේ මොහොතේ ගත කරන සමාජ ජීවිතයේ තිබෙන සියලූමසාරය උරාගෙන තමයි අපි අපේ වැඬේ කරන්න ඕන කියලා.

ඒ අදහස කොතෙක් දුරට අපගේ විචාරකයන් ග‍්‍රහණය කරගෙන තිබෙනවාද?

ලංකාවේ විචාරය සම්බන්ධයෙන් මට තියෙන්නේ ටිකක් නිශේධනීය අදහසක්. නව කතා පමණක් නොවෙයි ලංකාවේ කිසිම කලා විචාරයන් නැති තරම්. මීට කලකට ඉහතදී විවිධ සමාජ කණ්ඩායම් මගින් විචාර සම්බන්ධයෙන් යම්යම් උත්සාහයන් ගොඩ නගා ගෙන තිබුණා. එහෙත් ඒවත් දැන් අඩපණ වෙලා ගිහින්. විචාරකයා කියන්නේ පුළුල් කියවීමක් ඇති කෙනෙක්. ඔහු සාහිත්‍යකරුවෙක් නෙමෙයි. ඔහු සාහිත්‍යවේදියෙක්. සාහිත්‍යකරුවා හා සාහිත්‍යවේදියා කියන්නේ පැහැදිලිවම දෙන්නෙක්. සාහිත්‍යකරුවා ඒ භාෂික පුද්ගලයෙක් වුණත් සාහිත්‍යවේදියා එහෙම නැත්නම් විචාරකයා කියන්නේ එයට එහා ගිය පුළුල් වපසරියක් ඇත්තෙක්. එහෙත් අපේ රටේ සාහිත්‍යකරුවා එහෙම නැත්නම් නිර්මාණකරුවාම තමයි විචාරකයා වෙන්නේ. සමහර ලේඛකයන්ගේ කෘති පිටවුණා කියලා අපි දැන ගන්නේ ඔහුගේ ළගම ඉන්න මිත‍්‍රයා ඒ සම්බන්ධව පුවත්පත්වලට කෙරෙන වර්ණනාවලින් පස්සේ. ඇත්තටම ඒවා විචාර නෙමේ. පුද්ගල වන්දනාවන්. ඒ වැනි දේවල් හරහා ඔවුන් නිර්මාණකරුවන්ට කරන්නේ ලොකු අසාධාරණයක්.

මේ මොහොතෙදී අපේ නවකතාව බොහෝ දුරට ඵෙතිහාසික මුලාශ‍්‍ර ඔස්සේ පරිසමාප්ත කාර්යයක් කරමින් ගමන් කරන බව පේනවා. ඒක හොදයි. හැබැයි හැම නවකතාවම ඒ තලයට ගියොත් විවිධත්වය නැතිවෙලා එය අවුලක් බවට පත්වෙනවා. සම්මාන කි‍්‍රයාවලිය තුළත් එවැනි කෘතිය සදහා තියෙන අවධානය වැඩියි. එහෙත් මම ඉන්නේ අපි අද ගත කරන සමාජ ජීවිතේ සමගයි. ඒ වගේම තවත් කාරණාවක් තියෙනවා.

ඒ මොකක්ද?

වාර්තමාන සාහිත්‍යය හා සාහිත්‍යය කියවීමේ කියන එක තියෙන්නේ දෙතැනක. අවු 20කින් වත් උසස්පෙළ කෙටිකතා පොතට අලූත් කෙටිකතා එකතුවෙලා නැහැ. නූතන කියවීමත් ඇතුළත් වෙලා නැහැ. එය මගේම නිර්මාණයක් සම්බන්ධ කරගෙන කතා කිරීම එතරම් සදාචාරාත්මක නොවුණත් මගේ දෙයක් හරහා එය පැහැදිලි කිරීම මට වඩාත් පහසුයි.

2012න් පස්සේ මේ වන විට මම කෙටි කතා සංග‍්‍රහ තුනක් ලියුවා. ඉන් දෙකකට රාජ්‍ය සම්මානය ලැබුණා. එක පොතකට ලැබිය යුතු සියලූම සම්මාන ලැබුණා. එහෙත් මේ වනතෙක් කිිසිම කෙනෙක් කිසිම ලේඛනයක මගේ කෙටි කතා ගැන කතා කරලා නැහැ. කිසිම නිර්දේශ ග‍්‍රන්ථයකට ඇතුළත් වෙලා නැහැ. අපි සිදුවුණු දේ ගැන තමයි තාම කතා කරන්නේ. සිදුවෙමින් පවතින කි‍්‍රයාවලිය ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා කවදා හරි අපට ඉතුරු වෙන්නේ පිළුණු ගද ගහන සාහිත්‍යයක් විතරයි.