බැංගලෝරයේ ඇසතු බෝ රුකකට

පියන්කාරගේ බන්දුල ජයවීර

මහ වේ සෙවන දෙන
මහමාර තුඟු තුරු අතර
නොහැඟි හමුවකි දුමිඳ මනරම්!
කිමිද මිහිගැබ බදා වැළඳ
සහස් මුල් පසුරින්,
මුහුණ ලා හිරුට ඇදී ඉහළට
විහිදුවයි ඔබ හරිතැඟිලි රතැඟිලි
උදුල් නිල් අනන්තය තුළට

රන්වැට නොව දඬු වැටක් වුව
දුමිඳ ඔබ වටලා නැත
නගර සමනන් පැමිණ
කලහ කොට නඩු කියා
අයිතිය ඉල්ලන්නේත් නැත
අවි ගත් සෙබළුන්ද නැත ඔබ අස ඉදින්
රකිනුව කිසිවක් කිසිවෙකුගෙන්

කපුරු පහන් ගිනි අතුරා
තවමින් හාත්පස වාතලය දිවා ?
රැස්ව දනන් යාදිනි වැල් කියා
යදින්නේත් නැත කිසිවක් ඔබෙන්,
සම්මාදම් ගොස පතුරන යකඩ කටක්
ඔව් ඉදින් අහලකත් නැත

නිදහස්ය ඔබ
අර ඇසෙන තණගිරා හඬ මෙන්,
ගැඹුරුය ඔබ
එමැද ඉල්පෙන නිහඬබව මෙන් –
හැඳුනුම්පතක් නැති සිදුහත් පැමිණ
එදා පිට දුන් ගයා බෝ මැඩ මෙන්ම
අසිරිමත් ය ඔබ
ඉදින්, මගියෙකුට වුව මා වැනි
ඔබ සෙවන මිහිරිය සුපසන්ය.

– සුනිල් විජේසිරිවර්ධන –
(” ගිරි මුදුන මගේ නිවහන” – 2017)

‘‘ රන්වන් පාටින් දළු ලන බෝධිය
නිල්වන් පාටින් කොළ ලන බෝධිය
ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය
අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය”

ලංකාවේ ‘බෝධි පූජා සංස්කෘතිය‘ ජනප‍්‍රිය කරලීම
ට මුල් වූ පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ගේ සුප‍්‍රකට බෝධි පූජා කවියක් ඉහත ආකාර විය. ” ගෞතම මුනිඳුන් පිට දුන් බෝධියට අපි වඳින්නේ ඇයි?” කියා හෝ එසේ වැඳීමෙන් අපට සිදු වන්නේ හෝ ලැබෙන්නේ කුමක් ද ? යන්න ආගම අදහන බැතිමතුන් හෝ අන්ධ භක්තියට එරෙහි විචාරශීලී මිනිසුන්වත් ප‍්‍රශ්න කරන්නේ නැත! බුදුන් වහන්සේ ගස්,ගල්,පිළිම වන්දනාව ප‍්‍රතික්ෂේප කළ ශාස්තෲ වරයෙකි. එහෙත් උන්වහන්සේ ගේ අනුගාමිකයින් බව කියන අය ම උන්වහන්සේ ගේ නාමයෙන් ගස් ,ගල්,පිළිම වන්දනා කරති. බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීම,උන්වහන්සේ කියූ ආකාරයට ගිහි ජීවිතය හැඩ ගස්වා ගැනීම ආදී මේකිසිවක් නොකරන උදවිය, උන්වහන්සේ ගේ නාමයෙන් ගස්,ගල්,පිළිම වන්දනා කරමින් සසරින් එතෙර වන්නට ප‍්‍රාර්ථනා කරති!

ලාංකිය කලා සංස්කෘතික ක්ෂේත‍්‍රයට වැදගත් විකල්ප දායකත්වයක් දෙමින් මහඟු මෙහෙයක් ඉටු කරමින් සිටින,‘ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
කවියා තම කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය ‘ ගිරි මුදුන මගේ නිවහන‘ නමින් පළ කොට ඇත. එහි ඇතුළත් ‘ බැංගලෝරයේ ඇසතු බෝ රුකකට ‘ නමැති කවිය ඉහත සඳහන් අන්ධ භක්තික බෝධි වන්දනාව ගැන යළි සිතන්නට අප සිත් පොළඹවන කදිම කවියකි.

අප කවියාට බැංගලෝර් නුවර දී අහම්බෙන් ඇසතු බෝ රුකක් හමුවේ. මෙය අප ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ තරම් ‘ අති විශේෂ ‘ ගසක් නොවේ! මහ මඟට සෙවන දෙන මාර ගස් වැනි ‘ පොදු ජන” ගස් අතර මේ ඇසතු රුක ද වාසය කරයි! කවියාඅන්ධ භක්තිකයෙකු නොවූවත් මේ ඇසතු බෝ රුකේ දසුන ඔහුව ආනන්දයට පත් කොට ඇති බව පැහැදිලි ය. බෝධියේ මුල් පොළොව බදා වැළඳ ගෙන සිටින අතර ගසේ රත් පැහැ දළු හා කොළ පැහැ මේරූ පත‍්‍ර හිරුට මුහුණ ලා ඉහළට ඇදී යමින් සිටී. මෙම දසුන කවියා තුළ පිබිදීමක් ඇති කරවන්නට සමත් වේ.
(කවියා බෝ දළු හා බෝ කොළ හඳුන්වනුයේ ,රතැඟිලි හා හරිතැඟිලි ලෙස අපූරු වදන් භාවිත කරමිනි.)

‘‘ මහ වේ සෙවන දෙන
මහමාර තුඟු තුරු අත
නොහැඟි හමුවකි දුමිඳ මනරම්!
කිමිද මිහිගැබ බදා වැළඳ
සහස් මුල් පසුරින්,
මුහුණ ලා හිරුට ඇදී ඉහළට
විහිදුවයි ඔබ හරිතැඟිලි රතැඟිලි
උදුල් නිල් අනන්තය තුළට”

මේ බැංගලෝරයේ මහඟ දී කවියාට හමුවන බෝධියට, අපේ ශ‍්‍රී මහා බෝධියට මෙන් රන් වැටක් තබා දඬු වැටක්වත් නැත! ලංකාවේ දී මෙන් නාගරික(නගරං?) ශ‍්‍රමණ වේශධාරීන් පැමිණ නඩු කියා බෝ ගසේ අයිතිය ඉල්ලන්නේත් නැත !! අපේ ශ‍්‍රී මහා බෝධිය රකින්නට අවි ගත් සෙබළු සිටි අයුරින් මේ බෝධිය රකින්නට එවැනි අය නැත. මෙය මහ මඟ අයිනේ නිදහසේ වැඩෙන බෝ රුකකි.

‘‘ රන්වැට නොව දඬු වැටක් වුව
දුමිඳ ඔබ වටලා නැත
නගර සමනන් පැමිණ
කලහ කොට නඩු කියා
අයිතිය ඉල්ලන්නේත් නැත
අවි ගත් සෙබළුන්ද නැත ඔබ අස ඉදින්
රකිනට කිසිවක් කිසිවෙකුගෙන්”

එපමණක් නොවේ. මේ බොධිය අසල දිවා ? දෙකේ කපුරු පහන් දවමින් හාත්පස වාතලය දවාලන, යාදිනි කියමින් බෝධියේ පිහිට පතන යදියන් මෙහි නැත! තවද ගොරහැඩි ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් මොර දෙමින් සම්මාදම් එකතු කරන වැඩ පිළිවෙළක් මෙහි ක‍්‍රියාත්මක නොවේ!

‘‘ කපුරු පහන් ගිනි අතුරා
තවමින් හාත්පස වාතලය දිවා ?
රැුස්ව දනන් යාදිනි වැල් කියා
යදින්නේත් නැත කිසිවක් ඔබෙන්,
සම්මාදම් ගොස පතුරන යකඩ කටක්
ඔව් ඉදින් අහලකත් නැත”

මෙය දෘෂ්ටිවාදයකින් බැඳ තබා ගෙන ඊනියා ආගමක් පෝෂණය පිණිස පාවිච්චි වෙන ”ජයසිරිමාබෝධියක් නොවේ. එදා සිදුහත් , ගයා බෝ මැඩට පිට දුන්නේ කිසිදු අනන්‍යතාවකින් තොරව ය.ඔහු සිංහල බෞද්ධයෙක් ද කියා බෝගසවත් ,කවුරුව
ත් ප‍්‍රශ්න කළේ නැත. මේ බැංගලෝර් බෝධිය ද එවැනි නිදහස් වෘක්ෂයකි. තණ ගිරවා තම නාදය නඟන්නේ කාගේවත් ඇණවුමකට නොව නිදහසේය. ඉදින් මේ බැංගලෝර බෝධියද එම තණ ගිරා හඬ මෙන් නිදහස් ය. එසේම ඒ හඬ අතර වරින් වර ඉල්පෙන නිහඬ බව මෙන් මේ බෝධිය ගැඹුරු ය. අද බොහෝ ආගමික සිද්ධස්ථානවල රන් වැටෙන් වටකොට,අවි ගත් සෙබළුන් ද යොදා ගෙන(ඇතැම් විට) ප‍්‍රවේසම් කරන බෝධීන් වහන්සේලාට ඉහත කී අයුරු නිදහසක් ගැඹුරක් ප‍්‍රකට කිරීමට ඉඩ නොදෙන්නේ මෝඩ ආගම් භක්තික මිනිසුන් විසිනි.මෙවැනි නිදහස් වෘක්ෂයක සෙවන , තමා වැනි මඟියෙකුට වුව ද මිහිරි ඉතා ප‍්‍රසන්න හැඟීම් උපදවන අත් දැකීමකි.

‘‘ නිදහස්ය ඔබ
අර ඇසෙන තණගිරා හඬ මෙන්,
ගැඹුරුය ඔබ
එමැද ඉල්පෙන නිහඬබව මෙන් –
හැඳුනුම්පතක් නැති සිදුහත් පැමිණ
එදා පිට දුන් ගයා බෝමැඩ මෙන්ම
අසිරිමත් ය ඔබ
ඉදින්, මගියෙකුට වුව මා වැනි
ඔබ සෙවන මිහිරිය සුපසන්”