ධර්මසේන හිමි මඟ ගත් ඇරැව්වල ගැමියා නන්දිමිත‍්‍ර

තරංගා රණසිංහ

පාළි සංස්කෘත කතා කලාව තුළ ගිලගෙන තිබූ පුරාතන ගද්‍ය සාහිත්‍ය, ගැමියන්ට සමීප කතා කලාවක් බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ ධර්මසේන හිමියන්ටය. පාළි භාෂා රීතිය අත්හැර භාෂා ශාස්ත‍්‍ර ඥානය අහිිමි ගැමියන්ට බුද්ධ කාලීන කතා කියා පෑමට ගැමි වහරත් ගැමියන්ගේ අත්දැකීමුත් භාවිතයට ගත් ලේඛකයා ලෙස අදටත් ගෞරවයට පත්වන්නේ ධර්මසේන හිමියන්ය.

ධර්මසේන හිමියන්ට ළංවිය හැකි නූතන ලේඛකයා වන්නේ නන්දිමිත‍්‍රය. ගැමියකු ලෙසම ගැමි ජීවන ලාලසාවන් නිර්ව්‍යාජ ලෙස ඉදිරිපත් කළ ලේඛකයා ලෙස නන්දිමිත‍්‍රයෝ ප‍්‍රමුඛ වෙති. ඔහුගේ කතා කලාවේ ආවේණිකත්වය වන්නේ නිර්ව්‍යාජ ග‍්‍රාමීය ලක්ෂණයි. සිංහල ලේඛකයෝ බහුතර සංඛ්‍යාවක් ගම කේන්ද්‍ර කොටගෙන උපන් ලේඛකයෝය. මාර්ටින් වික‍්‍රමසිංහගෙන් පටන් ගත්විට කේ. ජයතිලක, ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම ආදී ප‍්‍රවීණයෝද නිශ්ශංක විජේමාන්න, පියල් කාරියවසම්, ලියනගේ අමරකීර්ති ආදී වර්තමාන ගද්‍ය ආඛ්‍යානකරුවෝ දක්වා මෙකී ලක්ෂණය දක්නට හැකිය.

මේ අතරින් මාර්ටින් වික‍්‍රමසිංහ මෙන්ම ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම ආදී ලේඛකයන් තම ජීවිතේ ගම කේන්ද්‍ර කොටගත් අත්දැකීම් ප‍්‍රකාශයට පත් කරන්නේ අගනුවර සාහිත්‍ය කතිකාවතෙහිය. මෙය ලාංකීය ගද්‍ය සාහිත්‍යයේ අත්දැකීම් ප‍්‍රකාශයට පත් කරන ලේඛන විලාසය වී තිබේ. මේ ලේඛන විලාසයට අනුගත නොවූ කතාකරුවන් අතර ප‍්‍රමුඛ කතාකරු වන්නේ ඇරැුව්වල නන්දිමිත‍්‍රය. නිශ්ශංක විජේමාන්නද ඇරැුව්වල නන්දිමිත‍්‍රගේම කුලකයට අයත් වුවත් ඔවුහු එකිනෙකාට වෙනස් ගති ලක්ෂණ පෙන්නා ලූ ලේඛකයෝ වෙති. නිශ්ශංකත්, ඇරැව්වලත් තම උපන් ගම අත්නොහරිති. අගනුවරට කොටු නොවෙති. මෙම ලේඛකයෝ දෙදෙනාම ග‍්‍රාමීය සංස්කෘතික මූලයන්ගෙන් උපන් කතාන්දර ඉදිරිපත් කරන්නේ දෙයාකාරයටය. නිශ්ශංක ලතින් ඇමරිකානු නූතන සාහිත්‍යයට ළංවන විට ඇරැුව්වල ළංව ඇත්තේ පුරාතන ගද්‍ය සාහිත්‍යයේ බණ කතා රීතියටය. එයිනුත් වඩාත් සමීපවවන්නේ ධර්මසේන හිමි නමැති ගැමි ගද්‍ය ආඛ්‍යානකරුවා වෙතය. එබැවින් නන්දිමිත‍්‍ර ලාංකීය නූතන කතා ව්‍යවහාරයේ තමාම නිපදවා ගත් කතා කලාවක් තුළ නොවෙනස්ව ගමන් කළ ලේඛකයකු ලෙසට මුද්‍රාගතවී තිබේ.

1939දී වැලිවත්තගේ දොන් නන්දිමිත‍්‍ර නමින් ඇරැුව්වල ග‍්‍රාමයේදී මෙම ලේඛකයා උපත ලබයි. නිදහස ලැබීමට පූර්වකාලීන සමාජයක උපත ලබන නන්දිමිත‍්‍රයන් පෝ්ෂණය ලබන්නේ ග‍්‍රාමීය බෞද්ධ සමාජයකය. ඇරැුව්වල යනු කෝට්ටේ රාජධානි යුගයේ පැවති ක්ෂයවෙමින් යන ඇතැම් සංස්කෘතික මූලයන් රැුඳුණ ගම්පියසකි. එම ගම්පියසේ අනෙක් සංස්කෘතික ලක්ෂණය වන්නේ වැඩවසම් ඉංග‍්‍රීසි පාලන කාලයේ නිර්මාණය වූ මත්පැන් භාවිතය හා හරක් හොරකම වැනි ග‍්‍රාමීය සමාජ අවවර්ධිත ලක්ෂණය. මෙකී ලක්ෂණවලින් පෝෂිත ගමක උපත ලබන නන්දිමිත‍්‍ර මූලික අධ්‍යාපනය ලබන්නේ ගමේ පාසල වන ඇරැුව්වල විද්‍යාලෝක විද්‍යාලයෙනි. නන්දිමිත‍්‍ර පාසල් අධ්‍යාපනයෙන් එළියට පැමිණ රාජ්‍ය සේවයට එකතුවන්නේ 1956 පරපුරේ පෝෂිත සිංහල බෞද්ධ සුසාධිත ලක්ෂණයන් සමඟින්ය. නන්දිමිත‍්‍රගේ ජීවිතය පෝෂණය ලබන්නේ මෙකී සමාජ සංස්කෘතික ගතිකයන්ගෙන්ය. එවැනි පසුබිමක ඇරැුව්වල නන්දිමිත‍්‍ර නම් ලේඛකයා මතුවී පෙනෙන්නට පටන් ගත්තේ 1965 වර්ෂයේදීය. ඒ ‘කය මිස සිත නැති දන’ නම් කෙටිකතා සංග‍්‍රහය රචනා කරමින්ය. 1960 දශකය සිංහල සාහිත්‍යයේ සුවිශේෂ ලක්ෂණ ප‍්‍රකට කළා වූ කාලපරිච්ෙඡ්දයකි. මාර්ටින් වික‍්‍රමසිංහ 1942දී ‘ගැහැනියක්’ නම් කෙටිකතා සංග‍්‍රහය පළකරමින් අද්භූත කතා කලාවෙන් යථාර්ථවාදී කතා රීතියට සිංහල කෙටිකතාව යොමු කිරීමට සමත් විය. කේ. ජයතිලක, ගුණදාස අමරසේකර යථාර්ථවාදී කෙටිකතාවට කලාත්මක ලක්ෂණ එක්කරමින් සිංහල කෙටිකතා කලාව පෝෂණය කළෝය. ලාංකීය යථාර්ථවාදී කෙටිකතා කලාවේ වර්ධනීය අවස්ථාව උදාවන්නේ 60 දශකයේදීය. 1960 දශකයේදී යථාර්ථවාදී කතා කලාව අතික‍්‍රමණය කරමින් අධියථාර්ථවාදයටද මායා යථාර්ථවාදයටද ළං වන අජිත් තිලකසේන, සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා ආදී ලේඛකයන්ගේ ආගමනය සිදුවිය. සිංහල කෙටිකතා කලාවේ වර්ධනීය අවස්ථාවක නන්දිමිත‍්‍ර මහතා සිංහල කෙටිකතාවට ප‍්‍රවේශ වී තිබේ.

1965 ආරම්භ වන නන්දිමිත‍්‍ර මහතාගේ ලේඛන දිවිය 60 දශකයේ කෙටිකතා කලාවෙන් පෝෂණය වූවක් නොවේ. මාර්ටින් වික‍්‍රමසිංහ හඳුන්වා දුන් යථාර්ථවාදී කතා කලාවෙන් පෝෂිත ලක්ෂණ ප‍්‍රකට කරන ගද්‍ය ආඛ්‍යාන රටාවක්ද නොවේ. නන්දිමිත‍්‍රගේ කෙටිකතා, නවකතා තමාට ආවේණික කතා කලාවකින් නිපන් නිර්ව්‍යාජ අත්දැකීම් ප‍්‍රකාශයට පත් කරන ලියවිල්ලකි. නන්දිමිත‍්‍ර ඉදිරිපත් කරන්නේ කතාවකි. එය මටසිලූටු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට එහෙතම ප‍්‍රවේශම් වේ.

1965 ඇරඹි නන්දිමිත‍්‍රගේ සාහිත්‍ය ගමනෙහි ‘පියවතී සහ ඇගේ පුත්තු’ සිට ‘දුටු තැන වෙඩි තබනු’ දක්වා නවකතා පහළොවක් රචනා කොට තිබේ. ‘කය මිස සිත නැති දන’ නම් ආරම්භක කෙටිකතාවේ සිට ‘තරුණාවේශය’ දක්වා කෙටිකතා දොළහක්ද යොවුන් සාහිත්‍ය කෘති දෙකක්ද ළමා සාහිත්‍ය කෘති දෙකක්ද රචනා කොට ඇත. මේ සියලූ නිර්මාණයන්හි අකුරු බවට පණදී ජීවය ලබන්නේ ඇරැුව්වල ගම්පියසේ සිදුවීම්ය. සියවසකට ආසන්න කාලයක් ඇරැුව්වල නම් පුරාතන ගම්පියස, ගැමියන්ගේ නිර්ව්‍යාජ ලක්ෂණවලින්ද, මධ්‍යම පාන්තික නාගරිකයාගේ ගතිපැවතුම්වලින්ද වෙනස් වූ ආකාරය පෙන්වන කැඩපත වන්නේ ඇරැුව්වලගේ පිරිමැදුණු නිර්මාණයන්ය.

ඇරැුව්වල නන්දිමිත‍්‍ර කෝට්ටේ යුගයේ සිට පැවත එන පාරම්පරික ගැමි කලා මූලයන්ගෙන් ජනිත පරම්පරාවකට අයත්ය. තවමත් මේ පරපුරේ ඇත්තෝ ගම්මඩු නැටීමේ යාතු කර්මය නොනැවතී ඉදිරියට රැුගෙන යෑමේ අරගලයක නිරතව සිටින බව ප‍්‍රකාශ කරන්නේ ගෞරවයෙනි. ඇරැුව්වල හා අවට ගම්පියසිවල ආවේණික සංස්කෘතික අංගයක් වන ගොයම් කැපූ පසු ගම්මඩු නැටීමේ ශාන්ති කර්මය අදටත් නොනැසී පවතී. එමෙන්ම මෙම පුරාණ ග‍්‍රාමීය පෙදෙස්වල දක්නට ලැබෙන බලියාගද වර්තමානයේ පවා විටින් විට දක්නට හැකිවේ.

”බලියාගය සඳහා ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියට පත්ව සිටි ඇදුරෝ කිහිපදෙනෙක් සහ බෙරවාදකයෝ කිහිපදෙනෙක් මේ ශාන්ති කර්මය සඳහා දායක වී සිටියහ. කිරිගම්පමුණුවේ සුවාරිස්, නීලම්මහර පීතර, හෝකන්දර සාදිරිස් යන දක්ෂ බලි ඇදුරෝ තිදෙනාද නිවන්තිඩියේ ජුවානිස්, ජාලියගොඩ පේදිරික්….”

නන්දිමිත‍්‍ර සිය ‘අමා දොරටුව’ කෙටිකතා සංග‍්‍රහයේ ‘පිරුවටය’ කෙටිකතාව තුළ අන්තර්ගත කරන්නේ මෙකී ගමේ සංස්කෘතික ජීව රිද්මයේ සත්‍යයේ මායාවයි.

ඇරැුව්වල ගම්පියසේ ඇළදොළ දියකඳුරුවලින් පෝෂිත වෙල්යායද, ඕවිටි ලඳු කෑලෑ රොදවල්ද නාගරිකරණය හමුවේ ගම අත්හැර ගිය රබර් යායවල්ද ඔහුගේ නිර්මාණ දිවියේ පාරිසරික ලක්ෂණයන්ය. මෙකී පරිසරයක් තුළ දිවි ගෙවූ ගොවියන්, රබර් කිරි කපන්නන්, පොල් කඩන්නන් මෙන්ම වැල්ලේ බාරොන් නමින් හැඳින්වූ දරුණු හරක් හොරා ද නන්දිමිත‍්‍රගේ ගද්‍ය කතන්දර තුළ ජීවය ලබා තිබේ.
නන්දිමිත‍්‍ර 1977ට පෙර පැවති ග‍්‍රාමීය පරිසරය නිරූපණය කළා සේ ම විවෘත ආර්ථිකය ගිලගත් අර්ධ නාගරීකරණයට ලක්වූ ගමද නිරූපණය කොට තිබේ. මා සොයනු මැන, නංගී ‘මම සමු නොගනිමි’ ආදී නිර්මාණ සංග‍්‍රහයන්ගෙන් එකී වෙනස්වීම් දක්නට හැකිය.
මීට දශක හතරකට පෙර ඇරැුව්වල හන්දිය ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ මහරගමට එළවළු ගෙනයන කරත්තකරුවන්ගේ නවාතැන්පොළක් ලෙසිනි. වර්තමානයේ සුපිරි වෙළෙඳ සැලකින් විරාජමාන වන කොළඹ නගරයට සමීප උප නගරයකි. මෙකී උපනගරයේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික වෙනස්වීම අපූරු ආකාරයට දැක්වීමට නන්දිමිත‍්‍ර සමත් විය. ඒ සඳහා ඔහුගේ නවකතාවලදී හෙතෙම මහරගම, සාරගම බවට පත්කර ගත්තේය.

ජීවිත කතන්දරයක් තුළ ප‍්‍රතිනිර්මාණ වන කෙටිකතාව තුළ හෝ නවකතාව තුළ දක්නට ලැබෙන්නේද ඇරැුව්වල නන්දිමිත‍්‍රට ආවේණික රචනා රීතියක්ය. නන්දිමිත‍්‍ර කිසිවිටකත් තමන් ආරම්භ කළ රචනා රීතිය වෙනස් නොකළේය. කෙටිකතාවේ හෝ නවකතාවේ ආකෘතිමය ලක්ෂණ හෝ එය ඉදිරිපත් කරන විලාසය කෙරෙහි නන්දිමිත‍්‍රගේ අවධානය යොමු නොවීය. නන්දිමිත‍්‍ර උත්සාහ කළේ මිනිස් ජීවිතේ සංකීර්ණතාවන් නිරූපණය කිරීමටය. එබැවින් ඔහු කතාවක් කියයි. එකී කතාව තුළ ජීවත්වන්නා ප‍්‍රබලව නැගී සිටියි. ඒ ඇරැුව්වල ගමේ ගැමියාය.

දඹදෙණි සාහිත්‍යයේ ජීවත් වූ ධර්මසේන හිමිගේ සද්ධර්මරත්නාවලිය තුළින් හමුවන්නේ පුස්කොළ පොත්වලින් හමන පුස්ගඳ නොවේ. නිර්ව්‍යාජ ගැමියන්ගේ ගැමි සුවඳයි. ඇරැව්වල නන්දිමිත‍්‍ර ධර්මසේන හිමිට සමරූප වන්නේද එම හේතුව නිසාමය.

ග‍්‍රාමීය අශිෂ්ට ප‍්‍රචණ්ඩතාවකින් ගිලී තිබුණ ගමකට, එම ගමේ ග‍්‍රාම නාමය මුල් කොටගෙන නිර්මාණකරණයේ නිමග්න වීමේ අරමුණ වූයේ ගම වෙනස් කිරීමයි. මෙම ලේඛකයාගේ නිර්ව්‍යාජ අරමුණ ඉටුවිය. ඇරැව්වල ග‍්‍රාමය ඇරැව්වල නන්දිමිත‍්‍ර නිසා දිදුලිණ. මෙම ලේඛකයා අකුරු කළ ගමේ පාසල ඔහුගේ නමින් නම් කිරීම ඔහුට කරන ගෞරවයයි.

ඇරැුව්වල හන්දියේදී සුදු සරම හා කමිසය හැඳගත් නන්දිමිත‍්‍ර ගැමියා හෙට දින හමුවේද? වෙල්යායවල් කුඹුරු දෙණි හෝ මැදින් පාපැදියේ නැගී දූවවත්තේ පන්සල් බිමට ඔහු නොඑනු ඇත. සුදු කොඩි මැදින් නන්දිමිත‍්‍ර නික්ම ගොසින්ය. ගෙවී යන මැදින් මසේ මැදින් සඳින් ඔහුට සුබ රැයක්.