රාවය

බඩ කට හා රට

බඩ කට හා රට

ශාන්ති දිසානායක

මැදින් හිරු මරු විකල් වූ ගානය. ජීවී අජීවි සියල්ල දවා පුළුස්සා දමන්නට දිවුරා පොරොන්දු වූවාක් මෙන් වඩ වඩාත් සැහැසි වෙයි.
ගිනි අව්වෙන් කොතෙක් බැට කෑවද පහසුවෙන් හේබා නොයන වද පදුරු පවා කෙමෙන් මිලාන වෙයි. දැස නිලංකාර කරවන මද්දහනේ වුව අතරින් පතර පිපුණ වද මලක් මේ නියං සායේ රුදුරු බව මදකට අකා මකා දමයි.

‘‘මේ අහී දුප්පත් නර පණුවෙංට ඉර හද මේ ඒ මල් කොරන්ඩ බෑ. ඉර හදට ඕනෑ ඕනෑ ආකාරෙටයි නගින්නේ බහින්නේ කැරකෙන්නේ. අපිට තියෙන්නේ දෙස් දෙවොල් නොතියා මේ ගිනි අව්වෙං වැඩක් ගන්නෙක’’ යි කියන කිරි අම්මා මඤ්ඤොක්කා තම්බා සිහින් තීරුවට කපා වට්ටියේ ලා අව්වේ වේලෙන්නට දමයි. මඤ්ඤොක්කා අලයේ උඩු පොත්තට යටින් වන රෝස පැහැ පොත්තටද ඇගෙන් ගැලවුමක් නොලැබේ. ඒවාද සිහින් තීරුවලට කපා ලූණු කහ මිශ‍්‍ර වතුරේ තම්බා අව්වට දමයි.

‘‘මෙව්වා තෙලේ බැදලා මිරිස් ඩිංගක් අත ගාලා ගත්තත් පැණියේ ඔබලා ගත්තත් කන්ඩ බැරියැ බඩ පැලෙන්ඩ..’’ යි කියමින් ඇය නියංසායත් එක්ක අත්වැල් බැදගෙන එන බඩසාය ජයගත හැකි බවට පාරම්බායි.

‘‘උණ ලෙඩා කැද වතුර ඉල්ලන්නා වාගේ වියැටේ වතුරම තමා ඉල්ලන්නේ. හැබැයි ඉතිං කුරහං ඇටේ තල ඇටේ හරියට කාන්තාරේ ඉන්නා ඔටුවෝ වාගේ. එහැටි වතුරක් ඔනැන්නේ නෑ.’’

හේනේ තල කුරහං ඇතිතාක් කල් බඩකට පුරවාගත හැකි බව ඇය සිහිපත් කරන්නේ බයවීතව ඉන්නා මුත්තම්මා සනසන්නටත් එක්කය.

‘‘උඹලා ඇබිත්තං කාලේ පායලා පායලා සේරම කරකුට්ටං වෙලා ගියා. අපිට තියා හරකුංට කන්ඩ එක තණකොළ ගහක් ඉතුරු වුණේ නෑ. අප්පේ බඩිගින්නට හපං දිය තත්තේ. මනුස්ස අපි නෙළුම් අලේ හරි තම්බාගෙන යාංතං පණකෙන්ද ගැටගහ ගත්තා. අප්පේ වැව තමා අන්තිමට අම්මෙක් වාගේ අම්මෙක් කිරි සප්පයංට කිරි පොවන්නා වාගේ අපේ පණ බේරුවේ. හිදිලා හිදිලා වැව මැද්දාවේ ඉතුරු වෙච්ච වතුර ටික අව්වට රත්වෙලා රත්වෙලා කැකෑරිලා. අනේ තනේ කිරි කදුල වගේ ඒ වතුර පෙද තමා ගං හතක පරාණ රැුකගත්තේ. දරු පැටියෙක් බඩිගිනියි කියලා අඬනකොට හත් දවසක් බඩිගින්නේ හිටපු අම්මගේ තනේ කිරි එරෙන්නා වාගේ ඔය වැව අර වතුර ඩිංගිත්ත උදුරා ගන්ඩ බීගෙන බීගෙන යන්ඩ ඉඩ දුන්නෑ ඉර දෙයියංට.’’

මුත්තම්මාගේ උස් හඬ සැලෙයි. යට ගිලූණු දෙනෙතට කදුළු නැගෙයි. ලොට තං වසාගන්නා තුවා කබලෙං කදුළු පිිසින උන්දැ දිහා කිරි අම්මා හොළන්නේ දයාන්විත බැල්මකි.

‘‘හැමදා නියං එකදා වැහි වළාවේ කිව්වලූ. තල වැහි වහී අපේ අම්මේ… එතකං තමා මේ කෝඩෙ…’’

ගම් නියම් ගානේ තල වැහි අපේක්‍ෂාවෙන් බලා හුන් ඇස්ගෙඩි නිමක් නොවීය. බිය, සැකය සහ අපේක්‍ෂා භංගත්වය මධ්‍යයේ පවා වැහි බිත්තර සොයා කිරි අත්තා කොතෙකුත් අහස පිරිස්සුවේ ය.

‘‘බත් මදි…’’ යි ළමිස්සියක නහයෙන් හඬන කල කවදාවත් නැතුව කිරි අම්මා කුපිත වූවාය.

‘‘කපල්ලා මඤ්ඤොක්කා… ආයේ බඩට බත්ම ඕනෑද? මොනවා හරි ගිලලා බඩ පුරවගන්න එකනේ තියෙන්නේ කවුරුවත් බඩ හාරලා බලනවද මොනවාද බඬේ තියෙන්නේ කියලා.’’

චූටි පුංචි අම්මා ඇගිල්ල දිගු කරන්නේ ඉළන්දාරින්ගේ බත්පත වසාලූ බත් කුඩය වෙතය.

‘‘අයියලාට නං කොත ගහලා බෙදලා. අපිට තමා බත් හැන්දක් බෙදලා මදි පාඩුවට මඤ්ඤොක්කා කන්ඩ කියන්නේ..’’
කිරි අම්මා ගරායක් නැටුමට සැරසුණා ගානය.

‘‘උං පිරිමි. පිරිමි හිංදම නෙමේ උංට වැඩිපුර බත් බෙදන්නේ. මේ ගිනි පූටකේ උං අර කාස්ටක පොළොව තඩි ගහන හිංදා. උඹලා කාලා බීලා ගෙදර ඉන්න වෙලාවේ හීල් හෙවනේ උං අපා දුක් වි`දිනවා අව්වේ පිච්චි පිච්චි.’’

සුදු පුංචි අම්මාගේද මුහුණ එල්ලා වැටේ.

‘‘අම්මා ඉතිං කවදත් ආදරේ අයියලටනේ.. කොල්ලෝ තමා වටින්නේ. කෙල්ලෝ පොල්කුඩු වාගේ.’’

‘‘වෙනදත් මං මෙහෙම කෙරුවද? නියගේ හිංදා නේද මේ හැම එකම? තල වැහි වහිනකං ඉවසලා හිටපියව්..’’

හැන්ද උරුක් කරමින් කෑ ගසන්නී. කිසිවිටෙකත් නො සැලෙන ගැහැනියයි. ඇය පවා සලිත කරන්නට මේ රුදුරු හිරු සමත් වූවාය. ඇදහිය හැකිද?

‘‘කපුටන්ට වාගේ ළමයින්ටත් බඩිගිනි වෙනේකේ උඹ පලයං කෙල්ලේ කඬේට. නිකං නිස්කාරණේ එක ගොඬේ වැටී ගෙන දුක් විදින්ඩ ඕනෑද මේ දුර්බික්සේ.’’

මුත්තම්මා කවදාවත් නැතුව මී මිණිබිරිය පළවා හරින්නට වෑයම් කළාය.

‘‘ ඕකි කන කෑම… අනේ අපේ අම්මේ කැද වතුර බීගෙන හරි ඕකි අපිත් තෙක්ක ඉදී කඩවල්වලටත් කෝඬේ… ගොයියට අත මිට නෑ කියන්නේ ඉතිං කඬේටත් හෙණහුරා තමා..’’

හිරු කොතරම් බලවත් වුවද කිරි අම්මා මිණිබිරියගෙන් වෙන්වන්නට සූදානම් නැත.

‘‘කඬේ පුතා කස් ගාලා දුවගෙන එයි. කොල්ලගේ පණ තියෙන්නේ මේකි ගාවා.’’

මුත්තම්මාගේ අනාවැකිය සඵල වන්නට වැඩි දවසක් ගතව නොගියේය. එහෙත් එ කෙල්ලගේ ආදරබර තාත්තාට හිටි හැටියේ මහ ගෙදර දිව එන්නට සිදු වූයේ කෙල්ල නොව කොල්ලා කැටුව යාමටය.

අඩහකෑම දහස් වටී යනුවෙන් කව්පදයක් ඇතත් බඩ කට පුරා කන්නට බොන්නට නැතිව ගෙවී ගිය කෙටි කාලය තුළ මහගෙදර ඉලන්දාරින් පමණක් නොව ළමිස්සියන්ද අන් කවර දිනකටවත් වඩා ප‍්‍රචණ්ඩ වූහ. ළමිස්සියෝ කෙහෙවළු පටලා නොගත් දවසක් නොවීය. ඉලන්දාරින් නයි මුගටි නොඑසේනම් බලූ බළල්? නක් මෙන් පොර කෑහ. උනුනුන්ට එදිරිව අතපය අමෝරා ගත්තෝය. අවියක් සන්තකයේ තිබුණේ ලොකු මාමාට පමණක් නොවේ.

ලොකු මාමාගේ මහ පත කඩුවද පුණ්ණා මාමාගේ කිණිස්සද චූටි මාමාගේ පිහියද වේලාව අවේලාව නොබලා පිටතට ඇදී එන කල තැතිගත්තී කිරි අම්මාය.

‘‘මුං පිස්සු බල්ලෝ වගේ කා කොටා ගන්නවා බුදු පුතේ… කන්ඩ ඇතා නැතා එක බඩවැල කඩාගෙන ආපු උං නොවේද? කරුණාවක් මයිත්තිරියක් ඇත්තෙම නෑ.’’ යි කිරිඅම්මා සිය බැණනුවන් බදාගෙන හඬා වැටුණාය.

‘‘එක වෙරළු ගෙඩිය හත් දෙනෙක් බෙදාගෙන කෑවා නේද? හැමදාම මෙහෙම පායන එකක් යැ. හෙට අනිද්දා ආකාසේ ගිගුං දීගෙන වැස්සවහී. එතකං මුංට ඩිංගක් ඉවසන්නඩ බැනේ. එකෙකුට එකෙක් පේන්ඩ බෑ.’’

මුත්තම්මාද සංසාරය පවා මදකට පැත්තකින් තබා පැමිණිලි කළාය.

‘‘පෙළක් ගෙවල්වල කැදක් උයාගන්ඩවත් හාල් ඇටයක් නෑ.’’
කිරි අත්තාගේ හඬ සෝබරය.
‘‘බඩ ගින්දරට වඩා තව ගින්දරක් ඇතැ මේ තුං ලෝකේ.’’

කිරි අම්මා පරම සත්‍යයක් පුනරුච්චාරණය කළාය. සහෝදර පේ‍්‍රමය පවා වියැකී ගිය ඒ දුර්භික්‍ෂ සමය යළි සිහිපත් වූයේ පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල යළි යළි සමාලෝචනය කරන කලය.

ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් දිනකට එක් වේලක් පමණක් ආහාර ලබාගන්නා බව වාර්තා වන අතරේ පවා අපේ යහපාලන රජය මැති ඇමැත්තන් උදෙසා සැප වාහන ගෙන්වන්නට විශාල ධනස්කන්ධයක් වැය කරන්නට පිඹුරුපත් සැකසූ වග මේ වන විට නම් බොහෝ දෙනෙකුන්හට අමතක වී ඇතිවා නිසැකය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය හෝ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ නීතියේ ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම, සොරුන්ට මිනීමරුවන්ට දඬුවම් දීම වැනි බරසාර කාරණා පරයා කුසගින්න ඉස්මතු වූ බව පළාත් පාලන ඡුන්දයේ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරන කල පෙනී යයි. එපමණක්ද අනේක ආර්ථික දූෂ්කරතාවන්ගෙන් පීඩා විදින ජනතාවට ජාතිවාදය එන්නත් කිරීම කොපමණ පහසුදැයි හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය මනාව පසක් කර ගත් බවද පෙබරවාරි එකොළොස් වන දින වන විට පෙනී නොගියේද?

ජීවිතය විදින මිනිසුන්ට නොව ජීවිතය විදවන මිනිසුන්ට සංහිදියාවෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් පළක් නැත.
ශිෂ්ටාචාරය විසින් හික්මවන ලද මිනිසා තුළ ආදි කල්පිත මෘග ගති සොබා නිදි ගැට හැර පිබිදෙන්නේ ආර්ථික දූෂ්කරතා සමග බව අමුතුවෙන් කිවයුතු නැත. වඩා සංකීර්ණ වූ සමාජයක වඩා යහපත් සංස්කෘතික ජීවියෙක් නිර්මාණය වීම සදහා ආර්ථිකය ප‍්‍රධාන වශයෙන් බලපායි.

ග‍්‍රාමීය ප‍්‍රදේශවල පමණක් නොව නාගරික ප‍්‍රදේශවල පවා ඡුන්දදායකයා ඡුන්දය භාවිත කර තිබෙන අන්දම අතිශයින් අවිචාරවත් බවපෙනී යයි. සැබැවින්ම කිව හොත් මේ සමාජ හා ආර්ථික ක‍්‍රමය තුළ පීඩිත හා කම්කරු පංතිය මෙන්ම මධ්‍යම පංතියද අතර පරතරය වේගයෙන් පටුවෙමින් තිබේ. හරියට පසුගිය රජය හා යහපාලන රජය අතරේ වෙනස පටු වෙන්නා වගේය.
සාධාරණ හා නිදහස් මැතිවරණය පිළිබදව සැහීමකට පත්වුවද අපේ රටේ බහුතර ඡන්දදායකයා සාධාරණ හා නිදහස් මනසකින් ඡුන්දය භාවිත කළේදැයි සැක සහිතය.

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයටද යහමින් ඇත්තාවූ බලලෝභය හා පොදු මහ ජනතාව තුළ රට හා හෙට පිළිබදව හැගීමක් තැකීමක් නොමැති වීම වෙසෙසින් කැපී පෙනෙයි. එපමණක් නොව නිලධාරී තන්ත‍්‍රයටද රට පිළිබ`දව ගැඹුරු හැගීමක් ඇත්තේ නැත.

රටේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගන්නට තරම් දේශපේ‍්‍රමයක් මේ ඊනියා දේශපේ‍්‍රමින් තුළ නොවන බව පසක් වන අනේක සිදුවීම් දිනක් නැර වාර්තාවෙයි. අවසන් ප‍්‍රතිඵලය කුමක්ද? යුක්ති ගරුක හා සාධාරණ පුරවැසියාට මෙරට මරු කතරක් විනා ක්ෂේම භූමියක් නොවන වගයි.

පරම්පරා කීපයක් තිස්සේ ශී‍්‍ර ලංකාව දියුණුවෙමින් පවතින රටකැයි උගනිමු. ඉතින් ඉතිරියටත් අර ඈත අහසේ යෝධ තාරකාව වන හිරු මිය ගොස් පෘතුවිය විනාශ වන දිනය දක්වාම ලංකාව දියුණුවෙමින් පවතින නොදියුණු රටකැයි පුනරුච්චාරණය කරමු.
අදෝමැයි