වකුගඩුවලට හේතු

රසික ගුණවර්ධන

රජරට ආශිත ප්‍රදේශ ගණනාවක දැකගත හැකි වකුගඩු රෝගය පිළිබඳව විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල විවිධ හේතු ඒ සඳහා හේතු වන බව සඳහන් කළේය. එහෙත් කාලයත් සමග ඒවා අහෝසිවන්නට විය. රසායනික පොහොර හා කිවුල් ජලය වකුගඩු රෝගයට හේතු වන්නේ දැයි විශ්‍රාමික වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, වකුගඩු ආරක්ෂණ පදනමේ උප සභාපති සහ රාජංගනය ව්‍යාපාරයේ එක්සත් ගොවි සංවිධානයේ යාය හතර සභාපති ටෙරස් ගාමිණී මහතාගෙන් අපි විමසුවෙමු. මේ සමග කරන ලද සාකච්ඡාවකින් මේ ලිපිය සම්පාදනය කර ඇත.
වකුගඩු රෝගය මිත්‍යා විශ්වාස රාශියක් සමග බැඳී ඇති රෝගයකි. වකුගඩු රෝගය තුළ වර්තමානයේ ප්‍රධාන වශයෙන්ම කතාබහට ලක්වන ප්‍රධානතම ස්වරූපය නම් මාරාන්තික වකුගඩු රෝගය යි. ඇතමුන් පවසන කාරණාව නම් මෙම වකුගඩු රෝගයට ඖෂධ නොමැති බව යි. එසේම මෙම රෝගය වැලඳුනහොත් අනිවාර්යයෙන්ම මිය යන බවත් සෑදීම හේතු සොයා ගැනීමට නොහැකි බවද ඇතැමෙකුගේ මතයය වී ඇත. එහෙත් අවධාරණයෙන් පැවසිය යුතු කාරණව නම් මේ මත සියල්ල අසත්‍ය බව යි.

හේතු

මෙසේ මේ කරුණු අසත්‍ය බව පැවසීමට මූලික හේතුව නම් මේ වන විට වකුගඩු රෝගය සෑදීමට හේතූන් සොයාගෙන තිබීම යි. ඒ අනුව වකුගඩු රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ ඒ සඳහා ගොදුරු වන්නේ දියවැඩියාව සහ රුධිර පීඩනය නිසාවෙනි. මීට අමතරව අකණ්ඩව ඇතිවන මුත්‍රා ආසාදන, වකුගඩුවල ගල් වැනි කාරණාද මෙම සියයට අසූවක රෝගීන් අතර පැවතීමට හැකියාවක් ඇත. අනෙක් සියයට විස්සක ප්‍රමාණය වකුගඩු රෝගයට ගොදුරු වන්නේ මන්ද පෝෂණය සහ විජලනය නිසාවෙනි.
ඉහත සඳහන් කළ රෝගීන් පිරිස අතුරින් සඳහන් කළ සියයට අසූවක ප්‍රමාණය පහසුවෙන් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස මූත්‍රා ආසාදනයක් ඇති පුද්ගලයෙක් වේදනාව නිසාම ප්‍රතිකාර සඳහා යොමුවීම නිසාම රෝගය අනාවරණය කරගැනීමට හැකියාව ලැබේ. එහෙත් මන්දපෝෂණය සහ විජලනය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරුවන සියයට විස්සක පිරිස ප්‍රතිකාරවලට ලක්වීමක් සිදු නොවීම නිසා ඔවුනගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට අවස්ථාව නොලැබේ. ඒ නිසාවෙන් එම පිරිස රෝගයේ මුල් අවදියේදීම හඳුනා ගැනීමට අවස්ථාව නොලැබීම නිසා, රෝගලක්ෂණ පහළ වන අවස්ථාවේදී එම රෝග ලක්ෂණ නිසා ඔවුන් රෝගය හඳුනා ගැනීම සිදු කරණු ලබයි. එහෙත් රෝග ලක්ෂණ පහළ වන අවස්ථාව යනු රෝගය උත්සන්න වී ඇති අවස්ථාව නිසා ඔවුන් ජීවිතා අවධානමට ලක්වේ.

රෝගයේ අවස්ථා

මේ කාරණය නිසාම උක්ත සියයට විස්සක රෝගීන්ගේ ප්‍රමාණය හඳුන්වනු ලබන්නේ හඳුනා නොගත් වකුගඩු රෝගීන් ලෙසට ය. මේ විධි දෙකෙන් කුමන ආකාරයෙන් වකුගඩු රෝගය වැලඳුනද එය අවස්ථා පහක් යටතේ බෙදා දැක්වීම සිදු කළ හැකිය.
ඒ අනුව පළවැනි අවස්ථාවේ යටතේ රෝගය හඳුනා ගැනීම සිදු කළ හොත් සුව වීම සඳහා ඖෂධ අවශ්‍ය වන්නේ නැත. නිසි පිළිවෙළට ජලය පානය කිරීම, තුලිත ආහාර වේලක් ලබා ගැනීම වැනි කාරනා තුළින් රෝගය පාලනය කර ගැනීමට අවස්ථාවක් ලැබේ. එසේම වසරකට වරක් වත් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම තුළින් රෝගී තත්ත්වය වැඩිවී ඇද්ද යන්න පරීක්ෂා කර ගැනීමට හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් රෝගය අඩුවීමක් සිදු නොවන අතර සිදු වන්නේ වැඩිවීම නැවතීමකි. සාමාන්‍යයෙන් පළමු අවස්ථාවේදී රෝගය හඳුනා ගැනීම සිදු කළ හොත් අවුරුදු තිහෙන් පමණ ජීවිතය අවසන් වීමට තිබූ පුද්ගලයෙකුට අවුරුදු හතළිහක් දක්වා ජීවත් වීමට හැකියාව ලැබේ. එනම් රෝගය ප්‍රමාද කරවීමේ හැකියාවක් ලැබේ.
දෙවැනි අවස්ථාවේ හඳුනා ගැනීම හරහා රෝගියාට තෙමසකට වරක් සායන සඳහා යොමු වීමට සිදුවේ. විවිධ පරීක්ෂණ සඳහා යොමුවීමට සිදු වේ. එසේම ලේ නිශ්පාදනය මේ හරහා අවම වීම නිසා විටමින් වර්ග ලබා ගැනීමට රෝගියාට සිදු වේ. මේ ක්‍රියාවලිය හරහා රෝගය වැඩිවීමට නොදී පාලනය කිරීමේ හැකියාව ලැබේ.
එසේම තෙවන අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම තුළින් මසකට සැරයක් සායන සඳහා යොමු වීමට සිදුවන අතර විටමින් පෙතිවලට අමතරව තවත් ඖෂධ ලබා ගැනීමට රෝගියාට සිදු වේ. මෙහිදීද ප්‍රතිකාර හරහා රෝගය වැඩිවන වේගය පාලනය කරගැනීමේ හැකියාව ලැබේ. මේ අවස්ථාවේදී රෝගය හඳුනාගෙන ඊට අවුරුදු දහයක පහළොවක පමණ තිස්සේ සිට ප්‍රතිකාර ගන්නා රෝගීන් බහුලව හමුවේ.
සිව්වන අවස්ථාවේදී රෝගය හඳුනා ගැනීම සිදු කළ හොත් රුධිරය මාරුකිරීම්වලට යොමු වීමට සිදුවේ. මෙහිදී සතියට වතාවක්,දින තුනකට වතාවක් පමණ රුධිරය මාරු කිරීම සඳහා රෝහලට යාමට සිදුවේ. මෙහිදී නව වකුගඩුවක් යෙදිය යුතුද යන්න ද්විතීකව තීන්දු කරනු ලබයි.
පස්වන අවස්ථාවේදී හඳුනා ගැනීම සිදු කළ හොත් රුධිර මාරු කිරීම සහ නව වකුගඩුවක් යෙදීම යන කාරණ සඳහා හැකි ඉක්මනින් යොමු වීමට සිදු වේ. මේ අවස්ථාවේ රෝග පරීක්ෂණයකින් තොරව රෝගය හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. මේ අවස්ථාවේ පසුවන රෝගියෙකුගේ රෝග ලක්ෂණ ලෙස මුහුණ ඉදිමීම, හන්දි ඉදිමීම, සුදු මැලි වීම, කොන්දේ රුදාව, බඩ ඉදිමීම දැක්විය හැකිය. මේ අවස්ථාවේ පසුවන රෝගියෙකු පරීක්ෂණ සඳහා යොමු වීම අනවශ්‍ය වන අතර ඔහු දෙස බැලීමෙන්ම ඔහු රෝගයට ගොදුරු වී ඇතැයි පැවසීමට හැකිය. ඇතැම් විට මේ අවස්ථාවේදී රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට සූදානම් වන විට රෝගියා මිය ගොස් තිබිය හැක. ඒ අනුව වකුගඩු රෝගය සෑදුනහොත් මියයනවා යැයි ඇති ප්‍රසිද්ධ මතයට හේතු වී ඇත්ට්ජ්හේ පස්වන අවස්ථාවේ හඳුනා ගන්නා රෝගීන් නිසාවෙන් වේ. මේ අවස්ථාව වන විට සියයට අනූවක් පමන් රෝගියාගේ වකුගඩුව නරක් වීමට ලක් වී ඇති නිසා මෙසේ ඔවුන්ගේ ජීවිතය හානිවීමේ අවදානම ඉහළ යයි. එහෙත් ඇතැම් රෝගීන් රුධිර මාරු කීරීම මත ම ජීවත් වේ. එනම් ඇතැම් රෝගීන් සිය වකුගඩුව සියයට සියයක්ම හානිවී පැවතියද ජීවත් වේ. ඒ අනුව වකුගඩු රෝගය සෑදුන හොත් අනිවාර්යෙන්ම මියනවා යැයි පැවසීම මුලාවකි. ඒ අනුව වකුගඩු රෝගය නිසා මරණ සිදු වන්නේ නියමිත අවස්ථාවේදී හඳුනා නොගැනීම නිසාවෙනි.

දුෂ්කරතා

වකුගඩු රෝගය හඳුනා ගැනීම අපහසු වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය වන පරීක්ෂණවල දුලබ බව නිසාවෙනි. මූත්‍රා පරීක්ෂණවලින් වකුගඩු රෝගය හඳුනාගත නොහැකි අතර ඒ සඳහා රුධිර පරීක්ෂණ සඳහා යොමු වීමට සිදු වේ.
සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ මුත්‍රා ඇල්බියුරීන් පරීක්ෂාව යි. එහෙත් මේ පරීක්ෂණය තුළින්ද රෝගය අනාවරණය නොවී දෙවන සහ තුන්වැනි අවස්ථාවන් කරා රෝගය ගමන් කිරීමේ හැකියාවක් ඇත. ඒ නිසා මුත්‍රා පරීක්ෂාව තුළින් පමණක් රෝගය හඳුනා ගැනීමට හැකියාව නොලැබේ. මේ නිසා රෝගය හඳුනා ගැනීම සඳහා මූලික ලේ පරීක්ෂණයක් සඳහා යොමු විය යුතුය. සීරෝ කොන්ටනීන් (zero contain) ලෙස හඳුන්වන මෙම පරීක්ෂණය සිදු කර ගැනීමට නිසි පහසුකම් ඇති රසායනාගාර ඇත්තේ ඉතාම අඩුවෙනි. රසායනාගාර ඇති ඇතැම් රෝහල් වල පවා මේ රුධිර පරීක්ෂණයට පහසුකම් ඇත්තේ නැත. එසේ වී ඇත්තේ ඒ පරීක්ෂණය සඳහා අවශ්‍ය වන යන්ත්‍ර (auto analyzer) එම රසායනාගාර සතු නොවන නිසාවෙනි. හැම ගමකම රසායනාගාර පවතී නම් මිනිසුන් අදාළ පරීක්ෂණ වෙතට පහසුවෙන්ම යොමු කර රෝගීන් හඳුනා ගැනීමේ පහසුකම පවතී. මේ වන විට සිදුවන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් හා විවිධ සංවිධාන මහජනයා වෙතට ගොස් ජංගම සායන තුළින් අදාළ පරීක්ෂණ සිදුකිරීම යි. එහෙත් එය ප්‍රමාණවත් වන්නේ නැත.

අඩු ජල පරිභෝජනය

රෝගීන්ගෙන් නිරීක්ෂණයේදී දැකගත හැකි ප්‍රධාන කරුණක් නම් එම රෝගීන්ගෙන් අති බහුතරය දුප්පත් ගොවීන් සහ කුලී වැඩ කරන්නන් බව යි. එසේම ඔවුන් දිනකට දීර්ඝ කාලයක් අව්වේ රැකියාවල නිරතවන බව හා ප්‍රමාණාත්මකව අඩු ජල පරිභෝජනයකින් යුක්ත වන බවයි. එසේම ඔවුන් බහුල වශයෙන් හමුවන්නේ කුඩා වැව් ගම්මානවලය. ජලසම්පාදන මණ්ඩලයෙන් ජලය සපයනු ලබන නගරාශිත ජනයා අතර සේම, දුෂ්කර පළාත් වුවත් ස්වාභාවික පිරිසිදු ජලය සහිත ගම්මානවලද වකුගඩු රෝගීන් දැකගත නොහැක.
සාමාන්‍යයෙන් දින තුනක් පමණ එක දිගට පාචනය පවතින විට වකුගඩුව තාවකාලිකව නැවතීම සිදුවේ. එසේ වන්නේ විජලනය නිසාය. මෙසේ ක්‍රියා කාරී නොවන විට පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් කාලාන්තරයක් නිසි පරිදි ප්‍රමාණවත් ජල පානයක් සිදු නොවූ විට වකුගඩුව අක්‍රීය වීම සිදු වනුයේ සෙමිනි. එය සොයා ගැනීම දුෂ්කරය. ඒ අනුව කාලාන්තරය තිස්සේ ජලය පානය නොකිරීම වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුවයි. මෙය කරන ලද පරීක්ෂණ අනුව සනාත වී ඇත. වකුගඩුව සියයට අසූවක් පමණ අක්‍රීය තරුණයෙකු සමග කටයුතු කරණ විට හෙළි වූ කාරණාව නම් ඔහු පුරුද්දක් ලෙස කාලාන්තරයක් තිස්සේ ජලය අවම පරිභෝජනයකින් යුක්ත වන බවයි. ඔහු කුලී වැඩවල නිරත වන තරුණයෙකි. ඔහු නිවසින් පිටව යාමට පෙර ජලය පානය කරන අතර දිනය පුරාම අව්වේ වැඩ කර නැවත ජලය පානය කරනු ලබන්නේ නිවසට පැමිණීමෙන් අනතුරුවය. මේ තරුණයා ජීවත්වන නිවසේ කිසිදු සාමාජිකයෙකුට වකුගඩු රෝගය වැළඳී නොමැති අතර ඔහු රැකියා කරන ස්ථානයේ කිසිවෙකුට ද වකුගඩු රෝගය වැළඳී නැත. ඒ අනුව හෙළි වූ කාරණාව නම් මොහු ජල පානයෙන් දුරස් වීම මෙම වකුගඩු රෝගයට ගොදුරු වීමට හේතු කාරණා වී ඇති බවයි. ජලයේ හෝ කෑම බීමේ හේතුවක් වකුගඩු රෝගයට හේතුවනවා නම් ඔහුගේ නිවසේ සාමාජීකයන්ට හෝ ඔහු සමග වැඩකරානා පිරිසටද වකුගඩු රෝගයට ගොදුරු විය යුතුය. උක්ත සිදු වීම වැනි සිදුවීම් සමග දීර්ඝ කාළයක් තිස්සේ සිදු කරණ ලද පරීක්ෂණ සහ නිරීක්ෂණ අනුව පැහැදිලි ලෙසම වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව ලෙස අවම ජල පානයෙන් යුක්ත වීම බව දැක්විය හැකිය.

කිවුල සහ රසායනික පොහොර

ජලයේ පවතින රසායනික සංයුතිය රෝගය සඳහා හේතුවේ යැයි ඇතැමෙකු පැවසුව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ සහ ගන්නෝරුව පශූ විද්‍යා පර්යේෂණ ආයතනයේ සහභාගිත්වය ඇතිව මීයන් යොදා ගනිමින් පර්යේෂණ සිදුකර තිබේ. එහිදී මෙම රෝගය සඳහා ඇලුමිනියම්, ෆ්ලෝරයිඩ් සහ ඇලුමිනියම් – ෆ්ලෝරයිඩ් සංකීර්ණවල බලපෑම අධ්‍යයනය කර ඇත. එහිදී පානීය ජලයට විවිධ සාන්ද්‍රණවලින් ඇලුමිනියම් සහ ෆ්ලෝරයිඩ් මිශ්‍ර කර මීයන්ට ලබාදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර තිබේ. එහිදී හෙළිවූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටමට හෝ ඊට තරමක් වැඩි ප්‍රමාණයක් ෆ්ලෝරයිඩ් සහ ඇලුමිනියම් ජලයට මිශ්‍ර වුව ද එය වකුගඩු රෝගය වැළඳීම සඳහා හේතු නොවන බවය.
සාමාන්‍යයෙන් වකුගඩු රෝගීන් වාර්තා වන්නේ උතුරු මැද පළාත්වලිනි. ඒ අනුව යමෙකුට එම පළාත්වල පමණක් ජනයා මෙසේ අවම ජල පරිභෝජනයයෙන් යුක්ත වන්නේ මන්දැයි ප්‍රශ්නයක් පැන නැගිය හැකිය. එයට මෙසේ පිළිතුරු ලබාදීමට හැකියාවක් ඇත.
මේ ප්‍රදේශවල ජලය පානය නොකිරීමට ප්‍රධනතම හේතුව නම් ප්‍රදේශයේ ජලය පානය කිරීමට ප්‍රිය නොවීම යි. වකුගඩු රෝගීන් බහුල ප්‍රදේශවල වතුර සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම කිවුල් ස්භාවයක් ගනී. ඇතැමෙකු පවසන්නේ කිවුල් වතුර පානය කිරීම නිසා වකුගඩු රෝගය සෑදෙන බවයි. එහෙත් එය එසේ නොවේ. වකුගඩු රෝගයට කිවුල් ජලය ප්‍රධාන හේතුවක් වන්නේ නැත. රෝගය හා කිවුල් ජලය සම්බන්ධ වන්නේ වක්‍රාකාරවය. වතුර කිවුල වීම නිසා මිනිසුන් වතුර බොන ප්‍රමාණය අඩු කර ඇත. කිවුල සහිත ජලය පානය කරන මිනිසුන් සිටින නිවසක දිනකට පානය සඳහා යොදා ගන්නා ජල ප්‍රමාණය එම නිවසට සමාන නිවැසියන් ප්‍රමාණයක් සිටින එහෙත් පානය කරන ජලය කිවුල් නොවන නිවසක පානය කරන වතුර ප්‍රමාණය හා සසඳා බලන විට කිවුල් ජලය පානය කරන නිවසේ පරිභෝජනය වන වතුර ප්‍රමාණය අඩු බව පැහැදිලිවම දැකගත හැකිය.
එසේම ඇතැමෙකු පවසන්නේ රසායනික පොහොර භාවිතය වකුගඩු රෝගයට ඝෘජුවම හේතු වන බවයි. එහෙත් එහිද සත්‍යතාවක් නොමැත. වකුගඩු රෝගයට රසායනික පොහොරේ බල පෑමද වක්‍රාකාර වේ. එනම්, ගොවීන් සිය කුඹුරු වලට අධික ලෙස කෘමි නාශක,වල් නාශක යෙදීම සිදු කරනු ලබයි. එය මිශ්‍ර වූ ජලය විස සහිත බවද මිනිස් සිරුරට අහිතකර බවද ගොවියා දන්නා කාරනාවයි. එහෙත් අතීතයේ එසේ රසායනික පොහොර භාවිත නොවූ නිසා ගොවියා බියකින් තොරව කුඹුරේ ජලය පානය කිරීම සිදු කළේය. වර්තමානයේ එසේ පානය කිරීමට ගොවියා බියවේ. මේ නිසා බොහෝ විට ගොවියා කුඹුරේදී ජලය පානය කරණ ප්‍රමාණය වර්තමානයේ අවම වේ. මේ නිසාවෙන් ඔහු වකුගඩු රෝගයට නිරාවරණය වීම සිදු වේ.
වතුර බීම අඩු වීම නිසා විජලනයට ලක් වේ. විජලනයට ලක්වීම නිසා වකුගඩු නරක් වීමට ලක් වේ.

අතීතය

මීට අවුරුදු ගණනාවකට මතු වකුගඩු රෝගය වැනි රෝගයක් නොපැවතුනා විය හැකිය මෙසේ වතුරේ කිවුල අතීතයට බල නොපෑමට හේතුවක් පැවතුනි. අතීතයේ මිනිසා ජීවත් වූයේ ගම්මැද්දේ ය. ගම්මැද්ද යනු උඩ වැව මැද ගම යට වෙල් යාය සහිත වූ පිහිටීමටයි. ඒ අනුව වැවට පහළින් ජීවත් වූ ගැමියාගේ ළිඳ පැවතියේ වැවට පහළිනි. ඒ නිසා ඒ ළිං නිරන්තරයෙන් පිරීදු ජලයෙන් පිරී පැවතුනි. එහෙත් පසුකාලීනව මෙම ක්‍රමය වෙනස් වීම නිසා වැව් ගම්මානවල ජනයා වැව ඉහළට පදිංචියට පැමිණීමත් සමඟ ඔවුන්ගේ ජලය ලබා ගන්නා ළිං වැවට ඉහළින් ඉදිවීම සිදු විය මේ නිසා පෙර පරිභෝජනය කළ පිරිසිදු ජලය වෙනුවට ඔවුනට වැවට ඉහත්තාවේ ඇති කිවුල් ජලය පරිභෝජනයට සිදු විය. වැවට ඉහළ තෙත් පරිසරයක් නොවීම සහ එහි ඇති වියළි පරිසරය ස්භාවයෙන්ම ජලයේ ලවන ගතිය ඉහළ දමනු ලබයි. ඒ නිසාවෙන් අතීතයට සාපේක්ෂව මෙසේ බහුලව වකුගඩු රෝගීන් දැක ගැනීමට හැකියාවක් ලැබේ.

අවම කිරීම

වකුගඩු රෝගයට ගොදුරු වන පිරිස අවම කර ගැනීමට නම් මූලික වශයෙන්ම රෝගය කළින් හඳුනා ගත යුතුය. එය ඉතා වැද ගත් වේ. රෝගය හඳුනා නොගැනීම නිසා සිදු වන්නේ වළක්වා ගත හැකි මරණ නොවැලැක්වීම යි. මීට අමතරව ජනතාව සඳහා ප්‍රියතාවකින් යුතුව පරිභෝජනය කළ හැකි ජලය ලබා දීම වැදගත් වේ. ඒ සදහා RO යන්ත්‍ර මගින් ජලය පෙරා දීම වැනි ක්‍රියා ඇතැම් ප්‍රදේශවල දැකගත හැකි වුවද එය ප්‍රමාණවත් නොවේ. එසේම මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද වැදගත් වේ. මේ සම්බන්ධව ගමින්ගමට ගොස් ජංගම රසායනාගාර යොදා ගනිමින් පරීක්ෂණ පවත්වා රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම සහ දැනුවත් කිරීම වකුගඩු ආරක්ෂණ පදනම විසින් සිදු කරනු ලබයි. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රධාන වශයෙන් අනුරාධපුර ජයශ්‍රීමහා බොධිය අසල සහ රුවන්වැලි සෑය අසල තබා ඇති කැටවලින් ලබා ගන්නා අතර රාජ්‍ය බැංකු වල තබා ඇති කැටවලින් ද මුදල් ලැබීම සිදු වේ. වෛද්‍ය අන්වර් සදාන් සහ රාජක්‍රිශ්නන් යන වෛද්‍යවරුන් මේ කර්ථව්‍යට උරදී කටයුතු කරන අතර අනුරාධපුර රෝහලද විශාල වශයෙන් මේ සඳහා උපකාර සපය යි.