ව්ලැද්මීර් පුටින් රජාට ඇඳීම

ප්‍රභාෂ්වර

අද 65 වැනි වියේ පසුවන (රුසියානු ජනපති) ව්ලැද්මීර් පුටින්, 1995දී සාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය දිනාගත් වහාම රුසියානු රාජ්‍ය ආරක්ෂක කොමිටියේ (කේ.ජී.බී.) විදෙස් බුද්ධි නිලධාරියෙකු ලෙස සේවයට බැඳුණේය. යුද හමුදා බුද්ධි අංශය හා සබැඳි කේ.ජී.බී.හි වසර 16ක් සේවය කළ හෙතෙම 1991දී එතැනින් විශ්‍රාම ගන්නා විට ලුතිනන් කර්නල්වරයෙකුගේ තත්ත්වයට උසස්වීම් ලැබ සිටියේය. 1996දී ඔහු එවකට රුසියාව පාලනය කළ ජනාධිපති බොරිස් යෙල්ට්සීන් සමග එක්ව දේශපාලනයට පිවිසියේය. පුටින් කෙතරම් දක්ෂයෙක්දැයි කිවහොත්, 1999 දෙසැම්බර් 31 වන විට රුසියාවේ වැඩ බලන ජනපති වශයෙන් දිවුරුම්දීමට ඔහුට හැකියාව ලැබුණි. මන්ද, ස්නායු ආබාධයකින් හා උග්‍ර හෘදය රෝගයකින් දැඩි ලෙස ගිලන්වුණු රුසියානු ජනපති බොරිස් යෙල්ට්සින් එම ධුරයෙන් ඉල්ලා අස්වුණු හෙයිනි. ඉනික්බිති, 2000 වසරේදී පැවති ජනපතිවරණයට ඉදිරිපත් වුණු පුටින්, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 53%ක ප්‍රතිශතයක් ලබමින් ඉන් ජයග්‍රහණය කළේය. එදා මෙදා තුර, එනම් ඔහුගේ වසර 17ක පාලනය කාලය තුළ හෙතෙම දේශප්‍රේමී රුසියානුවන් වීරයෙකු සේ හැමවිටම අභිෂේක ලැබීය.

දේශප්‍රේමය පතුරාලීම

1991 දෙසැම්බර් 26 දින, එක්සත් සමාජවාදී රුසියානු ජනරජය විසුරුවා හැරීමත් සමග සෝවියට් රුසියාව යටතේ තිබූ රටවල් 14ක් ස්වාධීන දේශයන් බවට පත්විය. සෝවියට් දේශයේ ප්‍රාන්ත රාජ්‍යයන් ලෙස බොහෝ කාලයක් තිස්සේ පැවති ජෝර්ජියාහි 2003, යුක්රේනයේ 2004 වසරේදීද, කිර්ගිස්ථානයේ 2005දීද, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා දියත් වුණු ජනතා උද්ඝෝෂණ හේතුවෙන් එම රටවල තිබූ ආණ්ඩු පෙරළී යාම නොවැළැක්විය හැකිවිය. රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් සිය දැවැන්ත රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රණය භාවිත කරමින් පුන පුනා කියා සිටියේ ඉහත කී ආණ්ඩු පෙරළා දැමුවේ ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානය ප්‍රමුඛ බටහිර කුමන්ත්‍රණකාරීන් විසින් බවයි. 2011දී පැවති රුසියානු මැතිවරණය අන්ත දූෂිත බැව් කියමින් ඊට එරෙහිව වීදි බැස උද්ඝෝෂණය කළ ‘හිම විප්ලවයේ’ සියලු ක්‍රියාකාරීන්ව, ජනපති පුටින්ගේ හමුදාව හා පොලිසිය විසින් කෲර ලෙස මර්දනය කොට හිරේ විලංගුවේ දමනු ලැබීය. රුසියාව අස්ථාවර කිරීමේ බටහිර හා ඇමරිකානු කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටින දේශප්‍රේමියා තමන් බව පුටින් සිය හැම කතාවකදීම අවධාරණය කළේය. ‘රුසියාව යළිත් ශ්‍රේෂ්ඨ දේශයක් බවට පත් කරමු’ යන තේමාව ඔහු පෙරට ගෙන ආවේ තම රටවැසියන් දේශප්‍රේමයෙන් මුසපත් කිරීමේ අභිලාෂයෙනි. යුක්රේනයේ 04 වැනි ජනපතිවරයා වූ වික්ටර් යනුකොවිච්, තම රට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගන්නවාට දැඩි සේ විරුද්ධ වූයේ හෙතෙම පුටින් හිතෛෂියෙකු වූ නිසාය. එම විරෝධය පෑමේ ප්‍රතිඵලයක් ලෙස එරට පාර්ලිමේන්තුව, 2014 පෙබරවාරි 22 දින වික්ටර්ව ජනපති ධුරයෙන් පහකිරීමට ක්‍රියා කළේය. ඊට එරෙහිව කළ හැකි දෙයක් නොවූයෙන්, වික්ටර් යනුකොවිච්, රුසියාව වෙත පලා ගියේය. තම හිතවතා යුක්රේන ජනපති ධුරයෙන් පහකිරීම පිළිබඳව කෝපාවිෂ්ට වූ රුසියානු ජනපති පුටින්, 1954 සිට යුක්රේනයට අයත්ව තිබූ වර්ග කිලෝමීටර් 2700ක් විශාල ‘ක්‍රිමියා’ නම් භූමි ප්‍රදේශය හමුදා ආක්‍රමණයක් ඔස්සේ රුසියාව යටතට ගැනීමට ක්‍රියා කළේය. යුක්රේන හමුදා මෙකී ආක්‍රමණයට එරෙහිව නැගී සිටීමට මුලදී උත්සාහ කළත් රුසියානු මිලිටරි බලපරාක්‍රමය අබියස පසුව පල්ලම් බැසීමට ඔවුන්ට සිදුවිය.

ජනප්‍රියත්වය ඉහළ යෑම

මිලිටරි බලය හරහා ක්‍රිමියාව රුසියාවට ඈඳා ගැනීමත් සමග රුසියානු ජනතාව අතර පුටින්ට තිබූ ප්‍රසාදය 80%කින් ඉහළ ගියේය. 2017 නොවැම්බර් 18 දින රුසියානු ජනපතිවරයා එරට දේශප්‍රේමී සාර් රජ කෙනෙක් වූ 03 වැනි ඇලෙක්සැන්ඩර් (1845-1894) ගේ පිළිමයක් ක්‍රිමියාහිදී විවෘත කරමින් මෙසේ කීය. “විදෙස් බලවේගයන්ට ඕනෑ හැටියට රුසියාව නටවන්ට බැරි බව බටහිරට කියා දුන් ශ්‍රේෂ්ඨ සාර්වරයා 03 වැනි ඇලෙක්සැන්ඩර් බව මා නොබියව පවසනවා. අප යා යුත්තේ ඔහු ගිය අඩිපාරේ වග අවධාරණය කරන්නට මා කැමතියි.” සාර් රජුගේ පිළිමය පිටුපස, ඔහුගේ පාලන කාලය තුළ සිටි ශ්‍රේෂ්ඨ ගත්කතුවරුන් ලෙස හඳුන්වමින් ෆ්යොදෝර් දොස්තොවියෙස්කිගේ හා ලියෝ තෝල්ස්තෝයිගේ රූප චිත්‍ර ශිල්පියෙකු විසින් නිර්මාණය කර තිබුණත් ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධියට පත්වූයේ දෙවැනි ඇලෙක්සැන්ඩර් රජුගේ පාලන කාලයේදී වග පසුව හෙළිදරව් විය. ඉතිහාසඥයන් මෙම වරද පෙන්වා දුන්නේ බලධාරීන් එය නිවැරදි කිරීමට කිසිදු පියවරක් ගත්තේ නැත. 1891-1892 පැවති දැඩි සාගතයෙන් රුසියානුවන් ලක්ෂ 05ක් මියගිය අතර තෙවැනි ඇලෙක්සැන්ඩර්ට මේ හේතුවෙන් බලවත් ජනතා විරෝධයක් එල්ල විය. ඔහුගේ අකාර්යක්ෂම පාලනයට එරෙහිව එකල හඬ නැගූ සියලුම සමාජ ක්‍රියාකාරීන්ව ඝාතනය කොට අතුරුදන් කිරීමට හෙතෙම ක්‍රියා කළේය. වත්මනෙහි පුටින් වීරත්වයට නංවමින් සිටින්නේ මෙවැනි කෲර පාලකයන්ය. එහෙත් ඉතිහාසය ගැඹුරින් විශ්ලේෂණය කිරීමට නොදත් බහුතරයක් රුසියානුවෝ පුටින්ගේ දේශප්‍රේමය මහත් ආශාවෙන් වැළඳ ගනිමින් සිටිති.

බිහිසුණු ඉවාන්

එතැනින් නොනැවතුණු ව්ලැද්මීර් පුටින්, 1547 සිට 1584 දක්වා ඉතා ම්ලේච්ඡ ලෙස රුසියාව පාලනය කළ සාර් රජු වන බිහිසුණු ඉවාන්ගේ පිළිමයක්ද රුසියාවේ ඔර්යෝල් නගරයේදී අති උත්කර්ෂයෙන් විවෘත කළේය. රුසියාව තුළ කෲර රහස් පොලිසියක් ස්ථාපිත කොට රජයට එරෙහිව වචනයක් වුව පිට කරන කවරෙකු වුවද සාක්ෂියක් නොතබාම ඝාතනය කිරීමට එහි නිලධාරීන් යොදාගත් ප්‍රථම පාලකයා ඉවාන්ය. බිහිසුණු ඉවාන්ගේ ඒකාධිපති පාලනය යටතේ රුසියාව, එරට ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුම සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුදයට හා සිවිල් යුද්ධයකට තල්ලු වී ගිය වග කීර්තිමත් රුසියානු ඉතිහාසඥ ව්ලැඩිස්ලැව් නසරොව් පවසයි. එහෙත් රුසියාවේ වත්මන් සංස්කෘතික ඇමතිවරයා වන ව්ලැද්මීර් මෙඩින්ස්කි පවසන්නේ, ඉවාන් අති දරුණු පාලකයෙක් ලෙස හංවඩු ගැසුවේ එකල රුසියාව විසිත්ත කළ බටහිර ලේඛකයන් විසින් බවයි. ඇමතිට අනුව, ඉවාන් ඉතා ගුණ යහපත් සහ දේශප්‍රේමී සාර් කෙනෙකි. කෝපයෙන් මුසපත් වූ අවස්ථාවක තම පුත්‍රයා පවා මරා දැමූ බිහිසුණු ඉවාන්ගේ පිළිමයක් ඔර්යෝල්හි ඉදිකිරීම පිළිබඳව ඉතිහාසඥයෙකු හා රුසියානු පුරවැසියෙකු ලෙස තමා මහත් කම්පාවට පත්වූ වග නසරොව් අවධාරණය කර සිටියේය. මොස්කව්හි ලෙවාඩා ආයතනයේ සමාජ විද්‍යාඥයකු වන කරීනා ජිපියා කියන්නේ, ජනපති පුටින්, ජෝසෆ් ස්ටාලින් ඇතුළු අතීතයේ සිටි දරුණුම සාර් රජුන් පූජනීයත්වයට පත්කරමින් රුසියාව ඒකාධිපතිත්වයක් කරා හෙමි හෙමින් රැගෙන යන බවයි. තම විරුද්ධවාදීන් අනුකම්පාවිරහිතව මර්දනය කොට තමන්ට කඬේ යන කලාකරුවන්, ව්‍යාපාරිකයන් හා අනෙකුත් ගජමිතුරන් ඔහු වෙත ළං කරගෙන ඔවුන්ට සියලු වරදාන පිරිනැමීම පුටින්ගේ සිරිත වග කරීනා ජිපියා අවධාරණය කරයි.

සුපිරි පුටින්

2017 සැප්තැම්බර් මාසයේදී, ඒකේ 47 මැෂින් තුවක්කුවේ නිර්මාතෘ වන මික්හේල් කලෂ්නිකොව්ගේ අඩි 30ක් උස පිළිමයක් මිලිටරි ගෞරව සහිතව උත්සවාකාරයෙන් නිරාවරණය කිරීමට ජනපති පුටින් ක්‍රියා කළ අතර ඊට ශුද්ධ වූ ජලය ඉසින ලද්දේ පුටින්ට හිතවත් කතෝලික පූජකයෙකු වූ කොන්ස්ටන්ටින්ය. පිළිරුව ශුද්ධ වූ වතුරෙන් දෝවනය කරමින් පූජකයා මෙසේ කීය. “ඒකේ 47 භයානක අවියක් වුවද, මික්හේල් එය නිර්මාණය කළේ අපගේ උතුම් මාතෘ භූමිය විදෙස් සතුරන්ගෙන් බේරාගැනීමේ උදාර කර්තව්‍යය සඳහායි.” වත්මනෙහි ලොව පුරා කලෂ්නිකොව් තුවක්කු මිලියන 100ක් පමණ තිබෙන අතර ඒවායින් පිටවන උණ්ඩ නිසා වාර්ෂිකව ලෝවාසීහු 25,000ක් මරු වැළඳ ගනිති. “ආයුධ නිර්මාණකරුවා ලෝකයට අකල් මරණ ගෙන එන්නෙකි.” යනුවෙන් ලියැවුණු පෝස්ටරයක්, පිළිම නිරාවරණ උත්සවය අසල ප්‍රදර්ශනය කරන්නට තැත් කළ මොස්කව් වැසියකු පුටින්ගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 2016 ඇමරිකානු ජනපතිවරණයේදී හිලරි ක්ලින්ටන්ට එරෙහිව අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනමතයක් ගොඩනැගීමට රුසියානු සයිබර් ආක්‍රමණිකයන් ක්‍රියා කළ වග දැන් හෙළිදරව්වෙමින් පවතී. යුරෝපා සංගමය බිඳ දැමීම පිණිස විවිධ බොරු ප්‍රචාර දස අත පතුරන්නේද ශාන්ත පීටස්බර්ග්හි සිට ක්‍රියාත්මක වන මෙකී රුසියානු සයිබර් ප්‍රහාරක කල්ලියයි. යුරෝපය හා ඇමරිකාව තුළ දේශපාලනික අවුල් වියවුල්, සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කළ ව්ලැද්මීර් පුටින්, රුසියානුවන් බහුතරයකට පෙනෙන්නේ මාතෘභූමිය රැකගැනීමට ආ සුපිරි මිනිසෙකු ලෙසය. 2018 මාර්තු 18 දින පැවැත්වෙන රුසියානු ජනපතිවරණයෙන් නියත වශයෙන්ම පුටින් ජයගනු ඇතැයි දේශපාලන විචාරකයන් 2017 වසරේ සිටම නොපැකිළව පවසන්නේ මේ නිසාය.

චිත්‍ර ප්‍රදර්ශනය

2017 දෙසැම්බර් 06 වැනි දින, මොස්කව් කලාගාරය තුළ ‘සුපිරි පුටින්’ නමැති චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කළේ මොස්කව් රාජ්‍ය සරසවියෙහි පුවත්පත් කලාව පිළිබඳ උපාධිය හදාරන 22 හැවිරිදි යූලියා දුෂේවාය. පුටින් වීරත්වයට නංවමින් නිර්මාණය කළ දැවැන්ත චිත්‍ර 30ක් පමණ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. රුසියාවේ ජනප්‍රියම පොප් ගායකයා වන ටිමාට් විසින් ගයන, “අපට ඕනෑ රජෙක්, පුටින් වාගේ රජෙක්!” නම් ගීතය මෙම චිත්‍ර ප්‍රදර්ශනය අතරේ නිරතුරුවම වාදනය කෙරුණි. රුසියානු ජනගහනයෙන් 14%කගේ හෙවත් මිලියන 20කගේ වත්මන් මාසික ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 170ට අඩුය. ආදායම් බෙදීයාමේ විෂමතාව අතින් අද ලොව මුල්තැනට පත්ව ඇත්තේ රුසියාවයි. ආණ්ඩුවේ දූෂිත කොන්ත්‍රාත්තු හරහා රුසියානු භාණ්ඩාගාරයට වාර්ෂිකව අහිමි වී යන ධනස්කන්ධය ඩොලර් බිලියන 35 ඉක්මවයි. එහෙත් පුටින්ගේ ආණ්ඩුවට අතයටින් උදව් කරන ව්‍යාපාරික ගජමිතුරන්ට නම් මෙය ස්වර්ණමය යුගයකි. ෆෝබ්ස් සඟරාවට අනුව, මොස්කව් නුවර තුළ පමණක් රුසියානු බිලියනපතියෝ 73ක් වෙසෙති. තනි පුද්ගලයෙකු සුපිරි විධායක බලයක් සහිත රජෙක් ලෙස අභිෂේක කිරීම නිසා අද රුසියානු ව්‍යවස්ථාව, අධිකරණය, පාර්ලිමේන්තුව යනාදිය පමණක් නොව, එරට පල්ලිය පවා පුටින්ගේ පදයට නටන රූකඩ සමූහයක් බවට පත්ව ඇති වග ලන්ඩන්හි කින්ග්ස් සරසවියේ රුසියානු සබඳතා පිළිබඳ මහාචාර්ය සෑම් ග්‍රීන් පවසයි. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් වෙනුවට, රජුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් බිහිවීම රටක් දිගුකාලීනව නන්නත්තාර වීම කෙරෙහි බලපාන බැව් හෙතෙම කියයි. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබා ඉකුත් වූ වසර හැත්තෑව තුළම, ක්‍රියා කළේ ශක්තිමත් ආයතන ක්‍රමයක් ගොඩනැගීමට නොව රට පාලනය කළ පවුල් හා පුද්ගලයන් වන්දනාමාන කිරීමටය. එහි කූටප්‍රාප්තිය වූයේ යුද්ධය දිනූ නායකයා ලෙස මහින්දව අභිෂේක කිරීමයි. මේ ගෝත්‍රික මානසිකත්වයෙන් අප කවදා නම් ගොඩඒද?