රාවය

එකකු නොව පරයෝ බොහෝය!

එකකු නොව පරයෝ බොහෝය!

උපාලි කොළඹගේ

මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගේ සිට සියලුම ආගමික නායකයන්ද, ජනාධිපති අගමැතිගේ සිට මහින්ද රාජපක්ෂ හා විමල් වීරවංශ දක්වා වූ සියලුම දේශපාලනඥයෝද ජාති, ආගම් භේදයට එරෙහිව මේ දිනවල විවිධ ප්‍රකාශ, නිවේදන ආදිය නිකුත් කරති. ආරක්ෂක අංශවල ප්‍රධානීහුද නිලබලයෙන්ම මීට අනුපාන සපයති. එය ඔවුන්ගේ රාජකාරියේද කොටසකි.
මෙම තත්ත්වය ශ්‍රී ලාංකිකයන් වන අපට නුපුරුදු අත්දැකීමක් නොවෙයි. නිදහස ලැබීමට පෙර හා පසුද රට තුළ විටින් විට ආගම් හා ජාති භේද කෝලාහල ඇතිවීම ස්වභාවික සංසිද්ධියක් බවට පත්ව තිබේ. මෙම හැම අවස්ථාවේදීම රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ආරක්ෂක අංශ යොදවා කලබලකාරී තත්ත්වයන් මර්දනය කෙරේ.
පසුව බලයේ සිටින ආණ්ඩුව රටේ සාමය හා සංහිඳියාව ඇති කළ බවටද පුරසාරම් දොඩවයි. එහෙත් ටික කාලයකින් යළිත් මේ දේම සිදුවෙයි. තැටිය රත්වනතුරු බලා සිටින ඊනියා ජාති හා ආගම්වාදීහු හිතේ හැටියට රොටිය පුච්චා ගනිති. මීට අමතරව මහ ජාතිය මෙන්ම සුළු ජාතීන් අතරද කුලභේදය පවත්නාමුත් ජාති හා ආගම් භේදය ඇවිස්සීමේදී කුල සාධකය අමතක කර දැමීමට ඔවුහු පරිස්සම් වෙති. කුලය ඉස්මතු වුවහොත් එය සතුරාට එරෙහිව කෙරෙන පොදු සටනට ඉන් බාධාවක් වෙතැයි ඔවුන් සිතනවා විය හැක. සිංහල ජාතියේ මුරදේවතාවුන් ලෙස පෙනී සිටින භික්ෂු සමාජය තුළද කුලය පදනම් කරගත් නිකාය භේදයක් ඇති බව මෙහිදී අමතක නොකළ යුතුය. ඇතැම් පළාත්වල භික්ෂූන් වහන්සේ හීනයැයි සම්මත අයගේ පාංශකූලයටවත් වැඩම කරන්නේ නැත.
අප ලොව ශ්‍රේෂ්ඨතම ජාතිය ලෙස අපවම හඳුන්වා දුන්නද ගෝත්‍රික වැඩවසම්වාදී ලක්ෂණ අප සමාජය තුළ කෙතෙක් දුරට තවමත් පවතීය යන්නට තවත් උදාහරණ අවශ්‍ය වෙතැයි නොසිතමි. මෙහිදී මහත්මා ගාන්ධිතුමාගේ ශ්‍රේෂ්ඨ කියමනක්ද සිහිපත් වේ. එනම් ජාතියක ශ්‍රේෂ්ඨත්වය රඳා පවතිනුයේ ඔවුන් සුළු ජාතිකයන්ට සලකන ප්‍රමාණය අනුවය යන්නය.
මෙයට අනුව අපේ ශ්‍රේෂ්ඨත්වය සලකුණු කළහැක්කේ කොතැනද?
මෙවැනිම තවත් දාර්ශනික කියමනක් මෙහිදී සිහිපත් කෙරේ. එනම් ජාතිය නිධන්ව ඇත්තේ භාෂාව තුළය යන්නය. මෙහිදී භාෂාව ලෙස හඳුන්වා ඇත්තේ එම භාෂාවට අයත් සාහිත්‍ය හා සියලු කලාංග ඇතුළත් පුළුල් සංස්කෘතික වපසරියකි. සංස්කෘතික මිනිසා ඉපදෙනුයේද සාහිත්‍ය කලා හා සංස්කෘතිකාංගයන්ගෙන් පෝෂණය වූ ගර්භාෂයක් තුළය. එවැනි සංස්කෘතික මිනිසුන්ගෙන් පිරිපුන් සමාජයකි ශ්‍රේෂ්ඨවන්නේ.
නොඑසේව අනිකාට යකඩ පොලුවලින්, බයිසිකල් චේන්වලින් ගසා ඔවුන්ගේ දේපොළ කොල්ලකන සමාජයක් කිසිදා ශ්‍රේෂ්ඨවන්නේ නැත. ඔවුන් අයත්වන්නේ මානව ශිෂ්ටාචාරයේ පහළම අඩිය වූ ම්ලේච්ඡත්වයටය.
කෙසේ වුවත් වර්තමාන ආණ්ඩුවද ජාතිභේදය අවුස්සන හා මැර ක්‍රියාවලට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන බවද පුන පුනා කියා සිටියි. මෙය ඉතා හොඳය. මෙවැනි රටම අපකීර්තියට ලක්වන හා ආර්ථිකයට පහර වදින අවස්ථාවකදී එය මර්දනය කිරීමට අමතරව ඉදිරියේදී මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීමට මෙවන් දැඩි තීන්දු හා තීරණ ගත යුතුය.
එහෙත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. මේවා මේ ආකාරයෙන්ම සිදුවේද යන්නය.
මගේ අත්දැකීම අනුව නම් ආණ්ඩුව කියන ආකාරයට නොව ඊනියා ජාතිභේදවාදී මැරයන්ට සුළු හෝ දඬුවමක්වත් ලබා නොදෙන්නට පුළුවන. මෙහිදී වැඩියෙන් චෝදනා එල්ල වනුයේ සිංහලයන්ට යන්න සත්‍යයකි. ඒ ජනගහන අනුපාතිකය අනුව ඔවුන් වැඩි අගයක් ගන්නා නිසාය. ශ්‍රී ලංකාව තුළ සිදුවන ජාති හෝ ආගම්වාදී අරගලයකදී පළමු විත්තිකාරයා වනුයේ සිංහලයාය. මුස්ලිම් හෝ දෙමළ දෙවන හා තෙවන විත්තිකරුවන් බවට ඒ ඒ කාලවකවානුවලට අනුව පත්වේ. මෙවර ප්‍රතිපාර්ශ්වය වී ඇත්තේ මුස්ලිමුන්ය. සිංහලයා යන්නට බෞද්ධ විශේෂණයද ඉබේම එක්වේ.
මෙතෙක් කල් නම් සිදුවූයේ බුරුතු පිටින් අත්අඩංගුවට ගන්නා ජාතිවාදී මැර පිරිස් රටේ තත්ත්වය සමනය වන තෙක් අත්අඩංගුවේ තබා නිදහස් කිරීමය. ඍජු ලෙසම මැර ක්‍රියා සිදු කළ සුළු පිරිසක් කොටු වුවද ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ගයද කාලයේ වැලිතලාවට වැසී යෑමට ඉඩ සැලසීමය මෙතෙක් කල් සිදුවූයේ.
මේ ආණ්ඩුව වුවත් ඍජුව උසාවියට ඇඟිලි ගැසූ බවට තවම සාක්ෂි නැතිමුත් පොලිසිය මගින් චෝදනා තනුක කිරීමෙන් හා සාක්කි එහා මෙහා කිරීමෙන් අනියම් බලපෑම් කරන බව රහසක් නොවේ.
මේ මොකද? මා නම් සිතනුයේ චූදිතයා සිංහල බෞද්ධ වන නිසා කියාය. දකුණේ හැම දේශපාලනඥයකුගේම ඡන්ද පදනම බහුතර සිංහල බෞද්ධ ජනයාගේ ඡන්දය. මොන පදනමින් හෝ මෙම පදනම දෙදරවා ගැනීමට ඔවුහු අකමැතිය.
එහෙත් අවසානයේදී වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ මුළු රටටමය. මේ අනුව ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට තව වරක් පාච්චල් වන දිනය වැඩි ඈතක නොවන බව නම් සහතිකය.
විපතට පත්වූවන්ට ඉක්මනින් වන්දි ලබාදෙන බව පුරුද්දට මෙන් අගමැතිවරයා ප්‍රකාශ කරයි. ඉන් එහා සංහිඳියාවක් ගැන නම් විශ්වාසය තැබිය නොහැක. නව ව්‍යවස්ථාවක් කෙරේ තැබූ බලාපොරොත්තු ගඟේ ගහගෙන ගියේ මේ මෑතදීය.
දැන් අප කළයුත්තේ දේශපාලනඥයන්ගේ බයිලා සංදර්ශන දෙස බලා නොසිට විද්වත් කතිකාවක් මගින් සමාජය දැනුවත් කිරීමය යන්න අපේ අදහසයි. උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද පික් පොකට් ගැසීමේ අරමුණු ඇතිව දැනට සිටින හා හිටපු පාලකයන් මේ රටේ සුළුතරය වෙත කැරට් අල දිගු කළද ජාති හා ආගම්වාදයෙන් හිරිවැටී සිටින ජනතාවකගේ මොළ සේදීමෙන් මිස නිසියාකාර සංහිඳියා ක්‍රියාමාර්ගයකට පිවිසිය නොහැක.
එමෙන්ම වර්තමාන අභාග්‍යසම්පන්න සිද්ධීන් දෙස බලා කිඹුල් කඳුළු හෙළන ඇතැම් පාර්ශ්ව මේ රටේ ජාති හා ආගම්වාදය පැතිරයෑමට ඉඩ හැරීම සම්බන්ධයෙන් වගකිවයුතු බවද සඳහන් කළ යුතුය. ජාතිවාදයට සරු පසක් සැකසීම මැර ක්‍රියා තරමටම තිරස්චීනය.
මෙනේරි වපුරා වී අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැක. ලැබෙනුයේ මෙනේරිමය. එලෙසම ජාතිවාදී තෝතැන්නක සංහිඳියාවක් හට ගැනීමට බැරිය. මහානායක හිමිවරුන් ජාතිවාදය පිටු දැකීමේ විවිධ ප්‍රකාශ නිකුත් කළද භාවිතයේදී එය එලෙසම ක්‍රියාත්මක වීද යන්න ගැටලුසහගතය. දළදා මාලිගාව අසල ඇති මුස්ලිම් පල්ලිය පිළිබඳ විවාදාපන්න සිද්ධියේදී ඇතැම් නායක භික්ෂූන් වහන්සේ හරිහැටි කරුණු සොයා බැලීමකින් තොරව ක්‍රියා කළ අයුරු අපට මතකය.
දෙමළ හා මුස්ලිම් ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහා වූ නව ව්‍යවස්ථා යෝජනාවලියේ මූලාරම්භය ලෙස හැඳින්වූ කාරක සභා යෝජනා කෙටුම්පත පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේ බොහෝ නායක හිමිවරුන් දැක්වූ ප්‍රතිචාරය ඉතා අසෝබනය. මේ අතර ජාතික සංහිඳියාව පිළිබඳව කථිකාවේ සිටි නායක මට්ටමේ උගත් හිමිවරුද සිටියහ.
ඒ නව ආණ්ඩුක්‍රම යෝජනා මාලාව සැකසීමටත් පෙරය.
තවත් වැරදි මතයක් සමාජගතව තිබේ. එනම් සිංහල ජාතියේ බහුතරය ජාතිවාදී නොවන බවයි. මා නම් මීට එකඟ නැත. ආයුධ සන්නද්ධව සුළු ජාතික හා අන්‍ය ආගමික ප්‍රජාවට පහරදීමට එන පිරිස කුඩා විය හැක. එහෙත් ජාතිවාදීන්ගේ ක්‍රියාකලාපය අනුමත කරන හෝ ඊට උඩ ගෙඩි දී ඔවුන්ව උසිගන්වන පිරිස අතිවිශාලය.
දෙමළ හා මුස්ලිම් ප්‍රජාව තුළද මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් තිබිය හැක.
එහෙත් බහුතර සිංහල බෞද්ධ ජනයා නිහඬව සිටීමෙන් හෝ මෙම ක්‍රියාවලට දායක වන බව සත්‍යයකි. ඔවුන් දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවගේ ගේ දොර විනාශ කර ඔවුන් මරා දැමීම අනුමත නොකරනවා විය හැක.
එහෙත් ඊට එරෙහිවීමකට ඒකරාශිවීමට කැමැත්තක් දක්වන්නේ නැත. ජාතීන් හා ආගම් අතර පරතරය වැඩිවීමට මෙම කුහකත්වයද තදින් බලපා ඇත. කුමන තරාතිරමක ජාතිවාදියකු වුවද සංස්කෘතික මිනිසකුවන්නේ නැත.
කලාකරුවකු ලෙස පෙනී සිටින කලහකරුවකු හැඳින්වීමට මා මිත්‍ර මාධ්‍යවේදී ටිරන් කුමාර බංගගමආරච්චි පරයා යන්න යොදා තිබුණේ ඉතා මෑතදීය. එහෙත් අද එම විශේෂණයේ වටිනාකම එදාටත් වඩා වැඩිය. එමෙන්ම රටේ සිටින පරයන් සංඛ්‍යාවද ඉතා ඉහළය.