ෆෙස්බුක් පාර වසා ඇත: නීතිය හා සාමයටද, නැතිනම් රජය විවේචනය කරනු වාරණයටද?

වාර්ගික ප්‍රචණ්ඩත්වය නැවත ඇවිලීයෑමට ප්‍රතිචාරයක් ලෙස මුලින් හදිසි නීතිය ප්‍රකාශ කළ රජය ඉනික්බිති මාර්තු 7 වැනිදා සිට සමාජ මාධ්‍ය ජාලා හා චැට් වේදිකා කිහිපයක් මෙරට සිට පිවිසීම අවහිර කළා.

ප්‍රචණ්ඩත්වය ප්‍රමාද වී හෝ පාලනය කරනු ලැබුවද සතියක් ගතවීත් මෙය ලියන මාර්තු 14 වැනිදා වනතුරු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන වේදිකා දෙකට පිවිසීම මුළුමනින්ම අවහිර කිරීම පැවතුණා. එසේම හඬ හා වීඩියෝ බෙදාගැනීම සීමා කරනු ලැබූ WhatsApp තවදුරටත් එලෙසම සීමිත අතර Viber පමණක් මාර්තු 13 වැනිදායින් පසු විවෘත කෙරුණා.

මේ අවහිර කිරීමට අණ දුන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම හෙවත් TRC එකයි. එහෙත් එයට අදාළ තීරණය ගත්තේ පොලිසිය, ආරක්ෂක අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යාලය එකතු වී බව මේ වනවිට හෙළිවී තිබෙනවා.

මෙය ප්‍රකාශයට පත්කරමින් ටෙලිකොම් හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යවරයා කීවේ මෙය අසාමාන්‍යවූත්, තාවකාලිකවූත් පියවරක් බවයි. හේතුව ලෙස දැක්වූයේ වාර්ගික ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමට හා ඒ සඳහා සංවිධානයවීමට අන්තවාදීන් පිරිසක් මෙම වෙබ් පහසුකම් භාවිත කරන බව තහවුරුවීම බවයි.

මේ ගැන ගෙවී ගිය දින කිහිපය පුරා බොහෝ සේ කතාබහ කෙරුණා. අද මා උත්සාහ කරන්නේ මේ ගැන යම් නිරවුල් හා පුළුල් විග්‍රහයක යෙදීමටයි. මෙහිදී අදාළ සමාගම් හෝ රාජ්‍ය ආයතන කිසිවක් සමග නිල සබඳතා නොමැති මා ස්වාධීන නිරීක්ෂකයකු ලෙසයි අදහස් දක්වන්නේ.

මුලින්ම පැහැදිලි කළයුත්තේ මෙය සමාජ මාධ්‍ය තහනමක් (ban) නොවන බවයි. මුලදී මාත් එතරම් නොසිතා මේ යෙදුම භාවිත කළා. එහෙත් වැරැද්ද වටහා ගත් විට නිවැරදිව ‘අවහිර කිරීම’ යන්න පමණක් භාවිතයට ගත්තා.

කිසිදු සමාජ මාධ්‍ය ජාලයක්, සේවාවක් හෝ වේදිකාවක් ශ්‍රී ලංකාවේ නීතියේ තහනම් කර නැහැ. (මේ ලියන මාර්තු 14 වැනිදා තෙක්.) ඇත්තේ ප්‍රවේශය අවහිර කිරීමක් පමණයි.

මේ අවහිර කිරීමද තාක්ෂණිකව සාර්ථක එකක් නොවේ. එය අබිබවා වටෙන් යා හැකි ප්‍රොක්සි සර්වර්
(VPN)තාක්ෂණය මේ වනවිට සමහරුන් භාවිතයට පටන් අරන්.
ජනපතිවරයා හා අගමැතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුම්වල මාර්තු 7න් පසු යාවත්කාලීන කිරීම් සිදුකර තිබෙනවා. ඒ අනුව අපට අනුමාන කළ හැක්කේ රටටම ෆේස්බුක් අවහිර කර තිබියදී රටේ මහ දෙපළගේ මාධ්‍ය කණ්ඩායම්ද වට පාරෙන් තවමත් එහි යන එන බවයි!

මා දන්නා තරමට VPN තාක්ෂණය භාවිත කිරීම මෙරට නීති විරෝධී නැහැ. එහෙත් VPN සහිතව හෝ රහිතව හෝ සමාජ ජාලාවලට පිවිසි ප්‍රචණ්ඩත්වය ප්‍රචාරය කිරීම නම් දඬුවම් ලැබිය හැකි වරදක්.

මෙරට වාර්ගික යුද්ධයට පෙරත්, එය දිගහැරෙන කාලයේදීත්, එය හමාර වූ 2009න් පසුවත් වාර්ගික හා සාමයික ආතතීන් දිගටම පැවතියා. ප්‍රධාන ධාරාවේ සමහර මාධ්‍ය මේ ආතතීන් තවත් තීව්‍ර කරන්නට ක්‍රියාකොට තිබෙනවා. සමහර සිංහල මාධ්‍ය සිංහල ස්වෝත්තමවාදයත්, සමහර දෙමළ මාධ්‍ය දෙමළ ස්වෝත්තමවාදයක් කලක සිට පතුරුවමින් සිටිනවා.

සමාජ මාධ්‍ය වඩාත් ප්‍රචලිතවන්නේ 2010න් පමණ පසුවයි. මෙරට ස්මාට්ෆෝන් භාවිතය වැඩිවීමත්, ඉන්ටර්නෙට් ගතවීම ඉහළ යෑමත් සමග සමාජ මාධ්‍ය ජාලවල ගිණුම් අරඹා ඒවා හරහා පෞද්ගලික සන්නිවේදන කිරීමට බොහෝ දෙනා පෙළඹුණා. මෙයින් ෆේස්බුක් ප්‍රධානයි. මෙරට 2017 අග වනවිට ෆේස්බුක් ගිණුම් මිලියන් 6ක් පමණ පැවතියා.

මෙයින් අතිබහුතරයක් දෙනා අහිංසක හා සාමකාමී සන්නිවේදනවල යෙදෙන අතර, සංඛ්‍යාත්මකව ටික දෙනෙක් එම වේදිකා තම අන්තවාදී මතිමතාන්තර පැතිරවීමට යොදා ගැනීම ඇරඹුණා. මේ වෛරී ප්‍රකාශ (Hate Speech) භෞතික අවකාශයේ කලක් තිස්සේ පැවති අතර සයිබර් අවකාශයට ඒවා පැමිණීම සමග ගලා යාමේ හා බෙදාගැනීමේ වේගය ඉක්මනින් ඉහළ ගියා.

වසර කිහිපයක් තිස්සේ පැන නැගී, පැතිර ගිය මෙම සමාජ මාධ්‍ය ජාලා අවභාවිතය මෙරට වඩාත්ම ප්‍රකටව පෙනුණේ ෆේස්බුක් තුළයි. එය මෙරට ජනප්‍රියම එබඳු වේදිකාව නිසායි.

මේ වෛරී ප්‍රකාශ පිළිබඳ යම් තරමක සමාජ විද්‍යාත්මක පර්යේෂණ කර ඇත්තේ සරසවි ඇදුරන්ටත් වඩා සිවිල් සමාජ සංවිධාන විසින්. 2014දී ෆේස්බුක් හරහා මෙරට වෛරී ප්‍රකාශ පිළිබඳ මුල්ම අධ්‍යායනය කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) හෙළි කළේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව පමණක් නොව වෙනත් සුළුතරයන්ටහා පුද්ගලයන්ට එරෙහිවද වෛරී ප්‍රකාශ හමුවන සැටියි.

ඒ අනුව දෙමළ ජනයා, ක්‍රිස්තියානි භක්තිකයන්, මැදහත් දේශපාලකයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, ලිංගික සුළුතරයන්, පොදුවේ කාන්තාවන් මෙන්ම පොදුවේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට එකඟ නොවන විද්වතුන් හා සෙසු නාමධාරීන්ට එරෙහිවද විවිධාකාරයේ අභූත චෝදනා, තර්ජන හා චරිත ඝාතන ෆේස්බුක් හරහා සිදුවන බව ඔවුන් සාක්ෂි රැසක් සහිතව පෙන්වා දුන්නා

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය (WMC) විශේෂයෙන් වෙබ්ගත වෛරී ප්‍රකාශ කාන්තාවන්ට ඉලක්ක කැරෙන ආකාරය ගැන අධ්‍යයන කොට ඒ අධ්‍යයන ප්‍රකාශයට පත් කොට තිබෙනවා.CPA හා WMC වැනි සංවිධානවලට අමතරව මෙරට සමාජය ගැන කලක සිට අධ්‍යයනය කරන විදෙස් සමාජ විද්‍යාඥයන් සමහරුන්ද මේ ගැන ගවේෂණය කර තිබෙනවා. මේ හරහා යම් සාක්ෂි සමුදායක් ගොඩනැගුණත් පෙර රජය හෝ මේ රජය ඒ ගැන මේ වනතුරු ඇති තරම් අවධානය යොමු කළේ නැහැ.

ගිය සතියේ සිදුවීම්වලින් පසුව හදිසියේ අවදි වන නීත්ය හා සාමය පිළිබඳ අපේ රාජ්‍ය ආයතන, ගෙඩි පිටින් මේ වෙබ් සේවා අවහිර කිරීමට පෙළඹුණා. වසර ගණනක් මේ ප්‍රවනතා ගැන සාක්ෂි නොතකා සිටි අය, දැන් සමාජ මාධ්‍ය නියාමනය ගැන මොර දෙනවා!

මෙරට මාධ්‍යවල අවධානයට ලක් නොවූවත්, මේ අවහිර කිරීම හා ඊට පසුබිම් වූ ප්‍රචණ්ඩත්වය ගැන හරවත් ප්‍රකාශයක් සමාජ ක්‍රියාකාරිනියන් හා පර්යේෂිකාවන් පිරිසක් විසින් ගිය සතියේ නිකුත් කෙරුණා. එහි උද්ධෘතයක් (සිංහල අනුවාදය මගෙන්):

“ඉන්ටර්නෙට් අවහිර කිරීම්වල අහිතකර ප්‍රතිඵල ඉමහත්. වාර්ගික ප්‍රචණ්ඩත්වයක් හට ගැනීමට පෙර හෝ එබන්දක් ඇවිලෙන අතරතුර ඒවා සමනය කිරීමට සැලකිය යුතු තරමෙන් එවන් අවහිර කිරීම් උදව් වන බවට වෙනත් රටවලින් සාක්ෂි හෝ අත්දැකීම් නැහැ. ඒ වෙනුවට එවන් අවහිර කිරීම් නිසා වැඩියෙන්ම සිදුවනුයේ විශ්වසනීය පුවත්, තොරතුරු හා විග්‍රහයන් ලබා ගැනීමට නූතන පුරවැසියන්ට ඇති එක් ප්‍රධාන ප්‍රභවයක් (තාවකාලිකව) නැතිවී යාමත්, ඒ හරහා බොරු ප්‍රචාරවලට වැඩි ඉඩක් හා ජවයක් ලැබීමත් පමණයි.”
සාම්ප්‍රදායික මාධ්‍ය වාරණය කළ විට කටකථා පැතිරෙන බව අප දන්නවා. සමාජ මාධ්‍ය අවහිර කළ විට අසත්‍යයන්, අර්ධ සත්‍යයන් හා භීතිකා අධිවේගීව සමාජගත වනවා.
සමාජ මාධ්‍ය යනු කුමක්දැයි හරියට නොදන්නා, ඒවා ‘විදෙස් රටවල සිට ක්‍රියාත්මක කැරෙන තවත් ජනමාධ්‍ය වර්ගයක්’ යයි සිතා ගෙන ඉන්නා අපේ සමහර වයෝවෘද්ධයෝ, මේ අවහිර කිරීම අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණා. එක් මුස්ලිම් උගතෙක් කියා තිබුනේ ‘ගහමරා ගැනීම්වලටත් වඩා සමාජ මාධ්‍ය භයානක’ බවයි.
මේ කොලමින් කිහිප වතාවක් පැහැදිළි කර ඇති පරිදි, මාධ්‍ය කීවාට සමාජමාධ්‍ය යනු ඇත්තටම ඕනැම කෙනකුට ගොඩ වී, සන්නිවේදන කළ හැකි ගෝලීය වේදිකායි.

සරල උපමිතියකින් කිවහොත්: ගාලුමුවදොර පිටියට අන්තවාදීන් ටික දෙනකු ගොස් හඬ නගා කුණුහරප කීවොත් හෝ ප්‍රචන්ඩත්වයට උසි ගැන්වූවොත්, පරිනත රජයක් කළ යුත්තේ ඔවුන්ට එරෙහිව නොබියව නීතිය ක්‍රියාත්මක කිරීමයි. නැතිව සමස්ත පිටිය දින ගණනක් වසා තැබීම නොවේ!
දිගින් දිගට සමාජමාධ්‍ය අවහිර කිරීම මෙයට සමාන්තර මෝඩ ක්‍රියාවක්. මුල් පැය 48-72 තුළ යම් සාධාරණීකරණයක් තිබුණා විය හැකි වුවත් වීදි ප්‍රචන්ඩත්වය සමනය වූ පසු දිගටම අවහිර කරන්නේ මහජන අදහස් උදහස් වාරණයකට යන්න මගේ වැටහීමයි.
මගේ ඉහත උපමිතියේ සීමා තිබෙනවා. අන්තවාදීන් පිටියට පිවිසෙන්නේ වෙස්මුහුණු බැඳ ගෙන නම් ඔවුන් අල්ලා ගැනීම හා චෝදනා ගොනු කිරීම අපහසු වනවා. සමාජ මාධ්‍යවලත් සමහරුන් ගැවසෙන්නේ ආරූඪ නම්වලින්. එහෙත් හොඳ සයිබර් අපරාධ විමර්ශකයන්ට වෙහෙස වී හරි අනන්‍යතාවය සොයා ගත හැකියි.
භාෂණ හා ප්‍රකාශන නිදහස අසීමිත නිදහසක් නොවෙයි. එයට සීමා තිබිය යුතුයි. එහෙත් එම සීමාවන් සාධාරණ හා (එය නොතිබුණොත් විය හැකි හානියට) සමානුපාතික විය යුතුයි. ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මය එයයි.
වෛරී ප්‍රකාශ (Hate Speech) භෞතික හා සයිබර් අවකාශයන්ගෙන් පිටුදැකීමට මුළුමනින්ම එකඟ වන අතර, එය ඉතා සීරුවෙන් කළ යුතු බව ද අවධාරණය කළ යුතුයි.
මෙහි තිබෙන ඉහළ අන්තරායත් මෙයයි. මේ අවස්ථාවේ වෛරී ප්‍රකාශ ගැන මතුව තිබෙන මහජන උනන්දුව අවභාවිත කරමින්, සයිබර් අවකාශයේ ප්‍රකාශන නිදහස අසාධාරණ හා අනවශ්‍ය ලෙස සීමා කැරෙන නව නීති හෝ රෙකුලාසි හඳුන්වා දීමට රජය තැත් කිරීමට ඉඩ තිබෙනවා. මේ මොහොතේ අතිශයින් අවදිව සිටීම වැදගත්.
නීතිවේදිනී හා සමාජ ක්‍රියාකාරිනී ජීවනී කාරියවසම් ට්විටර් පණිවුඩයකින් අනතුරු ඇඟවූයේත් මෙයයි: “ඉතා සූක්ෂම ලෙස ලංකා රාජ්‍ය විසින් සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීම සිය අතට ගැනීමට සැරසේ. මේ ජාතිවාදය නැති කිරීමට නොවේ. නිදහස් මතධාරීන් මර්දනයට!”
මා කවදත් කියන පරිදි, සමාජ මාධ්‍ය යනු ගරුසරු නැති අවකාශයක්. රටේ දේශපාලන හා සාමයික නායකයෝ, විද්වතුන් මෙන්ම වෙනත් ඕනෑම නාමධාරියකු නිර්දය ලෙස විවේචනයට ලක් වන තැනක්. එහි ශුද්ධ වූ ගවයන්
(Holy Cows) නැහැ.
මේ යථාර්ථය සමහර තුමන්ලාට හා වහන්සේලාට දිරවා ගන්නට අමාරුයි. සමාජ මාධ්‍ය නියාමනයට කලෙම සිටම මේ පිරිස කැස කවමින් ඉන්නේ ප්‍රධාන කොටම මේ නිසායි.
ඡන්දයෙන් තේරී පත්වන උදවියත්, රාජ්‍ය නිලධාරීනුත් සහේතුකව විවේචනයට ලක් කිරීමේ අයිතිය තරුණ පරපුර හොඳින්ම ක්‍රියාත්මක කරන්නේ සමාජ මාධ්‍යවලින්. සමහර විවේචන අසාධාරන විය හැකියි (එවිට රටේ අපහාස නීතිය හරහා ඕනැ නම් නඩු පැවරිය හැකියි.)
එහෙත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වන්දිභට්ටකරණය වී ඇති අවධියක, බලධාරීන් හා නාමධාරීන් ප්‍රශ්න කරන්න, ඔවුන්ට අභියෝග කරන්න හා ඔවුන්ගේ අකටයුතුකම් හෙළි කරන්න ඉතිරිව ඇති එක් ප්‍රධාන අවකාශයක් නම් සමාජ මාධ්‍යයි. බොහෝ අඩුපාඩු ඇතත් එය රැක ගෙන, ටිකෙන් ටික හදා ගත යුත්තේ එනිසායි.
මේ විවාදයට (අවහිර නොකළ) ට්විටර් සමාජමාධ්‍යය හරහා එක් වෙමින් මා කීවේ මෙයයි: “වෛරී ප්‍රකාශ මොනවාදැයි ඉතා පැහැදිලිව නිර්වචනය කිරීම අත්‍යවශ්‍යයි. නැතිනම් එයට මුවා වී තුළ ලක් රජය හා එහි නායකයන් විවේචනය කිරීම වාරණය කිරීමේ අවදානමක් මතු වේවි. උදා: ‘සිරිසේන පොරොන්දු කඩ කළ මහා බොරුකාරයෙකි’ යි කීම අපේ ප්‍රජාතන්ත්‍රීය විවේචන අයිතිය මිස වෛරී ප්‍රකාශ ගණයට නොවැටේ!”
කොළඹ සරසවියේ ඇදුරු හා දේශපාලන ක්‍රියාකාරික ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි ට්විටර් හරහා එය මැනවින් සම්පිණ්ඩනය කළේ මෙහෙමයි: “සමාජ මාධ්‍ය තුළ ඊනියා වෛරී ප්‍රකාශ ‘පාලනයට’ දැරෙන උත්සාහය මුළුමනින්ම පරාජය කළ යුතුය. ‘වෛරී ප්‍රකාශ’ එසේ නොවන ඒවායින් වෙන්වන සීමාව පිළිබද එකගතාවක් නැති බැවින් සිදු වනු ඇත්තේ ‘පාලන’ ක්‍රියාවලිය හසුරුවන පිරිස්වල සීමිත අභීලාෂ තුළ ඒවා නිර්වචනය වීමයි.”
මේ ගැනම විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් කීවේ: “අවසන් කිරීම සදහා හොදම උපකරණය ‘වාරණය‘ නොව වගකීම් සහිත සමාජ මාධ්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීමයි. අධ්‍යාපනයයි. නීතිය සැමට සමානව භාවිතයේ යෙදීමයි.”
ලබ්බට තැබූ අත පුහුලටත් තබන්න අපේ දේශපාලකයෝ හා නිලධාරීන් හරි සමත්. වෛරී ප්‍රකාශ මර්දනයේ නාමයෙන් විවේචන සියල්ලද නතර කරන්න උත්සාහ ගනීවි.
ඒ වෙනුවට අපට අවශ්‍ය වෙන්නේ ඉන්ටර්නෙට් ගත වන සැමගේ ඩිජිටල් සාක්ෂරතාවය දියුණු කිරීමත්, වඩාත් වගකීම් සහගතව සමාජ මාධ්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීමත්. උදාහරණයකට අවිචාරශීලීව ප්‍රබන්ධ කථා, සුලුතරයන් හෙළා දකින කථා හා කුමන්ත්‍රණවාදී තර්ක ආදිය බෙදා ගැනීමෙන් වැළකීම වැදගත්. මෙය ආධ්‍යාෂයෙන් ප්‍රගුණ කළ යුතු ගුණයක්.