‘වඳ පෙති, බහු භූත’

මාස්. එල්. යූසුෆ්

සිංහල මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් මෙසේ මුලා කළ හැකිද? ‘සිංහල’ යන්න විශේෂයෙන් සඳහන් කිරීමට මට සිදුවූයේ ‘ඊනියා වින්දිතයන්’ බවට පත්ව ඇත්තේ සිංහල ජනයා වීම නිසාය. ඔවුන් කුමක වින්දිතයන් බවට පත්ව ඇත්ද? සිංහල මිනිසුන් පරිභෝජනය කරනු ලබන ආහාරවලට වඳ පෙති මිශ්‍ර කොට සිංහල මිනිසුන් ඉලක්ක කරන මුස්ලිම් මිනිසුන්ගේ වින්දිතයන් බවට ඔවුන් පත්ව තිබේ. මෙහිදී සඳහන් වන ඉලක්කය වන්නේ සිංහල ප්‍රජාව සංඛ්‍යාත්මකව අඩු කොට මුස්ලිම් ප්‍රජාව වැඩි කිරීමයි. එමගින් ශ්‍රී ලංකාව තුළ ශරියා නීතිය හඳුන්වාදීම අපේක්ෂාව බව කියැවේ.
අඥානබව ඇතැම්විට නොදැනුවත්කම මත ඇතිවන අතර එයට සමාව දිය හැකි වුවත් අවිචාරාත්මක බව විසින් ඇති කරනු ලබන වහා රැවටෙනසුලු ස්වභාවයට එසේ සමාව දිය හැකි නොවේ. විශේෂයෙන්ම එවන් අඥානබවක් උගත් යැයි සම්මත පුද්ගලයින් තුළින් මතුවන විට එය බෙහෙවින් කනගාටුදායකය.
නව සොයාගැනීම :
දියුණු ලොවේ වෛද්‍ය විද්‍යාඥයින්ට මේ වන තෙක් සොයා ගැනීමට උගහට වූ කරුණක් ශ්‍රී ලංකාවේ මුස්ලිම් හෝටල් සහ මුස්ලිම් ඇඟලුම් ආයතන විසින් සොයාගෙන ඇති බව පෙනේ. එනම් පෙත්තක් ලබා දීම මගින් කාන්තාවක් වඳ භාවයට පත් කළ හැකි වීමයි.
මෙවන් පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාද ඇතුළු බොහෝ සිංහල වැසියෝ ගොදුරු වී සිටිති. සිංහල පාරිභෝගිකයන් අනුභව කරන ආහාරවලට ඉහත කී වඳ පෙති කලවම් කරන ලදැයි යන චෝදනාව මත සිංහල කලහකාරීහු පිරිසක් පෙබරවාරි මස 27 වන දින අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් හෝටලයකට ප්‍රහාරයක් එල්ල කළහ. එම හෝටලයෙන් ඒ අවස්ථාවේදී ආහාර අනුභව කරන ලද්දේ පිරිමි පුද්ගලයන් පිරිසකි. පිරිමි පුද්ගලයින් මෙම ආහාර අනුභව කිරීම තුළින් කාන්තාවන් වඳ බවට පත්වන්නේ කෙසේද යන්න ගැටලුසහගතය. මෙය අතාර්කික සහ අවිද්‍යාත්මක තර්කයකි.
වාර්තා වී ඇති පරිදි අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, සාප්පු කිහිපයකට හා මුස්ලිම් පල්ලියකට ප්‍රහාර එල්ල වී ඇත. වීඩියෝ දර්ශනයකට අනුව හෝටලයේ අයකැමිවරයා උක්ත ආහාරවලට වඳ පෙති එක් කරන ලදැයි පිළිගනී. උක්ත වීඩියෝ පටිගත කිරීම දැඩි පෙළඹවීමක් මත කරන ලද්දක් යැයි පෙනෙන අතර සිංහල භාෂාව පිළිබඳව ප්‍රවීණත්වයක් නොමැති අයකැමිවරයා වඳ පෙති යන්න කුමක්දැයි දන්නේ නැත. ඉන්පසුව පටිගත කරන ලද වීඩියෝ පටයකදී අයකැමිවරයා සිද්ධිය විස්තර කරයි. එහිදී ඔහු කියා සිටින්නේ හොදිවල ඝනකම වැඩි කිරීම සඳහා කඩල පෙති එයට දැමූ බව ඔහු හිස සලා පිළිගත් බවයි. මෙම සම්පූර්ණ සිද්ධිය ආහාරවලට වඳ පෙති කලවම් කිරීම හා සම්බන්ධ යැයි ඔහු අවබෝධ කරගත්තේ පොලිසියේදී සිය මිතුරන් ඔහුට සිද්ධිය විස්තර කිරීමෙන් අනතුරුවය.
නීතිය හා සාමය
නීතිය ක්‍රියාත්මක කිරීමේ බරපතළ අඩුපාඩු, පොලීසියේ කටයුතුවලට දූෂිත දේශපාලනඥයන් මැදිහත්වීම සහ පොලිසිය තුළ පොදුවේ පවතින ආත්ම විශ්වාසය නොමැතිවීම මෙම රටට විනාශය කැන්දයි. උක්ත ප්‍රහාරයට ලක් වූ හෝටලය සහ පොලිසිය අතර දුර කිලෝමීටරයකට අඩු වුවත් පොලිසියට එම ස්ථානයට පැමිණීමට බොහෝ වේලාවක් ගත වී තිබුණි. ප්‍රහාරය අප්‍රමාදව සිදුවීම තුළින් පෙනී යන්නේ මෙය පූර්ව සැලසුමක් සහිතව සිදුවූවක් බවයි. එසේම එය කුමන්ත්‍රණයක් විය හැකි යැයි පුරෝකථනය කිරීමටද බොහෝ ඉඩකඩ තිබේ. එබැවින් එය විමර්ශනයට බඳුන් විය යුතුය. එසේම යම් සිද්ධියක් වාර්තා වූ විට ඊට ප්‍රතිචාර දැක්විය යුතු නිශ්චිත කාලසීමාවක් පිළිබඳ උපදෙස් පොලිසියට ලබා දිය යුතුය.
පොලිසියේ මෙහෙවර ප්‍රකාශය මෙසේ කියැවේ :
‘රටේ නීතිය බලාත්මක කිරීමට, මහජන සාමය ආරක්ෂා කිරීමට, කිසිවකුට අගතියක් නොවන අයුරින් හා සැමට සමාන අයුරින් අපරාධ සහ ත්‍රස්තවාදය වැළැක්වීමට ශ්‍රී ලංකා පොලිසිය කැපවී සිටින අතර ඒ සඳහා එයට විශ්වාසය ඇත්තේය.’
මෙහෙවර ප්‍රකාශය ඒ අයුරින් කියැවුණද වර්තමානයේ සැබෑ ලෙස අප දකින්නේ ඊට පරස්පර තත්ත්වයකි. රථවාහන අනතුරකදී වාහනයේ රියදුරු සිය ජීවිත ආරක්ෂාව පතා වාහනයද දමා පැන යයි. එසේම සංවිධානාත්මක කලහකාරීන් පිරිසක් හෝටලයකට වැද අපරාධ ගණනාවක් සිදු කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ක්‍රියාත්මක වන රාජ්‍යයක් තුළ නීතිය උල්ලංඝනය වීමේ ඕනෑම සිද්ධියක් පීඩාවට පත් පාර්ශ්වය විසින් පොලිසියට වාර්තා කරයි. පොලිසිය පීඩාවට පත් පුද්ගලයා ආරක්ෂා කොට සිද්ධිය විමර්ශනය කර නීතිය ක්‍රියාත්මක කරයි. සාමාන්‍ය තත්ත්වයක් යටතේ කිසිදු පුද්ගලයෙකු නීතිය අතට ගන්නේ නැත. ශිෂ්ටසම්පන්න සමාජයක් තුළ කටයුතු සිදු වන්නේ මෙසේ නම්, අප රටට අද වන විට සිදුව ඇත්තේ කුමක්ද? ශිෂ්ටසම්පන්න පුද්ගලයින් ලෙස අපට අප හඳුන්වා දිය හැකිද? ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒවායින් අපේක්ෂිත කාර්යභාරය නිසි ලෙස ඉටු කරන්නේද? නීතියේ ආධිපත්‍යය කොහිද? අපරාධ සිදුකරන භික්ෂූන් වහන්සේලා නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිසිය පසුබට වන්නේ ඇයි? කිසිවකුට අගතියක් නොවන අයුරින් හා සැමට සමාන අයුරින් යන පොලිසියේ මෙහෙවර ප්‍රකාශය තුළ ඇතුළත් පරමාදර්ශය ප්‍රායෝගිකව ඇත්තේ කොහේද? ආයතනගත වර්ගවාදය පිළිබඳ බරපතළ දර්ශක ලෙස මෙම සිද්ධීන් හැඳින්වීම සාධාරණද? පවතින තත්ත්වයන් විසින් ඇති කරන ලද අරාජික මානසිකත්වයක් ජනතාව තුළ වර්ධනයවී ඇත්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර දී ඇති සහ මූලික අයිතිවාසිකමක් වන නීතිය ඉදිරියේ සමානාත්මතාව තිබෙන්නේ කොහිද? සිංහල මිනිසුන් දෙමළ, මුස්ලිම් හෝ ක්‍රිස්තියානි ජනතාව සමග ගැටුමක් ඇති කරගත් විට ඒ සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේදී වෙන් කොට සැලකීමක් දක්නට ලැබෙන්නේ ඇයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව :
12.(1) සියලු පුද්ගලයන් නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට හිමිකම් ඇත්තේය.
(2) කිසිදු පුද්ගලයකු ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවන් කවර හෝ කරුණක් මත වෙන් කොට නොසැලකිය යුතුය.
නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන යන ස්ථවිරයන්ගේ අපවත්වීම මෙම රටට අත්වූ ඉමහත් පාඩුවකි.
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ඔබතුමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබ තවම දින ගණනක් වුවත් අම්පාර ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමන් කිනම් අන්දමේ පියවරක් ගනීවිදැයි මුස්ලිම් ජනතාව ඉතා ඕනෑකමින් බලා සිටිති. එසේම හෝටල්කරුට එරෙහිව නගා ඇති පදනම් විරහිත සහ අවිද්‍යාත්මක සාවද්‍ය චෝදනා සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිචාරයද අප අපේක්ෂාවෙන් සිටින්නෙමු. ප්‍රහාර, දේපළ හානි, සාපරාධී අනවසර ඇතුළුවීම්, නීතිවිරෝධී ජනරාශිය, වෛරී ප්‍රකාශ ආදී අපරාධ ගණනාවක්ද සිදුව තිබේ.
සත්‍ය ලෙස සහ සැමට සමාන සහ සාධාරණ ලෙස යුක්තිය ඉටුවනු ඇතැයි මුස්ලිම් ජනතාව උදක්ම අපේක්ෂාවෙන් සිටිති. හෝටල්කරු විසින් ආහාරවලට වඳ පෙති මිශ්‍ර කොට ඇතැයි තහවුරු වේ නම් ඔහුට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දිය යුතුය. එසේම උක්ත දිනය තුළ මහත් විනාශයක් සිදු කළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුය. ඊට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම විවිධ ආකාරයෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයන්ද නීතියේ රැහැනට හසු කර ගත යුතුය. සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි ප්‍රචාර සංසරණය කළ පුද්ගලයන් හඳුනාගැනීමට සහ ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට පොලිස්පතිතුමාට නියෝග කළ යුතුය.
ගරු අග්‍රාමාත්‍යතුමනි, නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ඔබතුමාගේ පොලිස්පතිතුමාත් පහත දැක්වෙන කරුණු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අවධානය යොමු කළ යුතුය. හෝටල්කරු විසින් ලබා දුන් ආහාරවලට ඔහු විසින් වඳ පෙති මිශ්‍ර කිරීම හේතුවෙන් අදාළ අපරාධකරුවන් හෝටලය විනාශ කළේ නම්, ඔවුන් මුස්ලිම් පල්ලියට පහර දුන්නේ ඇයි? එම සිද්ධි දෙක අතර තිබිය හැකි සහසම්බන්ධය කුමක්ද? මුස්ලිම් පල්ලිය යනු පූජනීය ආගමික ස්ථානයකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද ආගමික නිදහස තහවුරු කර දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (ඉ) වගන්තියේ මෙසේ කියැවේ.
“එකලාව හෝ අන් අය හා එක්ව ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ අයිතියට සෑම පුද්ගලයෙකුටම හිමිකම් ඇත්තේය.”
විශේෂ අනුග්‍රහ
ආගමික සිද්ධස්ථානයක් විනාශ කොට, නීතියේ රැහැනට හසු නොවී සිටීමට පුද්ගලයෙකුට හැකියාව ලැබෙන්නේ කෙසේද? මෙකී අපරාධකරුවන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ICCPR ඇතුළත් නීතිය ක්‍රියාත්මක කරන්නේද? දණ්ඩ නීති සංග්‍රහයේ අඩංගු නීතිවලට සාපේක්ෂව උක්ත නීතිය බරපතළය. ‘සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’ යටතේ පුද්ගලයින්ට නඩු පැවරීමට යම් පැකිළීමක් අප අතීතයේදීත් දැක ඇත්තෙමු. එවන් වූ පැකිළීමක් ජාතිවාදී පිරිස් විසින් දකින්නේ ඔවුන්ට ඇති විශේෂ අනුග්‍රහයක් හෝ බයාදුකමක් ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ දක්වා ඇති පරිදි නීතිය විවිධ කොටස්වලින් ගෙන භාවිත කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
ICCPR මෙසේ සඳහන් කරයි.
3. (1) වෙන් වෙන්ව සැලකීම, එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩත්වය පොළඹවනසුලු යුද්ධය ව්‍යාප්ත කිරීම හෝ ජාතික, ආගමික හෝ වාර්ගික වෛරය පැතිරවීම කිසිදු පුද්ගලයෙකු විසින් නොකළ යුතුය.
(2) (1) වන උපවගන්තියේ දක්වා ඇති වරදක්
(අ) සිදු කිරීමට උත්සාහ දරන
(ආ) සිදු කිරීමට ආධාර අනුබල ලබා දෙන හෝ
(ඇ) සිදු කිරීමට තර්ජනය කරන
සෑම පුද්ගලයෙකුම මෙම පනත යටතේ වැරදිකරුවකු වේ.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් හෝ පොලිස්පතිතුමාගෙන් මුස්ලිම් ජනතාව විශේෂ අනුග්‍රහයන් බලාපොරොත්තු වන්නේ නැත. ඔබ දෙදෙනාම මෙම රටේ විධායක හස්තයට අයත් පුද්ගලයන්ය. මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින දෙය ඉතා පැහැදිලි හා සරලය. කරුණාකර මේ රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන්න. දිනෙන් දින ප්‍රසාරණය වන අරාජිකත්වය සහ ජාතිභේදවාදී නායකත්වය සමග තවදුරටත් මේ රටට ඉදිරියට යාමට නොහැකිය. මෙය වහා නතර කළ යුතුය