දිගනින් පසු

ජයදේව උයන්ගොඩ

මේ දිනවල අප හිත මිතුරන්, නෑදෑයන් සමග පවා දුරකතනයෙන් වැඩියෙන්ම කතා කරන්නේ දේශපාලන මාතෘකා ගැනයි. එවැනි කතාබහවල සමහරවිට, දුරකතනයෙන් කතා කරන දෙදෙනා පමණක් නොව තවත් අය සමගද බෙදාගත යුතු අදහස් ප්‍රකාශ වේ.
මේ සඳහා මගේම අත්දැකීමෙන් නිදසුන් දෙකක් දෙන්නට මා කැමතිය. ඉන් පළමුවැන්න ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මට දුරකතනයෙන් කතා කළවිට ඇතිවූ කතාබහයි. දැනට රටේ තිබෙන වාතාවරණය තුළ ආණ්ඩුවේ සංහිඳියා ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්නේ කෙසේද යන්න ගැන ලිපියක් ලියා දෙන ලෙස මාධ්‍යවේදියා මගෙන් ඉල්ලා සිටියේය. මගේ ක්ෂණික පිළිතුර —- ක්ෂණික පිළිතුරු යනු සිතා බලන්නේ නැතිව එකපාරටම හිතට එන දෙය වචනවලින් පිටවීමයි…. මෙසේය: “ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ජනාධිපතිතුමායි, අගමැතිතුමායි කාමරේකට දමලා පැය විසි විසිහතරක් දොර අගුලු දාලා තියෙන එක. සංහිඳියාව ඉස්සරහට ගෙන යන හැටි අපට කියන්න එතකොට ඒ දෙන්නට හොඳට පුළුවන් වේවි.”
හදිසි නීතිය
දෙවැනි නිදසුන රජයේ ඉහළ නිලධාරියෙකු සමග ඇතිවූ කතාබහකි. දිගන -තෙල්දෙණිය සිදුවීම් අපේ සාකච්ඡාවේ මාතෘකාව විය. හදිසි නීතිය පැනවීම සහ ෆේස්බුක්, සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීම, තත්ත්වය පාලනය කිරීමට ආධාර වුවත්, ඒවායින් අනපේක්ෂිත නිශේධනීය ප්‍රතිඵලද ඇතිවෙන්නට පටන් ගෙන ඇති නිසා, ඒ දෙකම සෙමින් ඉවත් කිරීමට කල්පනා කිරීමද යහපත් බව මම යෝජනා කෙළෙමි. කලකට පසු පණ ලැබී ඇති සංචාරක කර්මාන්තයට ඇතිවී තිබෙන අනපේක්ෂිත පසුබෑම ගැන මගේ මිතුරා බෙහෙවින් කනස්සල්ල පළ කෙළේය. “ඇමරිකාවේ ප්‍රංශයේ කොච්චර ත්‍රස්තවාදී දේවල් වුණත් එහේ සංචාරකයන්ට ට්‍රැවල් ඇඞ්වයිසරි දෙන්නේ නෑ. අපේ රටේ දෙන්නයි මැරුණෙ. ඒත් ට්‍රැවල් ඇඞ්වයිසරි.” යනාදී වශයෙන් මගේ මිතුරා සංවේගයෙන් කතා කරන්නට විය. නුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ සාපේක්ෂ වශයෙන් සුළු සිදුවීමක් පවා විදේශ මාධ්‍ය විසින් උලුප්පා දැක්වීමේ අයහපත් ඵලවිපාක, දුප්පත් රටක් වන අපට විඳ දරා ගැනීමට සිදුවී ඇති ආකාරය ගැන මගේ මිතුරා පළ කෙළේ බලවත් කනස්සල්ලකි.
අපේ දුරකතන සංවාදය අවසන් වූ පසුත්, මේ ගැන මගේ සිතේ දිගින් දිගටම වැඩ කෙළේය. ඉන්පසු ඇත්තටම සිදුවූයේ මගේ මිතුරා සමග තවත් පැය ගණනාවක්ම හිතේ මවාගත් සංවාදයක යෙදීමයි. එම මනෝ සංවාදයේ මතුවූ කාරණා කිහිපයක් රාවය පාඨකයන් සමග බෙදා ගැනීමට මම කැමැත්තෙමි.
ලංකාවේ සාපේක්ෂ වශයෙන් කුඩා යැයි සැලකිය හැකි සිද්ධියකට මේතරම් ලෝක ප්‍රසිද්ධියක් ලැබුණේ ඇත්තටම අපේ රට දුප්පත් රටක් නිසාද? වෙනත් හේතු නිසාද? මේ ප්‍රශ්නයට නොයෙක් පිළිතුරු තිබිය හැකිය. එහෙත් මට සිතෙන පිළිතුරුවලින් ප්‍රධාන එකවන්නේ, එය හදිසි නීතිය පැනවීම සහ ෆේස්බුක්/වට්ස් අප් තහනම නිසා වන්නට ඇත යන්නයි.
ආණ්ඩුවක් රටේ කලබලයක් වූ විට හදිසි නීතිය ප්‍රකාශ කිරීම. අපේ රටේ අපට නම් ලොකු දෙයක් නොවේ. 1971 මාර්තු මාසයේ පටන් 2015 වසර මුල දක්වා අප රටේ වැසියන් වැඩි කාලයක්ම ජීවත් වූයේ හදිසි නීති පාලන තත්ත්වයන් යටතේ නිසාය. එහෙත් අපෙන් එහා පිහිටි රටවල, දැන් ඉන්දියාවේ පවා, හදිසි නීතිය ප්‍රකාශ කරනවාය යනු සුළු පටු සිදුවීමක් නොවේ. විදේශිකයන් සිතන්නේ, ආණ්ඩුවට සාමාන්‍ය නීතිය යටතේ පාලනය කළ නොහැකි මහා කලබලකාරී, ව්‍යාකූල, සිවිල් යුද්ධයකට සමාන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේය කියාය. රටේම හදිසි නීතියත්, එක දිස්ත්‍රික්කයක ඇඳිරි නීතියත් ප්‍රකාශ කිරීම වනාහී සාමාන්‍යයෙන් සිදුනොවන අතිවිශේෂ සිදුවීමකි. 2015 ජනවාරි මාසයෙන් පසු ලංකාවටද එය අසාමාන්‍ය සිදුවීමකි. එය ලෝක ප්‍රවෘත්තියක් පමණක්ම නොවේ. ලෝක සිරස්තල ප්‍රවෘත්තියක්ද වේ. ඇත්තටම කලකට පසු ලංකාව ලෝක ප්‍රවෘත්ති සිරස්තලයක් ලබාගත්තේ හදිසි නීතිය ප්‍රකාශ කිරීමත්, ෆේස්බුක් තහනමත් නිසාය. මේ අහිතකර අනිසි ඵල විපාකය ගැන සිතන්නට ඇත්තටම ආණ්ඩුවේ ඉහළ අයට අවස්ථාවක් නොලැබෙන්නටද ඇත. ආණ්ඩුවේ ප්‍රතිචාරය ච්බසජ රු්ජඑසදබ යන ඉංග්‍රීසි වචනවලින් හැඳින්විය හැකි එකකි.
පාඩම
ආණ්ඩුව මෙයින් ඉගෙන ගත යුතු පාඩමක් තිබේ. සාමාන්‍ය නීතිය මගින් පාලනය කළ හැකි ගැටලුවක්, කල්තියාම පාලනය කරන්නේ නැතිව, විවිධ හේතු නිසා එම වගකීම මගහැර, එය උත්සන්න වූ විට, එය විසඳීමට ගන්නා පියවරවලින් අලුත් ප්‍රශ්න ඇතිවීමටද ඉඩ තිබේ. එබැවින් සාමාන්‍ය නීතිය යොදා විසඳිය හැකි ප්‍රශ්න, හදිසි නීතිය යොදා අවුල් වන තත්ත්වයකට පත්වන තුරු බලා නොසිටින්න.
ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය මගින් ජාතිවාදී වෛරය පැතිරවීම නැවැත්වීමට ප්‍රමාණවත් සාමාන්‍ය නීති ලංකාවේ තිබේ. වෛරීය භාෂණය (hate speech) වැළැක්වීමේ නීතිද ලංකාවේ තිබේ. මහසෝන් බලකාය යනු හදිසියේ දිගනට කඩා වැටුණු හොල්මනක් නොවේ. වර්ගවාදී වෛරය ෆේස්බුක් හරහා පැතිරවීම නැවැත්වීමට, නැතිනම් අඩුතරමේ පාලනය කිරීමට, ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් අවුරුදු ගණනාවක්ම නොගත්තේ ඇයි? බෞද්ධ අන්තවාදීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට, මෙම ආණ්ඩුව, විශේෂයෙන් ජනාධිපතිතුමා, දක්වන්නේ සෑහෙන බියකි. එබැවින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන භික්ෂූන් දෙතුන් දෙනෙකුට මුළු ආණ්ඩුවක්ම බියගැන්වීමට හැකිකම ආණ්ඩුව විසින්ම ලබාදී තිබේ. හදිසි නීතියේ හස්තයවත්, මේ ත්‍රස්තවාදී භික්ෂූන් වෙත දික්වන බවක් නොපෙනේ. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළහොත් ඇතිවිය හැකි සුළු දේශපාලන පාඩුවට බය ආණ්ඩුවට, දැන් ඇත්තටම සිදුවී තිබෙන්නේ තමන්ට පමණක් නොව මුළු රටටම විශාල පාඩුවක් වනු බලා සිටීමටය. තම ප්‍රකාශිත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියා කිරීමට චිත්ත ධෛර්යයක් නැති ආණ්ඩුවකට පත්විය හැකි ඉරණම මෙයයි.
වර්ගවාදී අවිය
මේ අතර, දෙසීයකට අධික කලහකාරීන් පිරිසකුත්, ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුත්, වෛරකාරී ෆේස්බුක් සටහන් තැබූ පාසල් සිසුන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇතැයි ආණ්ඩුව කියයි. එහෙත්, අම්පාරේ සහ නුවර මුස්ලිම් විරෝධී ව්‍යාපාරය පිටුපස සිටින භික්ෂුන් කිසිවෙකුවත් ප්‍රශ්න කිරීමකටවත් ලක්වූ බවට වාර්තා නැත. බොහෝ විට මුස්ලිම් වෛරවාදී ව්‍යාපාර පිටුපස ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමේ දේශපාලනඥයන්ද සිටින්නට පුළුවන. සුළු ජනයා බහුල ඡන්ද කොට්ඨාසවල මැතිවරණ දේශපාලනය සඳහා වර්ගවාදය අවියක් කර ගැනීම බහුතරයේ මෙන්ම සුළුතරයේ දේශපාලනඥයන්ද සාමාන්‍යයෙන් කරන දෙයකි. විශේෂයෙන් අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ශ්‍රීලනිපයට සහ පොහොට්ටුවට සම්බන්ධ දේශපාලනඥයන් කාලයක් තිස්සේම සිංහල ජාතිවාදී මැතිවරණ ව්‍යාපාරවල යෙදුණු බව රහසක් නොවේ. අම්පාර දිස්ත්‍රික්කය කාලයක් තිස්සේ වූ ඔවුන්ගේ රණබිමකි.
මූලාශ්‍ර
අම්පාරේත්, මහනුවරත් හටගත් මුස්ලිම් විරෝධී සිංහල – බෞද්ධ බලමුළුගැන්වීම දේශපාලන මූලාශ්‍ර තුනකට සම්බන්ධ බව කෙනෙකුට පහසුවෙන්ම නිරීක්ෂණය කළ හැකිය. පළමුවැනි මූලාශ්‍රය බොදුබල සේනාව, මහසෝන් බලකාය සහ රාවණා බලකාය වැනි ජාතික හෙළ උරුමය වෙතින් අනුප්‍රාණය ලැබ ප්‍රභවය ලැබූ සිංහල – බෞද්ධ අන්ත වර්ගවාදී ක්‍රියාකාරී කණ්ඩායම්වල පසුගිය අවුරුදු පහක පමණ කාලයක් තිස්සේ පවතින වාර්ගික වෛරයේ දේශපාලනයයි. දෙවැන්න 2015 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී ශ්‍රීලනිපයත්, පසුගිය පළාත් පාලන මැතිවරණවලදී පොහොට්ටු පක්ෂයත් සියුම් ලෙස ගෙන ගිය වර්ගවාදී මැතිවරණ දේශපාලනයයි. තුන්වැන්න, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පසුගිය කාලයේම ගෙන ගිය සිංහල ජාතිවාදී විරෝධතා ව්‍යාපාරයයි. ජී.එල්. පීරිස් මහාචාර්යතුමා පවා ‘රට බෙදීම’ යන 1950 ගණන්වල බිහිවූ අන්ත සිංහල ජාතිවාදී කතිකාව රාජපක්ෂ පවුල වෙනුවෙන් පාවිච්චි කරන විට පෙනෙන්නේ සිංහල සමාජයේ සුළු ජන විරෝධය මැතිවරණ අවියක් ලෙස යොදා ගැනීමේ පසුගාමී දේශපාලනය නැවත නැවතත් බංකොළොත් දේශපාලනඥයන් අතර ආකර්ෂණයට පත්වී තිබෙන හැටිය.
මැතිවරණ තුනක්ම ඉදිරියට එන ඉදිරි අවුරුදු තුන තුළ බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන්නේ වර්ගවාදී දේශපාලන තරගය උත්සන්නවීමයි. වරින් වර වර්ගවාදී ගැටුම් ඇතිවන විට ඇතිවන ජනවාර්ගික ධ්‍රැවීකරණය මැතිවරණවලදී ප්‍රයෝජන ගැනීමට අප රටේ දේශපාලනඥයන් අකමැති නොවනු ඇත. ජනවාර්ගික සාමය සඳහා ආණ්ඩුවේ ඇත්ත කැපවීමක් තිබේ නම් අන්තර් වාර්ගික සාමය, සහයෝගතාව හා අවබෝධය සඳහා අලුත් මතවාදී ව්‍යාපාරයක් දියත් කිරීමටද ආණ්ඩුව විසින් කළ යුතුව තිබේ. දරුණු ලෙස මුදුනේම බෙදී සිටින යහපාලන සභාගයට එවැන්නක් සඳහා දේශපාලන ශක්තියක් නැති බව කනගාටුවෙන් හෝ පිළිගැනීමට අපටද සිදුවී තිබේ.