ආණ්ඩුවක් නැත්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි

අප මතක තබාගත යුත්තේ ජීවිතයේ පරාජයන් නැති බවත්, ඇත්තේ ප්‍රතිඵල පමණක් බවය. එමෙන්ම නිත්‍ය ඛේදවාචක නැති බවත් ඇත්තේ පාඩම් පමණක් බවත්ය.
83 ජූලි කලබල ගත්තද? බේරුවල දර්ගා ප්‍රහාරය සැලකුවද? අම්පාර, මහනුවර, තෙල්දෙණිය, දිගන සිද්ධි ගත්තද? තත්ත්වය එක ලෙසමය. ඇත්තේ ඛේදවාචක නොව පාඩම්ය. එහෙත් අප ජාතියක් ලෙස පාඩම් ඉගෙන ගැනීමට වඩා අනෙක් අයට පාඩම් කියාදීමට රුසියෝ බැවින් මෙවැනි සිද්ධි නිතර නිතර මතුවීමේ පොළොවක් නිර්මාණයවෙමින් පවතී. මේ ලිවීම ඒ ගැන නොවේ. ඒ අස්සේ සිදුවන නාටකීය ජවනිකා තුනක් ගැනය.
පසුගිය සතියේ සිදුවූ මේ සිද්ධි තුන මෙරට දේශපාලනයේ නැතහොත් පවතින ආණ්ඩුවේ වඳභාවය ඕනෑවටත් වඩා තහවරු කරන්නේය.
ෆොන්සේකා
සරත් ෆොන්සේකාට පොලිසිය බාරදිය යුතු යැයි ප්‍රබල කතිකාවක් සමාජයේ ඇතිවිය. එය දැනුවත්වම පැළ කළ කතාබහක් බව තහවුරුය. දැන් ඇමතිවරු පත් කිරීමත් රියලිටි තරු තෝරන ක්‍රමවේදයට පත්වී ඇත. පොලිසිය ෆොන්සේකාට භාරදෙන ලෙස වැඩිම මනාප ලැබුණු බව පැහැදිලිය. එහෙත් එය ලැබුණේ අගමැති රනිල් වික්‍රමසිංහටය. එය විහිළුවක් බවට පත්වූයේ එම ධුරය තාවකාලික බව දැනුම්දීමත් සමගය. අවසානයේ ඉතා කෙටි කලකදී අගමැතිගෙන් අමාත්‍යාංශය ගලවා රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාට ලබා දුන්නේය. ඊට ඇමති ෆොන්සේකා උරණ වූ බවත්, දෙන පිළිතුරුත් මාධ්‍ය පළ කොට තිබුණි. ප්‍රශ්නය ෆොන්සේකාට මෙය දෙන බව කීවේ කවුද? එයට සිටින එකම සුදුස්සා ඔහුද? ෆොන්සේකා එම ධුරයට සුදුසු බව කියන බොහෝ අය කියනුයේ ඔහු පත්වූ පසු රාජපක්ෂලාට දඬුවම් නියත බවය. එසේ නම් මේ යෝජනාව රාජපක්ෂලාට දඬුවම් දීමට අළුගෝසුවකු තේරීමද? ඇත්ත කරුණ නම් දඬුවම් සියල්ල පොලිස් ඇමතිවරයාට තනිව තීන්දු කර ක්‍රියාත්මක කළ හැකිද යන්නය. යහපාලන ආණ්ඩුවට හොරු ඇල්ලීම, දඬුවම් දීම වැනි කාරණාවලට අන්ත දුබල ආණ්ඩුවකි. ඒ සියල්ල ෆොන්සේකාට පොලිසිය භාරදී සිදුවෙතැයි සිතීම තරම් මුලාවක් තවත් වේද?
කෙසේ වෙතත් පොලිසිය හිමිව ඇත්තේ දැනට රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරයාටය. අප කීමට උත්සාහ කරන නාටක රඟදැක්වූයේ ඔහු වැඩ භාරගත් පසුය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මේ මොහොතේ රටේ ප්‍රබලතම අමාත්‍යාංශය බවට පත්වූයේ එයට ෆොන්සේකා අමාත්‍යවරයා පත් කරන කසු කුසුවත් සමගය. ඒ සමගම ගෝඨාභය රාජපක්ෂ හිරේ යනු ඇතැයි බොහෝ දෙනා තුළ තිබූ යටිබිම්ගත ආශාවත් සමගය. එහෙත් එයට පත්වූයේ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාය. මද්දුමබණ්ඩාර කී කල අතීත කතාව සෑහෙන එඩිතරය. එබැවින් වත්මන් මද්දුමබණ්ඩාර වුව බෙල්ල තියතැයි ඔහුට ඇමතිකම දෙන විට බලාපොරොත්තු වූවා විය හැකිය.

පළමු සිද්ධිය

නාටකයක ජවනිකාවක් ලෙස මහ දහවලේ ජනාකීර්ණ වීදියක් මැද්දේ කාන්තාවක පිස්තෝලයක් ලෙලවමින් බස්රථ රියදුරකුට පහරදෙන ජවනිකා මාධ්‍ය හරහා දැකගත හැකිවිය. මේ චණ්ඩි ගැහැනිය කවුද? දකුණේ සිටි චණ්ඩි මල්ලි නම් චණ්ඩියාගේ ලේලියය. නම තාරකා පෙරේරාය. ඇගේ සැමියා චණ්ඩි මල්ලිගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන්ය. ඔහුද මෙම සිද්ධිය වන මොහොතේ රියදුරාට පහර දෙන්නට හවුල් වනමුත් බිරිඳ තරම් ප්‍රබල තාත්වික රංගනයක නොයෙදේ. මෙම සිද්ධියට හේතුව බස්රථයට ඉදිරියට යෑමට නොහැකි ලෙස වාහනය හරස් කරගෙන සිටියදී වූ බහින්බස්වීමක්ය. එහි හරි වැරැද්ද වෙනම සෙවිය යුතුය. එහෙත් වඩා වැදගත්වන්නේ මේ පිස්තෝලය සහ කාන්තාව එය ගෙන නටන වන්නමය. මෙය බලන කෙනෙකුට ඇය සමග දීග කන මිනිසා ගැන වුව අනුකම්පාවක් ඇතිවිය හැකිය. ඒ තරමට ඇගේ චණ්ඩිපාට් හිරිකිතය. එහෙත් මේ පිස්තෝලය තම ස්වාමියාගේ නම් එය බිරිඳට සෙල්ලම් භාණ්ඩයක් වන්නේ කෙසේද? නව නීතිය හා සාමය ඇමතිවරයාට මේ ගැන සිතීමට සිදුවනු ඇත.

කෙහෙළිය පුතා

කෙහෙළියගේ පුතා ජනප්‍රිය චරිතයකි. බීමතින් ගුවන් යානයෙන් බිමට පනින්නට තැත් කළ තැන සිට රාජකීය පාසලේදී දැමූ රාජකීය පාට්වල සිට බීමතින් රිය පදවා නෙළුම් පොකුණ අසල පොදු දේපළට හානි කිරීම සම්බන්ධයෙන් වරදකරු වී රියදුරු බලපත්‍රයද තහනමට ලක් වූවෙකි. ඔහු මෙවරද බීමතින් රිය පදවා යතුරු පැදියක් අනතුරට ලක් කොට ඉන් නොනැවතී නාවල විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපළකට ගිනි අවිය පෙන්වා පහරදීමේ සිද්ධියක්ද වාර්තා විය. මේ වනවිට එම පහරදීම සිදු නොවුණු ගාණට වැඩ සිද්ධ වී ඇති අතර ඔහු උසාවි දමනුයේ රථවාහන වැරදි සම්බන්ධයෙන්ය. මේ හේතුවට ඔහුගේ වාහන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට උසාවිය නියෝග කළේය. එසේ නම් පොලිසිය භාර ඇමතිට මෙහිදීද පැනයක් ඉතිරි වේ. එනම් අප්පට දෙන පිස්තෝල පුතාට පාවිච්චි කළ හැකිද? එය අප්පගේ පිස්තෝලය නොවේ නම් එවැන්නක් රමිත රඹුක්වැල්ලට ළඟ තබා ගැනීමට බලපත්‍ර දුන්නේ කවුද?

අලුත්ගමගේ

තෙවැනි සිද්ධිය ආනන්ද අලුත්ගමගේ නැටූ නාඩගමය. ඒ නාවලිපිටිය පොලිස් ස්ථානාධපති මාරු කරන්නැයි ඉල්ලා වාහන ගමනාගමනයට බාධා කරමින් පාර මැද නිදා ගැනීමය. පාරේ නිදා ගැනීම සාර්ථක වී පොලිස් ස්ථානාධිපති මාරු කොට ඇතැයිද දැනගැනීමට ඇත.
නීතිය හා සාමය ඇමති මද්දුමබණ්ඩාර මහතා දුරකතනයෙන් අලුත්ගමගේට ඉවත් වන්නැයි දැනුම් දුන්විට ඔහු කියා ඇත්තේ “තමන්ට මහපාරේ බුදියන්නට සිද්ධ වූයේ මේ රටේ ආණ්ඩුවක් නොමැති නිසා” බවය. මේ ආණ්ඩුවේම මන්ත්‍රී කෙනෙක් කියන කතාවක්ය. ඇත්තටම අද ආණ්ඩුවක් නැති තරම්ය. එහි ඇත්තක්ද පවතී. ඒ කතාව කෙසේ වෙතත් අලුත්ගමගේ මද්දුමබණ්ඩාරගේ කීම තඹේකට මායිම් නොකළේය. පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව මහ පාරේ බුදියන්නට හේතුව මහ රාත්‍රියේ පෙට්‍රල් ෂෙඞ් වසා තිබියදී එය විවෘත කර තම රථයට පෙට්‍රල් ලබා නොදීම බව පැවසේ. මන්ත්‍රීවරයාට රාත්‍රී ගමන් සඳහා තෙල් නොමැති වූ විට තෙලේ වැඩි වූවා විය හැකිය. කොහොම වුණත් පාරේ බුදියාගෙන පොලිස් ස්ථානාධිපතිලා මාරු කළ හැකි රටක් බවට අද මෙය පත්විය. මේ නම් ආණ්ඩුවක් නැති තත්ත්වයක්මය.
කාලෙන් කාලයට පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයාද මහ මගට පැමිණ මෙවැනි නාටක රඟදක්වන්නේය. එහෙත් මුළු ආණ්ඩුවම ඔහුට බයය. දැන් ආණ්ඩුව අලුත්ගමගේටද බයය.
විශ්වවිද්‍යාල සිසුන් හෝ ආබාධිත සෙබළුන් පාර හරස් කළ විට එලව එලවා පහර දෙන පොලිසියට අලුත්ගමගේව අහකට ඇද දමන්නට බැරිය. මේ බලයේ තරමය. මේ ආණ්ඩුවේ ආයුෂ අහවරය. ඒ බව මෙවර පළාත් පාලන ඡන්දයෙන් අනුමත කළේය. දැන් දැන් එය වේගවත් කිරීම ආණ්ඩුව ඇතුළින්ම අපූරුවට සිදුවේ.
කෙහෙළියගේ පුතාට තවමත් ඕනෑම කෙළියක් කළ හැකිය. චණ්ඩි මල්ලිලාගේ පුතාට නොව ලේලියටද පිස්තෝල ගෙන මහමග චණ්ඩි නැටුම් නැටිය හැකිය. අලුත්ගමගේට පාරේ නිදාගෙන පොලිස් ස්ථානාධිපතිලා මාරු කළ හැකිය. එසේ නම් සැබැවින්ම ආණ්ඩුව කෝ? ආනන්ද අලුත්ගමගේ කියන විදිහට ආණ්ඩුවක් නැද්ද? පොලිසි ඇත්තේ ෂෙඞ් ඇර මන්ත්‍රීලාට තෙල් ගහන්නද?
මේ සිද්ධි තුනම හාස්‍යජනක සිද්ධිය. එයින් වඩා හාස්‍යයට ලක්වන්නේ ආණ්ඩුවයි. නව නීතිය හා සාමය ඇමතිට ගිනි අවි ගැන තදට සොයා බැලීමට සිදුවනු ඇත. දේශපාලකයන්ට ගිනි අවි ලබා දිය යුතුද යන කතිකාවත් බරපතළ ලෙස කතාබහට ගත යුතුය.
පාරේ නිදාගෙන දේශපාලකයන් එලවිය හැකිද? එසේ නම් බොහෝ දේශපාලකයන්ගේ නිවෙස් ඉදිරිපිට නිදනවුන් ඕනෑතරම් සිටිය හැකිය. මේ ආණ්ඩුව ඕනෑම නාටකයකට අවැසි වේදිකාව මනාව හදන්නේය. ඒවාට වැට බඳිනු වෙනුවට ඇත්තේ විවෘත කිරීමකි. මේ දොරගුළු හරිනුයේ නැවත රාජපක්ෂ යුගයකට නම් මේ හැම නාටකයක්ම මීට වඩා හොඳට ඉදිරියේදී රඟදක්වනු නියතය. ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වුණා නම් මේ සියලු නාටක නැතිවේද? මේවා රාජපක්ෂලාගේ කාලයේ තිබුණි. ඒවා අදද ඊට වඩා හොඳට පවතී. එයට රාජපක්ෂලාට බැණ යහපාලනය සුදනෝ කරමුද? දැන් මේ සියලු වගකීම් ගතයුත්තේ යහපාලන ආණ්ඩුවයි. මේ හැම නාටකයකටම අනුග්‍රාහක දායකත්වය ලැබෙන්නේ ආණ්ඩුවටය. මෙවැනි බාල නාටක කරනවාද? ඒවා අහවරම කරනවාද යන්න සිතීමට ඇත්තේ තව වසර දෙකක් තරම් අඩු කාලයක් පමණි. පාරේ බුදියගෙන හැම ප්‍රශ්නයම ජයගත නොහැකි බව ආණ්ඩුව සිහි තබාගත යුතුය.