එදා ප්‍රසාදය මෙන්ම මෙදා විරෝධයත් නොගැඹුරුය

සමාජ මාධ්‍ය පමණක් නොව සමස්තයක් ලෙස ලංකාවේ මාධ්‍ය පරිහරණය කැරෙනුයේ අවිචාරවත්වය. පුරවැසියන්ට නිදහසේ තම අදහස් දැක්වීමට අවකාශය ලැබී තිබීම හොඳ තත්ත්වයකි. එහෙත් ප්‍රශ්නය වන්නේ නිදහස අවිචාරවත්ව භාවිත කිරීම තුළය. එම තත්ත්වය වළකා ගැනීම සඳහා වෙබ් මාධ්‍යයටත් ආචාරධර්ම පද්ධතියක් තිබේ. එහෙත් එම ආචාර ධර්ම භාවිත කැරෙනුයේ ඉතාමත්ම අවම මට්ටමිනි. මුහුණු පොතේ අදහස් දැක්වීම් සිදුවන්නේ තනිකරම පෞද්ගලික අදහස් හා මතිමතාන්තර පදනම් කරගෙනය. පුද්ගලික මත දැක්වීමක් ආචාරධර්ම පද්ධතියකට යටත් කළ නොහැකිද? කළ හැකිය. ඒ සමාජ මාධ්‍ය පරිහරණය කරන ජනයා පොදු සමාජීය කාරණා සම්බන්ධයෙන් මතදැක්වීමේදී සීමාන්තික නොවීමෙනි. තමා ක්‍රියාකරන්නේ පළල් මහජන අවකාශයක බව සිතීමෙනි.
ඉකුත් 07 වැනිදා සිට සමාජ මාධ්‍ය අවහිර කැරිණි. ඒ මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරනු පිණිසය. තෙල්දෙණියේ හා දිගන සිදුවීම් ඇතිවූ සැණින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු වාර්ගික හා ආගමික හැඟීම් කුළුගන්වන හා ඒ ඔස්සේ අන්තවාදීන් කුප්පනසුලු අදහස් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කටයුතු කළහ. ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන හා ඊට උත්ප්‍රේරක සපයන ප්‍රචාරයන් අවහිර කිරීම ඒ මොහොතේ ගත හැකිව තිබුණු වැදගත් පියවරකි. එසේ නොකළා නම් සමහරවිට නැග ආ ප්‍රචණ්ඩත්වය තවදුරටත් සංවිධානගත වන්නට ක්‍රෑර වන්නට හා තවත් ප්‍රදේශ කරා පැතිරී යෑමට ඉඩ තිබුණි. සමාජ ජාලා අවහිර කිරීමත් සමග පුදුම දෙයක් සිදුවිය. එය නම් මහනුවර ප්‍රදේශයෙන් කිසිම තොරතුරක් එන්නේ නැත යනුවෙන් බොහෝ දෙනෙක් කියන්නට පෙළඹීමයි. වර්තමානයේ බොහෝ දෙනකුගේ තොරතුරු මාධ්‍ය වෙබ් හා මුහුණු පොත බව ඉන් හැඟීයන එක් සත්‍යයකි. ෆේස්බුක් ඔස්සේ ජාතිවාදී අදහස් වැපිරූ කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. සමාජ මාධ්‍ය ජනයා පරිහරණය කරන ආකාරය කොපමණ නිරර්ථක වුවත් තීරණාත්මක අවස්ථාවක අවහිර කර, තත්ත්වය සමනය වූ පසුත් සමාජ මාධ්‍ය අවහිර කර තබා ගැනීම නොකටයුතුය.
සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් ආණ්ඩු විවේචනය වසා තැබීමට තැත් කිරීමක් ගම්‍යමාන වෙයි. පසුගිය කාලය තුළ ආණ්ඩුවට සාහසිකම විවේචනය එල්ල වූයේ සමාජ මාධ්‍ය මගිනි. එහෙත් සමාජ මාධ්‍ය මගින් එල්ල කැරෙන විරෝධය යනු පුද්ගලවාදී මෙන්ම හුදෙක් පෞද්ගලිකත්වයට නැඹුරු ප්‍රයත්නයකි. එය රටක් වෙනස් කරන මහෝඝයක් බවට දැන්ම පත් නොවන්නේ ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව යන්න තවමත් පහළ ප්‍රතිශතයක තිබෙන නිසාය. අනෙක් වැදගත් කාරණය වන්නේ කිසියම් විරෝධයක් ලක්ෂ්‍ය ගතකිරීමට සමාජ මාධ්‍යයට නොහැකිවීමය. ජනාධිපතිවරණයෙන් ජයගැනීමෙන් පසු ජනාධිපතිවරයා කීවේ තම ජයග්‍රහණයට විශේෂයෙන්ම සමාජ මාධ්‍යයෙන් කළ බලපෑම අතිවිශාල බවය. එහෙත් ඇත්තම තත්ත්වය වන්නේ සමාජ මාධ්‍යයට ජනබලවේගයක දිශානතිය තීරණය කිරීමට හෝ එය දිශාගත කරන වැඩපිළිවෙළෙහි තීරණාත්මක බලවේගයක් වීමට නොහැකිවීමය. සංවිධිත ජනමාධ්‍යයක හා සමාජ ක්‍රියාකාරීත්වයක පරිවාරයේ සිට සහයෝගීතාවාදී ක්‍රියාවලියක නිමග්නවීමට සමාජ මාධ්‍යයට හැකිය. සමාජ මාධ්‍ය පරිධිය කරා ගමන් කිරීමට නම් ඔවුන් සිය ග්‍රාහකයා තුළ විශ්වසනීය හා සාර සන්නිවේදන ක්‍රියාවලියක් දිගුකාලීනව අභ්‍යාස කළ යුතුය. ඒ පිළිබඳ තාර්කික ඉතිහාසයක් ගොඩනැගිය යුතුය. ළාමක වැඩවලින් වෙබ් මාධ්‍යයට හා ෆේස්බුක් සමාජ ජාලයට මේ කියන දේ කළ නොහැකි බවත් අවධාරණය කළ යුතුවෙයි.
ඇත්තටම සමාජ මාධ්‍ය යනු ජනපති හිතන තරම් ලොකු දෙයක් නොවේ. බොහෝ දෙනෙක් පාවිච්චි කරන නමුත් එය ලංකාවේ තවම පවතින්නේ චූල සමාජ කතිකාවතකය. ඊට ගතහැක්කේ චූල ක්‍රියාමාර්ගය. එය මහා සමාජීය ක්‍රියාවලියක් කරනු ඇතැයි සිතීම සිතන්නාගේ අර්බුදයකි.
සමාජ මාධ්‍ය ඒ සා සාර සමාජ දේශපාලන සංකථනයක යෙදෙනු අප දැක නැත. ලංකාව තුළ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය භාවිත කැරෙන්නේ සංකීර්ණ ප්‍රශ්න සාකච්ඡා කිරීමට නොවේ. ඒවායේ අදහස් දැක්වීම් පුද්ගලික හා අසංකීර්ණය. නිදසුනක් ලෙස ජනාධිපති හා අගමැති සමාජ මාධ්‍යයෙන් විවේචනයට ලක්වන අයුරු ගත හැකිය. ජනපතිට මේ වනවිට සමාජ මාධ්‍යයෙන් මුහුණු කීයක් පළඳා ඇත්දැයි ඇමතිවරයකු ජනමාධ්‍ය ඔස්සේ විමසනු දක්නට ලැබුණි. එහෙත් ඒ එකක්වත් ජනාධිපති අනුදක්නා දේශපාලනය පිළිබඳ ගැඹුරු විරෝධය පෑමක් යැයි කිව නොහැකිය. ඊට ප්‍රතිපක්ෂවත් කිවහැක්කේ ජනවාරි 08 ජයග්‍රහණයට ලැබුණු ෆේස්බුක් සහායද තත්ත්වයන් නිවැරදිව අවබෝධ කරගෙන ගත් පියවරක් නොවන බවය.
එදා සහාය මෙන්ම මෙදා විරෝධය යන දෙකම සැබැවින්ම නොගැඹුරුය. එහෙත් ලංකාවේ ජනයාගේ කල්පනා ධුරාවලිය හැසිරෙන ආකාරය අනුව වෙනසක් සිදුකළ හැක්කේ හා මෙතෙක් සිදුකර ඇත්තේ ගැඹුරු කල්පනාවට වඩා මතුපිට සිතීම්වලිනි. වර්තමානයේදී ෆේස්බුක් අවහිර කිරීමෙන් නැග ආ ජාතිවාදය යම් පමණකට පාලනය කැරිණි. එහෙත් ආණ්ඩුවට තිබෙන විරෝධය ඉන් පාලනය නොකළ හැකිය. රජයට කළහැක්කේ ෆේස්බුක් සමාජ ජාලයෙහි ජනපතිට මොන මූණක් දැම්මත් ඒ ගැන මැසිවිලි නොනගා ඉකුත් වසර තුන තුළ යහපාලන ව්‍යාපෘතියට අතපසු වූ කටයුතු කඩිනම් කර දීමට මේ කෙටි කාලය තුළ හෝ සාධනීය පියවරක් ගැනීමය. අවශ්‍යම දේ නොකර ව්‍යාජ උපක්‍රමවලින් දුර්වල සමාජයක්වත් මෙල්ල කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.