ලොකු අර්බුදයක මුව විට

වික්ටර් අයිවන්

පුනරුද ව්‍යාපාරය රටේ අර්බුදයේ සුවිශේෂී ස්වභාවය සැලකිල්ලට ගෙන රට හිරවී සිටින තත්ත්වයෙන් මිදී ඉදිරියට යාමට අවශ්‍යය ව්‍යුහමය වෙනස්කම් ඇති කර ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මෙය උඩින් පල්ලෙන් කරුණු සලකා බලා ගනු ලැබූ තීරණයක් නොව හොඳින් කරුණු සලකා බැලීමෙන් පසු ගනු ලැබූ තීරණයකි. පුනරුද ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද එම අදහස විවිධ මට්ටම්වලින් සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන අදහසක් ලෙස ද සැලකිය හැකිය. ලංකාව අරාජික තත්ත්වයකට ගමන් කරමින් තිබෙන්නේ යැයි කියන අදහස ද පුනරුදයේ අදහසකි. පළාත් පාලන මැතිවරණය හා ඒ සඳහා ඇතිකර ගත් මැතිවරණ ක්‍රමය ව්‍යවස්ථා අර්බුදයක් හා අරාජික තත්ත්වයක් ඇති කිරීමට හේතු වනු ඇති බවට පුනරුද ව්‍යාපාරය පළකරන ලද පුරෝකතනයද සැබෑවී තිබේ. දැන් බොහෝ අය අරාජිකත්වයක් ගැන කතා කරති. සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ අවශ්‍යතාව ගැනද කතා කරති. ඔවුන් ඒ දේවල් කතා කරන්නේ දේවල් සිදුවුණාට පසුවය. ඒවා සිදුවන්නට පෙර ඒවා සිදුවනු ඇති බව කල්තියා දැකීමේ හැකියාව ඔවුන්ට නොතිබුණි. එහෙත් පුනරුද ව්‍යාපාරය ඒ බව කල්තියා දැක්කේය. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ අදහසද සිදුවන්නට යන විපතක් කල්තියා තේරුම් ගෙන ඒ ගැන කරන අනතුරු ඇඟවීමක් සමග එම තත්ත්වය ජයගැනීම සඳහා කරන මගපෙන්වීමක් ලෙස සැලකිය යුතුය.

කොල්ලකාරී ස්වභාවය

සර්වපාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව අළලා මා ලියා තිබෙන දේවල් කියවා තිබුණු මහනුවර ගුරුවරයෙක් දුරකතනයෙන් මා අමතා කතා කොට ඔහු මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසීය. ඉල්ලා සිටින්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඊට ඇතුළත් කරගත යුතු බවත් එවැනි දූෂිත නායකයකු ඇතුළත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් රටේ යහපතට හේතුවිය හැක්කේ කෙසේදැයි ඔහු මගෙන් ප්‍රශ්න කළේය. එය ඒ ගැන අදහස් පළ කළ වෙනත් ගුරුවරුන් දෙදෙනෙකුද දරන මතය වන බවද ඔහු කීවේය. ඒ නිසා දූෂණය හා දූෂිතභාවය ගැන මෙම ගුරුවරයාට කරුණු පැහැදිලි කිරීමක් කිරීමට මට සිදුවිය. රාජ්‍ය පාලනයට අදාළ දූෂණය රාජපක්ෂ පාලන කාලයේදී ඇති වූ දෙයක් ලෙස සමාජ ගත කෙරුණේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද විරෝධී පිලේ න්‍යායවාදීන් විසිනි. එය ඔවුන් විසින් දැන දැනම හෝ නොදැන කරන ලද වරදක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය පාලනයට අදාළ දූෂණය සුළු පරිමාණයෙන් හෝ නිදහසේ සිටම පැවති ප්‍රවණතාවකි. එය මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්වීම ආරම්භ වූයේ 1977 සිටය. එතැන් සිට එය අද දක්වාම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් ලෙස පවතී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පූර්වගාමීන් ලෙස සැලකිය හැකි චන්ද්‍රිකා කුමාරතුංග ඩී.බී. විජේතුංග රණසිංහ ප්‍රේමදාස හා ජේ.ආර්. ජයවර්ධන යන සියලු ජනාධිපතිවරුන් එම ප්‍රවාහයේ කොටස්කරුවන් ලෙස සැලකිය හැකිය. ජනාධිපති ජයවර්ධන අයථා ලෙස වස්තුව උපයා ගැනීමට කෑදරකමක් දැක්වූ නායකයකු ලෙස සැලකිය නොහැකි වුව ද ඔහුද නැපෝලියන් මෙන් තමන් අල්ලා ගන්නා රටවල්වල වස්තුව කොල්ලකෑමට තමන්ගේ කුලී සෙබළුන් පොළඹවාලූ වූ ආකාරයටම සිය දේශපාලන සහචරයන් රජයේ වස්තුව කොල්ලකෑමට පෙළඹුවේය. ඔහු ඒ සඳහා ඔවුන්ට පූර්වාදර්ශයන්ද දුන්නේය. ජනාධිපතිවරයා තමන්ට තිබුණු කනාටු පොල් වත්තක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමටදී එහි තිබූ සරුසාර පොල් වත්තක් තමන් වෙත හිමි කර ගත්තේය. චීන තානාපති කාර්යාලයට විකුණා තිබුණ පවුලේ නිවස හා ඉඩම ආපසු ලබාගැනීම සඳහා එම තානාපති කාර්යාලයට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපසින් වඩා හොඳ රජයේ ලොකු ඉඩමක් ලබා දුන්නා පමණක් නොව ලබාගත් නිවස හා ඉඩම පවුලේ කෞතුකාගාරයක් බවට පත් කළේද රජයේ වියදමිනි. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම භාරයේ තිබූ ඉඩම් වතු බංගලා සමග පර්චසයක් රුපියල් 100ක් වැනි මුදලකට මිලදී ගන්නට ඉඩ දුන්නේය. ඒ මගින් ඒ සියලුදෙනා ලොකු වතු හිමියන් බවට පත් කැරිණි. පොදු දේපළ කොල්ලකෑම රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්වූයේද එම කාලයේදීය. ඉන්පසු එළැඹෙන හැම පාලන කාලය තුළම පොදු දේපළ කොල්ලය සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බවට පත්විය. මා ඒ බව මහනුවර ගුරුවරයාට පැහැදිලි කරදී රාජපක්ෂ පාලන යුගය පමණක් දූෂිත ලෙස සැලකීම වැරදි බවත්, හැත්තෑ හතේ සිට මේ දක්වා බලයට පත් හැම පාලක කණ්ඩායමක්ම දූෂිත බවත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට තෝරා ගත් නායකයින් ද අඩු වැඩි ප්‍රමාණයකට දූෂිත බවත් යහපාලන ආණ්ඩුවක් ඇතිකර ගැනීමෙන් පසුත් දූෂණය පාලනය කිරීමට නොහැකි වී තිබෙන්නේ ඒ නිසා බවත් ඔහුට පැහැදිලි කර දුන්නෙමි. භීෂණයද අඩු වැඩි වශයෙන් ඒ සියලුදෙනාට ආවේණික පොදු ලක්ෂණයක් බවද කීවෙමි. ඉන්පසු මම තිබෙන අර්බුදය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් හිරවීමක් ඇතිවී තිබෙන ආකාරයද ඔහුට පැහැදිලි කර දුන්නෙමි.

ඇතිවී තිබෙන හිරවීම

ලංකාව දැන් තිබෙන්නේ බලයේ සිටින ආණ්ඩුව පමණක් නොව සාම්ප්‍රදායික අර්ථයෙන් ඊළඟට බලයට පත්වන ආණ්ඩුවකට පවා රට පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයකය. එය එක තැනක පමණක් තිබෙන දෙයක් නොව, හැම වැදගත් තැනකම පාහේ තිබෙන තත්ත්වයකි. ආණ්ඩුව, ආණ්ඩුක්‍රමය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන අංග තුනම තිබෙන්නේ මහා අවුලකය. නීතිය පසිඳලන ආයතන ක්‍රමය සේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රමයද තිබෙන්නේ අවුලකය. ආර්ථිකය හා මහජන සේවා තිබෙන්නේ ද අවුලකය. ආණ්ඩුව තිබෙන්නේද ආණ්ඩුවේ ප්‍රධාන කණ්ඩායම් දෙක දෙපැත්තට අදින තත්ත්වයකය. අගමැති වරයා වෙනස් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇතත් සංශෝධනය කර තිබෙන ව්‍යවස්ථාව නිසා එසේ කිරීමේ බලයක් ජනාධිපතිට නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් කළ පසු එහි තිබෙන අවුල් නිවැරදි කරගැනීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණයද සමත් වූයේ නැත. අගමැතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලපෑමෙන් තොර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වී ඇතත් ජනාධිපතිවරයා ඊට ඉඩ දෙන්නේ නැත. ඒ තත්ත්වය වෙනස් කර ගැනීමේ හැකියාවක් අගමැතිවරයාට ද නැත. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයෙන් රට පාලනය කිරීමට තමන්ට තිබෙන සදාචාරමය අයිතිය නැති කර ගත්තේය. සාමාන්‍යයෙන් එවැනි විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යායුතු වුවත් සංශෝධනය කරන ලද ව්‍යවස්ථාව අනුව ස්ව කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින අවස්ථාවක දී හැර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිට හෝ අගමැතිට නැත. පළාත් පාලන මැතිවරණයෙන් ජය ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපාරය සමත් වී ඇතත් විශ්වාසභංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය කොට මැතිවරණයක් දිනා ගැනීමේ හැකියාව එම ව්‍යාපාරයට ද නැත. මැතිවරණ කාලසටහනට අනුව පළාත් සභා මැතිවරණවලට පසුව පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව ජනාධිපතිවරණයකි. රටේ පවතින දේශපාලන අවිනිශ්චිත තත්ත්වය අනුව ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා සියයකට 50කට අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත් රටේ පූර්ණ අරාජික තත්ත්වයක් ඇතිවිය හැකිය. එසේ නොවී ජය ලබාගන්නා කෙනෙකුට වුවද රට තිබෙන්නේ පාලනය කළ හැකි තත්ත්වයක නොවේ. ආණ්ඩුවේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 8 ක ට සමානය. ලබන වසරේදී ලබාගෙන තිබෙන විදේශීය ණය සඳහා ගෙවිය යුතු ණය හා පොලී වාරිකය ඩොලර් බිලියන 8කට සමානය. ඊළඟ වසරේ තත්ත්වය ඊටත් වඩා නරකය.

සර්ව පාක්ෂික විසඳුම

රටේ ඇති වී තිබෙන මෙම අර්බුදය හා ඒ ආශ්‍රයෙන් ඇතිවී තිබෙන හිරවීම ජය ගැනීමට තිබෙන එකම මාර්ගය වන්නේ රටේ ඉදිරි ගමනට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කිරීමට හේතුවන පූර්ණ ප්‍රතිසංවිධානයකට රට යොමු කිරීමය. එවැනි දෙයක් රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතිය අහිමි කරගත් ආණ්ඩුවකට තනිව කළ නොහැකිය. පොදු එකඟතාවකින් තොරව ඒ දේ ඊළඟට බලයට පත්වන ආණ්ඩුවකට ද කළ නොහැකිය. එය ඉක්මනින් කළ යුතුව තිබෙන දෙයක් මිස ඊළඟ ආණ්ඩුවක් බලයට පත්වන තෙක් ප්‍රමාද කළ යුතු දෙයක් ලෙසද සැලකිය නොහැකිය. ඇතිවී තිබෙන හිරවීම රට හා ජනතාව කෙරෙහි පමණක් නො ව සියලු දේශපාලන නායකයින් කෙරෙහිද එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට විනාශකාරී ලෙස බලපායි. ව්‍යුහාත්මක වෙනස්කම් සහිත ලොකු ප්‍රතිසංවිධාන වැඩසටහනකට දේශපාලන පක්ෂ හා නායකයින් අතර පොදු එකඟතාවක් තිබීම අත්‍යවශ්‍යය. ඒ සඳහා අවශ්‍ය සමාජ එකඟතාවක් ඇතිකර ගත හැක්කේද එවැනි ක්‍රියාමාර්ගයක් මගින් පමණය.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු කර ගත යුතු තත්ත්වයක සිටින නායකයින් ඉතා හොඳ නායකයින් නොවනවා විය හැකිය. ඔවුන්ගේ අත්වල අපිරිසිදුකමක්ද තිබිය හැකිය. එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට දූෂිත වනවාද විය හැකිය. රට ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට ඔවුන් සියලුදෙනා වගකිව යුතු බවටද සැකයක් නැත. අනෙක් අතට ඒ සියලුදෙනා සිටින්නේද ඓතිහාසික අර්ථයෙන් අවලංගු භාවයකට යමින් සිටින තත්ත්වයකය. ඒ සියලු වැරදි එසේ තිබියදීත් ඒ සියලුදෙනාද මනුෂ්‍යයෝය. සමහරවිට යථා තත්ත්වය තේරුම් ගත් විට තමන් රඟපෑ භූමිකාව ගැන ඔවුන් තුළ ද කනගාටුවක් ඇතිවිය හැකිය. මෙම තීරණාත්මක අවස්ථාවේදී මෙවැනි වැඩසටහනකට දායකවීමෙන් ඔවුන්ට තමන් කරන ලද වැරදි නිවැරදි කර ගැනීමට හැකි වනවාට අතිරේකව මුළුමනින් අහිමි වී යන්නට නියමිතව තිබෙන මහජන ගෞරවය හා පිළිගැනීම ඒ මගින් ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත. අංගුලිමාලට හොඳ මිනිහෙකු වීමේ හැකියාව තිබුණේ නම් සමහරවිට මේ නායකයින්ට ද ඒ හැකියාව තිබිය හැකිය. ඇතිවන්නට යන විනාශය ඉදිරියේ තෝරා ගැනීමට ඊට වඩා හොඳ විකල්පයක් නැතිනම් රටට තෝරා ගැනීමට සිදුවනු ඇත්තේද එම විසඳුමය.

දකුණු අප්‍රිකානු ආදර්ශය

දකුණු අප්‍රිකානු සුදු පාලකයින් හා කල්ලන් අතර කෙරෙන අරගලය දෙපක්ෂයටම එකිනෙකා ජයගත නොහැකි තත්ත්වයකට පත්ව තිබූ අවස්ථාවක හා එහි වර්ණ භේදවාදී පාලනයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පනවන ලද සම්බාධක නිසා එම රට හිරවී තිබුණු අවස්ථාවකදී ඒ තත්ත්වය ජයගැනීම සඳහා දකුණු අප්‍රිකාව තෝරා ගත්තේ සර්වපාක්ෂික විසඳුම් ක්‍රියාමාර්ගයකි. ඒ අවස්ථාවේදී දකුණු අප්‍රිකාවට කිසිවකුත් බැහැර නොකොට සියලු දෙනා එකතු කරගනිමින් විසඳුම් සොයන තැනකට යන්නට සිදුවිය.
එම සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වූ නායකයින්ගේ අත්වලද ලේ තැවරී තිබුණි. එහිදී පළමුවෙන්ම සිදුවූයේ සුද්දන්ට පමණක් නොව කල්ලන්ට ද ගෞරවයෙන් ජීවත් වියහැකි නව දකුණු අප්‍රිකාවක් ඇතිකර ගැනීමේ අරමුණ සඳහා පළමුව ප්‍රධාන බල කණ්ඩායම් දෙක දෙක අතරත්, ඉන්පසුව අප්‍රධාන කණ්ඩායම් සමගත් සාකච්ඡා කරන තත්ත්වයක් ඇතිකර ගැනීමය. සර්වජන ඡන්ද බලය මත පදනම් වු ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමයක් සහිත සියලුදෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන මනුෂ්‍ය අයිතිවාසිකම් ලබාදෙන ස්වාධීන අධිකරණයක ආරක්ෂාව ලබන නව දකුණු අප්‍රිකාවක් ඇතිකර ගැනීමට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇතිකර ගැනීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගන්නා ලදි. එම වැඩසටහනට එකතු නොවූයේ එක් ප්‍රාන්තයක විශාල බලයක් හිමිකරගෙන සිටි ඉන්කතා පක්ෂය පමණි. එම පක්ෂය තමන්ට බලයක් තිබුණු ප්‍රාන්තය සඳහා ස්වාධිපත්‍ය බලය ලැබෙන ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා සිටියේය. පොදු වැඩසටහනට එම පක්ෂය එකතු වුණේ නැතත් ඔවුන් මුළුමනින්ම බැහැර කිරීමක්ද සිදු නොවීය.
අපේක්ෂා කළ පරිවර්තනය සඳහා ඇති කරගත් පොදු වැඩපිළිවෙළට ඇතුළත්ව තිබූ මූලික කොන්දේසි මේවා ය. ඇති කරන පරිවර්තනය අදියර දෙකක් යටතේ සිදුවිය යුතුය. ඒ දෙක අතර අන්තර් සම්බන්ධයක් තිබිය යුතු ය. පළමු අදියර සඳහා අන්තර් කාලීන ව්‍යවස්ථාවක් හා සර්වපාක්ෂික ආණ්ඩුවක් තිබිය යුතුය. පළමු අදියරේ හා දෙවැනි අදියරේ සිදුකරන දේවල්ද ඒ සඳහා ගතකරන කාලවකවානුද අන්තර්කාලීන ව්‍යවස්ථාවෙන් විස්තර විය යුතුය.
පළමු අදියර අවසානයේ මැතිවරණයකට ගොස් පක්ෂ වලට ලැබෙන ජයග්‍රහණයන්ගේ ප්‍රමාණ අනුව බලතල බෙදා ගනිමින් දෙවන අදියරේදී එය සම්පූර්ණ කිරීම සඳහා සර්ව පාක්ෂික වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුය. පළමු අදියරේදී සිදුවූ දේවල් දෙස ආපසු හැරී බලන තැනකට යමින් ඇති කළ යුතු වෙනස්කම් හඳුනා ගැනීමටත්, ව්‍යවස්ථාවක් සඳහා මූලධර්ම හඳුනාගැනීමත්, දෙවන අදියරේදී මැතිවරණයකට යමින් නැවත සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගනිමින් ඇති කළ යුතු වෙනස්කම් හා නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමය.

කෝල්බෲක් ප්‍රතිසංස්කරණ

ලංකාවේ මේ දක්වා ක්‍රියාවට නගා තිබෙන ලොකුම ප්‍රතිසංස්කරණ වැඩසටහන කෝල්බෘක් සහ කැමරන් යන ඒක පුද්ගල කොමිෂන් සභා දෙකේ නිර්දේශ මත 1833දී ක්‍රියාවට නගන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන ලෙස සැලකිය හැකිය. අපට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහාද ඉන් උගත හැකි පාඩම් බොහෝය. ඒ දක්වා සිංහල රජවරුන් පමණක් නොව පහත රට ප්‍රදේශ අල්ලා ගත් පෘතුගීසින් ලන්දේසින් හා බි්‍රතාන්‍යය ද අල්ලා ගත් ප්‍රදේශ පාලනය කළේ සිංහල වැඩවසම් ක්‍රමයටය. ධනේශ්වර පරිවර්තනයක් සඳහා අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කරන්නේ 1833දීය. කැමරන් සලකා බලන ලද්දේ අධිකරණය ගැන පමණය. අන් සියල්ල එ නම් සියලු අණපනත්, ආණ්ඩුවේ ආදායම් සහ වියදම්, නීති සිරිත් විරිත් හා ආණ්ඩුව සමග බැඳී පවත්නා අන් සියලු දේ පරීක්ෂාවට ලක් කරන ලද්දේ කෝල්බෘක් විසිනි.
එම නිර්දේශ මත පිහිටා ඇති කරන ලද ව්‍යුහමය වෙනස්කම් ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇති කර තිබෙන ලොකුම විපර්යාසය ලෙස සැලකිය හැකිය. ඒ අනුව රාජකාරි ක්‍රමය අහෝසි කැරිණි. එම ක්‍රමය කෝල්බෲක් දැක්කේ ඉඩමට මිනිසුන් බැඳ තබන කුල ක්‍රමය ශක්තිමත් කරන දුෂ්ට ක්‍රමයක් ලෙසය. ආණ්ඩුවට තිබුණු වෙළෙඳ ඒකාධිකාරයද අහෝසි කැරිණි. නිදහස් වෙළෙඳාමක් ඇති කිරීමට ආණ්ඩුව වෙළෙඳාම් කිරීමෙන් හා වාණිජ කටයුතු කිරීමෙන් ඉවත් විය යුතු බව ඔහුගේ මතය විය. එනිසා කුරුඳු වෙළෙඳාමට තිබුණු ඒකාධිකාර අයිතිය සේම ආණ්ඩුව පවත්වාගෙන ගිය ව්‍යාපාර හා වෙළෙඳාම් අත්හරින්නට රජයට සිදුවිය. ආණ්ඩුකාරයාට තිබූ ඒකාධිපති බලතලද අධිකරණ බලතලද ඉවත් කරන ලදි. මුහුදුබඩ සිංහල ප්‍රදේශ මුහුදුබඩ දෙමළ ප්‍රදේශ හා උඩරට ප්‍රදේශ වශයෙන් තුන් ආකාරයකට පවත්වාගෙන ගිය පාලන ක්‍රමය අහෝසි කොට රට පළාත් පහකට බෙදා මුළු රට සඳහාම පොදුවේ ක්‍රියාත්මක වන එක පාලන ක්‍රමයක් ඇති කරන ලදි. ආණ්ඩුකාරයාගේ පාලනයට සහායවීම සඳහා නිල බලයෙන් තේරී පත්වන සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත වන විධායක සභාවක්ද නීති සම්පාදනය සඳහා නිලලත් සාමාජිකයින් 9දෙනෙකුගෙන්ද නිල නොලත් සාමාජිකයින් 6 දෙනෙකුගෙන්ද සමන්විත ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කැරිණි. එය ලංකාව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් කරා යන ගමනක ආරම්භය ලෙස සැලකිය හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය යටතේ ක්‍රියාත්මක වන නූතන අධිකරණ ක්‍රමයක් ඇති කළේය. යුරෝපීයයන්ට පමණක් සීමාවී තිබූ සිවිල් සේවයේ දොරටු ස්වදේශිකයින්ට ද විවෘත කර දුන්නේය. මේ මොහොතේ ලංකාව ඉල්ලා සිටින්නේද එවැනි ව්‍යුහමය වෙනස්කම් සහිත ලොකු විපර්යාසයකි.

ලංකාවේ අවශ්‍යතාව

ලංකාවට අවශ්‍ය වී තිබෙන්නේ කෙබඳු ව්‍යුහමය වෙනස්කම්ද යන්න හරිහැටි හඳුනාගැනීමට හැකිවනු ඇත්තේ නිදහසේ සිට මේ දක්වා රටේ කටයුතු සිදුවී තිබෙන ආකාරය විවේචනාත්මකව සොයා බලන තැනකට යාමෙනි. වර්ග කුල හා ආගම් භේදයන්ට තිබෙන පිළිගැනීම නැති කොට ලංකාවේ ජීවත්වන සියලු මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙමින් සමාජය ඒකාග්‍ර කොට මෙතෙක් ගොඩ නගා ගන්නට බැරිවී තිබෙන නූතන ජාතිය ගොඩනගා ගැනීම එම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වැදගත් අරමුණක් කර ගත යුතුය. රටේ මෙතෙක් ඇතිවූ ලේ වැගිරීම් කෙරෙහි ඒ ආශ්‍රයෙන් සමාජයේ හා රාජ්‍යයේ ඇති වී තිබෙන පරිහානිය කෙරෙහි ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම බලවත් සාධකයක් ලෙස බලපෑවේය. බලවත් අයුක්තියක් හෝ අසාධාරණයක් සිදුවී ඇති අයට තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙන, බලවත් අයුක්තියක් සිදුවී තිබෙන අයට වන්දි ගෙවන ක්‍රමයක් ඇති කළ යුතුය. විශේෂයෙන්ම රටේ අධ්‍යාපන ක්‍රමය ගැන හොඳින් කරුණු සොයා බලන තැනකට යා යුතුය. මහජන සෞඛ්‍යය, ගමනාගමනය ගැනද කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය හා ආර්ථිකයේ අන් හැම වැදගත් අංශයක් ගැනද, පරිසරය, ජලය හා බලශක්තිය ගැන ද කරුණු සොයා බලන තැනකට යා යුතුය. එසේම අධිකරණය ඇතුළු රජයේ ආයතන ක්‍රම ගැන ද තරුණ පරපුර ශ්‍රම බලකාය හා රජයේ සේවකයින් හා ඔවුන්ගේ වැටුප් ක්‍රම පිළිබඳ කරුණු සොයා බලන තැනකට යා යුතුය. පාර්ලිමේන්තුව පළාත් සභා හා පළාත් පාලන ආයතන ක්‍රම ගැන ද රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබෙන දූෂණය ගැන ද හොඳින් කරුණු සොයා බලන තැනකට යා යුතුය.

යහපත් රටක්

යහපත් කාර්යක්ෂම හා දූෂණයෙන් තොර රටක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස්කම් නිසියාකාරව හඳුනාගත හැකිවනු ඇත්තේ එවැනි ක්‍රියාමාර්ගයකින් පමණය. ඇතිකර ගන්නා සර්වපාක්ෂික ආණ්ඩුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද දෙමළ, මුස්ලිම්, උඩරට දෙමළ නායකයින් හා ජේවීපී නායකයාද ඇතුළත් වියයුතුය. සර්ව පාක්ෂික ආණ්ඩුවේ අරමුණ විය යුත්තේ දූෂිත හා ජරාජීර්ණ තත්ත්වයකට පත්ව තිබෙන මේ රට එම අවලස්සන තත්ත්වයෙන් මුදාගනිමින් සියලුදෙනාගේ විශ්වාසයත් හා ගෞරවයට හේතුවෙන නීතියේ ආධිපත්‍යය රජයන රටක් බවට පත්කිරීමය.
එය දකුණු අප්‍රිකාවේ මෙන් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක් බවට පත්කර ගත හැකිය. පළමු අදියරේදී හා දෙවන අදියරේදී කළයුතු කාර්යයන්ද ඒවා කළයුතු කාලවකවානු හා කළයුතු ආකාරයද අන්තර්වාර ව්‍යවස්ථාවට ඇතුළත් කළ හැකිය. ඇති කළයුතු වෙනස්කම් හඳුනාගැනීමේ හා නව ආණ්ඩු ක්‍රමයක් සඳහා හඳුනාගත් මූලධර්ම මත ආණ්ඩු ක්‍රමයක් සඳහා සැකිල්ල හදා ගනිමින් මැතිවරණයකට යා හැකිය. එම මැතිවරණ ප්‍රතිඵල අනුව සර්වපාක්ෂික ආණ්ඩුවේ බලව්‍යුහය වෙනස්කර ගනිමින් හඳුනා ගත් වෙනස්කම් ක්‍රියාවට නගන හා හඳුනාගත් මූලධර්ම මත ව්‍යවස්ථාව සම්පාදනය කරන තැනකට යාහැකිය.
මෙවැනි වැඩසටහනක් රට තුළ පවතින අස්ථාවරත්වය දුරු කොට ප්‍රධාන නායකයින් එකිනෙකා අතර පවතින වෛරසහගත හැඟීම්ද ඔවුන්ට අනාගතය ගැන පවතින සැක සාංකා දුරු කිරීමටද හේතුවනු ඇත. එවැනි වැඩසටහනක් මෙම සියලු නායකයින්ට නව පිළිගැනීමක් ලබාදීමටද හේතු වනු ඇත.