පසුගිය ඡන්දය හා අදහස් පළකිරීමේ නිදහස

ටී.එම්. ප්‍රේමවර්ධන

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව රට අරාජක තත්ත්වයට පත්විය හැකි බවට පුනරුදය ව්‍යාපාරය විසින් කරන ලද පුරෝකථනය සැබෑ වී තිබේ. මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙගුණ කර තිබෙන එම ආත්මාර්ථකාමී පළාත් පාලන මැතිවරණ නීතියට ජනතාව විරෝධය පළ කළ යුතු යැයි ද පුනරුදය ව්‍යාපාරය ප්‍රකාශ කළේය.
එසේ විරෝධය පළ කිරීම සඳහා ඒ වන විටත් විවිධ තැන්වල පුරවැසියන් ඡන්දය කටුගෑමට සූදානම් වෙමින් සිටියේය. ඊට වැඩි පිරිසක් සියලු පක්ෂ හෝ අපේක්ෂකයින් කෙරෙහි කලකිරීමට පත්ව ඡන්දය දීමෙන් වැළකී සිටීමට සූදානම් වන තත්ත්වයක් පැවතිණි. එවැනි පුරවැසියන්ට සියලු පක්ෂ හෝ අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් අපේ රටේ දැනට තිබෙන ඡන්ද පත්‍රිකාවේ නැත.
එහෙත් ඉන්දියාව ඇතුළු බොහෝ දියුණු මැතිවරණ ක්‍රම තිබෙන රටවල ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ‘ඉහත කිසිවෙකුත් එපා’ කියන අදහස ඇති None of The Above (NOTA) යනුවෙන් සඳහන් අවස්ථාවක් ඡන්ද පත්‍රිකාවේ අවසානයට දී ඇත. එම අවස්ථාව දී තිබෙන්නේ ‘මම ඡන්ද පත්‍රිකාවේ සඳහන් සියලු පක්ෂ හෝ අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කරමි’ යන අදහස, කතිරයක් සලකුණු කර ප්‍රකාශ කිරීම සඳහාය. එවැනි අවස්ථාවක් නොමැතිවීම නිසා සියලු පක්ෂ හෝ අපේක්ෂකයින් කෙරෙහි කලකිරීමට පත් අපේ රටේ පුරවැසියෝ බොහෝ විට ඡන්දය දීමෙන් වැළකී සිටිති.
එක්තරා මැදිවියේ වෛද්‍යවරයකු මා සමග පැවසුවේ ඔහු ජීවිත කාලයට ම ඡන්දය ප්‍රකාශ කළේ එක වරක් පමණක් බවයි. තවදුරටත් ඔහු පැවසුවේ පවතින ඡන්ද ක්‍රමයෙන් ජනතාවට අවස්ථාව දී තිබෙන්නේ දෙන ලද හොරුන් කීප දෙනෙකු අතරින් හොඳ හොරෙකු තෝරා ගැනීමේ අවස්ථාව පමණක් බවයි. සියලු පක්ෂ ප්‍රතික්ෂේප කිරීමට ඡන්ද පත්‍රිකාවේ අවස්ථාවක් දී තිබේ නම් ඉතා සතුටින් ඡන්දය ප්‍රකාශ කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පුනරුදය ව්‍යාපාරය ප්‍රකාශ කළේ වගකිවයුතු පුරවැසියන් ලෙස ඡන්දය දීමෙන් වැළකී නොසිට ඡන්ද පත්‍රිකාව කටුගා, එම පත්‍රිකාවේ පහළින් ‘ඉහත කිසිවෙකුත් එපා’ යනුවෙන් හෝ NOTA යනුවෙන් ලියා එතැන කතිරයක් සලකුණු කිරීම වඩා සුදුසු බවයි. සැලකිය යුතු පුරවැසියන් පිරිසක් එසේ කළහොත් විය හැකි යහපත් ප්‍රතිඵල තුනක් ඇති බව ද පුනරුදය ව්‍යාපාරය පෙන්වා දුන්නේය.
පළමුව මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙගුණයක් කළ ආත්මාර්ථකාමී පළාත් පාලන මැතිවරණ නීතිය වෙනස් කරවා ගැනීමට හැකියාව ඇති බවයි. දෙවනුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ නීති සම්පාදනයේ දී එම ආයතනවල මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දෙගුණයක් කිරීම වළක්වා ගැනීමට හැකියාව ඇති බවයි. තෙවනුව සියලු පක්ෂ කෙරෙහි කලකිරීමට පත් පුරවැසියන්ට ඡන්දය දීමට හැකි වන සේ අපේ රටේ ඡන්ද පත්‍රිකාව ද සකස් කරවා ගැනීමට හැකියාව තිබෙන බවයි.
මැතිවරණ කොමිසම සහ බොහෝ ජනමාධ්‍ය සුපුරුදු ලෙස කරන්නේ ඡන්දය අයිතියක් බව කියමින් උදෙන් ම ගොස් ඡන්දය දෙන ලෙස ආයාචනා කිරීම පමණි. එහෙත් ඔවුන් කිසිවෙක් ඉන්දියාව ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල මෙන් අපේ රටේ ඡන්ද පත්‍රිකාව ද වෙනස් කරවා ගැනීමේ අවශ්‍යතාව ගැන කතා කරන්නේ නැත. පුනරුදය ව්‍යාපාරය ඉදිරිපත් කළ ඉහත යෝජනාව ගැන ජන මතයක් ගොඩනැගීමට කිසිදු ජනමාධ්‍යයක් මේ දක්වා උනන්දුවක් දක්වා නැත.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ‘ඉහත කිසිවෙකුත් එපා‘ හෝ NOTA යැයි සටහන් කර එතැන කතිරයක් සලකුණු කළ හැකි බව දැන ගත් පිරිස් පවුල් පිටින් ගොස් එසේ ඡන්දය ප්‍රකාශ කර තිබුණි. එවැනි පවුලක තරුණ ඉංජිනේරුවෙකු සිය මිතුරෙකු අමතා “අම්මයි, තාත්තයි, අපි සිය පවුලම ගිහිල්ලා නොටා NOTA ගැහැව්වා”යි පැවසුවේය.
පුනරුදය ව්‍යාපාරයේ මහනුවර දිස්ත්‍රික් නායක නවරත්න බණ්ඩා එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22හි ප්‍රකාශිත ඡන්ද පිළිබඳ ගණන් බැලීමක් සිදු කර තිබුණි. ඒ අනුව ඡන්දය දී තිබෙන මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව 890537කි. අවලංගු කළ ඡන්ද සංඛ්‍යාව 19476කි. එය ප්‍රතිශතයක් වශයෙන් 2.2%කි. එම ඡන්ද සංඛ්‍යාව අවලංගු කර තිබෙන්නේ කටුගෑම නිසා ද? කටුගා ඊට පසු “ඉහත කිසිවෙකුත් එපා” හෝ NOTA 2014 වසරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට පුරවැසියන්ට NOTA අවස්ථාව ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කළ බව 2014 මැයි 14 හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. ඒ අනුව NOTA අවස්ථාව, මැතිවරණ ක්‍රම වෙනස් කිරීමට හේතුවන බවත්, පිරිසිදු අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට බලපෑමක් වන බවත්, ඡන්දය දීම අයිතියක් නම් අපේක්ෂකයා ප්‍රතික්ෂේප කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කතා කිරීමේ හා ප්‍රකාශනයේ මූලික අයිතියක් වන බවත් අගවිනිසුරු පී. සතාසිවම් විසින් ප්‍රකාශ කර තිබේ. මෙම නඩු තීන්දුවට බලපෑවේ People’s Union for Civil Liberties (PUCL)නමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමකි.
NOTA අවස්ථාව කොලොම්බියාව, යුක්‍රේනය, බ්‍රසීලය, බංග්ලාදේශය, ෆින්ලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, චිලිය, ප්‍රංශය, බෙල්ජියම සහ ග්‍රීසිය ඇතුළු බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ද NOTA අවස්ථාව 1975 සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ. එය මැතිවරණ ක්‍රමයක පරිණතභාවයේ ලක්ෂණයක් ලෙස සැලකේ.
NOTA අවස්ථාව ලබාදීමෙන් අනතුරුව ඉන්දියාවේ ප්‍රාන්ත 5ක පැවති මහ මැතිවරණයේදී එම අවස්ථාව භාවිත කර තිබුණේ ඡන්දදායකයින්ගෙන් 1.5%කි. එය දිල්ලියේ 50,000කි. චතිස්ගාර්වල 356,000කි. මධ්‍ය ප්‍රදේශයේ 590,000කි. රාජස්ථාන්වල 567,000කි. මෙම සංඛ්‍යා ඉහත සඳහන් කළ මහනුවර දිස්ත්‍රිකයේ ප්‍රතිඵල සමග සංසන්දනය කර බලනු මැනවි. ඉන්දියාව තුළ මෙම ප්‍රවණතාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වේ. බොහෝ මැතිවරණවලදී NOTA තුන්වැනි ජයග්‍රාහකයාගේ තත්ත්වයට පත් ව තිබේ.
NOTA අවස්ථාව ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිසම ද පෙනී සිටිය යුතුය. මක්නිසා ද එමගින් පවතින ආත්මාර්ථකාමී, විකාරරූපී මැතිවරණ ක්‍රම වෙනස් කිරීමට හැකියාව ඇතිවන නිසාය. ජනතාව NOTA අවස්ථාව ලබාගැනීම සඳහා පෙනී සිටිය යුත්තේ එමගින් පුරවැසියන් සතු අදහස් පළ කිරීමේ නිදහස පුළුල් වන නිසාය. තවද එමගින් සදාචාර සම්පන්න හා ආචාරධර්මීය මහජන නියෝජිතයින් පත් කර ගැනීමට ජනතාවට ඇති වුවමනාවට සරිලන අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට බල කැරෙන නිසාය.