රාවය

රටට ඕනෑ සර්වපාක්ෂික ආණ්ඩුවක්

රටට ඕනෑ සර්වපාක්ෂික ආණ්ඩුවක්

නිමල් අබේසිංහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්
මහින්ද අමරවීර

ඡායා – ටී. නඩරාසා

දැන් රට තුළ ජාතිවාදී ගින්දර ඇවිලීමේ ප්‍රවණතාවක් දකින්නට තිබෙනවා. එවැනි සිදුවීම් වැලක ආසන්නතම සිද්ධිය මහනුවර දිගන. ඔබ මෙය දකින්නේ කෙබඳු ආකාරයකටද?
මෙම සිද්ධියේ ආරම්භය ජාතිවාදී සිදුවීමක් නොවෙයි. පුද්ගලයන් කීපදෙනෙක් එකතුවෙලා පහරදීමක් හා මියයෑමක් තිබෙන්නේ. ඒකට මම හිතන්නේ නෑ කිසිම ජාතිවාදී තත්ත්වයක් ඇතිවුණා කියලා. ඒ වගේ සිද්ධීන් අනන්තවත් වෙලත් තියෙනවා. ඒත් ඉතින් මෙතන විශේෂත්වයක් වුණා. මියගියේ සිංහල කෙනෙක් නිසා මෙතන ජාතිවාදීන්ට හොඳ අවස්ථාවක් වුණා. ජාතිවාදී ගැටුම් ඇති කළා. ඒ සිද්ධිය මුල්කරගෙන තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ. එතැනින් පස්සේ ඇතිවෙච්ච දේවල් අපට පේනවා සංවිධානාත්මකව වුණා කියලා.
කවුද මේ සංවිධානාත්මක කණ්ඩායම්?

නෑ, ඉතින් මේ රටේ සංවිධානාත්මක ජාතිවාදී පිරිස් ඉන්න බව පේනවා. ඒ දෙගොල්ල තුන්ගොල්ලම ඉන්නවා. මුස්ලිම් අන්තවාදීනුත් ඉන්නවා. සිංහල අන්තවාදීනුත් ඉන්නවා. එතකොට අපට දැන් තියෙන්නේ රජයක් විදියට මුස්ලිම් අන්තවාදයත් අපි නැති කරන්න ඕනේ. ඒ වගේම සිංහල අන්තවාදයත් අපි නැති කරන්න ඕනෑ. ද්‍රවිඩ අන්තවාදයක් තියනව නම් ඒකත් නැති කරන්න ඕනෑ. ඒත් අපේ රටට ආයේ යුද්ධයක බලාපොරොත්තුවක් කාගෙවත් නෑනේ. දැන් අපි දෙමළ අයත් එක්ක යුද්ධයකට පැටලිලා අවුරුදු තිහක් විතර දුක් වින්දා. ආයේ එහෙම එහෙකට යන්න අවශ්‍යතාවක් නෑ. ඒ නිසා රජය මේ වෙනුවෙන් තදින්ම පෙනී සිටිනවා. මම ස්ථිර වශයෙන්ම කියනවා දැන් ජනාධිපතිතුමා මේ පිළිබඳව වෙනම කොමිසමක් හැදුවා. විශ්‍රාමලත් විනිශ්චයකාරවරු පත් කරලා. අනිවාර්යයෙන්ම මේ පිළිබඳව සොයා බලනවා. දඬුවම් දෙනවා විතරක් නෙවෙයි නැවත මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්නවා.

මේ මුස්ලිම් විරෝධය සමග ඇතිවුණු ගැටුම සමග රට අරාජිකත්වයකට පත්වූ ලකුණු ප්‍රදර්ශනය කළා. ඒ කියන්නේ ඇඳිරි නීතිය දාල තිබෙද්දීත් ඇතැම් තැන්වල ප්‍රහාර සිද්ධ වුණා. පොලිසිය හමුදාව මේ තැන්වල සේවයේ යෙදී සිටිද්දීයි මේවා වුණේ. ඔබ මේ ගැන මොකද කියන්නේ?

ඔව්. ඒක තමයි මෙතන මොනවහරි එහෙම ප්‍රශ්නයක් වෙලා තියනව නම්, අපි ඒක සොයා බලන්න ඕනෑ. ඒක නිවැරදි කරන්න ඕනෑ. දැන් ඒ වගේ කාගෙ හරි අතින් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් පොලිසියෙන් අඩුපාඩුවක් වෙලා තියෙනව නම් ඒකට අපි අවශ්‍ය පියවර ගන්නවා. පොලිසිය වුණත් දැන් දේශපාලනඥයො මත ක්‍රියාකරන පොලිසි නෑ මේ රටේ. දැන් පොලිස් කොමිසමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකනේ දේශපාලනඥයන්ට මන්ත්‍රීවරුන්ට පාරේ නිදාගන්න වෙන්නේ ඕඅයිසී අයින් කරන්න කියලා. ඉස්සර නම් මන්ත්‍රීවරයා කීවහම ඕඅයිසී ඊළඟ දවසෙ යවන්න තිබුණා. දැන් එහෙම බෑ. ඒ නිසා දැන් පොලිසිය පිළිබඳ කාර්යභාරය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව පිටට පැවරීම සාධාරණ වෙන්නේ නෑ. ආණ්ඩුවටත් යම් වගකීමක් තියෙනවා තමයි. ඒ නිසා එතන කොහේ හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා. අපි ඒක හොයන්න ඕනෑ. හොයලා මේ වැරැද්ද වෙලා තියෙන්නේ කාගෙන්ද කියල හොයන්න ඕනෑ. මෙතනදී අපිට පුද්ගලයා අදාළ වෙන්නේ නෑ. ඇමතිවරයෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් බලගතු කෙනෙක් වෙන්න පුළුවන්. ආරක්ෂක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. මේකට උඩගෙඩි දුන්න නම් අනුබල දුන්න නම් ඒ අයට දඬුවම් දෙන්න ඕනෑ. නැත්නම් මේක අනාගතයට ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙනවා.

රට දැනට පවතින අර්බුදයෙන් ගොඩයන්න නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදිය යුතුයි යන යෝජනාවක් ආවොත් ඒ ආස්ථානයට යන්න ඔබලාට හැකියාවක් තිබෙනවාද?

ප්‍රශ්නයක් නෑ. දැන් ආණ්ඩුවත් පක්ෂ දෙකක්. සර්වපාක්ෂික වෙනවා නම් තවත් හොඳයිනේ. මේ රටට අද ඕනෑ එහෙම තත්ත්වයක්. මේ රට දැන් පක්ෂ දෙකක් පාලනය කරන්නේ. ඒ දෙකත් කෙටි කාලයක් හිටියා. අපි කරන වැඩ පේනවද නෑනේ. පාරවල් හදලා මේවා ඔක්කොම ණයනේ. දැන් ඉතිහාසේ වැඩිම ණය වාරිකය ගෙව්වේ නොවැම්බර්වල. ඒ අවුරුද්දේ අපිම කඩලා ඊළඟ වාර්තාව අපිම 2019 තියනවා ඉහළම ණය වාරිකය. එතකොට අපි බැලුවොත් මේ රට පක්ෂ දේශපාලනයෙන් පාලනය වුණාට කිසිම ආණ්ඩුවකින් මට බය නැතිව කියන්න පුළුවන්. රටට දැනෙන වෙනසක් ඇති කරලා නෑ. වැඩ කරලා තියනව තමයි ණයවෙලා. මිනිස්සු අද ණයකාරයෝ. ලක්ෂ හතරකට වැඩිය එක් පුද්ගලයෙකු ණයයි. උපදින ළමයිනුත් ණයකාරයො වෙලානේ. එහෙනම් අපි රට කොහාටද ගේන්න ඕනෑ. ඒ නිසා දැන් ඇති මේ පක්ෂ දේශපාලනය. අපි හිතුවා ජාතික ආණ්ඩුව වෙලාවේ මේ තත්ත්වය තියෙයි කියලා. ඒත් කට්ටියක් ජාතික ආණ්ඩුවෙන් එළියේ ඉඳගෙන ඒකට කරගෙන යන්න ඉඩ දුන්නේ නෑ. දැන් හරි තියෙන්නේ ඔක්කොම එකතුවෙලා රට ගැන හිතලා ඉස්සරහට ගෙනියන්න. ඊළඟ සැරේ බලයට පත්වෙන්නේ කොහොමද කියන එකට වැඩිය රට ඉස්සරහට යන එක ගැන හිතලා කටයුතු කරන දේශපාලනඥයන්ට හිතුණ දවසට තමයි රට ගොඩගන්න පුළුවන් වෙන්නේ.

එහෙම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒකේ නායකත්වය ගන්නේ, කැඳවුම්කරුවා වන්නේ කවුද?

ඒවා අපට සාකච්ඡා කරගන්න පුළුවන්. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා නම් ඒකට අවංකව කැමැත්තක් තියෙනවා නම් ඒක තනතුරු බලය කොහොමද? කවුද කැඳවුම්කරු? කවුද මේක කරන්නේ? කාටද මේකේ බලය තියෙන්නේ කියන එක ගැන අපිට කතා කරගන්න පුළුවන්.
මේ සඳහා වන කතාබහට කවුරුහරි මූලික වෙලා සියලු පක්ෂවලට ආරාධනා කරන්න ඕනෑ. එය මෙහෙයවාගෙන යන්න ඕනෑ. ඒ කවුරු විසින් කළ යුතුයැයි ඔබ සිතනවාද?
ඒකට හොඳම කට්ටිය තමයි දේශපාලනඥයා නොවන, රටට ආදරේ කරන කණ්ඩායම. මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් ඒකෙ ප්‍රධානීන් වෙන්න පුළුවන්. බහුජන සංවිධාන වෙන්න පුළුවන්. එය රට ගැන කැක්කුමක් තියෙන රටට ආදරය කරන දේශපාලනඥයො නොවන කණ්ඩායමක් මේකෙ කැඳවුම්කරුවො, මෙහෙයුම්කරුවො සහ පසුවිපරම්කරුවො බවට පත්වුණොත් මේ රට ඉස්සරහට යයි.

එවැනි කණ්ඩායමක් විසින් රටේ සියලු දේශපාලන පක්ෂවලට බලපෑමක් ඇති කළොත් ඒ අය සර්වපාක්ෂික ආණ්ඩුවකට දායක වේවිද?

අනිවාර්යයෙන් එන්න වෙයි. එහෙම වුණොතින් සියලු පක්ෂවලට එන්න වෙනවා. මොකද නැත්නම් ආගමික නායකයන්ට විරුද්ධව බහුජන සංවිධානවලට විරුද්ධව රටේ ජනතාවට විරුද්ධව කටයුතු කරන්න දේශපාලනඥයන්ට බැහැ. දේශපාලනඥයෝ ඉන්න ඕනෑ ඒ අයත් එක්ක. මේ අය පෙරමුණ ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ පටු පරමාර්ථ නැතිව. ඊළඟට බලයට එන්නේ මෙයා. අපි යූඇන්පී නිල්පාට කොළපාට රතුපාට කියන කතන්දරේ අමතක කරලා රට ගැන හිතලා තමයි ඒ කණ්ඩායම දේශපාලන භේදයකින් තොරව එකතුවෙන්න ඕනෑ. ඒ වගේ ඉල්ලීමක් කළොත් දේශපාලනඥයන්ට මගහරින්න බැරිවෙනවා.
එහෙම තෙරපුමක් පීඩනයක් ආවොත් අනිවාර්යයෙන්ම දේශපාලනඥයන්ට නැඹුරුවෙන්න වෙයි සහ ජනමතයක් ගොඩනැගුණොත් බහුජන සංවිධානවලින් ඒකට රටේ මධ්‍යස්ථ මතධාරීන්ගෙන් ඉදිරිපත්වීමක් තිබෙන්න ඕනෑ. විශේෂයෙන්ම ජනමාධ්‍ය. ජනමාධ්‍ය මේ කාරණය හරියට අර ගත්තොත් අනිවාර්යයෙන්ම ජනමාධ්‍යයට මේක කරන්න පුළුවන්කම තිබෙනවා. ජනමාධ්‍ය තමයි අද රටේ මැතිවරණ ජයග්‍රහණය පවා තීන්දු කරන සාධකය. ජනමතයක් ජනමාධ්‍යවලින් ගොඩනැගුවොත් මේක කරන්න පුළුවන්.

ආණ්ඩුව පසුගිය වසර තුනටම ජනතා අභිලාෂයන් ඉටු නොකිරීමේ පසුබිමක ජනතාව පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව පරාජයට පත්වීම ගැන ඔබ කියන්නේ මොනවද?

නොකළා නොවෙයි, දැනිලා නෑ. මිනිස්සුන්ට ජීවත්වෙන්න අමාරුයි. හැබැයි ඇත්තටම අමාරු නෑ. අපේ කටේ තියෙන වචනය තමයි අමාරුකම. මේ ආණ්ඩුව ආවට පස්සේ තෙල් මිල අඩු කරපු ප්‍රමාණය, ගෑස් මිල අඩු කරපු ප්‍රමාණය, කිරිපිටි සැමන් වාගේ දේවල්. ඊළඟට පඩි රුපියල් දහදාහකින් වැඩි කළා. හැම එකක වගේම දීමනා වැඩි කළා. මහපොළ, සමෘද්ධිය පැන්ෂන් වගේ දේවල්. හැබැයි මිනිස්සු ඒ ගැන දැනුවත් වුණාද? ප්‍රතිචාර දැක්වූවාද? රජයට තමන් කරපු හොඳ කාර්යයන් ටික රජයට මාර්කට් කරගන්න බැරිවුණා. අද බඩු මිලයි 2014 බඩු මිලයි බැලුවත් දැන් එදාට වඩා අඩුයි. අනෙක් එක දැන් මේ වෙනකොට තීන්දුවෙලා හමාරයි මේ රටේ ආණ්ඩු හදන්නේ මාධ්‍යය කියන එක. ඒගොල්ලන්ට ඕනෙ කෙනෙක් දිනවන්නත් පුළුවන්. පරද්දන්නත් පුළුවන්. ඒගොල්ලෝ ජනමතය හැදුවා. මේ ආණ්ඩුව කරපු හොඳ වැඩ එකක්වත් දාන්නේ නෑ. නරක දේවල් වැඩියෙන් බොරුත් කිය කියා ප්‍රචාරය කළා. ජාතිවාදය වැපුරුවා. කඳවුරුවලට ගහනවා, රණවිරුවො හිරගෙවල්වල යවනවා කියලා බොරුත් කීවා. වැරදි කරපු අය ස්ත්‍රී දූෂකයෙකුවවත් හිරේ යවන්න බැරිවුණානෙ. මිනිස්සු බොරුව පිළිගත්තා. ආණ්ඩුවට බෑ මාර්කට් කරන්න. අද ජාඩි කන කට්ටිය වැඩිවෙලා. අර කුණු රසත් එක්ක කන්න කැමති අය. දවසින් දවස ප්ලාන්ට් කරනවා නිවුස්.
දැන් බලන්න මේ ආණ්ඩුව ආවට පස්සේ ජිනීවාවල තිබුණු බරපතළ තත්ත්වය මුදවගෙන කියනවා. දැන් විදුලි පුටුව ගැන යුද අධිකරණය ගැන කතාවෙන්නේ නෑනේ. කෝ ඒක. දැන් 2017 තමයි වැඩිම අපනයන ආදායම. බිලියන 15ට වැඩිය වැඩිවීමක්. කෝ මාධ්‍යවල ගියාද? නෑනේ. ආණ්ඩුවට දැන් සිද්ධවෙලා තියෙනවා මොනවහරි දීල හරි පෞද්ගලික ජනමාධ්‍ය ටික අල්ලගන්න. එහෙම වුණොත් ආණ්ඩුව ජනප්‍රිය වෙන්න පුළුවන්.

එජාපය කැබිනට් වෙනසක් සිදුකළා. ඒ අයගේ පාර්ශ්වයෙන් එසේ කරද්දී ඔබලාගේ පාර්ශ්වයෙන් එවැනි වෙනසක් නොකළේ ඇයි? එහෙම වෙනසක් කරන්න සූදානමක්වත් තිබෙනවද?

මම හිතන්නේ මේ විදියට ගියොත් කැබිනට් වෙනසක් සිද්ධ වේවි. ඔබට දකින්න පුළුවන් වෙයි ඊළඟ මාසෙ බොහෝ රැඩිකල් තීන්දු කීපයක්ම ජනාධිපතිතුමත් අපිත් මැදිහත්වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. රටේ ලොකු වෙනසක් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන වැඩපිළිවෙළක් කරන්න තමයි බලාපොරොත්තුව තිබෙන්නේ.