රාවය

ගැටුම් සංවේදී වීම හා කූට පුවත්

ගැටුම් සංවේදී වීම හා කූට පුවත්

විජයානන්ද ජයවීර

ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුළු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා බෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල් හුසේන් කුමරු පසුගිය 07 වැනිදා ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ දී සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය. සුවිශේෂ වශයෙන් අම්පාර හා මහනුවර අවට ඇති වූ සිදුවීම් පිළිබඳ සඳහන් කළ අල් හුසේන් කුමරු ඔහුගේ ප්‍රකාශයේ කිසිදු තැනක ඒවා බෞද්ධයන් විසින් මුස්ලිම්වරුන් ට එරෙහිව කළ ක්‍රියා යැයි ප්‍රකාශ නො කළේ ය.
එහෙත් මේ සිදුවීම නිසා ලංකාවට ඇති වන අපකීර්තිය ගැන සඳහන් කරන අතර ම මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා බෞද්ධයන් විසින් මුස්ලිම්වරුන් ට එරෙහිව කරන ක්‍රියා බව හුසේන් කුමරු කියා ඇතැ‘යි ලේඛකාධිකාරී හිමි නමක් කරන ප්‍රකාශයක් ඉකුත් 09 වැනි සිකුරාදා සිය සැඳෑ ප්‍රවෘත්ති ප්‍රකාශයක දී රූපවාහිනී නාලිකාවක් උප සිරැසි ද සහිත ව ඔහේ ප්‍රචාරය කර හැරියේ ය. ප්‍රවෘත්තියට අනුව ලේඛකාධිකාරී හිමි මේ ප්‍රකාශය කළේ ඇති වූ තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා දේශපාලන නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ය. උප සිරැසි යෙදූ එම ප්‍රවෘත්ති ප්‍රකාශයේ “අල් හුසේන් කුමාරයා දැනටමත් ජිනීවාවල කියනවා මේ ලංකාවේ බෞද්ධයෝ මුස්ලිම්වරුන් ට පහර දෙනවා කියලා” යනුවෙන් ලේඛකාධිකාරී හිමියෝ පැවසූ රූප රාමු ඇතුලත් කර තිබුණි. අනුමාන කළ හැකි පරිදි ලේඛකාධිකාරී හිමියන් මානව හිමිකම් කවුන්සිලයේ වෙබ් අඩවියෙන් ලෙහෙසියෙන් ම බලා ගත හැකි ව තිබූ හුසේන් කුමරු ගේ එම ප්‍රකාශය කියවා නැත. නො එසේ නම් වෙනත් පාර්ශ්වයක් විසින් ඒ පිළිබඳ ව උන්වහන්සේට ලබා දී ඇත්තේ විකෘති කරන ලද ආරංචියකි.
එහෙත් කිසිදු විමසීමකින් හෝ පැහැදිලි කිරීමකින් තොර ව බෞද්ධයන් විසින් මුස්ලිම්වරුන් මත ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇති බවට හුසේන් කුමරු කියා ඇති බව පවසන එම විකෘතිය සහිත ප්‍රකාශය සත්‍යයක් ලෙස සලකා ජනමාධ්‍යයක් විසින් අමු අමුවේ සමාජගත කිරීම වෘත්තීය වගකීමක් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ජනමාධ්‍යවේදීන් හා විශේෂයෙන්ම ප්‍රවෘත්ති සංස්කාරකයන් තම තමන්ගෙන් ඇසිය යුතු ය. ලේඛකාධිකාරී හිමියන්ගේ මේ ප්‍රකාශය ඇත්තක් ද? මුස්ලිම්වරුන් ට එරෙහිව බෞද්ධයන් ප්‍රචණ්ඩත්වයක් මුදා හැර ඇති බවක් ඇත්ත වශයෙන් ම හුසේන් කුමරු පළ කළේ ද? යන්න එම ප්‍රකාශය අඩංගු මානව හිමිකම් කොමිසමේ වෙබ් අඩවිය පිරික්සා බැලීමෙන් පහසුවෙන් ම දැන ගත හැකිය.
ලේඛකාධිකාරී හිමියන්ගේ වැදගත් කම කෙසේ වෙතත් නොදැනුවත්කම කම නිසා මේ සත්‍ය නොවන ප්‍රකාශ කළා විය හැකි වුව ද නමින් ම කියවෙන පරිදි හුසේන් කුමරු මුස්ලිම් ආගමිකයෙකු විය හැකි බවත් ඒ අනුව ඔහු මුස්ලිම්වරුන් ට පක්ෂ ව මුළු මහත් ලාංකික බෞද්ධ ජනතාව අපකීර්තියට ලක් කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක හවුල් කරුවෙක් බවට ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වලට අගතිගාමී ප්‍රචාරක අවියක් තනා දීමට ජනමාධ්‍ය දායක විය යුතු ද? මේ කිසිවක් නො දන්නා එහෙත් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින සාමාන්‍ය ජනතාවගෙන් සත්‍ය වසං කර ගැටුම් සංවේදී සන්දර්භයක දී ඔවුන් නොමග යැවීමට ජනමාධ්‍ය දායක විය යුතු ද?
උන්වහන්සේ කීවා. ඒ නිසා අපි දැම්මා කියා තමන්ගේ වෘත්තීය වගකීම පැහැර හැරීමට ජනමාධ්‍යවේදීන්ට කළ නො හැකි වන්නේ අප මෙහි දී කතා කරන්නේ හුදෙක් ලේඛකාධිකාරී හිමියන්ගේ මතයක් ප්‍රකාශ කිරීමක් ගැන නොව හුසේන් කුමරු පැවසීයැ‘යි ලේඛකාධිකාරී හිමියන් කියන එහෙත් කරුණුමය වශයෙන් පැහැදිලිව ම සත්‍යයක් නොවන ප්‍රවෘත්තියක් ප්‍රචාරය කිරීම ගැන බැවිනි. පරිසිද්ධිමය කරුණු හා ඒ වටා ඇතිවෙන මත එකිනෙකින් වෙන් කර දැක්වීම ජනමාධ්‍යවේදයේ අතිශය මූලික පාඩමකි. කරුණුමය සත්‍ය පිළිබඳ ව නිරවද්‍ය පුවත් පළ කිරීම සමාජය ජනමාධ්‍යයකින් බලාපොරොත්තු වන පාරිශුද්ධ වෘත්තීය වග කීමකි. මෙහි දී එක්කෝ අල් හුසේන් කුමරු කිසි සේත් ම නො කළ ප්‍රකාශයක් කළ බව පැවසෙන ලේඛකාධිකාරී හිමියන්ගේ ප්‍රකාශයේ සඳහන් වූ කරුණුමය අසත්‍ය ප්‍රවෘත්ති සංස්කරණයේ දී ඉවත් කළ යුතු ව තිබුණි. නොඑසේනම් බෞද්ධයන් විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් මුදා හැර ඇති බවක් හුසේන් කුමරුගේ අදාළ ප්‍රකාශයේ කිසි සේත් ම සඳහන් නොවන බවට එම ප්‍රවෘත්තිය අවසානයේ ප්‍රවෘත්ති ප්‍රකාශකයා විසින් සිය ග්‍රාහකයන්ට පැහැදිලි කළ යුතු ව තිබුණි.
අල් හුසේන් කුමරු කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ දර්ශනවාද පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකි. එනිසා බෞද්ධ දර්ශනය පිළිබඳ ව මූලික දැනුමක් ඔහුට තිබිය හැකියැයි අනුමාන කළ හැකිය. හැරත් ඔහු මේ ප්‍රකාශය කළේ හුදෙක් ශ්‍රී ලංකාව අරභයා නොව සිය වාර්ෂික වාර්තාව මානව හිමිකම් කවුන්සිලය වෙත වාචික ව ඉදිරිපත් කරමිනි. එහි දී ඔහු ශ්‍රී ලංකාව ද අපේ අසල්වැසි ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය හා පකිස්ථානය ඇතුළු රටවල් 61ක මානව හිමිකම් ගැටලු සමාලෝචනයට ලක් කළේ ය. මේ සියලූ දේවල් ප්‍රවෘත්තිය රාමු ගත කිරීමට පෙර ජනමාධ්‍යවේදීන් විසින් පහසුවෙන් පෙර විමසුමට ලක් කළ හැකි කරුණු ය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ට එරෙහිව කලහකාරී ප්‍රචණ්ඩත්වය මුදා හැර ඇතියැ‘යි අල් හුසේන් කුමරු කළ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ එය බෞද්ධයන් විසින් කරනු ලබන්නක් විය හැකි බැවින් කරුණුමය වශයෙන් සත්‍යයක් නො වූව ද ලේඛකාධිකාරී හිමියන්ගේ එම ප්‍රකාශය ප්‍රධාන පුවතක දැමීම ගැන මේ තරම් උරණ විය යුතු නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් අප මෙහි දී කතා කරන්නේ ප්‍රවෘත්තියක් සංස්කරණය කිරීමේ දී ජනමාධ්‍ය විසින් අනුගමනය කළ යුතු සත්‍ය විකෘති නො කිරීමේ වෘත්තීය උපමාන නො සලකා හැරීමේ ආදීනව ගැනයි. විශේෂයෙන් ම ගැටුම් වාර්තාකරණයේ දී මෙවැනි නො සලකා හැරීම් දිගින් දිගටම සිදුවීමෙන් ඇති විය හැකි සමුච්චිත විපාකය (cumulative effect) වන්නේ වාර්ගික ගැටුම් ඇවිලීමට හා පවත්වා ගෙන යාමට කැස කවන කණ්ඩායම්වලට උල් පන්දම් දීමයි.
ගැටුම් සංවේදී වාර්තාකරණයක තිබිය යුතු වෘත්තීය පරිචය පසක තිබියේ වා, මේ සුළු උදාහරණයෙන් වුව ද පෙන්නුම් කරන්නේ අපේ ජනමාධ්‍යය ක්ෂේත්‍රයේ, විශේෂයෙන් අපේ සිංහල ජනමාධ්‍යයේ ඇති ප්‍රබල ව්‍යාධියක රෝග ලක්ෂණයකි. තම ආයතනයේ වැදගත් ම දෛනික වැඩසටහන ලෙස සැලකිය හැකි ප්‍රවෘත්ති ප්‍රකාශයකට අඩංගු වෙන පුවත්වල තිබිය යුතු කරුණුමය සත්‍ය තහවුරු කිරීමේ වෘත්තීය වග කීම ප්‍රවෘත්ති වාර්තාකරුවන් හා සංස්කාරකයන් අඩුවෙන් තක්සේරු කිරීම පිළිබඳ මෙවැනි කොතෙකුත් උදාහරණ අනෙකුත් ඇතැම් ජනමාධ්‍ය ආයතන වල ද දක්නට ලැබේ.
ප්‍රවෘත්තියක් පළ කිරීම හෝ ප්‍රවෘත්ති ප්‍රකාශයක් සංස්කරණය කොට ප්‍රචාරය කිරීම යනු හුදෙක් යම් යම් අයට අභිමත පරිදි කරුණුමය සත්‍ය විකෘති කිරීමට ඉඩ සලසා දීම නොවේ. තරාතිරම කුමක් වේවා දැනුවත් ව හෝ නො දැනුවත් ව හෝ කරුණුමය සත්‍ය වසං කිරීමට හෝ විකෘති කිරීමට කිසිවකුට ඉඩ නො දීම ජනමාධ්‍ය කරුවන්ගෙන් හා විශේෂයෙන් ජනමාධ්‍ය සංස්කාරකවරුන් ගෙන් මහජනතාව බලාපොරොත්තු වෙන වැදගත් ම වෘත්තීය සේවාවයි. ඒ වෙනුවට විකෘති කරන ලද කරුණු ප්‍රචාරය කර වීම ට තම ප්‍රවෘත්ති ප්‍රකාශය යොදා ගැනීමට ඉඩ දීම ජන මාධ්‍යය ගණිකා වෘත්තියේ යෙදවීමකි. එවැනි ප්‍රවෘත්ති සැලකිය හැක්කේ කූට පුවත් (Fake News) ලෙසයි. දැන හෝ නො දැන මෙවැනි වෘත්තීය වැරදි කරන ජනමාධ්‍ය ආයතනවලට දොස් තැබීමට වඩා අද අපට අවශ්‍ය වන්නේ ජනමාධ්‍ය සතු වෘත්තීය වගකීම පිළිබඳ බහු පාර්ශ්වීය සමාජ කතිකාවක් ජනමාධ්‍ය හිමියන් හා ජනමාධ්‍ය කරුවන් විසින් ම නොවළහා ඇරඹීමේ වැඩදායක බව අවධාරණය කිරීම යි.