රාවය

වනජීවි තර්ජනය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය

වනජීවි තර්ජනය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය

තිස්ස එස්. රත්නායක

සාමාන්‍යයෙන් ගෘහස්ථව ජීවත් නොවන ජීවීන්, වන ජීවීන් ලෙස හැඳින්වේ. ඒ අනුව සාගරයේ මෙන්ම වනාන්තරයේද, පසේ හා ද්‍රවාශ්‍රීතවද ජීවත් වන සියලු වෘක්ෂලතා අපා, දෙපා, සිව්පාවෝ වනජීවීහු වෙති.
මිනිසාත් ප්‍රමුඛ සමස්ත පරිසරයේ යහපැවැත්ම සඳහා ඒ තුළ සියලු සතුන් හා ශාඛ පැවතීම අවශ්‍ය වුවත් මේවා එකිනෙක පරයා යාම හෝ පරිසරයට ඔරොත්තු නොදෙන ආකාරයේ වර්ධනය මිනිසාගේ පමණක් නොව එම සතුන්ගේද ජීවිතවලට තර්ජනයකි.
අසමතුලිත ලෙස හා ලංකාවේ පරිසරයට ඔරොත්තු නොදෙන ආකාරයට ගහනය වර්ධනය වෙමින් සිටින වන සතුන් රාශියක් මිනිසුන්ගේ ජීවිතවලට හා දේපළවලට කරන හානිය තවමත් විධිමත් සංවාදයකට හෝ භාජනය නොවීම කනගාටුදායක තත්ත්වයකි.
විධිමත්ව නොවුණද වන සතුන් හා ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය සම්බන්ධ වරින් වර කෙරෙන සාකච්ඡාව සමාජයේ මතුපිටට පැමිණ එතරම් කාලයක් නොවේ. එහෙත් එය ප්‍රමාණවත් මට්ටමේ සංවාදයකට භාජනය වන බවක් නොපෙනේ. වන සතුන් නිසා අපේ රටේ කෘෂි නිෂ්පාදනයට හා වතු වගාවට සිදුව ඇති විනාශය ගණනය කළහොත් එය මාසිකව බිලියන ගණනාවක පාඩුවක් බව පෙනී යනු ඇත.
වගාවට හානිකරන වන සතුන් අතර අලියා, රිලවා, දඬුලේනා, ඉත්තෑවා, වල් ඌරා, මොණරා ප්‍රධාන වේ. මෙම සතුන් අතරින් අලියා මිනිස් ජීවිත හා කෘෂිකර්මාන්තයට එල්ල කරන විනාශය අති විශාලය. මිනිස් ජීවිතවලට තර්ජනයක් ඇති ජලයේ ජීවත් වන විශාලතම සතා කිඹුලාය. එහෙත් රටේ කිසිම වගකිව යුතු ආයතනයක් මේ සම්බන්ධයෙන් සාධනීය හෝ තිරසාර ක්‍රියා මාර්ගයක් ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වයි.
වගුව අනුව බලන කල මෙම සතුන් තවදුරටත් සුරතල් කිරීම නොකටයුතු බව ඉතා පැහැදිලිය. මෙම සතුන් කරන විනාශය පාලනය කිරීමට සුදුසු හා ප්‍රබල ක්‍රමවේදයක් ජනතාව අතරට හඳුන්වාදීම වගකිවයුතු පාර්ශ්වයන්ගේ ප්‍රමුඛ කාර්යයක් වී ඇති බව නොකියාම බැරිය. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව “මිනිසා හා සංවර්ධනය” යන පුළුල් අරමුණින් බැහැරව “වන සත්ව සංරක්ෂණය” යන තේමාවෙහි පමණක් තදබල ලෙස එල්බ ගෙන සිටිමින් සතකුට හානියක් විනාශයක් වූ විගස හඬ නැගීමත් නීතිය ක්‍රියාත්මක කිරීමට යුහුසුළුවීමත් මේ සතුන්ගෙන් මිනිසුන්ට හා මිනිසුන්ගේ දේපළවලට හානියක් විනාශයක් වූ විට නිහඬවීමත්, වන සතුන්ගෙන් මිනිසාට හා පරිසරයට සිදුවන හානි සම්බන්ධයෙන් පැලැස්තර ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත් තුළ අලි – මිනිස් ගැටුම, රිලා – මිනිස් ගැටුම, දඬුලේන් – මිනිස් ගැටුම, කිඹුල් – මිනිස් ගැටුම, ඉත්තෑ – මිනිස් ගැටුම, මොණර – මිනිස් ගැටුම, වල් ඌරු – මිනිස් ගැටුම තව තවත් උග්‍ර වනවා මිස විසඳෙන පාටක් පෙනෙන්නට නැත.
මෙම වන සතුන්ගේ තර්ජනයෙන් නිතිපතා පීඩාවට පත්වන ජීවිත අවදානමට මුහුණපාන ජනයා මෙම සතුන්ගේ විනාශයන් පාලනය කිරීමට ක්‍රමවේද දනිතත් නීතියෙන් තමන්ට එල්ලවන පීඩාව සලකා නිහඬව සිටිති. නිරන්තරයෙන් සතුන්ගේ වගා බිම් ආක්‍රමණයෙන් පීඩාවට පත්වන ගොවියෝ සතුන්ගේ හා ආණ්ඩුව යන දෙපාර්ශ්වයේම සෘජු ගොදුරු බවට පත්ව සිටිති.
සංවර්ධන ප්‍රතිපත්ති
කෘෂිකර්මාන්තය, වනජීවීන් හා වනාන්තර සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය, ගැටලු නිරාකරණය ඒකාබද්ධව සිදුවිය යුතු වුවත් කටයුතු සිදුවන්නේ සහ මේ ආයතන පවතින්නේ වෙන වෙනමය. වන සතුන් සම්බන්ධ කතා කරන වන ජීවි දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම කෘෂිකර්මය දෙස බලන්නේවත් නැත. එහෙත් ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් හා වතු වගාවෙන් ගොවියා සම්පූර්ණයෙන්ම ඉවත් කරන මට්ටමට මෙම ගැටලුව ඔඩුදිව ඇත. දැනටමත් මිනිස් ජීවිතවලට හා කෘෂි නිෂ්පාදනයට සෘජුව බලපාන මෙම ගැටලුවට තිරසාර පිළියමක් ඉදිරිපත් කිරීමට හෝ මේ සම්බන්ධයෙන් අවශ්‍ය ගණන් බැලීමකට හෝ යාමට තවමත් උත්සාහයක්වත් දරා නැත. තවමත් ලංකාවේ කෘෂිකර්මාන්තය ජාතික කර්තව්‍යයක් නොව ජීවනෝපායක් නොමැති ජනයා තමන්ගේ ජීවිකාව සරිකර ගැනීමට යෙදෙන පෞද්ගලික කාර්යයක් පමණි. එම නිසා ඇතිව ඇති තර්ජනයන් තමන්ගේ පෞද්ගලික අභියෝග ලෙස සලකා කටයුතු කිරීමට ඔවුන්ට සිදුව ඇත. එහෙත් පෞද්ගලික මට්ටමින් ක්‍රියාත්මකවීමට යාමේදී නීතිය ඔවුන්ගේ හිසමතට පාත්වන්නේ හෙනයක් මෙනි.
ශ්‍රී ලංකාවේ වනජීවි සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wild Life and Nature protection society of Sri Lanka) මගින් සත්වවේදීන්ගේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් පවත්වන ලද වැඩමුළුවකදී අලින් ගැන කතා කළ ආචාර්ය පෘථිවිරාජ් මහතා විශේෂයෙන්ම සැලසුමකින් තොරව සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු සදහා වනාන්තර එළිකිරීම සහ වනාන්තර කට්ටිකරණය වීම දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ අඩුවකින් තොරව සිදුවන්නක් බවට පත්ව තිබීම නිසා අලි ඇතුන්ට සිදුවී ඇති අරෝව පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් දක්වා තිබුණි. එහිදී අලි ඇතුන්ට වනාන්තර කැබලි තුළ සිරගතව ජීවත්වීමට සිදුවීමත් අලි වැටවල් මගින් තවදුරටත් සීමාවන් ඇති කිරීමත් රතිඤ්ඤා දල්වමින් අලින් පලවා හැරීමත් ඔහුගේ විවේචනයට ලක්විය. ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති තුළ පවතින අවිද්‍යාත්මක බව සම්බන්ධයෙන් ඔහුගේ අදහස් සමග අපට විවාදයක් නැත. එහෙත් වන සතුන් සම්බන්ධයෙන් මෙරට ප්‍රතිපත්ති සම්පාදකයින් හා සත්වවේදීන් දරන මතය ඉඳුරාම අවිද්‍යාත්මක බව කිව යුතුය. වන සතුන්ට හා පරිසරයට කිසිදු හානියක් නොකර රටක් සංවර්ධනය කළ නොහැක. එහෙත් සංවර්ධනයේදී පරිසරයේ තිරසාර පැවැත්ම සම්පූර්ණයෙන්ම අමතක නොකළ යුතු බව සත්‍යකි.
වන අලි හා වගාව
70 – 80 දශකවල මෙරට බොහෝ විද්වතුන් අනාවැකි පළ කළේ 2000 වර්ෂය වන විට ලංකාවෙන් අලි තුරන් වනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ අලි ගහණය 1900 පමණ වන විට නිල නොවන සංඛ්‍යා ලේඛනවලට අනුව 10000 පමණ වී යයි කියනු ලැබේ. වරින් වර විචලනය වූ මේ ප්‍රමාණය 2011දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ අලි සංගණනයට අනුව 2011.08.14 දින වනවිට මුළු දිවයිනේම අලිගහණය 5879කි. මෙම අලි සංඛ්‍යාවෙන් 122ක් දළ ඇතුන් ලෙස හඳුනාගෙන ඇත. අලි පැටවුන් 1107ක් ද මේ සංශෝධනයේදී ගණනය කිරීමට ලක් වී තිබේ.
ප්‍රදේශ අනුව ගත් විට මහවැලි කලාපය තුළ වෙසෙන අලි සංඛ්‍යාව 1751ක් වන අතර නැගෙනහිර කලාපය තුළ වෙසෙන අලි සංඛ්‍යාව 1573ක් ද, වයඹ කලාපය තුළ අලි 1189ක්ද, දකුණු වනජීවි කලාපයේ 1086ක් ද වශයෙන් එම සංඛ්‍යා ලේඛනවල දැක්වේ. මෙම අලි සංඛ්‍යාව සඳහා දිවයින පුරා වෙන්ව ඇති වනජීවි රක්ෂිත වනාන්තරවල භූමි ප්‍රමාණය වන්නේ හෙක්ටයාර් 427078කි. මේසා අලි ඇතුන් ප්‍රමාණයට මේ භූමි ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් ඉඩකඩක් නොවේ.
මෙම ඉඩකඩ තුළ සාමාන්‍ය වශයෙන් රැඳවිය හැකි අලි ප්‍රමාණය 4000ක් පමණකැයි සත්ව විද්‍යාඥයින් ගණනය කළද මෙකී වනාන්තරවලින් තවත් හෙක්ටයාර් විශාල ප්‍රමාණයක් අලින්ට කිසිසේත් ජීවත් විය නොහැකි කළපු, ශුෂ්ක බිම් වේ. වියළි කලාපයේ පිහිටා ඇති විල්පත්තුව වැනි අභය භූමි තුළ විශාල වශයෙන් පවතින ජල හිඟයද සමග සලකා බැලූ කල වන රක්ෂිත තුළ ගාල්කළ හැකි අලින්ගේ ගණන මීට වඩා බොහෝ අඩු අගයකි.
කෙසේ නමුත් වනජීවි දෙපාර්තමේන්තුවේ මේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2011 වර්ෂය වන විටත් අවම වශයෙන් අලි දෙදහසක් පමණ වගා බිම් හා ගම් බිම් ආශ්‍රිතව ජීවත් වෙති. වැඩුණු අලියෙකුගේ දේහ බර කිලෝග්‍රෑම් 1000 – 5000 අතර වේ. අලි සිය දේහ බරින් 10%ක් එනම් කිලෝග්‍රෑම් 150ක් පමණ අහාර ස්කන්ධයක් දිනපතා ආහාරයට ගනී. දිනකට පැය 17-19 අතර කාලයක් ඔවුහු ආහාර පිණිස වැය කරති. ඒ අනුව ගම්බිම් ආශ්‍රිතව ගැවසෙන අලින් විසින් දෛනිකව කා දමන අස්වැන්න ප්‍රමාණය කිලෝග්‍රෑම් 300000කි. වාර්ෂිකව මෙහි ප්‍රමාණය ඔබට සිතාගත හැකිද? ඒ අනුව ඒවායෙහි වටිනාකම කොපමණ වනු ඇතිද? එසේම අලියකු වගාවකට කඩා වැදුණු විට කනවාට වඩා විනාශය අතිවිශාලය. සමහර විටක පොල්වත්තකට ඇතුළු වන අලියකු රාත්‍රියකට පොල් ගස් දෙතුන් සියයක් පමණ වුව පෙරළා දමන අතර ඉන් ආහාරයට ගන්නේ පොල් ගොබ කිහිපයක් පමණි.
වාර්ෂිකව අලි නිසා සිදු ජීවිත හානි ප්‍රමාණය වාර්තා ගතවුවද අතිවිශාලව සිදුවන දේපළ සම්බන්ධයෙන් මේ තාක් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසිම ගණනය කිරීමක් සිදුකොට නැත. විශාල වත්කමක් රහිත ගැමියන් පොල් කජු වැනි ස්ථිර බෝගයක් වගා කරනුයේ තමන්ට මහලු වයසට පත්වූ පසු පහසුවෙන් ජීවත්වීමට ක්‍රමයක් වශයෙනි. නිරන්තරයෙන් නියඟයෙන් බැට කන වියළි කලාපයේ මිනිසුන් පොල් වගාවක් ලොකු මහත් කරගැනීමට විඳින වෙහෙස අපමණය. සමහර ගොවීන් නියං කාලයට කිලෝ මීටර් ගණන් දුර සිට තම පැළ පොල් වගාවන් ආරක්ෂා කර ගැනීමට කළගෙඩිවලින් කරින් වතුර ඇද වවාගන්නා පොල් වගාවක් අලි අටක් දහයක් සිටිනා රංචුවකට එක් රැයකින් පෙරළා අවසන් කළ හැකිය. මේ වේදනාව අලි හෝ වෙනත් සතුන් සම්බන්ධයෙන් කතා කරන කිසිවකු දන්නේවත් නැත. අතදරුවකු හදා වඩා ගන්නා මෙන් කරන වගාවකට හානිවූ පසු ඔවුන් කරන්නේ කුමක්ද? අඹන්පොළ ප්‍රදේශයේ මැදිවිය ඉක්ම වූ ගොවි මහතෙකු මා සමග කියා සිටියේ දුකක් නැතිව ජීවත්වීමට සිතා තම ජීවිත කාලයම මහන්සි වූ අක්කර 05ක පමණ තම පොල් වගාව සති දෙකක් ඇතුළත පෙරළා දැමීමට අලි සමත්වීම නිසා තමන් දැන් ආණ්ඩුවෙන් මාසිකව වයස අවුරුදු 70 ඉක්මවූවන්ට දෙන රු. 2000 ලබා ගැනීමට වයස සම්පූර්ණ වනතුරු සිටින බවයි.
අලි මිනිස් – ගැටුම
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව යනු අලි මිනිස් ගැටුම ඉහළම තැනක පවතින රටකි. ශ්‍රී ලංකාවේ වන අලි ගහණය වන වැස්මට සාපේක්ෂව ඉහළ බවත් එනිසාම අලි මිනිස් ගැටුම ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ මතයයි. එම නිසා අලි ගහණයේ යම් පාලනයක් ඇති කිරීම අවශ්‍ය බව ඔවුහු විශ්වාස කරති. එහෙත් ගහණය වැඩි යයි සලකා අප්‍රිකානු රටවල මෙන් අලින් මරා දැමීමට නීතියෙන් හා මෙරට සංස්කෘතියෙන් අවසර නොමැති බව වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පිලපිටිය මහතා පවසයි. ප්‍රතිපත්ති සම්පාදනයේදී සෘජු තීරණ ගැනීමට නොහැකි මෙරට බුද්ධිමත්හු සමහරවිට සත්‍ය දැක දැකත් නිහඬව සිටිති.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2005 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා වසර පහක කාලය තුළ සිදුව ඇති අලි මරණ සංඛ්‍යාව 1154කි. ස්වාභාවික හේතුන් මත අලි මරණ සංඛ්‍යාව 55කි. මේ අනුව වසරකට සිදුවන අලි මරණ සංඛ්‍යාව 231කි. ස්වාභාවික මරණයන්හි සාමාන්‍ය වන්නේ එක් වසරකට 11කි. යම් යම් හේතු නිසා මිනිසුන් විසින් සිදු කරන අලි ඝාතනයන් නොවන්නට ලංකාවේ අලි ගහණය කෙතරම් වනු ඇද්ද?
2011 වර්ෂය වන විට 5879ක් වූ අලි ගහණයට පසුගිය වසර 7 තුළ අලුතින් එකතු වූ අලි පැටවුන් සංඛ්‍යාව 2000ක් පමණ වෙතැයි උපකල්පනය කරනු ලැබුවහොත් වර්තමානය වන විට ලංකාවේ සිටිය යුතු අලි ප්‍රමාණය 7879කි. ඉන් සමාන්‍ය ගණනය කිරීම් අනුව මරාදමන ලදැයි උපකල්පනය කළ හැකි සංඛ්‍යාව 1386කි. ස්වභාවික මරණ සංඛ්‍යාව 66කි. ඒ අනුව දැනට ඉතිරිව ඇති අලි සංඛ්‍යාව 6427කි.
2005 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා වසර පහක කාලය තුළ වල් අලි ප්‍රහාර නිසා සිදුව ඇති මිනිස් ජීවිත හානි සංඛ්‍යාව 430කි. ඉන් පිරිමි 342ක් ස්ත්‍රීන් 78ක් හා ළමයින් 10ක් ද වේ. මේ මරණකරුවන් අතුරින් වැඩි දෙනෙකු තම වගාවන් ආරක්ෂාකර ගැනීමට ගිය ගොවියන් වීම සලකා බැලිය යුතු කරුණකි. වගාවන්ට හා මිනිස් ජීවිතවලට අමතරව මහජන දේපළවලට සිදුව ඇති හානිය ගණනය කර නැතත් එය සාමාන්‍ය අගයක නොපවතින බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම අයෙකුට වටහා ගත හැකිය.
රස්නායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මා ජීවත් වන හළඹේ ග්‍රාම නිලධාරි වසමේ පසුගිය වසර 10 තුළ පමණක් අලින් විසින් කඩා දමා ඇති ඵල දරන පොල් ගස් ප්‍රමාණය 200කි. ඉරටු විහිදෙන වසර තුනක් පමණ වූ ඊට අඩු පැළ පොල් ගස් ප්‍රමාණය 500ට වැඩිය. කුඹුරු, හේන් කෙසෙල් හා වෙනත් වගාවන්ට කරන ලද හානිය ගණනය කළ නොහැක.
අනෙකුත් සියල්ල පසෙක තබා පොල් වගා හානිය නිසා මිනිසුන්ට අහිමිව ඇති ආදායම් දළ වශයෙන් මෙසේය. කඩා දමා ඇති එක් පොල් ගසකින් මසකට පොල් ගෙඩි 10ක් කැඩෙන්නේ යයි උපකල්පනය කළහොත් අහිමිවන පොල්ගෙඩි ප්‍රමාණය 7000කි. වර්තමාන සාමාන්‍ය වෙළෙඳපොළේ පොල්ගෙඩියක තොග මිල රුපියල් 65.00කි. ඒ අනුව එක් ගමකට මසකට අහිමි වන අදායම් ප්‍රමාණය රුපියල් 455000.00කි.
අලි වැටවල්
ගැටලුව මෙතරම් සංකීර්ණ වුවත් අලි – මිනිස් ගැටුම වැළැක්වීමට රජයට ඇති එකම විසඳුම අලිවැට ඉදිකිරීමයි. විදුලිය යොදා ඉදිකරන මෙම වැටවල් මගින් මෙය කිසිසේත් විසඳිය නොහැකි බව දැන දැනම එතනින් එහාට ගමන් කිරීමට කල්පනා නොකරයි. විදුලි වැට වෙනුවට ජීව වැටවල් ඉදිකිරීමට යෝජනා වී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකුගේ අවධානය එතරම් යොමුව නැත. එසේම ජීව වැටවල් ඉදිකිරීම දීර්ඝකාලීන ක්‍රියාවලියකි. එතරම් දිගු කාලයක් බලා සිටීමට ගොවියාට නොහැකිය.
අලි වැට ඉදිකිරීම ප්‍රථමයෙන් ආරම්භ කර ඇත්තේ 70 දශකයේ පමණය. අම්පාර සීනි කර්මාන්තශාලාව ආසන්නයේ තිබූ උක් වගාවන් අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙම අලි වැට ක්‍රමය යොදා ගන්නා ලදි. ඒ වන විට හිඟුරාණ හා පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිත උක් වගාවට අලින් විසින් කරන ලද හානිය රුපියල් මිලියන 275ක් පමණ බව වාර්තාවල දැක්වේ. උක්වගාව ආරක්ෂා කිරීමට ආරම්භ කරන ලද මේ ක්‍රමය පසුකාලීනව ජාතික ප්‍රශ්නයක් බවට පත්වූ අලි -මිනිස් ගැටුමට පිළිතුරක් ලෙස යොදා ගැනීමට තීරණය විය.
අලින් රක්ෂිත වනාන්තර තුළට ගාල් කර එම වනාන්තර වටා අලිවැට ඉදිකිරීම කරතත් එය දැනට සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක ව්‍යාපෘතියක් වී ඇත. වනාන්තර මැදින් ඉදිකොට ඇති මේවා ඉදිකිරීමෙන් පසු නඩත්තු කටයුතු සඳහා වාර්ෂිකව දැරීමට සිදුව ඇති අතිවිශාල වැය බර දැරීමට වනජීවි දෙපාර්තමේන්තුවට කිසිදු හැකියාවක් නැත. අලි මිනිස් ගැටුම අවම කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 වසර අවසානය වන විට ඉදිකොට තිබු කි.මි. 1500ක් පමණ වූ විදුලි වැට පද්ධතියෙන් විශාල ප්‍රමාණයක් මේ වන විට කැඩී බිඳී ගොස්ය. එසේම වනාන්තර ආශ්‍රිතව සිදුවන විවිධ ජාවාරම් හේතුවෙන් මිනිසුන් විසින් මේවා කඩා දමන අවස්ථාද බොහෝය.
අලි වැටවල් මගින් අලි- මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වුවද එය අවසන් කිරීමට තබා අවම කිරීමටවත් හැකියාවක් ලැබී නොමැත.
ජාතික වශයෙන් සලකා රජය විසින් විසඳුම් සෙවිය යුතු මෙම ගැටලුවට නිසි පිළිතුරක් ලබාදීමට අසමත් වීම නිසා අන්තිමේදී එය මිනිසුන්ගේ පෞද්ගලික කාර්යක් බවට පත්ව ඇත. එම නිසා මිනිසුන් තමන්ගේ වගාබිම් හා නිවාස වටා පෞද්ගලික මට්ටමින් අලි වැට ඉදිකර ගැනීමට පටන් ගෙන ඇත. මෙය ජාතික වශයෙන් සිදුවන මහත් අපරාධයකි. මහත් ධන විනාශයකි.
අක්කර කිහිපයක් විශාල ඉඩමක් වටා අලි වැටක් ඉදිකිරීමට සාමාන්‍යයෙන් කපා දැමීමට සිදුවන ගස් ප්‍රමාණය සියයකට වඩා වැඩිය. එක් ගමක අලි වැටවල් 10ක් ඉදිකරන්නේ යයි සිතුවද කපා දැමීමට සිදුවන ගස් ප්‍රමාණය දහසකි. එක් අලි වැටක් සඳහා සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5ත් 10ත් අතර මුදලක් වැය වේ යයි කියනු ලැබේ. ප්‍රතිපත්ති විරහිත සැලසුමකින් තොර ක්‍රියා නිසා රටට අහිමිව යන අතිවිශාල ධනස්කන්ධය පිළිබඳ කිසිදු ගණන් බැලීමක් නැත.
සාමාන්‍යයෙන් මෙවැනි වියදමක් සාමාන්‍ය මිනිසෙකුට දරා ගත නොහැක. එම නිසා නැවත වතාවක් මෙම ගැටලුවේ ගොදුරු බවට පත්ව ඇත්තේ දුප්පතුන්ය.
අලින් ගම් වැදීම පාලනය කිරීම සඳහා මිලියන ගණනක් වැය කොට අලි වැට ඉදිකිරීමට අමතරව ගම් වදින අලි පලවා හැරීමට යොදා ගන්නා අලි වෙඩි සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව රුපියල් මිලියන 50කට වැඩි මුදලක් වැය කරන බව වාර්තා වේ. මීට අමතරව සාමාන්‍ය ජනයා රතිඤ්ඤා සහ බට්ටන් සඳහා විශාල මුදලක් වැය කරයි. ගණන් බලා නැති මේ වියදම වසරකට මිලියන ගණනාවකි.
අලියා මෙසේ මිනිසාට විශාල තර්ජනයක් එල්ල කරද්දී තවත් පැත්තකින් රිලවා වගාවන්ට පමණක් නොව මිනිස් ජීවිතයට කරන හානිය ඉතා බරපතළය. පසුගිය දිනක මා පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලමට ගිය අවස්ථාවක එහි වැසියකු කියා සිටියේ තමන්ගේ නිවස ආසන්නයේ පිහිටි අක්කර 10ක් පමණ විශාල පොල්වත්තේ 2017 දෙසැම්බර් මාසයේ පොල් ඵලදාව 250ට පහළ ඇති බවයි. මීට වසර කිහිපයකට පෙර පොල් 7500ත් 8500ත් අතර පැවති පොල් ආදායම පහළ යාමට ප්‍රධාන හේතුව සියය ගණනක් වූ රිලා රංචු විසින් වත්ත සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීමයි. පොල් වගාවට අමතරව පලතුරු වගාවන්ට එල්ල වී ඇති රිලවුන්ගේ තර්ජනය අතිවිශාලය. දඬුලේනාද පොල් හා පලතුරු වගාවට ප්‍රධාන තර්ජනයකි.
නිවෙස්වලට කඩා වදින රිලා රංචු නිසා ආහාර ද්‍රව්‍ය පමණක් නොව එළි පහළියේ රෙද්දක් පෙරෙද්දක් පවා වනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔහු කියා සිටියේය.
වියළි කලාපයේ ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුව ඇත්තේ අලියා, රිලවා, ඉත්තෑවා මොණරා සහ වල් ඌරාගෙන් එල්ල වී ඇති තර්ජනය නිසාය.
සිය ගණනනින් යුත් මොණර රංචුවක් වගා බිමකට කඩා වැදුණහොත් පැයක් වැනි කෙටි කාලයකින් එම වගාව සම්පූර්ණයෙන් විනාශ කර දමයි.
මිනිස් ජීවිතවලට විශාල තර්ජනයක්ව ඇති සතුන් අතර දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ කිඹුලන්ය. තෙත් කලාපයේ ගංගා ආශ්‍රිතව මිනීකන කිඹුලන් බහුල වශයෙන් වර්ධනය වී ඇත. කිඹුල් ප්‍රහාරක් නිසා සිදුවන මරණ දිනෙන් දින ඉහළ යන අතර මිනිසකු කාදමන කිඹුලෙකු මරා දැමීම දැඩි දඬුවම් විදීමට සිදුවන අපරාධයක් සේ සැලකේ.
වන්දි ගෙවීම
වන සතුන්ගෙන් මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම වෙනුවට සතුන් ආරක්ෂා කරමින් උන්ගෙන් සිදුවන ජීවිත හා දේපළ හානි සදහා වන්දි ගෙවීමට ආණ්ඩුව වන්දි සූත්‍රයක් සකසා ඇත. අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 23/2016ට අනුව වන අලි හෝ ආරක්ෂිත වන සතුන් වන කිඹුලා, වලහා, දිවියා සහ කුළු හරකා යන සතුන්ගෙන් වන මිනිස් ජීවිත හානියකදී අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් වහාම ගෙවනු ලබන රු. 30000.00 හා ලිඛිත සාක්ෂි මත ගෙවන රු. 170000.00ක් ලෙස රු. 200000.00 ගෙවනු ලබයි. ශාරීරික හානියක දී රු. 75000.00ක් හා පූර්ණ බෙලහීනතාවකදී රු. 200000.00 ගෙවනු ලබයි. ඉතා සොච්චමක් වූ මෙම වන්දි මුදල ලබා ගැනීමට ආපදාවට ලක්වූවන්ට කාර්යාල ගානේ රස්තියාදු වීමට සිදුවේ. වන්දි ඉල්ලුම් පත්‍රයක් ප්‍රාදේශීය ලේකම්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය මසකට වරක් දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති වන්දි කමිටුව වෙත ඉදිරිපත් කොට එයින් අනුමත කරවා ගත යුතුය.
වගා හානියකදී ගෙවන රුපියල් රු. 100000.00ක මුදල ගෙවනු ලබන්නේ වගා රක්ෂණයට දායක් වූවන්ට පමණි. විශේෂයෙන්ම කුඹුරු හානියකදී පමණක් ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ රක්ෂණ වාරික ගෙවා ඇති ගොවීන්ට පමණක් ගෙවනු ලබන වන්දි හේන්, පලතුරු හෝ එලවළු වගාකරුවන්ට හිමි නොවේ. නිවසක ගබඩාකර ඇති වී අස්වනු විනාශයකදී හිමි නොවේ. පොල් වගා හානියකදී කිසිදු වන්දියක් හිමි නොවේ.
වනජීවි සංරක්ෂණය
ලංකාවේ වනජීවි සංරක්ෂණය යනු දිනෙන් දින වැඩි වන සතුන්ට ඉඩදී මිනිසුන් ගම්බිම් අතහැර යාම බවට පත්ව ඇත. වනජීවි සංරක්ෂණයේ ප්‍රධාන අංගයක් වන්නේ පරිසරයට ඔරොත්තු දෙන ආකාරයට ගහණය පාලනය කිරීමයි. ගහණය පාලනය කිරීම සඳහා අනවශ්‍ය සතුන් ප්‍රමාණය මරා දැමීම හා මිනිසුන් විසින් ආහාරයට ගන්නා සතුන් මරා ගැනීමට මිනිසුන්ට අවස්ථාව ලබාදීමයි. ගහණය පාලනය කිරීම මිනිස් අවශ්‍යතාවක් පමණක් නොව, එම සතුන්ගේද පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. ස්වභාවික ආහාර දාමයේ සමහර පුරුක් බිඳීයාම නිසා සමහර සත්ව වර්ගවල වර්ධනය අසමතුලිතව ඉහළයයි. එකම සත්ව වර්ගයක් ශීඝ්‍රයෙන් වර්ධනය වීම එම සත්ව වර්ගයේ පැවැත්ම අභියෝගයට ලක්වේ. ආහාර අහේනිය මෙන්ම වාසස්ථාන අහිමිවීම මේ සඳහා බලපායි. මේ නිසා ලොව පිළිගත් සම්ප්‍රදාය වන්නේ ගහණය පාලනය කිරීම සඳහා අනවශ්‍ය සතුන් ප්‍රමාණය මස් පිණිස හෝ එසේ නොමැතිව වසරකට වරක් හෝ අවශ්‍යතාව අනුව නියම කරගන්නා කාලයකට අනුව නිශ්චිත සතුන් ප්‍රමාණයක් මරා දැමීමයි. ලොව බොහෝ රටවල මේ ක්‍රමවේදය භාවිත කරන නමුත් ලංකාවේ එවැනි ගහණය පාලනය කිරීමෙ ක්‍රමවේදයක් නැත.
වනජීවි නීතිය හා පෞද්ගලික ආරක්ෂණයේ නීතිය
ලංකාවේ වනජීවි ආරක්ෂණ නීතිය සම්පූර්ණයෙන්ම විකෘතියකි. මිනිසෙකුට ආත්ම ආරක්ෂාව තකා මනුෂ්‍ය ඝාතනයක් කළද ඉන් නිදහස් වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇත. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 89 වගන්තිය අනුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමෙහිදී කරන කිසිවක් වරදක් ලෙස පිළි නොගැනේ.
එහෙත් 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 2009 අංක 22 දරන සංශෝධිත පනත ප්‍රකාරව තම ජීවිතයට තර්ජනයක් එල්ල වූ මොහොතක හෝ සතකු ඝාතනය කළ නොහැක. යම් තැනැත්තකු එසේ කළහොත් ඔහුට එම පනතේ සලස්වා ඇති නීති ප්‍රකාරව දඬුවම් විඳීමට සිදුවේ.