රාවය

නිදහසින් වසර 70කට පසුත් රටට දර්ශනයක් නැහැ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

නිදහසින් වසර 70කට පසුත් රටට දර්ශනයක් නැහැ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

සමාජ මාධ්‍ය තහනම් කිරීම කියන කාරණය ජාතිවාදී නැඹුරුතාවන් වැළැක්වීම කෙරේ කොයි ආකාරයෙන් බලපෑම් කරනවා කියලාද ඔබ හිතන්නෙ?
මේ විදිහේ ජාතිවාදී අදහස් ඉස්සරහට ගෙනියන්න සමාජ මාධ්‍ය විශාල වශයෙන් බලපෑවා. ඒත් මේ වගේ දේවල් සම්බන්ධයෙන් මුළ ඉඳන්ම හොඳ නිරීක්ෂණයක් කරන්න ආණ්ඩුවට තිබුණා. මේ වගේ සිදුවීම් පැතිරිලා බොහෝ දුරට ගියාට පස්සෙ සමාජ මාධ්‍ය වහන එකෙන් වුණේ ජාතිවාදී සහ වෛරී අදහස් පතුරන පිරිස් ගැන නිරීක්ෂණය කරන්න බැරි වුණ එක.
දෙවැනි කාරණය තමයි මේ කටයුත්තට කලින් කරන්න තිබුණු තව බොහෝ දේවල් ආණ්ඩුව නිසි පරිදි සිදු කළේ නෑ. අපි දැක්කා මේ බොහොමයක් සිදුවීම් වුණේ ඇඳිරි නීතිය තියෙන මොහොතේ. ඒ වගේම බොහොමයක් සිදුවීම් වෙලා තියෙන්නේ ආරක්ෂක අංශ බලාගෙන ඉද්දි. ඒ දෙයින් පෙණුනේ මේ ප්‍රචණ්ඩකාරීන් පිරිස රටේ නීතියට ගරු කළේ නෑ කියන එක. ඒ වගේ ම නීතිය ආරක්ෂා කරන්න අදාළ අංශ සක්‍රිය ව හැසිරුණේ නෑ. ඒ නිසා සමාජ මාධ්‍ය තහනම් කිරීම කියන එක මේ සම්බන්ධයෙන් තීරණාත්මක ම මැදිහත්වීම කියන්න බෑ.
සමාජ මාධ්‍ය තහනම් කිරීමට එක සිදුවීමක් පාදක කරගත්තත් එය දීර්ඝකාලීන වාරණයකට මුළපිරීමක්ද කියන කතිකාව තිබුණා. ලෝකයේ දියුණු රවටල සමාජ මාධ්‍ය වාරණය කරලා තියෙනවා. ඒ නිසා අපිත් එහෙම කරන්න ඕන කියන ඇතැම් රජයේ දේශපාලනඥයින්ගේ හැඟවුම එතනදි බලපෑවා?
මේ සියවසේ සමාජ මාධ්‍ය වාරණය කිරීම කියන එක එතරම් ප්‍රායෝගික කාරණයක් නෙමෙයි. අන්තර්ජාලය කියන්නේ ඒ විදිහට තහනම් කරන්න පුලුවන් එකක් නෙමෙයි කියලා මේ වෙන විටත් අවබෝධ වෙලා තියෙනවානේ. ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කරලා තිබ්බත් මේ වෙනකොට ආයෙමත් හැම දෙනාම ඒවා පාවිච්චි කරනවා. ඒ නිසා තහනම් කිරීම නොකර වෛරී සහගත සහ ජාතිවාදී අදහස් ප්‍රචාරණය කරන්නන් පිළිබඳව අවධානයෙන් ඉන්න එකයි කරන්න ඕන.
සමාජමාධ්‍ය සහ අන්තර්ජාලය තහනම් කරනවා කියන එක ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් නෙමෙයි . තොරතුරු තාක්ෂණය පැත්තෙන් රට මේ විදිහේ තීන්දුවලට ගියෝතින් රටේ සංචාරක කර්මාන්තය වගේ දේවල් බලාගෙන ඉද්දි බිඳ වැටෙන්න පුලුවන්. සංචාරක කර්මාන්තය බොහෝ විට රඳා පවතින්නෙ ෆේස්බුක්, වට්ස්ඇප් වගේ දේවල් පාවිච්චි කරලා.
රජයේ ප්‍රධාන පාර්ශ්ව දෙක තුළ ම පක්ෂ අභ්‍යන්තර ගැටලු උත්සන්න වෙලා තියෙන එක රටේ ගැටලු මගහැරෙන්න හේතු වෙලා තියෙනවා රටේ උද්ගත වුණු කලබල දික් ගැස්සෙන තුරු ආණ්ඩුව බලාගෙන හිටියේ මේ අභ්‍යන්තර ගැටලු පාදක කරගත් සමහර දේවල් ජනතාවගෙන් අමතක කරන්න කියලත් මිනිස්සු තුළ අදහසක් තියෙනවා?
එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තියෙන ගැටලු දිහා බලද්දි අපිට පේනවා එතනදි වඩාත් වැදගත් වෙලා තියෙන්නේ පක්ෂ නායකයා ඉවත් කිරීම කියන එක. පක්ෂයේ නායකයා ඉවත් කළ යුතුයි කියලා පක්ෂයේ බොහෝ අය අදහස් දරන බව පේනවා. ඒත් මට කියන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉවත් කරනවානම් තවදුරටත් කල් නොහැර ඉවත් කරන්න ඕනැ මොකද ඉදිරියේදි එන මැතිවරණයකට මුහුණ දෙන්න අලුත් නායකයා පුහුණු වෙලා ඉන්ඩ අවශ්‍යයි. මොකද දෙදහස් දහ නවයේ අග වෙද්දි බොහෝ විට ඊළඟ මැතිවරණයක් එනවා. ඒ මැතිවරරණයට අලුත් නායකයෙක්ට එක පාර මුහුණ දෙන්න බෑ. ඒ නිසා නායකත්ව අර්බුදය රනිල් වික්‍රමසිංහ මහතාව අයින් කරලා විසඳගන්නවානම් ඒ දේ ඉක්මනට කරන්න ඕනා. නැත්තං මේ නායකත්වය යටතේ ම ඉස්සරහට යන්න සංවිධානය වෙන්ඩ ඕනෑ අනවශ්‍ය ගැටලු ඇති නොකර.
ඒ වගේම මේ වෙලාවේ ලොකුම අර්බුදය තියෙන බව පේන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ. මොකද මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකයින් විතරක් නෙමෙයි පාක්ෂිකයිනුත් බොහෝමයක් අලුත් පක්ෂයක් වන පොදු ජන පෙරමුණ වටා ගොණුවෙලයි ඉන්නෙ. දැනට ජනාධිපතිවරයා එක්ක ඉන්න දේශපාලනඥයින් වුණත් යම් තීරණාත්මක අවස්ථාවකදී පොහොට්ටුව එක්ක එකතුවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා එහෙම දෙයක් කරනවානම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලා එක්ක එකඟතාවකට එන්ඩ වෙනවා.
මේ ජනාධිපතිවරයා එන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වෙන්ඩ කැමතිනම් ඒ ගමන යන්නේ කොහොමද කියන එක ගැටලු සහගතයි. ඔහුට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවෙලා ඉදිරි ගමනක් යන්ඩ පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද එක්සත් ජාතික පාක්ෂිකයෝ තවදුරටත් ඔහුට ඡන්දය ලබා දෙයි ද කියන එක ගැටලුවක්.
මේ ආණ්ඩුවට තව අවුරුදු එකහමාරක් විතර තියෙනවානෙ. ඒ කාලය තුළ ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකඟතාවකට එන්න උත්සාහ ගන්න පුලුවන්. ඒත් ඒක ඉතාමත් අසීරු වෙයි.

මිනිස්සු ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ මූලික කාරණා අතර අලුත් ව්‍යවස්ථාවක් රටට ගෙන ඒම කියන කාරණය මුල් තැන තිබුණා. පැවති ඡන්ද ප්‍රතිඵලය සහ මේ ආකාරයේ කලහකාරී සිදුවීම් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමෙහිලා ආණ්ඩුව සතුව තිබුණු ධෛර්යය තවදුරටත් බිඳදැම්මා කිව්වොත් හරිද?
මං කලින් කිව්වා වගේ ඉස්සරහ අවුරුදු එකහමාරට ශක්තිමත් ආණ්ඩුවක් විදිහට වැඩ කරන්ඩ ආණ්ඩුව හිතට ගන්ඩ ඕන. සමාජයේ යම් යම් කොටස් වලින් කොයි විදිහේ බලපෑම් ආවත් තමන්ට ජනවරම තියෙන්නේ මේ විදිහේ ප්‍රතිසංස්කරණ සඳහාය කියන එක අමතක කරලා ඉස්සරහට යන්න බෑ.
මම හිතන විදිහට මේ ව්‍යවස්ථා සංශෝධනය ඉස්සරහට ගෙනියන්න හැකියාව තවමත් තියෙනවා. එතනදි වැදගත් වෙන්නේ ආණ්ඩුව රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන එක. ඇයි අපිට ව්‍යවස්ථාවක් ඕනැ, තියෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු මොනවද, අලුත් ව්‍යවස්ථාව මොන වගේ එකක්ද කියන කාරණා ගැන රටේ ජනතාව දැනුවත් කළානම් විපක්ෂයේ කණ්ඩායම්වලට ජනතාව නොමග යවන්ඩ බෑ. ඒත් අද පේන විදිහට මේ විදිහේ සංවාද තියා ආණ්ඩුවේ එදිනෙදා සරල තීරණ ගැනවත් ජනතාව දැනුවත් කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නේ.

මේ සිදුවීම් පදනම් කරගන විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සියුම් විදිහට වාසි ලබාගන්න බව පේනවා?
ඔව් ඒ පිරිසට මේ වෙලාවේ ඕනෙ ආණ්ඩුවට කිසි ම දෙයක් කරන්න බෑ කියලා පෙන්නන්ඩ. ඒ වගේම ජාතිවාදය කියන එක ඒ අයට විශාල දේශපාලනික උපක්‍රමයක්. මේ ගැටලුව නිසා ආර්ථික වශයෙනුත් රට අස්ථාවර වෙද්දි ඒක ඒ අයට විශාල වාසියක් විදිහට ඒ අය දකිනවා. මේ පහරදීම් බොහෝ විට සිදු වුණේ ව්‍යාපාර ස්ථානවලටනෙ.
අනික් කාරණය තමයි මේ ආණ්ඩුවේ සුලු ජන ඡන්ද පදනම. ඒ ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳ කලකිරීමක් ඇතිකළෝතින් ඒක තමන්ට විශාල වාසියක් කියලා දන්නවා. ඒ නිසා මේ දේවල් ඇතුළේ දේශපාලන පසුබිමක් තියෙන බව ඉතාම පැහැදිලියි.
සාමාන්‍ය ජනතාව අතර මේ විදිහට ජාති ආගම් වශයෙන් බෙදිලා ඉන්ඩ තියෙන තවත් මූලික හේතු රාශියක් තියෙන්ඩ පුලුවන්. ඒ අතර ප්‍රධාන එකක් තමයි බහුතර ප්‍රජාව තමනුත් සුලු ප්‍රජාවක් හැටියට හිතන එක. ඒ නිසා අනික් මිනිස්සු එක්ක එකඟතාවක් නෑ. හැම වෙලාවෙම ඉන්නෙ තරමක් බයෙන් සහ සැකයෙන්.
ලංකාව නිදහස ලබලා දැන් අවුරුදු හැත්තෑවක් විතර. දැන් අපිට තියෙන දර්ශනය මොකද්ද? මේ රට ඉදිරියට යන්නේ කොහොමද? ඒ සඳහා සියලු ජාතිකයින් එකතු වෙනවාද නැද්ද? සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් නැද්ද වගේ කිසිම දෙයක් ගැන අපිට නිශ්චිත දර්ශනයක් නෑ. ඒ ගැන දැන්වත් රටේ නායකයින් එකතුවෙලා පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරන්න ඕන. නැතුව ගමන් කළොත් තව අවුරුදු තිහකින් අපිට සියවැනි නිදහස සමරන්න වෙන්නෙත් මේ විදිහේ ම රටක් තුළ .

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර