රාවය

පොඩි උන්ට වැටෙන්න ගැසූ මලික්ගේ සිමෙන්ති බද්ද

ලසන්ත රුහුණගේ

එක් තරගයක් සඳහා යොදවන තරගකරුවන් දෙදෙනෙකුට තිබිය යුත්තේ සමාන කොන්දේසිය. තරගකරුවන් දෙදෙනාට සමාන කොන්දේසි නොවූ තැන සිදුවනුයේ එක් තරගකරුවකුට වාසියක් ලැබීමය. අනෙකාට පාඩුවක් සිදුවීමය.
පැරණි රජ කාලයට අයත් කතාන්දරවල මේ ආකාරයට අසමාන කොන්දේසි සහිතව රජවරුන් විසින් තරග හෝ සටන් මෙහෙයවන අයුරු වර්තමානයේ චිත්‍රපටිවල හා ටෙලිනාට්‍යවල ප්‍රතිනිර්මාණය කරනු අප දැක ඇත.
එහිදී සටන මෙහෙයවන රජාට විරුද්ධ පුද්ගලයාට අවාසිදායක කොන්දේසි පැනවෙයි. කඩු සටනක් නම් සමහරවිට විරුද්ධවාදියාට ලැබෙන්නේ එක් කඩුවක් පමණය. අනෙකාට කඩු දෙකක් ලැබේ. නැතහොත් කඩුවක් හා පළිහක් ලැබේ. සමහරවිට විරුද්ධවාදියාගේ පයට විලංගුලාය. නැතහොත් දෑතට විලංගුලාය. නැතහොත් හිස්, අත් හෝ පාදාවරණ ඔහුට නැත.
ඒ ආකාරයේ වූ අවාසිදායක කොන්දේසි හෝ තත්ත්වයන් මත තරගයකට හෝ සටනකට එළැඹෙන්නාට ජයග්‍රහණයක් අත්කර ගැනීම වූ කලී විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා වැඩි අමාරු කාර්යයක්ය.
රජවරුන්ගේ පාලනය පෙරළා අකා මකා දමා නූතනයට පැමිණ සිටින ශිෂ්ටසම්පන්න මිනිසා ඉහත කී ආකාරයේ වූ අසාමාන්‍ය කොන්දේසි සහිත වූ තරග හෝ සටන් පිළිගන්නේ නැත. ඊට නූතන නිදහස් වෙළෙඳාමද අයිතිය.
මේ කතාව ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳාමට අදාළය. මේ වෙළෙඳාම වූ කලී සිමෙන්තිය. වෙළෙඳාම කීවාට මෙය සිමෙන්ති ආනයනයට අදාළ කතාවක්ය. සිමෙන්ති ආනයනය කරන්නන්ට දැන් ඇත්තේ ඉහත කී ආකාරයේ අසමාන කොන්දේසිය. මහා පරිමාණ වශයෙන් සිමෙන්ති ආනයනය කරන සමාගම්වලට ඇත්තේ වාසිදායක කොන්දේසිය. කුඩා පරිමාණයෙන් සිමෙන්ති ආනයනය කරන්නන්ට ඇත්තේ අවාසිදායක කොන්දේසිය.
මේ අසමාන කොන්දේසි ආරම්භ කර තිබුණේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවවීම ඛේදනීයම කරුණය.
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ මේ අසමාන කොන්දේසි සෙල්ලමට නිල වශයෙන් මුද්‍රාව තබා තිබුණේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමය. ඒ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකගේද එකඟත්වය ඇතිවය. නිල වශයෙන් එය ප්‍රකාශයට පත්වන්නේ 2016 නොවැම්බර් 11 දින අංක 1992/52 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය.
ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන පෝර්ට්ලන්ඞ් සිමෙන්ති සඳහා 14%ක සෙස් බද්දක් ගෙවිය යුතුය. එහෙත් කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරුම්වලින් හෝ තොග වශයෙන් ආනයනය කරනු ලබන පෝර්ට්ලන්ඞ් සිමෙන්ති සඳහා අයකරනු ලබන්නේ 8%ක සෙස් බද්දක් පමණය. කිලෝග්‍රෑම් 50ක් ලෙස හෝ ඊට අඩු බර ප්‍රමාණයක් ලෙස ඇසුරුම් කර ආනයනය කරනු ලබන සිමෙන්තිවලට හැර අනෙකුත් ආකාරයේ සියලුම සිමෙන්ති ආනයනයන් සඳහාද එම ගැසට් නිවේදනයට අනුව ඇත්තේ 8%ක සෙස් බද්දක් පමණය.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම හිටපු මුදල් අමාත්‍ය රවි කරුණෘනායකගේ, එකඟත්වය ඇතිව මේ අසමාන සෙස් බදු යටතේ රට තුළ එක් තරගයකට එක්වන්නැයි සිමෙන්ති ආනයනකරුවන්ට කියා ඇත. දිනන්නට පවා එක්ව තරග කරන්නටවත් නොහැකි අසමාන කොන්දේසි සහිත තරගයකට බට කිලෝග්‍රෑම් 50 හෝ ඊට අඩු ඇසුරුම් ලෙස සිමෙන්ති ආනයනය කරන කුඩා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව දැන් හොඳටම අසරණව හෙම්බත්ව වැටී සිටිති. ඔවුන්ට හඬක් නැත. ඒ ඔවුන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් නොවන නිසාය. අනෙක් අතට සංවිධානගතවීද නොමැති නිසාය. දේශපාලන හෝ ඉහළ නිලධාරී සම්බන්ධකම් හෝ දැනහැඳුනුම්කම් නොමැති නිසාය.
නිදහස් වෙළෙඳාම ගැන බණ දේශනා කරන එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් විසින් ඇති කර තිබෙන මේ තත්ත්වය නිසා ඉදිරියේදී රටේ සිමෙන්ති වෙළෙඳාම තුළ ඇතිවිය හැක්කේ මහා පරිමාණ සිමෙන්ති ආනයනකරුවන්ගේ ඒකාධිකාරී වෙළෙඳපොළක් පමණය. දැනටත් ලංකාවේ සිමෙන්ති වෙළෙඳාමෙන් 70%ක පමණ කොටසක් හසුරුවන්නේ මහා පරිමාණ තොග වශයෙන් සිමෙන්ති ගෙන්වන සමාගම්ය. ඇසුරුම්කර සිමෙන්ති ගෙන්වන කුඩා සමාගම්වලට ඇත්තේ වෙළෙඳපොළේ ඉතිරි පංගුවය. මේ අසමාන සෙස් බදු පැනවීමෙන් සිදුවී ඇත්තේ වෙළෙඳපොළේ එම පංගුවෙනුත් කුඩා පරිමාණ සිමෙන්ති ව්‍යාපාරිකයන් එලවා දැමීමය. නැතහොත් වෙනත් හේතුවක් ඊට තිබිය නොහැකිය. මන්ද සියල්ලන්ම සිදුකරන්නේ සිමෙන්ති ආනයනය කිරීම නිසාය. එය ඇසුරුම් කර ආනයනය කරනවාද තොග වශයෙන් ආනයනය කරනවාද යන්න ඒ ඒ ව්‍යාපාරිකයන්ගේ මූල්‍යමය හා අනෙකුත් හැකියාව මත තීරණය වන්නක්ය. එමෙන්ම මූල්‍යමය හා අනෙකුත් වාසි මත තීරණය වන්නේය. තොග වශයෙන් සිමෙන්ති ගෙන්වන මහා පරිමාණ ව්‍යාපාරිකයන් සිය ඇසුරුම් සිදුකරන්නේ කොළඹ වරායේ නවතා තබන නැව තුළදීමය. ප්‍රධාන සිමෙන්ති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට කොළඹ වරාය පරිශ්‍රය තුළම සිමෙන්ති ඇසුරුම් කිරීමට හෝ ගබඩා කිරීමට ඔවුන්ගේම ගොඩනැගිලි තිබේ. එහෙත් මේ කිසිවක් සෙස් බද්ද ප්‍රතිශත දෙකකින් යුතුව එකම කාරණයකට හෙවත් එකම ආනයනකට පැනවීමට හේතුවක් ලෙස සැලකිය නොහැකිය.
උදාහරණයකට රටට ආනයනය කරන පොහොර ගත හැකිය. රාජ්‍ය පොහොර සමාගම් දෙක බොහෝවිට කරනු ලබන්නේ තොග වශයෙන් පොහොර ආනයනය කර රට තුළදී ඇසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කිරීමය. එහෙත් පෞද්ගලික අංශය බොහෝ විට සිදුකරනු ලබන්නේ ඇසුරුම් කරන ලද පොහොර මිටි ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමය. එසේ වූවා යැයි කියා පොහොර ආනයනය සම්බන්ධයෙන් තොග වශයෙන් පොහොර ආනයනය කරන්නන්ට හා ඇසුරුම් කර මිටි වශයෙන් පොහොර ආනයනය කරන්නන්ට එකම තරගය සඳහා වෙනම කොන්දේසි නැත. පොහොර ආනයනයේදී අයකරන බදු අනුපාතයන් තොග හා ඇසුරුම් යන දෙයාකාරයකට වෙනසක් නැත.
එසේ නම් සිමෙන්ති සඳහා පමණක් මේ ආකාරයේ සෙස් බද්දක් පනවා ඇත්තේ ඇයි? ඒ පිළිබඳව විමසීමට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා දුරකතනයට සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය ව්‍යර්ථ විය. වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර ධුරය භාරගැනීමට පෙර මේ අසමාන තත්ත්වය පනවා ඇති හෙයින් ඔහුට ඒ පිළිබඳව අවධානය යොමු කළ හැකි බව අපගේ විශ්වාසයය. තිබිය යුත්තේ අසමාන කොන්දේසි රහිත සැමට සාධාරණ නිදහස් වෙළෙඳාමක් මිස මොනයම් හේතුමත හෝ පිරිසකට විශේෂයෙන් සලකන නිදහස් යැයි කියා ගන්නා නිදහස් නොවන ඒකාධිකාරීත්වයකට පාර කපන නිදහස් වෙළෙඳාමක් නොවේ.
ඒ නිසාම සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රමගේ මේ අසමාන සෙස් බදු තීරණයට ආසියාවේ හොඳම මුදල් ඇමති ලෙස ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කළ හිටපු මුදල් ඇමති රවි කරුණානායක එකඟත්වය පළ කළාට වත්මන් මුදල් ඇමති මංගල සමරවීර ඊට එකඟත්වය පළකරන්නේද යන්න අපගේ ප්‍රශ්න කිරීමය.