සමාජ මාධ්‍ය අවහිර කිරීම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පසුගිය දිනයන්හි මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ ජාතිවාදී ආගම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් අතරතුර සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම වැළැක්වීමට ඇතැම් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට මාර්තු 7 වන දින සිට ආණ්ඩුව විසින් පියවර ගෙන තිබුණි. එම සමාජ මාධ්‍ය ජාල අතුරින් වයිබර්, වට්ස්ඇප් යන මාධ්‍ය සඳහා එම තහනම පසුගිය දිනයන් හි ඉවත් කළ ද තවමත් ෆෙස්බුක් ආදී වෙබ් අඩවි සඳහා පනවා තිබෙන තහනම ඉවත් නොකිරීම සම්බන්ධව මේ වන විට සමාජයේ සංවාදයක් ගොඩනැගී තිබේ. පැය 72ක් ඇතුළත මෙම අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම තවමත් තීරණයකට එළඹ නොමැති වීම හේතුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද විවිධ අයුරින් විරෝධයන් ප්‍රකාශ කිරීමට ද ඇතැම් අය කටයුතු කර තිබුණි. ආණ්ඩුව විසින් සිදු කළ මෙම වාරණය සම්බන්ධව ඇතැම් විශ්ලේෂකයන් සහ සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන ද විවේචනයන් දක්වා තිබුණි. ඒ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන ලෙස විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ද ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා විය. ඒ අතර ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන “අවිධිමත්” සහ “වෙනස් වෙමින් පවතින” මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා “වෛරයෙන් පිරුණු පුද්ගලයන්” විනා සමාජ මාධ්‍ය ජාල නොවන බවයි. මෙම වාරණයන් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත යන අය දැක්වූ අදහස්ය.

වෛරය ඇතිවන්නේ හදවතේ මිස ෆේස්බුක් වල නොවේ
මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩවත්ත

මේ සම්බන්ධව මූලික වශයෙන් අපිට පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා. ඊට අමතරව ෆෙස්බුක්,ට්විටර් ගිණුම් හිමියන් මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කරන බව දැනගැනීමට ලැබුණා. එම පැමිණිලි සංඛ්‍යාව අනුව යම් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවට කටයුතු කිරීමට පැමිණිලි ලැබෙන තුරු සිටිය යුතු නැහැ. මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්ථාවරය වෙන්නේ මෙවැනි හදිසි අවස්ථාවකදී භාෂණයේ නිදහස පූර්ණ ලෙස භුක්ති විඳීමට හැකියාවක් නැහැ කියන දේයි. මොකද භාෂණ නිදහසත් සීමා සහිත අයිතියක්. එය අපි භුක්ති විඳිය යුතු වන්නේ සමාජයේ වැඩි යහපතත් සමග තුලනය කරගෙනයි. දැන් තිබෙන ප්‍රශ්නය ඇතැම් සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති මෙම අත්හිටුවීම දිගින් දිගටම ඉදිරියට යෑමයි. මෙතැන දී අපි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිට කරුණු පෙන්නුම් කිරීම සිදු කළා. ඔවුන්ට මෙය දිගින් දිගටම පවත්වාගෙන යෑමට සැලැස්මක් තිබෙන බව නම් අපට පෙනෙන්නට තිබුණේ නැහැ. තුලනය ඇති කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධව දැන් වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පෙනෙන්න තිබෙනවා. මෙම වාරණය දිගින් දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍යතාව තිබුණා නම් වහාම මානව හිමිකම් කොමිෂන් සභාවට නිර්දේශයක් ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ නමුත් දැන් මේවා තුලනය කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබද උපදෙස් ලබා ගන්නා බව අපිට ප්‍රත්‍යක්ෂයි. ඒ වගේම ෆෙස්බුක් ආයතනයේ නියෝජිතයින් මෙරටට පැමිණෙන බව දැනගන්න ලැබුණා. මානව හිමිකම් කොමිෂන් සභාව ලෙස ප්‍රකාශ කළ හැක්කේ මේ තුලනය මොන ආකාරයට ඇතිකර ගන්නවාද යන්න ගැන අපි විමසිලිමත්ව සිටින බවයි. ජන වර්ග අතර වෛරය ඇති කර, ජන ජීවිතයට හානි වන ආකාරයේ සිදුවීම් වන අවස්ථාවක දී මේවා අවහිර කරන්න එපා කියන දේ අපට එක වර කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ පිළිබඳ තිබෙන තාක්ෂණික ගැටලු, නීතිමය ගැටලු පිළිබඳ අවධානය යොමු වෙමින් පවතින අවස්ථාවක ඒ තුලනය ඇති කර ගත යුතු ආකාරය ගැන බැලීමට සිදු වෙනවා. එතැන දී භාෂණයේ නිදහසට වැඩි යම් කිසි හානියක් සිදු වෙනවා කියන දේ පෙනෙනවා නම් එතැන දී මානව හිමිකම් කොමිෂන් සභාවට මැදිහත් වීමට සිදු වෙනවා. වට්ස්ඇප්, වයිබර් වැනි අනෙකුත් සමාජ ජාලා වේදිකා දැන් විවෘත වී තිබෙන බව අපි නිරීක්ෂණය කරනවා. ඒ වගේම මියන්මාරයේ රෝහින්‍යා ජනතාවට එදිරිව දියත් කළ ප්‍රචණ්ඩත්වයට මේ ෆේස්බුක් හරහා දායකත්වය ලැබී තිබුණු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෑතක දී මියන්මාරය පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වෙනවා. මේ හැම දේ පිළිබඳව බලා යම් තුලනයක් ඇති කර ගැනීම අතිශයින්ම වැදගත්. ඒ තුලනය කොහොමද වෙන්නේ කියන දේ ගැන තමයි මේ වන විට අපි නිරීක්ෂණය කරමින් සිටින්නේ. බොහෝ අයිතිවාසිකම්වල තුලනය ලබා ගැනීම තමයි දැනට තිබෙන විශාලම අභියෝගය. උද්ඝෝෂණය, වැඩවර්ජන ආදිය සදහා තිබෙන අයිතිය පිළිබඳ සලකා බැලුවත් එම අයිතීන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අතිශය වැදගත් වෙනවා. ඒ නමුත් අන්‍යයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මේ අයිතිවාසිකම් කොහොමද භුක්ති විදින්නේ කියන දේ පිළිබඳ සැලකිලිමත් වීම අනිවාර්යයි. සමාජයේ වෛරී අදහස් පැතිරීම කොහොමද සමාජීය මට්ටමෙන් පාලනය කරගන්නේ හෝ එවැනි වෛරී අදහස් සහිත පුද්ගලයන් සමාජයෙන් කොන් කරන්නේ කොහොමද කියන දේ පිළිබඳ සමාජයේ පුළුල් කථිකාවක් තිබිය යුතුයි. ෆෙස්බුක් කියන්නේ මෙවලමක් විතරයි. වෛරය ඇති වෙන්නේ මිනිසුන්ගේ හදවතේයි.

වගකීමෙන් භාවිත කළයුතු මාධ්‍යයක්
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත

ඕනෑම අයෙකුට ෆෙස්බුක් එකේ යම් දෙයක් ප්‍රකාශ කිරීමේ නිදහසක් තිබෙනවා. හැබැයි ඒ දේ එහි තිබෙන කොන්දේසි සහ ප්‍රතිපත්ති මාලාවට පටහැනි නම් ඒ පිළිබද ඕනෑම අයෙකුට ෆේස්බුක් වෙබ් අඩවිය හරහාම වාර්තා කිරීමේ (report) හැකියාව තිබෙනවා. එවිට ඒ පිළිබද ෆෙස්බුක් ආයතනයෙන් සොයා බලා ඉවත් කිරීමට කටයුතු කරනවා. 99%ක් දෙනා එය යහපත් ආකාරයට භාවිත කර 1%ක් පමණක් අනවශ්‍ය ලෙස භාවිත කරනවා නම් එය අයහපත් දෙයක් ලෙස අපි එම ආයතනයට දන්වනවා නම් ඔවුන්ගේ තිබෙන කොන්දේසි සහ ප්‍රතිපත්ති මාලාවට අනුව මෙම වෙබ් අඩවියේ පළ කළ හැකි මොනවාද, නොහැකි මොනවාද යන දේවල් පිළිබද ඒ අය ආවරණය කර තිබෙනවා. ඒවාට පටහැනි දෙයක් යම් අයෙක් පල කරනවා නම් පළමු දේ එය report කර ඉවත් කළ හැකියි. අපි යම් දෙයක් share කිරීමේ දී එයින් යම් අයෙක්ට හානියක් වෙයි ද නැද්ද යන කරුණ ගැන අවධානය යොමු කරනවා නම් අනවශ්‍ය තොරතුරු අනවශ්‍ය පුද්ගලයන් වෙත යෑම වළක්වා ගන්න පුළුවන්. අවසානයේ විය යුත්තේ එයයි. මොකද බොහෝ දෙනෙක් මෙය භාවිත කරන්නේ තමන්ගේ නෑදෑ හිත මිතුරන් සමග තොරතුරු හුවමාරුකර ගැනීම, ව්‍යාපාර කටයුතු ආදී දේ වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛන නැතත් සාමාන්‍යයෙන් මෙය හොදට භාවිත කරන පිරිස වැඩි සහ එය අනිසි ලෙස භාවිතා කරන පිරිස අඩු වෙන්න පුළුවන්. සියලු දෙනාම මෙය කිසිවෙකුට කරදරයක් නොවන ලෙස වගකීම් සහගතව භාවිත කරනවා නම් එය තමයි විය යුතු වන්නේ.
මේ අවස්ථාවේත් බොහෝ දෙනෙක් විවිධ අදහස් පල කර තිබුණා. ඒ අතර සමහර ෆෙස්බුක් පිටු report ඉවත් කළ යුතු බව අදහස් වූ අවස්ථා තිබුණා. අපේ ආයතනය ඒ පිළිබද නිරීක්ෂණය කිරීම වැනි දෙයක් සිදු වුණේ නැහැ. ඒ හරහා සමාජගත වන්නේ සමාජයට යහපත් දේ ද අහිතකර දේ ද යන්න පිළිබඳ නොකඩවා නිරීක්ෂණය කිරීමක් අපේ ආයතනයෙන් වෙන්නේ නැහැ. ෆේස්බුක් වෙබ් අඩවියේ පළ වන යම් දෙයක් සමාජයට හෝ යම් පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට අහිතකර බව අප වෙත කිසියම් කෙනෙක් දැනුම් දුන්නොත්ඒ සම්බන්ධව ඒ අයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමත් ඒ සම්බන්ධව ෆේස්බුක් ආයතනයට දැනුම් දීමටත් අප ආයතනයට කටයුතු කළ හැකියි. උදාහරණයක් ලෙස කිසියම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඵල කරමින් ඒ පුද්ගලයා අපහසුතාවයට පත්වන ආකාරයේ තොරතුරක් ෆෙස්බුක් වෙබ් අඩවියේ ඵල කර තිබේ නම් ඒ පිළිබඳ ෆේස්බුක් ආයතනයට දැනුම් දී එය ඉවත් කිරීමට කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. එය ඔවුනගේ කොන්දෙසි සහ ප්‍රතිපත්ති මාලාවට අනුකූලයි. පසුගිය දිනවල සිදු වූ සිදුවීම් පිළිබඳ බලනවා නම් යම් අයෙකුගේ ඡායාරූපයක් භාවිත කරමින් හෝ යම් ස්ථානයක කිසියම් පිරිසකට පහර දෙන බවත් එම පාර්ශ්වයට ද පහර දිය යුතු බවට තොරතුරු ෆෙස්බුක් වෙබ් අඩවියේ ඵල වුවහොත් එය ප්‍රචණ්ඩකාරී දෙයක් බවට report පත්විය හැකියි. ඊට අමතරව කිසියම් පාර්ශ්වයකට පහර දීම හොඳ දෙයක් බව යම් අයෙක් ප්‍රකාශ කරනවා නම් එය නිවැරදි බව ඒ පුද්ගලයාගේ අදහස විය හැකියි. එසේ පහරදීම වැරදි දෙයක් බව තවත් අයෙක්ට ප්‍රකාශ කළ හැකියි. එවැනි අවස්ථාවක එය මතවාදී ලෙස ගැටලුවක් විය හැකියි. එවිට එම ආයතනයේ ප්‍රතිපත්තිවලට අනුකූල ද නැද්ද කියන දේ වගේම එය යම් ප්‍රජාවකට බලපාන ආකාරය අනුව තීරණයක් ගැනීමට සිදු වෙනවා. අදහස් ප්‍රකාශ කිරීම වළක්වනවා කියන දේ එයින් අදහස් වෙන්නේ නැහැ. අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ තිබෙන්නේ ඔවුන් දක්වා තිබෙන කොන්දේසි සහ ප්‍රතිපත්ති මාලාවට යටත්වයි. ඒ අනුව අපි කල්පනා කළහොත් එක් එක් අයගේ මතවාදී ගැටුම් මේ හරහා කළ හැකි වුවත් එය ඇත්තටම පහරදීම් දක්වා ගැටුම්වලට යනවා නම් එය ගැටලුවක් බවට පත් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ අසත්‍ය ප්‍රචාර හුවමාරු වීම නිසා ඇති වන ගැටුම් වළක්වා ගැනීමේ අරමුණින් තමයි මෙම සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමේ තීරණය ගෙන තිබෙන්නේ.