මහ සොහොන් බලකාය ආණ්ඩුවේද?

ටිරන් කුමාර බංගගමආරච්චි

තෙල්දෙණිය, දිගන මුස්ලිම් ජනයාට එරෙහිව පැවති බෞද්ධ ජාතිවාදී ගින්න මේ වනවිට සමනය වී ඇතැයි මාධ්‍ය පුන පුනා ප්‍රකාශ කරයි. සැබැවින්ම එය එසේමද? ගිනිගත් නිවාස, වෙළෙඳ සැල්, පල්ලි පිළිසකර කළ හැකිය. එහෙත් හදවත් එතරම් ඉක්මනින් සැහැල්ලුවෙන් සුවපත් කළහැකියැ’යි කිව හැකිද? තමන් මහන්සියෙන් ගොඩ නගා ගත් නිවස, වෙළෙඳ සැල ගින්නෙන් අළු වී ගිය කල ඒ ගින්න ඇවිළ වූ බෞද්ධ ජාතිවාදියා නොව සමස්ත බෞද්ධ ප්‍රජාවම සමග මේ හිත් වෛර නොබඳිනු ඇත්ද?
තෙල්දෙණිය, දිගන සිද්ධ වූයේ තනිකරම ඒකපාර්ශ්වික ගනුදෙනුවක්මය. එනම් සිංහල ජාතිවාදීයෝ එක්ව හොය හොයා මුස්ලිම් නිවාස, වෙළෙඳ සැල්, පල්ලි කුඩු කිරීම සහ ගිනි තැබීමය. මුස්ලිම් ජනයා දේපළ අතහැර දිවි ගලවා ගැනීමට කොහේ හෝ වහන්වීම නොවන්නට ඔවුන්ගේ ජීවිත බොහොමයක් මේ ප්‍රකෝපකාරී සිංහල ජාතිවාදයේ දැවෙන්නට ඉඩ තිබුණි.
පැහැදිලිවම මේ සිද්ධි දාමය ඔහේ යන්නට දී බලා සිටීම හැර ආණ්ඩුව කළ ලොකු මැදිහත්වීමක් නොවීය. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සිංහල ජාතිවාදීන් සමග එක්ව රිසි සේ තම ඇරියස්ද ඇර ගත්තේ ඒ හමුදා නිල ඇඳුම් යටද ඇත්තේ සිංහල ජාතිවාදීන්ම බව පසක් කරමිනි.
මෙවන් තත්ත්ව ඉදිරියටත් ඇති නොවෙතැයි කිසිවකුට කැට තැබිය නොහැකිය. රාජපක්ෂ යුගයේ දර්ගා නගරයේ ඇති කළ මෙවන්ම ගින්නක් නිසා අදටත් අතපය අහිමි තරුණයෝ සිටිති. ඒ දේම නැවත ඉතා ඉක්මනින් තෙල්දෙණිය, දිගන අවට ප්‍රදේශවල සිද්ධ විය. මෙවන් සිද්ධි ළඟ ළඟම වන්නේ අප ඒ මොහොතේ තකන තරම් ටික දිනකින් මේ ගැන නොතකන බැවිනි. ඒ සියල්ල කොහේ හෝ පුංචි තැනකට ලඝු කොට අහක බලන බැවිනි.
බේරුවල දර්ගා ටවුන්හි සිද්ධිය ගැන නිසි පරීක්ෂණයක් කළේ නම් එයට හේතු සොයා නිසි පිළියම් කළේ නම් අද මෙවන් දෙයකට එරෙහිව ක්‍රියා කළ හැකිව තිබුණි. එහෙත් එදා ඒ කිසිවක් නොවීය. රාජපක්ෂලා කළ නිසා යහපාලනයද එය රාජපක්ෂලාගේ අමනකමක් ලෙස සලකා ක්‍රියා කෙරුවා මිස පිළියම් නොසෙවීය. යහපාලන ආණ්ඩුව ආ කල මේ ගැන නිසි පරීක්ෂණයක් කරන්නට තිබුණි. එසේ නම් එදා දර්ගා ටවුමේම කළ දේ අදද පොලිස් කාර්ය බලකාය කරන්නට ඉඩ නොතිබුණි. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. පෙර ලෙසම සියල්ල සිද්ධ විය.
ජනපති මහනුවරට ගොස් එහි තත්ත්වය ගැන සාකච්ඡා කරන්නේ සිද්ධිය ඇවිළී දින තුනකට පසුවය. එදායින් පසු මේ තත්ත්වය සමනය වූයේ බලා සිටියදීමය. ඉන්පසු දැවී අළුවුණු වෙළෙඳ සැල් නරඹන්නට අගමැතිද තෙල්දෙණිය, දිගන සංචාරය කළේය. ඒ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ විරෝධය අගමැති වෙත එල්ලවද්දීය. මේ කවුරුත් කරනුයේ දේශපාලන සෙල්ලමකි. මේ සැමට ජාතිවාදී ගිනි ඇවිළෙන තරමට දේශපාලනය කරන්නට පහසුය. මේ සිද්ධි එක දිගට දින තුන හතර ඇදී යාමෙන් පැහැදිලිවන්නේ එයය.
රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා කළ බොහෝ දේවල් මේ ආණ්ඩුව යටතේද සිදුවේ. ඒවා තවම කරනුයේ රාජපක්ෂලාම යැයි කියමින් තලු මරනවා ඇරෙන්නට මේ ආණ්ඩුවට කිසිම විකල්පයක් නැතිය. අදද ඇත්තේ රාජපක්ෂලාගේම ආණ්ඩුවක්ද? මේ නොහැකියාව කුමක්ද?
තෙල්දෙණිය ගින්න ඇවිළුවා යැයි මේ ආණ්ඩුව චෝදනා කළේ කාටද? මහ සොහොන් බලකායකටය. එහි ප්‍රමුඛයා අත්අඩංගුවට ගත් බව මහ ඉහළින් සැමරීය. ඔහු විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහය. ඔහු අත්අඩංගුවට ගෙන දින ගණනාවකට පසු ඔහුගේ කාර්යාලය වටලන ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීහු අසමගිය වපුරන අත් පත්‍රිකා, පෝස්ටර්, බැනර් ඇතුළු භාණ්ඩ රැසක්ද ඊට අමතරව පෙට්‍රල් බෝම්බ හයක්ද සොයා ගත් බව ප්‍රසිද්ධ කළහ.
මේ අනුව බලන කල තෙල්දෙණිය, දිගන සිද්ධියට සම්බන්ධ පව්කාරයෙක් සොයා ගෙන හමාරය. දැන් සියලුදෙනාට එක්ව මේ පව්කාරයාට ගල් ගැසිය හැකිය. සැබැවින්ම මේ සියල්ල කළේ මොහුද? ඥානසාර හිමි, කුමාරසිංහගේ ඉළව් ගෙදරට ගොස් එන අතරතුර පළමු මුස්ලිම් වෙළෙඳ සැල ගිනිගත්තේ ප්‍රාතිහාර්යකින්ද?
ඉළව් ගෙදර වැඩිහිටියෝ කුමාරසිංහගේ මව ඥානසාර හිමි පිළිගන්නේ බුදුහාමුදුරුවන් ලෙසය. අහෝ මේ කුමන කල දසාවක්ද? මරණය භූමදානය කරන දා තෙල්දෙණිය ඩිපෝව ඉදිරිපිට සිංහල ජනයා අවුස්සාලන සේ ජාතිවාදී දෙසුම් පැවැත්වූ භික්ෂුව කවුද? මේ අය සැවොම මහ සොහොන් බලකායේද? මේවා රටම හිනස්සන විහිළුය. රාජපක්ෂලත් මෙවැනිම හතර බිහිරි කතා එකල කළේය. යහපාලනයත් යන්නේ ඒ පාරේමය. ඇතැම් බරපතළ සිද්ධීන්වලදී මේ සැමට අවශ්‍ය රාජපක්ෂ පන්නයේ උපක්‍රමමය. මෙහිදී සිදුවන්නේද එයමය.
මෙම ගැටුම අතරතුර සිංහලයකු අතින්ම අත්බෝම්බයක් පිපිරී පූජාපිටියේදී මියගිය ගුණරත්න බණ්ඩාරගේ මළගෙදරදි සිංහල ලේ කෝපවන සේ දේශපාලන කතාවක් කරන මන්ත්‍රී දිලුම් අමුණුගමගේ කතාව නෑසුකන්ව සිටින ආණ්ඩුව ෆේස්බුක් හරහා ජාතිය කුපිත කළැයි තරුණයන් කුදලාගෙන යති. මේ සියල්ල පය බරවාට පිටිකර බෙහෙත් බැඳීමකි. මේ ජාතිවාදී ගින්න දේශපාලන ප්‍රබලයන් සැලසුම් සහගතව ඇටවූ දෙයකි. එහෙත් ඒ බව දන්නා ආණ්ඩුව එය ක්ෂණිකව අමතක කර ඇත. ඒ වෙනුවට වැඩකට නැති පුංචි හාල්මැස්සන් දඩයම් කරමින් සිටිති.
එක් දෙයක් කිව යුතුය. මෙහි ඇත්ත නැත්ත හවුල්කරුවන් කවුද යන්න මනාව මුස්ලිම් ප්‍රජාව දනිති. ඇතැම් ගම්මානවලට පැන පොලිස් විශේෂ කාර්ය බලකාය පහර දුන්නේ මහ සොහොන් බලකායේ අණටද? එබැවින් බොරු පැලැස්තර මගින් සිද්ධවන්නේ ඒ පෑරුණු හිත් නැවත කිසි ලෙසවත් පිළිසකර කිරීමට බැරිවීමය. එබැවින් ආණ්ඩුව මෙතැනදී රාජපක්ෂ න්‍යායට නොගොස් අවංක විය යුතුය. එසේ නැතිව ප්‍රශ්නයට අදාළ අය ඉවතලා මේ පුංචි චරිත දඩයම් කිරීමෙන් පිරිහෙන්නේ ආණ්ඩුවමය.
මෙතැනදී මුස්ලිම් ප්‍රජාව රැකගත් අවංක සිංහල භික්ෂූන් මෙන්ම සිංහල ජනයාද එම ප්‍රදේශවල බහුලව සිටියහ. මේ සැමද සිද්ධ වූ සැබෑව මනාව දන්නේය. එබැවින් මේ බොරු පිළියම් හරහා ඔවුන් කෙරෙහි මුස්ලිම් අයට ඇති විශ්වාසය පවා පළුදු වන්නේය.
ආණ්ඩුව මේ ගැන නිසි පරීක්ෂණයක් කරතැයි දැනටමත් සිතිය නොහැකිය. ඒ සඳහා සැබෑ වුවමනාවක් වගවීමක් නැති බව පෙනේ. රාජිත සේනාරත්න කැබිනට් දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම සිද්ධිය පිටුපස එම ප්‍රදේශයේ මන්ත්‍රීවරු දෙපළක් ඇති බව කීවේය. ඇත්ත එයය. එහෙත් දැන් සියල්ල සිදුකර ඇත්තේ මහ සොහොන් බලකායේ විදානපතිරණ නම් කුමක් කරමුද? එය ඇත්ත නොවන බව තෙල්දෙණිය දිගන ජනතාව පමණක් නොව මේ ආණ්ඩුවද දනී. එහෙත් නොදන්නා ගාණට ඉන්නට මේ හැම පුරුදු වී ඇත. ඒ පුරුද්දට මේ ජනතාව ඉදිරි ඡන්දයකදී පිළිතුරු දෙනු ඇත. මේ ආණ්ඩුව දිනෙන් දින ඉල්ලනුයේ ඒ ප්‍රතිඵලමය.
රාජපක්ෂලා දර්ගා ටවුන්හි කළ දේ මේ ආණ්ඩුව තෙල්දෙණියේදී නොකළමුත් කළවුන් ආරක්ෂා කිරීම හරහා රාජපක්ෂලා කළදේටත් වඩා නපුරක් කරන්නේය. මන්ද යහපාලන ආණ්ඩුව යනු රාජපක්ෂලා නොවන බව ජනවාරි 8 වැනිදා දවසක මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව එක හඬින් පිළිගත්හ. මේ ආණ්ඩුව ඒ අයම ලවා ඒ අදහස වෙනස් කරන්නට වලිකන්නේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි.

වෙළෙඳාම

මුස්ලිම් ප්‍රජාව අද ව්‍යාපාරික අතින් සමාජයේ ඉහළම ස්ථාවරයක් ලබාගෙන තිබේ. මේ තත්ත්වය සිංහල බහුතරයක් ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි තත්ත්වයක් වී ඇත. ඒ නිසා මේ ගිනි තැබීම් පිටුපස සිංහල ව්‍යාපාරික ප්‍රජාවද සිටින බව කිව යුතුය. එයට කැතම නිදසුනක් අප සතුය. එනම් මියගිය කුමාරසිංහ රැකියාව කළේ තෙල්දෙණිය ‘සිංහ සුපර්’ ව්‍යාපාරික ස්ථානයේය. මේ ප්‍රදේශයේ බහුතරයක් සිංහල වෙළෙඳ සැල් පවා තොග බඩු මිලදී ගනුයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙනි. මේ සිද්ධියෙන් පසු එනම් ගෙවුණු සතියේ ‘සිංහ සුපර්’ ආයතනයේ අලෙවි නියෝජිතයෝ තෙල්දෙණිය සිංහල ව්‍යාපාරික ස්ථානවලට ගොස් තමන්ගෙන් මින් ඉදිරියට බඩු ගන්නේ නම් අඩු මිලට බඩු ලබාදීමට සූදානම් බව දැනුම්දෙමින් සිටිති. තත්ත්වය එබඳුය.
ආණ්ඩුව මේ සියලු තත්ත්වයන් ඉවතලා මහසොහොන් බලකාය මත යැපෙති. මේ පිටුපස ඇත්තේ දේශපාලන හස්තයන්මය. ඒ සැම ආරක්ෂා කරන්නට ආණ්ඩුව වෙර දරන්නේ මහ සොහොන් බලකායක් අටවාගෙනය. මේ මහ සොහොන් බලකාය ආණ්ඩුවේද?