ඇයට ඒ ඉඩ දෙන්න

කසුන් සමරතුංග

සංක්‍රාන්ති ලිංගිකයෙක් සමග කළ සංවාදයක් ඇසුරින් ලියූ ලිපියක්!

මට ‘ඇය‘ මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි. “ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන කවර කතාද?” ‘ඇය’ නෝක්කාඩුවෙන් මෙන්, එහෙත් සිනාසෙමින් පැවසුවාය. මගේ සිතට ක්ෂණිකව මා පිළිබඳව නැගුණු ලැජ්ජාව මම අපහසුවෙන් වසන් කර ගත්තෙමි. මගේ මිතුරා අපේ හමුවීමට විධිවිධාන සකස් කරන අතරතුර ‘ඇය‘ ගැන පැවසූ වදන් මට යළිත් සිහිපත් විය.

මීට අවුරුදු කීපයකට පෙර අපේ හමුවීම සිදු වූවා නම් එදා මා ‘ඇය’ට කතා කරන්නට, ලියන්නට නියමිතව තිබුණේ ‘ඔහු‘ යනුවෙනුයි. ඔව්! ඔබ සිතුවා නිවැරදියි. දැන් මේ මොහොතේ මා ඉදිරියේ සිටින්නේ, මා මේ කතා බහ කරන්නට සූදානම් වන්නේ සංක්‍රාන්ති ලිංගිකයෙකු සමගයි. ‘ඔහු‘ වෙතින් ‘ඇය’ වෙතට සංක්‍රමණය වූ අප මෙන්ම සාමාන්‍ය මනුස්ස ප්‍රාණියෙකු සමගයි. ඇමතීමේ පහසුව සඳහා අපි ඇයව ‘කුමාරි‘ ලෙස නම් කරමු. කුමාරිට කියන්නට නම් මොන තරම් කතන්දර ඇද්ද?

“සමාවෙන්න! මම එහෙම හිතා මතා වැරදි විදියට බැලුවේ නැහැ.” මම මුලින්ම මගේ අතින් වූ වැරැද්ද නිවැරදි කර ගන්නට උත්සාහ කළෙමි.

“අයියෝ! ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඕවා දැන් හොඳට පුරුදුයි. එක අතකට මම මුහුණ දීපු දේවල් එක්ක ඕවා මොනවාද අනේ?” කුමාරි සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය.

ගැහැනියක් සතු විය යුතු ලාලිත්‍ය ඇය තුළද නොඅඩුව දකින්නට තිබේ. කතා බහ, හැසිරීම අතිශයින්ම සාමාන්‍යය. එහෙත් ඇගේ ඇතුළත ලෝකය ගැන තොරතුරු දන්නේ ඇයම පමණකි. ඉතින් ඇය කතා කරවිය යුතුමය.

“මට පොඩි කාලෙ ඉඳලම වැඩිපුර හිටියේ ගෑනු යාලුවෝ තමයි. පිරිමි යාළුවෝ හිටියෙම නැති තරම්. ඇත්තම කිව්වොත් පිරිමි ළමයි මාව ආශ්‍රය කරන්න කැමති වුණේ නැහැ. එක නිසාම වෙන්න ඇති මමත් වැඩිපුර ගෑනු ළමයි ආශ්‍රය කරන්න පෙළඹුණේ. මට පොඩි කාලෙ ඉඳලම ඕනේ වුණේ ගෑනු ළමයෙක් වගේ හැසිරෙන්න. ඒ වගේ ලස්සනට අඳින්න. බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න. කලිසමට වඩා මම ආසා කළේ ගවුමට. ඒක නිසා පොඩි කාලෙ ඉඳන්ම මම යාලුවෝ අතරේ විහිළුවක් වුණා. පිරිමි ළමයි විතරක් නෙවෙයි ගෑනු ළමයි පවා මන් දිහා බැලුවේ හරි අමුතු විදියට. නිකන් අමුතු සතෙක් දිහා බලන්න වගේ. එක නිසා පොඩි කාලෙ ඉඳන්ම මම හැදුනේ වැඩුණේ ටිකක් හුදෙකලාව කිව්වොත් ඒක වැරදි නැහැ. ඒක ඇත්තටම මට මානසික වදයක් වුණා.මට ඇත්තටම ඕනේ වුණේ එහෙම හුදෙකලා වුණ ජීවිතයක් නෙවෙයි. අනිත් ළමයි වගේ-විශේෂයෙන් ගෑනු ළමයි වගේ හැසිරෙන්නයි මටත් ඕනේ වුණේ. එත් ඉතින් මට උරුම වුණේ ඊට වඩා වෙනස් ඉරණමක්. එතනින් ඇති වුණ මානසික පසුබෑම අදටත් මගේ ජීවිතේ පුරා හොල්මන් කරනවා.”

කුමාරි ජීවිතය පිළිබඳ ඇගේ කියවීම මා ඉදිරියේ දිග හරින්නීය. ඇගේ වචනවල අවංකභාවය සංවේදී මොහොතක පවා උවන සිසාරා සෙමෙන් පැතිර යන මන්දස්මිතයෙන් කියවා ගත හැකිය. හේතුවක් ඇතිව හෝ නැතිව ඇගේ කතාවට බාධා කරන්නට මට සිතක් පහළ විය.

“ඔයාගේ ගෙදර තිබුණේ මොන වගේ තත්ත්වයක්ද?”

“මට හිටියේ අක්ක කෙනෙකුයි, නංගි කෙනෙකුයි. එකම පිරිමි ළමයා මං විතරයි. අක්කගේ වැඩි විශේෂත්වයක් තිබුණේ නැහැ. එයා සාමාන්‍ය ගෑනු ළමයෙක් විදියට හිටියා. එත් නංගි නම් තනිකරම කොල්ලා! එයා කළේ කොල්ලෝ කරන වැඩමයි. ගස් නගිනවා,ගඟේ පීනන්න යනවා,සෙල්ලම් කරන්න යනවා. එයාට නම් වැඩිපුර හිටියේ පිරිමි යාලුවෝ. ඒ කාලේ නෑදෑයෝ මාවයි නංගිවයි පෙන්නලා විහිළු කරන්නේ කොල්ල වෙන්න ඕනේ එකා කෙල්ල වෙලා කෙල්ල වෙන්න ඕනේ එකා කොල්ල වෙලා කියලා. ගෙදර අයටත් මගේ වෙනසක් තේරෙන්න ඇති. ඒත් අම්මයි තාත්තයි මට කිසිම වෙනසක් කරේ නැහැ. සාමාන්‍ය විදියට සැලකුවා. මට ගොඩක් දේවල් කතා කළේ නංගිත් එක්ක. අක්කා අපි දෙන්නට වඩා ගොඩක් වැඩිමල්. ඒත් අපි දෙන්න එක ළඟ වයසේ. අනික නංගි තනිකර කොල්ල වගේනේ! එක නිසා මම එයත් එක්ක ගොඩක් ළං වුණා. අපි දෙන්න කතා කරද්දී මම නංගිට විහිළුවට වගේ කියනවා තමුසෙගෙ කෙලිකම මට දීලා මගේ මේ කොලුකම තමුසේ ගන්නවකො කියල. අපෝ ඔයාගේ ඔය කොලුකමට වඩා නම් මගේ මේ කෙලිකම හොඳයි කියල නංගි ඒ වගේ වෙලාවට මට හිනාවෙනවා. ඇත්තටම මම ඒ කාලෙ විහිලුවට වගේ කිව්වේ ඇත්තටම මගේ හිතේ තිබුණ දේවල්. මට හැමදාම ඕනේ වුණේ කෙල්ලෙක් වෙන්න.”

“ඉතින් කොහොමද ඒක කරගත්තේ?”

මම නැවතත් අතරමැදින් කඩා පැන්නෙමි.

“ඒක දිග කතාවක්.” ඇය සන්සුන්ව කියයි. ”මම කෙටියෙන් කියන්නම්. ඉස්කෝලෙන් අයින් වෙලා නිදහසේ ඉන්න කාලෙ මං තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගත්ත. ඒ අපේ ඉස්කෝලෙම හිටපු මට වඩා අවුරුදු හතරක් වැඩිමහල් අයියා කෙනෙක් එක්ක. ඒක ඇත්තටම සමලිංගික සම්බන්ධතාවක්. එයා ඉස්කෝලේ යන කාලේ ඉඳලම මං ගැන ආසාවෙන් ඉඳලා තියෙන්නේ. මාත් පස්සේ තමයි දන්නේ. ඉතින් කොහොම හරි අපි දෙන්නා අතර සම්බන්ධතාවක් ඇති වුණා. අපි දෙන්නා එකට ඉන්න හැමවෙලාවෙම එයා හැමතිස්සෙම කියන කතාවක් තිබුණා. ඔයා කෙල්ලෙක් වුණා නම් කොච්චර ෂෝක්ද? එයා හැමතිස්සෙම කිව්වේ එකයි. මට හැමදාම ඕනේ වෙලා තිබුණෙත් ඒකයි. ඉතින් ඇත්තටමඑහෙම වෙන්න බැරිද? අපි දෙන්නම කල්පනා කළා. අන්තිමට මාව කෙල්ලෙක් කරන්නා මටත් වඩා ඕනෙකම තිබුණේ එයාට. ඉතින් අපි දෙන්නම එක ගැන හෙව්වා. අන්තිමට එයා ක්‍රමයක් හොයා ගත්ත.ඉතින් අපි දෙන්නම දාහක් බොරු ගෙවල්වලට කියලා පිටරට ගියා. කොල්ලෙක් විදියට රට ගිය මම අපහු ලංකාවට ආවේ කෙල්ලෙක් විදියට. ඔන්න ඕක තමයි බොහොම කෙටියෙන් කියනවා නම් කතාව.”

“බය හිතුනේ නැද්ද?”

මගේ ප්‍රශ්නය බොළඳ එකක් යැයි හැඟුණ නිසාදෝ කුමාරි මහා හඬින් සිනාසුණාය. “මට හැමදාම ඕනේ වෙලා තිබුණේ එහෙම වෙන්න. ඉතින් මොකටද මම බයවෙන්නේ?” “මම ඇහුවේ ඔපරේෂන් එකට බය හිතුණද කියලම නෙවෙයි. සමාජෙන්,ගෙදරින්, එන ප්‍රශ්න ගැන බය හිතුණේ නැද්ද?” මම මගේ ප්‍රශ්නය පැහැදිලි කළෙමි. ඇය සිනාව නවත්වා මදක් කල්පනාකාරී වුවාය. “ඇත්තටම අපි දෙන්නටම ඒ වෙලාවේ එහෙම දේවල් ගැන කල්පනාවක් ඔළුවට ආවේ නැහැ. අපිට ඕනේ වෙලා තිබුණ දේ අපි කොහොම හරි කර ගත්තා. ඔයා අහපු ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ඒකෙන් ඔයා කැමති දෙයක් හිතා ගන්න. ලංකාවට ඇවිත් මම මුලින්ම ගියේ අපේ ගෙදරට. ගෙදර කවුරුවත් මං කියපු දේ විශ්වාස කළේ නැහැ. මම කොහෙද ගියේ, මේවා කර ගන්න සල්ලි කොහෙන්ද ඒවා මොකුත් එයාලට ප්‍රශ්නයක් වුණේ නැහැ. එකම ප්‍රශ්නෙ වුණේ මම පවුලේ නම්බුව විනාශ කළා කියන එක විතරයි. ඔයා විශ්වාස කරන්න එදා ඉඳල අද වෙනතුරු මම තාම අපේ ගෙදර හතර මායිමේ අඩියක් තියල නැහැ. මම පණ වගේ ආදරේ කරපු මගේ නංගිවත් මට අද ටෙලිෆෝන් කෝල් එකක්වත් දෙන්නේ නැහැ. එච්චරයි! මං හිතන්නේ ඔය අහපු ප්‍රශ්නෙට ඔයාට උත්තරේ හම්බ වුණා.” නැවතත් මම ඇය අබියස නිරුත්තර වුණෙමි. ප්‍රශ්න අහන තරම් පිළිතුරු සොයන එක ලෙහෙසි පහසු නැත. මා කුමක් කියන්නද, ඇගෙන් කුමක් අසන්නද?

“ඉතින් ඒ හැමදෙයක්ම වුණාට පස්සෙත් ඔය දැන් සතුටින්ද ඉන්නේ?”

“ඔව්! ගොඩක් සතුටින්. මම එහෙම කියන්නේ බොරුවට, මුනිච්චාවට නෙවෙයි, ඇත්තටමයි. මට හැමදාම ඕනේ වුණේ කෙල්ලෙක් වගේ, ගෑනියක් වගේ ජීවත් වෙන්න. දැන් මන් ඒ ජීවිතේ ජීවත් වෙනවා. මොන ප්‍රශ්න ආවත් මම සතුටින් ඉන්න එකම කාරණෙත් ඒකම තමයි.” “ඒක කොහොමද දැනෙන්නේ?” මගේ කුතුහලය ඇවිස්සිණි.

“මාරයි!” ඇගේ පිළිතුර කෙටි එහෙත් තිර, තෘප්තිමත් වචනයකි. “මුහුණ දෙන්න වුණ දේවල් ගැන මම අහන්නේ නැහැ. ඒත් ඒ මුහුණ දුන්න දේවල් නිසා දැන් මිනිස්සු, සමාජය ගැන හිතෙන්නේ මොනවාද කියලා නම් අහනවා?”

“ඔව්! කමක් නැහැ. ඇත්තටම මට මිනිස්සු ගැන නම් තියෙන්නේ කලකිරීමක් විතරයි. ඒකයි මම වැඩිය එළියට පහළියට යන්නේ නැතුව තනියම ජීවත් වෙන්නේ. මම එක සිද්ධියක් කියන්නම්. මේ ළඟදි කිසිම හේතුවක් නැතුව පොලිසියෙන් මාව අරගෙන ගියා. කිසිම චෝදනාවක් නැතුව බොරුවට ප්‍රශ්න අහ අහා රෑ දොළහ විතර වෙනකම් මාව රස්තියාදු කරලා තමයි ආපහු එව්වේ. සමහර නිලධාරීන් කතා කරපු විදිය හරිම අප්‍රසන්නයි. මන් දන්නා විදියට අපි වගේ ගොඩක් දෙනෙක් එහෙම අතවරවලට මුහුණ දෙනවා. ගොඩක් අය අපි දිහා බලන්නෙත් පිළිකුලෙන් වගේ. කතා කරන්නවත් කැමති නැහැ. එත් අපිත් මනුස්සයෝ! අපිටත් හැඟීම් දැනීම් තියනවා. එහෙම දේවල් වෙද්දී අපිට සමාජේ ගැන, මිනිස්සු ගැන හරිම කලකිරීමක් තමයි එන්නේ. එත් මන් දැන් වැඩිය ඒවා ගැන හිතන්නේ නැහැ. ඕනෙවට වැඩ හිතන්න ගියාම තමයි හැම ප්‍රශ්නයක්ම. එක නිසා මන් දැන් අපිට හිනාවෙන, අපිව කොන් කරන, අතවර කරන මිනිස්සුන්ට අනුකම්පා කරනවා විතරයි.” “ඒ මිනිස්සුන්ට තේරෙන්න මොනවා හරි දෙයක් කියන්න කැමති නැද්ද?” “කැමතියි. බොහොම කැමතියි!” කුමාරි මගේ ප්‍රශ්නය දැඩිව ග්‍රහණය කර ගත්තාය. “ගොඩක් මිනිස්සු ඔය විප්ලව අරව මේව ගැන කතා කරනවා නේද? මම කියනවා අපි තමයි නියම විප්ලවකාරයෝ. අපි දෛවය අපිට දීපු ජීවිතේ ඒ විදියටම බාර ගත්තේ නැහැ. අපි අපිට ඕනේ දේ වෙනුවෙන් සටන් කළා. ඒ වෙනුවෙන් වෙනස් වෙන්න තරම් ශක්තියක් අපිට තිබුණා. අන්තිමේදී අපි අපේ අරමුණ ඉෂ්ට කර ගත්තා. ඉතින් ඕකට නෙවෙයිද විප්ලවේ කියන්නේ? වෙනස්වීම! සමහර විට මම වැරදි ඇති. එත් මම අහන්නේ මට තේරෙන විදියට. අපේ ඒ විප්ලවය දරා ගන්න බැරි මිනිස්සු ටිකක් එකතු වෙලා කොහොමද සමාජ විප්ලවයක් කරන්නේ? මට තේරෙන්නේ නැහැ! තේරෙන කෙනෙක් ඉන්නවා නම් මට පැහැදිලි කරලා දෙන්න.”

පැහැදිලි කරගත යුතු කාරණා නම් මොන තරම්ද? නමුත් කාලය අපට හරස් වෙයි. එබැවින් නිශ්චිත පිළිතුරු නැති ප්‍රශ්න ගොන්නක් තුරුළු කරගෙන අප ඇයට සමුදිය යුතුව ඇති නිමේෂය එළැඹෙයි. එහෙත් සමුගැනීමට පෙර මෙතෙක් වේලා සිත පෙලූ අවසන් ප්‍රශ්නය ඇය වෙතට මුදාහැර හදවත සැහැල්ලු කර ගත යුතුය.“අර අයියා! එයාට මොකද වුණේ?” ඇය එයා තාම මාත් එක්ක ඉන්නවා.