රාවය

සුෆී සම්ප්‍රදායේ විශිෂ්ටත්වය සිංහල පාඨකයාට රැගෙන එන ‘ප්‍රේමයේ සල්පිළේදී’

සුෆී සම්ප්‍රදායේ විශිෂ්ටත්වය  සිංහල පාඨකයාට රැගෙන එන ‘ප්‍රේමයේ සල්පිළේදී’

චින්තක රණසිංහ

ප්‍රවේශය

වර්තමාන සිංහල කවිය තුළ කැපී පෙනෙන දුබලතාවක් වන්නේ විවිධ විශ්ව සාහිත්‍ය ප්‍රවණතාවලින් පෝෂණය නොවීමය. එම දුර්-පෝෂණය කවීන් අතර පමණක් නොව, කවි කියවන පාඨකයන්, කවි උගන්වන ගුරුවරුන් හා ඉගෙන ගන්නා ශිෂ්‍ය පිරිස් අතරද විශාල වශයෙන් පවතින බව පෙනේ. ඒකභාෂික අධ්‍යාපන ක්‍රමයක් තුළ මෙය බලාපොරොත්තු විය හැකි තත්ත්වයකි. එහෙත්, මෙහිලා පවතින සුවිශේෂ ඛේදවාචකය වන්නේ ගද්‍ය සාහිත්‍යය තුළ උසස් කෘති බහුල වද්දී පද්‍ය සාහිත්‍යය තුළ එවැනි කෘති විරල වීමයි. පද්‍ය පරිවර්තනය ඉතා අසීරු දෙයක් වීමත්, ඒ යම් යම් පරිවර්තන බිහිවුණත් ඒවා බෙහෙවින් රසහීන – විශේෂයෙන්ම ධ්වනිතාර්ථ හීන භාෂා භාවිතයක් සහිත ඒවා නිසා – ඒවායින් ප්‍රයෝජනයක් නොවීමත් වර්තමාන පසුබිම තුළ දක්නට ලැබෙන තත්ත්වයකි.
මෙබඳු පසුබිමක් තුළ උසස් ගද්‍ය මෙන්ම පද්‍ය කෘතිද ඉතා කැපවීමෙන් සිංහලට පරිවර්තනය කරන ආනන්ද අමරසිරි ‘ප්‍රේමයේ සල්පිළේදී’ නමින් කාව්‍ය ග්‍රන්ථයක් සිංහලට පරිවර්තනය කිරීම සිංහල පාඨකයාගේ දෘෂ්ටි කෝණයෙන් ඉතාමත්ම වැදගත් පියවරකි. ‘ගසල් පද්‍ය සංග්‍රහයක්’ ලෙස හඳුන්වා ඇති මෙම පද්‍ය සංග්‍රහය මධ්‍යකාලීන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම කවියකු ලෙස සැලකෙන ‘අමීර් කුස්රෝ’ (1253-1325) කවියාගේ නිර්මාණ සමුච්චයකි.
අමීර් කුස්රෝ කවුද?

‘ඉන්දියානු දේශයේ ගිරවා’ යන විරුද නාමයෙන් හැඳින්වුණු කුස්රෝ තමාව හඳුන්වාගෙන තිබෙන්නේ ‘ඉන්දියානු තුර්කිවරයකු’ ලෙසය. පර්සියානු හා හින්දාවි යන භාෂා දෙකෙන්ම කාව්‍යකරණයේ නියැලුණු හෙතෙම රාජසභා කවියෙකි; ඉස්ලාමීය ගූඪ දර්ශනයක් වන සුෆී සම්ප්‍රදායට ඔහු කරන ලද දායකත්වය විශාලය. ඔහු ඉන්දියානු සංගීත සම්ප්‍රදායටද විශාල දායකත්වයක් ලබා දුන් අතර, ‘කුස්රුවී ශෛලිය’ නමැති සංගීත සම්ප්‍රදායට උපත දුන්නේ ඔහුය.
කුස්රෝ පිළිබඳ විශ්ලේෂණාත්මක පරිපූර්ණ විග්‍රහයක් පරිවර්තකයා පිටු 15ක් පමණ දිගට විහිදෙන තම ග්‍රන්ථයේ සඳහන් කොට ඇති නිසා අපි මෙහිදී ඒ ගැන වෙහෙස නොවෙමු.

කුස්රෝගේ විශිෂ්ටත්වය

කුස්රෝගේ කවිවල විශිෂ්ටත්වය වටහාගත හැක්කේ මධ්‍යකාලීන ඉන්දියාවේ සාහිත්‍යය හා සමාජ, සංස්කෘතික පසුබිම වටහා ගැනීමෙන් පමණි. ඒ යුගයේ මෝගල් ආක්‍රමණ, සටන් ආදිය නිසා බොහෝ ව්‍යාකූල සමයත් තිබුණද මුස්ලිම් හා හින්දු සම්ප්‍රදායන් එකිනෙක මිශ්‍රවීමෙන් වඩාත් අපූරු සාහිත්‍ය සම්ප්‍රදායක් බිහිවූ බව පෙනේ. ඔහු සංස්කෘතීන් දෙකක සන්ධිස්ථානයේ රැඳී සිටි අතර, එම ක්‍රියාවලිය තුළ බිහිවූ මිශ්‍ර බසක් වන ‘හින්දාවී’ බසටද විශාල සේවයක් ඉටු කළේය.
ඔහුගේ කවිත්වයේ විශිෂ්ටත්වය රඳා පවතින්නේ මෙම පසුබිම තුළය. සුෆි දර්ශනය තුළ මධුව, මධු පානය, මධු ශාලාව, මධු බෙදන පුද්ගලයා යන මේ සියල්ලම සංකේතාර්ථ ජනනය කරන අතර, කුස්රෝගේ කවි වටහා ගැනීමේදී මෙම පසුබිම අතිශයින්ම වැදගත් වේ.
කුසරෝ මෙසේ ලියයි.
රජ සිරියට වඩා ප්‍රියජනකය දිළිඳුකම,
බැතියට වඩා බෙහෙවින් ප්‍රියජනකය දුරාචාරය
රජ සිරියට ඇත එයටම උරුම හිසරුදා
අවසන බලත්දී හිඟනකම
ප්‍රියජනකය බෙහෙවින් මට
තමන් වෙත ළං වන්නට කිසිවකු හට
රජවරුන් ඉඩ නොදෙනා බැවින්
දුප්පතුන් අතර කොටින් දිවි ගෙවුම
වඩා ප්‍රියජනකය මට
උඩඟු වන් කල කෙනෙකු හිසට
වඩාත් ප්‍රියජනක වෙයි මට
වීදි බල්ලකු හා සමඟ මිතුදම
(ප්‍රේමයේ සල්පිළේදී, 34 පිටුව)

එබඳු ගැඹුරු විචාර චින්තාවල අගය හා ශ්‍රේෂ්ඨත්වය මතුවන්නේ කුස්රෝ වාසය කළ පරිසරය හා එවැනි පරිසරයක කුස්රෝ දරන අදහස්වල විශේෂත්වය සලකා බැලීමෙනි. කුස්රෝ රාජ්‍ය සභාවල වැජඹුණි. මහාධිරාජ්‍යයන් මැද ඔවුන් හා සමීපව කල් ගත කළේය. එබඳු පසුබිමක දිවි ගෙවමින් පවා කුස්රෝ මෙබඳු චින්තාවලියක් මතු කිරීම අගය කළ යුතුය. කුස්රෝගේ වෙනත් නිර්මාණයක් වෙතට ගමන් කරමු.
ඔබ කොපුල සඳ බඳුය
සඳට ද වඩා සඳබඳුය
මහදට වධ වේදනා දී
ඔබ ගියේ සිත් තැවුල ඉතිරි කර දමා
ඔබේ ඉඟිමැරුම
සිඳලයි අනේ සුන්දරියන් එක පෙළට
මහත් වූ හිරිහැරයක් නොවේ නම් ඔබට
බිඳ ලන්න මගේ අසරණ හදවතද
(81 පිටුව)

සඳ බඳු කොපුල් යනු අප කවුරුත් දන්නා පොදු ජනප්‍රිය උපමාවකි. එහෙත්, ‘සඳටද වඩා සඳ බඳුය’ යන්නෙන් කියැවෙන්නේ වඩාත් රමණීය බවකි. විශිෂ්ටත්වයකි. ඔබ හෙවත් මෙහිදී විශේෂයෙන් දක්වා ඇති තැනැත්තිය කෙතරම් ඉහළට ඔසවා සුවිශේෂකරණයකට ලක් කර තිබේදයන්න අවසන් දෙපදයෙන් පෙනේ. තවත් කවියක් වෙතට යමු.
ඇත ජනයාගෙන් පිරි සරුසාර නගරයක්
එහි හැම වංගුවකම ඇත සඳකිරණ කැබිලිති
ඒ එක් එක් කැබැල්ලක ඇත බිඳුණු මහදින් බිඳක්
(99 පිටුව)

සොබාදහම සහ පුද්ගල ආධ්‍යාත්මය අතර තිබෙන සම්බන්ධය ඉතා සූක්ෂ්මව ප්‍රකාශ කිරීම සඳහා කවියා යොදාගන්නේ බෙහෙවින් අප හැඟුම් තීව්‍ර කරන උපමා ගැළපීම්ය. එය තරුණ සිංහල කවියන්ට බොහෝ දෑ කියා දෙන්න විදග්ධ පාඩමකි. මිතුරු වියෝව පිළිබඳ කුස්රෝ මෙසේ ලියයි.
කලෙක මිතුරන්ව සිටියවුන්
කොයි අත ගියාදැයි නොදනිමි
අහෝ දෙවියනි! ඒ කවර දිනයෙද
ඔවුන් අප හැර දා ගියේ?
වසත් කල පැමිණ ඔවුන් ගැන අසයි නම්
‘ඒ සියලු මල් තණපත් බවට හැරුණා’ යි පවසන්න මඳනලට
පොළොවෙන් මල මතු වී බලන කල
අසනු මැන මරණයේ ධූලියට සැඟව ගිය
ඒ මුහුණු දැන් කෙසේ දිසේදැයි
(66 පිටුව)

මිතුරන් සැබෑ මිතුරු භූමිකාවේ සිට හැර යාමේ සහ වෙනත් භූමිකාවලට පරිවර්තනය වීම ‘මල් තණපත් බවට පරිවර්තනය වීම’ ලෙස මෙහිදී කවියාගේ ලෝකය තුළ සංකල්පීකරණයට ලක් වේ. එය විචිත්‍රය; අර්ථ පූර්ණය.
රැය, පෙම්වතිය හා තමා ගැන කවියා මෙසේ ලියයි.
රැය හා මම – මේ මගේ දිවියයි
දොම්නස හා හදවත – මේ මගේ සතුටයි
රැයපුරා බොමි මහදේ රුධිරය
ඇය පිළිබඳ මතකයෙහි රැඳෙමින්
මේ මගේ ළා රත් පැහැ මදිරාවයි
ළඟ නොමැතිකමේ නිදිවැරුම
රැයේ අඳෝනාවට නඟමි මම
මේ මගේ ඉමිහිරි ගීයයි
ශෝකයේ මුල්ලක අඳුරු රෑ කල හා රැඳෙන්නෙමි
මා රහසේ තුටු වන්නේ එතැනය
(30 පිටුව)

ආධ්‍යාත්මික ආදරය, පසුතැවිල්ල හා සොබාදහම රූපක මාලාවක් ලෙස ගනිමින් කවියා මෙහිදී තම අනුභූතීන් පරිකල්පනයට ලක් කරයි. මෙය රූපකාවලියකි. එහෙත්, ජනනය කරන්නේ ධ්වනියයි. ධ්වන්‍යාලෝක විවරණය රචනා කළ ජී.එස්.බී. සේනානායක පඬිවරයා මෙබඳු පැදිවල ඇත්තේ රූපකමය ධ්වනිය යැයි පවසති. එහි සත්‍යයක් තිබේ. රූපක මඟින් ගැඹුරු ධ්වනිතාර්ථ ජනනය කිරීම මෙහිදී සිදුවන බැවිනි. එහෙත්, ඒ සියල්ලටම වඩා මෙහිලා වැදගත් වන්නේ ගැඹුරු ආධ්‍යාත්මික අර්බුදයක් රූපකාවලියකින් නිරූපණය කිරීමට දැක්වූ විශිෂ්ට කවිත්වයයි.
ප්‍රේමය පිළිබඳව ඇති ආත්මීය හා කායික සැමරුම් හා බැඳුණු භෞතික වස්තූන් කවියාගේ ප්‍රති-නිර්මාණයට ලක්වන්නේ මෙසේය:
ඇගේ ලෝගුව ද සාය ද
ඇගේ සමෙහි ගැටෙන කල
ඒ ලෝගුවත් සායත් ගැන
මසිත ඉරිසියාවෙන්ය
ඈ ඉඟිමරයි
ලද නොහැකිය කෙනෙකුට
වැටහීමක් ඇගේ මනස ගැන
එහෙත් දකිනු හැකිය ඇගේ ආත්මය සරනයුරු
ඇගේ සිරුරේ තුනී පිළියට යටින්
පරපුටුවකු සේ යැපෙමි මම එයින්
ඔබ ඔබේ කෙස් කැරලි අතර
මිනිසුන් බැඳ ගන්නා අයුරින්
රැගෙන විත් කඹපටක් දමනු එය මා ගෙල වට
ඇගේ පෙම්වතා, ඇගේ වන්දනාකරුවා
ප්‍රේමයේ නාමයෙන් දිවි පුදන්නකුව මිය යයි
ඔහු ආශිර්වාද ලද්දෙකි
ඔහුගේ මිනිය ඔතනා රෙදිකඩ
රාජකීය ලෝගුවක් බවට පෙරැළෙයි
(77 පිටුව)

ප්‍රේමය මෙහිදී උත්කර්ෂයට නංවාලීමට භාවිත කරන්නේ ඉතාමත්ම අපූරු කාව්‍යෝක්තිය. අපූරු යැයි කියන්නේ එක් අතකින් පන්ති පරතරය, සමාජය ව්‍යුහය නිරූපණය වන අතරම, අනෙක් පැත්තෙන් ආත්මීය සියුම් බව නිරූපණය වන නිසාය. ප්‍රේමය වෙනුවෙන් මියයාම සුෆි දහමේ පැනෙන තත්ත්වයකි. එය හුදු බොළඳ අදහසකින් නොව, ගැඹුරු ආත්මීය අර්ථයකින් ගත යුතුය. වෑන් ගෝ නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියා ගණිකාවගේ ඉල්ලීම පරිදි කනක් කපා ගත් සිදුවීම මෙහිදී අමතක නොකළ යුතුය.
පෙරදිග වේවා අපරදිග වේවා රොමැන්ටික් මනස, ගූඪත්වය හා ආදරය, කාමය අතර ඇත්තේ සංකීර්ණ තත්වයකි. සුෆි සම්ප්‍රදාය තුළ විශිෂ්ට කවිත්වයක් සේ ඉස්මතු වන්නේ එම සංකීර්ණත්වයයි.
තණ්හාව, දානය, දිළිඳුකම ආදිය පිළිබඳවද මෙම සංකීර්ණත්වයේ කොටසක් යොමු වී ඇති ආකාරය පහත උදාහරණයෙන් පෙනී යයි.
ලෞකික භාණ්ඩ අතුරා ඇති තැනින්
ඉවතට ගත් බැවින් අප අපගේ උඩු කබා
ඇඳුම් පැලඳුම් පොදි ගසාගෙන
ගියෙමු අපි යදියන්ගේ මුඩුක්කු පාර වෙත
අභිලාෂයේ උඩු කබා අප විසින්
ඉවතට ඇදගෙන ඇත මුළු ලොවින්
තණ්හාවේ සාක්කු පුරවාලනු නොහැකි හෙයින්
ඒ අභිලාෂය දැන් යටත් වෙයි
උර ගා බලන්නාගේ උරගල
කළු ගලක ගසා බිඳලනු මැනැවි
ප්‍රඥා තරාදියෙහි ලා කිරූ කල්හි
රත්රන් යනු කහවන් මැට්ටකි!
(83 පිටුව)

සිංහල කවිය මේ මොහොතේ පසු කරන දිළිඳු සීමිත අවකාශයේ ඇති වචන, රූපක, සංකල්පවල සංකීර්ණ බව සංලකා බලන විට කුස්රෝගේ කවිත්වය කෙතරම් ප්‍රතිභා සම්පන්න ඌලකින් ගලන්නේද යන්න පැහැදිලිය. මධ්‍යකාලීන යුගයේ පැවැති ස්ථාපිත හර ධර්ම සමඟ කුස්රෝ මතුවෙන්නේ වර්තමාන රැඩිකල් කවියන්ට සිතාගත නොහැකි සංයමශීලී බවින් යුතුවය. එහෙත්, වර්තමාන රැඩිකලුන්ට වඩා ඉතා ගැඹුරින් කුස්රෝ ස්ථාපිතය සමඟ ගැටෙයි. එහි පවතින ජරාජීර්ණත්වයට ඔබ්බෙන් මානව ජීවිතය සුපුෂ්පිත කිරීමට වෙර දරයි.

මධුව හා ප්‍රේමය

ඕමර් ඛයියාම්ගේ ‘රුබයියාට්’ කාව්‍යය කියවා ඇති සිංහල පාඨකයන්ට කුස්රෝගේ පහත සඳහන් නිර්මාණවල ඇති සාරය වටහා ගැනුම අසීරු නොවනු ඇත. ඛයියාම් මධුව හා ප්‍රේමය දෙසට සමීප වීමේ ජීවන දර්ශනයකින් හෙබි අයකු වූ අතර, එය උත්කර්ෂයෙන් සොබාදහම සමඟ මුසුකොට ප්‍රකාශ කළේය.
කුස්රෝගේ පහත කවිවලද ඒ සාම්‍යය දැකිය හැකිය. එහෙත්, ඒ ඛයියාම්ට වඩා වෙනස් වූ කුස්රෝගේ අනන්‍යතාව ප්‍රකට වන ආකාරයෙනි.
පෙර දා රැයේ ඔබ මධු පානය කළේ කොතැනෙකද?
කා හටද ඔබ ඒ මධු බඳුන පිරිනැමුවේ?
රැයේ ගන අඳුර තුළ දී
ඔබ කාගේ යොවුන් උල්පත වූයෙහි ද?
සිත් සේ මධු බී මත්ව
ඔබ කාගේ දෑතෙහි සැතපුණෙහි ද?
එපමණ වාසනාවන්ත වූයේකවරෙක්ද?
කවරකුගේ ඇණැවුම්වලට
ඔබ අවනත වූයෙහි ද?
(100 පිටුව)

ඉන් පසු කුස්රෝ එම කවිය තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙසේ ලියයි.
ඔබේ කෙස් කැරැලි අතරින් ඇඟිලි යැවූයේ කවරෙක් ද?
ඔබේ දෙ ලවන සැපුවේ කවරෙක් ද?
රැය පුරා ඔබ විඩාපත්ව සිටියේ කවරකු සමඟ ද?
ඔබ කාගෛ් ආගන්තුකයා වූයෙහි ද?
(101 පිටුව)

ඉහත සියල්ලම කායික සුඛාස්වාදය උත්කර්ෂයට නංවතත් ඔහු කවියේ අග භාගයේ මෙසේද පවසයි.
අහෝ හදවත!
සියලු මිහිරැති දෑ කොල්ල කා ඇත
ඔබ සිදු කළේ කවරක් ද?
කාගේ මේසයෙහි ඔබ මැස්සා වූයෙහි ද?
කාගේ වැලැපෙන කයෙහි ඔබ
අනෙක් ආත්මය වූයෙහි ද?
කාගේ දැවෙන කය මත ඔබ
ලුණු වැගිරවුයෙහි ද?
(101 පිටුව)

ප්‍රේමයේ කායික පක්ෂය මෙන්ම ආධ්‍යාත්මික පක්ෂයද මෙහිදී කුස්රෝගෙන් ගිලිහී නොයන අතර, සුෆි සම්ප්‍රදාය තුළ පවතින විවිධ සංකීර්ණ – මානසික තත්ව හා දාර්ශනික කියවීම් මෙහිදී ඉස්මත්තට පැමිණෙයි.
ලංකාවේ මධ්‍යකාලීන කවිය බෙහෙවින්ම ආගමික වීමත්, එම සම්ප්‍රදායෙන් යම් තරමකින් හෝ පිටතට ගමන් කළ සන්දේශ කවීන්ට ථෙරවාදී නොවන දාර්ශනික සම්ප්‍රදායක් හමු නොවීමත් තුළ සිංහල කවියට ඛයියාම්ලා හෝ කුස්රෝලා නොවූහ. එහෙත්, වර්තමාන සිංහල කවිය වඩාත් විශ්වීය ප්‍රවණතාවලින් සුපෝෂණය කරගත යුතු අතර, ඒ සඳහා කුස්රෝගේ නිර්මාණ අපට ලබා දෙන්නේ අතිමහත් පිටිවහලකි.
හමාර කීම

ආනන්ද අමරසිරි මෙරට සිටින ඉතාමත්ම කැපවූ විශිෂ්ටතම පරිවර්තකයකු වන අතර, තෝල්ස්තෝයි, දොස්තයෙවුස්කි, තුර්ගිනීව්, ථාගෝර් ආදී මහා ලේඛකයන්ගේ වෙලුම් ගණන් ඔහුගේ පෑනෙන් සිංහල පාඨකයා අතට පත් වී තිබේ.

ඒ අතර ඔහු හර්වංශ් රායි බච්චන්ගේ ‘මධුශාලා’ කෘතිය වැනි විශිෂ්ට කාව්‍ය ග්‍රන්ථද සිංහල පාඨකයාට තිළිණ කරයි. අවාසනාවකට මෙන් සිංහල කවිය පිළිබඳ මහා දාර්ශනික සාකච්ඡා පවත්වන ව්‍යාජ පඬිවරු මෙබඳු පරිවර්තන බිහි වී ඇති බවත් නොදනිති. ඔවුහු සිංහල කවියේ දාර්ශනික බව සිඳී ඇතැයි උඩඟු බොරුකාර කට පූච්චානම් ඇද දමමින් කාලය ගත කරති.
අමරසිරිගේ මෙම ප්‍රතිපාදනය බහුතර සිංහල කවියන් හා පාඨකයන්ගේ නොමඳ අවධානයට ලක් විය යුතුය. මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් ඇති විය යුතුය.