රාවය

ගල්දෝස් පිළිබිඹු කළේ ස්පාඤ්ඤයේ ස්ත්‍රී යථාර්ථයයි – ප්‍රවීණ සාහිත්‍යවේදීනී ඉන්‍ද්‍රානි රත්නසේකර

ගල්දෝස් පිළිබිඹු කළේ ස්පාඤ්ඤයේ ස්ත්‍රී යථාර්ථයයි  –  ප්‍රවීණ සාහිත්‍යවේදීනී ඉන්‍ද්‍රානි රත්නසේකර

සුලෝචනා වික්‍රමසිංහ

ඔබ පරිවර්තය කොට ඇති “නෙලා” නව කතාවෙහි පසුබිම කුමක්ද?

එයට පසුබිම් වුණේ ස්පාඤ්ඤ ජාතික ලේඛකයෙකු වන බෙනිතෝ පෙරෙස් ගල්දෝස් (Benito perez Galdos) විසින් රචනා කරන ලද “මරිය නෙලා” කියන නවකතාවයි. බෙනිතෝ පෙරෙස් ජීවත්වෙන්නේ 1843 – 1920) කියන කාල වකවානුව තුළයි. ඔහු දේශපාලනඥයෙක්, පුවත්පත් කලාවේදියෙක් හා නාට්‍යවේදියෙක්. ලෙසද ජනප්‍රසාදය ලැබූ නිර්මාණකරුවෙක්.
19 සියවසේ හොඳම නවකතා බිහිවුණේ මෙම ලේඛකයා අතින් බව සාමාන්‍ය පිළිගැනීමයි. ඔහුගේ නවකතා දෙවැනි වන්නේ ලෝ පතළ දොන් කිහොතෝ (Don Quijote) නවකතාවේ නිර්මාතෘ සොර්වන්තේස් (Ceyvantes) ගේ නවකතාවලට පමණයි. ගල්දොස්ගේ පුවත්පත් ලිපි හා පර්යේෂණාත්මක නිර්මාණ ටෝල්ස්ටෝයි, බල්සාත් ආදි ගත් කතුවරුන්ගේ ලේඛන හා සමකළ හැකි බව බොහෝ දෙනා පිළිගන්නා සත්‍යයක්. ඒ වගේම 1912 දී ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවීමේ අවස්ථාව දේශපාලන සතුරන් විසින් වළක්වන ලද බවත් කියවෙනවා. කෙසේ වුණත් ඔහුගේ නව කතාවලට තේමා වූයේ මනුෂ්‍යත්වය, නිදහස, දේශපාලනය හා සමාජ අසාධාරණය ඒ වගේම කාමුක නොවන ආදරය ආදී තේමාවන්.
එවකට ස්පාඤඤයේ මධ්‍යම පාන්තිකයන් විසින් ඉතා පහත්කොට සලකනු ලැබූ සමාජ අසාධාරණත්වයට පත්ව සිටි කාන්තාවන්ගේ චරිතවල යථාර්ථය නිරූපණය කිරීම ගල්දෝස්ගේ නව කතාවල දක්නට ලැබෙන ප්‍රධාන ලක්‍ෂණයක්. කාන්තාවන් කෙරෙහි ගෞරවනීයත්වයෙන් සැලකීම සමාජයට හුරු කිරීම ඔහුගේ අභිලාෂය වුණා. මේ ලක්‍ෂණය “මරියනෙලා” නවකතාවෙන් තියෙනවා.
“නෙලා” නවකතාවේ පසුබිම වී ඇත්තේ ගල්දෝස් විසින් මවා ගන්නා ලද නගරයක් ආසන්නයේ පිහිටි කඳුවැටි සහිත කැලෑබද ප්‍රදේශයක්. මේ පසුබිමෙහි ජීවත් වූ දිළිඳු, අනාථ, අවලක්‍ෂණ ළාබාල තරුණියක හා ධනවත් අන්ධ තරුණයෙකු අතර ඇතිවෙන ආදරණීය එහෙත් අනුවේදනීය ප්‍රේම වෘතාන්තයක්. ඒ අතරතුර විශාල හැල හැප්පීම් රාශියක් සිදුවෙනවා. නෙලාගේ අවසානය නවකතාව කියවා හෝ චිත්‍රපටය නරඹා දැකගත හැකියි.

ගල්දෝස් නාමය ලොව වඩාත් ප්‍රචලිතවූයේ ඔහුගේ නවකතා බොහොමයක් සිනමාවට නැගීමෙන් පසුවයි.

එය හරි. අධි යථාර්ථවාදී සිනමාවේ නිර්මාතෘ ලුවිස් බුනෙල් (Luis Bunnel) විසින් ගල්දෝස්ගේ ටි්‍රස්ටානා (Tristana) , නසරින් (Nazarin) , විරිදියානා (Viridiana) යන නවකතා තුන චිත්‍රපටවලට නගනු ලැබුවා. එම නිර්මාණ ජගත් ප්‍රේක්‍ෂකයන් අතර අති සම්භාවනාවට පාත්‍ර වුණා. ඒ වගේම ඒ චිත්‍රපට Oscar හා Canns චිත්‍රපට උළෙලේදී සම්මානයට බඳුන් වුණා. “මරියනෙලා” නවකතාව සිනමාකරුවන් විසින් 1940,1955,1972 යන අවුරුදුවලදී තුන් වතාවක්ම චිත්‍රපටයට නගා තිබෙනවා. ලංකාවේ දැනට ප්‍රදර්ශනය වන “නෙලා” චිත්‍රපටයත් එහි තවත් නිෂ්පාදනයක්. නෙලා චරිතය සිනමාවට පමණක් නොව ටෙලිනාට්‍යවලටද ඔපෙරාවටද නැගී තිබෙනවා. මෙවැනි නිර්මාණ නිසා ගල්දෝස්ගේ සාහිත්‍ය නිර්මාණ ඉතා ශීඝ්‍රයෙන් ලොව පුරා ප්‍රචලිත වුණා.

ලෝක සාහිත්‍ය තුළ ස්පාඤ්ඤ සාහිත්‍යයට හිමිවන වැදගත්කම කුමක්ද?

යුරෝප සාහිත්‍යයේ පුනර්ජීවයත් සමගම තමයි ස්පාඤ්ඤ සාහිත්‍යය වර්ධනය වන්නේ. 19 සියවසේ ඔස්කාර් වයිල්ඞ්, ෂේක්ස්පියර්, රුබන් දරියෝ ආදී මහාගත් කරුවන් විසින් විශිෂ්ඨ සාහිත්‍යය නිර්මාණ විශ්ව සාහිත්‍යයට දායාද කරනු ලැබුවා. යුරෝපා සාහිත්‍යයේ කොටස්කරුවෙකු වන ස්පාඤ්ඤ සාහිත්‍යයේ නුතනවාදී මහා කවියා ලෙස ගුස්තාවෝ බෙකෙර් ඉතිහාස ගත වෙනවා. ඔහු තමයි විදෙස් භාෂාවන් හා එම සාහිත්‍යය ප්‍රගුණ කොට ස්පාඤ්ඤ සාහිත්‍යය නව මගකට හැරවූ නිර්මාණකරුවා. ඔහුගේ RIMASY LEYENDAS (එළිසම කවි හා පුරාවෘත්ත) යන කෘතිය යුරෝපා සාහිත්‍ය අධ්‍යයනයේ පවා යොදවා තිබෙනවා.
1875 දී ස්පාඤ්ඤයේ නව රජයක් පිහිටුවීමත් සමග ආර්ථික හා සංස්කෘතික වශයෙන් රටේ වෙනස්කම් රාශියක් ඇතිවුණා. සාහිත්‍යය විෂයෙහිද නව සංකල්පනා බිහිවෙමින් තිබුණා. 1898 දී නිකර ගුවා ජාතික රුබෙන් දරියෝ මහා කවියා විසින් ස්පාඤ්ඤ සාහිත්‍යයට “නූතන වාදය” හඳුන්වා දෙනු ලැබුවා. එකල මහා කවි අන්තෝනියෝ මචාඩෝ සොබා සුන්දරත්වය මුසු වූ ඉතා උසස් ගi හා පi නිර්මාණය කළා. යුරෝපා සාහිත්‍යයේ හොඳම සෞන්දර්යාත්මක හයිකු කවිය නිර්මාණය වී ඇත්තේ මචාඩෝ අතින් බව PORQUE HAIKU (හයිකු අපට ඇයි) නමැති කෘතියෙහි සඳහන් වෙනවා. ඉන්පසු ජුවාන් රමොන් මහා කවියා විසින් ලියන ලද ” PLATERO Y YO” (බූරූ පැටියා හා මම) යන නූතන කෙටි කතා සංග්‍රහය ඉතා උසස් නිර්මාණයක් බවට පිළිගැනෙනවා. තාක්‍ෂණය දියුණුවීමත් සමග ගමක සංස්කෘතික පරිහානිය පිළිබඳ කියවෙන එම ග්‍රන්ථය වෙනුවෙන් ජුවාන් රමොන්ටය 1956 දී නොබෙල් ත්‍යාගය පවා හිමිවෙනවා. ඉන් පසුව ගාර්ෂියා ලොර්කාගේ “යෙර්මා” “බ්ලඞ් වෙඩින්” “බර්නාධා ඇල්බා” වැනි නිර්මාණ හරහා නූතන ස්පාඤ්ඤ කලාවට ස්වර්ණමය යුගයක් නිර්මාණය වෙනවා.
ඉන්පසු 1936 සිවිල් යුද වාතාවරණය සමග මිගෙල් හෙර්නැන්ඩෙස් කවියා විසින් යුද්ධයේ බිහිසුනු බව, යුද සොල්දාදුවන්ගේ කායික හා මානසික පීඩාවන්, මරණය, ඝාතනය ආදිය පිළිබඳ උසස් පi රචනා නිර්මාණය කරනු ලැබුවා.

නවකතාව පිළිබඳ කතා කළොත් 16 වැනි සියවසේ බිහිවූ සෙර්වනතේස් ලේඛකයා අතින් ලොව විශිෂ්ඨතම පරිපූර්ණ නව කතාව වන “දොන් කිහෝතේ” (DON Quijote) බිහිවෙනවා. එදා මෙදා තුර ලොව වඩාත් අලෙවි වූ ග්‍රන්ථය ලෙස “දොන් කිහෝතේ” බවට වාර්තා ගත වී තිබෙනවා. ඉන් පසු 19 වැනි සියවසේදී යුද්ධය හා සාමය පිළිබඳ ලියවුණ හොඳම කතාව ගල්දොස් ලේඛකයාගේ FORTUNATA Y JACINTA (වාසනා හා ජයසින්තා) ලෙස පිළිගැනෙනවා.
20 සියවසේ එනම් පශ්චාත් යුද සමයේ (1939 -1975) නූතන ස්පාඤ්ඤ සාහිත්‍යයෙහි කැපී පෙනෙන නවකතාකරුවන් වශයෙන් උනමුනෝ (Unamuno) ඩෙලි බේස් (Miguel Delibes) සෙලා (CAMILIO JOSE CELA) ආදි ලේඛකයන් සැලකිය හැකි වෙනවා. ඩෙලිබේස්ගේ LACOLMENA (මීවදය) නමැති යථාර්ථවාදී නවකතාව ගමෙන් නගරයට මාරු වී දිවි ගෙවූ මිනිස් ජීවිතවල අත්දැකීම් ඉතා කදිමට නිරූපණය වෙනවා. සෙලාගේ “පස්කුවාල් ඩුවාර්තේ පවුල” (LAFAMILA PASCUAL DURATE) නව කතාව පශ්චාත් යුද සමයේ බිහිවූ මුල්ම විශාලතම සිදුවීම් රැගත් නවකතාව බවට පිළිගැනෙනවා. කමිලියෝ හෝසේ සෙලා 1989 දී නොබෙල් ත්‍යාගයට පමණක් නොව මුල් කාලීන ස්පාඤ්ඤ සාහිත්‍යයට පවා විශ්ව සාහිත්‍යයෙන් ඉතා වැදගත් තැනක් හිමිවෙන බවයි. ඒ නිසා තමයි මම හැම විටම ස්පාඤ්ඤ සාහිත්‍යය අපේ සිංහල පාඨකයින් හට හඳුන්වාදීමට නිරතුරුවම උත්සාහ කරන්නේ. හැබැයි මගේ පරිවර්තන ක්‍රමවේදයෙහි විශාල වෙනසක් තියෙනවා.

ඒ මොකක්ද?

මගේ පුස්තකාලයේ ස්පාඤ්ඤ සාහිත්‍යය ගැනව ඉංග්‍රීසියෙන් ලියවුණු කිසිම පොතක් නැහැ. ඒ වගේම අන්තර්ජාලය හරහා මා කිසිම තොරතුරුක් ලබාගන්න උනන්දු වෙන්තෙත් නැහැ. මා ස්පාඤ්ඤ සාහිත්‍යය කියවන්නේ ස්පාඤ්ඤ බසින්මයි. මගේ පරිවර්තන කටයුත්තට මා යොදා ගන්නේ මුල් ලේඛන පමණයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගාර්සියා ලොර්කාට ඔහුගේ ජීවන පුවත් කල් ඇතිව ලියා තබන්නට බැරිවුණා. සිවිල් යුද්ධයේ බිල්ලක්ව ඔහු අකාලයේ මිය ගියා. ඔහුගේ මිතුරන් විසින් LAVIDA (ජීවිතය) නමින් ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. මා විසින් සම්පාදනය කරන ලද ‘ගාර්සියා ලෝර්කා’ ග්‍රන්ථයටත් පුවත්පත් ලිපි සඳහාත් මා තොරතුරු ලබාගත්තේ ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත එම ග්‍රන්ථයෙන්. එම ග්‍රන්ථය මට එවා තිබුණේ ගාර්සියා ලෝර්කාගේ මිනිබිරිය සේවය කරන ගාර්සියා ලෝර්කා පදනම් ආයතනයෙන්. ඒ නිසා ඒ පරිවර්තනවල නැවුම් බවක් තියෙනවා කියලා මම හිතෙනවා.
අනිත් කරුණ තමයි ස්පාඤ්ඤ බසින් ඉංග්‍රීසියට පෙරළද්දී ලේඛනයේ රසය මුල් ලේඛනයේ රසයට සමාන නොවන බව මට දැනීම. ඒ බව චිලියේ මහා කවි පබ්ලෝ නෙරුඩාත් කියා තිබෙනවා. මා මෙතෙක් වැඩි අවධානයක් දක්වා තියෙන්නේ ස්පාඤ්ඤ සාහිත්‍යය ආරම්භයේ සිට විසි වැනි සියවස දක්වා බිහි වී ඇති ලේඛකයින් හා ඔවුන්ගේ නිර්මාණ ගැනයි. ඒ පිළිබඳ ඇතැම් තොරතුරු අන්තර්ජාලයට පවා ඇතුලු කර ඇත්තේ ඉතා මෑත කාලේදී ඒත් ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණයි.

මා ස්පාඤ්ඤයේ කලක් විසීම නිසා එරට ගැන සමාජය ගැන, නගර, පළාත් ආදිය ගැන මට සෑහෙන අවබෝධයක් තියෙනවා. ඔවුන්ගේ සංස්කෘතියෙහි සුල මුල ගැන මම දන්නවා. තවත් සොයමින් ඉන්නවා. ස්පාඤ්ඤ භාෂාව හා සංස්කෘතිය මා හදාරා තියෙනවා. එම නිසා ස්පාඤ්ඤ බසින්ම සිංහලයට මා නගන ලේඛන සාර්ථක ඇති කියා මම හිතෙනවා.