රාවය

ආපසු හැරී ඒම

ආපසු හැරී ඒම

පියන්කාරගේ බන්දුල ජයවීර

සහෘදස්පන්දන

ඉහට හෙවණක් තනන්නට සිතමි
අල්ලකට තරම් වූ බිම්කඩට
නගරයට ණය ගෙවමි
සොයා ලී දඬු උපන් ගමට යමි
මහලු මඩමක් සදිසි
වල්බිහි ව ගියා වූ
මහ ඉඩම දැක ගනිමි
සමවියේ කොස් ගසක් ළඟ හිඳිමි
මිතුර නුඹ, අද ඉතින් නගරයට එක්ක යමි
මුල් පාද ගනු පිණිස බිම කණිමි
මුල් ම පමණක් ම නොව
තව බොහෝ දේ දකිමි
හැළි වළං කටු අතර එදා සැප – දුක ඉදුණ
රබර් තන පුඩුවක් ය සූප්පුවකැයි කියන
අනේ අම්මා නැති ව හැඬූ සිත අස්වැසුව
දිවා රෑ සෙනේහෙන් එක දිගට කිරි පෙව්ව
බිඳී ගිය බෝතලයට ම ඇලීගෙන උන්න
රබර් තන පුඩුව මවු කෙනෙකු නොවෙ දෝ මැරුණ
නුඹලා ද කරදණ්ඩ මහත් වූයේ මෙලෙස
ඇගෙන් කිරි බී නොවෙ ද වැඩුණු කොස්ගස කියව
එක තනේ උරා බී ලොකු මහත් වූ එකට
අත තියන්නේ කොහොම සහෝදරයිනි තොපට
යන්ට යමි හිස් අතින් හැරී යළි නගරයට

– රත්න ශ්‍රී විජේසිංහ –

(‘වස්සානෙන් පසුව’ කාව්‍ය සංග්‍රහය – 2017)

අප රටේ වෙසෙන බොහෝ නාගරිකයෝ ඇත්ත වශයෙන්ම උපතින් නාගරික නොවෙති. ඔවුන්ගේ ‘මුල්’ ඇත්තේ ගමේ ය. ගමක ඉපදී හැදී වැඩී තරමක් ලොකු මහත් වූ පසු යම් පුද්ගලයෙකු අධ්‍යාපන හා රැකියා අවශ්‍යතා වෙනුවෙන් නගරයට සංක්‍රමණය වීම බොහෝ විට සිදුවේ. එසේ සංක්‍රමණය වන පුද්ගලයා ගමට වැඩි ‘යමක්’ නගරයේ දී භුක්ති විඳීම තුළ තම ජීවිතය, නගරය තුළ ම ස්ථාපිත කර ගන්නට සිතයි. ගමේ දී හොඳින් ඉඩකඩ හා ගස්කොළන් වලින් බහුල ඉඩමක් සහිත නිවෙසක විසූ ඔහුට නගරයේ දී කූඩු වන්නට සිදුවන්නේ පර්චස් 10 – 12 (අල්ලක් තරම්) බිම්කඩ- ක ය. එය මිලට ගන්නට සිදුවන්නේ ද හතර අතේ ණයවීමෙනි. මන්ද? නගරයේ ඉඩම් මිල අධික බැවිනි. ඇතැම්විට තමා නගරයේ ගොඩනඟන නිවෙසට අවැසි ලී දඬු සපයා ගන්නේ තමා විසූ මහගෙදර ඉඩමේ ඇති ගස් උගුල්ලා කපා ගැනීමෙනි!

ප්‍රවීණ කිවියර ‘රත්න ශ්‍රී විජේසිංහයෝ’ තම නවවැනි (9) කාව්‍ය සංග්‍රහය ‘වස්සානෙන් පසුව’ නමින් එළිදක්වා ඇත. එහි ඇතුළත් ‘ආපසු හැරී ඒම’ නමැති කවිය, අප ඉහත සඳහන් කළ ආකාරයට ගමෙන් නගරයට සංක්‍රමණය වූවෙකුගේ: ආධ්‍යාත්මය හෙළි කරන්නකි. එහෙත් මේ කවියේදී අපට හමුවන මිනිසා (මේ අප කවියාම විය හැක?)
වර්තමානයේ අපට හමුවන සුලබ ‘මජර’ මිනිසා නොවන බව ද කිව යුතු ය.
කවියා ගෙයක් තනන්නට කල්පනා කරයි. අමාරුවෙන් මිලදී ගත් කුඩා ඉඩම් කැබැල්ල මුළුමනින්ම තමා සතු කර ගැනීමට තව සෑහෙන කාලයක් ණය ගෙවිය යුතු ව ඇත. ඉතින් තැනීමට අදහස් කරන නිවෙසට අවශ්‍ය ලී දඬු ටිකවත් මහගෙදර ඉඩමෙන් සපයා ගතහොත් එයම මහත් සහනයක් වනු ඇත. ඉතින් ඔහු ගමේ මහ ඉඩම බලන්නට යයි. එය වල්බිහිවී ඇත. කවියා එය දකින්නේ, නොසැලකිල්ලට ලක් වූ මහලු මඩමක් ලෙසයි;

‘ඉහට හෙවණක් තනන්නට සිතමි
අල්ලකට තරම් වූ බිම්කඩට
නගරයට ණය ගෙවමි
සොයා ලී දඬු උපන් ගමට යමි
මහලු මඩමක් සදිසි
වල්බිහි ව ගියා වූ
මහ ඉඩම දැක ගනිමි’

තමාගේ ම වයසේ තරම් වූ කොස් ගසක් තෝරා ගන්නා කවියා එය නගරයට රැගෙන යාමට අදහස් කරයි. ඒ සඳහා ගස උගුල්ලා කපා කැබැලි කොට ගත යුතු ය. ගසේ මුල් පාදා ගැනීමට බිම කැණීමේ දී මුල් ම පමණක් නොව තව බොහෝ දේ කවියා ට හමුවේ.
‘සමවියේ කොස් ගසක් ළඟ භිඳිමි

මිතුර නුඹ, අද ඉතින් නගරයට එක්ක යමි
මුල පාද ගනු පිණිස බිම කණිමි
මුල් ම පමණක් ම නොව
තව බොහෝ දේ දකිමි’

ඉතින් අප කවියා දකින ‘තව බොහෝ දෑ’ මොනවාද

එදා ඔවුන්ගේ අහර පිණිස බත ඉදුණු හැළි වළං ආදියේ කැබැලි ය. (කවියා එය කියන්නේ ‘සැපදුක ඉදුණු’ ලෙසයි. මේ වළං කටු අතර තිබී තවත් බොහෝ වැදගත් ‘පුරා වස්තුවක්’ හමුවේ. කවියා කුඩා කාලයේ දීම ඔහුගේ මව මියගිය බැවින් ඔහු කිරි බිව්වේ ‘රබර් තනි පුඩුව හෙවත්, සූප්පුවෙනි! මේ නටබුන් අතර තිබී ඒ සූප්පුව ද හමු වේ! මේ එදා ඔහුට දිවා රෑ සෙනෙහෙන් යුතුව එක දිගට කිරි පෙවූ සූප්පුවයි. කවියා සමග උස් මහත් වූ කොස්ගස ද ඔහු මෙන් ම කිරි බී වැඩෙන්නට ඇත්දෝ යි ඔහු විමසයි. කොස් ගස වැඩෙන්නේ පොළොවේ සාරය උරාබීගෙන බැව් සැබැයි. එහෙත් කොස්ගසේ මුල් විහිදී ගියතැන කවියා කිරි බිවු සූප්පුවද තිබී හමුවීමෙන්, කොස් ගසද, මේ සූප්පුවෙන් කිරි බී වැඩෙන්නට ඇතැයි කවියා අදහස් කරයි;

‘හැළි වළං කටු අතර එදා සැප – දුක ඉදුණ
රබර් තන පුඩුවක් ය සූප්පුවකැයි කියන
අනේ අම්මා නැතිව හැඬූ සිත අස්වැසුව
දිවා රෑ සෙනේ සෙනේහෙන් එක දිගට කිරි පෙව්ව
බිඳී ගිය බෝතලයටම ඇලීගෙන උන්න
රබර තන පුඩුව මවු කෙනෙකු නොවෙදෝ මැරුණ
නුඹලා ද කර දණ්ඩ මහත් වූයේ මෙලෙස
ඇගෙන් කිරි බී නොවෙද වැඩුණු කොස්ගස කියව’

කවියා පැමිණියේ තමා නගරයේ ගොඩනඟන නව නිවෙසට ලී දඬු රැගෙන යාමට ය. එහෙත් ඔහුට මුලිනුදුරා රැගෙන යාමට සිදුව ඇත්තේ තමා සමග එක තනයේ කිරි උරා බී වැඩුන සහෝදරයෙකු බඳු වූ කොස් ගසකි. දේවල්වල හුදු ප්‍රයෝජ්‍ය වටිනාකම පමණක් මනින ලෝකයක, ගහකොළ කෙරෙන් වුව ආධ්‍යාත්මික, සංස්කෘතික වටිනාකම් දකින්නට හැකිවනුයේ කවියෙකුගේ හදවතට ම ය! ඉතින් කොස්ගස උගුල්ලා කපා ගැනීමේ අදහස අත් හරින අප කවියා හිස් අතින් යළි නගරය බලා යයි.
ඉන්න හිටින්නට ගේ දොරක් නැති වුවත් ඔහුට කොස්ගස සෙවණ සලසනු ඇත.

‘එක තනේ උරා බී ලොකු මහත් වූ එකට
අතතියන්නේ කොහොම සහෝදරයිනි තොපට
යන්ට යමි හිස් අතින් හැරී යළි නගරයට
ගේ දොරක් නැතත් හැකි ඉන්ට නුඹෙ හෙවණ යට’