අලි ඇත්තු සහ බෝසත්තු

ශාන්ති දිසානායක

කඩුල්ලේ එල්ලූ කොහොඹ ඉත්ත ගුරු පාරේ යන එන මනුස්ස පරාණ තැති ගන්වන සුළුය. අට අනූවක් රෝග හා ව්‍යාධි කැන්දාගෙන එන වයිරස් මෙන්ම බැක්ටීරියා ගැන හාංකවිසියක් නොදත් ගංගොඬේ ඇත්තෝ දෙවියන්ගේ උදහසට ලක්වූ බව සිතමින් ඒ දෙවියන්ගේ පිහිටාධාරයම අපේක්‍ෂාවෙන් යන්තර මන්තර බලිතොවිල්, ගුරුකම්, සෙත් ශාන්ති පසුපස්සේ ලුහු බැඳ ගියහ.
මහගෙදර හැත්ත බුරුත්ත මත්තේද දේව කරුණාව වෙනුවට දේව උදහස කඩාපාත් වූණේ අත්වැරදි හා කටවැරදි හේතු කොට ගෙනද? නැතහොත් දෙවියන්ගේ කඩප්පුලිකමටද?

“දොහක් නෑර මං මලක් පහනක් තිබ්බේ නැද්ද දෙයියනේ. එක කටක් උගුරෙන් පල්ලෙහාට යැව්වාද දෙයියං පංගුව නොදී…? මොන වැරැද්දක් කෙරුවටද හත් දෙයියනේ මේ අලි ඇත්තු වාගේ ඉළන්දාරි ලෙඩ කෙරෙව්වේ?’යි මුත්තම්මා විස්සෝප වුවද කිරි අම්මා කරබාගෙන කළ පුතු කෙම්පහන් එකක් නෑර එයාකරයෙන් ඉෂ්ට සිද්ධ කළාය.

“මදැයි …. ලෙකු එකා හිරේ විලංගුවේ…. උක්කුනුයි පුණ්ණයි දෙන්නටම දෙයියංගේ ලෙඩ..’ යි ළතවෙන්නටවත් උන්දැට වෙලාවක් වගේම උවමනාවක්ද තිබ්බේම නැත.
“චුට්ටෝ …. උඹ තාත්තත්තෙක්ක දම්පිටියේ පලයං මේ අහළකවත් නොහිට…”

ගෘහමූලිකයා සහ බඩපිස්සා ගෙදරින් පිටමංකරන්නට වගබලාගත් කිරි අම්මා ඒ නපුරු ලෙඬේ එක්ක ඔට්ටු වුණේ සතුරු සේනාවකට නොබියව මුහුණ දෙන අභීත සෙබළියක් වාගේමය.
“ලෙඞ්ඩුයි ළමයිනුයි බබලත්තුයි එක්ක උඹ මොකක් කොරන්ඩ හිතාගෙනද ඉන්නේ ලීලම්මේ? මෙහෙං කුඹුර එහෙං හේන…. අපුච්චියේ මගේ ඉස්ගෙඩිය කැරකෙනවා ඕසෙට…. අම්මාපල්ලා.”

මුත්තම්මාගේ හැවිල්ල නොතැකූ කිරිඅම්මා “ගෑනුන්ට, ළමයින්ට මොන වසංගතේ හැදුණත් මොකදැ.. ගෙදර පිරිමියානේ කෙළිං කටිං ඉන්ඩෝනෑ… කොයි තුත්තුකුඩියේ හරි යවලා මහ මිනිහයි බඩපිස්සයි මේ අණ විණ අපල උපද්දරවලිං බේරාගන්ඩෙපැයි අම්මේ” යි වග උත්තර බැන්දාය.

මුත්තම්මා කර වටාලන තුවා කබල දැනටමත් කඳුලින් තෙතබරියම් වී තිබේ.

“ඒ ඔක්කෝම හරි කියමුකෝ… මට කියාපංකෝ උඹ පැල් රකින්නේ මොකද කියලා.”

කිරි අම්මාගේ දිදුලන දැස යොමුවන්නේ මිණිබිරිය වෙතය. වෙර යොදා ඔන්චිල්ලාව පදින කල බඩ පපුව දැවී යන්නා වාගේ කෙල්ලගේ කෝටු බෝටු ශරීර කුඩුව සලිත වී ගියේය.
“රෑට රොටී කාලා යනවද? ගිහිං කවනවද?”

කෙල්ලගේ ඉස් ගෙඩියේ මල් උයනක් පිපී සැලුණාට සැක නැති.

“ඇයි? උඹලා කොයි ලෝකේ යන්ඩද මේ හැන්දැවේ? හෙන්දිරික්කා මල් පිපුණා විතරයි මුත්තම්මාගේ ඇස් සැකයෙන් හැකිළේ.’‘

“අපේ අම්මා කෙල්ලෝ දිහාවේ ඇහැ ගහගෙන හිටියොත් හොඳයි. කෙහෙල් ඉරුවේ වැටීගෙන හරි කොල්ලෝ ගෙයි ඉන්න හිංදා මට එහෙමට බයකුත් නෑ.”

ඇඟ හැම තැන මතුව ආ කුඩා ගෙඩි පිපිරී වේදනා ගෙන දෙන්නට වූ බැවින් උක්කුං මාමා රෑ දාවල් වැතිරී ඉන්නේ කෙහෙල් කොළයක් මතය. කහ වතුර ඉසිමින්ද පත්තිනි මෑණියන්ට බාර හාර වෙමින්ද කොහොඹ ඉති දිනපතා අලුත් කරමින්ද ලෙඩා දුකා හා වින කැටූ දෙවි දේවතාවුන් අතර හොඳහිත වර්ධනය කරන්නට වෙහෙසෙන්නී, මුත්තම්මාමයි. ඒ ඇබිත්තං නාකි ගෑනියි. උන්දැගේ කෙළවරක් නැති යාතිකා යාදිනි ආදියට ඇහුම්කන් දෙන්නට නම් ඒ බලගතු දෙවි දේවතා ගොල්ලගේ දිව්‍ය ශරීර පුරා දිව්‍ය කන් කප්පරක් තිබිය යුතු බව කෙල්ලට සිතෙයි. එකල්හී මහ හයියෙන් බිම පෙරළෙමින් හිනැහෙන්නට පසුබට නොවන කෙල්ල ඒ හතර හිනාවට හේතු කාරණා පහදන්නේම නැත. දේව උදහසට වඩා මැහැල්ලගේ ඇතැඟිලි අග රුදුරු ටොකු මුරයට ගොදුරු වන්නට ඇය බියය.

“යන තැනක් නොතැනක් කියලා ගියා නං නොවෙද හොඳ” මුත්තම්මා බැළලියක වාගේ දියණියද මී මිණිබිරියද වටා කැරකෙයි.

“නේන ගමං යනවා නෙමේ අපේ අම්මා” යි ලිස්සා ගියා මිසක කිරි අම්මා හරිහමං උත්තරයක් නොදුන්නා ය.

“මං ඉංතීරුවෙංම කියන්නේ. උඹෝය ඇටිකිච්චිත් ඇන්න යන්ඩ තනන්නේ හේනට.”

“මොකෙක් හරි පැල් රකින්ඩෙපැයි. ගෙදෙට්ට වෙලා වක ගහගෙන බුදියාගෙන ඉඳලා හරියනවෑ…”

ගැහැනියගේත් මැහැල්ලගේත් බහින් බස් වීම ඇහැකට කන ඇරගෙන අහන දකින කෙල්ල නොසන්සුන් වෙයි. අපමණ ආශාවෙන් අපේක්‍ෂා කළ ගමනට තහංචි වාරණ අණපණත් පැනවේදැයි නොසතුටින් ඇය මුව හකුළාගනී.

“සීවරං දෙයියනේ”

අතක් නිකටේ හොවාගත් මුත්තම්මා මුළු මහත් සියොළඟින්ම විමතිය පළ කළාය.

“උඹ වන්නා ගැනියෙක් ගැනු කවද්දැ බං පැල් රැක්කේ.”

කිරි අම්මාගේ මුව අවඥාවෙන් ඇදවෙයි.

“අනේ නිකං ඉන්ඩම්මේ ගැනු පිරිමි බලලා බෑ මේ වගේ අබග්ගයක් කඩා පාත් වෙච්චහම. කොල්ලංට කෙල්ලංට කියන්ඩෝන්නෑ. මේ කියි මායි පිංකං ගේක ගියා කියන්ඩ බැරියැ.”
මුත්තම්මාගේ ඇස් ගෙඩි කෙල්ලගේ ඉස් මුදුනේ සිට දෙපතුල දක්වා සක්මන් කරයි.

“කිරි බුදු අප්පේ… මේකි පැල් රකින්ඩ එක්කාන ගිය බවක් දැනගත්තොත් එහෙම කඬේ පුතාගේ බොකු බඩවැලුත් උණුවෙලා කැකෑරිලා යයි.”
කිරි අම්මා පං මල්ල අතින් ගත්තාය.

“කව්ද කියන්නේ? නොකියන තාක් කල් කොහොමද දැනගන්නේ.? ගඟේ මූදේ දැම්මා වගේ රැකගන්ඩ අපේ අම්මා දැනගන්ඩෝනෑ.”

මුත්තම්මා බය බීතව බලා ඉද්දී කිරි අම්මා කෙල්ලගේ කෝටු අතක් ඩැහැගත්තාය.

“යමං කෙල්ලේ යන්ඩ ”

ඒ වචන හුදු වචන පමණක් නොවීය. කනට වත් කළ මී පැණි මිස.

කැකිරි ගාල පසුකර යන අතරතුර කිරි අම්මා අමල්බිසෝගේ කතාන්දරය කියා දුන්නාය. වට්ටක්කා සාවිය දුටු හැටියේ වට්ටක්කා දළු ඇඹුලේ රහගුණ කියා පෑවා ය. බණ්ඩක්කා කොටුව පසු කරන තෙක්ම බණ්ඩක්කා කරල් කැපිල්ලේ දුක විස්තර කළාය. බණ්ඩක්කා කරලේ සිහින් බූව ගැවුණ හැටියේ ඇඟ පත කසන බව උන්දැ කියද්දී කෙල්ලගේ ඇබිත්තං කයද කසනවා කසනවා වාගේ දැනුණි.

කොමඩුගාල ඔවුන්ගේ සා පවස සංසිඳුවාලීය. අන්තිමේදී පලු ගහ මුදුණේ ඇබිත්තං පැළේ හිඳගත් කළ කිරුළු දරන්නා වාගේ තේජසක් ඇති වූයේ කෙලෙසදැයි කෙල්ල නොදත්තාය. කිරි අම්මා බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්නට ඕනැ වුවද ඇය හිනැහුණා පමණි.

“යාංතං කළුවර වැටෙද්දී ඉතිං හතර වටේ සවුම්මියයි. ආකහෙත් මඟුල් ගෙයක් වාගේ ලකේට පාට පාටින් දිලිහෙනවා. හැබැයි කෙල්ලේ කළුවර මෝරනකොට බකමුණෝ හ්ම් හ්ම් ගානකොට නරි විලාප තියනකොට පපුව ගැහෙනවා.”

බියකට වඩා කෙල්ලට දැනුණේ කුහුලකි.

“කිරියම්මා පැල් රැක්කා ද?”

උන්දැ හිස සැලුවේ මුව’ග මනමාල හිනාවකුත් එක්කමය.

“නැතුව… උඹලගේ කිරියත්තා හාපුරා කියලා මං කැන්දාගෙන ආවේ හේනට… හේනේ පැළට…. ඒ කාලේ තිබ්බ පැළ මීට ලොකුයි. දිරලම ගියා… පස්සෙං පහු හැදු පැලක්නේ මේ..”
පලු ගහමුදුණේ පැළක් තුළ මධුසමය ගෙවූ ගැහැනියක දෙස කෙල්ල පුදුමයෙන් බලා සිටියාය.

“අපේ අම්මලා අක්කලා අයිය නඟාලා විතරක් යැ.. ඒ කාලේ රාස්සගලිං උපුටීයෙං නෑයෝ ආවේ වේයෝ ගානට… අලුත් ජෝඩුවකට කියාපු තැන… ලබ්බේ තොයිලේ වාගේ. හේනට නෑවිත් වෙන මොකක් කොරන්ඩදැ අපි?” ඒ ආල පුරා කතා බතා නොවැටහුණ කෙල්ල ඇස් ගෙඩි උළුප්පාගෙන බලා සිටියේ කළුමකළු දොදොලයක් වාගේ හේන්යාය දිහාය. කැකිරි පිපිඤ්ඤා, වට්ටක්කා, බණ්ඩක්කා, මක්ඤොක්කා කොහි සැඟවුණේද? සියල්ල ඒ කළු දොදොල් පට්ටය තුළ ගිලී ගිය බවක් ඇදහිය හැකිද? අන්තිමේදී දොදොල් පට්ටය සලිත විය.

“අලියා”

කිරි අම්මා රහසින් කොඳුළාය.

හීං මුත්තප්පාගෙන් උගත් අලි මන්තරය මතක් කරන්නට දැරූ වෙහෙස අපතේ ගියේය.

“මතක නෑ…. මතක් වෙන්නෙම නෑ…” යි කෙල්ල මහ හඬින් කෑ ගෑවාය.

“මොකක්ද ? මොකක්ද අමතක වුණේ?”

කිරි අම්මාගේ උච්ච ස්වරයේද පුදුමය හා කුහුල ගැබ්ව තිබිණ.

“මන්තරේ අලි මන්තරේ’

“මොන මන්තරද බං? මන්තර මතුරන්නේ ඇහැට ඇහැට මුලිච්චි වුණහම… අලි ඇහැයි මනුස්ස ඇහැයි. මේ අටපල් කළුවරේ අහවල් ඇස්… ඇස් ගෙඩි තියා ගල්ගෙඩිවත් පෙන්නෙනෑ…”
භීතිය කවරාකාරදැයි කෙල්ල පසක් කරගත්තේ ඒ රෑ රාත්තිරියේ පලු ගහ මුදුනේ පැල්කොටය තුළදීය.

“බයයි…. මට බයයි…” යි ඇය ඇත්තම කීවාය.

“ඉතිං වෙව්ල වෙව්ලා ඉඳලා හරියන්නෑ…. කෑ ගහපං… යටිගිරියෙං කෑ ගහපං… බඩිගින්නට තමා අලි ඇත්තු හේනට එන්නේ… ඒත් ඉතිං අපිට ලොකු අපේ බඩිගින්නනේ දෙන්නත්තෙක්කම හූ කියමු.”

ගැහැනියත් කෙල්ලත් ගිරිය යටින් හූ කී අතර දොදොල් පාළුවය. කපාලන පිහිතලවාගේ ඇතින් මෑතින් පන්දම් හුළු අතු ආදියේ ආලෝකය උස් පහත් විය.

බඩකට පුරවාගන්නට ඉඩ නොදුන් අරුම පුදුම දෙපාවන් කෙරෙහි විරෝධය හා අප්‍රසාදය දක්වන්නාක් මෙන් හඬ නැගූ ඒ දැවැන්ත සිව්පාවා පළා ගියේය.

“අනේ ඉතිං තිරිසනා කොහොමද දන්නේ මේ මනුස්ස අපේ වැට මායිං…. ගොයිතැං අරවා මේවා ගැන… උං හතරදිග්බාගේ කරක් ගහන්නේ ලෝකේ ලොකුම ගින්න නිවාගන්ඩ. අපිත් ඉතිං කවදා හරි හොස් ගාලා හුස්ම ඩිංගපිට වෙලා යනකං කොරන්නේ ඒකමනේ.” යි කී කිරි අම්මා හූල්ලා වැටුණාය.

කෙල්ල වේගයෙන් ගැහෙන සිතින් කයින් උන්දැට තුරුළු වී පහළ අන්ධකාරය නොව ඉහළ අන්ධකාරයේ දිළිසෙන අනේක තාරකා දෙස ඇසි පිය නොහෙළා බලා සිටියාය.

“අපා දෙපා සිව්පා සත්තු සේරෝමත් හරි…. අලි ඇත්තුත් හරි මේ මහ පොළොව මතු පිට ඉන්නා ලොකුම සතා… ඉතිං උං ඉන්ඩ මහ විසාල ඉඩකඩක් ඕනෑ… කන්ඩ කැලේක අතු කොළ ඕනෑ… මනුස්ස සතාට ඒ ටික නිච්චි නිනව් නැතුව ගිය දාක ඔය තිරිසන්නු වයිර බැඳගන්නැද්ද බලපං… එදාට එක එකා හොඬෙං උස්සලා පොළොවේ ගහන්නේ. බලාපං බොරුද කියලා.”

හේනට කඩා වැදි දැවැන්තයා පළවා හළ ගැහැනිය සොම්නසින් නොව සන්තාපයෙන් කතා කළාය. අලි ඇතුන් කෙරෙහි අපමණ ගෞරවාදරයක් ජනිත කරන්නට සමත් වූ උන්දැගේ ඒ කතා බතා කෙල්ලට කිසි කලෙකත් අමතක නොවන බව එදා ඒ සිහි කටයුතු රාත්‍රියේ පොළොවෙන් අඩි විස්සක් පමණ ඉහළ අවකාශයේදී කිසිසේත් නොසිතුවාය.

මෙදා අපි දකින්නේ මොනවාද? ඒ නූගත් ගැමි ගැහැනියගේ අනාවැකිය සැබෑ වී නැද්ද? පරම සතුරුවන්නට අලි ඇත්තුන්ට ඕනෑ තරම් කරුණු කාරණා නැතුව නොවේ. වේගයෙන් අහිමි වන වනාන්තරය මෙන්ම ආගමික කටයුතු සඳහා යොදා ගැනීමද ඒ විශාල ක්‍ෂිරපායි. සත්ත්වයා පීඩාවට පමණක් නොව දුකෙන් දුකට පත් කරවන බව දැකිය හැක. ජනාවාස උදෙසා වනාන්තර සහමුලින් විනාශ කිරීම වලක්වාලන්නට නීතිරීති අණපණත් උවමනා වන්නාක් ලෙසින්ම පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගි කරවා ගැනීමද සම්බන්ධයෙන් ආගමික් පූජකයන් හා බැතිමතුන් නැවත සිහි බුද්ධියෙන් කල්පනා කළ යුතුය.

අහිංසාව පදනම් කරගත් බුද්ධ ධර්මය වර්තමානයේදී කොතරම් විපරීතව ඇද්දැයි කිවහොත් විචාර බුද්ධියෙන් කල්පනා කරන්නෙකු විවිළිසර වනවා පමණක් නොව සංවේගයෙන් ඇළලෙනවා නිසැකය.
සියළු සත්ත්වයන් නිදුක් දිරෝගී වේවායි ප්‍රාර්ථනා කරමින් හා මෙත් වඩමින් පස්සල් තුළ කුඩා ඉඩක ඒ දැවැන්තයා ගාල් කිරීමෙන් නොනැවතී පෙරහැරේ ගමන් කරන්නට සැලස්වීම කොතරම් අමානුෂිකද? ඝෝෂාකාරී හා ජනාකිර්ණබව සතෙකු නොසන්සුන් කරන්නටද ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නටද තුඩු දෙන බව වටහාගන්නට බුද්ධ පුත්‍රයන් පවා අපොහොසත් වීම කොතරම් උත්ප්‍රාසය දනවන කරුණක්ද? ඉහත කී සියලු සත්ත්වයන්ට අන්‍ය ජාතිකයා හා ආගමිකයා මෙන්ම අලි ඇතුන්ද අයත් නොවන බවයි පෙනී යන්නේ. හයවන සයවසේදී භාරතය වෙළාගත් කුලභේදය ප්‍රමුඛ බමුණු මත සමග අභීතව අරගල කළ සිද්ධාර්ථ කුමරු පසුව බුද්ධත්වයට පත්ව මිනිසා උපතින් බ්‍රාහ්මණයෙකු හෝ වසලයකු නොවන බව පහදා නොදුන්නේද? සැබැවින්ම බුදු හිමියන් කිසිවිටෙකත් මෙවන් සත්ව හිංසාවක් අනුමත කරන්නේද යන වග බෞද්ධයන් යළි යළිත් සිතා බැලිය යුතුයි නේද?

ධාතු කරඬුව වැඩමවීම සඳහා මේ ශාක භක්ෂක දැවැන්තයා වෙනුවට වෙනත් ගෞරවනීය ක්‍රමයක් පිළිබඳව සිතා බලන්නට කාලය එළැඹ තිබේ. පෙරහැරේ ගමන් කරන අලි ඇත්තු කුලප්පුවීමෙන් සිදු කළ මනුෂ්‍ය ඝාතන පිළිබඳව කම්පා වී පෙර කර්මයක් පළ දුන් බව සිතා අමතක කර දමනවා වෙනුවට බුද්ධ භාෂිතයටද බුදු හිමියන්ටද සැබෑ ගෞරවයක් හා භක්තියක් ඇත්නම් වහා පියවර ගත යුතුව තිබේ.
මහා වනාන්තර
යේ නිදැල්ලේ සිටිය යුතු තිරිසන් සත්ත්වයා පන්සලක පෙරහැරක වධබන්ධනයන්ට ලක් කිරීමත් බුදු දහමත් අතර ඇත්තා වූ අති විශාල පරස්පරය වටහාගන්නට අපි සමත් විය යුත්තෙමු. මනුෂ්‍යත්වයට නොසරිලන මේ ම්ලේච්ඡත්වය වහා මුලිනුපුටා දමමු. රටට මිණි පහණක් වූ බෙල්ලන්විල විමලරතන නා හිමියන් මුහුණ දුන් අතිශය අවාසනාවන්ත ඛේදවාචකය වුව බුදු දහමේ මූලික හරය වෙත අප තල්ලු කර දමන්නට අපොහොසත් වන්නේ නම් හොඬවැලෙන් ඔසවා පොළොවේ ගසා ඒ යෝධ පාදයට යටවී තැලී පොඩි වී යාමේ බිහිසුණු ඉරණමට අපි අතිශයින් සුදුස්සෝ වෙමු.