රාවය

ක්‍රීඩා අමාත්‍යාංශය සුදු අලියෙක්

ක්‍රීඩා අමාත්‍යාංශය සුදු අලියෙක්

ඒ. වික්‍රමසූරිය

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යෑමට ඇති සූදානම මෙකල දක්නට ඇති සුලබ දසුනය. එහෙත් කතාව දෝලාවෙන් ගමන පයින් කියන්නා සේ සහභාගිත්වය ඇරුණු කොට ඉතිරි වන යමක්වේද යන්න මෙවරද ගැටලුවකි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව භාරගෙන තුන් වසරක් ගෙවී ගොස්ය. එහෙත් තවමත් මෙරටට ඇති එකම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පිටියේ වැඩ තවම අහවර කර ගැනීමට නොහැකි වී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට යන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගිත්වයම සාධාරණයක් ඉටුකරන්නට හෝ නිසි පුහුණුව ලැබිය හැකි ක්‍රමවේදයක් නැත. මන්ද අපිට ඇති එකම ක්‍රීඩා පිටිය වසා දමා ඇති නිසාය. රට වටේ පිට්ටනි හදන්නට සැලසුම් හදන ක්‍රීඩා අමාත්‍යාංශයට මුලින් කළයුතු වැඩ මතක නැත.

වත්මන් ඇමතිවරයා ආ විගස සුගතදාස ක්‍රීඩාංගණය නරඹා එය ඉක්මනින්ම සම්පූර්ණ කරන බව පැවසුවද? තවමත් එහි කෙළවරක් නොමැතිය.

මෙරට ප්‍රධානතම සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් එකම ක්‍රීඩාංගණය සුගතදාස ක්‍රීඩාංගණයය. එහෙත් එහි ධාවන පථය යනු ක්‍රීඩා ඇමතිවරුන්ගේ ඉල්ලමක් විය. එන එන ඇමතිවරයා කළේ එයට ධාවන පථයක් එලා යහමින් මල්ල තරකර ගැනීමය. අලුත්ගමගේ ඇමතිවරයා ගහකොළ ගාවා ගෙන එය අපූරුවට කළේ තුට්ටු දෙකේ බාලධාවන පථයක් එලමිනි. එහි පව දයාසිරි ජයසේකර ඇමතිවරයාටද කරගසන්නට විය. ඇමතිවරුන්ට නොව අවසානයේ එය පවක් වූයේ ක්‍රීඩකයන්ට බව කිව යුතුය. මෙම ක්‍රීඩාංගණය වසා දැමීම හේතුවෙන් මලල ක්‍රීඩාව කොතරම් ආපස්සට යන්නට ඇත්ද? ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වැළලී යන්නට ඇත්ද? ඒවා ගණනය කරන්නේ කවුද?

මෙම ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු අවසන් කරන්නට මෙතරම් කලක් ගතවූයේ ඇයි? මේවා නිසි තීන්දු තීරණ ගත නොහැකි තක්කඩි නිලධාරීන් නොවන්නට ඊට වගකිවයුත්තේ කවුද? අද සුගතදාස පිහිනුම් තටාකයක්ද නිසි ලෙස ක්ලෝරීන් මිශ්‍ර නොකිරීම හේතුවෙන් කොළ පැහැ පාසි බැඳී ඇතැයි වාර්තා වේ. මේ අපරාධයන් වළක්වා ගන්නේ කෙසේද?

මෙම ක්‍රීඩා සංකීර්ණය තුළ පිහිටා ඇති හෝටලය එකල ලාභ ලැබූවකි. අද එය වල්වැදී ඇත. පසුගියදා විගණන වාර්තා පෙන්වා දී තිබුණේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ඇති හෝටලය නවීකරණය කිරීම සඳහා උපදේශක සේවා සමාගමක් විසින් රුපියල් මිලියන 63ක ඇස්තමේන්තුවක් සකස් කර ඇති බවය. එහෙත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සේවා අංශයේ අධ්‍යක්ෂවරයා විසින් ඉහත සමාගමේ අනුමැතියෙන් තොරව අදියර තුනක් යටතේ නවීකරණය කිරීමට කාණ්ඩ කිරීම හේතුවෙන් හෝටලයේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදුකිරීමට නොහැකි වී ඇත. තනි පුද්ගලයකුගේ අත්තනෝමතික තීන්දු නිසා ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත. එපමණක්ද නොව විශාල මුදලක් රටට අහිමි වී ද ඇත. මේවාට එරෙහිව ක්‍රියාකරන්නේ නැද්ද? ඇමති ඇතැම් සංගම්වල පුංචි කාරණා අල්ලාගෙන ලොකු කතා පවත්වමින් කාලය කා දමන්නේ මෙවැනි ක්‍රියා වසන් කරමින් නොවේද?

තවද මෙම ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය එල්.ඊ.ඩී. ඩිජිටල් නාමපුවරු දෙකක් සවි කිරීම සඳහා රුපියල් මිලියන 107 ඇස්තමේන්තුවක් සකසා කොන්ත්‍රාත්කරුවකුට භාරදී ඇතත්, ඉන් සවිකර ඇත්තේ එක් පුවරුවක් පමණි. ඉතිරි මුදල් වෙනත් ව්‍යාපෘති සඳහා යොදවා තිබුණි. එලෙස එක් දෙයකට මුදල් වෙන් කොට එම මුදලින් වෙනත් දේවල් කිරීම හරහා කිසිවක් නිවැරදිව කරනු ඇතැයි සිතිය හැකිද? මේ නිසා එක් දෙයක්වත් නිවැරදිව නොවන බව මේ සිදුව ඇති විනාශවලින් මනාව පැහැදිලිය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතය නිසා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට සිදුව ඇති අපකීර්තිය, කැළල සුළුපටු නොවන බව පසුගිය කාලයේ කතාබහ විය. 2013දී මෙම තහනම් උත්තේජක භාවිතය වළක්වා ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජනය පිහිටවනු ලැබීය. එහෙත් 2016 වසර අවසන් වන තුරුත් 2013 අංක 38 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ලබාගැනීමට එරෙහි සම්මුති පනතේ 38 වැනි වගන්තිය ප්‍රකාරව මෙම උත්තේජන ලබාගැනීමට එරෙහි රීති සම්පාදනය කර අමාත්‍යවරයාගේ අනුමැතිය සහිත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර බලාත්මක කර නොමැත.

මේ නිසා 2014දී තහනම් උත්තේජන භාවිතය සම්බන්ධයෙන් ලෝක තහනම් උත්තේජක රීති මාලාවන්ට පටහැනිව ක්‍රීඩිකාවකට පනවන ලද මාස අටක තරග තහනම මත ලෝක තහනම් උත්තේජක මර්දක නියෝජිතායතනය අන්තර්ජාතික බේරුම් කාරක අධිකරණයෙන් නඩුවක් පැවරීම හේතුවෙන් රුපියල් 7,95,750.00ක ගාස්තුවක් ගෙවීමට අධිකරණය විසින් නියෝග ලබාදී ඇත.
මේ තත්ත්වයන් ඇතිවන්නේ නිවැරදි උපදේශකයන් ඇමතිවරයා සතුව නැති බැවිනි. ක්‍රීඩා අමාත්‍යාංශයක් කුමටද යන පැනය අද ඉතිරිව ඇත. අද සියල්ල කරනුයේ ක්‍රීඩා ඇමතිය. මීට වසර ගණනකට පෙර ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යනු ප්‍රබලම චරිතයකි. අද එය හිස් පඹයෙකි. ඔහුවත් ඔහුගේ බලය නොදනී. ලේකම්වරුද හුදෙක් කේලම්කාරයන්ම වී ඇත. මේ සැවොම ඇමතිට ඕනෑ ලෙස නටන රූකඩ වී ඇත. අනෙක් අතට ඇමතිවරයාටද මෙවැනි නිකමුන්ගෙන් ක්‍රීඩාව ඉදිරියට ගෙනයෑම ලේසි නැත.

මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවකයන් ගණන 214කි. මේ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය හැරය. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයන් ගණන 257කි. මේ දෙකෙහිම එකතුව 451කි.
2016 වසරේත් මේ සේවකයන් සඳහා වැටුප් ගෙවීමට පමණක් වැය කර ඇති මුදල රුපියල් 2,34,63,400.00කි. මීට අමතරව ඉන්ධන ගාස්තු, ගමන් ගාස්තු, විදේශ ගමන් සඳහා ගාස්තු, දුරකතන, ලිපි ද්‍රව්‍ය ඇතුළු තවත් අංශ රැසක් සඳහා මුදල් වැය කෙරේ. එපමණක්ද නොව අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට වෙනම මුදල් වෙන් කෙරේ. මේ සියලු මුදල් මහජන මුදල්ය. එසේ නම් මේ අය ක්‍රීඩාවේ දියුණුවට කර ඇති සේවාව කුමක්ද?

මේ අනුව බලන කල ක්‍රීඩා සංගම් ගැන කවර කතාද? ඇමතිට අනෙකාගේ රොඞ්ඩ පෙනෙන්නේ තමාගේ ඇහේ පොල් පරාල ඇන තිබියදී වීම කනගාටුවට කරුණකි.