අනුර, කමන්ති සහ ඇමති

සමීර රාජපක්ෂ

පාපන්දු සම්මේලනය ගැන ක්‍රීඩා ඇමතිට ඇත්තේ පුදුමාකාර ඇල්මකි. ඒ මන්දැයි වඩා හොඳට දන්නේද ක්‍රීඩා ඇමතිමය. මේ කියන්න යන්නේ ඇමති සුදනා කරන එහි සභාපතිගේ වැඩකි. පාපන්දු සම්මේලනයේ රාජකාරී කරන කමන්ති පෙරේරා නමැති අයව සභාපති බැද්දගානට මාරු කරන්නේය. ඒ පළිගැනීමටය. පළිගැනීමට හේතුව හිටපු සභාපතිවරයාගේ සාදයකට සහභාගිවීමය.
හිටපු සභාපතිවරයාගේ සාදයට යෑම – නොයෑම ඒ ඒ අයගේ පෞද්ගලික තීන්දුවකි. ඒවාට පළිගැනීම ළාමක කමකි. බැද්දගානට මාරු කිරීම යනු සයිබීරියාවට මාරු කිරීම යන්නය. එය දඬුවම් මාරු වැනිය. ප්‍රශ්නය එය නොවේ. ඇයට නැවත පාපන්දු සම්මේලනයට එන්න නොදී තහනම් කිරීමය. මෙය සභාපතිගේ තනි තීන්දුවකි.
සභාපති අද ඔතැන සිටින්නේද හිටපු සභාපතිට පින්සිදුවන්නටය. මුල මතක නැති රෝගය ගැන ඇමති මුලින්ම විමසිය යුතුව තිබුණේ සභාපතිගෙනි. ඇමති මාධ්‍යවේදීන් කුලියට ලියනවා යැයි චෝදනා කළේය. ඒවා අපට අදාළ නැතිමුත් ඇමති අනුමාන කරන හෝ මාධ්‍යවේදීන් කවුද යන්නද ඇමතිම කිව යුතුව ඇත. ඒ කෙසේ වෙතත් ක්‍රීඩා මාධ්‍යවේදීන් සංගමයක් අටවාගෙන ඇමති මතම යැපීම ගැන මාධ්‍යවේදීන් ලැජ්ජා විය යුතුය. අද මෙවැනි කුණු කතා අසන්නට හේතුවී ඇත්තේද මේ දීන බවමය. ඇමතිගේ අමාත්‍යාංශයේ ඇමතිගේ තේ, පාන් කකා පවත්වාගෙන යන මාධ්‍ය සංවිධානයේ සුජාතභාවය කුමක්ද? එයින් පජාත වන්නේද මාධ්‍යවේදීන්ම බව ඇමතිගේ කතාවලින් පෙනේ. කමන්තිට ඇති හයියවත් අනුරට නැතිවීම කනගාටුවකි. මන්ද කමන්ති සාදයට ගොස් ඇත්තේ අනුරව එම පුටුවේ වාඩි කළ පුද්ගලයාගේ නිවසටය. ඇය සිදුකොට ඇත්තේ අනුර වෙනුවෙන් කළගුණ සැලකීමකි. එයට අනුර පන්නා පළිගැනීම අවැඩකි. තුට්ටු දෙකේ වැඩකි.