අධ්‍යාපන දර්ශනයක් නැති දේශපාලන ව්‍යාපෘති

ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ,
අධ්‍යාපනපති, බන්දුල පී. දයාරත්න

මෙම ලිපියේ මූලික පරමාර්ථය වන්නේ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින උසස් පෙළ ටැබ් දීමේ ව්‍යාපෘතිය හා 12 හා 13 වසර අනිවාර්ය වෘත්තීය විෂය පිළිබඳව අධ්‍යාපනික වශයෙන් විමර්ශනයක් කිරීමයි. එය හුදෙක් පවත්නා අධ්‍යාපන පද්ධතිය සමග බැඳී පවතින්නක් වන හෙයින් ඒ පිළිබඳ ඉතා සැකෙවින් කරුණු කිහිපයක් දැක්වීම අවශ්‍යය.
කන්නන්ගර අධ්‍යාපන ක්‍රමය විසින් මේ රටට ලබා දුන්නේ පහේ ශිෂ්‍යත්ව ක්‍රමය හෝ මධ්‍ය විද්‍යාල ක්‍රමය හෝ නිදහස් අධ්‍යාපනය හෝ නොවේ. එතුමා විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ක්‍රමය තුළ ඇත්තේ ජාතික දර්ශනයකින් යුක්ත මානව සම්පත් සංවර්ධන සැලැස්මකි.

එහෙත් පසු කාලයේදී කන්නන්ගර අධ්‍යාපන ක්‍රමයෙන් රටට ඉතිරි වූයේ කුමක්ද? එකක් නම් පහේ ශිෂ්‍යත්ව ක්‍රමයයි. දෙවැන්න නම් ජාතික අධ්‍යාපන ආයතනය විසින් වාර්ෂිකව පවත්වන කන්නන්ගර සමරු දේශනයයි. එය කොතරම් සංවේගජනක කරුණක්ද යත් කන්නන්ගර සමරු දේශනය වාර්ෂිකව පවත්වන ජාතික අධ්‍යාපන ආයතනය විසින්ම කන්නන්ගර අධ්‍යාපන ක්‍රමයේ දර්ශනය විනාශ කරන ලද විෂයමාලාවක් මේ වන විට පාසලට හඳුන්වා දී තිබේ. පසු ගිය දශක කිහිපයක් පුරා රටේ මානව සම්පත විනාශ කරන ලද්දේ මෙම දෝෂ සහිත හා සංවර්ධන විරෝධී පාසල් විෂය මාලාව විසිනි.

අධ්‍යාපනය මේ වන විට කෑලි කෑලිවලට කඩා එක් එක් දේශපාලනඥයන්ට තනතුරු ලබා දීමේ තත්ත්වයට ලඝු වී ඇත. වෘත්තීය අධ්‍යාපනයට හා විශ්වවිද්‍යාල ඇතුළු තෘතීය අධ්‍යාපන අංශයට යොමු වන්නේ පාසලින් පිට වන දරුවන්ට. මේ නිසා පාසල් අධ්‍යාපනය නිසි දැක්මකින් යුක්තව සැලසුම් කර ක්‍රියාත්මක කිරීම ජාතික මානව සම්පත් සංවර්ධන සැලැස්මේ වැදගත්ම කාර්යය වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 12 හා 13 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂය මාලාව හඳුන්වා දීමේ කාර්යය පැවරෙන්නේ ද මේ කියන ජාතික අධ්‍යාපන ආයතනයටය. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නියෝග කරන ලද ආකාරයෙන් විෂය නිර්දේශ සම්පාදනය කර දීම මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදු කර ඇත. අධ්‍යාපන අමාත්‍යවරයා උත්සාහ ගන්නේ තමන්ගේ වපසරිය තුළ ඇති පාසල් අධ්‍යාපනය තුළ වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීමටය. මෙහි ඇති දෝෂ සහගත තත්ත්වය පෙන්වා දීමට තරම් කොන්දක් ඇති කිසිවකු අද වන විට ජාතික අධ්‍යාපන ආයතනය තුළ නැත. එපමණක් නොව මෙම සැලැස්ම සම්පාදනය කිරීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපති ආචාර්ය උපාලි මාම්පිටිය ද, එහි සාමාජික ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර ද, ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජික ඒ.එම්.ආර්.බී.අමරකෝන් ද සහභාගි වී ඇත.

ජාතික අධ්‍යාපන ආයතනයේ පනත අනුව ද වෘත්තීය සදාචාරය අනුව ද මෙය සපුරා දෝෂ සහගතය. ජාතික අධ්‍යාපන ආයතනයේ පනතේ 10.4.ඒ යටතේ දක්වා ඇත්තේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සාමාජිකයන් නොවන තැනැත්තන් ඇතුළත් වන කමිටු, සභාවේ අවසරය ඇතිව පත් කිරීම කළ හැකි බවයි. මේ අනුව 12 හා 13 ශ්‍රේණි සඳහා වෘත්තීය විෂය මාලාව සම්පාදනය කිරීමේ කමිටුවට ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපති හා සාමාජිකයකු ඇතුළත් වීම පනත උල්ලංඝනය කිරීමකි. එවැනි කමිටුවක් පත් කිරීමෙන් පමණක් නොව තමන්ගේ පාලක සභාවේ සාමාජිකයකු ද එම කමිටුවට ඇතුළත් කිරීමෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව විසින් පරිපාලනමය වශයෙන් ද, සදාචාරාත්මක වශයෙන් ද බරපතළ දෝෂ සහගත ලෙස කටයුතු කර ඇත. යම් සැලැස්මක් සම්පාදනය කළ පසු එය ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් අනුමත කළ පසු නැවත පාලක සභාව විසින් අනුමත කළ යුතුය. මේ ආකාරයෙන් ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපති හා සාමාජිකයකු මෙන්ම පාලක සභාවේ සාමාජිකයකු ද එම කමිටුවට ඇතුළත් වූ පසු එහි ප්‍රතිඵලය වන්නේ එම සැලැස්ම ආරම්භක මට්ටමේදී ම අනුමත වීමකි. (එපමණක් නොව ගණිතය විෂය නිර්දේශ කමිටුවේ සාමාජිකයකු ලෙසද ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ සභාපති ආචාර්ය උපාලි මාම්පිටිය මහතා කටයුතු කර ඇත්තේ පනත උල්ලංඝනය කරමිනි. )

පාසලට වෘත්තීය විෂය මාලාවක් හඳුන්වා දීම අවශ්‍ය වන්නේ දැනට ක්‍රියාත්මක වන පාසල් විෂය මාලාවේ ඌණතාව පියවා ගැනීම සඳහාය. අධ්‍යාපන විද්‍යාත්මකව මෙම ගැටලුව විශ්ලේෂණය කරන්නේ නම් කළ යුතුව ඇති වැදගත්ම විසඳුම වන්නේ පාසලට වෘත්තීය අධ්‍යාපනය එක් කිරීම නොවේ. පාසලින් බැහැර වන දරුවන් සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය ආයතන පද්ධතියක් මේ රට තුළ මේ වන විටත් ඇත. ඒවාට දරුවන් ඇතුළත් නොවන්නේ නම් එයට හේතු අනාවරණය කර ගෙන පිළියම් යෙදිය යුතුය. පාසලට වෘත්තීය විෂයයන් හඳුන්වා දීම වෙනුවට කළ යුත්තේ පාසල් අධ්‍යාපනය වෘත්තීයකරණය කිරීමයි. මේ සඳහා වූ අත් දැකීම් ඉන්දියාවෙන් ලබා ගත හැකිය.

පාසල් විෂය මාලාවේ මුල සිටම මේ වන විට ඇත්තේ වෘත්තීයකරණය නොවූ ස්වභාවයකි. මෙයට දශක කිහිපයකට පෙර කණිෂ්ට පන්තිවලට වීවින්, වඩු වැඩ, විදුලි කාර්මික ශිල්පය, මෝටර් කාර්මික ශිල්පය ආදී විවිධ විෂයයන් පාසල් විෂයයක් වශයෙන් ඇතුළත් කර තිබුණි. පාසලේ සාමාන්‍ය ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි දරුවන්ට මේ ඔස්සේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය පදනම ගොඩ නැගිණි. පසු කාලයේ දී මේ විෂයයන් ඉවත් කර බටහිර පන්නයේ විෂය නිර්දේශ ගොඩ නංවන ලද්දේ ජාතික අධ්‍යාපන ආයතනයේම විෂය මාලා පණ්ඩිතයන් විසිනි. අද වන විට පාසල් අධ්‍යාපනය තුළ වෘත්තීය ප්‍රවේශය සම්බන්ධයෙන් ඇති රික්තය එයයි.

පාසල් සිසුන්ට වෘත්තීයමය නැඹුරුවක් ලබා දෙන්නේ නම් එය පාසල් විෂය මාලාව සම්බන්ධයෙන් දිගු කාලීන දැක්මක් ඇතිව සම්පාදනය කළ යුත්තකි. දැනට සැලසුම් කර ඇති 12 හා 13 වෘත්තීය විෂය ධාරාවේ පළමු බස, ව්‍යවහාරික ඉංග්‍රීසි හා සන්නිවේදන කුසලතා, සෞන්දර්ය රසාස්වාදය, තොරතුරු හා සන්නිවේදන කුසලතා, පුරවැසිභාවයට අයත් කුසලතා, සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා, ව්‍යවසායකත්ව කුසලතා, ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම් හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩ සටහන් යන සියල්ල බැලු බැල්මට මහත් ආශ්වාදජනක හා ඉතා යහපත් බව පෙනී යයි. එහෙත් මෙහි දී පැන නගින ප්‍රශ්නය වන්නේ පහළ පන්තිවල දී මේ කිසිවක් ලැබී නැද්ද? යන්නයි. ඇත්ත නම් සිදු විය යුත්තේ පහළ පන්තිවල දී මෙම විෂයයන්හි අන්තර්ගතය විධිමත්ව සිසුන්ට ලැබිය හැකි විෂය මාලාවක් නොපමාව සම්පාදනය කිරීමයි. අද පාසලේ පහළ පන්තිවලින් ඉහළට එන දරුවන්ට හරියට ලිපියක්වත් ලිවිය නොහැකිය. එම තත්ත්වයට පිළියම් යෙදීම අමතක කර 12 හා 13 පොදු විෂය ක්ෂේත්‍ර යටතේ එම පිළියම් යෙදිය හැකිද?

වෘත්තීය විෂයයන් 26ක් පාසලට හඳුන්වා දෙන බව මේ සම්බන්ධයෙන් කරනු ලබන නිවේදනවල සඳහන් වෙයි. එහෙත් ඇත්ත කරුණ නම් එක් පාසලකට මෙයින් විෂයයන් පහක් හයක් පමණ ලබා දීමයි. එයින් ද ඉගෙන ගන්නට සිදු වන්නේ තුනකි. මෙය පාසලේ පැවති පැරණි දුර්වලකම නැවත සැලසුම් සහගතව ඉදිරිපත් කිරීමකි. පාසලේ සාමාන්‍ය ඉගැන්වීම් විෂය මාලාව තුළ සංගීතය විෂයයට ගුරුවරයකු නැති නිසා චිත්‍ර විෂයය ඉගෙන ගත් දරුවෝ කොපමණ සිටින්නට ඇත්ද? වෘත්තීය විෂය යටතේ ද සිදුවන්නේ තමන් කැමති වෘත්තීය විෂයයක් ඉගෙන ගන්නට නොව පාසලට ලබා දෙන වෘත්තීය විෂයයන්ගෙන් තුනක් ඉගෙන ගන්නටය.

කෙටි කාලයේදී මෙහි ගැටලුවක් නොපෙනෙන්නට පු`ඵවන. එහෙත් මේ පිළිබඳව පුළුල් ලෙස බැලු විට පෙනෙන්නේ සිසුන්ට තමන් කැමති ක්ෂේත්‍රයක වෘත්තීය විෂයයක් හදාරන්නට හැකි ජාලයක් නිර්මාණය කිරීම වෙනුවට පාසල තුළ නැවත මේ දරුවන් සිර කර ගැනීම කළ යුත්තක් නොවන බවයි. එපමණක් නොව මේ වන විට මේ රට තුළ වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබා ගත හැකි ආයතන පද්ධතියක් ක්‍රියාත්මක වන බවත්, අද වන විට කාර්මික විද්‍යාල ආදියට ප්‍රමාණවත් සිසුන් නොමැති බවත් අප අමතක නොකළ යුතුය. විශේෂයෙන් කාර්මික විද්‍යාල, උසස් තාක්ෂණික පීඨ, ආධුනිකත්ව හා පුහුණු කිරිම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය හා වෙනත් වෘත්තීය පුහුණු ආයතන සමස්ත අධ්‍යාපන පද්ධතිය සමග එක් කළ ජාලයක් නිර්මාණය කිරීම කළ නොහැක්කේ ඒ ඒ ආයතන කෑලි අමාත්‍යවරුන් යටතේ පවතින නිසාය. එහෙත් එයට ප්‍රතිකර්මය වන්නේ මේ ආකාරයෙන් පාසල් සිසුන්ගේ ජීවිතය සමග සෙල්ලම් කිරීම නොවේ. ඔවුන්ට ඉතා ඉක්මනින් සිය ජීවිතයේ තමන් කැමති ක්ෂේත්‍රයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට අවකාශ සලසා දීමයි.

පාසල් අධ්‍යාපනය වෘත්තීයකරණය කිරීම පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීමකි. එහෙත් එය කරන්නට දන්නා කෙනෙක් සිටින බවක් නොපෙනේ. පාසල් අධ්‍යාපනය පිළිබඳ පරිණතභාවයක් නැති උපාධිධාරී ශාස්ත්‍රීය නිලධාරීන්ගෙන් එවැනි සැලසුම් බලාපොරොත්තු වීම ද තේරුමක් නැති දෙයකි. ජාතික අධ්‍යාපන ආයතනය තුළ මේ පිළිබඳව දන්නේ අධ්‍යක්ෂ ජනරාල් වරිය පමණි. එය සිදු වන්නේ ඒ තරම්ම පටු ආකාරයෙනි.

දෙවන කරුණ නම් උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට පන්ති කාමරයේ ඉගෙනුම් කටයුතු සඳහා ටැබ් ලබා දීමේ සැලැස්මයි. බැලු බැල්මට නම් මෙය ද ඉතා ආශ්වාදජනකය. උසස් පෙළට ටැබ් ලබා දෙන්නේ වෙනස් වන තාක්ෂණික ලෝකයට සිසුන් සූදානම් කිරීමට යැයි ප්‍රකාශිතය. මෙහි දී නැගිය යුතු පළමු ප්‍රශ්නය වන්නේ දැනට පාසල්වල ක්‍රියාත්මක වන විෂය මාලාව වෙනස් වන තාක්ෂණික ලෝකයට සිසුන් සූදානම් කිරීම සඳහා උචිතද? යන්නයි. කිසිවකු විසින් එයට පිළිතුර ලෙස ඔව් යන්න ප්‍රකාශ කරන්නේ නම් උසස් පෙළට ටැබ් දීම ද උචිත ලෙස එකඟ විය හැකිය.
එහෙත් සත්‍යය නම් පාසලේ සමස්ත විෂය මාලාව තුළ අනාගත තාක්ෂණික ලෝකය පිළිබඳ නිසි දැක්මක් හෝ ප්‍රතිපත්තියක් හෝ නොමැති බවයි. දැනට ක්‍රියාත්මක වන පාසල් විෂය මාලා සංශෝධන සැලැස්ම සඳහා පොදු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් සම්පාදනය කර නැත. මුලින් සඳහන් කරන ලද ආකාරයට ඒ ඒ විෂයයන් භාර නිලධාරීන් තමන්ගේ මිත්‍ර කුටුම්භය සමග එක්ව විෂයයන් සංශෝධනය කර ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබයි. ඒවා ඔවුන් අනුමත කළ පසු පාලක සභාව ද නාමික වශයෙන් අනුමත කරනු ලබයි. ඉන් පසු ඒවා පාසලේ උගන්වනු ලබයි.

මෙයට හොඳම නිදර්ශනය නම් උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයයි. එය සම්පාදනය කරන ලද්දේ ඒ ආකාරයේ මිත්‍ර කුටුම්භයක් විසිනි. එය ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින්ද, පාලක සභාව විසින් අනුමත කරන ලදී. ගුරු පුහුණුවද පැවැත්විණි. එම විෂය නිර්දේශය මුලින් අනුමත කරන ලද්දේ ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපතිවරයාය. දෙවනුව එය අත්හිටුවන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයාය. මේ දෙදෙනාම එකම පුද්ගලයෙකි. එපමණක් නොව මෙම දෝෂ සහගත විෂය නිර්දේශය ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ ජනසන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියකු එම මණ්ඩලයේ සාමාජිකයකුව සිටියදීය.
මේ උදාහරණය දැක්වූයේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් අනාගත තාක්ෂණික ලෝකයට ගැළපෙන ලෙස විෂය නිර්දේශ සම්පාදනය කරන්නේ කෙසේදැයි පැහැදිලි කරන්නටය. අත් හිටුවන ලද්දේ එක විෂය නිර්දේශයක් වුවත්, අනෙක් ඒවා යෝග්‍ය යැයි විනිශ්චය කළ හැකිද?
විෂය මාලා සංවර්ධනය සම්බන්ධයෙන් පවත්නා මෙම අර්බුදය දැනට සිටින අධ්‍යාපන අමාත්‍යවරයා විසඳන්නේ කෙසේද? මහාචාර්ය අබේරත්න බණ්ඩාරගේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සේවා කාලය මුලින් දිගු කරන ලද්දේ ඔහුය. ඉන් පසු කළමනාකරණය උගන්නන්නට පමණක් දන්නා මහාචාර්ය ගුණපාල නානායක්කාර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කරන ලද්දේ ද මේ අධ්‍යාපන අමාත්‍යවරයා විසිනි. මහාචාර්ය ගුණපාල නානායක්කාර පාසල් අධ්‍යාපන ගැන දැන නොසිටියා පමණක් නොව ඔහු එම තනතුරට සුදුසු පුද්ගලයෙක් ද නොවීය. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඔහු ඉවත් කිරීමට සිදු වූ විට ඔහුට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබා දුන්නේ ද මේ අධ්‍යාපන අමාත්‍යවරයා විසිනි. ඒ සඳහා ගෙවීම් කරන ලද්දේ මහජන මුදලිනි. එපමණක් නොව සිය සේවා කාලය තුළ අධ්‍යාපන පද්ධතියේ කිසිදු කැපී පෙනෙන සංර්ධනයක් නොකළ, විභාග වංචාවක චූදිතයකු වූ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර පත් කරන ලද්දේද මේ අධ්‍යාපන අමාත්‍යවරයා විසිනි. එපමණක් නොව ජාතික අධ්‍යාපන අධ්‍යාපන ආයතන පනතට අනුව පාලක සභාව පත් කර ගන්නට තවමත් නොහැකි වූ වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ගැටලු විමර්ශනය කරන්නේ සිය නොමේරූ මනසින් බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් ඒ බව කියන්නට ද කෙනෙක් නැත.

උසස් පෙළට ටැබ් දීමේ කතාන්දරය ද එයයි. මෙහි පළමු කොන්දේසිය වන්නේ පාසල් විෂය මාලාව අනාගතයට උචිත ලෙස සම්පාදනය කිරීමයි. එය කළ හැක්කේ අධ්‍යාපන අමාත්‍යවරයාට සිතෙන ලෙස විෂයයන් සංඛ්‍යාව හයකට කපා හැරීමෙන් නොවේ. එසේත් නැතිනම් පාසල් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීම හෝ ගර්භනී ගුරු මහත්මින්ට ඇඳුම් මෝස්තර සැලසුම් කිරීමෙන් නොවේ. එයට වඩා බරසාර ලෙස අධ්‍යාපන ගැටලු විමර්ශනය කරන්නට හැකියාවක් අධ්‍යාපන ඇමතිවරයාට නැතිවා පමණක් නොව ඔහු වටේ සිටින උපදේශකවරුන්ද තමන්ගේ බඩ ගෝස්තරය සඳහා සියල්ල අනුමත කරන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මෙය සාමාන්‍ය දේශපාලන ආකෘතියකි.

උසස් පෙළට ටැබ් දීමට පෙරාතුව කළ යුත්තේ අධ්‍යාපන පද්ධතියට උචිත තාක්ෂණික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමයි. එය මෙතෙක් කර නැත. එපමණක් නොව ටැබ් හා පරිගණක මෙහි දී යොදා ගැනෙන නිසා එය අයත් වන්නේ පරිගණක අධ්‍යාපනයටය යන මිථ්‍යාවට අධ්‍යාපන අමාත්‍යවරයා පමණක් නොව ජාතික අධ්‍යාපන ආයතනය ද හසුව සිටී.
ඇත්ත වශයෙන් ටැබ් හෝ පරිගණක පන්ති කාමරයේ භාවිත කිරීම අයත් වන්නේ පරිගණක අධ්‍යාපනය විෂයයට නොව අධ්‍යාපන තාක්ෂණය විෂයයටයි. එහෙත් මේ වන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයකු නැත. අධ්‍යාපන තාක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තියක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ද ජාතික අධ්‍යාපන ආයතනයේ ද මෙම කාර්යය ක්‍රියාත්මක කිරීම භාර දී ඇත්තේ පරිගණක අධ්‍යාපනය භාර නිලධාරීන්ටය.

අධ්‍යාපන තාක්ෂණය තුළින් නිගමනය කළ යුත්තේ ශ්‍රී ලංකාවට උචිත හා ඔබින එමෙන්ම අනාගත තාක්ෂණික ලෝකයට උචිත හා ඔබින පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා කෙබඳු අධ්‍යාපන තාක්ෂණයක් භාවිත කරන්නේද යන්නයි. එය ටැබ් හෝ පරිගණක හෝ නොවේ.
අනෙක් අතට ටැබ් යොදා ගෙන පන්ති කාමර ඉගැන්වීම් කටයුතු කිරිමට උචිත පාඨ මාර්ග කෙසේ සම්පාදනය කරනු ලබන්නේදැයි කිසිදු සැලැස්මක් නැත. එය සාර්ථක වන්නේ ඒ සඳහා උචිත අතිමාධ්‍ය ලේඛන (HyperMedia Documents) සම්පාදනය කිරීමෙනි. එහෙත් එය ඉතා පහසු හෝ ලෙහෙසි කාර්යයක් නොවේ. එපමණක් නොව ඒ සඳහා ඉතා විශාල වියදමක් ද දැරිය යුතුය. දැනට පවතින සාමාන්‍ය ලේඛන ටැබ්වලට යොදා ගන්නේ නම් එය සාමාන්‍ය ඉගෙන ගැනීම් කාර්යයට සහායක් පමණි. දැනට ටැබ් සඳහා වීඩියෝ වැඩ සටහන් සම්පාදන භාර දී ඇත්තේද අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිගණක අධ්‍යාපන අංශයේ නිලධාරියකුටය. ඒ සඳහා සම්බන්ධ වන ගුරුවරුන් තෝරා ගැනීමේ නිශ්චිත නිර්නායකද නැත. මේවා සියල්ල පැලැස්තර වැඩ ලෙස පෙනේ.
මෙහි අනෙක් කරුණ නම් ශ්‍රී ලංකාව තුළ ඉහළ අධ්‍යාපන තාක්ෂණයක් එක් කළ යුත්තේ විශේෂයෙන් විශ්වවිද්‍යාල පන්ති කාමරවලට හා විද්‍යා පීඨ ආදියටය. විශ්වවිද්‍යාලවල සාමාන්‍ය පන්ති කාමරවල ඇත්තේ ඉතා අවම මට්ටමේ අධ්‍යාපන තාක්ෂණයකි. සමහර ඒවායේ මෙම තත්ත්වය ඉතා පහත මට්ටමක පවතී. එවැනි පසුබිමක උසස් පෙළට ටැබ් දීමේ දර්ශනය කුමක්ද?
සමස්තයක් වශයෙන් ගත් විට පාසල් විෂය මාලාව අනාගත තාක්ෂණික ලෝකයට උචිත නැත. ගුරුවරුන් ලක්ෂ දෙකක් ඇතත් ඔවුන් නිසි ලෙස පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවේ. ප්‍රාථමික පන්තිවල සිටින්නේ ප්‍රාථමික ගුරු පුහුණුවක් නැති උපාධිධාරීන්ය. ගුරුවරුන් පුහුණු කරනවා කියා ජාතික අධ්‍යාපන ආයතනය පමණක් නොව පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාල විසින් ද කරනු ලබන්නේ ගුරු සම්මන්ත්‍රණ හා සාකච්ඡා පැවැත්වීමය. ගුරුවරුන් පුහුණු කිරිම සඳහා හා පන්ති කාමර ඉගෙනුම් හා ඉගැන්වීම් සඳහා උචිත උපකරණ සම්පාදනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් තවමත් නැත. ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු පුහුණු සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට හීනෙන්වත් සිතා නැත. ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන යටතේ සැලසුම් කර ඇත්තේ භෞතික පහසුකම් වැඩි දියුණු කරන්නටය. එය කළ යුත්තකි. එහෙත් පාසලේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා මානව සම්පත් සංවර්ධන වැඩ සටහන් කෙරෙහි ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන අවධානයක් යොමු කර නැත. පාසලක ඉතා වැදගත් සම්පත් දෙක වන්නේ පන්ති කාමර ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ය. ඔවුන් දක්ෂ නම් හොඳ ගොඩනැගිලි නැතත්, ටැබ් නැතත් අධ්‍යාපන සඵල වනු ඇත. ඒ බව ඉතිහාසය විසින් ඕනෑ තරම් ඔප්පු කර තිබේ.
පාසල් අධ්‍යාපනයේ පවත්නා මෙම ගැටලු සහගත තත්ත්වය නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් මෙයට වඩා පුළුල් ජාතික සංවාදයක් අවශ්‍යය. දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී එවැනි ජාතික සංවාදයක් වැදගත් නැත. මේ සිදු වන්නේ එයයි. 12 හා 13 වෘත්තීය විෂයය හඳුන්වා දීම ගැනත්, උසස් පෙළ සිසුන්ට ටැබ් දීම ගැනත් මතයක් පළ කරන කෙනෙක් නැත්තේ එවැනි ජාතික සංවාදයක් නැති නිසාය. අපට අද අවශ්‍ය වන්නේ ඉදිරි දශකය තුළ මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනයට යොමු වූ අධ්‍යාපනයකි. අධ්‍යාපනය සඳහා කෑලි අමාත්‍යවරුන් සිටින තාක් කල් අපට බලාපොරොත්තු විය හැක්කේ මේ ආකාරයේ පැලැස්තර විසඳුම් පමණි. මේ පැලැස්තර විසඳුම් සඳහා වැය වන්නේද මහජනයාගේ මුදල් බව අප අමතක නොකළ යුතුය. පාසල් දරු දැරියන් විද්‍යාගාර පරීක්ෂණ සඳහා යොදා ගන්නා මීයන් හා කැරපොත්තන් නොවිය යුතු බව මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන කෑලි ඇමතිකම් දරන අමාත්‍යවරුන්ට හා වෙනත් දේශපාලනඥයන්ට තේරුම් යන්නේ නැති බවට කිසිදු සැකයක් නැත. කවුරු මොනවා කිව්වත් උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන එක නවත්තන්නේ නැති බව අධ්‍යාපන අමාත්‍යවරයා සපථ කරන්නේ ඒ නිසාය.