සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ඔබේ මතය කුමක්ද?

රට තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය අරාජක තත්ත්වයකය. රටේ සියලු ප්‍රධාන නායකයින් එකට එකතුවී රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් සඳහා වැඩසටහනකට එකඟවී එය ක්‍රියාවට නැඟීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරගත යුතු යැයි අපි සිතමු. දැන් පවතින අර්බුදය ජයගත හැක්කේ එවැනි පියවරකිනි. ඒ ගැන ඔබ දරන අදහස කුමක්ද?රටේ විද්වත් පර්ෂදය නියෝජනය වන පරිදි අප එම ප්‍රශ්නය විමසුවෙමු.

හෘදය සාක්ෂ්‍යයේ කොමිසමකින් පසු සර්ව පාක්‍ෂික වෙමු
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

රට අද අර්බුදයකට මුහුණපාලා තිබෙනවා. ඒ අර්බුදය හුදෙක් දේශපාලන අර්බුදයක්, ආර්ථික අර්බුදයක්, ආයතනික අර්බුදයක් ලෙස එය පැහැදිලි කරලා ඉවර කරන්න බැහැ. මේ සියලුම අර්බුද මෙයට ඇතුළත්. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ, දේශපාලන ආයතනවල, රාජ්‍ය ආයතනවල, සමාජයේ, ආර්ථිකයේ ආදී අංශ ගණනාවක අර්බුදයක් තිබෙනවා. ඒක ශිෂ්ඨාචාරමය අර්බුදයක්. ඒක ඇතුළේ තිබෙන කොටස් තමයි අපිට මේ පෙනෙන්නේ. ඉතාම ගැඹුරු සදාචාරමය අර්බුදයක් තිබෙනවා. මුළු සමාජයම කුණු වෙච්ච, නැතිනම් සදාචාරමය වශයෙන් නරක තැනකට වැටිලා තිබෙනවා. එවැනි අවස්ථාවක අපි දේශපාලන තලයේ පමණක් වෙනසක් කරන්න හිතනකොට බොහොම පරිස්සමින් කරන්න ඕනේ. දැන් තිබෙන සූත්‍රය සර්වෘපාක්ෂික ආණ්ඩුවක්. ඒකෙන් අපිට මේ දේශපාලන සංස්කෘතිය වෙනම බේරගන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි ප්‍රශ්නය තිබෙන්නේ මේ ඉන්න දේශපාලනඥයෝ අවුරුදු 20 -30 තිස්සේ කළු කර්මාන්තයක එනම් වැරදි ලෙස තම බලය හා නිළය පාවිච්චි කරලා, ඉක්මණින් මුදල් සොයන සම්පූර්ණයෙන් අහිතකර ආකාරයේ ව්‍යාපාර කටයුතු කරන තැනකට මේ මුළු ආයතන හා දේශපාලනඥයෝ පත්වෙලා තිබෙනවා. දේශපාලනඥයා අමුතු සතෙක්. ඔහු මිනිසුන්ට සේවය කරනවා කිව්වත්, අපේ නියෝජිතයා වුවත් විශාල වශයෙන් පරිවර්තනය වෙලා තිබෙනවා. ඔහු නියෝජනය කරන්නේ බොහෝ සෙයින් වෙනස් දේවල්. සරලව කිව්වොත් මුළු දේශපාලන සංස්කෘතියේම විශාල අවුලක් තිබෙනවා. ඒ අවුල පිටුපස මම යෝජනා කරන්නේ දීර්ඝ කාලීනව අවුල් වුණු ක්‍ෂේත්‍ර 4ක් තිබෙනවා.

එනම් මහජන විඤ්ඤාණය සකස් වෙන ලොකු ක්ෂේත්‍ර 4ක් රෝගී වෙලා තිබෙනවා. අපි ඒවා ප්‍රකෘතිමත් නොකර දේශපාලන සංස්කෘතිය පමණක් වෙනස් කරන්න හිතන එකේ දැවැන්ත අවුලක් තිබෙනවා. එම ක්ෂේත්‍ර සතර ගැන කියනවා නම් එකක් අධ්‍යාපනය. අධ්‍යාපනය ඉතාමඅවුල් තැනක තිබෙනවා. මනුස්සයෙක් පුරවැසියෙක් හදන්නේ නැහැ, අපේ අධ්‍යාපනයෙන්. කලා, සංස්කෘතික ක්ෂේත්‍රයේ විශාල අවුලක් තිබෙනවා. එය නිර්බල, විකෘති තත්ත්වයක තිබෙනවා. ඒ නිසා දිනපතා දස ලක්ෂ ගණනක් මහ ජනයා රූපවාහිනියේ බලන දෙය මගින් දැනට තිබෙන තත්ත්වයට ඔවුන් සකස් කරනවා මිස පරිවර්තනය වීමට, අලුතින් සිතීමට ගැම්මක් නොදෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.

ඊළඟ ක්ෂේත්‍රය මාධ්‍ය. එය ව්‍යුහාත්මකවම අවුල් වෙලා තිබෙනවා. මාධ්‍ය වැඩ කරන්නේ මනුෂ්‍යයා කේන්ද්‍ර කරගෙන, මනුෂ්‍යයාගේ යහපත සඳහා, සමාජයේ යහපත සඳහා නොවේ. වෙන වෙන වැඩවලට මාධ්‍ය යොදාගන්නවා. අවසාන වශයෙන් ආගමික ක්ෂේත්‍රය. පන්සල්, පල්ලි ඇතුළේ මොනවද වෙන්නේ? ඒවා තිබෙන්නේ මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික යහපත සඳහා අවසාන වශයෙන් කිව්වොත් මේ ක්ෂේත්‍ර හතරෙන්ම බොහෝ ඒවගේ මනුෂ්‍යාගේ යහපැවැත්ම පිළිබඳ අවධානයක් නැහැ. ඒවායේ කෙන්ද්‍රයක් නැහැ. ඒවායේ තිබෙන්නේ වෙන වෙන න්‍යාය පත්‍ර. මේ තරම් දැවැන්ත සදාචාරමය අවුලක් තිබෙන වෙලාවක සමාජයේ ඒකට විකල්පව යන වැඩපිළිවෙළවල් පදනම් කරගත්ත දේශපාලන ක්‍රියාදාමයකට යනවා මිසක් දේශපාලන තලයේ පමණක් මේ දේවල් පරිවර්තනය කළ නොහැකි බවයි මගේ අදහස. වික්ටර් අයිවන් මහත්මයාගේ සමාජය ගැන විග්‍රයක් එක්ක මම බොහෝ දුරට එකඟවෙනවා. මම ඊට අමතරව දේවල් දකිනවා. එහෙත් ඔහු සහ බොහෝ අය කියන ආකාරයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේ අර්බුදවලට පිළිතුරක් දිය නොහැකි බව මම සිතනවා. හොරු ගොඩක් එකට දැමූ විට ඔවුන්ගේ තර්කනයන් වෙනස් ඔවුන්ට එකඟතාවන්ට පැමිණිය හැකි තත්ත්වයක් නැහැ. ඒත් අපිට මේ තත්ත්වය බේරාගන්න බැරිද? බොහෝ වෙලාවට දකුණු අප්‍රිකාව ගැන මෙතනදී සාකච්ඡා වෙනවා.

දකුණු අප්‍රිකාව මෙහෙම දෙයක් (සර්වපාක්ෂික විසඳුමක්) කළා කියලා ඒක ඇත්ත. හැබැයි ඒකට වෙනම පදනම් වගයක් සකස් වීමෙන් පසුවයි දකුණු අප්‍රිකාව මේ දේශපාලන වැඩපිළිවෙලට අවතීර්ණ වුණේ. දෙකට බෙදී තිබුණු, භයානක ලෙස ත්‍රස්තවාදී හා ප්‍රචණ්ඩ ක්‍රියා පිරි සමාජයක දේශපාලන තලයේ එකඟතාවකට එනවා පොදු ජාතික වැඩ පිළිවෙළක් සඳහා. එහෙත් එය පිටුපස තිබුණ තවත් වැඩ වගයක් එකක් අධ්‍යාත්මික හා ආගමික වශයෙන් යහපත් දිශාවට ලොකු බලපෑමක් තිබුණා. ඉන් පසුව ඔය තලයේම, භයානක දේවල් සිදු වුණාට පසුව ‘සත්‍ය කොමිසම’ කියලා දෙයක් ක්‍රියාත්මක වුණා. ඒක ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. එමඟින් මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළ මිනිසුන්ට ඉඩ දුන්නා එක්තරා විදිහකට වින්දිත හා චූදිත පාර්ශ්වයට මුණගැහිලා ඒ ප්‍රශ්නය බේරුම්කරගෙන, පාපෝච්චාරණය කිරීම ආදිය තුළින්, දුක්වීමෙන්, පසුතැවිලි වීම ආදියෙන් තමන්ගේ අභ්‍යන්තරය පවිත්‍ර කර ගැනීමට. අන්න ඒ ක්‍රියාදාමය හරි වැදගත්. ඩෙස්මන්ඞ් ටුටු බිෂොප්තුමා ඒ පිටුපස ඉදගෙන කළ සංකල්පීය කාර්යයන් හුඟක් වැදගත් වුණ ඒ පදනමේ ඉඳලා තමයි අර (සර්වපාක්ෂික) දේශපාලන ක්‍රියාකාරීත්වය සිදු වුණේ. එහෙම බැලුවම දේශපාලන තලයෙන් පමණක් මේ දේ කළ නොහැකියි, අනෙක් තලවලින් ඒ අවශ්‍ය වෙනස්කම්, සහයෝගය, දායකත්වය, පිටුබලය නොලැබෙනවා නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් කරන්න යනවා නම් අඩුම තරමින් මහජනයාට ඒක තේරුම් ගන්න මහජනයා දායකවෙන, තමන්ගේ බිම් මට්ටමේ ඉඳලා තමන්ගේ දේශපාලන පක්ෂවල දේවල් මාරුකරන ක්‍රියාදාමයකට ආමන්ත්‍රණය කරන්න ඕනේ. කවුද ඒක කරන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ සඳහා නායකත්වයක් තිබෙන්න ඕනේ. මහජනයා එක්ක හිටගෙන, මේ පරිවර්තනය සඳහා යන්න අවශ්‍යයයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කලින් ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි එක්තරා විදිහකට දකුණු අප්‍රිකාවත් එක්ක සමාන්තරව හිතුවොත් අපිට පිහිටුවන්න වෙනවා මහජනයා පිළිගන්න හෘදය සාක්‍ෂියේ කොමිසමක් වැනි දෙයක්.

උදාහණයක් ලෙස මහේස්ත්‍රාත්වරු, මහජනයා පිළිගන්නා විද්වතුන්, වෙනත් ක්‍රියාකාරීන් යම් කිසි පිරිසක් සහිත හෘද සාක්ෂ්‍යයේ කොමිසමක් පාර්ලිමේන්තුවේ පිහිටවන්න අවශ්‍යයයි. එසේ පිහිටුවලා දේශපාලන පක්ෂවල න්‍යායපත්‍රවලට මෙය වැහෙන්න නොදී දේශපාලන නියෝජිතයින්ට ආමන්ත්‍රණය කරමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න මේ හෘදය සාක්ෂියේ කොමිසම හරහා ගිහින් එන්න අවශ්‍යයි. ජනාධිපති, අගමැතිගේ ඉදලම හෘදය සාක්ෂියේ කොමිසමට යන්න අවශ්‍යයයි. එහෙම ගිහිල්ලා, එම කොමිසම අසන ප්‍රශ්නවලට පිළිතුරුදීලා, අවශ්‍ය නම් පාපොච්චාරණය කරලා, අවශ්‍ය නම් වැරැද්ද පිළිඅරගෙන තමන් හොරකම් කළ දෙයක් ගෙවන්න තිබෙනවා නම් ඒවා නැවත ගෙවලා, පිරිසිදු වෙලා එන්න ඕනේ සර්වපාක්‍ෂික ආණ්ඩුවකට යම් කිසි සදාචාරමය වැඩ පිළිවෙළකට මහජනයා බලගන්වපු, මහජනයා බලාසිටින එවැනි දේශපාලන පුනර්ජීවන වැඩසටහනකට හැරෙන්න නැතිව සර්වපාක්‍ෂික ආණ්ඩුවක් ඇති කිරීම වැඩක් නැහැ. එහෙම නොවී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වොත් තවත් තේරුමක් නැති ප්‍රශ්න රාශියක් පැණ නගින එක විතරයි වෙන්නේ. ඒ නිසා දේශපාලන තලයේ පමණක් මේ පරිවර්තනය කරන්න බැහැ. ඒකට මුළු සමාජයම කුළු ගන්වා ගත යුතුයි. එසේ කුළුගන්වන විට කවුද මේක කරන්නේ කියන නායකත්ව ප්‍රශ්නය ඇතිවෙනවා. එහෙත් මෙසේ කුළුගන්වගෙන, මහජනයාත් සහභාගී කරගත් සදාචාර පරිවර්තනයකට රට එකඟකරගෙන ඒ බලගැන්වීම ඇතුළේ තමයි දේශපාලන පරිවර්තය සිදුවිය යුත්තේ. දැන් ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සිදු වුණු දේ බලන්න. හොරු, මිනීමරුවෝ, කොන්ත්‍රාත්කරුවෝ ආදී වශයෙන් ඇවිල්ලා දිගටම ඔවුන් අකටයුතු කම් කරන්න පටන්ගෙන තිබෙනවා. මේ සංස්කෘතිය මාරු කරන්න නම් විශාල සංස්කෘතික, අධ්‍යාත්මික, සමාජීය බලපෑමක් රටේ සිදුවියයුතුයි.

ඒ තලයේදී පවා යම් කිසි මිනිසුන්ට පිළිගත හැකි නව ජීවයක් සහිත, පිරිසිදු කිරීමක් කළ යුතුයි. දැනට සිටින දේශපාලන නියෝජිතයින්ගෙන් යම් පමණකට ඒකට සූදානම් අයගේ හරි යම් පිරිසිදු කිරීමක් කරලා රටට සමාජයට මෙවැනි වෙනසක් නැතිව ඉදිරියට යන්න බැහැ කියන එක පක්ෂ භේදයකින් තොරව ආමන්ත්‍රණය කරලා, හෘදය සාක්ෂියේ කොමිසම හරහාත් ගිහිල්ලා, රටට මුහුණදීලා, රටේ පොදු මතයකට ඇවිල්ලා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටෙව්වොත් එය කරගත හැකිවේවි. එම ක්‍රියාදාමය උත්පාදනය කරගැනීම තමයි මෙතන තිබෙන ප්‍රධාන කාර්යය. දකුණු අප්‍රිකාවේ තත්ත්වය සමග ලංකාවේ තත්ත්වය සරලව සංසන්දනය කළ නොහැකියි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිට විය යුතු ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය තුළ මේ තත්ත්වය දෙස බැලිය යුතුයි. අපිට අපේ සූත්‍රයක්, දැක්මක්, වැඩපිළිවෙළක් සකසා ගන්න වෙනවා සමාජය නැවත පූර්ජීවනයට ලක් කරන්න, දේශපාලන තලයේ පවා.

නිවසේ වහළ බිඳ පිළිතුරු සෙවිය හැකිද?
බැසිල් ප්‍රනාන්දු

පළමුවෙන්ම රට අරාජික තත්ත්වයකට වැටිලා තියනවා කියන එක ගැන අපි තේරුම් ගන්නේ කෙසේද? යන්න පැහැදිලි කරගත යුතුයි. ඒක තමයි බොහෝදුරට ශ්‍රී ලංකාව තුළ කථා නොවන දෙය. අරාජික තත්ත්වයකට පත්වෙලා තිබෙනවා කියා එකයි. කියන්නේ රටේ මූලික නීතිය ක්‍රියාත්මක කරවා ගන්න පවතින රජයට වගේම පැවතුන රජයත් අසමත් වෙලා තිබෙනවා. රටක ස්ථාවරත්වයට අවශ්‍ය ප්‍රධානතම දෙය තමයි මොනවගේ මතවාද තිබුණත් මොනවගේ ගැටීම් තිබුණත්, රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පැවතිය යුතු වෙනවා. එහෙම නැතිව ගියොත් ආණ්ඩුව කොපමණ වෙනස් වුවත් තත්ත්වය නරක අතට හැරීම මිස හොඳ අතට හැරීමක් සිදුවන්නේ නැහැ. ප්‍රශ්නය තිබෙන්නේ 1978 සිටම ආණ්ඩු මාරු කළ හැම අවස්ථාවකදීම ඉතා කෙටි කාලයක් තුළ නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට කුමන ආකාරයේ පියවර ගත යුතුද යන්න මූලික වුවමනාවක් බවට පත්වුයේනැහැ. නීතිය ක්‍රියාත්මක කරගැනීම කියලා කියන්නේ මුලික වශයෙන්ම රටේ අධිකරණ ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම රටේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම තම ප්‍රධාන කර්තව්‍ය හැටියට ගෙන එය ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයක පසුවීම. ඊළඟ කාරණයට නීතිපති දෙපාර්තමේන්තුව රජය වෙනුවෙන් නඩු පවරන්නා හැටියට අපරාධයක් කෙරෙන සෑම අවස්ථාවකදීම, අපරාධ දැවැන්තද, සුළුද නොබලා නඩු පැවරීමේ කාර්යකරගෙන යා යුතුයි. දැන් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ වෙනස ඇතිවුණේ 1978 පසුව විධායක අධිකරණය සැහැල්ලු කරන තත්ත්වයට ඇදල දැම්මා. එනම් ව්‍යවස්ථාදායකය විධායකය, අධිකරණය කියන බල තුනෙන් සමාන බලයක් තිබෙන එකක් නොවේ. අඩු බලයක් තිබෙන දෙයක් ලෙසට පත්කළා. ඒ නිසා අධිකරණයට අද බැරිවෙලා තිබෙනවා නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්‍ෂණය කරලා, ඒක හරිහැටියකට ගෙනයන්න. අධිකරණය බෙලහීන වෙනවා දකිනකොට පොලිසිය අතින් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ රාජකාරි පැහැරහැරීම සිදුවෙනවා. මන්ද ඔවුන් හොඳින් රාජකාරි කිරීමට අවශ්‍ය නම් අධිකරණය ශක්තිමත් විය යුතුයි. දැන් අධිකරණයේ තිබෙන විශාල අඩුපාඩුවලින් ප්‍රධානතම අඩුපාඩුව තමයි අවුරුදු 17ක කාලයකට අඩුකාලයකදී අපරාධ නඩුවක් විසඳා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබීම.

2017 සැප්තැම්බර් මස 20 වෙනිදා නීතිය හා සාමය පිළිබඳව පාර්ලිමේන්තුවේ කොමිටිය යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එතනදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම කියා සිටියේ ලංකාවේ නඩු පමාව සම්බන්ධව සියලුදෙනා ලැජ්ජාවට පත්විය යුතු බවයි. ඒක පිළිගැනීම හොඳ දෙයක්. එහෙත් ඒ පිළිගත් දෙයට අනුව වෙනසක් ඇති කිරීම ඊටත් වඩා වැදගත්. රටක පාලනය ගෙනියනවා කියන්නේ රටක නීතිය ක්‍රියාත්මක කිරීම. එය සිදු කිරීම ගැන ජනවාරි 08 සිදුවූ වෙනස සමග බලාපොරොත්තුවක් ඇති වුණා. එහෙත් ඒ වෙනසට උරදීමක් සිදුවුණේ නැහැ. මොකද හිතා මතාම ඒ වැඩ පිළිවෙළට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීමට ගතයුතු පියවර මොනවාද, පොලිසියට අඩුපාඩුකම් ඇත්නම් ඒවා සකස්කර ගන්නේ කෙසේද? අධිකරණ අඩුපාඩු මඟ හරවා ගැනීමට මුදල් අවශ්‍ය නම්, නඩුකාරයන්ට පුහුණුව අවශ්‍ය නම් ඒ වගේ ගැටලු විසඳිය යුත්තේ කෙසේද? නීති පති දෙපාර්තමේන්තුව නිතරම කියනවා තමන්ට තිබෙන මානව සම්පත් තම රාජකාරි ඉටුකිරීමට ප්‍රමාණවත් නොවන බව. එසේනම් එය විසඳන්නේ කෙසේද? මේ ප්‍රශ්න විසඳන්නේ නැතිතාක් දුරට පාලනයක් පවතින්නේ නැහැ.

අපි අරාජික තත්ත්වයක් තියනවා කියන්නේ පාලනයේ බිඳ වැටීමක් තමයි තියෙන්නේ ප්‍රශ්නය තිබෙන්නේ එය විසඳන්නේ වර්තමාන ආණ්ඩුවෙන්ද, සර්වපාක්ෂික ආණ්ඩුවකින්ද කියන එක නෙවෙයි. කුමක් කිරීම සඳහාද අපිට ආණ්ඩුවක් අවශ්‍ය. මුලින්ම එකඟවිය යුතු දෙය තමයි මේ මේ කාරණා කිරීම සඳහා එකඟතාවක් තිබිය යුතුයි යන්න. එහෙම නැතිව අපි ඔක්කෝම එකතුවෙලා ආණ්ඩුවක් කළා කියන එකෙන් කිසිම දෙයක් විසඳෙන්නේ නැහැ. සැබෑ ප්‍රශ්නය කඩා වැටුණු පාලනය ඉස්මතු කරගත හැක්කේ කෙසේද යන්නයි. ඒ ගැටලුවට විසඳුමක් සෙවීමේදී තමයි කුමන ආකාරයේ ආණ්ඩුවක් මේ සඳහා අවශ්‍යද යන්න තීරණය කළ යුතු වන්නේ.

අපි ගැටලුව ගැන එකඟ නැත්නම් විසඳුම ගැන කථා කරලා වැඩක් නැහැ. රටේ පවතින ගැටලුව ගැන අද දේශපාලන මතවාදවල එකඟතාවයක් නැහැ. උදාහරණයක් විදිහට ඇමරිකාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු තිබෙන රටවල වෙනවෙන පක්ෂ තිබෙනවා. එහෙත් මේ සියලු දෙනා අතරේම එකඟතාවක් තිබෙනවා. ඒක තමයි අපේ රටේ පාලනය අපි බිඳ දමන්න නරකයි කියන එක අපි ගෙයකට ඇතුල්වෙලා ගෙයි වහල විනාශකරලා දැම්මොත් ඊට පස්සේ ගේ ඇතුළට ගියේ කවුද කියන එක වැඩක් වෙන්නේ නැහැ. අපි එකඟ විය යුතුයි මොකද්ද අපිට විසඳන්න ඕනේ ප්‍රශ්නය කියන එක මත. ලංකාවේ නඩු පමාවේ ප්‍රශ්නය විසඳන්නේ නැතිතාක් දුරට ස්ථාවර ආණ්ඩුවක් ගෙන යන්න බැහැ. ආර්ථික වශයෙන් විශ්වාසයක් ඇති කළ හැකි ආණ්ඩුවක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මැරවර පන්තියේ ආධිපත්‍යය වර්ධනය වෙන තත්ත්වය නැති කරන්න බැහැ.